ගෝඨාභය තමයි ලංකා ඉතිහාසයේ ලොකුම පාවාදීම කළේ


රටේ දේශපාලන තත්ත්වය පිළිබඳව හා අනාගත ක්‍රියාමාර්ග ගැන විමසමින් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා සමග කළ සාකච්ඡාවකී.

රටේ දේශපාලනයේ දැන් මොනවද වෙන්නේ?

ජනාධිපතිවරණයේදී ජනතාව ඉතිහාසයේ තියුණුම අභියෝගයට මුහුණ දී තියෙනවා.

 

ජනතාවද? දේශපාලන පක්ෂද?
ජනතාව. ඒකට හේතුවුණේ මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයා ලෙස හඳුනාගෙන තියෙන්නේ රනිල්, සජිත් සහ අනුර. අමතක කරන්න එපා මේ තුන් දෙනාම යහපාලනයේ නායකයන්. ගෝඨාභයට ඡන්දය දාන්න ලක්ෂ 69 ඡන්දය දුන්නේ යහ පාලනය පරද්දන්නට අනුර, සජිත් රනිල් තුන් දෙනාම එකට තියලා පරද්දන්නයි මිනිස්සු ඡන්දය දුන්නේ. අමතක කරන්න එපා. ගෝඨාභය ඡන්දය ඉල්ලපු ඡන්දයේදීම අනුර සහ සජිතුත් අපේක්ෂකයෝ. අනුර - සජිත් එපා කියලා තමයි මිනිස්සු ගෝඨාභයට ඡන්දය දුන්නේ. ගෝඨාභයගේ අසාර්ථකවීම හා මහා පාවාදීම් හමුවේ මේ ලක්ෂ 69 මහා පසුබෑමකට ලක් වුණා. හැබැයි ඒ අය දන්නවා ලක්ෂ හැට නවයේ අභිලාසයන් ඉටු කරන්න මේ තුන් දෙනාට බෑ කියලා. ඒ නිසා තමයි අද බොහෝ දෙනෙක් ඡන්දය දෙන්නේ කාටද කියලා හිතාගන්න බෑ කියන්නේ. මේ කාටවත් ඡන්දෙ දෙන්නේ නෑ කියන්නේ. මේ කාලේ කරලා තියෙන සමීක්ෂණවල බහුතරය ඉන්නේ කාටවත් දෙන්නේ නෑ කියන මතයේ.

 

ඔබ එහෙම කිව්වත් මාලිමාවට රැල්ලක් තිබුණා?
අනිවාර්යයෙන්ම මේ පක්ෂ තුන අතරෙන් මාලිමාවට යම් ප්‍රවේශයක් තිබුණා. අද කවුද ඔය මාලිමාව පැත්ත අරන් තියෙන්නේ. 2019 දී මාලිමාව එපා කියලා ඒක සියයට 3ට සීමා කරපු ජනතාවමයි.

 

මිනිසුන්ට එහෙම වෙනස් වෙන්න පුළුවන්නේ?

පුළුවන්, ඒත් එහෙම වෙන්න හේතුව ඉන්න අය අතර ඔවුන්ට තෝරා ගැනීමක් නැති නිසා අඩු  නපුර කියලා මාලිමාවට ගිහින් තියෙන්නේ. පාරේ යන්න බස් එකක් නැතිනම් අකැමැත්තෙන් හරි නහය වහගෙන හරි කුණු ලොරියක නැගලා ගමන යන්න මිනිස්සු සූදානම් වෙනවා. හැබැයි පාරට ඒ.සී බස් එකක් බැස්සුවොත් අර කුණු ලොරියට නැගලා ඉන්න ඔක්කෝම කුණු ලොරියෙන් ඒ.සී. බස් එකට ගොඩවෙනවා.

 

එහෙම ඒසී බස් එකක් තියෙනවද? තියෙනවනම් ඒක ඇත්ත ඒසී බස් එකක්ද මොකද මිනිස්සු කම්බස් වෙලා ඉන්නේ?
හොඳ ඒ.සී. බස් එකක් අනිවාර්යයෙන්ම පැමිණිය යුතුයි. මේ ලක්ෂ 69 අභිලාෂය ඉටු කරන්න අපේක්ෂකයෙක් ඕනෑ ගෝඨාභය රාජපක්ෂ තමයි ලංකා ඉතිහාසයේ ලොකුම පාවාදීම කළේ.

