දැන් මහ මැතිවරණයකට යා යුතුයි


සමගි ජන බලවේගයේ   

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  

මුජිබර් රහුමාන් 

 

රටේ අලුත් දේශපාලන තත්ත්වය පිළිබඳව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සමග කළ සාකච්ඡාවකි.   


ප්‍රශ්නය:- සමගි ජන බලවේගයේ මොනවද ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග?   


පිළිතුර:- පක්ෂයක් හැටියට අපි රටපුරාම රැස්වීම් පවත්වමින් පහළ මට්ටමේ ඉන්න සාමාජිකයන් ශක්තිමත් කරගෙන ඒ වගේම විපක්ෂයේ ඉන්න අනිකුත් පක්ෂ සමග එකතු වෙලා ඉදිරි කාලයේදී වැඩකරන ආකාරය ගැන යම් යම් සාකච්ඡා යනවා. අපි ආණ්ඩුවට බල කරනවා ඉක්මනින් මහ මැතිවරණයකට යා යුතුයි කියලා. ඒ අදහස ඔස්සේ අපි දැන් වැඩ කරගෙන යනවා.   


ප්‍රශ්නය: ඔබ හිතනවද ජනතාවගේ දැන් දැවෙන ප්‍රශ්නය මැතිවරණයක් කියලා?   


පිළිතුර:- මේ ආණ්ඩුවට ජනවරමක් නෑ. ඒක තමයි යථාර්ථය. පළමුවැනි දේ තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉල්ලා අස්වුණා. මහින්ද රාජපක්ෂ මහත්තයා ඉල්ලා අස්වුණා. එතකොට දැන් ජනවරමක් නෑ. පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් තුන හතරට කැඩිලා දැන් විපක්ෂයේ වාඩිවෙලා ඉන්නේ. අපේ පැත්තෙ දෙන්නෙක් තුන් දෙනෙක් අරගෙන ආණ්ඩුවේ ඇමැතිකම් දීලා තියෙනවා. පාර්ලිමේන්තුව ඇතුළේ ජනවරම විකෘති වෙච්ච තත්ත්වයක් තියෙන්නේ. ඒ හින්දා තමයි අපි කියන්නේ මහ මැතිවරණයකට යා යුතුයි කියලා. පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ උදව්වෙන් තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වුණේ. ඒවා ව්‍යවස්ථානුකූලව හරිවෙන්න පුළුවන්. නමුත් ජනතා මතයට ඒක පටහැනියි. ඒ නිසයි ඡන්දෙකට යා යුතුයි කියලා අපි කියන්නේ.   


ප්‍රශ්නය: අරගල බිම් ඉදිවුණේ තෙල් සහ ගෑස් ප්‍රශ්නය නිසයි. දැන් රට යථාතත්ත්වයට පත්වෙලා කියලා ඔබ පිළිගන්නේ නැද්ද?   


පිළිතුර:- නෑ. ඒ අරගල ආවේ තෙල් හා ගෑස් ප්‍රශ්න හින්දම නොවෙයි. විශේෂයෙන්ම වංචා දූෂණ චෝදනා විශාල වශයෙන් එල්ල වෙමින් තිබුණා. ඒකත් එක්ක තමයි විශාල ජනතා උද්ඝෝෂණයක් ආවේ. ජීවන වියදම් ප්‍රශ්නයත් දරුණුවට බලපෑවා. ඒ තත්ත්වයන් තාම අවසන් වෙලා නෑ. පෝලිම් නැතිවෙන්න පුළුවන්. පෝලිම්වල ඉඳලා තෙල් ගහගන්නවත් ජනතාවට සල්ලි නෑ. ඒක තමයි යථාර්ථය. ඒ නිසා කාටවත් කියන්න බෑ රට යථාතත්ත්වයට පත්වෙලා කියලා. රට එන්න එන්නම දරුණු ආර්ථික අගාධයකට තල්ලු වෙමින් යනවා. ඔබත් දකින්න ඇති මහබැංකු අධිපතිතුමා මෑතකදී ප්‍රකාශ කළේ ඉදිරියේදී තත්ත්වය තවත් දරුණු වෙයි කියලා. ඒ නිසා ඉතා ඉක්මණින් ජනතාවගේ මතය විමසන්න ඕනෑ. මොකද ලෝක බැංකුව වෙන්න පුළුවන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙන්න පුළුවන්. අපට උදව් කරන රටවල් වෙන්න පුළුවන්. ඒ ගොල්ල ඔක්කොමලා කියන්නේ ජනතාවගේ සහයෝගයක් තියෙන ආණ්ඩුවක් ආවොත් අපි සහයෝගය දෙනවා කියලා. මොකද මේ ආණ්ඩුවට කිසිදු ආකාරයේ ජන සහයෝගයක් දැන් නෑ. ඒක පහුගිය කාලේ වෙච්ච දේවල් එක්ක ඔප්පු වෙලා ඉවරයි. දැන් ඉතින් ජනතාවගේ මතය විමසන්න යන්න ඕනෑ.   


