ජනපති හදන අන්තර්වාර පාලනයකට යන්න අපි සූදානම් නෑ


සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර 

රාජිත සේනාරත්න 


  • ගෝඨාභය රාජපක්ෂ කවුද  අන්තර්වාර ආණ්ඩු හදන්න
  • ඒක හදන්නේ අපි අපිට ඕනෑ  විදිහට  ඒක ගෝඨාභය  ගෙදර යවන  අන්තර්පාලන  ආණ්ඩුවක්
  • අපේ අදහස  අපේම ආණ්ඩුවකටයි

 

  • ජනාධිපතිවරයා හදන අන්තර්වාර පාලනයකට යන්න අපි සූදානම් නෑ. මේ අර්බුදය මතුපිටට ගෙනාවේ කවුරුවත් නොවෙයිනේ. මේක මතුපිටට ගත්තේ මේ රටේ ජනතාව. 
  • මේ මහජන රැල්ල ගොඩ නැගෙන කොට දේශපාලන නායකයො දැනගෙන හිටියෙත් නෑනේ
  • තනතුරු අවශ්‍ය නෑ ඇත්තටම. අපි කියන්නේ ජාතික විධායක සභාවක් හදලා ඒ ජාතික විධායක සභාව එකතුවෙලා අගමැතිවරයෙක්ව පත් කරගන්න. 
  • ඒක අපට ප්‍රශ්නයක් නෑ කවුරු වුණත්. මොකද මේ අගමැතිවරයා මාස කිහිපයක අන්තර්වාර වැඩ පිළිවෙළක්නේ කරන්නේ.

 

රට තවමත් ගිනියම්ය. විසඳුම ලෙස අන්තර්වාර පාලනයක් නිර්දේශ වී තිබේ. කුමක්වෙයිද? මේ ඒ සම්බන්ධයෙන් සමගි ජන බලව්ගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා සමඟ කළ සාකච්ඡාවකි.   

 

ප්‍රශ්නය- අන්තර්වාර පාලනයකට සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපතිවරයා ආරාධනා කළා. සමගි ජන බලවේගයේ ස්ථාවරය? 

 
පිළිතුර - ජනාධිපතිවරයා හදන අන්තර්වාර පාලනයකට යන්න අපි සූදානම් නෑ. මේ අර්බුදය මතුපිටට ගෙනාවේ කවුරුවත් නොවෙයිනේ. මේක මතුපිටට ගත්තේ මේ රටේ ජනතාව. දේශපාලන නායකයො නොවෙයි. මේ මහජන රැල්ල ගොඩ නැගෙන කොට දේශපාලන නායකයො දැනගෙන හිටියෙත් නෑනේ. ඒකනේ ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර කිව්වේ “මේක විමල් වීරවංශ දැනගෙන හිටියද? නෑ. රනිල් වික්‍රමසිංහ දැනගෙන හිටියද නෑනේ. ඒගොල්ලෝ කිව්වේ මේ සටනට නායකත්වයක් නෑ. කවුද කරන්නේ කියලා දන්නේ නෑ. මේ වගේ ඒවට යන්න එපා කියලා. සජිත් ප්‍රේමදාසයි මමයි විතරයි දේශපාලන නායකයන් හැටියට කිව්වේ මේකට ආශිර්වාද කරන්න සහයෝගය දෙන්න. පාරට බහින්න” කියලා. මොකද අපි අපේ දේශපාලන ගමන යන්නේ ඒ එළියෙ තියෙන දේශපාලන හද ගැස්මත් එක්ක. එහෙම මේ මහජන සටනට අවතීර්ණ වුණ අපි එතැනින් එහාට අප යන්නේ නෑ. ගෝඨාභය රාජපක්ෂ කවුද අන්තර් පාලන ආණ්ඩු හදන්න.   


ප්‍රශ්නය- එහෙම නම් කවුද හදන්නේ?   


පිළිතුර- ඒක හදන්නේ අපි. අපිට ඕනෑ විදියට. ඒක ගෝඨාභය ගෙදර යවන අන්තර්පාලන ආණ්ඩුවක්.   

ප්‍රශ්නය-රටේ තියෙන්නේ බිහිසුණු තත්ත්වයක්. රට ඉල්ලන්නේ ක්ෂණික විසඳුමක්. ඔබලා මේ තත්ත්වය හරියට තේරුම් අරගෙන නෑ.   


