කෝටි කීයක් ගත්තාද ?


​කෘෂිකර්ම රාජ්‍ය ඇමැති 
ශාන්ත බණ්ඩාර ගෙන් අහමු   

  • කාගෙවත් සල්ලි අරගෙන ජීවත්වෙන්න මම මළ පෙරේත හිඟන්නෙක් නොවෙයි
  • හෝටල්වල ඉන්නෙ  මොකටද මම ඉන්නෙ  මොකටද මම ඉන්නෙ 
  • මට එරෙහිව  උද්ඝෝෂණය කළේ  සමගි ජනබලවේගයට  සම්බන්ධ අය   
  •  මම හිටපු  ජනාධිපතිතුමාට  වැඳලා ඇවිල්ල  ජනාධිපතිතුමා  හමුවුණා

 

 

 

 මම කෝටි ගණනින් මුදල් අරගෙන ඇමැතිකම ගත්ත කියන චෝදනාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා. කාගෙවත් මුදල් අරගෙන ජීවත් වෙන්න තරම් මම මළ පෙරේත හිඟන්නෙක් නොවෙයි. ජීවත් වෙන්න පුළුවන් තරමට මට සල්ලි තියෙනවා. එසේ ප්‍රකාශ කරන්නේ කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතාය. සියලු ඇමතිවරු ඉල්ලා අස්වී සිටින අවස්ථාවේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සියලුදෙනා ස්වාධීනවී සිටින අවස්ථාවේ රාජ්‍ය ඇමතිවරයෙක් ලෙස දිවුරුම් දුන්නේ ඇයිදැයි අපි ඔහුගෙන් විමසුවෙමු.   


ප්‍රශ්නය - ඔබ රාජ්‍ය ඇමතිකමක් ගත්ත එක ගැන සතුටු වෙනවද?   


පිළිතුර - රට පැත්තෙන් හිතල රටේ අනාගත පැවැත්ම ගැන බොහෝදුරට හිතල මේ තීරණය ගත්තේ. ඒ ගැන මම බොහොම සතුටු වෙනවා. මා ගැන හිතල මේ තීරණය ගත්තෙ නැහැ. රට වෙනුවෙන් හිතල ගත්ත තීරණයක්. මගේ තීරණය ගැන මම විශාල ආත්ම තෘප්තියක් ලබනවා.   


ප්‍රශ්නය - නමුත් ගමේ මිනිස්සු පවා ඔබට විරුද්ධව උද්ඝෝෂණ කළා.   


පිළිතුර - ඒ අය සමගි ජන බලවේගයට සම්බන්ධ අය. මේ ප්‍රදේශයේ සමාජ විරෝධී ව්‍යාපාරයක නිරතව සිටින කෙනෙක් ඇතුළු කණ්ඩායමක් මත්පැන් පාවිච්චි කරල ඇවිත් තියෙන්නෙ.   


ප්‍රශ්නය - උද්ඝෝෂණයට සෑහෙන පිරිසක් ඇවිත් හිටියා.   


පිළිතුර - 50 ක් 100 ක් විතර. දිස්ත්‍රික්කයෙ ගම්මාන දෙකක විතර අය. ඔවුන්ට සම්බන්ධ පසුබිම කියන්න මම කැමති නැහැ. ඒ අය එනවෙලාවෙ මම ගම්වල අවුරුදු උත්සවවලට සහභාගි වෙලා හිටියෙ. සවස සංගීත සංදර්ශන තිබුණා. මම නැති වෙලාවෙ, නැති බව දැනගෙන ඇවිත් සද්ද කරල ගිහිල්ල තිබුණා. මම අද උදේ ඒ විරෝධය සංවිධානය කර තිබූ දෙතුන් දෙනාගෙ ගෙදරවල්වලට ගියා. නැවත සංවිධානය කරනවා නම් ගෙදරට එන්න එපා. නගරයේ සූදානම් කරන්න. මම එතැනට එන්නම් කියලා කිව්වා. මේ කඩාකප්පල්කාරීන් පිරිසක්. 

 
ප්‍රශ්නය -දැන් ඔබට ඔබේ ගෙදර ඉන්න පුළුවන්ද? හෝටලයක ඉන්නවද?   


