ජනතා විශ්වාසය නොලබන කිසිම වැඩ පිළිවෙලක් සාර්ථක වෙන්නේ නෑ


සමගි ජන බලවේගයේ මහ ලේකම් 
මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

රංජිත් මද්දුමබණ්ඩාර 

  • 19 වැනි සංශෝධනයෙ පැහැදිලිවම තිබුණා ජනාධිපතිවරයට ඇමැති ධුර දරන්න බෑ කියලා. ඒක 21 ටත් ඕනෑ. ඒ වගේම දෙවැනි කොන්දේසිය හැටියට අපි ඉදිරිපත් කළා. 
  • මහ බැංකුවේ අධිපතිවරයාට අමතරව මූල්‍ය මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන් පත් කිරීමේදී ඒකට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය අවශ්‍යයි කියලා. එතකොට හෙංචයියන්ට එන්න බැරි වෙනවා. 
  • ඊළඟට සංවර්ධන ව්‍යාපෘති ඇගැයීමට ප්‍රමුඛතාව දීමේදී ජාතික ඇගයීම් කොමිසම් සභාවක් පත්කරන්න කියලා. එතකොට ප්‍රතිලාභ නැති ව්‍යාපෘති කරන්න ලැබෙන්නේ නෑ.

 

රටේ නවතම දේශපාලන තත්ත්වය හා ඉදිරියේදී සිදුවිය හැකි දේ පිළිබඳව විමසමින් සමගි ජන බලවේගය මහ ලේකම්, මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා සමග කළ සාකච්ඡාවකි. 

ප්‍රශ්නය:- රටේ තියෙන ලොකුම ප්‍රශ්නය 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයද? මිනිස්සු දුක් විඳිනවා. ඔබලා 21 ගැන කතා කරනවා.   


පිළිතුර:- රටේ ජනතාව කියන්නේ ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන්න කියලයි. ආණ්ඩුව ඒක කරන්නේ නැතිව 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය දීලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ තමයි අපේ රට මේ තත්ත්වයට පත්කළේ. අනික් රාජපක්ෂවරුන් ඇමැතිකම් වලින් අයින් කරලා ගෝඨාභය රාජපක්ෂ විතරක් එල්ලිලා ඉන්නවා. රටේ මිනිසුන්ට තියෙන ප්‍රශ්න තමයි කිරිපිටි නෑ, ලයිට් කපනවා, ගෑස් නැහැ, ඉන්ධන නෑ, බෙහෙත් ටික නෑ, බඩුමිල අහස උසට නැගලා තියෙන එක. මේ තත්ත්වයට රට ගෙනාවේ ගෝඨාභය රාජපක්ෂ. ඉතින් අයින්වෙන්න ඕනෑ ගෝඨාභය රාජපක්ෂ. ඒත් ඒක නොකර 21 ගෙනැත් තියෙනවා. ඉතින් අපිත් කියන්නේ ගෝඨාභය ඉවත් විය යුතුයි කියලා.   


ප්‍රශ්නය:-හරි 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන මොකද කියන්නේ?   


පිළිතුර:- 21 ත් ප්‍රශ්නයක් නෑ. අපි මුල ඉඳලම කිව්වා විධායක ජනපති ධුරය නිසා තමයි ඒකාධිපතියෙක් බිහිවෙන්නේ. ඒ නිසා තමයි 21 ගෙනල්ලා තියෙන්නේ.   


ප්‍රශ්නය:- මේ රටේ සෑම දේශපාලන පක්ෂයකටම වගකීමක් තියෙනවා ජනතාව පෙළෙන පීඩාවෙන් මුදවාලීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න?   


