ඡන්ද නොතිබ්බොත් අපි ප්‍රජාතාන්ත්‍රික රටක් නොවෙයි


මැතිවරණ කොමිසමේ හිටපු සභාපති, 
සීමා නීර්ණ කොමිසමේ සභාපති 

මහින්ද දේශප්‍රිය

 

පළාත් පාලන ඡන්ද විමසීම් කල්දැමීම, සීමා නිර්ණය කොමිෂන් සභා වාර්තාව හා ජනමත විචාරණයක් පිළිබඳ රටේ පවතින කථාබහ පිළිබඳ මැතිවරණ කොමිසමේ හිටපු සභාපති හා සීමා නිර්ණය පිළිබඳ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමග ඉරිදා ලංකාදීපය කළ සාකච්ඡාවක් ඇසුරින් සකස් කෙරිණ.


?පළාත් පාලන ඡන්ද විමසීම කල්ගිහින්. තවදුරටත් මෙය කල් යයි ද?


පළාත් පාලන ඡන්ද විමසීම කල්ගියේ මුදල් නැහැ කියන ප්‍රශ්නය උඩනේ. ඉතිං සමහර විට මුදල් ලැබෙනකම්  මේවා කල් තියනවා කියන්න පුළුවන්. මම දැන් හිතන්නේ මුදල් අවුලක් නැහැ කියලා.


ඡන්ද විමසීම කල්ගිය එක වැරදියි.  පුළුවන් තරම් ඉක්මනින්  පළාත් පාලන ඡන්ද විමසීම තිබිය යුතුයි. 


?දැන් සල්ලි තියනවා නම් ඇයි ඉතිං ඡන්ද තියන්නේ නැත්තේ?


මුදල් අමාරුවක් තියන බව මහ බැංකුවේ අධිපතිතුමා කියනවා පේන්නේ නැහැනේ.


?පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීම නිසා ඊට ඉදිරිපත් වූ රජයේ සේවකයන්ට අසාධාරණයක් සිදු වුණාද?


ඡන්ද විමසීමට ඉදිරිපත් වෙච්ච රජයේ සේවකයන්ට සිදුවූ අවාසිය, අයුක්තිය නැති කරන්න තිබූ හොඳම දේ තමයි මේක කල් යන වේලාවේදීම පොඩි සරල සංශෝධන පනතක් ගෙනැත් නාමයෝජනා පත්‍රයෙන් නම ඉල්ලා අස්කර ගැනීමට රජයේ සේවකයන්ට අවස්ථාවක් ලබාදීම. එහෙම දුන්නා නම් ඔය ප්‍රශ්න එන්නේ නැහැ.


ගත්තු නාමයෝජනා අවලංගු කිරීමේ ප්‍රතිපාදන පාර්ලිමේන්තුවට පුළුවන්. 1990 හෝ 1991 අවලංගු කළා 1987 දී පළාත් පාලනයට ගත්තු නාමයෝජනා. පාර්ලිමේන්තු පනතකින් ගත්තු නාමයෝජනා අවලංගු කරනවා නම් එතනදි අනිවාර්යයෙන්ම මේ ඡන්දය කියන්නේ කවදාද ආපහු නාම යෝජනා ගන්නේ කවදාද මොන ක්‍රමයකටද කියන එක පැහැදිලි විය යුතුයි. නැත්නම් එම පනත අධිකරණයේදී අභියෝගයට ලක්කරන්න පුරවැසි අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් පියවර ගනිවී.


?පළාත් සභා ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ නේද. මේත් ජනතා අයිතිය යටපත් කිරීමක් නේද?


2017 සිට සමහර පළාත් සභා ක්‍රියාත්මක වන්නේ නැහැ. පළාත් සභා පාලනය වන්නේ නිලධාරීන්, ප්‍රධාන ලේකම් හා ලේකම්වරු පස්දෙනෙකු හා ආණ්ඩුකාරවරුන් නව දෙනෙකු මගින්. මහජන නියෝජිතයන් හාරපන්සියක් වගේ කරන්න තිබූ තැනක්. මෙය සම්පූර්ණයෙන්ම ජනතා අයිතිය යටපත් කිරීමක්.


