කොළඹ අයවැය දිනූ ජාජබ මෙහෙයුම


පිල් මාරු මැද සම්මත කළ අයවැය

ඉතිහාසයේ වැඩිම පාලන කාලයක් එක්සත් ජාතික පක්ෂයට බලය හිමිව තිබූ කොළඹ මහනගර සභාවේ පාලනය ඉකුත් පළාත් පාලන මැතිවරණයෙන් පසු ජාතික ජනබලවේගයට හිමිවූයේ සභිකයන්ගේ ඡන්ද හැටඑකක් නගරාධිපතිනිය ලෙස බල්තසාර් මහත්මියට ලැබීමෙනි. එම ඡන්ද ප්‍රමාණය හදාගැනීමට ජාතික ජනබලවේගයට විපක්ෂයේ පක්ෂ හා ස්වාධීන අපේක්ෂකයන්ගේ සහාය ලබාගැනීමට සිදුවිය.

ජාතික ජනබලවේගය පාලනය යටතේ ඉදිරිපත් කළ ප්‍රථම අයවැය යෝජනාවලිය ඉකුත් සතියේ පරාජයවීම දේශපාලන ආන්දෝලනයක් බවට පත්විය. පාලක පක්ෂයට පක්ෂව ඡන්ද 57 ක් සහ විපක්ෂව ඡන්ද 60 ක් ලෙස හිමිවීමෙන් එම අයවැය පරාජයට පත්විය.

එම පරාජයෙන් පසු විපක්ෂය ඊළඟ වටයේ ඡන්ද විමසීමෙන් ද ආණ්ඩු පක්ෂය පරාජයට පත් කරවීම සඳහා දැඩි වෙහෙසක් ගත්තේය.

ආණ්ඩු පක්ෂය ද අයවැය සම්මත කරගැනීම සඳහා දැඩි වෙහෙසක් ගත්තේය. ඉකුත් සතිය ගෙවී ගියේ අයවැය පිළිබඳව දෙපක්ෂයේම මෙහෙයුම්වලිනි.

ආණ්ඩු පක්ෂය දිගින් දිගටම කියා සිටියේ මෙම අයවැය පක්ෂ භේදයකින් තොරව නගරවැසියන්ගේ දියුණුව සඳහා සකස් කළ අයවැයක් බවය. ඒ නිසා විපක්ෂ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට සහාය දීම සඳහා පොලඹවන ලෙස ඔවුහු නගරවැසියන්ට මතයක් ඉදිරිපත් කළහ. මෙවර අයවැයෙන් පක්ෂ භේදයකින් තොරව සියලු මන්ත්‍රීවරුන්ට ලක්ෂ  පනහක මුදලක් තම ඡන්ද කොට්ඨාසයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් වෙන්කර ඇති බවද ඔවුහු කියා සිටියහ.

ජනපතිගෙන් දොස්

සමගි ජනබලවේගය පළමුවර අයවැය යෝජනාවලිය පරාජය කරවීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක සහ නගරසභාවේ ආණ්ඩු පක්ෂ කණ්ඩායම අතර සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී ජනාධිපතිවරයා නගර සභාවේ ප්‍රධානීන්ට තදබල ලෙස දෝෂාරෝපණය කර ඇති බවද වාර්තා විය.

ඔයගොල්ලන්ට මම හැම පක්ෂය එක්කම කතා කරල සභාවේ බලය අරගෙන දුන්නා. දැන් සභාව පවත්වාගෙන යාම ඔයාලගෙ වැඩක්. විපක්ෂය එක්ක සුහදව කතා කරලා මේ සභා පවත්වාගෙන යන්න දැනගන්න ඕනෑ. ඒ මිනිස්සුන්ගේ පක්ෂපාතීත්වය තියාගෙන සභාව පවත්වාගෙන යන්න ඔයාලා දැනගන්න ඕනෑ. හැම වෙලාවෙම මට අතගහන්න බෑ.’ ජනාධිපතිවරයා තදබල ලෙස චෝදනා කරමින් දොස් පවරා ඇත.
වටගලට ජනපතිගෙන් ඇමතුමක්

පළමුවර අයවැය පරාජය වූ පසු ජනාධිපති අනුර කුමාර දිසානායක නියෝජ්‍ය ඇමැති සුනිල් වටගලට කතා කළේය.

