ජනපති මේ ධූරයේ තියාගෙන ප්‍රශ්නයට විසඳුම් සොයන්න බෑ


ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී

නලින්ද ජයතිස්ස

කාලීන දේශපාලන වටපිටාව පිළිබඳව මේ අදහස් දැක්වීම ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්සගෙනි.   රට තියෙන්නේ හැම අතින්ම අස්ථාවර තැනක. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ තාමත් තමන්ගේ දේශපාලනය කරනවා මිසක් රට හදන්න වගකීමෙන් කටයුතු කරන්නෙ නෑ කියලා චෝදනාවක් එල්ල වෙනවා.  

 

දැන් අපි මුහුණ දෙමින් ඉන්නේ ගැඹුරු සමාජ, දේශපාලන, ආර්ථික අර්බුදයකට. ආර්ථික අර්බුදය විසින් තමයි සමාජ අර්බුදයක් ජනිත කරලා තියෙන්නේ. ඒ දෙක විසින්ම තමයි දේශපාලන අර්බුදයක් නිර්මාණය වෙලා තියෙන්නේ. මේ ප්‍රශ්නෙ මූල්‍ය ආර්ථික අර්බුදය. මේක ඇති කළේ මාරුවෙන් මාරුවට වසර 74 මේ රට පාලනය කරපු පක්ෂ දෙක. මේ කඳවුරු දෙකම මේකට සම සමව වගකියන්න ඕනෑ. ගෝඨාභය ජනාධිපතිගෙ අවුරුදු දෙකේදී ඒ ප්‍රශ්නය තීව්‍ර වුණා. මේ සියල්ලේ එකතුවෙන් අද ජනතාවට දැවැන්ත ආර්ථීක පීඩනයක් ඇතිවෙලා තියෙනවා. මේ ආර්ථික අර්බුදය දැඩිවෙන්න වෙන්න දේශපාලන අර්බුදයක් උත්සන්න වෙනවා. ඒ දේශපාලන අර්බුදය රට අසීරු අඩියකට දාලා තියෙනවා. මේ සඳහා විසඳුමකට ප්‍රවේශයන් හොයන්න වෙන්නෙ මේ දේශපාලන අර්බුදය විසඳීමෙන්. එහෙම නැතුව ජනතා විමුක්ති පෙරමුණ විදියට බැහැලා ගොවිතැන් කිරීමෙන්වත් ආහාර බෙදීමෙන්වත් නෙවෙයි. දේශපාලන අර්බුදයට විසඳුමක් සෙවීමෙන් තමයි ආර්ථික ප්‍රශ්නය ගොඩ දාගන්න වෙන්නෙ. ඒකට අපි පසුගිය 11 වෙනිදා රටට පැහැදිලි වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළා. ඒකෙන් අපි සවිස්තරව ඉදිරිපත් කළා මේ අර්බුදයෙන් ගොඩ එන්නෙ කොහොමද කියලා. අපේ පළවෙනි ඉල්ලීම තමයි මේ ප්‍රශ්නය මේ තරම් බරපතළ තැනකට ගෙනාපු ගෝඨාභය ජනාධිපති වහාම ඉල්ලා අස්වෙලා ගෙදර යා යුතුයි කියන එක. ඔහු මේ ධුරයේ තියාගෙන කිසි ලෙසකින්වත් මේ ප්‍රශ්නයට විසඳුමක් හොයන්න බෑ. මේ විනාශයට වගකිවයුත්තේ ඔහු. ඔහු ගත්තු අත්තනෝමතික උද්දච්ච, අමන තීණ්දු තීරණ නිසා තමයි මේ තරම් අවුලකට රට පත්වුණේ. ගොවිතැන විනාශ කිරීමේ ප්‍රධානම වගකිවයුත්තා ගෝඨාභය. අද විශාල ආහාර අර්බුදයක් නිර්මාණය වෙලා. මේක කළේ වෙන කවුරුවත් නොවෙයි, ගෝඨාභය රාජපක්ෂ.  

මේ අර්බුදය ගැන ජනාධිපතිට අගමැතිට ආණ්ඩුවට තේරුණේ නැතත් අපි මුල ඉඳලම රටට මේ ගැන කරුණු කිව්වා. අපි කියාපු දේ අද ඇත්ත වෙලා. ඒකට වගකිවයුතු අය අතපිහදාගෙන ජනතා විමුක්ති පෙරමුණ වගකීම ඉටුකරන්නෙ නෑ කිය කියා දොස් කියලා වැඩක් නෑ. දැන් රනිල් වික්‍රමසිංහ ඇවිත් කියන්න දෙයක් නෑ ඉදිරියට රටට සාගතයක් එනවා, අමාරු කාලයක් ඉවසලා ඉමු කියලා. අපි පැහැදිලිව කිව්වා ගෝඨාභයගෙ ආණ්‍ඩුව මේ මරිමෝඩ වැඩ කරද්දි රට විනාශ කරන්න එපා කියලා. අපි අපේ වගකීම එදත් ඉටු කළා අදත් ඉටු කරනවා. ඒ ගැන කවුරුත් කලබල වෙන්න ඕනෑ නෑ. මෙච්චර දවස් රට පාලනය කරපු අය තම වගකීම ඉටු කළාද කියලා හිතල බැලුව නම් හොඳයි.  