පිළිතුර- නෑ හොඳට තේරුම් අරගෙන තියෙනවා. ක්ෂණික විසඳුම තමයි රට පුරා ඇහෙන ‘ගෝඨා ගෝ හෝම්’ කියන එක. දෙවැනි ක්ෂණික විසඳුම තමයි ‘රාජපක්ෂලා ගෝ හෝම්’ කියන එක. එතැනින් මෙහා කිසිම ක්ෂණික විසඳුමක් ඇත්තේ නෑ. ඒ නිසා ඒක පෙරදැරි කරගෙන කරන ඕනෑම සටනකට අපි සහාය දෙනවා.   


ප්‍රශ්නය-ජනාධිපතිවරයා ගෙදර ගියොත් තවත් අර්බුද පොකුරක් නිර්මාණය වෙන්නේ නැද්ද?   


පිළිතුර- නෑ. කිසිම අර්බුදයක් එන්නේ නෑ. මුළු රටම සමනය වෙනවා. එමෙන්ම මුළු රටම සතුටු වෙනවා එක ඛේදවාචකයක් අවසන් වුණා කියලා. 

 
ප්‍රශ්නය-ජනාධිපතිවරයා තෝරන්න වෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයෙන්. ඒ බහුතර බලය තියෙන්නේ පොහොට්ටුවට.   


පිළිතුර- දැන් පොහොට්ටුවට ඒ බහුතර බලය නෑ. දැන් බහුතර බලය තියෙන්නේ පොහොට්ටුවට එරෙහි කඳවුරට.   


ප්‍රශ්නය-නමුත් අගමැති මහින්ද කියනවා ‘මම යන්නේ නෑ’ කියලා. බහුතරය නැත්නම් එහෙම කියයිද?   


පිළිතුර- රාජපක්ෂවරුන්ට දැන් කිසිම බලයක් නෑ. ඒවගේම රාජපක්ෂවරුන් සමග ගමනක් යන්න පුළුවන් කියලා හිතන කිසිම දේශපාලන නායකයෙක් දැන් නෑ.   


ප්‍රශ්නය-ගෝඨාභය යටතේ අන්තර් පාලන ආණ්ඩුවක් හදන්නේ නැත්නම් ඇයි සජබයෙ ඔබලා ගිහින් ස්වාධීන වෙච්ච පක්ෂ නායකයන් හමුවුණේ?   


පිළිතුර- එක නිශ්චිත කාලයකදී නිශ්චිත වකවානුවකදී නිශ්චිතව ඉන්නේ එක හතුරෙක්නේ. ඒ හතුරගෙ හතුරො අපේ මිතුරො වෙනවා. ඒ අනුව තමයි අපි ගිහින් ඒගොල්ලන් එක්ක වාඩිවුණේ. එහෙම වාඩි වෙන්නේ අපි ‘මේ රාජපක්ෂවරුන් නැති. අපි වෙනම ආණ්ඩුවක් හදන්න’ ඒ ආණ්ඩුවේ අපිට තනතුරු නැතිවුණත් සියලු තනතුරු ඔක්කොම ඒ අය ගත්තත් අපට ප්‍රශ්නයක් නෑ. ඒක තමයි මහජන රැල්ලේ අප නියෝජනය කරන දේශපාලනය.   


ප්‍රශ්නය-අගමැතිවරයා ඉල්ලා අස්වුණොත් අලුත් අගමැතිවරයෙක් පත් කරගෙන අලුත් ආණ්ඩුවක් හදන්න ඔබලට පුළුවන්?   


පිළිතුර- ඔව්. පුළුවන්. හැබැයි නිශ්චිත කරුණක් තියෙන්න ඕනැ. දින ගණනින් කියන්න ඕනැ ජනාධිපතිවරයා ඉවත් කරන්නේ කවදද කියලා.   


ප්‍රශ්නය-ජනාධිපතිවරයා ඉවත් කරන්නේ දෝෂාභියෝගයක් මගින්?   


පිළිතුර- මෙහෙමයි කොහොම හරි ජනාධිපතිවරයා යවන්න ඕනැ. නැත්නම් ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනැ. මට ඔතැන ඉන්න නායකයෙක් කිව්වා ‘ජනාධිපතිතුමා යන්න ලැජ්ජයි. ජනාධිපති ක්‍රමය අහෝසි කරනවට එයා එකඟයි කියලා. එහෙමනම් ඉතින් වැඩේ පහසුයිනේ.   