වටගල ඔයා චුට්ටක් බලන්න බජට් එක ගැන. ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ලෙස ඔයා මැදිහත් වෙන්න’ ජනාධිපතිවරයා කීවේය.

‘හරි, ජනාධිපතිතුමනි, මම ඒ ගැන බලන්නම්....’ කී වටගල ඇමැතිවරයා අයවැය මීළඟ දිනය වූ තිස්එකවැනිදා දෙවැනි වර කියවීම ජයගන්නා ආකාරය ගැන සැලසුම් කළේය. ඉන්පසු නගරාධිපතිනිය ඇතුළු ආණ්ඩු පක්ෂ ප්‍රධානීන් කැඳවා සාකච්ඡා කළේය.

ඔය සිද්ධිය වෙන්න කලින් මං හැමෝගෙන්ම ඇහුවා අයවැයට මොකද වෙන්නේ.... දිනන්න පුළුවන්ද කියලා. මතකද? මොකද අපි මේ නගර සභාවේ බලය පිහිටුවා ගත්තේ ලොකු සටනක් කරලා... එහෙම අමාරුවෙන් ගත්ත නගර සභාව එතැනින් පස්සෙ පවත්වාගෙන යන එක ඔයාලගෙ වගකීම. ඔයාලා මාස හයක් සභාව පවත්වාගෙන ගියා. ඒ කාලය තුළ නගරාධිපතිනිය, නියෝජ්‍ය නගරාධිපති එහෙම මන්ත්‍රීවරුන්ව උපයාගන්න ඕනෑ. ඒක වුණේ නෑ....’ සුනිල් වටගල ඇමැතිවරයා කියා සිටියේය.

අයවැයට පෙර සභාවේ ප්‍රධානීන්ගෙන් වටගල ඇමැතිවරයා කළ විමසීමේදී ප්‍රකාශ කර තිබුණේ’ ප්‍රශ්නයක් නෑ. විපක්ෂය ලබාදුන්න යෝජනාවලින් බහුතරය අයවැයට දාල තියෙන්නේ කියාය.

මතකද මම ඇහුවා. ඔයාලා කීවා මේක පරාජය කරන අයවැයක් වෙන්නෙ නෑ, විපක්ෂයේ ඉල්ලීම් යෝජනාවේ අයවැයේ තියෙනව කියල. ඒ කියන්නේ සුනිල් වටගලගේ සහාය අනවශ්‍යයි. මේක ඉබේ සම්මත වෙනව කියන අදහසෙහි ඔයාල හිටියෙ... අන්තිමට මොකද වුණේ...?’ වටගල ඇමැතිවරයා විමසීය.

මට පේන්නෙ විපක්ෂයේ කුමන්ත්‍රණයට ඔයාලා අහුවුණා කියල... විපක්ෂය පෙන්නුවා ඔක්කොම සහාය දෙනව කියල. එහෙම පෙන්වල එයාල එයාලගෙ දේශපාලනය කළා. අපි බලාගෙන හිටියා... ඒකනෙ වුණේ...’ වටගල ඇමැතිවරයා කීවේය.

එම සාකච්ඡාවෙන් පසු වටගල ඇමැතිවරයා නගර සභාවේ බලය පිහිටුවීමට සහාය ලබාදී පසුව අයවැයට එරෙහිව ඡන්දය දුන් විපක්ෂ මන්ත්‍රීවරුන් ගණනාවකටම දුරකථනයෙන් කතා කර තොරතුරු විමසීය.

ඇමැතිතුමනි... මේ අයවැය නරක නෑ... නාගරික ජනතාවට ගොඩාක් සහන දීල තියෙනවා. අපි ඇත්තටම අයවැය පරාජයට ලක්කළේ හෘද සාක්ෂියෙන් නෙවෙයි. මේක පරාජය කරන්න ඕනෑ අයවැයක් නොවෙයි. ඒත් අපිට දේශපාලන තීන්දුවක් ගන්න වුණා.....’ විපක්ෂයේ එම මන්ත්‍රීවරු කියා සිටියහ.