මේ ආණ්‍ඩුව ඉවත්වෙලා සර්වපාක්ෂික අන්තර් පාලන ආණ්ඩුවකට ඉඩ දෙන්න ඕනෑ. ගෝඨාභයල රනිල්ලා වේදිකාවෙන් බැහැලා යන්න ඕනෑ. ඒඅයට මේක කරන්න බෑ. ඊට පස්සෙ පාර්ලිමේන්තුවෙන් වැඩ බලන්න ජනාධිපති කෙනෙක් පත් කරගෙන සියලු පක්ෂවල දායකත්වයෙන් ආණ්‍ඩුවක් හදලා මේ ප්‍රශ්නයට විසඳුමක් ගේන්න මැදිහත් වෙන්න අපට පුළුවන්. ඊට පස්සෙ මාස හයකට පස්සේ ජනතාවට අවස්ථාවක් දෙන්න පුළුවන් තමන්ට කැමැති පිරිසකට බලය ලබා දෙන්න. එහෙම හදන ස්ථාවර ආණ්‍ඩුවකින් මේ ප්‍රශ්න සියල්ලටම පැහැදිලි ස්ථාවර විසඳුමක් හොයන්න පුළුවන්.  


හැබැයි ඔය රනිල් වික්‍රමසිංහ ආවේ මම රට ගොඩදාන හැටි පෙන්නන්නම් කියලානේ  


රනිල් වික්‍රමසිංහ ඇවිත් රට ගොඩ දායි කියලා කවුරු හරි හිතනවා නම් ඒව හීන තමයි. රනිල් ඇවිත් පෝලිම් නැති කරලා ප්‍රශ්න ඉවර කරයි කියල සතුටු වෙනව නම් කවුරු හරි ඒ අය ආපහු කල්පනා කරල බලන්න ඔහුගේ ඉතිහාසය. දැන් පෝලිම් නැති වෙලා තියෙන්නේ තෙල් තියෙන නිසාවත්, ගෑස් තියෙන නිසාවත් නොවෙයි. ඒවා නැති නිසා. පෝලිම්වල ඉඳපු අයට ඇති වෙලා. ඔවුන් ගෙවල්වලට ගිහින්. ආණ්‍ඩුවම පෝලිම්වල ඉන්න එපා කිව්වම මිනිස්සු පෝලිම්වල ඉන්නෙ නෑනෙ. තෙල් ගෑස් එනවා කියලා ආරංචියට තමයි දැන් මිනිස්සු ආපහු පෝලිම්වලට යන්නේ. රනිල් වික්‍රමසිංහ යහපාලන ආණ්‍ඩුව කාලෙ රට ගොඩ දාපු හැටි අපි දැක්කනෙ. 


එහෙව් රනිල්ට දැන් රට ගොඩදාන්න පුළුවන් කියලා මතයක් හැදුවට කවුද ඒවා පිළිගන්නේ. රනිල්ගෙ ආර්ථික ප්‍රතිපත්තිය පට්ට ගහලා තමයි ​ගෝඨාභයල බලයට ආවේ. අද ඒ කල්ලිය කරට අතදාගෙන ගජ මිතුරන් වගේ ආණ්‍ඩු කරන්නේ රෙදි ඇඳගෙනද කියලා තමයි අපිට අහන්න තියෙන්නේ. එදා රනිල් පරසක්වල ගහපු අය තමයි අද කියන්නේ රනිල් තමයි එකම ගැලවුම්කාරයා කියලා. පොහොට්ටුවෙ කට්ටිය රනිල් ගැන කියපු කතා මතක් කරලා බලන්නකො. පසුගිය කාලෙ මේ කට්ටිය කාටවත් ලැජ්ජාවක් නෑ බලය ගන්න ඕනැ බොරුවක් කියලා ජනතාව රවට්ටනවා. දැනුත් කරන්නේ ඒක තමයි. මහ බැංකු බැඳුම්කර වංචාව ගැන විතරක් හිතුවත් මේ අයගෙ නිරුවත පේනවනේ. මේක පොහොට්ටුවෙ අයට දෛවයේ සරදමක් වගේ. ගෝඨාභයල රනිල් වික්‍රමසිංහ ගෙනාවේ රටට ආදරේටද තමන්ගේ පවුලට ආදරේටද කියලා දැන් අපිට පේනවනේ.  