 

ඒ මොකක්ද?
එතුමාට රට කරන්න බැරිනම් ඉවත්වෙලා යන එක එතුමාගේ පෞද්ගලික දෙයක්. හැබැයි එතුමා මේ ලක්ෂ හැට නවයේ නායකත්වය බාර දීලා අපි බොහොම අමාරුවෙන් එළව ගත්ත රනිල් වික්‍රමසිංහට. අපේ සතුරු පිලේ නායකයට. අපි කිව්ව කතා විශ්වාස කරලා මේ රටේ ජනතාව රනිල් වික්‍රමසිංහ මහත්තයට ජනාධිපති - අගමැති ධුර නොවෙයි මන්ත්‍රී ධුරයක්වත් නොදී ගෙදර තිබ්බා. එහෙව් මනුස්සයට රටේ ජනතාව එහෙම ප්‍රතික්ෂේප කරනු මනුස්සට රටේ නායකයා කිරීම කොයිතරම් අසාධාරණද? ඒ නිසා අපේක්ෂාභංගත්වයට පත් වෙච්ච ඡන්ද දායකයන්ගෙන් යම් පිරිසක් මාලිමාවට ආකර්ෂණය වෙලා තියෙනවා කියලා කියන එක තිත්ත ඇත්තක්.

 

ඔබ කතා කරන්නේ හිතේ වේදනාවෙන්?
නෑ මෙහෙම හිතන්නකෝ. අපේ ගේ කඩා වැටිලා වැස්සක් වහිනවා. පාරේ තෙමි තෙමී ඉන්නේ නැතිව පාර අයිනේ තියෙන පැලකට ගොඩවෙනවා. තව කට්ටියක් තෙමි තෙමී හරි ගෙයක් හදන්න ඕනෑ කියන තැන ඉන්නවා. අපි ගේ හැදුවොත් අර තෙමි තෙමී ඉන්න කට්ටිය විතරක් නොවෙයි. අකමැත්තෙන් පැල්පතට ගොඩවෙච්ච අය ආපහු මෙහෙට එනවා.

 

මට කියන්න ඔබ තෝරන්න ඉන්න අපේක්ෂකයා කවුද?
අපේක්ෂකයාගේ නම කියන්න තාම කල් වැඩියිනේ. ඔබ හැරිලා බලන්නකෝ පහුගිය ජනාධිපතිවරණවලදී මාස හයෙන් අපේක්ෂකයෝ මතුවෙලා හිටියද? මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, සරත් ෆොන්සේකා මේ අය මතුවුණේ මැතිවරණයට ආසන්න මොහොතේ. ඒ විතරක් නොවෙයි ගෝඨාභය රාජපක්ෂ නොවෙයි පොහොට්ටුවේ තෝරා ගැනීම වෙලා තිබුණේ.

 

එහෙමනම් කවුද?
බැසිල් රාජපක්ෂ. පාස්කු ප්‍රහාරයෙන් ජාතික ආරක්ෂාව ප්‍රමුඛ ප්‍රශ්නය බවට පත්වුණ නිසා තමයි බැසිල් අඩියක් පස්සට අරගෙන ගෝඨාභයට අවස්ථාව දුන්නේ. ඒ නිසා අපේක්ෂකයා නොවෙයි වැදගත් වෙන්නේ වැඩ පිළිවෙළයි. වැදගත් වෙන්නේ ප්‍රතිපත්තියයි වැදගත් වෙන්නේ ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කණ්ඩායමක් ඉන්නවාද කියන එකයි. වැදගත් ආකර්ෂණීය අපේක්ෂකයකුට රටක් තනියෙන් ගොඩදාන්න බෑ කියලා කවුරුත් පිළිගන්නවානේ. අනුර කුමාරම කියනවනේ මම විශ්වකර්මයෙක් නොවේ කියලා. එහෙමනම් ඔහුට කණ්ඩායමක් සිටිය යුතුයි. ඔහුට එහෙම කණ්ඩායමක් නෑ. අනුර කුමාර කතාවට දක්ෂයෙක් වෙන්න පුළුවන්. හැබැයි කවදාවත් වැඩක් කරලා පෙන්වපු දක්ෂයෙක් නම් නොවෙයි. අපට අද ඕනෑ කතා කාරයෝ නොවෙයි. වැඩ කාරයෝ. එතැනදි අනුරට කණ්ඩායමක් නෑ කියන එක ඔහුම නැවත නැවතත් ඔප්පු කරලා තියෙනවා.