පිළිතුර - මම ඉන්නෙ මගේ ගෙදර. හෝටල්වල ඉන්න මට අවශ්‍යතාවක් නැහැ. අද උදෙත් මගේ ගෙදර සාකච්ඡා කීපයක් තිබුණා. අවුරුදු උත්සව ගණනාවකට අදත්, හෙටත් මට ආරාධනා කරල තියෙනවා. මම ඒවට යනවා.   


ප්‍රශ්නය -ඔබේ තීරණයට, පාක්ෂිකයො එකඟද?   


පිළිතුර - මට ඡන්දය දුන්න අය එකඟයි. මගේ ගෙදරට ඇවිත් විරෝධය දැක්වූ අය අතර එක් අයෙක් සිටි බව වීඩියෝවෙන් දැක්කා. මම ඔහු දුරකථනයෙන් සම්බන්ධ කරගන්න උත්සාහ කළා. ඒත් බැරිවුණා. අනික ඔය ඇවිල්ල තිබුණේ මැතිවරණයේදී මට විරුද්ධව ඡන්දය දීපු අය.   


ප්‍රශ්නය -රජයේ ඇමතිවරු දෙන්නෙක් ස්වාධීන වූ අයගෙ ගෙවල්වලට ගිහිල්ල සල්ලි දෙන්න, තනතුරු දෙන්න කතා කළ බව කියල තියෙනවා. ඔබේ ගෙදරට ආවෙ කවුද?   


පිළිතුර - මට කතා කළේ ජනාධිපතිතුමා. වෙන කවුරුවත් මට කතා කළේ නැහැ.   


ප්‍රශ්නය -කවුරුහරි ඔබට බලපෑමක් කළාද?   


පිළිතුර - නැහැ. ජනාධිපතිතුමා මට එන්න කියල පැහැදිලි කිරීමක් කළා.   


ප්‍රශ්නය -ඇයි ඔබට විතරක්?   


පිළිතුර - මට විතරක් නෙවෙයි. තවත් අයටත් කතා කරන්න ඇති. මට එන්න කියල ඇත්ත තත්ත්වය පැහැදිලි කළා. මටත් රට ගැන ලොකු අවබෝධයක් තියෙනවා. සියලු සාකච්ඡාවලට සහභාගි වුණානේ.   


ප්‍රශ්නය -ඔබ බොහොම නිහඬ කෙනෙක් ඒ නිසා ජනතාව තුළ සැකයක් ඇතිවෙනවා   


පිළිතුර - නිහඬව ඉන්නව කියන්න බැහැ. පාර්ලිමේන්තුවෙ කතා කරන්න වෙලාව ලැබෙන්නෙ නැහැ. ආණ්ඩු පක්ෂයෙ එකසිය පනස් ගානක් ඉන්නවා. බොහොම අමාරුවෙන් විනාඩි 5 ක් ගන්නෙ. ඒ කතා කළත් මාධ්‍යවල යන්නෙ නැහැ. මොකද මම කතා කරනවිට කාටවත් බනින්න කරන්න යන්නෙ නැහැ. ඒක හින්ද මිසක් මම රටේ දේශපාලනය ගැන හොඳ අවධානයෙන් ඉන්නෙ. අද මේ තීරණය නොගත්ත නම් පසුකාලයක පසුතැවෙන්න සිදුවෙනවා. මේ රට අරාබි වසන්තයක් කරන්න දෙන්න බැහැ.   


ප්‍රශ්නය -ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වෙනවද?   


