ගෝඨාභය යටතේ ආණ්ඩුවක් හදන්න අපි කිසිසේත්ම සූදානම් නෑ


සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ ලක්‍ෂ්මන් කිරිඇල්ල

 

  • අයි.එම්.එෆ්. එක දන්සලක් නොවෙයි
  • එකම විසඳුම ගෝඨාභය ඇතුළු සියලු දෙනාම ඉවත් වෙන්න ඕනෑ

 

කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් මේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම අසාර්ථක බව ලෝකය ඉදිරියේ පිළිගෙන ඇතැයි පවසමින් ඉරිදා ලංකාදීපය සමග සංවාදගත වූ සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පළ කළ අදහස් මෙසේය.   

 

රටේ අලුත් දේශපාලන තත්ත්වයක් තියෙන්නේ. මේ දිහා ඔබ බලන්නේ කොහොම ද?   
 
ඉස්සෙල්ලාම තිබුණේ ආර්ථික ප්‍රශ්නයක්නේ. දැන් ආර්ථික ප්‍රශ්නයයි දේශපාලන ප්‍රශ්නයයි දෙකම ඇවිල්ලා. භාණ්ඩාගාරයේ දැන් තියෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ට අඩුවෙන්. අපි යහපාලන රජය බාර දෙනකොට බිලියන 7.5 ක භාණ්ඩාගාරයක් දුන්නේ. ඒ කියන්නේ මිලියන හත්දහස් පන්සීයක්. ඒ මිලියන හත්දහස් ගණන දැන් මිලියන පන්සියයට අඩු කරලා. මේක වැරැදි මූල්‍ය කළමනාකාරීත්වයක්.   
 
අයි.එම්.එෆ්. යන්න තිබුණා කියලා සමහරු කියනවා. නමුත් ඒ කොන්දේසි ඉතාම බරපතළයි කියලා තවත් අය කියනවා. ඔබේ මතය ?   
 
අපි යහපාලන ආණ්ඩුව කාලෙදී හැම අවුරුද්දෙම අපි අපේ ආදායමයි - වියදමයි බලනවා. පඩි ගෙවන්න, ආහාරපාන ගේන්න, ජීවත්වීමට අවශ්‍ය භාණ්ඩ ගෙන්වීමට කොපමණ වියදමක් යනවාද කියලා බලනවා. එහෙම බලලා අඩුවක් තියෙවා නම් ඒ අඩුව පුරවගන්න කළ යුතු දේ, මොකද්ද කියලා බලලා ඒක කරනවා.   
අපේ යහපාලන ආණ්ඩුව කාලේ ඒ අවුරුදු හතරමාරෙදීම අපි ඒක කළා. එතකොට ඒ වියදම් ගොඩට දානවා ගෙවන්න තියෙන ණයක්. ඇමරිකානු ඩොලර් මිලියන 5 ක් හැම අවුරුද්දෙම අපි ණය ගෙවන්න වෙන් කළා. මේගොල්ලො එහෙම උපකල්පනයක් කරලා නෑ, ඉදිරිය කොහොමද කියලා. අපි ඉතිරි කරලා ගිය මිලියන 7500 මේ​ගොල්ලෝ ඇදලා වියදම් කරලා.   
 
ඔය විස්තර ටික ඔබ පාර්ලිමේන්තුවේ කියන්න යද්දි ඔබේම පක්‍ෂයේ හර්ෂ ද සිල්වා කිව්වා ‘‘කියන්න එපා’’ කියලා ?   
 
එයා ඇත්ත ගැන කියන්න එපා කියලයි කිව්වේ. මොකද මිනිස්සු කලබල වෙනවනේ.   
 
අයි.එම්.එෆ්. යන්න ආණ්ඩුව සූදානම්. උත්තරයක් ලැබෙයි ද?   
 
