
රිමාන්ඩ් භාරයට සහ අච්චු ලබා සිරදඬුවම් විඳීම සඳහා සිරගත කෙරෙන දේශපාලකයන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් ඉකුත් කාලයේ දැකගත හැකි විය. රාජ්‍ය දේපොළ අයථා පරිහරණය, දූෂණ හා වංචා වැනි චෝදනා මෙම දේශපාලකයන්ට එරෙහිව නැගී තිබේ. මෙසේ රිමාන්ඩ් භාරයට පත්කෙරෙන සහ සිරදඬුවම් නියම වන සෑම දෙනාම විපක්ෂයේ දේශපාලකයන්ය. රජයට සම්බන්ධ කිසිදු දේශපාලනඥයකුට එවැනි සිර දඬුවම් නියම වී නැත.
විපක්ෂය පවසන්නේ මෙය දේශපාලන දඩයමක් බවය. ජාතික දේපොළ වංචා කළ අයට දඬුවම් දෙන විට එය දේශපාලන දඩයමක් ලෙස ලඝු කරන බව රජය පවසයි.
රිමාන්ඩ් බන්ධනාගාරය කරා යන සාමාන්‍ය අපරාධකරුවන් සහ දේශපාලකයන් බන්ධනාගාර බස් රථයට නගින සහ කැමරාවලට මුහුණදෙන ආකාරය හාත්පසින්ම එකිනෙකට වෙනස්ය. අපරාධ සැකකරුවෝ තම මුහුණ සහ හිස ආවරණය කරගෙන බන්ධනාගාර බස් රථයට නැගීමට උත්සාහ කරන අතර ජනමාධ්‍ය කැමරා ඉදිරියේදී අත ඇති කිසිවකින් කෙසේ හෝ තම මුහුණ ආවරණය කර ගැනීමට උත්සාහ කරති. තමන් සැකපිට හෝ සිර භාරයට පත්වීම ඔවුන් සලකන්නේ තමාට සහ තම ඥාතීන්ගේ ලජ්ජාවට කාරණයක් හැටියටය.
එහෙත් සැකපිට අත්අඩංගුවට පත්වන දේශපාලකයන් රිමාන්ඩ් බන්ධනාගාරය කරා යන ගමන එයට හාත්පසින්ම වෙනස්ය. සිනාමුසු මුහුණින් යුතුව මාංචු දැමූ දෑත ඉහළට ඔසවා ආචාර කරමින් මෙම දේශපාලකයන් බන්ධනාගාර බසයට ගොඩවන්නේත් ජනමාධ්‍ය කැමරාවට මුහුණ දෙන්නේත් සැඟවීමට උත්සාහ කිරීමෙන් තොරවය. ඔවුන් රටට පෙන්නුම් කරන්නට උත්සාහ කරන්නේ තමන් මහත් සතුටින් රිමාන්ඩ් බන්ධනාගාරයට යන බවය. එහෙත් මෙවැනි හිටපු බලවතුන් බොහෝ දෙනා රිමාන්ඩ් භාරයට පත්වුවද දඬුවම ගෙවන්නේ බන්ධනාගාර රෝහලේ බව බොහෝ දෙනා නොදන්නා කරුණකි.
ආණ්ඩුවක් මාරු වී අලුත් ආණ්ඩුවක් පැමිණි විට විරුද්ධවාදී දේශපාලකයන් සිරගත කිරීම ලංකා දේශපාලනයේ සාමාන්‍ය තත්වයකි. එය අද පමණක් නොව බ්‍රිතාන්‍ය යටත්විජිත ආණ්ඩු සමයේ පටන් මෙරට තිබූ සිරිතක් විය. එකල සිරගත කළ බොහෝ දේශපාලකයන් සිරගෙයට ගාල් කිරීම දේශපාලන වශයෙන් වාසියක් වූයේ ඔවුන්ට ඉන් නිදහස් වූ පසු ඉහළ ජනතා ප්‍රතිචාරයක් හිමිවූ නිසාය. එදා බොහෝ දේශපාලකයන් සිරගත කෙරුණේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට විරුද්ධ වීම හෝ ඔවුන් දැරූ දේශපාලන මතවාද නිසාය. එනිසා ජනතා ආකර්ෂණය ලැබුණි. එහෙත් අද දේශපාලකයන් සිපිරි ගෙට යැවෙන්නේ බලය අයුතු ලෙස පාවිච්චි කිරීම, පොදු දේපොළ අයථා පරිහරණය වැනි චෝදනා හේතුවෙනි.