ප්‍රශ්නය: ඔබ කියන්නේ රට ගොඩගන්න පුළුවන් වෙන්නේ සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් බිහිවන ආණ්ඩුවකට කියලා?   


පිළිතුර:- සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් පුළුල් ආණ්ඩුවක් හදන්න තමයි සාකච්ඡා යන්නේ. ඒකෙදි අපට විශේෂ ආර්ථික වැඩපිළිවෙළක් තියෙනවා. අපේ හර්ෂ මැතිතුමා, ඉරාන් මැතිතුමා, කබීර් හෂීම් මැතිතුමා මුල්වෙලා එතැන වෙනම කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම වංචා දූෂණවලට එරෙහිව අලුත් නීති රීති ගේන්න අලුතෙන් හිතන කණ්ඩායමක් සජිත් ප්‍රේමදාස මැතිතුමා සමග ඉන්නවා. ඒ අනුව රට ගොඩනගන්න පුළුවන් කියන විශ්වාසය අපට තියෙනවා.   


ප්‍රශ්නය: මෙතැනදී වඩාත් වැදගත් වෙන්නේ ජාත්‍යන්තර සහයෝගයයි. එතැනදී රනිල්ට වඩා ඉදිරියෙන් සජිත් ඉන්නවා කියල ද ඔබ කියන්නේ? 

 
පිළිතුර:- දැන් ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති වෙලත් ජිනීවාවලදී අපි පරාද වුණානේ. ගෝඨාභය ඉන්නකොට අපට ඡන්ද 11 ක් ලැබුණා. රනිල් වික්‍රමසිංහ ඉන්නකොට ඡන්ද 7 යි ලැබුණේ. රනිල් වික්‍රමසිංහ මහත්මයාට ජාත්‍යන්තර සහයෝගහ ලැබෙනවා කියලා ලොකු මතයක් තිබුණනේ. නමුත් එහෙම ජාත්‍යන්තර සහයෝගයක් නෑ. එහෙම නැතිවුණේ මෙයා ගිහින් එකතු වුණේ මේ රට විනාශ කරපු ගෝත්‍ර මතවාද දරපු මේ රට මේ තරම් බංකොළොත් භාවයට ඇද දැමූ කණ්ඩායමත් එක්කනේ. එහෙම එකතු වෙච්ච නිසා තමයි මෙයාට ජාත්‍යන්තර සහයෝගය නැත්තේ. ඒක තමයි ඇත්ත කතාව.   


ප්‍රශ්නය:සජිත් ප්‍රේමදාසට අගමැතිකමට ආරාධනා කළා. එහෙම වුණා නම් අද රටේ ජනාධිපති සජිත්. නමුත් සජිත්ගේ ආසයි බයයි ප්‍රතිපත්තිය නිසා ඒක අහිමි කරගත්තා?   