අයි.එම්.එෆ්. එක දන්සලක් නොවෙයිනේ. ඒකට යන්න කලින් අපි ණය අරන් තියෙන රටවල් තියෙනවනේ. ඒ රටවල් එක්ක සාකච්ඡා කරලා. මේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඒ අයගෙන් කැමැත්ත ගන්න ඕනෑ. ඒ රටවල් කැමැත්ත ප්‍රකාශ කළාම තමයි අයි.එම්.එෆ්. යන්න පුළුවන්කම ලැබෙන්නේ. අපිට ණය දීලා තියෙන ඉන්දියාව, චීනය, ජපානය, බංග්ලාදේශය වගේ රටවල් වගේම වාණිජ ණයක් අර​ගෙන තියෙනවනේ. මම දන්න තරමට අපි ණය ගත්ත තැන් පනහකට වැඩියි. ඒ අය ණය ප්‍රතිව්‍යුහගත කරන්න කැමැති වුණොත් විතයි අයි.එම්.එෆ්. එක මැදිහත් වෙන්නේ. අයි.එම්.එෆ්. එකට ණය කාරයන්ට කතා කරන්න බෑ.   
 
මේ මොහොත වනවිට කැබිනට් එක ඉල්ලා අස්වෙලා තියෙන්නේ. ​මොකක්ද ඔබලාගේ ප්‍රතිචාරය ?   
 
අපේ ස්ථාවරය විපක්‍ෂනායකතුමා බොහොම පැහැදිලිව කියලා තියෙනවනේ. ගෝඨාභය රාජපක්‍ෂ කියන්නේ අසාර්ථක ජනාධිපතිවරයෙක්, ඔහු යටතේ ආණ්ඩු හදන්න අපි කිසිසේත්ම සූදානම් නෑ. ඔහු අසාර්ථකයි. අනිත් එක පාර්ලිමේන්තුවේ තිබ්බ බලතල. අගමැතිතුමාට කතානායකතුමාට තිබුණ බලතල 20 වැනි සංශෝධනය යටතේ ජනාධිපතිවරයා එයාගේ අතට ගත්තා. ඇත්ත වශයෙන්ම පොහොට්ටුවේ කැබිනට් එක කියන එකවත් මෙයා ඇහුවේ නැහැනේ. එතකොට අපි කියන ඒවා අහයි ද? පොහොට්ටුවේ ඇමතිවරු අපට කියනවනේ ‘‘මෙයා කිසිම දෙයක් අහන්නේ නෑ. හිතුවක්කාර තීරණ ගන්නේ’’ කියලා.   
 
ජනාධිපතිවරයා සර්ව පාක්‍ෂික සමුළුවක් කැඳෙව්වා. නමුත් ඔබලා ගියේ නෑ. ගියා නම් නේද හොඳ කියලා මම කිව්වොත්?   
 
ඇත්ත වශයෙන්ම දැන් පාර්ලිමේන්තුවට කිසිම බලයක් නෑනේ. ඒ බලතල ඔක්කොම ජනාධිපතිතුමා අතේනේ තියෙන්නේ. කතානායකතුමා දින තුනක විවාදයක් දුන්නා විසඳුම් හොයන්න. මම කතානායකතුමාගෙන් ඇහුවේ ‘‘අපි යෝජනා කිහිපයක් සම්මත කරගත්තා කියමුකෝ. ඒවා එයා ක්‍රියාත්මක කරයි ද’’ කියලා. 
 
නමුත් සර්ව පාක්‍ෂික සමුළුවට ගිහින් ඔබලාගේ යෝජනා ඉදිරිපත් කරන්න තිබුණා ?   
 
අපි විවාදයේ දී ඒ කරුණු ඔක්කෝම කිව්වා. කතානායකතුමා ආහාර අර්බුදයක් ගැන කිව්වා. මම කිව්වා ‘‘මේ ආහාර අර්බුදය හැදුවේ ගෝඨාභය’’ කියලා. මොකද එයාගේ රසායනික පොහොර තහනම නිසයි ආහාර අර්බුදය ඇති වුණේ. එයාගෙ හිතුවක්කාර තීරණ නිසානේ මේ ඔක්කොම. අනිත් එක අපි අයි.එම්.එෆ්. එකට යන්න කිව්වේ අවුරුද්දකට කලින්. එහෙම ගියා නම් මේ තත්ත්වය ඇතිවෙන්නේ නෑ.   
 
ගාලු මුවදොර තරුණ තරුණියෝ සටනක. රට පුරාම ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ. මේවා පිටි පස්සේ ඔබලා ඉන්නවා ?   
 