පිළිතුර - මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වෙලා නැහැ. වෙනත් දේශපාලන පක්ෂයක සාමාජිකත්වය අරගෙනත් නැහැ. ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ගතයුතු ක්‍රියාමාර්ගය ගත්තා. මේ රටේ අද ඇති වී තිබෙන තත්ත්වය නිසා පාර්ලිමේන්තුව නියෝජනය කරන අපි සියලුමදෙනා එක ස්ථාවරයකට එන්න අවශ්‍යයි. ආර්ථික ස්ථාවර බව හදන්න නම් අපි එකමුතුව මේ දේ කළ යුතුයි. ඒ සඳහා දේශපාලන ස්ථාවර බවක් තිබිය යුතුයි. දේශපාලන ස්ථාවර බව නැති වුනාම මේ තියෙන ප්‍රශ්න තවත් උග්‍රවෙනවා. මෙහෙම ගියොත් විසඳුම් ලැබෙන්නෙ නැහැ. ඒ නිසා ජනතාවගෙ දුක, පීඩාව, අසීරුකම් තේරුම් ගන්නා ඕනෑම මහජන නියෝජිතයෙක් ඕනෑම දේශපාලන පක්ෂයක් තමන්ගෙ පටු පරමාර්ථ ඉවත් කරල අනාගතයේ බලය ලබාගැනීමේ පටු චේතනාව පැත්තකින් තියල පළමුව රට බේරගන්න ඉදිරිපත් වියයුතුයි. තම තමන්ගෙ දේශපාලන මතය රටට කියල, ප්‍රතිපත්තිය කියල ඉදිරි රජයක නායකත්වය ගැනීම දෙවනුව කළයුතු දෙයක්. මේ විදියට ගියොත් නම් ආණ්ඩුවක් හදනවා තියා රටක් ඉතිරි වන්නෙත් නැහැ. ඒ නිසා ගමේ කතාවක් කියන්න අවශ්‍යයි. බෙල්ල තිබ්බොත් තමයි තැල්ල බඳින්න පුළුවන් වෙන්නෙ කියල කියනවනේ. අපිව දේශපාලනය කරන්නත් කාට ආණ්ඩු කරන්නත් අපිට රටක් ඉතිරි වෙන්න එපායැ. අපිට උඩින් පේන කොටසක් තියෙනවා. ඒ උඩින් පේන කොටස තමයි රටට ඩොලර් හිඟය නිසා ආනයනය අඩාළ වෙලා. තෙල් අර්බුදය ආවා. ගෑස් අර්බුදයක් තියෙනවා. ඒ හරහා රටේ ජනතාවට ගැටලු රාශියක් ඇතිවී තියෙනවා. ඒතුළ ජනතාවට විශාල පීඩාවක් ඇතිවී තිබෙනවා. අපේ ජනතාව පාරවල් දිගේ පෝලිම් ගැහිල, දුක් විඳ විඳ සිටින තත්ත්වය ගැන බොහොම සංවේදියි. අපිට බරපතල හිත්වේදනාවක් තියෙනවා. අපි මේවා විසඳාගැනීමට ක්‍රමයක් සෙවිය යුතුයි.   


ප්‍රශ්නය -ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔබව ප්‍රතික්ෂේප කරලා.   


පිළිතුර - මගේ තනතුරු ඉවත් කර තිබෙනවා. බොහොම වේගවත්ව ඒ තීරණය ගෙන තියෙනවා. මාව ගෙන්වල මේ තීරණය ගැනීමට හේතු අහන්න තිබුණා. කවුරුවත් කතා කළේ නැහැ. 

 
ප්‍රශ්නය -ඔබේ තීරණය කල් ඇතුව ඔවුන්ට කිව්වෙත් නැද්ද?   


පිළිතුර - ජනාධිපතිතුමා හමුවීමට පෙර මහලේකම්තුමාට කතා කළා. එතුමා පිළිතුරු දුන්නෙ නැහැ. පසුව ඔහු මට කතා කළා. රැස්වීමක සිටි නිසා පසුව කතා කරන්නම් කිව්වත්, ඔහු කතා කළේ නැහැ. මෛත්‍රීපාල මහත්තයා හමුවෙන්න යන විට ඔහු ව්‍යායාම්වල යෙදී සිට නිවසට ආපු ගමන් කාර්යබහුල තත්ත්වයක හිටියෙ. තව කෙනෙක් හමුවෙන්න තියෙන නිසා පසුව කතා කරමු කිව්වා. ඒ නිසා මම එතුමාට වැඳලා ඇවිල්ලා ජනාධිපතිතුමා හමුවුණා.   


ප්‍රශ්නය -ඔබ විතරක් ඔහොම ඇවිත්, අනිත් සියලු‍ දෙනා එක්වී සිටියදී, ඔය කියන ස්ථාවර බව රැක ගන්න පුළුවන්ද?   