පිළිතුර:- ඔව්. විශේෂයෙන් අපි බොහොම කාලයක ඉඳලා කිව්වා රට මේ තත්ත්වයට පත්වෙනවා කියලා. අපේ මන්ත්‍රී කණ්ඩායම අපේ ආර්ථික විශේෂඥයන් කිව්වා ‘ඔය දීපු බදු සහන දෙන්න එපා. රට කඩා වැටෙනවා’ කියලා. අපි කිව්වා ‘රුපියල එක තැන හිර කරගෙන ඉන්න එපා. අනාගතයේදී ප්‍රශ්න ඇතිවෙනවා’ කියලා. ‘අයි එම් එෆ් එකට යන්න කිව්වා. උද්ධච්ඡකමට ගියේ නෑ. අපි පක්ෂයක් විදියට මේ අනතුර දැක්කා. දැක්කා විතරක් නෙවෙයි ප්‍රතිකර්මත් කිව්වා. නමුත් දැන් ගොඩගන්න බැරි තැනට රට වැටිලා තියෙන්නේ. අපි පැහැදිලි කාරණා රජයට ඉදිරිපත් කළා.   


ප්‍රශ්නය:- ඒවා කාරණා ද කොන්දේසිද?   


පිළිතුර:- කොන්දේසි තමයි. රට මේ තත්ත්වයට පත් කරපු ගෝඨාභය රාජපක්ෂ යා යුතුයි. අනිත් කාරණය තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි. ඒ එක්කම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ යුතුයි. අපි ළඟ සැලැස්මක් තිබුණා කොහොමද ආර්ථිකය ගොඩගන්නේ. කොහොමද ජනතාවට සහන දෙන්නේ. අපි ළඟ ඒවට වැඩ පිළිවෙළක් තිබුණා. අපේ පක්ෂයේ තමයි මේ රට ගොඩගන්න පුළුවන් හොඳම අත්දැකීම් තියෙන පළපුරුදු කණ්ඩායම් ඉන්නේ. දූෂණයෙන් හොරකමින් තොර කණ්ඩායම් ඉන්නේ. එහෙම තිබියදී තමයි ජනාධිපතිවරයා තනි මන්ත්‍රීවරයෙක් වෙච්ච රනිල් වික්‍රමසිංහ මහත්මයාට අගමැතිකම දුන්නේ.   
ප්‍රශ්නය:-ජනාධිපතිවරයා සජිත් ප්‍රේමදාසට ආරාධනා කළා. ඔබලා ගිහින් ජනාධිපතිවරයාත් එක්ක සාකච්ඡා කළා. නමුත් සජිත් ප්‍රේමදාසගේ ආසයි භයයි ප්‍රතිපත්තිය නිසා වැඩේ ගැස්සුණා.   


පිළිතුර:- අපි මේක බාර ගත්තොත් හරියට කරන්න එපැයි. දැන් පේනවා නේද රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට ආණ්ඩුව ඇතුළේ වෙලා තියෙන දේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාට පාලනයක් නෑනේ. නියෝජ්‍ය කතානායක තෝරන වෙලාවේදී රනිල් වික්‍රමසිංහ මහත්මයාට අවශ්‍ය වුණා ඒකට කාන්තාවක් පත්කරන්න. ඒ සම්බන්ධයෙන් අපිත් එක්ක පණිවිඩ හුවමාරුවකුත් වුණා. අපි රෝහිණී විජේරත්න මහත්මියව යෝජනා කළා. නමුත් පොහොට්ටුව බැසිල් රාජපක්ෂගේ වුවමනාවට එහෙනුත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කළා. ඒ වගේම දැන් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනත් තියෙනවා. පොහොට්ටු පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් කියනවා ‘අපි 21 ට ඡන්දෙ දෙන්නේ නෑ’ කියලා. තවත් අයත් කියලා තිබුණා. ඊයේ පෙරේදා ජනාධිපතිවරයා මහ බැංකු අධිපති කැඳවලා කියනවා ‘මම මහ බැංකුවට දේශපාලන ඇඟිලි ගැසීම් කරන්න දෙන්නේ නැහැ’ කියලා. කවුද මේ දේශපාලන ඇඟිලි ගැසීම් කරන්නේ. විපක්ෂයේ ඉන්න අපිද? මුදල් ඇමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඉතින් ඔහොම කොහොමද යන්නේ. එක පැත්තකින් රනිල් වික්‍රමසිංහ මහත්මයට අගමැතිකම දෙනවා. අනික් පැත්තෙන් අදිසි හස්තයක් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා තමයි සජිත් ප්‍රේමදාස අපේ නායකතුමා පැහැදිළිවම කිව්වේ ‘විධායක ජනාධිපති අයින්වෙන්න. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියලා.   


