ගණිකා වෘර්තිය නීතිගත කිරීම අපේ ප්‍රතිපත්තිය නොවෙයි


ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි

හරිණි අමරසූරිය

ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු යැයි ජාතික ජන බලවේගයෙන් හඬක් නැඟුණි. මේ ඒ ගැනත් රටේ දේශපාලන තත්ත්වය පිළිබඳවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිණි අමරසූරිය මහත්මිය සමග කළ සාකච්ඡාවකි.


ප්‍රශ්නය-ඔබ ඇයි ජවිපෙ දහරාවේ දේශපාලනය තෝරා ගත්තේ ?


දේශපාලන මතවාදය එක්කනේ මම එකතු වෙන්නේ. ජාතික ජන බලවේගයට එකතු වෙන්න තීරණය කරන්නේ අපි කරන්න හදන දේ සමග සමපාත වීම හා අදහස් සමානවීම නිසායි. මම සමාජ පරිවර්තනයක් වෙනුවෙන් වැඩ කරන්න කැමැති කෙනෙක්. ඒ වෙනුවෙන් තමයි මම එකතු වුණේ.


ප්‍රශ්නය-ජාතික ජන බලවේගය ගත්තොත් ඒක ඇතුළේ ඉන්නේ විවිධ කණ්ඩායම්. එහෙම බැලුවම ඒක අච්චාරුවක්.


නෑ. අච්චාරුවක් නොවෙයි. අපි එකතුවෙලා ඉන්නේ පොදු අරමුණක් වෙනුවෙන්. ඒ පොදු අරමුණට සියලු දෙනාම එකඟ නිසා තමයි අපි එකතුවෙලා ඉන්නේ.


ප්‍රශ්නය-ඔබ එහෙම කිව්වත් ආර්ථිකය පැත්තෙන් පවා පරස්පර කතා ඇහෙනවා. මම ඔබෙන් කෙළින්ම අහන්නම්. ඔබලාගේ ආණ්ඩුවක් ආවොත් අයි.එම්.එෆ් යනවද?


මෙහෙමයි. අපේ තෝරා ගැනීමක් නිසා නොවෙයිනේ අයිඑම්එෆ් එකට යන්න වෙන්නේ. අපේ ආණ්ඩුවක් නම් තිබ්බේ අයිඑම්එෆ් එකට යන්න බැරිවෙන විදියට වැඩ කරනවා. නමුත් එහෙම තත්ත්වයක් වුණේ නෑ. දැන් අයිඑම්එෆ් එකත් එක්ක එකඟතාවකට ඇවිත් තමයි වැඩ කරන්නේ. එහෙමම තමයි අපේ ආණ්ඩුවක් ආවොත් වැඩ කරන්න වෙන්නේ. ඒ සත්‍යයට මුහුණ දීලනේ අපටත් වැඩ කරන්න වෙන්නේ. අපට ලැබෙන ජනවරමට අනුව ඒ ජනවරමේ තියෙන දේවල් අයිඑම්එෆ් එකත් එක්ක සාකච්ඡා කරලා ජනතාවට සාධාරණ වන විදියට බංකොලොත් වෙච්ච රට හදන්න අපි වැඩ කරනවා.


ප්‍රශ්නය-ඔබ කියන විදියට ඔබේ ආණ්ඩුවත් අයිඑම්එෆ් යනවා නම් මේ ආණ්ඩුව ගියාම තියෙන වැරැද්ද මොකක්ද?


අයිඑම්එෆ් එකට යන්න වුණේ ඇයි? ණය ගෙවාගන්න බැරිවෙලා බංකොලොත් වෙච්ච නිසානේ අයිඑම්එෆ් එකට යන්නේ. එතකොට ඒගොල්ලෝ වට්ටෝරුවක් ගේනවා. ඒ වට්ටෝරුව ඇතුළෙ බොහෝ විට ජනතාවට පීඩාකාරි කොන්දේසිත් තියෙනවා. ඒ නිසා තමයි එවැනි තත්ත්වයක් ඇති නොවන විදියට වැඩ කරන්න ආණ්ඩු බලාගන්න ඕනැ.
හරියට ණය කළමනාකරණය කරගෙන ණය උගුලට අහුවෙන්නේ නැතිව යනවා නම් ජනතාව පීඩාවට පත්වන තීන්දු තීරණ වළක්වා ගන්න පුළුවන්. දැන් එහෙම කළේ නෑනේ. ඒ නිසා තමයි අද මේ තත්ත්වයට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ.


