
පසුගිය ඔක්තෝබර් 17 වැනිදා හොරණ විශේෂ කාර්ය බලකා කඳවුරේ පොලිස් පරීක්ෂක කෝසල ප්‍රනාන්දු සහ කොස්තාපල් කුලතුංග යන අයට ලද තොරතුරක් මත කළුතර දකුණ, නාගොඩ ප්‍රදේශයේ නිවසක වැටලීමක් සිදුකෙරිණ. වැටලීමට ලද තොරතුර අනුව එම නිවසේ ඇඳක ලාච්චුවක තිබී ඇමරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක්, ජපානයේ නිෂ්පාදිත වායු පිස්තෝලයක්, ජපානයේ නිෂ්පාදිත ක්‍රීඩා පිස්තෝලයක් සහ බෝර 12 ගිනි අවියක කොකා සහිත ක්‍රියාකාරී කොටස සොයාගැනීමට හැකිවිය.
එම නීති විරෝධි ගිනි අවි අත් අඩංගුවට ගැනීමත් සමග එම නිවසේ හිමිකරු මෙන්ම එම ගිනි අවිවල අයිතිකරු වු රුසිර කවිෂාන් නොහොත් ජපනා නමැති පුද්ගලයා ද විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත්තේ වැඩිදුර විමර්ශන සඳහාය. එහි දී සැකකරු ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේ දී එම ඇඳෙහි තවත් ලාච්චුවක තිබී පතොරම් මල්ලක් සොයා ගැනීමට ද හැකි විය.ඒ අනුව එම මල්ලේ මි.මි. 9 වර්ගයේ උණ්ඩ 51ක්, 0.38 වර්ගයේ උණ්ඩ16ක්, බෝර 12 උණ්ඩ 11ක් තිබී සොයාගැනිණ. එපමණක් නොව එම මල්ලේ තිබී පොලිසිය භාවිත කරන අත් විලංගුවක් ද පොලිසියට සොයා ගැනීමට හැකි විය. ඒ අනුව විශේෂ කාර්ය බළකා නිලධාරීන් එම අවස්ථාවෙහිදී ම සැකකරු ගෙන් ප්‍රකාශයක් ලබාගෙන වැඩිදුර විමර්ශන සඳහා සැකකරු කළුතර දකුණ පොලිසියට භාර දුන්හ. ඒ වනවිට කළුතර දකුණ පොලිසියට අලුත් ස්ථානාධිපතිවරයකු පැමිණ දවස් හයක් ගතවී තිබුණි. ඔහු දක්ෂ පොලිස් නිලධාරියෙකු වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක ගුණසේකර ය.
සැකකරු සමග තිබූ ගිනි බෝර 12 ගිනි අවිය දුටු සැණින් ඔහු තුළ කුකුසක් ජනිත වූයේ - එය 88/89 සමයේ දී සන්නද්ධ අංශ සතුව තිබී ඇතැම් අවස්ථාවල පොලිසියට පවරා ගැනුණු අවිවල ස්වරූපයට සැසඳෙන ආකාරයක් පිළිබඳවය. ඒ අනුව සැකකරු වෙනම ගෙන තවදුරටත් ප්‍රශ්න කිරීමේ දී පොලිස් ස්ථානාධිපතිවරයාට හෙතෙම කියා ඇත්තේ - කළුතර දකුණ පොලිසියේ හිටපු ස්ථානාධිපති රුවන් ගෙන් ඒවා ලබාගත් බවකි .