 

ඔබම  කියන පරිදි ඔබලාගේ කතා අහලා ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කෙරෙව්වා. දැන් ඉන්නේ අලුත් ජනතාවක්. දැන් කියන කතා ජනතාව අහයි ද ඔබලා දේශපාලනිකව පාරාජිකා වෙලා නැද්ද?
ඇත්තෙන්ම අපි ජනතාවට සීයට සීයම අවංකවෙලා තියෙනවා. ජනතාව ඒක දන්නවා. පසුගිය ජනාධිපතිවරණයේදී අපි ගෝඨාභයට ඡන්දය දෙන්න කිව්වේ ඒ වෙලාවේ මේ රටේ හිටපු වඩාත් සුදුසුම අපේක්ෂකයා ගෝඨාභය නිසයි. ලෝකයම පරාජය කරන්න බෑ කිව්ව කොටි ත්‍රස්තවාදය පරාජය කරන්න ඔහු නායකත්වය දුන්නා. අපි කවුරුත් බෑ කියලා හිතපු කොළඹ නගරයේ කුණු කඳු ඉවත් කරලා යටවීම් නැති කරලා ලෝකෙම ලස්සන නගරය බවට පත් කළා. ඒ වගේම දිගින් දිගටම පාඩු ලැබූ ලංකා රෝහල වසරක් ඇතුළත ලාභ ලබන ආයතනයක් බවට පත්කරලා කළමනාකරණ කුසලතාව ප්‍රදර්ශනය කළා. එහෙම යමක් කරලා පෙන්වපු හොඳම ප්‍රගති වාර්තාව තිබුණු පුද්ගලයා තමයි අපි තෝරාගත්තේ. අපේ හිතවත්කමකට තෝරාගත් අපේක්ෂකයෙක් නෙවෙයි. රටේ ඒ මොහොතේ සිටිය හොඳම පුද්ගලයා අපි තෝරා ගත්තේ. ඔහු ගැන කිව්ව කරුණු ඔහුගේ අතීත වාර්තා දිහා බලලා තමයි අපි කිව්වේ. සමහරු අවුරුදු 10ක් පෙම් කරලා ‘මෙයා තමයි මේ ලෝකේ මට  ගැළපෙනම කෙනා කියලා කසාද බැඳලා මාස 10න් දික්කසාද වෙනවා’. අපට වුණෙත් ඒ වගේ දෙයක්. ජනාධිපති වෙන්න කලින් හිටපු දක්ෂ, සුපිරි ගෝඨාභය නෙවෙයි ජනාධිපති වුණාට හිටියේ. බැසිල් රාජපක්ෂ - ජූලි චන්ග් කියන ඇමෙරිකානුවන් දෙන්නාගේ අතකොළුවක් බවට පත් වුණා. විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් රටට එරෙහිව කතා කරද්දි බැනලා එළවාගත්ත ගෝඨාභය වෙනුවට ඇමෙරිකානුවන් දෙදෙනෙක් ඉදිරියේ බියෙන් සැලෙන ගෝඨාභය කෙනෙක් වුණා. ඒක වුණේ රටේ කරුමයට

 