මෑත කාලෙ රටේ දේශපාලනය සොලවපු තැනක් තමයි ජනතා අරගලය. මහින්දල ඒකට ගහල නවත්තන්න හැදුවා. රනිල් ඒකට අනුග්‍රහය දක්වන්න යනවා. අරගලයේ ඉදිරිය ගැන මොකක්ද අදහස.  


ගෝඨාභයල, මහින්දල, බැසිල්ලා, නාමල්ලා, චමල්ලා ඔක්කොම ඉඳලත් ජනතා විරෝධය යටපත් කරන්න බැරිවුණා නම් තනි රනිල් වික්‍රමසිංහ ගහන ගේම්වලින් මේ ජනතා අරගලය දිය කරල හරින්න බෑ. යම් යම් හේතු මත අරගලයේ තීව්‍රතාවයේ අඩුවීමක් දකින්න පුළුවන්. ජනතා අරගල එහෙම තමයි. හැබැයි සුනාමි දෙවෙනි රැල්ල වගේ මේ විරෝධය යළි පෙරට වඩා ප්‍රබලව නැගෙනවා. ඒක නවත්තන්න හෝ කඩාකප්පල් කරන්න රාජපක්ෂලට වගේම රනිල් වික්‍රමසිංහටත් බැරි බව ස්ථිරයි. මේ රාජපක්ෂ - වික්‍රමසිංහ ඩීල් ආණ්ඩුව තවදුරටත් කරන්නේ ජනතාව මත පීඩනය මුදාහැරීම පමණයි. මේ ආණ්‍ඩුව තවදුරටත් ජනතා හිතවාදී එකක් නෙවෙයි. ඊළඟ ජනතා විරෝධී රැල්ලට රාජපක්ෂලා වගේම වික්‍රමසිංහලත් ගහගෙන යනවා. ජනතා අරගලයේ සැබෑ පණිවුඩය කියවා ගන්න රාජපක්ෂලාත් අසමත් වුණා.


රනිල් වික්‍රමසිංහත් අසමත් වෙලා. ඒකනේ ඔහු කියන්නේ විදේශ සංචාරකයින්ටත් ඇවිත් මේ අරගලයට සම්බන්ධ වෙලා විරෝධතා පුවරුවක් අරගෙන ඉන්නත් ඕනෑ නම් පුළුවන් කියලා. මේ විරෝධතාවයේ ඉන්න අය මේ ඉන්නේ ඇඟේ අමාරුවටද? මේක තමයි රනිල්ගෙ උද්දච්ච කම. අරගලයේ ඇත්ත අදහස යටපත් කරල ඒක විහිළුවට ගන්න හදනව නම් රනිල් වික්‍රමසිංහටත් වෙන්නේ මහින්ද රාජපක්ෂට වුණු දේම තමයි. මේ අය කාටවත් ජනතාව ගැන හෝ රට ගැන හැඟීමක් නෑ. මෙයාලට තියෙන්නේ බල තන්හාව විතරයි. අපි පක්ෂයක් විදිහට මැදිහත් වෙනවා මේ විරෝධතාවය ආණ්ඩු පෙරළියකින් එහාට ගිහින් ඉතිහාසයේ නොවූ විරූ ආකාරයට ජනතාවාදී ආණ්ඩුවක් පත් කරගෙන රට ඉදිරියට ගෙනියන්න බලපෑමක් වෙන මට්ටමට ගේන්න. ඒක අපි ඉදිරියේ තියෙන වගකීමක් වගේම අභියෝගයක්. අපි සූදානම් ඒකට මුහුණ දෙන්න.  


පොහොට්ටුවෙ මන්ත්‍රීලගෙ ගෙවල් ගිනි තියලා අලාභ හානි කළේ ජේ.වී.පීකාරයො කියලා ඒ අය පසුගිය දවස් ටිකේම චෝදනා කළා.  


