ඡන්ද සහ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා දැන් නාහෙන් අඬලා වැඩක් නැහැ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී


ජෝන්ස්ටන් ප්‍රනාන්දු

 

රටේ අලුත් දේශපාලන තත්ත්වය පිළිබඳවත් අනාගත දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳවත් විමසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමග කළ සාකච්ඡාවකි.


?දැන් මොකද රටේ වෙන්නේ ?


පිළිතුර:- දැන් රටේ තත්ත්වය ඉතාමත්ම හොඳයි. ව්‍යාකූල බවක් තිබුණාට හරි පීල්ලට රට වැටිලා තියෙනවා. විශේෂයෙන්ම ප්‍රබලම පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. ගිය අවුරුද්දෙ හිටියට වඩා ඉතාම ශක්තිමත් තැනක අපි ඉන්නවා. ඕනෑම මැතිවරණයකට මුහුණ දෙන්න පුළුවන් මට්ටම අපි පක්ෂය ශක්තිමත් කරලා තියෙනවා. ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කිරීමේ අපේක්ෂාවෙන් තමයි අපි ඉන්නේ.


?හැට නව ලක්ෂයක ජනවරමක් හිමි වෙච්ච පක්ෂයට අන්තිමට හැංගෙන්න තැන් හොයා ගන්න වුණා ?


පිළිතුර:- ඒක විශාල කුමන්ත්‍රණයක්. ඒක දැන් ඉතාම පැහැදිලියි. ඒ නිසා තමයි අපි කිසියම් පසු බෑමකට ලක් වුණේ.


?ඔබ එහෙම කිව්වත් ජන හඬට කන් නොදී උද්ධච්ච විදියට කටයුතු කළ නිසා ජන ආවේගය ඇවිළුණා.


පිළිතුර:- ඔව් සමහර තීන්දු තීරණ ජනතාවගේ පැත්තෙන් හිතලා ගත්තේ නෑ කියලා මම හිතනවා. විශේෂයෙන්ම ගොවියා සහ රාජපක්ෂ කියන්නේ ගහට පොත්ත වගෙයි. නමුත් පොහොර සම්බන්ධයෙන් ගත්ත තීරණය ඔව්! ඒක හොඳ තීරණයක්. හැබැයි ඒක ක්‍රියාත්මක කරන්න ගිය විදිය වැරදියි. එතනින් තමයි ඒක ආරම්භ වුණේ. ඒ වගේම ආර්ථික වශයෙන් බලද්දී මුළු ලෝකයටම ඒ ආර්ථික අර්බුදය බලපෑවා. අදටත් කොවිඩ් වසංගතය නිසා අර්බුදයට ගිය රටවල් තියෙනවා. ඇමෙරි කාව වගේ රටවල් පවා මේ අර්බුදයට ගොදුරු වුණා. රුසියානු හා යුක්රේන යුද්ධයට ගොදුරු වුණා. රුසියානු හා යුක්රේන යුද්ධයත් මේ අර්බුදයට හේතු වුණා. ඉතින් අපේ වගේ පොඩි රටකට මේ  ව්‍යසන දෙකම ඔරොත්තු  දෙන්නේ නෑ. ඒ නිසා තමයි මේ තත්ත්වය රටට උරුම වුණේ.


?මැයි 9 රාත්‍රියේ ඇතිවුණ ප්‍රචණ්ඩත්වයෙන් වැඩිම දේපොළ හානි වුණේ ඔබට. ඇමැතිකමත් ගහල ගියා. මොකද හිතෙන්නේ?


පිළිතුර:- ඔය  හැම දෙයකම අත්දැකීම් පළපුරුද්දක් ලබන්න එපැයි. අපි ජීවත් වෙනවනේ. ජීවිතය තමයි වටිනාම ​දේ ඒ නිසා ඔය ඔබ කියන දේවල් මට ප්‍රශ්නයක් නොවෙයි. මම ශක්තිමත්ව මුහුණ දෙනවා. මේ අරගලයට එකතු වුණු පිරිස් පසුව ඇවිත් එකතු වුණත් මේක ආරම්භ කරපු විවිධ කොටස් ඉන්නවා. ඒ ගැන කතා කරන්න මේක වෙලාව නොවෙයි. වෙලාව  ආවම මම සියල්ල හෙළි කරන්නම්. ඇත්තටම ඒවා රාජ්‍ය රහස්. ඒවා ඔක්කොම හෙළි කරන්නම්.


?ගාලු මුවදොරට ප්‍රහාරයක් එල්ල නොකළනම් එදා රෑ ප්‍රචණ්ඩ ප්‍රති ප්‍රහාරයක් එල්ල වෙන්නේ නෑ?