අනිවාර්යයෙන්ම මම එකක් කියන්නම්. සමගි ජනබලවේගයේ අය නොවෙයි. මේ සටන්වල සියයට හැත්තෑ පහක්ම ඉන්නේ පොහොට්ටුවට ඡන්දය දීපු අය. ඒ ගොල්ලන්ටනේ හිතේ අමැරුව වැඩි. අපිට එහෙම හිතේ අමාරුවක් නෑ. මොකද අපි ​කොහොමටවත් ඡන්දය දුන්නේ නැහැනේ. දුන්න අයට තමයි හිතේ අමාරුව. මම හොඳට බලලා තියෙනවා. විරෝධතාවල ඉන්නේ පොහොට්ටුවට ඡන්දය දුන්න අය.   
 
මැති ඇමැතිවරුන්ගේ ගෙවල්වලට ගහන, ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන පිරිස් ගැන ඔබලා කතා කරන්නෙම නෑ ?   
 
එහෙම කියන්න එපා. මම මගේ පාර්ලිමේන්තු කතාවෙදී කිව්වා ‘‘ප්‍රචණ්ඩත්වයට අපි විරුද්ධයි’’ කියලා. අපි ඒවා අනුමත කරන්නේ නෑ.   
 
කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වෙලා තියෙන මොහොතේ ජනාධිපතිවරයා විපක්‍ෂයට ආරාධනා කළා. ‘‘එන්න රට හදන්න’’ කියලා. නමුත් එයත් ඔබලා ප්‍රතික්ෂේප කළා.
 
ගෝඨාභය රාජපක්‍ෂ අසාර්ථකයිනේ. කැබ්නට් එ්ක අස් වුණෙත් අසාර්ථක නිසානේ. අසාර්ථක නැත්නම් ඒ​ගොල්ලො අස්වෙන්නේ ඇයි? මුළු කැබිනට්ටුවම ඉල්ලා අස්වීමෙන් තමන් අසාර්ථකයි කියන එක මුළු ලෝකයා ඉදිරිපිටම පිළිගත්තනේ’’ දැන් ඒගොල්​ලෝ සාර්ථක ද?   
 
රට වෙනුවෙන් මීට වඩා වගකීමක් විපක්‍ෂයට තියෙනවා කියලා මම කිව්වොත්?  
 
පසුගිය අවුරුදු දෙක තුන තුළ අපි යෝජනා කොච්චරක් ඉදිරිපත් කළාද? 20 වැනි සංශෝධනය ගේනකොට අපි ඒකට විරුද්ධ වුණා. ඒක සම්මත කරන්න එපා කිව්වා. නමුත් ඇහුවේ නෑ. පෝට් සිටි පනත ගෙනාවා. දැන් පෝට් සිටි එකේ කිසිම දෙයක් වෙලා නැහැනේ. ඒකෙ ප්‍රතිඵල එන්න තවත් අවුරුදු 30 ක් යයි. හැබැයි සල්ලි යට කරලා තියෙන්නේ. ඒවා ඔක්කොම ණය හැටියටනේ ගණන් ගන්නේ. හම්බන්තොට වරායෙන් තාම ආදායමක් නෑ. මත්තල ගුවන් තොටුපළෙන් ආදායමක් නෑ. නෙළුම් කුලුනෙන් ආදායමක් නෑ.   
 
කොවිඩ් එකත් බලපෑමක් වුණා නේද මේ තත්ත්වයට?   
 