ඒ නිසා පළාත් සභා ඡන්ද අනිවාර්යයෙන්ම පැවැත්විය යුතුයි. මේවා නිලධාරි පාලනයේම තිබීම සුදුසු නැහැ. මේ සම්බන්ධයෙන් ප්‍රකට නඩු තීන්දුවක් තිබෙනවා. නිලධාරි පාලනය කොපමණ හොඳට කළත් ජනතාවට වග කියන්නේ නැහැනේ.


අඩුම ගානේ සැප්තැම්බර් 15 දිනට යෙදෙන ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනයට කලින් මේ ඡන්ද විමසීම් දෙකෙන් එකක් හරි තැබීම පිළිබඳ නිසි බලධාරීන් විසින් ප්‍රකාශයක් කරාවි කියා විශ්වාස කරනවා.


තව සති දෙකතුනක කාලය ඇතුළත ක්‍රියා කළේ නැත්නම් අපිට සිද්ධ වන්නේ අපේ රටේ නමට ප්‍රජාතාන්ත්‍රික කියන එක තිබුණට එහෙම එකක් නැහැ කියන්නයි.


නිලධාරි පාලනය යටතේ පවතින ඇතැම් පළාත් පාලන ආයතනවලට කසළ බැහැර කරගැනීම වගේ දෙයක්වත් හරියට කරන්න නොහැකි වී තිබෙනවා.


පැහැදිලිව ඔව්. මේක නිසා තමයි 2016 පළාත් පාලන ඡන්ද  විමසීම් කල් තැබීම පිළිබඳ නඩු තීන්දුවකදී ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වේ නිලධාරීන්ගේ පාලනය යටතේ මේවා පවත්වා ගැනීම වැරදියි ඡන්ද විමසීම පැවැත්වීමට රජය පියවර ගන්න ඕනෑ කියලා. වෙනදා හරියට කුණු ඇද්දේ නැත්නම් මැම්බර් මහත්තයාට හරි නෝනාට හරි කියනවා නේ. දැන් කාටද කියන්නේ.


?සීමා නිර්ණය  කොමිසමේ වාර්තාව බාරදුන්නනේ. ඒකට මොකද වුණේ.


අපි පහුගිය ජුනි මුල භාරදෙන්න ඉඳපු වාර්තාව දිනය ලැබුණු පරිදි ගිය ජුනි 11 දා විෂය භාර අමාත්‍යවරයා වන ගරු අග්‍රාමාත්‍යතුමාට බාර දුන්නා.  පනතේ විධිවිධාන අනුව, ඡන්ද විමසීම් ආඥා පනත අනුව ගරු ජනාධිපතිතුමාට පුළුවන් වැඩ දෙකක් කරන්න. එකක් තමයි අග්‍රාමාත්‍යතුමාට නැවත දැන්වීම. අපේ වාර්තාව සම්බන්ධයෙන්  පැමිණිලි හත්සීයක් අටසීයයක් විතර ලැබිල තිබුණා. ඒ ගැන විභාග කරන්න නව කමිටුවක් හරි පරණ කමිටුවට හරි දෙන්න. එහෙම නැත්නම් ගරු ජනාධිපතිතුමාට පුළුවන් මේක ගැසට් කරලා ඊට පස්සේ සමාලෝචන කමිටුවක් පත්කරන්න.


එහෙම නැතිව මේක ළඟ තියාගෙන ඉඳලා ආපහු ඡන්ද විමසීමක් කිට්ටුව සමාලෝචනය කරනවා කියල කිව්වොත් 2011 දී 2016දී 2018 වනතුරු ඇදුණා වගේ ඇදෙන්න  පුළුවන්. 
සීමා නිර්ණය කිරීමට කියලනේ මේ ඡන්ද විමසීම් කල්දැම්මේ. මේ ගැන ඔබලාටත් චෝදනා කරනවා.


අමාත්‍යවරයාට තිබෙන බලතල  යටතේ මොනම හේතුවක් නිසාවත් ඡන්ද විමසීම් කල්දැමීම වැරදියි. ඡන්ද විමසීම කල්දැමීම පළාත් සභාවට බලපා තිබෙනවා. පළාත් සභා කල්තිබ්බේ සීමා නීර්ණය හින්දනේ. ඒකත් දැනට තිබෙන ක්‍රමයට හරි පරණ ක්‍රමයට හරි නැවත  සමාලෝචනයක් කරල තියන්න පුළුවන්. ඒකට පාර්ලිමේන්තු පනතක් ඕනෑ. පාර්ලිමේන්තුවට කරන්න පුළුවන්.