පිළිතුර:- ගාලු මුවදොර ප්‍රහාරය අපි කවුරුවත් අනුමත කරන්නේ නෑ. හැබැයි ඒක ඉතාමත්ම සැලසුම් සහගතව කරපු එකක්. ගාලු මුවදොර පහර දුන්නා. නැහැ  කියලා නොවෙයි ඉතාම සැලසුම් සහගතව  මන්ත්‍රීවරුන් ඝාතනය කරන්න කරපු සැලසුමක්. ගෙවල් දොරවල් පිච්චීමෙන් අවසන් වුණා. එදාම නොවුණත් මේක ඊට පහුවදා හරි සිද්ධ වීමට තිබුණ දෙයක්. මන්ත්‍රීවරු සියයක් විතර ඝාතනය කරලා රටේ බලය අල්ලන්න කණ්ඩායමක් හිටියා.


?ඔබ කියන්නේ බරපතළ  කාරණාවක්?


පිළිතුර:- බරපතළ වගේම ඒකාන්ත සත්‍ය කාරණාවක්. ඒක ටිකක් ඉක්මන් වුණා ඒක විතරයි වුණේ. එහෙම ඉක්මන් වීමෙන් අර අමරකීර්ති අතුකෝරාල මන්ත්‍රීතුමා ඝාතනය වුණා.. එහෙම නැත්නම් ඔවුන් සැලසුම් කරල තිබුණේ මන්ත්‍රීවරු සියයක් විතර මරලා දාන්නයි. ඒක තමයි ඇත්ත. ඒක කාටවත් නෑ කියන්න බෑ. ඕනෑම කෙනෙකුට තේරෙනවා මේක ඉතාම සංවිධානාත්මකව කරපු දෙයක් කියලා. හෙල්මට් දාගෙන මුහුණ වහගෙන  තෙල් ටැංකි පිටවල්වල හයි කරගෙන තමයි ගෙවල් පුච්චන්න ආවේ. ඉතාම හදිසියේ ආව ආවේගයට කරපු දෙයක් නොවෙයි. සැලසුම් සහගතව කරපු දෙයක්. ඒවා ගැන දන්නේ නැතිව සාමාන්‍ය මිනිසුන් ගියා. ඒ සාමාන්‍ය මිනිසුන්ට මුවා වෙච්ච පිරිසක් හිටියා. ඒ වගේම ඔවුන්ට ඒක කරන්නත් ඉඩ දුන්නා. දවසක් යනකම් නීතිය ක්‍රියාත්මක වුණේ. ජනාධිපතිවරයත් නීතිය ක්‍රියාත්මක කළේ නෑ ඒක තමයි ඇත්තම තත්ත්වය.


?පොහොට්ටුවේ ඡන්දයෙන් ජනාධිපති වෙච්ච රනිල් වික්‍රමසිංහ පොහොට්ටුව රවටමින් ඉන්නවා?


පිළිතුර:- කවුරු හරි කාව හරි රැවටුවොත් ඔහුට රැවටෙනවා මිසක් වෙන දෙයක් වෙන්නේ නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයා පොහොට්ටුව රවටනවා කියලා මටනම් තාම දැනිලා නෑ. අරගලය ඉල්ලපු ජනාධිපතිවරයා පත් කළේ. ඒ නිසා කට කතා ගියාට... මමත් දේශපාලනය හොඳට දන්න කෙනෙක්. මටනම් එහෙම රැවටීමක් දැනිලා නෑ. කවුරුහරි රවටන්න ආවොත් ඔහු රැවටෙනවා මිසක් පක්ෂය රැවටෙන්නේ නෑ.


?පොහොට්ටුවට දෙනවා කියපු ඇමැතිකම් තාම දුන්නේ නෑ. ඔබ ඇතුළු පොහොට්ටුවේ ප්‍රබලයන් ඉන්නේ අසහනයෙන්.


පිළිතුර:- මටනම් කිසිම  අසහනයක් නෑ. පොහොට්ටුවට ඇමැතිකම් ලැබෙනවද? නැද්ද? කියන එක නොවෙයි අපට තියෙන ප්‍රශ්නය. අපට තියෙන්නේ  රටේ ආර්ථිකය හදන්නේ කොහොමද කියන ප්‍රශ්නයි. ඇමැති තනතුරු නොවෙයි රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ආර්ථිකය දියුණු වෙනවද?, බඩු මිල අඩු වෙනවද? කියලයි.


?නමුත් පොහොට්ටුවේ කීප දෙනෙකුට ඇමැතිධුර ලැබුණා.


පිළිතුර:- හැබැයි ඒ ගෝඨාභය ජනාධිපතිතුමා දුන්න ඇමැති ධුරනේ.


?ඔබට ඇමැතිකම දුන්නේ ජනාධිපති ගෝඨාභය නේද?


පිළිතුර:- මට දුන්නේ නෑ.


?ඔබනේ  මහා මාර්ග ඇමැති?


පිළිතුර:-  ඒ මුලින්ම නේ. ඊට පස්සේ අපිට ඇමැතිකම්වලින් අයින් වෙන්න කිව්වනේ. සියලුම දෙනා අස්වුණානේ. ඊට පස්සේ තව කීප දෙනෙක් පත් කළානේ. නැත්නම් පාර්ලිමේන්තුව රැස්කරන්න බැහැනේ. එහෙම පත් කරපු  ඇමැතිවරුන්ට අමතරව තවත් කීප දෙනෙකු සමග හදපු කැබිනට් එකක්නේ දැන් තියෙන්නේ.