දැන් ඉතින් ඔහොම කිව්වා කියලා විතරක් හරි යනවද?
මෙහෙමයි ඔහු වැරදි පාරේ යනකොට අපි ගෙනාව නායකය කියල ඒවා හරි කියලා අපි සමාජය ඉදිරිපිට සාධාරණීකරණය කළේ නෑ. අපි ජනතාවගේ පැත්ත අරන් ජනතාව සමග සටන් වැදුණා. මංගල ඇමැති මණ්ඩල රැස්වීමේ ඉඳලා අපි ඔහුට එරෙහිව සටන පටන් ගත්තා. ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි යන පාර වැරැදියි කියන කොට නිවැරදිවීම වෙනුවට කරදරකාරයෝ දෙන්නා එළියට දාන්න ඕනෑ කියලා රාජපක්ෂ කල්පනා කළේ. ඒ අනුව තමයි 2022 මාර්තු 3 වැනිදා මාවයි විමල් වීරවංශ ඇමැතිතුමාවයි ආණ්ඩුවෙන් ඉවත් කරන්නේ. එතකොට අපි ජනතාවට කිසිම වරදක් කරලා නෑ. ඒ නිසා අපට ජනතාව ඉදිරියට යන්න බය වෙන්න කිසිම හේතුවක් නෑ.

 

ඔබලා අවංකවම පිළිගන්නවද වරදක් වුණා කියලා?
ඔව් එකම  එක පාරක් අපට වැරැදුණා. එහෙම බැලුවම ජවිටෙ කී පාරක් වැරැදුණාද? 94 දී චන්ද්‍රිකාට සහයෝගය දීලා ‘අනේ අපට වැරදුණා කිව්වා. 2004 දී චන්ද්‍රිකාට සහය දීලා ‘ආයෙත් අපට වැරදුණා’ කිව්වා. 2005 දී මහින්දට සහාය දීලා ‘අපට වැරදුණා කිව්වා’ 2010 ෆොන්සේකාට සහාය දීලා අපට වැරදුණා කිව්වා. 2015 දී මෛත්‍රීපාලට සහාය දීලා ‘අනේ අපට වැරදුණා කිව්වා’ පස් පාරක් වරද්ද ගත්ත ජවිපෙට වඩා එක පාරක් වැරදුණු

 

අපි ගැන ජනතාවට විශ්වාසයක් තියෙනවා?
ඔබ මේ සාකච්ඡාවේදී කිව්වා රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයෙක් කියලා. ඒත් ඔබ පසුගිය කාලෙම කැට තියා කිව්වා ‘රනිල් එන්නේ නෑ’ කියලා?
මම තමයි මුලින්ම කිව්වේ රනිල් එන්නේ නෑ කියලා. ඒත් රට කියනවනේ රනිල් ඉල්ලනවා කියලා. මම අදටත් ඉන්න ස්ථාවරය තමයි රනිල් වික්‍රමසිංහ තරග කරන්නේ නෑ කියන එක.

 

එහෙම ස්ථාවරයකට ආවේ?
එහෙම ස්ථාවරයකට ආවේ හේතු ඇතිව. රනිල්ට දිනන්න පුළුවන්නම් ඔහු අනිවාර්යයෙන්ම තරග කරනවා. ඒත් මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ  ඉන්නේ සියට 20කටත් වඩා අඩු ඡන්ද සංඛ්‍යාවක් සමග තුන්වැනි ස්ථානයේ. ඒ නිසා ඔහු ඉදිරිපත් වුණොත් ජනාධිපති ධුරයේ සිට ලෝක ඉතිහාසයේ අඩුම ඡන්ද ප්‍රතිශතය ගත්ත පුද්ගලයා බවට ලෝක වාර්තාවක් එක්කයි තරගයෙන් සමුගන්න වෙන්නේ. ඔහු පරාජ ගොන්නකට දැනටමත් හිමිකම් කියන නිසා ඒ වගේ නින්දිත චාරිකාවක් සමග ගෙදර යන්න ඔහු කැමැති වෙන්නේ නෑ. ඒ වෙනුවට ‘ලක් මාතාව වැල් පාලමෙන් එතෙර කළා.’ කියන සංවේදී කතාවක් කරලා ගෞරවනීය විදියට දේශපාලනයෙන් සමුගන්න හැකියාව තිබියදී හැමෝගෙම විවේචනයට, සරදමට ලක්වන චරිතයක්  බවට පත්වෙලා. දේශපාලනයෙන් සමුගැනීමට තරම් රනිල් වික්‍රමසිංහ දේශපාලනික වශයෙන් මෝඩයි කියලා මම නම් හිතන්නේ නෑ.