එහෙම නෙවෙයි.  අපේ මේ අයවැයට සහාය දෙන්න.. අපි නගරයේ ජනතාවට සහන විශාල වශයෙන් ලබා දුන් අයවැයක්. ඇයි මේකට විරුද්ධ වෙන්නේ....’ වටගල ඇමැතිවරයා විමසූ අතර එම මන්ත්‍රීවරුන් ඉන්පසු පැවසුවේ අපි දෙවැනිවර ඡන්ද විමසීමේ දී කල්පනාකර බලන්නම් කියාය. වටගල ඇමැතිවරයා එම මන්ත්‍රීවරුන්ගේ නායකයන් කිහිප දෙනකුටද දුරකතනයෙන් අමතා ඉල්ලා සිටියේ ජනතාව ගැන සිතා අයවැය සම්මත කරගැනීමට සහාය දෙන ලෙසය.

ඒ අතරතුර විපක්ෂයේ එක් පක්ෂයක ප්‍රධානියකු වටගල ඇමැතිවරයාට පැවසුවේ අයවැය පැරදවීමෙන් පසු මුදල් කමිටුව හරහා විපක්ෂයට පාලනය ගෙන යාමට හැකි බවය. වටගල එම මතය වැරදි බව ඔහුට පෙන්වා දුන්නේය. ‘ඔබතුමා පනත කියවන්න. පනතේ තියෙනවා ඉතා පැහැදිලිවම අයවැය පරාජය වුවත් පාලනයට මුකුත් වෙන්නෙ නෑ කියලා. අයවැය සම්මත වූ ලෙස සලකල වසර දෙකක කාලයක් නගරාධිපතිට පාලනය ගෙන යන්න පුළුවන්. මේ අයවැය පරාජය වුවත් දෙදාස් විසිහතේ තමයි පාලනයේ වෙනසක් වෙනවා නම් වෙන්නේ.’ වටගල ඇමැතිවරයා එම විපක්ෂ ප්‍රධානියාට පැවසූ පසු ඔහු කලින් දැරූ මතය වෙනස් කර ගත්තේය.

හතර දෙනකුආණ්ඩුවට බාගනියි

නගර සභා අයවැය ජයග්‍රහණය කරවන ආණ්ඩු පක්ෂයේ මෙහෙයුම ක්‍රියාත්මක කළ සුනිල් වටගල නියෝජ්‍ය ඇමැතිවරයා ඒ වන විට විපක්ෂයේ සිටින විවිධ පක්ෂවල මන්ත්‍රීවරුන් සිව් දෙනකු ආණ්ඩු පක්ෂය සමග එක්ව ඡන්දය දීමට පොළඹවා ගැනීමට සමත්ව සිටියේය. මුලින්ම කොන්ග්‍රස් මන්ත්‍රීවරිය, එජාපයෙන් පත්වූ මන්ත්‍රීවරයකු, සජබයෙන් පත්වූ මන්ත්‍රීවරයකු හා සර්වජන බලයෙන් පත්වූ මන්ත්‍රීවරයකු ලෙස එම මන්ත්‍රීවරුන් සිව්දෙනා රජය සමග සහයෝගීව කටයුතු කරන බව වටගල ඇමැතිවරයාට ඒත්තු ගිය පසු ඔහු මන්ත්‍රීවරුන් බා ගැනීමේ මෙහෙයුම නතර කර තම පක්ෂ ප්‍රධානීන්ට ඒ බව දැනුම් දුන්නේය.

තමන්ගේ මන්ත්‍රීවරුන්ට ආණ්ඩුව දැල එළා ඇති බව විපක්ෂය ඒ වන විටත් තේරුම් ගෙන සිටි මුත් ඒ කවුරුන්දැයි නිශ්චිතව දැන ගැනීමට විපක්ෂයට හැකිව තිබුණේ නැත.