ඔය තර්කය ආණ්ඩුව ගේනවා තමයි. නමුත් වටේ තියෙන රටවල් දිහා බලන්නකෝ. ඒ රටවල ආර්ථිකය මේ වගේ වැටිලා තියෙනවද? ඉන්දියාව ගත්තත්, පාකිස්ථානය ගත්තත් නේපාලය, බංග්ලාදේශය, මාලදිවයින වගේ රටවල ආර්ථීකය ඉතාම හොඳයි. ඉතින් අපි කියන්නේ මේකයි. අපට තියෙන එකම විසඳුම රාජපක්‍ෂලා ඉවත් වීමයි. විපක්‍ෂයට තීරණ ගන්න බෑනේ. රාජපක්‍ෂලා දැන් රට වෙනුවෙන් තීරණයක් ගත යුතුයි.   
අන්තර්වාර පාලන ආණ්ඩුවක් ගැන කතා වුණා. ඔබලා මේ එකකටවත් සාධනීය ප්‍රතිචාරයක් නෑ.   
මේ වගේ බලතල තියෙන ජනාධිපතිවරයෙක් යටතේ ආණ්ඩු පිහිටුවා වැඩක් නෑ. අපට කරන්න දෙන්නේ නැහැනේ. අපි දන්නවනේ, එක්තරා අවස්ථාවක අපි යෝජනාවක් කළා. ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා ‘‘ඒගොල්ලන්ට ඕනෑ නම් ඒගොල්ලන්ගෙ පැත්තෙන් රාජපක්‍ෂලා නැති ආණ්ඩුවක් කරගෙන යන්න’’ කියන්න. ඒගොල්ලන්ට මන්ත්‍රී ධුර 117 ක් තියෙනවා නම් රාජපක්‍ෂලා නැතිව එ්ගොල්ලන්ට කැමති අගමැති කෙනෙක් පත් කරගෙන ආණ්ඩුව කරන්න පුළුවන්නේ. ඇත්තම කිව්වොත්, දැන් තත්ත්වය මේකයි, අයි.එම්.එෆ්. එක වුණත් ආධාර කරන්නේ අලුත් ආණ්ඩුවකටනේ. මේ ආණ්ඩුව ගැන ජාතිකවත්, ජාත්‍යන්තරවත් කිසිම විශ්වාසයක් නෑ. ඔබ දන්නවනේ මානව හිමිකම් කොමිසමේ සම්මත වෙච්ච යෝජනා ගැන. ජාත්‍යන්තර විශ්වාසය නැතිව රට ඉදිරියට යන්න බෑ. ජාත්‍යන්තර විශ්වාසය ඇති වෙන්න අලුත්ම ආණ්ඩුවක් එන්න ඕනෑ. ආණ්ඩුව කිව්වොත් ‘‘ඉදිරි මාස තුනේ දී මැතිවරණයක් තියනවා’’ කියලා. අයි.එම්.එෆ්. එක කියයි ‘‘මැතිවරණයෙන් පස්සෙ එන්න ආධාර ඉල්ලගෙන’’ කියලා. රටේ දැන් දේශපාලන ස්ථාවරභාවය නැහැනේ. කැබිනට් එක ඉල්ලා අස්වුණා. ඊටත් වඩා දේශපාලන අස්ථාවරභාවයක් තියෙනව ද?   
 
නමුත් පොහොට්ටුවට පාර්ලිමේන්තුව තුළ බහුතර බලය තියෙනවා?   
 
බහුතර බලය තියෙනවා. අත් ඉස්සුවාම ඒක පේනවා ඇති. නමුත් කැබිනට් එක ඉල්ලා අස්වුණාම ලෝකයට යන පණිවිඩය මොකක්ද? අපිට කරන්න බෑ. අපි අසාර්ථකයි කියන පණිවිඩයනේ යන්නේ. ඒ නිසා මේ වෙලාවේ තීන්දුවක් ගන්න ඕනෑ. විපක්‍ෂය නොවෙයි, රාජපක්‍ෂවරුයි.   
 
තැන තැන කෙරෙන උද්ඝෝෂණ නිසා රටට ඩොලර් එන්නේ නෑ කියලා අගමැති මහින්ද කිව්වා?   
 
ඇත්ත වශයෙන්ම ගාලු මුවදොර යන උද්ඝෝෂණයට දේශපාලන පක්ෂයක් සම්බන්ධ නැහැනේ. පේනවනේ ඉන්න ළමයි දිහා බැලුවම. හොඳ උගත් තරුණ ළමයිනේ ඉන්නේ. වෙනදට උද්ඝෝෂණවලට එන්නේ නැති ළමයිනේ මේ ඇවිත් ඉන්නේ. ජනතාවගේ ඇත්ත පීඩාව තමයි මේ පිට වෙන්නේ. ආණ්ඩුව මේ පණිවිඩය තේරුම් ගත යුතුයි. ‘‘ගෝඨා ගෝ හෝම්’’ කියලයි ජනතාව කියන්නේ. එහෙම ගෙදර යන්න කියන්නේ ආණ්ඩුවයි ජනාධිපතිවරයයි අසාර්ථක නිසයි’’ කැබිනට් එක ඉල්ලා අස්වෙලා ඔප්පු කළෙත් තමන් අසාර්ථකයි කියන එකනේ.   
 
ආණ්ඩුවට එරෙහිව ඔබලා විශ්වාසභංඝ යෝජනාවක් ගෙනත් තියෙනවා. ඒකෙ අලුත්ම තත්ත්වය ?   
 