පිළිතුර:- ආසයි බයයි ප්‍රතිපත්තිය නිසා නොවෙයි. ඒ ගැන ලොකු සාකච්ඡාවක් පක්ෂය ඇතුළේ ගියා. අපි ඔක්කොමලා කිව්වේ ‘අගමැති ධුරය බාර ගන්නවා නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉවත් වෙන දින වකවානුත් කියන්න ඕනැ’ කියලා. මොකද මේ රටේ විශාල විරෝධයක් ආවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට. ඒ විරෝධතාව ඇවිල්ලා තියෙන නිසා අපි අගමැතිකම බාරගන්නවා නම් එයා යන දවසත් කියන්න ඕනෑ. නමුත් ඒකට ගෝඨාභය රාජපක්ෂ එකඟ වුණේ නෑ. එතුමා සෑහෙන දිගු කාලයක් ඉල්ලුවා. අපි කිව්වා ‘එහෙම කාලයක් දෙන්න බෑ’ කියලා. ඒ සාකච්ඡා අතරතුර තමයි රනිල් වික්‍රමසිංහ මහත්තය ගිහින් අගමැතිකම බාර ගන්නේ. ඒක ඇත්තටම රනිල් වික්‍රමසිංහ බාරගත්තා නොවෙයි. ඒකට රාජපක්ෂ පවුල රනිල් වික්‍රමසිංහව තෝරාගත්තා. එහෙම තෝරා ගැනීමක් තමයි එතැන සිද්ධ වුණේ. රාජපක්ෂ පවුලට ඕනෑ වුණේ ඒගොල්ලන්ගේ වංචා දූෂණ වහන්න පුළුවන් නීතිමය වශයෙන් ඔවුන්ට සහන සලසන්න පුළුවන් ඒ ගොල්ලන්ව බේරගන්න පුළුවන් නායකයෙක් ඕනැ වුණා. ඒක අද ඔප්පු වෙමින් පවතිනවා. රාජපක්ෂලාගේ නැවත නැගිටීම තුළ රනිල් වික්‍රමසිංහගේ රැකවරණය ඔවුනට ලැබෙන බව පේනවා.   


ප්‍රශ්නය:‘එක්ව නැගිටිමු’ කියලා මහින්ද රාජපක්ෂලා නව ගමනක් ආරම්භ කරලා තියෙනවා. ඒකත් මහින්ද සුළඟ වගේ වෙයිද?   


පිළිතුර:- මෙහෙමයි. අපට පේනවනේ ඇත්ත කතාව. මහින්ද රාජපක්ෂ මැතිතුමා දැන් අවුරුදු අසූපහක් විතර ඇතිනේ. ඇත්තටම එතුමා මේ කාලයෙ ගෙදර ඉන්න ඕනැ කාලයනේ. දැන් එතුමව කණ්ඩායමක් රට පුරා එක්කරගෙන යනවා. ඒ කණ්ඩායමට තනියෙන් නැගිටින්න බෑ. ඒ බැරි හින්දා ඒගොල්ලෝ බලනවා මහින්ද රාජපක්ෂ මහත්තයාව ඉස්සරහට දාගෙන ඒගොල්ලන්ට නැගිටින්න පුළුවන්ද කියලා. මම නම් හිතන්නේ නෑ නැවත නැගිටින්න පුළුවන් වෙයි කියලා. මොකද මේ රටේ ජනතාව දන්නවා රාජපක්ෂලා මේ රටට කරපු හානිය. මහින්ද රාජපක්ෂ මහත්තයා අමාරුවෙන් හරි ඔය යන්නේ පුතාගේ ​ අනාගතය හදන්නයි. ඒකෙන් මනාව පේනවනේ තම තමන්ගේ අනාගතය වෙනුවෙන් තමයි මේ වැඩ කරන්නේ කියලා. ජනතාව දන්නවා මහින්ද මහත්තයා ඔය අමාරුවෙන් හරි යන්නේ නාමල් රාජපක්ෂ වෙනුවෙන් කියලා. නමුත් ඒක සාර්ථක වෙයි කියලා මම හිතන්නේ නෑ.   


ප්‍රශ්නය:මහින්ද රාජපක්ෂ ගෙදරට වී සිටිය යුතුයි කියලා විපක්ෂය කියන්නේ මහින්ද රාජපක්ෂට තියෙන භයට කියලා මම කිව්වොත්?   


