ශ්‍රී ලංකාවේ ඇඟැලුම් කර්මාන්තයට දීර්ඝ ඉතිහාසයක් තිබේ. 1977 දී ආර්ථිකය විවෘත කිරීමෙන් පසු එක් වටයකින් හා 1980 ගණන්වල කෝටා ක්‍රමය සමග තවත් වටයකින් ඇඟැලුම් කර්මාන්තය ප්‍රසාරණය වී ඇත. මෙරට කර්මාන්ත අංශයේ සැලකිය යුතු කොටසක් අපනයනය සඳහා ඇඟැලුම් නිෂ්පාදනය වෙන අතර සෘජු රුකියා නියුක්තිය ලක්ෂ තුනක් පමණ බව දැක්වේ. ඇඟැළුම් කර්මාන්තයේ පැවැත්ම, වරින් වර ඇතිකරන අභියෝග හේතුකොටගෙන ඉතා සංකීර්ණ තත්ත්වයකට පත්ව තිබේ. ශ්‍රී ලංකාවේ ජන සමාජය මැදි ආර්ථිකයක තැනට උසස් වූ පසු ඇඟැළුම් කම්හල්වල සේවය සඳහා ශ්‍රම ගැටලුවක් නිර්මාණය කළේය. කෝටා ක්‍රම අහෝසිවීම, වැටුප් හා නඩත්තු වියදම, බලශක්ති පිරිවැය හා වරින්වර පනවන රජයේ බදු, කර්මාන්තය තීරණාත්මක තැනකට තල්ලු කර ඇත.
මෑතකාලය තුළ ප්‍රධාන පෙළේ ඇඟැලුම් කම්හල් ගණනාවක් වසා දමන ලද අතර සැලකිය යුතු පිරිසකට රැකියා අහිමි වී තිබේ. ඇතැම් සමාගම් කලාපයේ වෙනත් රටවලට සිය ව්‍යාපාර විහිදුවා ඇත. වඩා පහසුකම් සහ සහන සහිත සහ පිරිවැය කළමනාකරණය කරගත හැකි ස්ථාන වශයෙන් සැලකිය හැකි අතර එය ගතානුගතික රාමුවෙන් ගැලවී කර්මාන්තය ආරක්ෂා කරගැනීමට ආයෝජකයන් අනුගමනය කරන උපාය මාර්ගයක් වශයෙන් සැලකිය හැකිය.
දශක තුනක නෙක්ස්ට් යුගය අවසන්
කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පවත්වාගෙන ගිය‘ නෙක්ස්ට්’ ඇඟැලුම් කම්හල හදිසියේ වසා දමා ඇත. එම සිද්ධිය පදනම් කරගෙන මෙරට ඇඟැලුම් කර්මාන්තය දැනට පත්ව තිබෙන පසුබිම සාකච්ඡා කරන්නට අවස්ථාවක් නිර්මාණය වී තිබේ. නිෂ්පාදන පිරිවැය උහුලාගත නොහැකි අතර සේවය අහිමිවෙන සේවකයන් සඳහා සියලු දීමනා ගෙවන්නට සමාගම සූදානම් බව මාධ්‍ය වාර්තා කරයි. 1994 වසරේ ආරම්භ කරන ලද මෙම කම්හල, ප්‍රධාන වශයෙන් ලන්ඩන් නගරයේ කාන්තා විලාසිතා ඉල්ලුම සඳහා ඇඟැලුම් නිෂ්පාදනය කරන ලද බව දැක්වේ. ආඬියාගම හා නවගත්තේගම පිහිට් ‘නෙක්ස්ට්’ ඇඟැලුම් කම්හල් තව දුරටත් පවත්වාගෙන යන බව ද ප්‍රකාශ වී තිබේ. බ්‍රිතාන්‍යය මුලස්ථානය කොටගෙන 1864 දී ආරම්භ කරන ලද මෙහි මවු සමාගම, පන්සියයකට වැඩි අලෙවිසල් ප්‍රමාණයක් එරට පවත්වාගෙන යන දැවැන්ත ව්‍යාපාරයකි. ලෝකයේ තවත් රටවල් හතළිහක ඔවුන්ගේ ඇඟැලුම් ගබඩා ස්ථාන ගත කර තිබේ. බ්‍රිතාන්‍ය, ඊජිප්තුව, බංගලාදේශය, තුර්කිය, ඉන්දියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, කාම්බෝජය, හොංකොං හා ෂැංහයි හි ව්‍යාපාරික කාර්යාල ස්ථාපිත කර තිබේ.