ඕක පොහොට්ටුවට උපදෙස් දෙන මාර්කටින් ඒජන්සි හදල දීපු ස්ක්‍රිප්ට් එකකට අනුව හැමෝම එකම විදියට කියපු කතාවක්නෙ. කවුරුත් කිව්වේ එක සමාන කතාවක්. මේ අයගෙ කතා ඇත්ත නම් අද ජනතා විමුක්ති පෙරමුණට ගම්වල දේශපාලනය කරන්නවත් ගම්වලට යන්නවත් බැරි වෙන්න ඕනැ නේ. මොකද ඒ අයට විශාල ඡන්ද දායකයෝ පිරිසක් ඒ ඒ ප්‍රදේශවල ඉන්නවනේ. එහෙම නම් ඒ ජනතාව අපිට විරුද්ධව කටයුතු කරනවානේ. එහෙම දෙයක් නෑනේ. මේ හැම තැනකම සිද්ධ වුණු දේ රටම දන්නවා. මේ ආණ්ඩුවට ඡන්දෙ දීපු අයම තමයි අද තමුන්ට විරුද්ධව නැගී ඉන්නේ. මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවෙ කිව්වම මේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට අල්ලපු අයගෙන් තුනෙන් එකක් ජේ.වී.පී. කියලා අපි පොලිස්පති එක්ක ගිහින් මේ ගැන සාකච්ඡා කළා. පොලිස්පතිවරයා කිව්වා අත්අඩංගුවට ගත්තු අයගෙ දේශපාලන පසුබිම පිළිබඳව වාර්තා හදලා නෑ කියලා. මේ අත්අඩංගුවට ගත්තු අය ඒ ගත්තු විදිය ගැනත් ප්‍රශ්න තියෙනවනේ. ඒක නිසා ඔය චෝදනාව සත්‍යයක් නොවෙයි. හැමදාම වගේ අපිට මඩ ගහන්න බලන් ඉන්න අයගෙ අසාර්ථක උත්සාහයක්. එහෙම චෝදනාවක් නිවැරදිව එල්ල කරනව නම් අපි සූදානම් ඕනෑම පරීක්ෂණයකට මුහුණ දෙන්න.  


නැවතත් ජවිපෙ සහ පෙරටුගාමී පක්ෂය අතරේ සාකච්ඡා අපි දකිනවා. මොකටද මේ එන්නේ.  


පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙ අය ජාතික ජනබලවේගය එක්කත් සාකච්ඡාවක් පටන් අරගෙන තියෙනවා. ඒ අය ඒ වගේ වෙනත් පක්ෂ එක්කත් සාකච්ඡා පටන් අරගෙන තියෙනවා. මේක අලුත් තත්ත්වයක් නෙවෙයි. මේ වගේම ඔවුන් ස.ජ.බෙ. එක්ක, ටී.එන්.ඒ. එකත් එක්ක සාකච්ඡා කරල තිබුණ. අපි දෙගොල්ල අතර සාකච්ඡාව පැවැත්වුණේ ජවිපෙ මූලස්ථානයේදී. රටේ දැන් පවතින සමාජ දේශපාලන ප්‍රශ්න ගැන ඒකෙදි සාකච්ඡාවෙලා තියෙනවා. මීට කලිනුත් ඇතැම් ප්‍රශ්න ගැන අපි අතරෙ සාකච්ඡා පැවතුණා. අපි බලමු ඉදිරියට මේ සාකච්ඡාවල ප්‍රතිඵල මොන වගේ වෙයිද කියලා. මේ වගේ සාකච්ඡාවකින් අපි එකතු වෙනවා කියලා පැහැදැලි අදහසක් මතුවෙන්නේ නෑ. වෙනස් වෙන තත්ත්වයන් යටතේ අපිට පොදු ක්‍රියාමාර්ගවලට යන්න සිද්ධ වෙයි. ඒව ඉදිරියට බලමු.  


21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය දැන් වැඩිපුර කතාබහට ලක්වෙන කාරණයක්. මේ ගැන ජවිපෙ මතය මොකක්ද?  


21 ගේන්නේ විධායක ජනාධිපතිවරයාගේ බලය අඩු කරල පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට නම් ඒ වෙනුවෙන් අපි කොන්දේසි විරහිතව සහාය ලබා දෙනවා. 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ශක්තිමත් කිරීම සඳහා වූ යෝජනා හතක් අපි පසුගියදා ඉදිරිපත් කෙරුවා. පක්ෂ මාරු කිරීමේදී මන්ත්‍රීකම අහෝසි වෙන යෝජනාවක් ගෙන ඒම, ජනාධිපතිවරයාට අමාත්‍ය ධුර දැරීමට නොහැකි නීතියක් සම්මත කිරීම, කොමිෂන් සභා පත්කිරීමේදී පාර්ලිමේන්තුවට බලය පැවරීම ඇතුළු ​යෝජනා කීපයක් ඒ අතර තියෙනවා. හැබැයි ආණ්‍ඩුවෙම ඉන්න පාර්ශ්ව 21 දියාරු කිරීමේ යම් යම් යෝජනා ඉදිරිපත් කරමින් ඉන්නවා. 21 කියන්නේ තවත් ඇස්බැන්දුමක් නොවී රටට හිතකර දෙයක් නම් ඒකට සහාය දෙනවා වගේම එහෙම නැත්නම් ඒ ගැන තවදුරටත් සිතා බැලීමට අපි කටයුතු කරනවා. අපි මේ ගැන අවධානයෙන් ඉන්නවා.

 

සාකච්ඡාව 
ප්‍රියන්ත කොඩිප්පිලි