පිළිතුර:- ඕනෑම කෙනෙක් තමන්ගේ සීමාවන් හඳුනා ගත යුතුයිනේ. ඒක මටත් තියෙනවා. ඉතින් මහින්ද රාජපක්ෂ මහත්තයාත් තේරුම් ගන්න ඕනැ එයා දෙපාරක් රටේ ජනාධිපති වෙලා හිටියා දෙතුන් වරක් අගමැති වෙලා හිටියා. දැන් වයසයි. එතුමා දැන් අවුරුදු විස්සේ කොල්ලෙක් නොවෙයිනේ. ඉතින් ඒ ඒ වයස් සීමාවන්වලට ආවම අපට කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ වයස් ආවම ස්වේච්ඡාවෙන් අපි තේරුම් ගන්න ඕනැ. ‘මට මේක කරන්න බෑ’ කියලා. මට පේන විදියට මේ කණ්ඩායම මහින්ද මහත්තයාට ඉන්න දෙන්නේ නෑ. එතැන දහ දෙනෙක් විතර ඉන්නවනේ. ඒ දහදෙනා මහින්ද මහත්තයාව බලෙන් අරගෙන එනවා වගේ තමයි මට පේන්නේ. ඒගොල්ලො හිතනවා මහින්ද මහත්තයා නැත්නම් ඒගොල්ලන්ට අනාගතයක් නෑ කියලා. මොකද මහින්ද මහත්තයාගෙ අනාගතය ඉවරයිනේ. එයාට නැගිටින්න තැනක් නෑනේ. මොකද එයා ඉන්දියාවේ ජනාධිපති වෙන්නද? වමේ ඉන්න ඔවුන්ට අනාගතයක් නෑ මහින්ද මහත්තයා නැත්නම්. උන් ගිහින් මේ වයසක මනුස්සයව උස්සාගෙන ඇවිත් වේදිකාවෙන් තියනවා.   


ප්‍රශ්නය: 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වුණා. ඒ සම්බන්ධයෙන් දැන් හැඟීම?  


පිළිතුර:- 22 ඇවිල්ලා 20 ට වඩා පොඩි ප්‍රගතිශීලී ගතියක් තියෙනවා. ඊට වඩා නම් ඇති වැඩක් නෑ. ඒක තමයි ඇත්ත කතාව. තිබුණ පොඩි ප්‍රගතිශීලිභාවය නිසා තමයි අපි අපේ සහයෝගය දුන්නේ.  


ප්‍රශ්නය:විපක්ෂයේ පක්ෂ සමග සාකච්ඡා කරනවා කියලා ඔබ කිව්වා. හැබැයි සමගි ජන බලවේගය සමග ඉන්න හවුල්කාර පක්ෂ සමග හදනවා කියපු සන්ධානය තවමත් නෑ?  


පිළිතුර:- ඒකට අවශ්‍ය වැඩපිළිවෙළ යනවා. පළමුවෙන් ඒකේ නීතිමය පැත්ත හදාගන්න ඕනැ. දේශපාලන පෙරමුණ හැදිලා ඉවරයි. ඒක යථාකාලයේදී හැදෙයි.  


ප්‍රශ්නය: රාවුෆ් හකීම් ජනපති රනිල්ට සහයෝගය දක්වන්න සූදානම් කියාල ආරංචියක් තියෙනවා?  


පිළිතුර:- මම නම් ඒක ගැන හරියට දන්නේ නෑ. මම හිතන්නේ නෑ රාවුෆ් හකීම් මැතිතුමා ගිලෙන නැවකට පනියි කියලා.  


ප්‍රශ්නය: කැබිනට් එක පුරවන කොට සජබෙ කිහිප දෙනෙකුත් ඒ කැබිනට් එකේ ඉඳියි?  


පිළිතුර:- ඔය කතාව කාලයක ඉඳන් කියනවනේ. ඒක වෙන බවක් පේන්න නෑ. අපේ 10 දෙනෙක් යන්න ඉන්නවා කිව්වට එහෙම එකක් පේන්න නෑ.  


ප්‍රශ්නය:ඔබට එහෙම ආරාධනාවක් ආවේ නැද්ද?  


පිළිතුර:- මුල් කාලයේදි නම් ආරාධනා ආවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති වුණාම ආරාධනා ආවා. එතුමා ජනාධිපති වුණාමත් ආරාධනා ආවා. නමුත් අපි පක්ෂය තුළ ඉන්නවා. පොහොට්ටුවත් එක්ක එකතුවෙලා ගමානක් යන්න පුළුවන් කියලා අපි හිතන්නේ නෑ.  
 

 

 සාකච්ඡා කළේ  
 ප්‍රසන්න සංජීව තෙන්නකෝන්