ජපනා
යම් සැකකරුවෙකු වාචිකව යමක් දැක්වූ පමණින් නිශ්චිතව අන් අයකුට චෝදනා කළ නොහැකි හෙයින්, වැඩිමනත් හෝඩුවාවන් හරහා දළ නිගමනයකට එළඹෙනු වස්, පොලිසිය විසින් සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කරනු ලැබීය. එහිදී හිටපු පොලිස් ස්ථානාධිපති රුවන් සැකකරු සමග අඩි පුඩි ගසමින් බාල් නැටූ දසුන් සහිත වීඩියෝ රූප රාමු දුටු පොලිස් නිලධාරීහු විස්මයට පත් වූහ. ඇතැම් ඡායාරූප රාමුවල ස්ථානාධිපතිවරයාගේ රාජකාරි ගිනි අවිය සැකකරුගේ අතේය, ඇතැම් අවස්ථාවල ඉණේය. ඇතැම් රෑප රාමුවල වෙඩි තැබීම පුහුණු කෙරෙන ඡායාරූපය. ඇඟපත නටවමින්, මධුවිත පිරි වීදුරු බඳුන් එකිනෙක වද්දමින්, සප්පායම් වන ඡායාරූප ද එමටය. ඡායාරූප තවත් පරීක්ෂා කරමින් යනවිට සැකකරුගේ අතේ ස්ථානාධිපතිවරයා සමග අත් අඩංගුවට ගැනුණු බෝර 12 ගිනි අවිය ද දැක ගැනීමට හැකිවිය. ඒ අනුව එම ගිනි අවිය පොලිසිය භාරයේ පැවති ගිනි අවියක් ද යන සැකය පොලිස් ස්ථානාධිපතිවරයාට ඇතිවුණි. ස්ථානාධිපතිවරයා වහා ගබඩා පාලකවරයා ගෙන්වා ප්‍රශ්න කරන්නට විය. ආරම්භයේ දී නෑ..,බෑ..වශයෙන් සිල්ලර උත්තර දී කියා ලිස්සා යෑමට යත්න දැරුව ද ස්ථානාධිපතිවරයාගේ අඛණ්ඩ තර්කානුකූල ප්‍රශ්න කිරීම් හමුවේ ගබඩා පාලකවරයාට සියල්ල හෙළි කිරීමට සිදුවිය. ඒ අනුව හිටපු ස්ථානාධිපතිවරයා විසින් මීට මාස දෙක තුනකට පෙර මෙම ගිනි අවිය ගබඩාවේ තිබී තමන් ගෙන් ලබාගත් එකකැයි හෙතෙම පිළිගත්තේය . සිය ගෙවත්තට එන රිළව් එළවීමට බැව් කියා ඉල්ලා ගෙන නැවත ගෙනත් දෙන බව පොරොන්දු වී රැගෙන ගියත්, ඔහු එය ආපසු ගෙනැවිත් භාර නොදුන් බව බව ගබඩා පාලකවරයා කීය. මෙම ගිනි අවියට අදාල බරපතළ සුවිශේෂ කරුණ නම්, එය 2022 වසරේ කළුතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් පැවරූ ගිනි අවි වලින් එකක් වීමය. එනම් ඒ ගිනි අවිය අධිකරණ භාණ්ඩයක් වීමය.
ඒ අනුව පොලිසිය සැකකරු වූ ජපනා ගෙන් ප්‍රකාශ ලබා ගැනීම ආරම්භ කළේය. එහිදී අනාවරණය වුයේ මෙම ගිනි අවිය හිටපු ස්ථානාධිපතිවරයා ගේ නිවසට ගොස් රැගෙන ආ බවය. ගිනි අවි පමණක් නොව උණ්ඩ තොගය ද ලබා දී තිබුණේ ස්ථානාධිපතිවරයා බව සැකකරු ප්‍රකාශ කළේය. එම උණ්ඩ සහ ගිනි අවි රුගෙන ඒමට ගියේ කළුතර පොලීසියේ මහින්ද නමැති අයකු සමග බව ද ඔහු සිය ප්‍රකාශය හරහා අනාවරණය කළේය.
වැඩේ ඉතාම සංකීර්ණ සහ බරපතළ බව වර්තමාන ස්ථානාධිපති නාලකට වැටහුණි. තමන්ට පෙර සිටි ස්ථානාධිපති සම්බන්ධයෙන් තමාම විමර්ශනයක් සිදුකිරීම ආචාරධාර්මික නොවන කටයුත්තකැයි කල්පනා කළ නාලක – මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමේ වගකීම කළුතර අපරාධ කොට්ඨාසයට පවරනු ලැබුවේය. කෙසේ වෙතත් රාජකාරි පටිපාටියට අනුව අදාළ සිදුවීම සහ ප්‍රකාශ “බී වාර්තාවක්” මගින් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කළේය.

