
වත්මන් ආණ්ඩුව බලයට පැමිණි පසු තෙල් පිරිපහදු දෙකක් අලුතෙන් ඉදිකිරීමට යෝජනා විය. සිනොපෙක් සමාගම සමඟ ගෝඨාභය සහ රනිල් වික්‍රමසිංහ ආණ්ඩු එකඟ වූ හම්බන්තොට තෙල් පිරිපහදුව සහ දැනට පවතින සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ විශාල ප්‍රමාණයේ නව ඉදිකිරීමකි. ඩොලර් බිලියන තුනයි දශම හතක (3.7) හම්බන්තොට තෙල් පිරිපහදුව ලංකාවට ලැබෙන ලොකුම විදේශීය ආයෝජනය බවද මහත් ඉහළින් ප්‍රචාරය කෙරිණි. එහෙත් එය තවමත් තීන්ත වියළුණු කඩදාසියක් පමණකි. සපුගස්කන්ද පිරිපහදුවේ වැඩිදියුණු කිරීම සඳහා ද සිනොපෙක් සමාගම තම අභිලාෂය ප්‍රකාශ කළ අතර ඒ සඳහා ඇමෙරිකා සහ ඉන්දියානු ආණ්ඩු ද තම අභිලාෂය ප්‍රකාශ කර ඇත.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ හම්බන්තොට යෝජිත තෙල් පිරිපහදුව ආරම්භ නොකිරීමට රජය තීන්දු කර ඇති බවය. චීන සමාගම පිරිපහදුව ඉදිකරන භූමියේ සහ පිරිපහදුවේ හිමිකාරීත්වයෙන් සියයට හතළිහකට වඩා වැඩි ප්‍රමාණයක් ඉල්ලා සිටින බවත් එනිසා රජය පිරිපහදුව ආරම්භ නොකිරීමට තීන්දු කර ඇති බවත් ප්‍රචාරය වුවද සැබෑ හේතුව එය නොව ඇමෙරිකාව, ඉන්දියාව ඇතුළු තවත් බලවත් රටවල් විරසක වේය යන බිය නිසා යෝජිත පිරිපහදුව අතහැරීමට රජය තීන්දු කිරීමය.
හම්බන්තොට තෙල් පිරිපහදුව සඳහා චීනය සහ රජය අතර සාකච්ඡා පැවැත්වෙද්දී ලෝක දේශපාලන බල තුලනයේ දී ශ්‍රී ලංකාවට යළිත් වරක් අසීරු කඩඉමක් පසු කරන්නට සිදුවේදැයි යන කතාබහක් ඉකුත් දා දේශපාලන අංශ අතර ඇතිවිය. මෙයට හේතු වූයේ ඇමෙරිකා එක්සත් ජනපදය පිට පිටම දෙවැනි වතාවටත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවය.
පළමු වාර්තාව මෙරට ආයෝජන පිළිබඳ පැහැදිලි ප්‍රතිපත්තියක් නොමැති බවට වූ නිවේදනයක් වූ අතර දෙවැන්න නිකුත් වූයේ ලංකාවේ සංචාරය කරන ඇමෙරිකානු පුරවැසියන්ට ගැටුම්, ආදී කලබලකාරී පරිසරයක් ගැන අනතුරු අඟවමිනි.
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ආයෝජන සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව හම්බන්තොට සහ සපුගස්කන්ද යෝජිත තෙල් පිරිපහදු දෙකට අදාළය. ආයෝජන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රජය වැනෙන සුළු ප්‍රතිපත්තියක සිටින බව එම නිවේදනයෙන් ඔවුහු කියා සිටිති. එම නිවේදනයේ සඳහන් වන්නේ ජාතික ජන බලවේග ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් ආයෝජකයන්ට සහතිකයක් ලබා දුන්නද ඔවුන්ගේ අතීතයේ සිට පැවත එන බටහිර විරෝධී මාක්ස්වාදී බලපෑම් සහිත මතවාද හේතුවෙන් ආයෝජකයන් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් අවිනිශ්චිත බවකින් පසුවන බවය. ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී නොගැලපෙන ස්වභාවයක් දක්නට ලැබෙන බවද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඇමෙරිකාව මෙසේ කියන්නේ මෑත කාලයේ ලංකාවේ ආයෝජන අවස්ථා කිහිපයක්ම බලාපොරොත්තුවෙන් සිට එම බලාපොරොත්තු බිඳ වැටුණු පසුය. වර්තමාන රජය බලයට පත් වූ විගසම ප්‍රකාශ කළ සපුගස්කන්ද තෙල් පිරිපහදුව විශාල කිරීම ඉන් එකකි. දෙවැන්න ගෝඨාභය රාජපක්ෂ රජය සමයේ දී ගිවිසුම් අත්සන් කළ ද ඇමෙරිකාවට නොලැබුණු කෙරවලපිටිය එල්.එන්.ජී. බලාගාරය ඉදිකිරීමය.