අපි ආණ්ඩුවක් හැදුවොත් හදන්නේ ජන මතයක් එක්ක. ඒ ජනමතය තුළ ඉඳගෙන තමයි අයිඑම්එෆ් එක ඇතුළු සියලු ආයතන පාර්ශ්ව එක්ක අපි වැඩ කරන්නේ.


ප්‍රශ්නය-රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා. ඔබ නියෝජනය කරන දේශපාලන කඳවුර මේ අර්බුදයට පොඩ්ඩක්වත් වග කියන්න ඕනැ නැද්ද?


කොහොමද අපි දායක වෙලා තියෙන්නේ?


ප්‍රශ්නය-71-87-89 තරුණ කැරලි මැදින් රටේ ආර්ථිකය මුහුණ දුන් මාරාන්තික බව වසන් කරන්න බෑ නේද? 


මේ ආර්ථික අර්බුදයට හේතුවෙලා තියෙන්නේ වැරැදි ආර්ථික ප්‍රතිපත්ති සහ අපේ නිෂ්පාදන කඩා වැටීමක්. ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග නොගැනීමත් ඊටත් වඩා දේශපාලන දූෂිත කණ්ඩායම් විසින් රටේ සම්පත් සොරකම් කරන එකත් ජනතාවගේ සම්පත් සොරකම් කරන එකත් නාස්තියක් නිසා.


එතකොට කොහොමද 71 වත් 87වත් ඒකට හේතු වෙන්නේ. 71 දී වුණේ ඒ පවතින දේශපාලනයට හා ඒ දේශපාලනඥ සංස්කෘතියට විද්ධව නැගී සිටීමක්. 87 දී වුණේ ඒ දේශපාලනය තුළ තිබුණ යූඑන්පී භීෂණයට එරෙහිව ඇතිවෙච්ච දෙයක්. ඊට අවුරුදු කීයකට පස්සෙ ද රට බංකොලොත් වුණේ.


ප්‍රශ්නය-මගේ ප්‍රශ්නය වුණේ තරුණ නැගිටීම් වැරැදියි කියන එක නොවේ. ඔබේ කඳවුර 75 වසරක ශාපයක් ගැන කියන නිසයි ?


75 වසරක ශාපය තුළ තමයි මේ රට ආපු ගමනේ ප්‍රතිඵලයක් ලෙස තමයි 71-87 තත්ත්වයත් නිර්මාණය වුණෙත්. ඒ වගේම තමයි තිස් වසරක යුද්ධයක් ඇති වුණෙත්. ඒ පාලකයන්ගේ ක්‍රියා මාර්ග නිසා ඒ පාලකයන් ජනතාව තල්ලු කරපු තැන් නිසා වෙච්ච දේවල්. ඒ නිසා ඒවාට වගකියන්න ඕනෑ. ඒ ඒ තත්ත්වයන්ට මුහුණ දුන් හා එයට එරෙහි වෙච්ච ජනතාව නොවෙයි ඒ පාලකයන්. එහෙමනම් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට එරෙහිව කැරැලි ගැසූ ජනතාව වගකියන්න ඕනෑද බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය කඩා වැටීමට.


ප්‍රශ්නය-ඔබලාගේ ආණ්ඩුවක් යටතේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කළොත්?


ඔබ හිතනවද දැන් මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරලා කියලා. අපේ ප්‍රතිපත්ති තුළ ඉඳලයි අපි කතා කරලා තියෙන්නේ. දිගටම අපි පෙනී ඉඳලා තියෙන්නෙත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. මේ පවතින ක්‍රමය තුළ තමයි ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිගින් දිගටම උල්ලංඝණය වෙන්නේ. අපි පෙනී ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන්.