ශ්‍රී ලංකාවේ කරගෙන ගිය ප්‍රධාන අංශයක් වසා දමන තීන්දුව හුදෙකලා සිද්ධියක් සේ ලඝු කිරීම සුදුසු තත්ත්වයක් නොවේ. අභ්‍යන්තරයෙන් දක්වන පණිවුඩය බලධාරීන්ගේ අවධානයට ලක් විය යුතුය. කොවිඩ් වසංගත තත්ත්වය සමග බිඳ වැටුණු මෙරට ආර්ථිකය, නැවත ගොඩනැගීම සඳහා තියුණු ප්‍රතිසංස්කරණ හඳුන්වා දිය යුතු අවධියක පසුවේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ රාමුව අනුව, ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා අය වැය පාලනය විශේෂිතව සලකමින් සිටින අතර, එහි බලපෑම සාමාන්‍ය ජනතාව ඉක්මවා ව්‍යාපාර හා කර්මාන්ත කෙරෙහි ද ඉලක්ක වී ඇත. විදුලිය ගාස්තු, ඉන්ධන මිල, වැටුප් වර්ධනය සඳහා කරන බලකිරීම් සහ ආනයන අපනයන රෙගුලාසිවල පවතින දුෂ්කරතා මෙහි දී ඉතාම සැලකිල්ලෙන් අධ්‍යයනය කිරීම බලධාරීන්ගේ වගකීමකි. බදු පැනැවීමේ දී කර්මාන්ත හා ව්‍යාපාරවලට සිදුවෙන අවාසි තක්සේරු කළ යුතුය. සාමාන්‍ය ජනතාවට විකල්ප නැති නමුත්, කර්මාන්ත හා ව්‍යාපාරවලට ඔවුන්ගේ ව්‍යාපාරවල අවදානම ඉදිරියේ තීන්දු ගත හැකිව තිබේ.
චීනය සමග ගනුදෙනු කරන රටවල් පාලනය කරන උපායක් වශයෙන්, චීනයෙන් ආනයනය කරන අමුද්‍රව්‍ය යොදා ඇමෙරිකාවට කරන නිෂ්පාදන සඳහා ද තවත් අතිරේක බදු යෝජනා වී තිබේ. ශ්‍රී ලංකාව හා තරගකාරීව ඇමෙරිකාවට ඇඟැලුම් අපනයනය කරන බංගලාදේශය සිය නිෂ්පාදනය සඳහා අවශ්‍ය රෙදිපිළිවලින් සියයට 78 ක් චීනයෙන් ආනයනය කෙරේ. ශ්‍රී ලාංකික ප්‍රධාන සමාගම් කිහිපයක් ද බංගලාදේශයේ ආයෝජනය කර ඇත. ඔවුහු නුදුරු කාලයේ ඇති විය හැකි ගැටලු ගැන දැනටමත් යුහුසුලු වෙමින් සිටී. ශ්‍රී ලංකාවේ ඇඟැලුම් කර්මාන්තකරුවෝ රෙදිපිළි චීනය, ඉන්දියාව හා හොංකොංවලින් ආනයනය කරමින් සිටිති.
