කහවත්තට කුඩු කරදර


 
ගොඩ මඩ දෙකම සරුසාරය පල බරය
කටුරොද ගම්මාන තරමක පිටිසරය
මේ ගම මැදින් ගලනා ගඟ මනහරය
කඩමණ්ඩිය පිහිටියේ ගම කෙළවරය
 
අටකලන්කෝර​ෙල් ප්‍රාඥයා ලෙස ප්‍රසිද්ධියට පත් පිටිසර ගැමියා  සාගර පලන්සූරිය – කේයස් -  කලල්ඇල්ලේ ආනන්ද සාගර නමින් පැවිදිව සිටි යුගයේ අවසන් කාලයේ රසවත් කවි පන්තියක් පද බැන්දේය.
 
ඒ  පිටිසර ගම්මානයේ අසිරිය, එහි ජීවත්වූ මිනිසුන් ගැන ඔහු සුදෝ සුදු නම් කාව්‍ය කතාවේ කව් පැදි එකසිය ගණනකින් කීවේ උපන් ගමේ මතක සිත්තම් සිහියට නඟමිනි. සාගර පලන්සූරියන්ට උපහාර උදෙසා එම ප්‍රදේශය පලන්සූරියගම ලෙස නම් තැබීය.මෑත කාලයේ දී එහි තවත් ප්‍රදේශයක් කටුරොද ගම නමින් ද නම් කළේය.
 
අද ඒ සුන්දර ගමට උදාවී ඇත්තේ නොසිතූ ඉරණමකි.මත්කුඩු සිද්ධියක් මුල් කරගෙන කටුරොද ගම්මානයත් අවට ගම්මානවල අහිංසක මිනිසුන් සලිත වි ගියේ පසුගිය 30 රාත්‍රී කහවත්ත නගරයට නුදුරු පලන්සූරියගම වෙඩි හඬවල් ඇසුණේ 22 හැවිරිදි තරුණ ජීවිතයක්  බිලි ගනිමිනි.
 
මත්කුඩු මුල් කරගෙන මින් පෙර රත්නපුර දී අපරාධ කොට්ඨාසයෙන් කිසිදු මිනීමැරුමක් වාර්තා වී නොතිබිණ .පොලිස් පොත්වල එවැන්නක් සටහන් වූයේ නැත.
 
නිවෙසට පැමිණි නාඳුනන පිරිසක් විසින් ජිප් රථයකින් රැගෙන ගොස් දෑත්වලට මාංචු දමා කහවත්ත පොලිස් බල ප්‍රදේශයේ ඇන්දාන කහවත්ත මාර්ගයේ උඩ හවුපේ දි 22 හැවිරිදි තරුණයෙකුට වෙඩි  තබා ඝාතනය කර තවත් තරුණයෙකුට බරපතළ තුවාල සිදුවීමේ සිද්ධිය  විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලියක අයෙකු විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක් අනුව සිදු කර ඇතැයි සැක කරන බව පොලිසිය මේ වන විට සොයා ගෙන තිබේ.
 
30 රාත්‍රී නවයට පමණ අවිගත් කණ්ඩායමක් විසින් කහවත්ත පොලිස්බල ප්‍රදේශයේ  පලන්සූරියගම හල්ළිඳ නිවසක සිටි තරුණයින් දෙදෙනකු පැහැර ගෙන ගොස් කිලෝ මිටර් පහක් දුරින් පිහිටි කහවත්ත ඇන්දාන මාර්ගයේ දළුග්ගල පාළු ස්ථානයක දී ඝාතනය කර තිබුණි .
 
ඝාතනයට ලක්වු තරුණයා කහවත්ත බුංගිරිය ප්‍රාදේශයේ පදිංචි පහළගම විතානලාගෙ ඉමන්ත සුරන්ජන 22 නම් අයෙකි. ඔහු ප්‍රදේශයේ ජනප්‍රිය තරුණයෙකු මෙන්ම කෙළින් කතා කරන්න බියක් නැති අයෙකු ලෙස ද ප්‍රකටය .ඔහු ගේ අවමංගල්‍යය අවස්ථාවේ දී අනුශාසනා කළ වැල්ලදුර විහාරාධිපති බුංගිරියේ රේවත නාහිමියන් ද සඳහන් කළේ එයයි.
 