?පොහොට්ටුවෙන් ඇමැතිධුර ගත්ත අය දැන් වඩාත් සමීප පොහොට්ටුව නොවෙයි. ජනාධිපතිවරයාට.


පිළිතුර:- ජනාධිපතිවරයට සමීප වෙන්නේ නැතිව ඇමැතිකම් කරන්න බැහැනේ. එහෙම සමීප නොවී කොහොම ද කැබිනට් එකේ එකට වාඩි වෙන්නේ. ජනාධිපතිවරයා පත් කළෙත් පොහොට්ටුවනේ. ඒ නිසා එහෙම සමීප වීමේ වරදක් මම දකින්නේ නෑ.


?ඒ සමහර අය පොහොට්ටුවේ දේශපාලන කටයුතුවලට එන්නෙත් නෑ.


පිළිතුර:- හුගාක් අය මම දැනුවත්ව සම්බන්ධ වෙනවා. ඉදිරියේ දී ආපහු පාර්ලිමේන්තුවට එන්න හිතන සියලු දෙනා  අපේ පක්ෂයත් සමග බොහොම කැපවීමෙන් කටයුතු කරනවා. පාර්ලිමේන්තුවට  නැවත එන්න හිතන අය එහෙම කරයි. එහෙම නැති අය වෙන වෙන පාරවල්වල යයි.


?ඔබ හිතන විදියට ඊළඟට එන මැතිවණය මොකක්ද?


පිළිතුර:- ජනාධිපතිවරණය එයි කියලා තමයි හිතෙන්නෙ. තව අවුරුද්දකුත් මාසයක්  යන්න කලින් ජනාධිපතිවරණය පවත්වන්න තියෙනවා. සියලු දෙනා බලාපොරොත්තු වෙන්නේ ජනාධිපතිවරණය තමයි. අනික් මැතිවරණ පැවැත්වෙයි කියලා හිතන්න බෑ.


?මැතිවරණ කල් දාලා මැතිවරණ සිතියම අකුළලා යන ගමන ප්‍රජාතන්ත්‍ර විරෝධියි?


පිළිතුර:- ප්‍රජාතන්ත්‍රවාදී විදියට නොවෙයිනේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පන්නලා දැම්මේ. ඉතින් දැන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරලා වැඩක් තියෙනවද? ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත්වෙච්ච ජනාධිපතිවරයෙක් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස එළෙව්වට පස්සේ මං හිතන්නේ නෑ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරලා වැඩක් තියෙනවා කියලා. මේක තමයි ජනතාව බලාපොරොත්තු වුණේ. ජනතාව බලාපොරොත්තු වුණේ ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයි. ජනතාව බලාපොරොත්තු වුණේ නීතිය අතට  අරගෙන කැලෑ නීතිය ක්‍රියාත්මක කරන්නයි. ප්‍රජාතන්ත්‍රවාදී විදියට කිසි දෙයක් වුණේ නැහැනේ. දැන් ඡන්දය ඕනෑ ප්‍රජාතන්ත්‍රවාදය ඕනෑ කියලා හොටු පෙරාගෙන අඬලා වැඩක් නෑ. ජනතාවම නේ පාරට බැහැලා අරගල කළේ. ප්‍රජාතන්ත්‍රවාදය එපා කියලනේ කිව්වේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාරේ ඇදගෙන ගිහින් ගහල මරලා දැම්මේ. දැන් කියනවානම් ඡන්ද ඕනෑ ප්‍රජාතන්ත්‍රවාදය ඕනෑ කියලා එහෙමනම් එදත් එහෙම හිතන්න තිබුණා. ඡන්දය තියන්න බෑ කියද්දී කොවිඩ් එක වෙලාවේ අපි ඡන්දය තිබ්බා. ඒ ගැන පොඩ්ඩක් හිතන්න ඕනෑ. අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන අය. ඉතින් මේවා ජනතාව ඉල්ලපු දේවල් දැන් අඬලා වැඩක් නෑ.


?ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ අපේක්ෂකයා කවුද?


පිළිතුර:- වඩාත් සුදුසුම අපේක්ෂකයා අපි ඉදිරිපත් කරනවා. ඒ වෙලාවේ ගහන සන්ධාන මොකක්ද? පක්ෂ කීයක් අපිත් එක්ක එකතු වෙනවද? ඒ පක්ෂ වඩාත් කැමති කාටද? ඒවා ගැන හිතන්න එපැයි. ඒ නිසා දැන්ම ඒ ගැන කතා කරන්න බෑ.


?පොහොට්ටුවේ ඇමැතිවරුන් කියනවා අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ කියලා.  ඔබත් එහෙම හිතනව ද?


පිළිතුර:- වෙන්න පුළුවන්. කොහොම වුණත් ඒක එදාට තමයි තීරණය කරන්න වෙන්නෙ


?ඔබේ තීරණය?


පිළිතුර:- මම ගන්නේ පක්ෂ ගන්න තීරණයනේ.

 

 

සාකච්ඡා කළේ
■ ප්‍රසන්න සංජීව තෙන්නකෝන්