අනතුරු ඇඟවීම් කිහිපයකට පසු තීන්දු
පසුගිය කාලයේ ප්‍රධාන ඇඟැලුම් කම්හල් කිහිපයක් මෙරට ධාරිතාව සීමා කරන තීරණ ගෙන තිබේ. ඒවා කර්මාන්ත අමාත්‍යාංශයට දැනුම් දී ඇත. සාමාන්‍යයෙන් වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන පහක පමණ අපනයන ආදායමක් උපයන කර්මාන්තයේ පැවැත්ම ගැන සැලසුම් අවශ්‍යය. කරුණු අනාවරණය වෙන පරිදි, ඇඟැලුම් සඳහා ඇනවුමක් ලැබුණ පසු නිෂ්පාදනය කර වෙළෙඳ පොළට යැවීම දක්වා අදියර ගණනාවක් පසු කෙරේ. සාම්පල් අනුමත කරගත යුතු අතර ඒවායේ රසායනික සංයුතිය සම්බන්ධ පරීක්ෂණාගාර වාර්තා අවශ්‍යය. නිෂ්පාදනය සඳහා අවශ්‍ය රෙදිපිළි හා වෙනත් මෙවලම් වහාම ආනයනය කර ගත යුතුය. නියමිත දින ගණන තුළ ඉල්ලුම සම්පූර්ණ කළ යුතු අතර නැව්ගත කර ඒවා ඉල්ලුම්කරුට ලැබෙන්නට සැලැස්වීමට සිදුවේ. මෙම කටයුතු සඳහා වෙන් කරන ලද දිනගණන වෙනස් වුවහොත් ගැටලු ඇතිවේ. පසුගිය කාලය තුළ වරාය වර්ජන, කන්ටේනර් ප්‍රමාදවීම, ඒවායේ ගාස්තු නැංවීම හේතුකොටගෙන මෙරට දී ඇඟැලුම් අපනයනයට බාධා තිබුණි. කර්මාන්ත මුහුණ පාන ගැටලු පිළිබඳව පුළුල්ව අධ්‍යයනය කිරීම අවශ්‍යය. පර් යේෂකයන් හා ක්ෂේත්‍රයේ නියුක්තවූවන් විසින් මෙම කරුණු පෙන්වා දී ඇත.
ඇඟැලුම් අපනයනයේ දී ජී.එස්.ටී. පහසුකම ගැන සලකා බැලීම සඳහා යුරෝපා කොමිසමේ නියෝජිත පිරිසක් පසුගිය දා මෙරටට පැමිණි අතර ඔවුන් ඉදිරිපත් කළ කරුණු මෙහි එක පැත්තකි. ශ්‍රී ලංකාවට හිමි කෝටා පංගුවෙන් සියයට හැත්තෑව ඉක්මවා ප්‍රයෝජනයට ගන්නේ නැති බව අනාවරණය කළේය. යල්පැන ගිය රේගු හා කම්කරු නීති යුරෝපා කොමිසමට අයත් රටවලට කරන අපනයන දුර්වලවීම සඳහා බලපා ඇති ප්‍රධාන කරුණු දෙකක් බව දක්වා ඇති එහි මෙරට තානාපතිනිය, වහාම යාවත්කාලීන කළ යුතු අංශ බව අවධාරණය කර තිබුණි. පාත්ෆයින්ඩර් පදනම සංවිධානය කළ වටමේස සාකච්ඡාවකට පැමිණි තානාපතිවරිය, අපනයනය සඳහා බාධා ඉවත් කිරීමෙන් තොරව රටට පැවැත්මක් නැති බව අවධාරණය කර ඇත. අපනයනය වර්ධනය සඳහා ජපානය හා ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් ගැන මෙවැනිම පාත්ෆයින්ඩර් වටමේස සාකච්ඡාවක දී ප්‍රශ්නයක් මතු කරන ලද අතර, ජපානයට අපනයන සඳහා අවශ්‍ය පමණ නිපදවන්නේ නැති රටක් නිදහස් වෙළෙඳ ගිවිසුම් සම්බන්ධ සාකච්ඡා පැවැත්වීම පවා පලක් නැති බව එම තානාපතිවරයා ද අවධාරණය කළේය.