ඉමන්ත සුරන්ජන ගේ ඝාතනයෙන් පසු ඔහුගේ පවුලේ අය ද ගම්වාසින් පිරිසක් ද කහවත්ත පොලිසියට සහ එහි ස්ථානාධිපතිවරයාට චෝදනා කළහ. ඉමන්තගේ ජීවිතය මාරයාට බිලිවෙන තෙක් පොලිසිය නිහඬව සිටි බවත්, ප්‍රදේශයේ මත් කුඩු වසංගතය ගැන කහවත්ත පොලිසිය සැලකිල්ලක් නොදැක්වු බවත්, ඊටත් එහාට යමින් පොලිසියේ ප්‍රධානියා මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් ආරක්ෂා කරන බවත්,  ඔවුන් කීහ. 
 
පොලිස් පරීක්ෂණවලට අනුව ඝාතනයට ලක්වූ තරුණයාගේ ලොකු අම්මාගේ දුව විවාහ වී සිටින්නේ මීගොඩ අමිත් නම් අයෙක් සමගය. මීගොඩ අමිත් පලන්සූරියගම හල්ළිඳ ප්‍රදේශයට පැමිණ වසර  කීපයකි. ඔහුට දාව ඔහුගේ බිරිඳට එක් දරුවෙකු සිටින අතර, ඇයගේ කලින් විවාහයේ දරුවන් ද සිටී.
 
කලක් තිස්සේ  මීගොඩ අමිත් නම් අයගේ  පවුලේ අය සමග මියගිය ඉමන්ත කුලුපගව සිටි බව ද පොලිසිය කියයි.පවුල් ප්‍රශ්නයක් නිසා විරසක වීමෙන් පසු ඉමන්ත සුරන්ජන සහ ඔවුන්ගේ පවුලේ අයත් මීගොඩ අමිත්ගේ පවුලේ අයත් අතර ඇයි හොඳැයියක් නොතිබුණි.
 
මීගොඩ අමිල මෙයට වසරකට පෙර ඩුබායි රටට ගොස් ඇති අතර පොලිසිය සදහන් කරන පරිදි ප්‍රදේශයේ මත්ජාවරම ගෝලයින් ලවා මෙහයවා තිබේ. ඉමන්ත සහ ඔහුගේ සොයුරා ද ගම්වාසීන් පිරිසක් ද එම ගෝලයින්ට පවසා ඇත්තේ ගමේ මත් කුඩු  විකිණීම  නතර කරන ලෙසයි.
 
තත්ත්වය එසේ වෙද්දී කහවත්ත පොලිසිය විසින් මෙම මත්ද්‍රව්‍ය ජාලයේ දෙදෙනෙකු ගිය සතියේ දී කහවත්ත ප්‍රදේශයේ දී ද, ඊට පෙර මීගොඩ අමිල ගේ ගෝලයෙකු බුංගිරිය දී ද, අත් අඩංගුවට ගෙන තිබේ. එම සිදුවීම් ගැන තොරතුරු ලබා දුන්නේ යැයි සැකය ද ඉමන්ත දෙසට යොමුවීම ඝාතනය ට හේතුවක් වන්නට ඇතැයි පොලිසිය පවසයි.එහෙත් එම සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබුණේ පොලිසියට ලද වෙනත් තොරතුරු අනුව බව පොලිසිය පවසයි.
 
මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන ඉමන්ත ගේ ඔහුගේ පවුලේ අය කහවත්ත පොලිසියට තොරතුරු ලබා නොදුන් බවත්, ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන ඔවුන් පොලිසිය දැනුවත් කළේද නැති බවත්, කහවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා ස්ථාන මරුවට කලින් අප සමග පැවසීය.
 
ඉමන්ත ගේ දෙමාපියන් ද නිවුන් සො​ෙහායුරා ද පැවසුවේ ගම්වාසීන් සමග ගොස් පොලිසියට මත්ද්‍රව්‍ය ජාවාරම ගැන කියා ඇති බවත්, පෙත්සම් තුනක් ද ලබා දී ඇති බවත් ය. මත්ද්‍රව්‍ය ජාවාරම ගැන කහවත්ත පොලිසියට ගම්වාසීන් පිරිසක් ගොස් නැවත ගමට පැමිණි විට මත්ද්‍රව්‍ය ජාවරමට සම්බන්ධ අයෙකු පැමිණ පොලිසියට ගියේ අසවලු‍න් බව කී බව ද ගම්වාසියෙක් පැවැසිය.
 