ප්‍රශ්නය:- ගෝඨාභය රාජපක්ෂ මේ මොහොතේදී ඉල්ලා අස්වුණොත් බැසිල් රාජපක්ෂ ජනාධිපතිවීමේ අනතුරක් තියෙන බව ආණ්ඩුවෙන් ස්වාධීන වෙච්ච මන්ත්‍රීවරුන් කියනවා?   


පිළිතුර:- කොහොමද බැසිල් රාජපක්ෂ ජනාධිපති වෙනවා කියලා කියන්නේ?   


ප්‍රශ්නය:-පොහොට්ටුවේ බහුතර බලය බැසිල් රාජපක්ෂට තියෙන බව තමයි කියන්නේ?   


පිළිතුර:- නෑ.... දැන් පොහොට්ටුවට බහුතර බලය නෑ. හතළිස් ගණනක් ආණ්ඩුවේ ඉඳලා විපක්ෂයට ආවනේ. ඒ හතළිස් ගානත් එක්ක තවත් කොටසක් එන්න හිටියා. ආණ්ඩුවට තිබුණ බහුතරය නැති වුණා. ඉතින්​ කොහොමද එයා ජනාධිපති වෙන්නේ. ඒ වගේම තමයි පාර්ලිමේන්තුවේ බහුතර බලය කොහොමත් නෑ. මේ තියෙන ව්‍යූහය ඇතුළේ අපි ආණ්ඩු බලය ගත්තත් වැඩක් කරන්න බෑ. ඒකයි අපි කියන්නේ ජනාධිපතිවරයා ඉවත් විය යුතුයි කියලා.   


ප්‍රශ්නය:-මේ මොහොතේ ඉස්සරහට ගත යුත්තේ දේශපාලන ප්‍රතිසංස්කරණද? ආර්ථික ප්‍රතිසංස්කරණද?   


පිළිතුර:- රටේ දේශපාලන ස්ථාවාර භාවයක් තිබිය යුතුයි. ප්‍රධානම දේ තමයි ආර්ථික ප්‍රතිසංස්කරණ. ඒ සමගම දේශපාලන ප්‍රතිසංස්කරණත් විය යුතුයි.   


ප්‍රශ්නය:-නමුත් ආණ්ඩුවෙත් විපක්ෂයෙත් අවධානය දේශපාලන ප්‍රතිසංස්කරණවලට. මම මෙහෙම අහන්නේ ගෝඨාභය රාජපක්ෂ අයින් වුණාම රටට ඩොලර් ලැබෙනවද?  


පිළිතුර:- ඔබ කියනවා වගේම ජනතාවගේ ගැටලු මූලික වශයෙන් විසඳන්න ඕනැ. ජනතාවට කන්න බොන්න දෙන්න ඕනැ. ඒකට දියුණු වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න නිවැරැදි යාන්ත්‍රණයක් අවශ්‍යයි. ජනතාවගේ විශ්වාසය නොලබන කිසිම වැඩපිළිවෙළක් මේ මොහොතේ සාර්ථක වෙන්නේ නෑ. අපි කියන්නේ ඒ ගැනයි.

  
ප්‍රශ්නය:- නමුත් කිසිම දේශපාලන පක්ෂයක් ඒ ගැන කතා කරන බවක් පේන්නේ නෑ. ආණ්ඩුව එක එක ඒවා කියනවා? විපක්ෂය ආණ්ඩුව විවේචනය කරනවා? එච්චරයි.  


පිළිතුර:- ජනතාවට යහපත් හොඳ කිසිම දෙයකට අපි විරුද්ධ වෙලා නෑ. විරුද්ධ වෙන්නෙත් නෑ. අපි බලමු. 21 වැනි සංශෝධනයත් හොඳට කරමු. අපට එතැනදී තියෙන්නේ ඡන්දෙ දෙන එක විතරනේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. රට හදන්න ජනාධිපතිකම ඕනැ කිව්වා. ඒක දුන්නා. තුනෙන් දෙකක බලයක් ඕනැ කිව්වා. ඒකත් දුන්නා. ඉතින් අපි 21 ත් දීලා බලමු. 19 අහෝසි කළේ අපි නොවෙයිනේ. දැන් ඒ ගොල්ලොම 21 ගෙනල්ලා තියෙනවනේ.  