ප්‍රශ්නය-ඒ කියන්නේ ඔබලා කැමැතියි රාජපක්ෂලා නැති අලුත් ආණ්ඩුවක් හදන්න.   


පිළිතුර- ඔව්. අන්තර්වාර පාලනයක් සඳහා එකඟයි. හැබැයි ඒකට මගේ කැමැත්තක් නෑ. ඇත්තම කියනවා නම් මම කැමැතියි අපේම වැඩ පිළිවෙළක් සමඟ අපේම අගමැතිවරයෙක් යටතේ අපේම ආණ්ඩුවක් හදන්න. මොකද අච්චාරු ආණ්ඩුවලින් රටට වෙච්ච දේවල් අපි හොඳට දන්නවා. ඒ නිසා එබඳු අච්චාරු ආණ්ඩුවකට යන්න අපි ලෑස්ති නෑ. මොකද චන්ද්‍රිකා කුමාරතුංග එක්කත් මෛත්‍රීපාල සිරිසේනත් එක්කත් අච්චාරු ආණ්ඩු හදලා බැට කාපු අපි තුන්වැනි වරටත් බැට කන්න සූදානම් නෑ.   


ප්‍රශ්නය-ඔබ කියන දේවල් පරස්පර විරෝධියි. අන්තර්වාර පාලනයක් හදනවා කියනවා. ආයෙමත් බැට කන්න බෑ කියනවා.   


පිළිතුර- මෙහෙමයි. යම් බලපෑමක් සිදුවෙනවා නම් මේ විශ්වාසභංග යෝජනාව ජය ගැනීම සඳහා මෙන්න මෙහෙම පියවරකට යන්න කියලා අපට ඒ ගැන සළකා බලන්න සිදුවෙනවා. දේශපාලන වාතාවරණය තුළින් ඒ බලපෑම එන්න ඕනැ.   


ප්‍රශ්නය-අගමැති මහින්ද ඉල්ලා අස්නොවුණොත් විශ්වාසභංග යෝජනාවක් අනිවාර්යයෙන්ම ගේනවා?   


පිළිතුර- අනිවාර්යයෙන්ම ගේනවා, ගේනවා විතරක් නොවෙයි මහින්ද රාජපක්ෂ ඒකෙන් පරාජය කරනවා.   


ප්‍රශ්නය-විශ්වාසභංග යෝජනාව ගේන දවස කියන්න පුළුවන්ද?   


පිළිතුර- මේ එන සතියෙම පළමු පාර්ලිමේන්තු සැසිවාරයේදීම අපි ඒක කරනවා.   


ප්‍රශ්නය-මන්ත්‍රී උදය ගම්මන්පිල කිව්වා රාජපක්ෂලාට එරෙහිව මන්ත්‍රීවරු 122ක් ඉන්නවා කියලා. මේ ගණන් හිලව් විශ්වාස කරන්න පුළුවන්ද?   


පිළිතුර- පැහැදිළිවම පුළුවන්. නමුත් විමල් නම් මට කිව්වේ අන්තිම වෙනකොට මේගොල්ලන් හතළිහක්වත් ඉතිරි වෙන්නේ නෑ කියලයි.   


ප්‍රශ්නය-අන්තර්වාර පාලනයකට ඔබලා ගියොත් සජිත් ප්‍රේමදාසගේ විපක්ෂ නායක කමත් ගහලා යනවා.   


පිළිතුර- එතකොට අන්තර්වාර පාලනයෙ එතුමව අගමැති කරන්න අපට පුළුවන්.   


ප්‍රශ්නය-සජිත් ප්‍රේමදාස කැමැතිද ඒකට?   


පිළිතුර- එතුමා කැමැති නෑ ඒකට.   


ප්‍රශ්නය-තනතුරු පොරය ඉස්සර කරගත්තොත් රාජපක්ෂලා ගෙදර යවන්න පුළුවන් වෙයිද?   