මත්ද්‍රව්‍ය ජාවරම් ගැන තොරතුරු පොලිසියට දැනුම් දුන්විට එම දැනුම් දීම කරන අය ගැන ජාවරම්කරුවන්ට පොලිසියෙන්ම කියන බව ගම්වාසින්ගේ අදහසයි. එහි ඇත්ත නැත්ත අපි නොදනිමු.එහෙත් තරුණ ජීවිතයක් අහිමි වීමෙන් පසුවත් මේ ගැන ඇස් ඇරෙනු ඇතැයි විශ්වාෂ කරමු. කහවත්ත පොලිස් බල ප්‍රදේශයේ මෑතක සිට සොරකම් ද වැඩි වුයේ මත්ද්‍රව්‍ය නිසාවෙනි. කහවත්ත නගරයේ වෙළෙඳසැල් කීපයක් ද බිඳ තිබුණේ මත්කුඩුවලට ඇබ්බැහි වූ අය විසින්‍ ය.
 
පොලිසියේ ක්‍රියා කලාපය වැරදි පාරක යන බව දේශපාලන අධිකාරියට ද ප්‍රදේශයේ යමක්කමක් තේරෙන මින්සුන් කීවත්, ඒ මැති ඇමතිලා ද නිශ්ශබ්ද ව සිටියේ ඇයි දැයි නොදනී.
 
මෙම ඝාතනයට පෙර  වට්සැප් දුරකථන ඇමතුම් වලින්  පලන්සූරියගම ප්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනෙකු ඝාතනය කරන බවට  මරණීය තර්ජන සිදු කර ඇතැයි ද, ගම්වාසීන් පිරිසක් පරීක්ෂණ සඳහා පැමිණි රත්නපුර විශේෂ පොලිස් ඒකකවල නිලධාරීන්ට  සඳහන් කර තිබේ . වෙඩි තබා ඝාතනය කරනලද තරුණයාට ,ඔහුගේ නිවුන් 
 
සොෙහායුරාටද එවැනි තර්ජන සිදු කර ඇතැයි ද එම පවුලේ දෙමාපියෝ පැවසුහ.
 
කහවත්ත ප්‍රදේශයේ දී වෙඩි තැබීම සිදුකර පලා ගිය ජිප් රථය බස්නාහිර සහ රත්නපුර දිස්ත්‍රික් මායිම වෙන් කෙරෙන කිරිඇල්ල පොලිස් බල ප්‍රදේශයේ කැටකිරිල්ල පොලිස් මාර්ග බාධකය ඔස්සේ ගොස් ඇතැයි තොරතුරු අනුව වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව ද පොලිස් ආරංචි මාර්ග පැවසිය.
ඝාතනය කෙරුණු ඉමන්ත ගේ මව රේණුකා මනතුංග තම පුතුගේ මරණය ගැන මෙසේ ද කීවාය.
 
“මාගේ නිවුන්නු දෙන්නම මෙදින රෑ නවයට විතර ගේ ඉදිරිපිට සිටියා. මියගිය පුතාගේ යාළුවෙක් ද ඇවිත් විනාඩි දහයක් පහළොවක් යනවිට තමයි පොලිසියෙන් කියා කට්ටියක් ආවේ. උඹලා ළඟ ගංජා තියෙනවා ද ඇහව්වා. ලොකු පුතා ගෙට ඇවිත් හිටියේ. ඉමන්ත හා එයාගේ යාළුවගේ ෆෝන් අරගෙන ඔවුන් අත්වලට මාංචු දැම්මා. මගේ දරුවා කොහෙද එක් කරගෙන යන්නේ කියලා මම ඇහුවා.  අපි පොලිසියෙන්. පොලිසියට ඇවිල්ලා ළමයි එක්කර ගෙන එන්න කියලා කිව්වා. ආයුධ තිබුණ නිසා මම හිතුවේ ඒගොල්ලො පොලිසිය කියලා.
 
ඉමන්ත පුතයි එයාගේ යාළු‍වයි. පහළට එක් කරගෙන ගිහිල්ලා ජිප් එකක දාගෙන අරන් ගිහින්. මගේ ලොකු පුතා තේ කෑල්ලට පැනලා හැංගුණා. ඒ නිසා එයාගේ ජීවිතය බේරුණා. පසුව ලොකු පුතා ඇවිත් මගේ මහත්තයට කෝල් එකක් අරන් සිද්ධිය ගැන කිව්වා. කහවත්ත පොලිසියට ඒ අය ගියා. කහවත්තට  පොලිසියට පුතා අරගෙන ඇවිත් තිබුණේ නෑ. පස්සේ කහවත්ත කෑම්ප් එකටත් ගියා. එහෙත් පුතා අරගෙන ඇවිත් නැහැ. රෑ එකොළහට විතර අපිට ආරංචි වුණා කහවත්ත ඇන්දාන පාරේ කෙනෙක් මරලා දාලා කියලා. මගේ මහත්තයත් නෑදෑයෙනුත් ගිහිලා බලද්දි ඒ මරලා දාලා තියෙන්නේ ඉමන්ත පුතා බව අඳුර ගත්තා.” 
 