 

ඔබ කිව්වා ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහට රට බාර දුන්නා කියලා. එහෙම දෙයක් ද වුණේ. කවුරුත් බාරගත්තේ නෑ. නරකාදියක් වෙච්ච රට බාර ගන්න තරම් ඔහු නිර්භිත වුණාද?
ඒක පට්ටපල් බොරුවක්. අපේ රටේ ජනතාවට ප්‍රභාකරන් වරක් කිව්වා ‘‘සිංහලයගේ මතකය සති දෙකයි’’ කියලා ඒ නිසා අවුරුදු දෙකකට පෙර වෙච්ච දෙයක් අමතක වෙලා ඇති කියලා තමයි ඔය කතාව ආණ්ඩුවේ සමහරු කියන්නේ. මුලින් කියන්න ඕනෑ විපක්ෂයෙ සහාය ගන්න පුළුවන් පුද්ගලයා විදියට අපි තෝරාගත්තෙ ඩලස් අලහප්පෙරුමව. ඔහුට රාජපක්ෂ පවුලෙන් විරෝධය ආපු නිසා තමයි ඔහු අගමැති ලෙස පත් කරන්න ගෝඨාභයට නොහැකි වුණේ. මම දන්න දේ තමයි නාමල් අනාගත නායකයා කිරීමේ සිහිනයේ ඉන්න රාජපක්ෂවරු දුවලා-පුතාලා ඉන්න කිසිම කෙනකුට අගමැතිකම දෙන්න ඒ මොහොතේ කිසිම කැමැත්තෙක් තිබුණේ නෑ. දිනේෂ්, චමල්, ඩලස් කියන ජ්‍යෙෂ්ඨයන් හැමෝටම පුතාලා ඉන්නවා. ඒක තමයි ඔවුන්ගේ තිබුණ නුසුදුසුකම. රනිල් වික්‍රමසිංහට එහෙම ප්‍රශ්නයක් තිබුණේ නෑ. එ්ක තමයි එතුමාගේ සුදුසුකම වුණේ. 
ඊළඟට සජිත් ප්‍රේමදාස මහතා කිව්වේ ඔබේ අසාර්ථක ජනාධිපති ධුරය යටතේ මට කටයුතු කරන්න බෑ. ඔබතුමා තනතුරෙන් ඉවත් වෙනවානම් මම ලෑස්තියි අගමැතිකම වෙනුවට ජනාධිපතිකම වුණත් බාර ගන්න කියලා ඒ කොන්දේසිය නිසයි සජිත් ප්‍රේමදාස මහත්තයාට නුදුන්නේ. අනුර කුමාර මහත්තයට එක්කෝ දුන්නේ නෑ. එහෙම නැත්නම් එතුමත් කොන්දේසියක් ඉදිරිපත් කළා. ඒ නිසා වෙන කවුරුවත් ඉදිරිපත්  වුණේ නෑ. මම කොන්දේසි දාන්නේ නෑ කියලා තනතුරට ආස කරලා ඒක බාරගත්තේ රනිල් වික්‍රමසිංහ  මහත්මයා විතරයි. 

 