පිළිතුර- තනතුරු අවශ්‍ය නෑ ඇත්තටම. අපි කියන්නේ ජාතික විධායක සභාවක් හදලා ඒ ජාතික විධායක සභාව එකතුවෙලා අගමැතිවරයෙක්ව පත් කරගන්න. ඒක අපට ප්‍රශ්නයක් නෑ කවුරු වුණත්. මොකද මේ අගමැතිවරයා මාස කිහිපයක අන්තර්වාර වැඩ පිළිවෙළක්නේ කරන්නේ. ඒ සියලු දේවල් සිදුවිය යුත්තේ අපි ප්‍රතිපත්තිමය වශයෙන් ඒකට විරුද්ධ වුණත් විශ්වාසභංග යෝජනාව දිනවීම සඳහා ඒක කොන්දේසියක් විදියට ආවොත් අපට ඒ ගැන සැළකිල්ල දක්වන්න වෙනවා. මොකද මම අහගෙන හිටියා පැතුම් කර්නල් කරන කතාව. එයා කියන්නෙත් අන්තර්වාර පාලනයක් මගින් මේ රාජපක්ෂ පාලනය අවසන් කළ යුතුයි කියලයි.   


ප්‍රශ්නය-විපක්ෂ නායකකම අතහැරලා අන්තර්වාර පාලනයක එක්කො ඇමැති කෙනෙක් නැත්නම් මන්ත්‍රී කෙනෙක් වෙන්න සජිත් කැමැති වෙයිද?   


පිළිතුර- ඒවා අපි කතා කරගන්න ඕනෑ. එක පාරටම විපක්ෂ නායකකම අතහැරලා එන්න විදියක් නෑනේ. විපක්ෂ නායක තමයි විකල්ප අගමැතිවරයා කියලා කියන්නේ. එතකොට ඒ තත්ත්වයෙන් මිසක් ඊට අඩුවෙන් කතා කරන්න බැහැ.   


ප්‍රශ්නය-ස්වාධීන වෙච්ච පක්ෂ නායකයන් හුමුවුණ වෙලාවේ ඔය තනතුරු ප්‍රශ්න ගැන කතා කළා?   


පිළිතුර- නැහැ. කිසිම කතාවක් කළේ නෑ. මේ ක්‍රියාවලිය ගැන පමණයි කතා කළේ. පළමුවෙන්ම පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරයට අපේ එක්කෙනෙක් නම් කරලා එයාව ජයග්‍රහණය කරවලා අපේ බහුතරය පෙන්වන්න ඕනැ. ඊට පස්සේ අපි විශ්වාසභංග යෝජනාවක් ගේනවා කතානායකට විරුද්ධව. ඒක ජයග්‍රහණය කරලා කතානායකව අයින් කරනවා. කොහොමත් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළාට පස්සේ කතානායකට ඒ කතානායක පුටුවේ වාඩිවෙන්න බෑ. එතකොට අපේ නියෝජ්‍ය කතානායක තමයි වැඩ බලන කතානායක වෙන්නේ. ඊට පස්සෙ කතානායක කෙනෙක් පත් කරලා විශ්වාසභංග යෝජනාව ගේන්නේ. එතකොට බොරු බලපෑම් කරන්න කතානායක කෙනෙක් නෑ. නිදහස් කතානායක කෙනෙක් ඉන්නේ අපේ.   


ප්‍රශ්නය-මන්ත්‍රී වාසුදේව නානායක්කාර කියනවා ‘සජිත් හා බැසිල් අතර ඩීල් එකක් තියෙනවා’ කියලා. 

 
පිළිතුර- ඒක මේ වාසුගෙ විහිළු කතාවක්නේ. අවුරුදු ගණනාවක් බැසිල් එක්ක කැබිනට් එකේ වාඩිවෙලා හිටපු මිනිහා ඒ බැසිල් එක්ක කැබිනට් එකකවත් වෙන තැනකවත් එකට දේශපාලනය නොකළ සජිත් කොහොමද බැසිල් එක්ක ඩීල් දාන්නේ. එහෙමනම් ඊට වඩා දහස් ගුණයක ඩීල් එකක් වාසුට තියෙන්න ඇතිනේ බැසිල් එක්ක. වාසු එක වෙලාවකදි කියනවා එයාට විරුද්ධයි මෙයාට විරුද්ධයි කියලා. එහෙම කියලා එයත් එක්කම වැඩ කරනවා. මුලින් ගෝඨා එළවන්න කතා කළා. ඊට පස්සේ දිනවන්න වැඩ කළා. දැන් ගෝඨාව රැක ගන්න කතා කරනවා. එවැනි කෙනෙක් කියන කතා එච්චර ගණන් ගන්න අවශ්‍ය නෑ.   


ප්‍රශ්නය-අන්තර්වාර පාලනයෙ කැබිනට් එක ගැනත් සාකච්ඡා කරන්න ඇති?   