“මගේ පුත්තු දෙන්නා කාටවත් වරදක් නොකර පාඩුවේ ඉන්න අය.  හැබැයි ඒගොල්ලෝ අසාධාරණයට විරුද්ධව නම් කතා කරනවා. එනිසා ගමේ කුඩු විකුණුම්කරුවෝ ඒගොල්ලොත් එක්ක තරහයි. මගේ මැරුණ පුතාට කුඩු ලේබලය අලවන්න එපා. කහවත්ත පොලිසිය හරියට වැඩ කරා නං මගේ පුතා අද මැරෙන්නේ නෑ.”
 
“මාගේ කොල්ලෝ දෙන්නාම මරන්නයි හැදුවේ. නිවුන්නු දෙන්නා ගෙන් කෙනෙක් පැන ගොස් සැඟවුණ නිසා බේරුණා. ජංගම දුරකථනයෙන් ෆොටෝ බලමින් ඔවුන් පුතා අල්ලා ගෙන ගියා. මරා දැමු පුතා මේ ගමේ මත්කුඩු ජාවරමට විරුද්ධ වුණ කෙනෙක්. ඒ නිසා එයාටත් අනෙක් පුතාටත් තර්ජන තිබුණ. කහවත්ත පොලිසියට මේ මත්කුඩු ප්‍රශ්නය ගැන අපි කියා තිබුණත් කිසිම දෙයක් කළේ නැහැ. අන්තිමට මාගේ දරුවෙක් නැතිවුණා. පොලිසිය මේ මරණයට වගකිවයුතුයි.
 
මත්කුඩු ජාවාරම්කරුවන් එක්ක පොලිසිය සම්බන්ධ දැයි සැක මතු වෙනවා.දැන් සමහරු මාගේ මියගිය පුතාට අපහාස කරනවා එයා කුඩුවලට සම්බන්ධ බවට. අනේ ඒ අපහාස නම් කරන්න එපා.පුතා කිව්වේ කුඩු නිසා ගම විනාශ වෙනවා කියලා. පුතාගේ මරණයට මෙච්චර මිනිස්සු ආවේ එයා ගැන දන්න නිසා. හොඳට ඉගෙනගත්ත, ක්‍රීඩාවට දක්ෂ පුතා පොලිසියේ රැකියාවකට යෑමට උත්සහා කළා. එයාට සහතික මිටි ගණන් තිබෙනවා. දැන්වත් මාගේ පුතාට සාධරණය ඉටුකරන්න කියා ඉල්ලනවා.”
 
තරුණයින් දෙදෙනා රැගෙන ගිය පිරිස විසින් එම නිවසේ ජංගම දුරකථනයක් ද රැගෙන ගොස් තිබේ . තරුණයා ඝාතනය කිරීමට පෙර පාර අයිනේ දණ ගස්සවා තිබූ සලකුණු ද දක්නට  තිබූ අතර  වෙඩි තැබීමෙන් පසුව රුධිරය අඩි දහයක් දුරට ගලා ගෙන ගොස් තිබුණි .
 
තරුණයින්ගේ දෑත්වලට දැම‍ූ මාංචු ගැන ද පොලිසිය විමර්ශනය කරයි. හෝඩුවාවන් කීපයක් ඔස්සේ රත්නපුර විශේෂ  පොලිස් කණ්ඩායම් හතරක් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, ඝාතනය සඳහා පැමිණි වාහනයක් ගැන ද තොරතුරු අනුව පරීක්ෂණ සිදු කරන බව රත්නපුර පොලිස් ප්‍රධානියෙක් පැවසීය.
 
ඝාතනය සඳහා අවිගත් කිහිප දෙනෙකු පැමිණි ජිප් රථය ගැන ලද තොරතුරු අනුව ඊයේ 03 වනදා කිහිප දෙනෙකු ගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවද, ඝාතනය සඳහා පැමිණි වාහනයේ අංක තහඩු වෙනස් කර ඇතැයි සැක මතුව ඇතැයි ද, පොලිසිය පවසයි.
 