ප්‍රශ්නය-වමේ ආණ්ඩුවකින් නිර්මාණය වෙන්නේ නිර්ධන පංති ආඥාදායකත්වයක් නෙ. එහෙම වුණාම ?


කොහෙද අපි එහෙම එකක් කියලා තියෙන්නේ. ජාතික ජන බලවේගය එහෙම කතාවක් කියලා නෑනේ. අපි එහෙම කියලා තියෙනවා නම් මැතිවරණවලට මුහුණ දීලා රට තුළ මීට වඩා ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුයි කියලා කියන්නේ නෑ. හැබැයි අපි විශ්වාස කරනවා රටේ පුරවැසියන්ට මේ රට මෙතෙක් කල් ග්‍රහණයට අරගෙන තිබුණේ ඉතා කුඩා ප්‍රභූ කණ්ඩායමක්. ඒ ප්‍රභූ කණ්ඩායම සතු බලය පොදු ජනයා අතට යා යුතුයි කියලා.


ඒ සඳහා පුරවැසියන්ගේ අයිතිවාසිකම් ශක්තිමත් කරන එකක්, පුරවැසියාට රාජ්‍ය පාලනයට සම්බන්ධවීමට ව්‍යුහයක් හදන එකත් අපි කරනවා. ඒක තමයි අපි හිතන විදියට ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. ප්‍රභූ පිරිසක් අතට බලය දෙන එක නොවෙයි.


ප්‍රශ්නය- ජාතික ජන බලවේගය ඔබට අනුව නිර්ධන පංති ව්‍යාපාරයක්ද සුළු ධනේෂ්වර ව්‍යාපාරයක්ද? 


ඔය හද්ද පරණ වචනවලින් අද තත්ත්වය අපට විග්‍රහ කරන්න බෑ. ජාතික ජන බලවේගය කියන්නේ මේ රටේ සියලුම ජන කොටස් නියෝජනය කරන පුළුල් බලවේගයක්. ඒක තුළ ගැහැනු ඉන්නවා. පිරිමි ඉන්නවා. ගොවි කම්කරු ධීවර ප්‍රජාව ඉන්නවා. වෘත්තිකයෝ මධ්‍ය පන්තිය ඉන්නවා. ඒ වගේම පීඩාවට පත් සියලු ජනයා නියෝජනය කරන බලවේගයක්. මේ රට තුළ පීඩාවට පත්වෙලා ඉන්නවා විවිධ කණ්ඩායම්. ඒ සියලු දෙනා අපි නියෝජනය කරනවා.


ප්‍රශ්නය-ඒ නිසාද ගණිකා වෘත්තිය නීතිගත කරනවා කියලා කිව්වෙ. ඔබේ විධායක කමිටු සාමාජිකාවකවන සමන්මලී ගුණසිංහ එහෙම කියලා තිබුණා. 


සමන්මලී සහෝදරියගේ දීර්ඝ කතාවක් තුළ කියපු එක කරුණක් අල්ලාගෙන තමයි ඔය සාකච්ඡාව යන්නේ. ඊට පසුවත් අපේ පක්ෂය නිල වශයෙන් කියලා තියෙනවා ගණිකා වෘත්තිය අපි නීති ගත කරන්නේ නෑ කියලා. මේ ආර්ථික ක්‍රමය තුළ ගැහැනුන්ට එවැනි ඉතාමත්ම දුෂ්කර තැන්වලට තල්ලුකරලා ඉතාමත්ම අමාරු තීරණ ගන්න තැන්වලට තල්ලු කරලා තියෙනවා. ඒ ආර්ථික ක්‍රමය අපි වෙනස් කරනවා.


එහෙම අතිශයින්ම අමාරු තමන්ගේ දරුවන්ට කන්න දෙන්න දෙමාපියන්ට බෙහෙත් ගන්න සමාජය ප්‍රතික්ෂේප කරන දේවල්වලට පෙළඹෙන කවුරු වුණත් අපි හිතනවා ඒ ගොල්ලන්ට නීතිය ක්‍රියාත්මක කරන කොට ඒ හරහා ඔවුන් තව දුරටත් පීඩාවට පත් නොවිය යුතුය කියලා.