හැමෝම බනිනවා මැතිවරණ කොමිසම මොකුත්  කළේ නැහැ කියලා. අපි ඉන්න කාලේ ලියන්න පුළුවන් තරම් ලිව්වා. ඒ කාලේ ඡන්ද ඕනෑ කියා කෑගහපු කවුරුත් දැන් කථාකරන්නේ නැහැ.


ඡන්ද ක්‍රමය වෙනස් කරල සීමා නිර්ණය කරනවා කිව්වොත් මෙහෙම ප්‍රශ්නයක් මැද පෙරදිග අරාබිකරයේ රටක වෙලා තියනවා. අවුරුදු විසිහතක් තිබුණ පාර්ලිමේන්තුව ඇදගෙන ගියා. නිල කාලය ඉවර වුණාට ඡන්දය තියන්න විදියක් නැහැ. දැන් එතකොට පාර්ලිමේන්තුව විසිරිලා යයි. නමුත් තිබෙන කැබිනෙට්ටුව එක්ක පාර්ලිමේන්තුවත් නැතිව පළාත් සභාව වගේ දුවයි. ඒක වැළැක්වීම සඳහා තමයි අපි දිගින් දිගටම කියන්නේ  වෘත්තීයවේදීන්ගේ සංගමය හැටියට ඡන්ද විමසීම කල් දැමීම සුදුසු කාර්යයක් නෙවෙයි කියා.
ඡන්ද විමසීම් පැවැත්වීම කෙසේ වෙතත් ජනමත විචාරණයක් පැවැත්වීම ගැන රටේ තැනින් තැන කතාබහ ආරංචි පැතිර යනවා.
ජනමත විචාරණයකට යන්න ඕනෑ යම් විශේෂ නීතියකට ජනතාවගේ කැමැත්ත ලබාගන්න. නමුත් ඡන්ද විමසීමක් කල් තියලා නිල කාලය දීර්ඝ කරගන්න ජනමත විචාරණයක් තියනවා නම් ඒක සුදුසු දෙයක් නෙවෙයි. හේතුව මහජන නියෝජිතයන් පත්කරන දේකට ආදේශකයක් නෙවෙයි ජනමත විචාරණය.


දැන් අපි දන්නවා 1982 දී ලංකාවේ ජනමත විචාරණයක් තිබ්බා. ඊළඟට තව ජනමත විචාරණයක් ආවා. ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ කාලයේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුමත කරනවාද නැද්ද කියන එකට කැමැත්ත අකමැත්ත විමසීමට ඒක අවලංගු කළා.


හැබැයි 1982 කළේ 1983 ඡන්ද විමසීම පාර්ලිමේන්තුවෙන්ම නිල කාලය දීර්ඝ කර ශ්‍රේෂ්ඨාධිකරණය බෙදුණු තීන්දුවකින් අනුමත කළා. ජනතාව බහුතරයක් අද හොඳටම දන්නවා. ඉතාම අයුක්ති සහගත දූෂිත ඡන්ද විමසීමක් කියන එකෙන් ලාම්පුව දිනලා නිලකාලය දීර්ඝ වුණා. හිටපු මැතිවරණ කොමසාරිස්වරයකු වූ චන්ද්‍රානන්ද සිල්වා මහත්තයා පැහැදිලිවම කියනවා ඒ ඡන්ද විමසීම තිබුණ හැටි.


කොහොම නමුත් නිල කාලය දීර්ඝ කර ගැනීම සඳහා ආදේශකයක් නෙවෙයි ජනමත විචාරණය. 1983 ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තුවට එන්න හිටි තරුණ කණ්ඩායම්වලට එන්න බැරි වුණා. සමහර විට ඒ අයට කැලෑවදින්න සිදුවුණේ ඒ හේතුවම නොවෙන්න පුළුවන්.