පිළිතුර- එහෙම සාකච්ඡාවක් ආවා. 20ක්ද 25ක්ද කියලා කතා වුණා. එතැනදි මම කිව්වා ‘ඔය එක ගානක්වත් වැඩක් නෑ. ඔය අංක ගනිතයෙ නෙවෙයි වැඩේ තියෙන්නේ. විද්‍යාත්මක කැබිනට් මණ්ඩලයක් වෙන්න ඕනැ’ කියලා.   


ප්‍රශ්නය-විද්‍යාත්මක කැබිනට් මණ්ඩලය කියන වාක්‍යය තරම් අවභාවිත වෙච්ච වාක්‍යයක් තවත් නැතිව ඇති?   


පිළිතුර- ඒක මේ සිස්ටම් එකේ ප්‍රශ්නයක් නේ. අදාළ විෂයයන් කඩන්නේ නැතිව එක ඇමැතිවරයෙකුට දෙන්න ඕනෑ. මේ තිබුණු විෂයන් කඩන්න පටන් ගත්තේ එක එක්කෙනාට වරදාන දෙන්න. ඒ නිසා කැබිනට් මණ්ඩලය විද්‍යාත්මක වෙන්න ඕනෑ. අධ්‍යාපන, උසස් අධ්‍යාපන, අධ්‍යාපන සේවා කියන ඒවා එක අමාත්‍යාංශයක් වෙන්න ඕනැ. අන්න එහෙම විද්‍යාත්මක මට්ටමින් මේක හැදුවොත් ඇමැතිධුර සංඛ්‍යාව විස්ස, දාහත වෙන්නත් පුළුවන්. නැත්නම් විසි දෙක වෙන්නත් පුළුන්. අංකය නොවෙයි වැදගත් වෙන්නේ එහෙම එකක් හදලා පාර්ලිමේන්තුවේ අනුමැතිය අරගෙන ව්‍යවස්ථාවට ඇතුල් කරන්නත් පුළුවන්.   


ප්‍රශ්නය-දැන් කතාවෙන අන්තර්වාර පාලනය රටේ මේ තියෙන ප්‍රශ්නවලට උත්තරයක් වෙන්නේ කොහොමද?   


පිළිතුර- ටික කාලයකටනේ මේක එන්නේ. මෙවැනි අර්බුදවලදි නිශ්චිත අර්බුදයකදි. දැන් ඇතිවෙලා තියෙන්නේ ආර්ථික අර්බුදයක්. එහෙම නම් ඒ අර්බුදයෙන් එළියට එන්න ඕනැ. අර්බුදයට හේතුත් තියෙනවනේ. ඒ හේතු ඉවත් කිරීම තමයි අන්තර්වාර පාලනයකින් කෙරෙන්නේ. මේ වගේ වෙලාවක වෙන ක්‍රමයක් නෑනේ.   


ප්‍රශ්නය-හදිසි මැතිවරණයකට ගියොත්?   


පිළිතුර- මැතිවරණයකට යන්න කෝ සල්ලි. කෝ විදුලිය. කෝ ඉන්ධන. අඩු ගානේ කඩදාසිවත් නෑනේ. ඉතින් කොහෙද හදිසි මැතිවරණයකට යන්නේ. එහෙම නැත්නම් ඒක තමයි හොඳම ක්‍රමය. එහෙම නම් ඉන්න කට්ටිය පන්නනවා නම් අලුත් කට්ටියක් ගේන්න මැතිවරණයක් තියන්නත් බැරිනම් අන්තර්වාර පාලනයක් ගැන හිතන්න වෙනු​ෙවන්. 

 

  • අවුරුදු ගණනාවක් බැසිල් එක්ක කැබිනට් එකේ වාඩිවෙලා හිටපු මිනිහා ඒ බැසිල් එක්ක කැබිනට් එකකවත් වෙන තැනකවත් එකට දේශපාලනය නොකළ සජිත් කොහොමද බැසිල් එක්ක ඩීල් දාන්නේ. 
  • ඊට වඩා දහස් ගුණයක ඩීල් එකක් වාසුට තියෙන්න ඇතිනේ බැසිල් එක්ක. වාසු එක වෙලාවකදි කියනවා එයාට විරුද්ධයි මෙයාට විරුද්ධයි කියලා. 
  • මුලින් ගෝඨා එළවන්න කතා කළා. ඊට පස්සේ දිනවන්න වැඩ කළා. දැන් ගෝඨාව රැක ගන්න කතා කරනවා. එවැනි කෙනෙක් කියන කතා එච්චර ගණන් ගන්න අවශ්‍ය නෑ

 
ප්‍රශ්නය-එහෙම පාලනයකින් ඩොලර් හොයාගන්නේ කොහොමද?   