අයවැය පරදවන සජබ මෙහෙයුම

ඉකුත් අයවැය පළමුවර කියවීමේ ඡන්ද විමසීමේ දී යළි විපක්ෂය එකතු කර ගැනීමට මුජිබර් රහුමාන් ඇතුළු සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හැකි විය. එසේ වුවත් වෙනත් පිරිසක් පසුපස ආණ්ඩුව දැල එළා ඇති බවද මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාට තොරතුරු ලැබී තිබුණේය. ඔහු ඉකුත් සඳුදා එනම් අයවැය ඡන්ද විමසීමට දින දෙකකට පෙර තම සගයන් සමගත් මාධ්‍ය හමුවේත් කියා සිටියේ විවිධාකාර වරප්‍රසාද පොරොන්දු වෙමින් රජය මන්ත්‍රීවරුන් බා ගැනීමට උත්සාහ කරන බවය. ඇතැමකුට නිවාස, රැකියා සහ මුදල්ද පොරොන්දු වී ඇතැයි විපක්ෂයට ආ තොරතුරුවලින් කියැවී තිබුණේය.

නගරාධිපතිනිය පත්කරගත් ඡන්ද විමසීම පැවැත්වුණේ රහස් ඡන්දයක් ලෙසය. ඒ නිසා විපක්ෂයේ සිට රජයට සහාය දුන් මන්ත්‍රීවරුන්ගේ නම් ප්‍රසිද්ධ වූයේ නැත. එහෙත් විපක්ෂය තම පාර්ශ්වයේ සිට රජය සමග එකතු වූ මන්ත්‍රීවරුන් කිහිප දෙනා හඳුනාගෙන සිටි අතර නගරාධිපතිනිය පත්කර ගෙවී ගිය මාස කිහිපය තුළ එම මන්ත්‍රීවරුන් ක්‍රමානුකූලව යළිත් තමන් ළඟට එකතු කර ගැනීමට විපක්ෂයට හැකියාව ලැබුණි.

නගරාධිපති පත්කරන වෙලාවේ විවිධ පඬුරු පාක්කුඩම් දීල රජය විපක්ෂයේ අය එකතු කරගත්තා. එදා රැකියා පොරොන්දුවෙලා තිබුණා. තවත් විවිධ වරප්‍රසාද ඔවුන්ට ඉල්ලලා තිබුණා. මේ ගනුදෙනු මොනව හරි එයාලා එකඟවෙලා ඡන්ද හැටඑකක් නගරාධිපතිනියට ලැබුණා. හැබැයි අපිට අද ඒ පිරිස යළිත් අපේ දේශපාලනයට එකතු කරගෙන අයවැය පරදවන්න  හැකියාව ලැබුණා. අද විපක්ෂයට මන්ත්‍රීවරුන් පනස් නවයක් ඉන්නවා. රජයට මන්ත්‍රීවරුන් පනස් හතයි ඉන්නේ. දැන් බලය අපේ...’ විපක්ෂය වෙනුවෙන් සභාවේ අයවැය පැරදවීමට පූර්ණ මෙහෙයුමක් සිදුකළ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා කියා සිටියේය. ඒ අනුව පෙනී ගියේ කොළඹ නගර සභාවේ මන්ත්‍රීවරුන් යම් යම් වරදාන හා වරප්‍රසදාවලට නැමෙන අය බවය. දෙපාර්ශ්වයම වරින් වර බලය තහවුරු කරගෙන රටට යම් පණිවිඩයක් දෙන්නට උත්සාහ කළද ඒ යටින් සැමවිටම තිබුණේ පක්ෂය මාරු කරන මන්ත්‍රී දේශපාලනයකි.

සමහර මන්ත්‍රීන් ගෙදරත් නෑ

ඡන්දය විමසීම සිදුවූ බදාදා සභාව ආරම්භ වී ටික වෙලාවක් ගතවනතුරුත් මන්ත්‍රීවරුන් දෙදෙනකු සභාවට පැමිණ සිටියේ නැත. එම දෙදෙනාම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ය. මෙම මන්ත්‍රීවරුන් දෙදෙනාගේ නිවාසවලට කතාකර බැලූ සජබ ප්‍රධානීන්ට දැනගත හැකි වූයේ එම දෙදෙනා ඔවුන්ගේ නිවාසවලින්ද අතුරුදන් බවය. තවත් එක් මන්ත්‍රීවරයකු සභාවට පැමිණ තමාගේ බිරිඳට අසනීප බව පවසා සභාවෙන් නික්ම ගියේය. මෙම තිදෙනාම සජබ, එජාප හා තවත් පක්ෂයක් නියෝජනය කළ මන්ත්‍රීවරු වෙති. මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කළ බුහාරි මන්ත්‍රීවරිය ඡන්ද විමසීමේ දී ජාතික ජනබලවේග පාලනයට පක්ෂව ඡන්දය ලබා දුන්නාය. ඒ අනුව වැඩි ඡන්ද දෙකකින් අයවැය සම්මත කර ගැනීමට කැලී බල්තසාර් නගරාධිපතිනියට හැකි විය.