පිළිතුර - සර්වපාක්‍ෂික සමුළුවක් කැඳෙව්වා නේ. ඒ අවස්ථාවේ ප්‍රධාන දේශපාලන අංශ ඒක ප්‍රතික්ෂේප කළා. ඇවිල්ල උත්සාහයක් දරණ දැනටවත් ආවෙ නැහැ. අනිත් කරුණ නම්, කැබිනට් මණ්ඩලය ඉවත් වුණා. ජනාධිපතිතුමා කිව්වා, බලය ඇති කෙනෙකුට රජය අරගෙන කරන්න කියල. කිසි කෙනෙක් ඉදිරිපත් වුණේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ස්වාධීන වූ පක්ෂ 11 ක් එකතු වී අන්තර්වාර පාලනයක් පිළිබඳව සාකච්ඡා කළා. මම ඒ හැම සාකච්ඡාවකටමත් සහභාගී වුණා. නමුත් කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. අරයට කතා කරමු, මෙයාට කතා කරමු කියල ලොකු මෙහෙයුමක් කළා. නමුත් වැඩක් වුණේ නැහැ. බැරි වුණා. අගමැතිධුරය මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිට දෙන්නෙ නැහැ කියල පක්ෂ 11 තීරණය කර තිබුණා. සමගි ජන බලවේගය එක්ක ස්වාධීන මන්ත්‍රීවරු ගණනාවක් එකතු වුණා. සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහත්තය අපේ සාකච්ඡාවලදී යෝජනා 4 ක් ඉදිරිපත් කළා.   


පළමුවැන්න විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි. ඒකට පාර්ලිමේන්තුවෙ 2/3 ක ඡන්දයකුයි, ජනමත විචාරණයකුයි අවශ්‍යයි. දෙවැන්න ඒක කරල 20 වැනි සංශෝධනය ඉවත් කර 19 වැනි සංශෝධනය බලාත්මක කිරීමයි. තුන්වැන්න විශ්වාස භංගය ගෙනැත් රජය පරාජය කිරීම, සිව්වැන්න අන්තර් පාලන රජයක් පිහිටුවීම. මේ යෝජනා ටික කෙරෙන්න වසර කීපයක්වත් යනවා.   


මේ ගිනි ගන්නා රටට ඔය වගෙ වසර ගණනාවක් ඇදෙන යෝජනා ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? ජනමත විචාරණ තියාගෙන ඕවා කළ හැකි කාලයක්ද? රටේ ජනතාවට දැන් අවශ්‍ය තෙල් ටික, ගෑස් ටික, බඩු මිල පහත දැමීම. අපි පළමුව ඒ අවශ්‍යතා ටික තේරුම් ගන්න අවශ්‍යයි. ඒ නිසා රටේ සියල්ල අසාර්ථක බව බොහොම පැහැදිලියි නේ. බුද්ධිමත්ව හිතල බලල කටයුතු කරන කෙනෙකුට ඒක බොහොම පැහැදිලියි. මම හුඟක් කතා නොකළට, හැම දෙයක් ගැනම අවබෝධයෙන් ඉන්නෙ.   


උඩින් මතුවී පෙනෙන ජනතාවගේ වේදනාව හා ජනතාවගේ උද්වේගය බොහොම සාධාරණයි. මම ජනතාවගේ පැත්තෙ ඉන්නෙ. නමුත් රට අරාජික කිරීමට, රට අරාබි වසන්තයක් කිරීමට කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ දෙක ගැන දැන්ම කියන එක ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකියි. ඒ නිසා මම දැන් ඒක කියන්නෙ නැහැ. අන්තවාදී කණ්ඩායම් දෙකක් දැන් ක්‍රියාත්මක වෙනවා. අහිංසක මිනිස්සුන්ගෙ කඳුළු මතින් තමන්ට ඉටුකර ගැනීමට නොහැකිවූ අරමුණු ඉටුකර ගැනීමට කටයුතු කරනවා. ඒක බොහොම බරපතල තත්ත්වයක්. මතුපිටින් පෙනෙන උද් යෝගයට උනන්දුවට වඩා බරපතල තත්ත්වයක්. ජනතාවට ගෑස් ටික, ඉන්ධන, කිරිපිටි, ටික ගන්න බැරිවුණාම, ඔවුන්ගෙ වේදනාවට, විවිධ දේවල් කරනවා. උද්ඝෝෂණ කරනවා. බෝඩ් අල්ලගෙන ඉන්නවා, කෑකෝ ගහනවා. ඒ වේදනාව පූර්ණ සාධාරණයි. ඒ වේදනාව එක්ක, ඒ ජනතාව එක්ක මමත් හිටගන්නවා.   