ශ්‍රී ලංකාවේ ආණ්ඩු රටවල් කිහිපයකම තෙල් පිරිපහදු ඉදිකිරීමේ පොරොන්දු ලබා දුන්නද ඒ එක් පොරොන්දුවක්වත් ඉටු වූයේ නැත. ඉන්දියාව කැමැත්තෙන් සිටීනම් ත්‍රිකුණාමල වරාය හා තෙල් ටැංකි ආශ්‍රිතව ඛනිජ තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීමට අවස්ථාව ලබාදීමට සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක ද විදේශ කටයුතු ඇමැති විජිත හේරත් ද පවසා ඇත. ජනාධිපතිවරයා චීනයේ සිනොපෙක් සමාගම සමඟ හම්බන්තොට මෙවැනිම තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා සිය චීන සංචාරයේ දී ගිවිසුම්ගත විය.
එහෙත් දශක තුනක් ආපස්සට ගමන් කරන විට පෙනී යන්නේ ත්‍රිකුණාමලයේ ඛනිජ තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා 2000 සිට මෙරට පැවැති සෑම ආණ්ඩුවක්ම විවිධ රටවල් සමඟ සාකච්ඡා කර ඇති බවය. වාර ගණනාවක්ම තෙල් පිරිපහදුවක් ඉදිකිරීම ගැන කතා කළත් පිරිපහදුව තවමත් “කතා සාප්පුවකට” සීමා වී ඇති බවය.
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සමූහය ඉදිවන්නේ 1940 දී දෙවැනි ලෝක යුද සමයේය. ත්‍රිකුණාමලයට එල්ල වූ ජපන් හමුදා ප්‍රහාරයේ දී එක් ගුවන් නියමුවකු තම යානය තෙල් ටැංකියක හැප්පීමෙන් එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් එම තෙල් ටැංකිය ගිනිගෙන විනාශ විය. බ්‍රිතාන්‍යයන්ගේ යුද කඳවුරු ලංකා රජයට 1959 දී පවරාගත් පසුවද මෙම ටැංකි සමූහය පවරා දෙන්නට බ්‍රිතාන්‍ය රජය අකමැති වූ අතර 1965 දී බණ්ඩාරනායක අගමැතිනිය ස්ටර්ලිං පවුම් දෙලක්ෂ පනස් දහසක වන්දි මුදලක් ගෙවා තෙල් ටැංකි සමූහය ලංකා රජයට පවරා ගත්තාය. එහෙත් එදා සිට 2003 දක්වාම තෙල් ටැංකි නිකරුණේ දිරමින් පැවතුණේය.
හම්බන්තොට වරාය හා එයට යාව ඉදිකිරීමට යෝජනා වූ ඛනිජ තෙල් පිරිපහදුවට එරෙහිවත් ත්‍රිකුණාමල වරාය ආශ්‍රිතව වරින් වර යෝජනා වූ තෙල් පිරිපහදුවට එරෙහිවත් එවකට විපක්ෂයේ සිට හඬ නැඟූ එක් පක්ෂයක් වන්නේ ජනතා විමුක්ති පෙරමුණය. ඔවුන්ගේ විරෝධය එල්ල වූයේ එම ව්‍යාපෘතිවලින් ආණ්ඩු පාක්ෂික ඇමැතිවරුන්ට හිමිවන බව කියන කොමිස් හා ප්‍රදානයන් ගැන මෙන්ම ඉන්දීය රජයේ ආක්‍රමණික ප්‍රතිපත්තියට ද එරෙහිවය. හම්බන්තොටදී චීනයට ඇතිවන ඒකාධිකාරය ගැනය. දෛවයේ සරදමකින් අද ඔවුන්ගේම ආණ්ඩුවක් බලයට පත්ව ඇතත් ඛනිජ තෙල් පිරිපහදුව තවමත් සිහිනයක් පමණකි.