බෝර 12 ගිනිඅවිය ඇතුළු ගිනිඅවි
මේ අතර කළුතර අපරාධ කොට්ඨාශය විසින් පරීක්ෂණ ආරම්භ කරන විට හොරාට කලින් කැන පැන්නා සේ හිටපු ස්ථානාධිපතිවරයා විසින් අපේක්ෂිත ඇප අයැදුමක් කළුතර අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.එහෙත් අධිකරණය එය ප්‍රතික්ෂේප කළේය. නීතිය තුළින්ම යම් තරමකින් රිංගා යාමට ගත් තැත ව්‍යවර්ථ වූ පසු හෙතෙම ප්‍රදේශයෙන් පලාගොස් මෙය සටහන් කෙරෙන අද වෙන විටත් සැඟවී සිටී. මේ වෙන විට ඔහු සොයන විමර්ශන අරඹා ඇත.
කෙසේ වෙතත් සැකකාර ජපනා සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශනය කිරීමේ දී හෙළිවුණේ, මෙම සැකකරු කළුතර පාතාල කල්ලි සමග සමීප සබඳතා පවත්වා ඇති බවයි. එම කල්ලිවල අපරාධ විමර්ශනයට හා මැඩලීමට ක්‍රියාකරනු වෙනුවට ශේප් කරන, බැලන්ස් කරන වැඩ සැකකාර හිටපු ස්ථානාධිපතිවරයා හරහා සිදුකරවා ගෙන ඇති බව අනාවරණය වී ඇත. එපමණක් නොව ප්‍රදේශයේ ඇතැම් විමර්ශන සිදුකිරීමේ දී මෙම ජපනා නමැත්තා ස්ථානාධිපති සමග එකට සිට පැමිණිලිකරුවන්ගෙන් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම් ද සිදුකර ඇති බව මේ වනවිට හෙළි වී ඇත.
ගිනි අවි භාවිත කරමින් වෙඩි තැබීමට පුරුදු පුහුණු කෙරෙන ඡායාරූප එමටය. පොලිස් නිලධාරියකු තම ගිනි අවිය බිරිඳ මෙන් රැකබලා ගන්නා බවට වෙන ප්‍රකට කියුමක් ඇත. එහෙත් මේ සැකකාර හිටපු ස්ථානාධිපතිවරයාගේ නිල අවිය වැඩියෙන්ම භාවිත කර ඇත්තේ මෙම සැකකරු බව ඡායාරූප වලින් පෙනෙන බව විමර්ශන නිලධාරීහු පවසති.
මේ වනවිට පොලිසිය විසින් සැකකාර හිටපු ස්ථානාධිපතිවරයා අත් අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකළ ද තවමත් සොයා ගැනීමට හැකිවී නැත. පාතාලය සමග පයුරුපාසානම් පවත්වා බාල් නටා තාවකාලික “ෆන් ගත්ත” ද, වැඩේ පත්තු වූ විට විඳවන්නට වෙන්නේ තනියම බව අමුතුවෙන් කිවයුතු නැත. එක උණ්ඩයක් ගාණේ ඇත්තේ මේ රටේ මිනිස්සුන් ගේ ජීවිත බව මෙම දුෂිත නිලධාරීන්ට අමතක වී ඇත. අරක්කු බෝතලයට, සල්ලි කොළයට ආත්මය පාවා දෙන මෙබඳු දුෂිත නිලධාරීන් පසුගිය කාලයේ රටපුරා සිදුවු අපරාධවලට වගකිව යුතුය. එහෙයින් මෙවැනි දූෂිත හා අපරාධ සහායක නිලධාරීන්ට පාතාලයට, වඩා දඬුවම් හිමිවිය යුතුමය.
ගයාන් ගාල්ලගේ

අධිකරණයෙන් ගිනිඅවි පැවැරුම් ලිපිය