පහසුකම් යනු බදු සහන පමණක් නොවේ
මෙරට ආයෝජනය කරන ලද සමාගම් ඒවා අත් හරින්නට තීරණය කිරීම හා අලුත් ආයෝජන රටට නොලැබීම කෙරෙහි අවධානය යොමු කරන, පසු ආයෝජන මණ්ඩලය දෙන පහසුකම් ද පරීක්ෂා කරබැලිය යුතුය. බදු සහන හා බදු සහන යටතේ උපකරණ හා වෙනත් දේ ආනයනය කරන්නට අවසර සැපයේ. ඉඩම් සැපැයීම හෝ යටිතල පහසුකම් ද ඒ අතර තිබේ. එහෙත් දකුණු ආසියාවේ ඉදිකිරීම් පිරිවැය වැඩිම රට ශ්‍රී ලංකාවය. විදුලිය ගාස්තු සිංගප්පූරුව හා සමානය. ව්‍යාපාර ආරම්භ කිරීමේ දී අනුමැතිය ලබාගැනීම ඉතාම දුෂ්කරය. ශ්‍රමයට කරන ගෙවීම් අනෙක් රටවලට සාපේක්ෂව ඉහළ අතර ශ්‍රම බළකාය ද ප්‍රමාණවත් නැත. මෙම අභ්‍යන්තරය බරපතළ අවකාශයකි.
ආණ්ඩුවලට දොස් තැබීම උත්තරය නොවේ. නිලධාරීන් ද වගකිව යුතුය. ලෝකයේ අනෙක් රටවල ප්‍රතිපත්ති හා ඉක්මන් තීරණ ගැන අධ්‍යයනය කරන, ඒ සම්බන්ධ අවබෝධයක් ගැනීම සඳහා සංචාරවල යෙදෙන පිරිස්, පවතින අසමතුලිත තැන් නිවැරදිකිරීම සඳහා ජාත්‍යන්තර අත්දැකීම් භාවිත කරන්නේ නැත. කර්මාන්ත හා ව්‍යාපාර පවත්වාගෙන යෑම සඳහා ඇති ඉඩකඩ සලකා, ලෝක බැංකුව ව්‍යාපාර සඳහා සූදානම් යන දර්ශකයක් ප්‍රකාශයට පත්කරයි. ශ්‍රී ලංකාව එහි පහළ තැනක පසුවේ. අභ්‍යන්තර වෙනස්කම් කළ යුතු තැන් මෙම දර්ශකයෙන් හඳුනාගත හැකිය.
විදුලිය ගාස්තු වැඩි කරන අතර කර්මාන්ත හා ව්‍යාපාරවලට පුනර්ජනනීය විදුලිය උත්පාදන ව්‍යාපෘති දිරිගැන්වීම අවශ්‍යය. ආණ්ඩු මැදිහත්වීමෙන් ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව හෝ ජපානයේ සංවර්ධන බැංකුවෙන් මෙම අංශ සඳහා සහන ණය ලබා ගත හැකි වැඩපිළිවෙළ තිබේ. ශ්‍රමය හිඟ පසුබිම තුළ, රොබෝ මැෂින් යෙදවීම දිරිගැන්විය යුතුය. ලෝකයේ සමහර රටවල්,මිනිස් ශ්‍රමයෙන් කළ හැකි කාර්යය යන්ත්‍රවලට පවරා තිබේ. එහි ප්‍රතිපලයක් ලෙස කාර්යක්ෂම, වේගවත් හා වියදම් අඩු නිෂ්පාදන ක්‍රමවේද ඇති කෙරේ. ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය නවීකරණයට හතළිස් අවුරුදු ණය පහසුකම් යටතේ අලුත් තාක්ෂණය ලබාගත හැකි විය. ඒ ආකාරයට ඇඟැලුම් කර්මාන්තයේ ද තාක්ෂණික හා බලශක්ති අංශවල වෙනස්කම් සඳහා පෙලඹවීම අවශ්‍යය.