පිළිතුර- එහෙම පාලනයකට පුළුවන් ඩොලර් හොයාගන්න. අපි නිශ්චිත කරුණක් ඉදිපත් කරලා එහෙම පාලනයක් පිහිටුවනවා නම් එහෙම ආණ්ඩුවකට උදව් කරන්න ජාත්‍යන්තරය සූදානම්. ඩොලර් බිලියන 5ක් අපි හොයාගත්තොත් මුල් අවුරුද්දට අපිට මිනිසුන්ට තුන්වේල කන්න දෙන්න පුළුවන්. ඒක තමයි මූලිකම දේ. මෙහෙම ගියොත් මේ ජනතාව මන්ද පෝෂණයට ලක්වෙනවා. ජනතාව ​රෝගීන් වෙනවා. ඒක විශාල ඛේදවාචකයක්. ඒ නිසා තුන්වේල කන්න දෙන්න ඕනෑ. දරුවගෙ කිරි පැකට් එක සාධාරණ මිලකට දෙන්න ඕනැ. බෙහෙත් රෝහලෙන් නොමිලේ දෙන්න ඕනෑ. ගෑස් ටික, ඉන්ධන ටික සප්ලයි කරන්න ඕනැ. එතකොට මිනිසුන්ට ප්‍රවාහනය ලැබෙනවා. විදුලිය ලැබෙනවා. කර්මාන්තශාලා පටන් ගන්නවා. ඒ හරහා රැකියා උත්පාදනය වෙනවා. ඊට පස්සෙ ටික නව රජයකට බාර දෙන්න වෙනවා.   


ප්‍රශ්නය-පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි එහා මෙහා කරලා ගේන විසඳුම එළියෙ අරගල කරන නිර්පාක්ෂික තරුණය පිළිගනීද?   


පිළිතුර- වෙන ක්‍රමයක් නෑනේ. එහෙම නම් විප්ලවයක් සිදුවෙන්න ඕනෑ. එහෙම දෙයක් වෙන්නෙ නෑනේ. තරුණයන්ට බෑනේ විප්ලව කරන්න. විප්ලවයකට පීඩිත ජනතාව පාරට බහින්න ඕනෑ. දැන් පාරට බැහැලා ඉන්නේ. නමුත් ඒ ජනයා කියන්නේ තරුණයින්ගේ මූලිකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවන්න කියලා. ඒ පීඩිත ජනයාගෙන් කොටසක් නුවර ඉඳන් කොළඹට පා ගමන් ආවා.   


ප්‍රශ්නය- සජිත්, චම්පික, සරත් ෆොන්සේකා ඉන්නෙත් ඔය ඔබ ඉන්න මතයෙමද?   


පිළිතුර- මම කියන්නේ සමගි ජන බලවේගයේ මතය.   


ප්‍රශ්නය-සජබය දරණ මතය නොදරණ අයත් සජබය තුළ ඉන්නවද?   


පිළිතුර- ඕනෑම පක්ෂයක එහෙම තියෙනවනේ. විවිධ මත තියෙනවා.   


ප්‍රශ්නය-හැදුණොත් අන්තර්වාර පාලනයක් ඔබත් එහි ඇමැතිවරයෙක්   


පිළිතුර- එහෙම තීන්දුවක් අපේ පක්ෂය තවම අරගෙන නෑ. මම අරගෙනත් නෑ. මමත් සජිත් ප්‍රේමදාස මැතිතුමත් මුල ඉඳලම හිටියෙ අපේම ආණ්ඩුවක් හදන්න. රට හදන්න පුළුවන් වෙන්නේ එතකොටයි.

තරුණයන් ඉල්ලන රට වෙනස් කිරීම කරන්න පුළුවන් වෙන්නේ එතකොටයි. ඒක හෙට වෙන්නේ නෑ. නමුත් පවතින දේශපාලන නිමිති මගින් අපට බල කරනවා දේශපාලන තීන්දුවලට යන්න. එහෙම බල කිරීම විසින් තමයි අන්තර්වාර පාලනයක් එනවා නම් එන්නේ.

 

 

සාකච්ඡා කළේ
 ප්‍රසන්න සංජීව තෙන්නකෝන්