කවුරුවත් ඒ තැනට පත්වෙන්නේ නෑ. රට තුළ ආර්ථික තත්ත්වය හොඳට තියෙනවානම් ඒ ආර්ථික හා සමාජ කොන්දේසි හරියට සිද්ධ වෙනවා නම් ඔය තත්ත්වයට පත්වෙන්නේ නෑ.


ප්‍රශ්නය-මම මෙහෙම කිව්වොත්, ‘‘අපි එහෙම කියලා නෑ. කිව්ව එකෙන් චුට්ටයි දාලා තියෙන්නේ’’ කියලා ඒක ජාතික ජනබලවේගයේ අලුත්ම විලාසිතාව කියලා ?


නෑ කිසිසේත්ම නෑ. ඔය අල්ලගෙන දුවන්නේ ගැහැනුන්ගේ ප්‍රශ්න ගැන හොඳ සංවාදයක් ගොඩනැඟීමේ අරමුණෙන් නොවෙයි. මෙතැන තියෙන්නේ ඉතාමත්ම පහත් දේශපාලනයක්. ඕනෑම මාතෘකාවක් ගැන සාධනීය සාකච්ඡාවක් එන එකට අපි කැමැතියි. නමුත් මේ සිද්ධ වෙන්නේ ඒක නොවෙයි ? මේ හරහා හදන්නේ ජාතික ජනබලවේගයට ප්‍රහාරයක් එල්ල කිරීමයි. මේක සංවාදයක් නොවෙයි. ඒක අපේ උවමනාවක් නොවෙයි.


ප්‍රශ්නය-සුනිල් හඳුන්නෙත්ති කිව්වා විදේශ ප්‍රේරණ එවන්න එපා කියලා. හැබැයි අනුර කුමාර පාර්ලිමේන්තුවේදී කිව්වා අපේ කවුරුවත් එහෙම කිව්වේ නෑ කියලා?


හඳුන්නෙත්ති සහෝදරයා කවදාවත් එහෙම කියලා නෑ. 


ප්‍රශ්නය-ඔහුගේ ඒ ප්‍රකාශය අන්තර්ජාලයේ තියෙනවා?


සමාජ මාධ්‍යයේ සංසරණයවන එකයි, හඳුන්නෙත්ති සහෝදරයා කියපු එකයි, ජාතික ජන බලවේගයේ මතයයි හරියට බලන්න. හඳුන්නෙත්ති සහෝදරයා කොයිවෙලාවකටවත් කියලා නෑ විදේශ ප්‍රේරණ ඕනෑ කියලා.


ප්‍රශ්නය-ඔහු විදෙස් ශ්‍රමිකයන්ට කියන්නේ ‘එවන්න එපා’ කියලයි. මගේ ප්‍රශ්නය වෙන්නේ එහි අරමුණ මේ අර්බුදය තවත් උග්‍ර කිරීම නේද කියලයි.


‘එවන්න එපා’ කියලා කියලත් නෑ. එහෙම එකක් අප තුළ නෑ. මුළු සාකච්ඡාවම බලන්නේ නැතිව වාක්‍යයක් හෝ වචනයක් අල්ලාගෙන ඒක සමාජගත කරන්න උත්සාහ කරන්න එපා කියලා මම ඔබතුමාගෙනුත් ඉල්ලා සිටිනවා. හඳුන්නෙත්ති සහෝදරයා කිව්වා කියලා ඔබ කියන කතාව. මම ඒක දැකලා නෑ මම හිතන්නේ ඔහු කියන්න ඇත්තේ ‘මහන්සිවෙලා දුක් විඳලා එවන ප්‍රේරණ හොරකම් කරන්න ඉඩ දිය යුතු නෑ’ කියලයි. එතකොට ඒක දිග කතාවක කෑල්ලක්. එහෙම නැතුව විදේශ ප්‍රේරණ එවන්න එපා කියන්න ඔහුට තියෙන බලය මොකක්ද?


ප්‍රශ්නය-මේ ආණ්ඩුව මැතිවරණයකට යයි කියලා ඔබ හිතනවද?