විපක්ෂයේ සිට ආණ්ඩු පක්ෂයට සහාය ලබාදුන් මෙම මන්ත්‍රීවරුන් තිදෙනාම නගරාධිපති තෝරා පත්කරගත් ඡන්ද විමසීමේදී සහ අයවැය පළමුවර කියැවූ ඡන්ද විමසීමේ දී රජයට එරෙහිව විපක්ෂය සමග එක්ව ඡන්දය ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන්වීම මෙහි ඇති විශේෂත්වයයි.

ඡන්ද විමසීමට පෙර දිනයේත් සජබ නගර සභා මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවෙන් දුරකතන ඇමතුම් ලැබී ඇතැයි ද දේශපාලන ක්ෂේත්‍රයේ තොරතුරු පැතිර පැවතුණි.

ඡන්ද විමසීමෙන් පසු රීසා සරුක් මන්ත්‍රීවරයා සිදුවී ඇති දේ පැහැදිලි කළේ මේ අයුරිනි. ‘%අපේ මන්ත්‍රීවරියක්ව උදෙන්ම නාරාහේන්පිට පොලිසියෙන් අරගෙන ගිහින් රඳවගෙන තිබ්බා. තවත්  දෙන්නෙක් අතුරුදන්. ගෙවල්වලත් නෑ. තවත් මන්ත්‍රී කෙනෙකුගේ භාර්යාවට ඒ වෙලාවෙම හෘදයාබාධයක් ඇවිත් ඔහුට ගෙදර යන්න සිදුවුණා. මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීතුමියක් රජයට සහාය පළකර ඡන්දය දුන්නා... නගරාධිපතිතුමිය හෘදය සාක්ෂියෙන් ප්‍රශ්න කරල බලන්න කීවා පළමුවර ඡන්දය පරාජය වූ වෙලාවේ අද අපි අහනවා එතුමියගෙන් බහුතරය ලබාගත් ආකාරය ගැන තට්ටු කරලා අහගන්න කියලා...’ රිසා සරූක් මන්ත්‍රීවරයා කීවේය.

රජය සමග එක්ව අයවැය ඡන්ද විමසීමට පක්ෂය ඡන්දය පාවිච්චි කළ තම පක්ෂයේ මන්ත්‍රීවරියක් වන සොහාරා බුහාරිගේ පක්ෂ සාමාජිකත්වය වහාම අත්හිටුවීමට  මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ මහලේකම් නිසාම් කාරියප්පර් එදිනම කටයුතු කළේය. පක්ෂ නායක රවුප් හකීම් මහතා තම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පෞද්ගලිකවම කතා කරමින් අයවැයට විරුද්ධ වන ලෙස උපදෙස් දී තිබූ බව මුස්ලිම් කොංග්‍රසය කියයි. 

සමගි ජනබලවේගයෙන් රජය සමග එක්ව කටයුතු කළේ ෂේන් ඩැනියල් රාම් මන්ත්‍රීවරයාය. ඔහුගේ  පක්ෂ සාමාජිකත්වය වහාම අත්හිටුවීමට එම පක්ෂය ද එදිනම පියවර ගත්තේය.

බිරිඳට අසනීප බව පවසා විපක්ෂ මන්ත්‍රීවරයකු ඡන්දය විමසන මොහොතේ සභාවෙන් නැගිට ගිය බවද වාර්තා විය. ඔහුගේ බිරිඳට හෘදයාබාධයක් බව පවසා කොළඹ නවලෝක රෝහලට ඇතුළත් කර තිබිණි. මන්ත්‍රී බිරියගේ වෛද්‍ය වාර්තා ගැන ඉකුත් බ්‍රහස්පතින්දා දේශපාලකයන් අතර විවිධ කතා පැතිර පැවතුණේය.