එදා අගමැතිකමට සජිත්  සුදුසුනම් ඉදිරි ජනාධිපතිවරණයේදී ඔහු ජනාධිපතිකමට තෝරා ගන්න ඔබලාට විශේෂ බාධාවක් නෑ.
මම කිව්වේ සජිත් සහ ඩලස් ගැන නෙ​ෙවයි.   සජිත්  ප්‍රේමදාස  සුදුසුයි කියලවත් ඔහුට සහාය දැක්වූවා කියලවත් මම කිව්වෙ නෑ.
ඒත් ඔහු පාර්ලිමේන්තුව ඇතුලේ තිබුණු ඡන්දයෙන් ඩලස් දිනුවා නම් අගමැති වෙන්නේ සජිත්.
එතැන තිබුණේ වෙන සංදර්භයක්. ඒ මැතිවරණයෙදි ඩලස් අලහප්පෙරුමට අපේක්ෂකත්වය දෙනකොට එදා ඕනෑ වුණේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න. 2022 පෙබරවාරි 8 වැනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් ලිපියක් බාර දුන්නා. ඒ ලිපියෙන් අපි කියන්නේ වර්තමාන අර්බුදයට ආණ්ඩුවට තනියෙන් මුහුණ දිය නොහැකි නිසා සර්ව පාක්ෂික ආණ්ඩුවක් සෑදිය යුතුයි. එතැනදි ජනාධිපති වෙන්නේ ආණ්ඩු පක්ෂයෙන් නම් අගමැතිකම විපක්ෂයට යා යුතුයි කියලා. එතකොට එදා ඩලස් නියෝජනය කළේත් පොහොට්ටුව. ඒ මොහොතේත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ඩලස් ජනාධිපති කරනවානම් විපක්ෂය නියෝජනය කරන වඩාත් සුදුසුම පුද්ගලයා විපක්ෂ නායකවරයයි. ඒ සජිත්ද කමල්ද, නිමල් කියලා ප්‍රශ්නයක් නෑ. කවුද විපක්ෂ නායක ඔහු අගමැති විය යුතුයි. ඒ විදියට සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදීමේ  ප්‍රයත්නයේ තමයි අපි හිටියේ. 

 

ඉදිරි ජනාධිපතිවරණයේදී ඇත්තටම මොකක් වෙයි ද? මොකක්ද ඒ ගැන ඔබේ ගණන් බැලීම.
මගේ අදහස නම් ඉදිරි ජනාධිපතිවරණයේ දී කවුරු ජයග්‍රහණය කළත් කිසිවකුටත් සියයට 50 සීමාව ඉක්මවා යන්න බෑ. නමුත් ලංකාවේ ජනාධිපති ධුරය දිනාගැනීමට සියයට 50ම අවශ්‍ය වන්නේ නෑ. ඔබ සියයට 30ක් ඡන්ද අරගෙන තිබුණත් ඔබනම් වැඩිම ඡන්දලාභි අපේක්ෂකයා ඔබට ජනාධිපති ලෙස පත්විය හැකියි. මොකද අපේ රටේ ජනතාව දෙවැනි, තුන්වැනි මනාප ලකුණු කරන්නේ නෑ. 
ලකුණු කරත් ඒ දෙක එකතු කළාම වැඩිම ඡන්ද  ලබාගන්න අපේක්ෂකයා සියයට 50ක් තිබීම අනිවාර්ය වෙන්නේ නෑ. එතකොට කිසිම අපේක්ෂකයෙක්  සීයට 50ක් ලබාගන්නේ නැත්නම් ජනාධිපතිවරණයට හෝ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුවහොත් හෝ ජනාධිපතිවරණයදාම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුවහොත් එක්කෝ  ස්ථාවර පාර්ලිමේන්තුවක්  මේ අස්ථාවර පාර්ලිමේන්තුවක් බිහිවීම රට ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවක අතිශයින්ම මාරාන්තිකයි. ජනාධිපතිවරයාට  පාර්ලිමේන්තුවේ සහාය නැති වුණොත් කිසිම පනතක් අයවැයක් සම්මත කරගන්න බැරි වුණාම රට අකර්මණ්‍ය වෙනවා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව පාර්ලිමේන්තුව පත්වී  වසර දෙක හමාරක් යනතුරු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ. අපේ රටේ තියෙන අර්බුදයේ ගැඹුර අනුව  මේ තත්ත්වය යටතේ රටට මාරාන්තිකයි.  

 

ඔබට විමල්ට ඊළඟට මැතිවරණයෙන් දිනලා පාර්ලිමේන්තු එන්න පුළුවන්ද?
මම ඔබෙන් පෙරළා ප්‍රශ්න කරනවා. බැරිවෙන්නේ ඇයි. අපි හොරකම් කළාද ? මැරකම් කළාද? සල්ලාලකම් කළාද? ප්‍රතිපත්ති අතහැරලා පැති මාරු කළා ද? අපි රට වෙනුවෙන් හැමදාම තීන්දු තීරණ ගත්තේ. ඒ සම්බන්ධයෙන් ජනතාව ඉතාම නිවැරැදි විනිශ්චය දේවි.