ප්‍රශ්නය:- ඔබ දැන් ඔහොම කිව්වට 21 ට සහාය දෙන්න ඔබ කොන්දේසි පහක් අගමැති රනිල් වික්‍රමසිංහට ලිඛිතව දැනුම් දුන්නා. 

 
පිළිතුර:- ඔව්. එක කොන්දේසියක් තමයි. 19 වැනි සංශෝධනයෙ පැහැදිලිවම තිබුණා ජනාධිපතිවරයට ඇමැති ධුර දරන්න බෑ කියලා. ඒක 21 ටත් ඕනෑ. ඒ වගේම දෙවැනි කොන්දේසිය හැටියට අපි ඉදිරිපත් කළා. මහ බැංකුවේ අධිපතිවරයාට අමතරව මූල්‍ය මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන් පත් කිරීමේදී ඒකට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය අවශ්‍යයි කියලා. එතකොට හෙංචයියන්ට එන්න බැරි වෙනවා. ඊළඟට සංවර්ධන ව්‍යාපෘති ඇගැයීමට ප්‍රමුඛතාව දීමේදී ජාතික ඇගයීම් කොමිසම් සභාවක් පත්කරන්න කියලා. එතකොට ප්‍රතිලාභ නැති ව්‍යාපෘති කරන්න ලැබෙන්නේ නෑ. මත්තල ගුවන් තොටුපළ ගන්න. හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, සූරියවැව ක්‍රීඩාංගණය. මේ විදියට කිසිම ඵලදායිතාවක් නැති ඒවා රටට බරක්. ඇගයීම් කොමිෂන් සභාවක් පත් කළාම ඒවා කරන්න බෑ. හතරවැනි කාරණය තමයි ජනාධිපතිවරයා අගමැතිවරයා සහ මන්ත්‍රීවරුන්, රජයේ නිලධාරීන් සියලු දෙනාම වත්කම් බැරකම් ප්‍රකාශ නිකුත් කිරීම අනිවාර්ය සහ එයට අසත්‍ය කරුණු ඉදිරිපත් කළොත් ඒ සඳහා දඬුවම් පැමිණවීමේ නීති සම්පාදනය කරන්න ඕනැ. ඒ වගේම පස්වැනි කාරණය තමයි සොරාගත් සියලු ධනය රජය සතු කර ගැනීම සඳහා ජාත්‍යන්තර සම්මුති අනුගමනය කරමින් අප රට තුළත් අවශ්‍ය ප්‍රතිපාදන සකස් කිරීම. පිටරට තියෙන සල්ලි නැවත ගෙන ඒමේ ජාත්‍යන්තර සම්මුති තියෙනවා. ලංකාව තුළ ඒවා තවත් ශක්තිමත් කළ යුතුයි.  


ප්‍රශ්නය:- යහපාලන ආණ්ඩුව තිබුණනේ. ඔබලාට හොරු අල්ලන්න තිබුණනේ?  


පිළිතුර:- ඒකේ වෙච්ච දේවල් කොච්චර තියෙනවද? අන්තිම කාලයේ තමයි විශේෂ අධිකරණ පිහිටෙව්වේ. ආණ්ඩුව ඇතුළේ යම් යම් කාරණා තිබුණා. අධිකරණ ඇමැති වෙලා හිටියේ විජයදාස රාජපක්ෂ. එයා ප්‍රසිද්ධියේ කිව්වා ‘රාජපක්ෂවරුන්ට දඬුවම් කරන්න දෙන්නේ නෑ’ කියලා. ඒ වගේම ඩීල් තිබුණා. ඩබල් ගේම් ගහපු අයත් හිටියා.  

 

1977 දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ඇවිත් කීප දෙනෙකුගේ ප්‍රජා අයිතියත් අහෝසි කළා. ඒ නිසාම වෙන්නැති ‘ඩීල් පොලිටික්ස්’ ආවේ. ගජමිතුරු දේශපාලනය ආවේ. අපි ​දේශපාලනයක් කරනවා නම් බොහොම පිරිසිදු දේශපාලනයක් කරන්න ඕනැ. එහෙම නැති නිසා තමයි මේ නායකයන් ජනතාව ප්‍රතික්ෂේප කළේ.