සජිත් එජාප කතාබහ 

සජිත් සහ එජාපයේ ජ්‍යෙෂ්ඨයන් අතර සිදුවූ හමුව දේශපාලන ලෝකයේ කතාබහට ලක් විය. එය සිදු වූයේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදීය.නියෝජ්‍ය නායක රුවන්, උපනායක අකිල සහ උපසභාපති නවීන් ඊට සහභාගී වූහ. හමුවට ආරාධනය ලැබුණේ සජිත්ගෙනි. එහිදී සාකච්ඡා වූ සියලු‍ කරුණු එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයට ලබන සතියේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මෙම හමුවෙන් අනතුරුව නියෝජ්‍ය නායක රුවන් මාධ්‍යයට පැවසූයේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකට වැඩ කිරීම සම්බන්ධයෙන් වන අඩිතාලම දැමීම මෙම සාකච්ඡාවේ මූලික අරමුණ වූ බවය.

කෙසේ වෙතත් මේ හමුව ගැන සජබ ජ්‍යෙෂ්ඨයන් කිසිවකුටත් සජිත් කලින් පවසා නැති බව දැනගන්නට ඇත. ඒ ගැන ඔවුන්ගේ හිතේ යම් අමනාපයක් ඇති වී තිබෙන නමුත් ඔවුන් හිතහදාගෙන ඇත්තේ  “ඉන්දියාවට යද්දිත් නොකිය ගිය මිනිහා ටාජ් සමුද්‍රා එකට යද්දි කියාවි දැයි”‍ පවසමිනි.

“එකතුවක් වෙනවා නම් තැන් තැන්වල මාස ගණන් අවුරුදු ගණන් කතා කරනවාට වඩා ඇත්ත ක්‍රියාකාරී එකතුවක් ළඟදීම වෙන්න ඕන. හමු වුණා වගේම ඊට පස්සේ වෙන දේ ගැන තමයි මිනිස්සු බලාගෙන ඉන්නේ. ”‍ රනිල් මේ හමුව ගැන එසේ පවසා තිබිණ.

“විපක්ෂයේ පක්ෂ වෙන වෙනම හරි ක්‍රියාශීලීව තමන්ගේ කාර්යභාරය කරනවා නම් එකට එකතු නොවුණත් ප්‍රශ්නයක් නෑ. ඒත් ඒක වෙන්නේ නැහැ. මිනිස්සු අමාරු අඩියකට පත්වෙච්ච වෙලාවේ කෑ ගහලා මොනවා හරි කරන්න ඕන නේද? ඇයි මේ ගොළු‍වො, බීරො වගේ ඉන්නේ. සමාජ ප්‍රශ්න කොච්චර තියෙනවද ඒවා ගැන වගේ වගක් නෑනේ” රනිල් මන්ත්‍රී කණ්ඩායම හමුවේ කීය.

විපක්ෂය කියන්නේ කාටද? 

“අවුරුද්ද අන්තිමට ඇවිත් ආපහු හැරිලා බලද්දී විපක්ෂය කවුද කියලා ඇහුවොත් මොකක්ද කියන්න තියෙන්නේ. පුද්ගලයන්ගේ නම් ටිකක් විතරයි. නාමල්, චාමර, දයාසිරි, මුජිබුර්, අර්චුනා ඔය වගේ හුදෙකලා නම් කීපයක් තමයි මතක් වෙන්නේ. වෙන කවුද විපක්ෂයක් කියලා ඉන්නේ. හුදෙකලා චරිත ටිකක් හැදිලා තියනවා. එච්චරයි”‍ 

නව වසර සැමරුම කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී රනිල්ගේ ප්‍රධානත්වයෙන් චාම් අභිමානවත් අයුරින් පැවැත්විණ. එහි ආ සියල්ලන්ම රනිල්ට සුබ පැතුම් එක් කළේ නව බලාපොරොත්තුවක් සමගිනි.

මෙවරත් උත්සවයේ සංවිධාන කටයුතු භාරව සිටියේ සභාපති වජිරයි.

රාජ දූත