ඉදිරි කාලය තවත් අවදානමක
ශ්‍රී ලංකාවේ ඇඟැලුම් කම්හල් ගණනාවක් ඉදිරි කාලයේ දී සිය ව්‍යාපාර තාවකාලිකව හෝ ස්ථිරව අවසන් කරන තීන්දු ගනිමින් සිටී. අභ්‍යන්තර ප්‍රශ්න පමණක් නොව ජාත්‍යන්තරයෙන් එල්ලවෙන තවත් කරුණු ගණනාවක් තිබෙන බව මෙහි දී දැක්විය යුතුය. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ඡන්ද ව්‍යාපාරයේ දී එරට ඇඟැලුම් කර්මාන්තය දියුණු කළ යුතු බව අවධාරණය කළ අතර, ලොස් ඇන්ජලීස් හා නිව් යෝර්ක් නගරවල ඇති කම්හල්වල ලක්ෂ ගණනක් පිරිස් පිටරටින් එන ඇඟැලුම් අඩුකර ඇමෙරිකානු නිෂ්පාදනවලට ඉඩ දෙනු ඇතැයි විශ්වාස කරමින් සිටී. එය සනාථකරමින් ඇමෙරිකාවට ගෙන්වන භාණ්ඩ සඳහා සියයට දහයක බද්දක් සහ ඇමෙරිකාව සමග ඇති වෙළෙඳ පරතරය සම කරන තවත් විශේෂ බදු මෑතක දී පැනැවීය. ශ්‍රී ලංකාවට සියයට 44 ක අතිරේක බද්දක් උහුලන්නට සිදුවෙන අතර මෙරටින් යැවෙන ඇඟැලුම් වලින් සියයට තිස්පහක් පමණ ඇමෙරිකාවට අපනයනය කරන හෙයින් ඉදිරියේ දී මෙරට ඇඟැලුම් කර්මාන්තයට තවත් දුෂ්කරතා ඇතිවෙනු ඇත.
චීනය සමග ගනුදෙනු කරන රටවල් පාලනය කරන උපායක් වශයෙන්, චීනයෙන් ආනයනය කරන අමුද්‍රව්‍ය යොදා ඇමෙරිකාවට කරන නිෂ්පාදන සඳහා ද තවත් අතිරේක බදු යෝජනා වී තිබේ. ශ්‍රී ලංකාව හා තරගකාරීව ඇමෙරිකාවට ඇඟැලුම් අපනයනය කරන බංගලාදේශය සිය නිෂ්පාදනය සඳහා අවශ්‍ය රෙදිපිළිවලින් සියයට 78 ක් චීනයෙන් ආනයනය කෙරේ. ශ්‍රී ලාංකික ප්‍රධාන සමාගම් කිහිපයක් ද බංගලාදේශයේ ආයෝජනය කර ඇත. ඔවුහු නුදුරු කාලයේ ඇති විය හැකි ගැටළු ගැන දැනටමත් යුහුසුලු වෙමින් සිටී. ශ්‍රී ලංකාවේ ඇඟැලුම් කර්මාන්තකරුවෝ රෙදිපිළි චීනය, ඉන්දියාව හා හොංකොංවලින් ආනයනය කරමින් සිටිති. 2023 වසරේ දී චීනයෙන් කරන රෙදි ආනයනය සුළු වශයෙන් අඩු වූ අතර කෙසේ වෙතත් ඇමෙරිකානු ඩොලර් බිලියනයක පමණ රෙදි ප්‍රමාණයක් චීනයෙන් ගෙන්වන බව වාර්තා වේ. ඇමෙරිකානු ඩොලර් බිලියන පහක ඇඟැලුම් අපනයන ව්‍යාපාරයක් තුළ, රෙදි ආනයනයට එයින් පහෙන් එකක් චීනයෙන් ගෙන්වන පසුබිම තීරණාත්මකය. වර්තමානයේ බංගලාදේශය මුහුණ පා සිටින ඉරණම නුදුරු කාලයේ දී ශ්‍රී ලංකාවට එල්ලවිය හැකිය.
‘‘නෙක්ස්ට්’’ ඇඟැලුම් කම්හල ඉවත්වීම පූර්ව සූදානමක් බව උපකල්පනය කිරීම සුදුසුය. වසර තිහක් පැරණි උපකරණ, අපනයන බදු බාධා, ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කරගෙන යාමේ දී මුහුණ පා ඇති සංකීර්ණතා එකතු වූ පසු, ලෝකයේ වෙනත් කලාපයකට සංක්‍රමණය වාසිදායක බව තීන්දු කරන්නට ඇත. මෙම අවස්ථාවේ දී ප්‍රධාන පෙළේ අනෙක් ඇඟැලුම් කර්මාන්තකරුවන් කැඳවා වාතාවරණය පරීක්ෂා කළ යුතු අතර කෙටි කාලීන හා දීර්ඝකාලීන විසඳුම් යෝජනා කිරීම බලධාරීන්ගේ වගකීමකි.
සාරා කන්දෙගොඩ