ප්‍රශ්නය:-ඔබ සහතික කරලා කියනවද රාජපක්ෂවරුන්ගේ සල්ලි පිටරට තියෙනවා කියලා?  


පිළිතුර:- මේ ඊයේ පෙරේදත් වාර්තා වුණානේ සල්ලි තියෙනවා කියලා. මේවා කාගෙ සල්ලිද කියලා මුළු රටම දන්නවනේ.  


ප්‍රශ්නය:-මිනිස්සු නම් කියන්නේ 225 ම එපා කියලයි. දේශපාලනඥයන්ගේ වගකීම් විරහිත ක්‍රියාකලාප මේවාට බලපෑවා?  


පිළිතුර:- අපට යම් තරමකට ඔබ කියන දේ පිළිගන්න වෙනවා. වඩාත් යහපත් දේවල් කරපු අවස්ථා තියෙනවා. 1977 දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ඇවිත් කීප දෙනෙකුගේ ප්‍රජා අයිතියත් අහෝසි කළා. ඒ නිසාම වෙන්නැති ‘ඩීල් පොලිටික්ස්’ ආවේ. ගජමිතුරු දේශපාලනය ආවේ. අපි ​දේශපාලනයක් කරනවා නම් බොහොම පිරිසිදු දේශපාලනයක් කරන්න ඕනැ. එහෙම නැති නිසා තමයි මේ නායකයන් ජනතාව ප්‍රතික්ෂේප කළේ. අපි ළඟ බොහොම පිරිසිදු වැඩ කරන්න පුළුවන් හොඳම කණ්ඩායම ඉන්නේ. පක්ෂයේ මහ ලේකම්වරයා හැටියට මම මේ වෙලාවේ කියනවා අපේ ආණ්ඩුවක් යටතේ හොරාකාපු සියලු මුදල් ගේනවා කියලා.  


ප්‍රශ්නය:- මේ අභියෝගාත්මක මොහොතේ අගමැතිකම බාරගන්න රනිල් වික්‍රමසිංහ නිර්භීත වුණා. ඔබ එහෙම හිතනවද?  


පිළිතුර:- මට පේන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඕනෑකමක් තිබුණා නම් සජිත් ප්‍රේමදාස මහත්තයාට අගමැතිකම භාර දෙනවා. අපි මේ ප්‍රශ්නෙදි ධනාත්මක විදියට කටයුතු කළා. මට මතකයි රනිල් වික්‍රමසිංහ මහත්මයා පත් කරන්න කලින් දවසේ සජිත් ප්‍රේමදාස මහත්තයා කිව්වා ‘මං සූදානම්’ කියලා. මම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා කිව්වා ‘අපි සූදානම්’ කියලා. මැයි 9 වැනිදා අපි එතුමාගේ නිල නිවාසයට ගිහින් අගමැතිකම බාරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කළා. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙන් පළවුණේ මන්දගාමී ස්වභාවයක්. උනන්දුවක් තිබුණෙම නෑ. එතුමාට හිතෙන්න ඇති කොන්දේසි සහිතව එන සජිත් ප්‍රේමදාසට වඩා කොන්දේසි නැතිව එන රනිල් වික්‍රමසිංහට අගමැතිකම දුන්නම මටත් මගේ සහෝදරයන්ටත් ආරක්ෂාවක් ලැබෙයි කියලා.  


ප්‍රශ්නය:-කොහොම වුණත් හරීන් හා මනූෂ රට වෙනුවෙන් පක්ෂය ඇතුළේ දැවැන්ත අරගලයක් කළා කියනවා. දැන් ඔවුන් ඇමැතිවරුන්?  