ජේ.ආර්. ජයවර්ධන රජය යටතේ ජනප්‍රිය නළු විජය කුමාරතුංග රිමාන්ඩ් භාරයට පත්කිරීම ද තම විරුද්ධවාදියා එක තැනක රඳවා තබා මානසිකව වැට්ටීමේ පියවරක කොටසක් විය. විජය රඳවා තබා ගැනීමට වඩාත්ම බල කළ දේශපාලකයා වූයේ ලලිත් ඇතුළත්මුදලිය. ජනාධිපති ජයවර්ධන පසුව කියා සිටි ආකාරයට විජයට එරෙහි පියවරක් ගැනීමට පක්ෂයෙන් ඔහුට තදබල පීඩනයක් එල්ල විය. ප්‍රේමදාස සහ ඇතුළත්මුදලි ඒ අතර කැපී පෙනුණු පීඩනයක් එල්ල කළහ. රිමාන්ඩ් භාරයට පත් කළ විජය බොහෝ හිරිහැරවලට ලක්විය. අද දේශපාලකයන් මාංචු පිටින් දෑත ඔසවා ආචාර කරන ක්‍රමයේ නිර්මාතෘවරයා වන්නේ විජයයි. විජයගේ ජනප්‍රිය ශෛලිය ඉන්පසු රාජ්‍ය දේපොළ කොල්ලකෑම වැනි චෝදනා නිසා රිමාන්ඩ් භාරයට පත්වන දේශපාලකයන්ගේ ජනප්‍රිය හැසිරීමක් බවට පත් විය.
සැබැවින්ම විජය කුමාරතුංග සිරගත කෙරුණු අවස්ථාව සහ වත්මන් දේශපාලකයන් සිරගත කෙරෙන අවස්ථාව අතර පැහැදිලි වෙනසක් පවතී. විජය සිරගත කෙරුණේ ඔහුගේ ජනප්‍රියත්වය එකල රජයට පැවැත්මේ ප්‍රශ්නයක් ඇතිකළ නිසාය. ඔහු රජයක තනතුරු නොදැරූ නිසා දූෂණ වංචා චෝදනා කිසිත් නොවිණි. එහෙත් ඔහු ජනතාවට ආචාර කළ ශෛලිය උපුටාගෙන දෑත ඔසවා ආචාර කරමින් රිමාන්ඩ් භාරයට යන බොහෝ දෙනාට ඇත්තේ දූෂණ, වංචා චෝදනාය.
ලංකාවේ දේශපාලකයන් සිරගත කිරීම ඇරඹුණේ බ්‍රිතාන්‍ය පාලන සමයේය.
1915 සිංහල මරක්කල කෝලහාලය දඩමීමා කර ගනිමින් වැලිකඩට ගාල් කළ සිංහල නායකයන් ගණන පනහකට අධිකය. පසුව ලංකාවේ පළමු අගමැති වූ ඩී.එස්. සේනානායක, එෆ්.ආර්. සේනානායක, ඩී.සී. සේනානායක, ශ්‍රීමත් ඩී.බී. ජයතිලක, පුවත්පත් කලාවේදී පියදාස සිරිසේන, ආතර් වී දියෙස් යන අය ඒ අතරින් ප්‍රධාන වේ. ඔවුන් අත්අඩංගුවට ගත්තේ 1915 වසරේ ජූනි මස 2 වැනිදාය. මෙම සිංහල නායකයන් මාස එකහමාරක කාලයක් වැලිකඩ සිරගෙදර රඳවා තබාගත් බ්‍රිතාන්‍ය පාලකයෝ ඉන්පසු ඒ පිරිස නිදහස් කළහ.
ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් වෙත 1915 ඔක්තෝබර් 30 වැනි දින ඩී.එස්. සේනානායක මහතා යැවූ ලිපියක තමන්ට සිරගෙදරදී විඳින්නට වූ දුක් කරදර විස්තර කර තිබිණි.
“මම දේපොළ හිමි වැවිලිකරුවෙක් හා මිනිරන් පතල් හිමිකරුවෙක් වෙමි. මේ වසරේ ජූනි මස 8 වැනිදා රාත්‍රී දොළහට පමණ පළමුව මගේ නිවෙස පරීක්ෂා කළේය. ඉන් දෙසතියකට පසු 21 වැනිදා රාත්‍රී 12ට පමණ මා අවදි කරනු ලැබුවේ නගර ආරක්ෂකයකු විසිනි. ඔහු මට දැන්වූයේ මා අත්අඩංගුවට ගන්නා බවය. මගේ දෛනික ස්වභාවික කටයුතු ඉටුකර ගැනීමටවත් ඉඩ නොදුන්නේය. අවි ගත් සොල්දාදුවන් දෙදෙනකුගේ රැකවරණ මැද මා ගෙන ගියේ වැලිකඩ පිහිටි වැරදිකරුවන්ගේ ස්ථානයටය. එහිදී වැදගත් පෙනුමැති මහත්වරුන් සැලකිය යුතු පිරිසක් මට දක්නට ලැබිණි. ඉන්පසු මගෙන් ප්‍රකාශයක් ගන්නා ලදී. අනතුරුව අප ගෙන ගියේ දඬුවම් කුටි නමින් හැඳින්වූ සිර කුටි තුළටය. කතාබහ කරන්නට කෙනකු නැතිව කියවන්නට කරන්නට කිසිවක් නැතිව අප සැමදෙනාට එහි සිරගතව සිටින්නට සිදුවිය. අපගේ දිවා ආහාර වේල කූඩුව තුළට තල්ලු කරනු ලැබීය. අපිරිසිදු අහරද එවා තිබුණු බඳුන්වල පෙනුමද තද පිළිකුලක් ඇති කළේය. මා අදාළ වන ලෙසට කැඳවූ සියලු සාක්ෂි වූයේ මා අමද්‍යප ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයකු වීම හා කලබලය පැවැති කාලය තුළ ආයුධ සන්නද්ධ මිනිසුන් විශාල කණ්ඩායමක් විසුරුවා හරින්නට මා උදව් කර තිබූ බවත්ය. මට විරුද්ධව කැඳවූ එකදු චෝදනාවක් හෝ ඔප්පු නොවීය...”
මෙම සිරගත කිරීම සිදු කරන අවධියේ ඩී.එස්. සේනානායක කිසිදු දේශපාලන ක්‍රියාවක නිරතව සිටියේ නැත. එකල ඉංග්‍රීසින්ගේ කොළඹ ප්‍රධාන සිර කඳවුර හැටියට වැලිකඩ සිරගෙදර ස්ථාපනය කරන ලද්දේ 1844 අංක 18 දරන පනත යටතේය. ඉන්ස්පෙක්ටර් ජනරාල් මේජර් බී. බිල්ටන් වැලිකඩ ප්‍රථම බන්ධනාගාර අධිකාරිවරයා විය.