ව්‍යවස්ථාව තුළ තියෙනවා ජනාධිපතිවරණය පැවැත්විය යුතු කාලය. ජුනි මාය අගවෙනකොට ජනාධිපතිවරණ පැවැත්වීමේ බලය මැතිවරණ කොමිසමට යන්නේ. එතකොට නීතියට අනුව ක්‍රියාත්මක වෙන්න කොමිසමට සිද්ධ වෙනවා. ඒ මහින්ද, රනිල් හෝ අනුර සහෝදරයගේ කැමැත්තට අනුව සිද්ධ වෙන එකක් නොවෙයි. ඒක රටේ නීතිය.


ප්‍රශ්නය-පළාත් සභා මැතිවරණයත් පළාත් පාලන මැතිවරණයත් ව්‍යවස්ථාපිතයි. නමුත් ඒ මැතිවරණ දෙකම අතුරුදන්? 


පොඩි වෙනසක් තියෙන්නේ ඒ ආයතන බල රහිත වුණාම, ජනාධිපතිවරයට බලය තියෙනවා කොමසාරිස් පාලනයෙන් හෝ නිලධාරි පාලනයෙන් ඒ ආයතන ගෙනියන්න. එහෙම අවස්ථාවක් ජනාධිපතිවරයගේ ධුර කාලය අවසන් වුණාම කරන්න ව්‍යවස්ථාවේ නෑ.


ප්‍රශ්නය-පළාත් පාලන මැතිවරණය කල්ගියේ සල්ලි නැති හින්දා. ඒ තර්කයම ගෙනල්ලා ජනාධිපතිවරණයට සල්ලි නෑ කියලා කිව්වොත්?


දැන් ආර්ථිකය ස්ථාවර වෙලා කියලා ආණ්ඩුවම කියනවනේ. එතකොට කොහොමද සල්ලි නෑ කියලා කියන්නේ. 


ප්‍රශ්නය-සල්ලි තියෙනව නම් ජනාධිපතිවරණයට කලින් පළාත් පාලන මැතිවරණය තියන්න එපැයි? 


ඔව්! එහෙම වෙන්න ඕනෑ.


ප්‍රශ්නය-විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ සටන් පාඨයකුත් ඇවිත් තියෙනවා. එහෙම වුණොත් මොකද වෙන්නේ?


අහෝසි කරන්න වුණත් ජනමත විචාරණයක් තියන්න ඕනෑ. කෙසේ වුණත් ජනතාවගේ අනුමැතිය නැතිව ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න බෑ. මොනව වුණත් මැතිවරණයකට යන්න වෙනවා. ජනමත විචාරණයක් කියන්නෙත් ජනතාවගේ අදහස් විමසන ක්‍රමයක්. ජනාධිපතිටවත්, පාර්ලිමේන්තුවටවත් ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න බෑ. ඒකට ජනතාවගෙන් අනුමැතිය ලැබිය යුතුයි.


ප්‍රශ්නය-විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාවක් ආවොත් ඔබලා හිටගන්නේ මොන පැත්තෙද? 


අපි හැමවෙලාවෙම පෙනී ඉඳලා තියෙන්නේ විධායක ජනාධිපති ධුරය මේ රටට සුදුසු නෑ කියන ස්ථාවරයේ සහ ජනාධිපතිධුරය අහෝසි කළ යුතුයි කියන ස්ථාවරයෙත් අපි ඉන්නවා. නමුත් ජනාධිපති ධුරය අහෝසි කිරීමේ දී ජනතාවගේ මතය සළකා බලන්න අවස්ථාවක් නොදී ජනවරමක් නැති අයට දිගින් දිගටම බලයෙ ඉන්න නම් අපට ඒකට එකඟ වෙන්න බෑ.


ජනාධිපති ක්‍රමය අහෝසි විය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්වීමේ දිශාවට මිසක් ප්‍රජාතන්ත්‍රවාදය අකුළන දිශාවට නොවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය අකුළන සටන් පාඨවලට අපිට එකඟ වෙන්න බෑ.

 

සාකච්ඡා කළේ 

ප්‍රසන්න සංජීව තෙන්නකෝන්