ඝාතනයට ලක්වු තරුණයාගේ ඥාති කාන්තාවක වන මීගොඩ අමිල නැමත්තා ගේ බිරිඳ ගෙන් පොලිසිය  ප්‍රශ්න කළ අතර, ඝාතනය සඳහා ඇයට චෝදනා නොමති වුවත් තොරතුරු ලබාගැනීමට ඇය ගෙන් ප්‍රකාශ ලබා ගන්නා අතර, ඇයගේ ආරක්ෂාව ද සලකා රඳවා ගෙන ඇතැයි කහවත්ත පොලිසියේ නිලධාරියෙක් පැවසිය.
 
ඉමන්ත ගේ අවමංගල්‍යය උත්සවය ඉකුත්දා කහවත්ත පලන්සූරියගම පවුලේ සුසාන භූමියේ දි දහස් ගණනකගේ සහභාගීත්වයෙන් සාමකාමී ලෙස සිදු කෙරුණි.ඉන් පසු අවමංගල්‍යය ට පැමිණි අය ආපසු යද්දී එම නිවස පහළ මාර්ගයේ පොලිස් නිලධාරීන් පිරිසක් පෙළ ගස්සවා රැඳී සිටියහ.
 
ඒ අවස්ථාවේ දි ඉමන්ත ගේ හිතවතුන් විමසුවේ දැන් පොලිසිය කුමකට ද කියායි. ඒ සමග ඇතිවු ගැටුම දුර දිග ගිය අතර, ගම්වාසීන් පිරිසක් කලහකාරී ලෙස හැසිරෙන්නට වූහ. ඝාතනය ගැන චෝදනා එල්ලවී ඇති අමිත් ගේ නිවෙස දෙසට ඔවුන් ගමන් කරද්දී පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ අතර, ගම්වාසීන් ගල් මුල් වලින් පහරදීමෙන් නොසන්සුන් තත්ත්වයක් හට ගත්තේය.
 
 
මෙම ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති, විදේශගතව සිටින පුද්ගලයෙකු ගේ නිවෙසකට පොලිස් ආරක්ෂාව ලබා දී තිබේ.මෙම ඝාතනය  විදේශ ගත පුද්ගලයෙකු ලබා දුන් කොන්ත්‍රාත්තුවක් අනුව සිදු කරන ලද බවට  සැක මතුව ඇතැයි ද, ඒ අනුව හෝඩුවාවන් කීපයක් ඔස්සේ පරීක්ෂණ සිදු කරන බවද,  පොලිසිය පවසයි
 
මෙම ඝාතනය මත් කුඩු සම්බන්ධයෙන් පොලිසියට ඔත්තු ලබාදීම නිසා සිදුවුවක් නොවෙන බව ද, ඝාතනය කෙරුණු තරුණයා හෝ ඔහුගේ පවුලේ අය මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන කහවත්ත පොලිසියට තොරතුරු හෝ මත්ද්‍රව්‍ය ජාවාරම් නැවැත්වීම ගැන ඉල්ලීම් කර නැතැයි ද, පොලිසිය පවසයි.
 
තරුණයාගේ පවුලේ අය මාධ්‍ය හරහා චෝදනා කරන පරිදි කහවත්ත පොලිසිය මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් ආරක්ෂා නොකර බවත්, තරුණයා පදිංවි ප්‍රදේශයේම මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු ද දැනට සතියකට පෙරදි කහවත්ත ප්‍රදේශයේ දි ද, තවත් මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බව කහවත්ත පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා පැවසීය.
ඝාතනයට ලක්වූ තරුණයා සහ ඔහුගේ පවුලේ අයත්, චෝදනාවට ලක්ව ඇති විදේශ ගතව සිටින අයත් ඥාතීන් බවද, විදේශ ගත පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ සමග මියගිය තරුණයාත් එම පවුලේ අයත් අතර ආරවුල් තිබු බව ද, පොලිසිය පවසයි.
 
ඝාතනය කෙරුණ තරුණයාගේ දෙමාපියන් සහ සොයුරා සඳහන් කළේ මත්කුඩු ජාවාරමට විරුද්ධ වීම නිසා තමන් සමග විදේශ ගතව සිටින අය අමනාපයෙන් සිටි අතර, දුරකථනයෙන් තර්ජනය ද කර ඇති බවයි. එවැනි තර්ජන කිරීමක් ගැන කිසිදු පැමිණිල්ලක් ලැබී නොතිබූ බව කහවත්ත පොලිසිය පවසයි.
 
සටහන හා ජයාරූප
කහවත්තේ, ලසන්ත නිරෝෂණ පෙරේරා