දේශපාලනය කිරීම හේතුවෙන් සිර භාරයට පත්වීම අපරාධමය වරදක් නොවේ. යටත්විජිත යුගයේ සිංහල ජාතිය ගැන, රටේ නිදහස ගැන කතා කළ දේශපාලන නායකයන්ට උරුම වූයේ සිර ගෙදරය. සිර ගෙදරදී මේ බොහෝ දෙනා එකිනෙකාගේ අදහස්වලින් වටිනා දේ උකහා ගත්හ. එයින් පන්නරය ලැබූහ. පසුකාලීනව රට පාලනය කිරීමේදී මේ අදහස් බොහෝ ඵලදායක විය.
දෙවැනි ලෝක යුද්ධය යුරෝපයේ ඇරඹෙද්දී ලංකාව පාලනය කළ බ්‍රිතාන්‍ය යටත්විජිත ආණ්ඩුව තමන්ට කරදරයක් බවට පත්වෙමින් සිටි මෙරට දේශපාලන ක්‍රියාකාරීන් ගණනාවක්ම අත්අඩංගුවට ගෙන සිරගත කළේය. රාජ්‍ය විරෝධී චෝදනා ඔවුන්ට එරෙහිව නැගුණි. සමසමාජ පක්ෂයේ නායකයන් ගණනාවක්ම ඒ යටතේ සිරගත කෙරුණි. පිලිප් ගුණවර්ධන, ලෙස්ලි ගුණවර්ධන, එන්.එම්. පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා, විවියන් ගුණවර්ධන ඒ අතර විය. මේ පිරිස සිරගත කෙරුණේ අපරාධ චෝදනා යටතේ නොවේ. ඒ නිසා ඔවුන් සැලකුණේ දේශපාලන සිරකරුවන් හැටියටය. මහනුවර බෝගම්බර සිරගෙදර රඳවා සිටියදී එන්.එම්. පෙරේරා කාලය ගෙවා දැමුවේ පොතක් ලියමිනි. එකල රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රීවරයකු වූ එන්.එම්. එහිදී වැඩිපුර කතා කළේ අධ්‍යාපනය ගැනය. එනිසා ඔහු ලිව්වේ “‘නිදහස් අධ්‍යාපනයේ ස්වරූපය” නමැති පර්‌යේෂණ ග්‍රන්ථයකි. සිර භාරයේ සිටියදීම එම පොත මුද්‍රණයෙන් නිකුත් විය. එන්.එම්. එංගලන්තයේ සිටියදී උපාධිය සඳහා ලියූ ‘“පාර්ලිමේන්තුව පිළිබඳ තුලනාත්මක අධ්‍යයනය” නමැති ග්‍රන්ථය ලන්ඩන් විශ්වවිද්‍යාලය මගින් පිළිගෙන ඒ සඳහා වූ උපාධිය එන්.එම්. ට පිරිනමන ලද්දේ ද සිරගතව සිටියදීය. මහනුවර සිටියදී ඔවුන්ට පැවරූ නඩුව අසා වැරදිකරුවන් කරන ලදුව සය මසක සිරදඬුවම් නියම විය. එන්.එම්. ගේ මීළඟ නවාතැන වූයේ වැලිකඩය. එහිදී ඔහුට නියම වූ බරපතළ වැඩ රාජකාරිය වේවැල් පුටු විවීමය. මෙම දඬුවම බරපතළ වැඩ සහිත සිරදඬුවමක් වූ නිසා බෝගම්බරදී මෙන් පොත පත ලිවීමේ නිදහසක් වැලිකඩ දී එන්.එම්. ට නොලැබිණි.