පිළිතුර:- ඒ දෙන්නා පක්ෂය ඇතුළේ කිසි දෙයක් කළේ නෑ. පක්ෂය තීන්දු කළා පක්ෂයෙන් කවුරුවත් යන්නේ නෑ කියලා. අපේ කොන්දේසි ජනාධිපතිවරයා බාර ගන්නවා නම් විතරක් යනවා කියලයි පක්ෂය තීරණය කළේ. ඒකට පිටුපාලා තමයි ඒ දෙන්නා ගියේ. අපේ දේශපාලන ඉතිහාසයේ මන්ත්‍රීවරුන් පක්ෂ මාරු කරලා තියෙනවා. හැබැයි මෙතැන ගිහින් තියෙන්නේ දෙන්නයි. කඩා වැටෙන පවුල් පාලනයක් රැකගන්න මේ දෙන්න පක්ෂය පාවා දුන්නා.  


ප්‍රශ්නය:-සජබයෙන් තව කවුද යන්න ඉන්නේ?  


පිළිතුර:- කිසි කෙනෙක් නෑ. ගිය දෙන්නටත් දැන් තේරිලා ඇති ගත්ත වැරැදි තීන්දුවේ බරපතළකම. ඒ දෙන්නට ලැබෙන ජනතා ප්‍රතිචාර සමාජ මාධ්‍ය ප්‍රතිචාර බැලුවම මම හිතන්නේ නෑ කවුරුවත් යන්න හිත හදාගනී කියලා.  


ප්‍රශ්නය:-ආචාර්ය හර්ෂ ද සිල්වා?  


පිළිතුර:- එතුමා කතා කළේ පක්ෂයක් හැටියට තීන්දුවක් ගත යුතුයි කියලයි. එතුමා පක්ෂයේ භාණ්ඩාගාරික. හරීන්ල, මනූෂලා වගේ ආවේගයෙන් තීරණ ගන්න කෙනෙක් නොවෙයි එතුමා.  


ප්‍රශ්නය:- ‘මම කියන දේ පක්ෂ නායකයන්ට තේරෙන්නේ නැත්තේ ඇයි දෙයියනේ’ කියලා ආචාර්ය හර්ෂ ඇහුවා?  


පිළිතුර:- එතුමා පක්ෂය ඇතුළේ කතා කළා. මං හිතන්නේ එතුමා එහෙම කියන්න ඇත්තේ පක්ෂ නායකයාට නොවෙයි. රටේ අනික් නායකයන්ට වෙන්නැති. එතුමා කිව්වනේ ‘අයි.එම්.එෆ් යන්න රුපියල හිර කරගෙන ඉන්න එපා.’ කියලා. ඒවා ඇහුවේ නෑනේ. ඒ නිසා ඒ ගැන වෙන්නැති කියන්න ඇත්තේ.  


ප්‍රශ්නය:- ආචාර්ය හර්ෂ පෙනී සිටින්නේ ජාතික එකඟතා ආණ්ඩුවක් වෙනුවෙන්?  


පිළිතුර:- එතුමා ඉන්න ස්ථාවරය හරියටම හරි. අපි කියන්නෙත් එහෙම ආණ්ඩුවක් ගැන තමයි. මේ රටේ මහා සංඝරත්නය ඇතුළු සියලු දෙනාම ඉල්ලන්නේ එහෙම ආණ්ඩුවක්. හැබැයි මේ ගොල්ලෝ හැදුවේ ගජමිතුරු ආණ්ඩුවක්. රනිල් මහත්තයා හැරුණු විට කවුද ඉන්න අලුත් අය? කිසි කෙනෙක් නෑනේ. පරණ අයමනේ. පරණ වයින් අලුත් බෝතලයකට දාලා තියෙනවා. එහෙමනේ. හර්ෂ ද සිල්වා මහත්තයා පෙනී ඉන්නේ සර්ව පාක්ෂික එකඟතා ආණ්ඩුවක් වෙනුවෙන්. අපි කියන්නෙත් එහෙම ආණ්ඩුවක් තමයි අවශ්‍ය කියලයි.  


ප්‍රශ්නය:- සර්ව පාක්ෂික ආණ්ඩුවකට ඉඩක් මේ මොහොතේ තියෙනවද?  


පිළිතුර:- සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්න ජනාධිපතිවරයා යෝජනා කරනව නම් අවශ්‍ය සහයෝගය දෙන්න අපි සූදානම්.  

 

 

 සාකච්ඡා කළේ  
 ප්‍රසන්න සංජීව 
තෙන්නකෝන්