1981 පැවති යාපනයේ සංවර්ධන සභා ඡන්ද විමසීම දූෂිත අයුරින් පැවැත්වූවා. මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් බැහැර වෙනත් අය අල්ලාගෙන මැරයන් දාලා ඡන්දය තිබ්බා.  යාපනේ මධ්‍යස්ථ ජනතාව සටන්කාමී නැත්නම් කොල්ලන්ගේ කණ්ඩායමට එකතු වුණා. 1982 වුණෙත් 1983 වුණෙත් ඒක නිසා ජනමත විචාරණ කියන ඒවා කොයි වෙලාවකවත් ඡන්ද විමසීම්වලට ආදේශකයක් නෙවෙයි. ජනමත විචාරණ  තියන්නේ ජනතාවගේ අදහස් යම් පනතක් කරුණක් කෙටුම්පතක් ගැන ලබාගැනීමටයි. උදාහරණයක් හැටියට කිව්වොත් යාල කැලයට තව කොටසක් එකතු ඕනෑ ද කියන ඒකට ජනතාවගේ කැමැත්ත විමසීම. එහෙම නැත්නම් දේශගුණ විපර්යාස ගතයුතු ක්‍රියාමාර්ග ගැන.


?ඔබ භාරදුන් සීමා නිර්ණය කොමිෂන් වාර්තාව ගැනත් යම් මතවාද ගැටලු තිබෙනවා නේද?


කිසිම දේශපාලන පක්ෂයක් ඒ නිල කාලය තුළ යෝජනා එව්වේ නැහැ. බොහොම සීමිත සංඛ්‍යාවක් යෝජනා එව්වේ. ගැසට් කරන්න කලින් හා ගැසට් කළාට  පස්සේ දේශපාලන පක්ෂවලට පෙන්නුවා. දේශපාලන පක්ෂ එක්ක සාකච්ඡා කළා.  වැඩිදෙනෙක් කියන්නේ අඩුකිරීම්වලට විරුද්ධයි. අපිත් කියනවා හාරදාහ කරපු එක අමාරුයි. අපි පන්දාහට අඩු කරේ. මේක හයදහසක් වත් කළා නම් අවුලක් නැතිව සීමා නීර්ණය කරන්න තිබුණා.


සීමා නිර්ණයේ යම් ප්‍රමාණයක් ගැටලු කියනවා ඇති. හේතු තියනවා. උදාහරණයක් හැටියට අම්බලන්ගොඩ නගර සභාවේ කොට්ඨාස දොළහක් තිබුණා. දැන් කොට්ඨාස හයට කඩලා. ඒක අම්බලන්ගොඩට දැනෙන්නේ නැහැ.  එකම භාෂාවක් කතාකරන එකම ආගමක් අදහන පිරිසක් ඉන්න නිසා. විවිධ ජනකොටස් කණ්ඩායම් ඉන්න තැන්වල අඩුවක් තිබෙනවා. ඒ නිසා මේක හයදහසක් වුණා නම් හොඳයි.


දේශපාලන පක්ෂ ඉල්ලන්නේ පරණ සමානුපාතික ක්‍රමයට යන්න කියා. ඒක තීරණය කරන්න ඕනෑ ආණ්ඩුව. නැතිව සීමා නිර්ණයේ අපිට බැනල වැඩක් නැහැ.  
සීමා නීර්ණයේ වාර්තාව නරක නම් කරන්න තිබෙන්නේ එක්කෝ තියන ක්‍රමයට නාමයෝජනාවලට යන්න. වහාම නැත්නම් පරණ සමානුපාතික ක්‍රමයට යන්න. සීමා නීර්ණය කරලා ඡන්දය තියන්න පන්දාහ හයදාහ කිරීම මහා අමාරුවක් නෙවෙයි. 


දේශපාලන පක්ෂවලටත් වුණේ ඡන්ද කාලේ නිසා ඡන්දයට මහන්සි වුණා. දිව්වා. හිටපු මැම්බර්ලා හිතුවා ඡන්දය තියනවා මේකට අපි පත්වනවා බලපාන්නෙ නැහැ කියලා.
හැබැයි ඡන්දය කල්ගියේ අපේ සීමා නීර්ණය හින්ද නෙවෙයි..  පාර්ලිමේන්තුවට ගේන වෙලාවේදී අවශ්‍ය සංශෝධන සිදුකරන්න ඕනෑ කවදාද නිශ්චිතව ඡන්දය තියන්නේ කියලා.

 

 

සාකච්ඡා කළේ - අම්බලන්ගොඩ 
■ හේමන්ත ද සිල්වා