මහත්මා දේශපාලනයේ නියුතුවූවන් සිරගත කිරීම ඔවුන් කෙරෙහි අනුකම්පාවක් පොදු ජනතාව තුළ ජනිත වන්නට හේතුවක් විය. මේ නිසාම මහත්මා දේශපාලනය අවසන් වී චෞරයන් අතට මෙරට දේශපාලනය මාරු වූ පසු සිරගෙට කැඳවාගෙන යන චෞර දේශපාලකයන් මාංචු ලූ දෑත ඉහළට ඔසවා ජයග්‍රාහී විලාසයෙන් මාධ්‍ය ඡායාරූප ශිල්පීන්ට මුහුණදීම සුපුරුදු දසුනක් බවට පත් විය. මැතිවරණයක් අබියසදී සිරගතවීම මැතිවරණයෙන් ජයගැනීම සඳහා වාසියක් ලෙස සැලකිණි. ඒ උගුලට හසුවී විපක්ෂ දේශපාලකයන් දින කිහිපයකට සිරගත කර ඔවුන්ට මන්ත්‍රී වාසනාව ලබාදුන් ආණ්ඩුද මෙරට තිබිණි.
බ්‍රිතාන්‍ය පාලනය යටතේ සිටි රටවැසියකු ලෙස දෙවැනි ලෝක යුද්ධයට එරෙහිව කතා කළ බවට චෝදනා නගමින් උඩකැන්දවල සිරි සරණංකර හිමියන්ටද සිරදඬුවම් නියම විය. උන්වහන්සේ ඇතුළත් කරන ලද්දේ ද වැලිකඩ බන්ධනාගාරයටය. බන්ධනාගාර ජීවිතය ගැන උන්වහන්සේ කියන්නේ මෙසේය.
“මා එදින සිරගෙදරට ඇතුළු කළේ විශේෂ පරීක්ෂණයකින් අනතුරුවය. එදින මා වැලිකඩට ඇතුළු කරන විට සවස හයට පමණ විය. මා ඇතුළු කරන ලද්දේ ජී.එල්. සැලුන් නමැති වාට්ටුවටය. ජී.එල්. වාට්ටුව එකල වෙන්කර තිබුණේ වැදගත් පන්තියේ තාවකාලික සිරකරුවන් සඳහාය. එහි නවත්වා සිටියෝ සුද්දෝ සහ ස්වදේශීය වැදගත් අපරාධකාරයෝය”
වැලිකඩ සිරගෙදරට උගතුන් යාම නිසා එකල බොහෝ ප්‍රතිසංස්කරණ සිදුවූ බවද උන්වහන්සේ කියති. එකල කොමියුනිස්ට් පක්ෂ නායක දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ ද අවුරුද්දක් සිරගත කර තැබුවේ කොමියුනිස්ට් පක්ෂ පුවත්පතේ රාජද්‍රෝහී ලිපියක් පළ කළ නිසාය.
සුද්දන්ගෙන් පාලනය බාරගත් කළු සුද්දන්ටද දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීම සඳහා හොඳම ආයුධය ලෙස වැටහුණේ ඔවුන් බන්ධනාගාර ගත කිරීමය. එය ආණ්ඩුවෙන් ආණ්ඩුවට සතුරාගෙන් පළිගන්නා හොඳම අවිය බවට කාගේත් තෝරාගැනීම බවට පත් විය. එහෙත් 1971 කැරැල්ල බිහිවෙන තුරුම මහා පරිමාණ සිරගත කිරීමකට අවස්ථාව ලැබී තිබුණේ නැත.
තමන් ටික දිනකට හෝ රිමාන්ඩ් භාරයේ සිටීම මීළඟ මැතිවරණය ජයගෙන පාර්ලිමේන්තුවට යාම සඳහා ලැබුණු වටිනා අවස්ථාවක් බව දේශපාලකයන් විශ්වාස කළ සමයක්ද මෙරට තිබිණි. දශකයකට පමණ පෙර මෙරට ජනතාව තුළ ද එම හැඟීම තිබිණි. එසේ රිමාන්ඩ් භාරයට පත් කළ ඇතැම් දේශපාලකයන් මැතිවරණය ජයගත්තේ මනාප අතින් වාර්තා පිහිටුවමිනි. එහෙත් එම මතය මේ වන විටත් නොවෙනස්ව පවතීද යන්න ප්‍රශ්නාර්ථයක් පමණකි.
ප්‍රේමකීර්ති රණතුංග