හෘද සාක්‍ෂියක් තියෙන මහජන නියෝජිතයන්ට ඒ විශ්වාසභංග යෝජනාවට අත්සන් නොකර ඉන්න බෑ. මේ අසාර්ථක, දුර්දාන්ත, ජන පීඩක ආණ්ඩුවට එරෙහිව අත උත්සන්නේ නැති මහජන නියෝජීතයන් ගමට ගියාම ගමේ ජනතාව ඒ අයට දිය යුතු උත්තරය දෙයි.   
 
රටේ මේ අර්බුදයට ළඟම විසඳුම හැටියට ඔබ දකින්නේ ?   
 
ළඟම විසඳුම තමයි ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු රාජපක්‍ෂවරු සියලු දෙනාම රටේ තියෙන විරෝධතාව නිසාම නොවෙයි ඔවුන්ගේ තියෙන ​නොහැකියාව පිළිඅරගෙන අයින් වෙන්න ඕනෑ. ඒක තමයි එකම විසඳුම. ඔවුන් ඉවත් වුණාම පාර්ලි​මේන්තුවෙන්. පුළුවන් ජනාධිපතිවරයකු පත්කරගන්න. එහෙම පත්වෙන තාවකාලික ජනාධිපතිවරයාට පුළුවන් භාරකාර ආණ්ඩුවක් පත්කරගෙන යන්න.   
 
විමල්, උදය කියනවා ‘‘​ගෝඨාභය ඉල්ලා අස්වුණොත් බැසිල්ට ලෙහෙසියෙන්ම ජනාධිපති වෙන්න පුළුවන්’’ කියලා ?  
 
ඒකට අපිට උත්තර නෑ. පුද්ගලයන් ගැන විමසන්නේ නැතිව දැනට තියෙන එකම විසඳුම අර මම මුලින් කියපු එකයි. පුද්ගලයෙක් ඉස්සරහට දාලා කතා කළොත් කැමැති අය වගේම අකමැති අයත් ඉන්නවනේ. ගෝඨාභය රාජපක්‍ෂ ඉල්ලා අස්වෙනවා. අනික් රාජපක්‍ෂලත් අයින් වෙනවා. එතකොට පාර්ලිමේන්තුවට පුළුවන් ඉදිරි කාලය සඳහා ජනාධිපතිවරයෙක් පත් කරගන්න. ඒ ජනාධිපතිවරයාට පුළුවන් තමන් කැමති අගමැතිවරයෙක් හා භාරකාර ඇමැති මණ්ඩලයක් පත් කරගන්න. ඊට පස්සෙ සාමූහිකව අයි.එම්.එෆ්. එකට කරුණු ඉදිරිපත් කරලා රට අගාධයෙන් ගොඩ අරගෙන මැතිවරණයකට යන්න පුළුවන්.   
 
ඒ මැතිවරණයෙදී ආණ්ඩු බලය ගන්න පුළුවන් කියලා සමගි ජනබලවේගය හිතනවා?  
 
ඒක ජනතාවනේ තීරණය කරන්නේ. ඇත්තටම මේ ආණ්ඩුව ජනතාවට තිත්ත වෙලා තියෙන්නේ. උනුත් එකයි මුනුත් එකයි කියලා කිව්වට... යහපාලන ආණ්ඩුව තිබ්බ කාලේ කෑම කාපු විදියට ද දැන් කෑම කන්නේ.
 
යහපාලන ආණ්ඩුව තියෙන කාලේ හිටපු විදියට ද දැන් ඉන්න වෙලා තියෙන්නේ. ජීවන වියදම කොහොමද?
 
දැන් මිල පාලනයක් නෑනේ. ආණ්ඩුවක හැකියාව පේන්නේ මිල පාලනයෙන්. ආණ්ඩුවට කන්ට්‍රෝල් එකත් තියෙනවා කියලා පේන්නේ මිල පාලනයෙන්. දැන් මිල පාලනය අත්හැරලා. ආණ්ඩුවට පරිපාලන හැකියාවක් නෑ. හාල් මිල තීරණය කරන්නේ පොළොන්නරුවෙ මාෆියාව. හැම දෙයක්ම එහෙම තමයි. ඉතින් මෙහෙම ආණ්ඩුවක් මොකට ද? මෙහෙම ආණ්ඩු එපා කියලා තමයි මුළු රටේම ජනතාව කියන්නේ. ඒ හඬට සවන් දීලා නම්බු පිටින් රාජපක්‍ෂලා ගෙදර යා යුතුයි.
 
 
 
සාකච්ඡා කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්