ඒ වේදනාව නැති කිරීමේ උත්සාහයක් සඳහා මම මේ තීරණය ගත්තා. කොයි දේ කරන්නත් ස්ථාවර රජයක් තිබිය යුතුයි. හෙට වනවිටවත් අලු‍ත් ඇමැති මණ්ඩලය පත්වෙන්න ඕනෑ. පාර්ලිමේන්තුවෙ බහුතරයක් ඉන්න ඕනෑ එහෙම නැතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක සාකච්ඡා කරල වැඩක් නැහැ. ඒ සාකච්ඡාවලට අපේ අය යනවිට රටේ දේශපාලන ස්ථාවරය තහවුරු කරල තියෙන්න ඕනෑ. රටේ දේශපාලන ස්ථාවරත්වය ගැන ඔවුන් අහන ප්‍රශ්නයට පිළිතුරු දෙන්න පුළුවන් වටපිටාවක් හැදිල තියෙන්න ඕනෑ. මගේ දේශපාලනයේ සියදිවි නසා ගත්තේ මබ්බිමේ ජීවිතය ආරක්ෂා කර ගැනීමටයි. මේ මොහොත රට ගැන හිතන පුංචි මිනිහෙක් හෝ ඉන්නව නම් මේ ප්‍රශ්නවලින් ගොඩ ඒමට පුළුවන් උදව්වක් දෙන එක තමයි කළ යුත්තේ.  


ප්‍රශ්නය -ඔබට ලොකු චෝදනාවක් තියෙනවා ඔය තීරණය ගත්තේ කෝටි ගණනින් මුදල් අල්ලසක් අරගෙනලු‍. 


පිළිතුර:- මම ඔය චෝදනාව අහල තියෙනවා. කෝටි 20ක් ගත්තලු‍ 15ක් ගත්තලු‍ අපි ගහක් දිහා බලන්නේ සුන්දරත්වයෙන් ග​ෙස් ලස්සන, අතු ඉති විහිදිල තිබෙන ආකාරය ගැන. ලී මුදලාලි කෙනෙක් ඒ ගහ දිහා බලන්නේ තියෙන ලී ප්‍රමාණය, කැපිය හැකි ලෑලි ප්‍රමාණය, කැපිය හැකි ලෑලි අඩිගාන ගැනයි. අපි සතෙක් දිහා බලන්නෙ ඒ සතාගේ හැසිරීමෙන් සුන්දරත්වයක් දකින්න. ඒ සතාගේ හැඩරුව ගමන බිමන ගැන බලන්න. මස්කඩ මුදාලාලි බලන්නේ සතාගේ බර මස් කොතරම් ප්‍රමාණයක් ගන්න පුළුවන්ද? කටුවලට කොයි තරම් ඉවත් කරන්න වෙනවද? අපද්‍රව්‍යවලට කොයි තරම් ඉවත් කරන්න වෙනවද? මස්වලින් කොයි තරම් ලාබයක් ගන්න පුළුවන්ද? කියලයි. ඒ වගේ එහාට මෙහාට කලින් පැනපු අයට ඔවුන් පනිද්දී සල්ලි ගත්ත වාගේ මමත් ගන්න ඇති කියල හිතනවා ඇති. එවැනි අය කරනු ලබන චෝදනා මම සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. කොහෙවත් මුදල් අරගෙන ජීවත් වෙන්න තරම් මම මළ පෙරේත හිඟන්නෙක් නෙවෙයි. මට ජීවත් වෙන්න පුළුවන් විදිහට සල්ලි තියෙනවා. මට අවශ්‍ය පරිදි මගේ පවුල් පරිසරය තියෙනවා. මේ වෙලාවේ මම මේ තීරණය ගත්තට පේන්නෙ නැතුව විවේචනය කරන්න පුළුවන් චෝදනාව තමයි මුදල් ගත්ත කියන එක. 


ප්‍රශ්නය -රට පුරා උද්ඝෝෂණ කරන්නේ රජය ඉවත් විය යුතුයි කියලයි. ඔබ රජයට එක්වුණාම හරි යනවද? 


පිළිතුර:- රජය ඉවත් වුණාම ඊළඟ යෝජනාව කවුද? ජනාධිපති වෙන්නෙ කවුද? රට බාරගන්නේ කවුද? පාර්ලිමේන්තුවේ බහුතරයක් ඉන්නෙ කාටද? රට බාර ගන්න කියලත් බාර ගන්නෙ නැහැ. ‘ගෝඨා ගෝ හෝම්’ කියනවා. නමුත් ‘who is comming’ කියන්න කවුරුත් නැහැ.

 

 

සාකච්ඡාව 
දයාසීලි ලියනගේ