තෙල් පිළිබඳ ගනුදෙනු ඉන්දියාවට අතිශය සංවේදීය. අසූව දශකයේ ඇමෙරිකාව සිටියේ ඉන්දියානු විරෝධී ස්ථාවරයකය. ඉන්දියාව සෝවියට් දේශය සමඟ සමීප සබඳතාවක් පවත්වාගෙන යාම එයට හේතුවය. ලංකාව ඇමෙරිකාව සමඟ වඩාත් හිතවත්ව සිටීමත් ඒ සමඟම ජේ.ආර්. ප්‍රේමදාස ඇතුළු ආණ්ඩු ප්‍රධානීන් ඉන්දීය විරෝධී මත පළ කිරීමත් නිසා ඉන්දියාව දමිළ බෙදුම්වාදයට වැඩි වැඩියෙන් ආධාර කළේය. අසූව දශකයේ මුලින්ම දමිළ ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වෙද්දී ඇතුළත්මුදලි වැනි ඇමැතිවරුන් ප්‍රසිද්ධියේ කීවේ සෝවියට් දේශය ලංකාව අස්ථාවර කරන්න සිදු කරන මෙහෙයුමක් කියාය. ජේ.ආර්.ලා, ලලිත්ලා ඇමෙරිකාව සමඟ දීග යද්දී ඉන්දියාව බය වුණේ ඇමෙරිකන් හමුදාව ලංකාවේ කඳවුරු පිහිටුවයි කියාය. ඉන්දියාව සිතුවේ ත්‍රිකුණාමලය වරායත් ඒ අසල ඇති තෙල් ටැංකි සියයත් මැදි කර ඇමෙරිකානු හමුදාව බින්න බහී කියාය. මේ නිසා 1983 සිටම ඉන්දියාව ලංකාව සමඟ කළ සෑම සාකච්ඡාවකදීම ත්‍රිමලයේ තෙල් ටැංකි අන්සතු නොකළ යුතු බවට ලංකාවට බල කෙරුණේය. අවසානයේ බලහත්කාරයෙන් අත්සන් කළ 1987 ඉන්දු ලංකා ගිවිසුමටත් ඉන්දියාවෙන් නොවිමසා ත්‍රිමලයේ තෙල් ටැංකි කිසිම විදේශීය පාර්ශ්වයකට පවරා නොදෙන බවට වගන්තියක් ද ඇතුළත් කෙරුණේය. පසුව ඇමෙරිකාව ඉන්දියාවේ මිතුරකු වුණේය. දෙරටේම පොදු සතුරා වුණේ චීනයය.
එක්දහස් නවසිය අසූව වසරේදී එතෙක් පිලිපීනයේ “සුවික්” බොක්කේ පවත්වාගෙන ගිය ඇමෙරිකානු හත්වැනි නාවික හමුදාවේ සුවිසල් කඳවුරේ බදු කාලය අවසන් වීම නිසා පිලිපීනයෙන් පිටමං වීමට ඇමෙරිකාවට සිදුවිය. මේ නිසා 7 වැනි නාවික හමුදාව ත්‍රිකුණාමල වරායේ යුද කඳවුරක් ඉදිකිරීමට එකල එජාප රජයෙන් අවසර ඉල්ලා ඇති බවට මත පළ විය. විපක්ෂය ගෙන ගිය විරෝධය හමුවේ ඇමෙරිකා හා ශ්‍රී ලංකා ආණ්ඩු නිවේදනය කළේ එවැනි ඉල්ලීමක් කර නැති බවය. එහෙත් එතැන් සිට වසර ගණනාවක්ම ඇමෙරිකානු නාවික කඳවුරකට ත්‍රිකුණාමල වරාය ලබා දෙන බවට විවිධ ප්‍රචාර පළ විය. සෝවියට් දේශය ඇදවැටීමත් සමඟ ඉන්දියාව ඇමෙරිකාවේ මිතුරකු බවට පත් වූ අතර එතැන් සිට ඇමෙරිකාව සහ ඉන්දියාව අතර ඇත්තේ කොන්දේසි විරහිත එකඟතාවකි. ගෝඨාභය ජනාධිපති සමයේ ඇමෙරිකාව සහ ඉන්දියාව එක්ව එකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ත්‍රිකුණාමලය වරාය සහ තෙල් ටැංකි ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකා රජයට එයට අකමැති වූ පසු ආණ්ඩු පෙරළන ගෝල්ෆේස් අරගලය ඇරඹුණේය. දැන් ගෝඨාභයගේ රජය නැත. දැන් ඇත්තේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායකගේ රජයකි. ඒ රජය චීනයට හම්බන්තොට වරාය අසල සුවිසල් තෙල් පිරිපහදුවක් අරඹන්නට ගිවිසුම් අත්සන් කළ ද එම කටයුත්ත ද අතරමග නතර විය. විදේශීය බලපෑම් මත ලංකාවේ සංවර්ධනය නතර වන්නේ එලෙසය.
එල්ටීටීඊ සංවිධානය සමඟ සටන් විරාම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු 2003 වසරේදී අගමැති රනිල් වික්‍රමසිංහ රජය ඉන්දියාවේ අයි.ඕ.සී. සමාගම සමඟ අත්සන් කළ ගිවිසුමකින් සම්පූර්ණ තෙල් ටැංකි සංඛ්‍යාවම එම සමාගමට බදු දුන්නේය. බදු කාලය වසර තිස් හතකි. එහෙත් තෙල් ටැංකි අනූ නවයෙන් ඉන්දීය තෙල් සමාගම පාවිච්චි කරන්නේ තෙල් ටැංකි 15 ක් පමණකි.
2021 දී ඇමෙරිකානු සමාගමක් ත්‍රිකුණාමලයේ මහා පරිමාණ තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට ඉදිරිපත් විය. එයට සමාන්තරව ත්‍රිමලය වරාය ආශ්‍රිතව අක්කර 33,000 ක මහා පරිමාණ ආයෝජන කලාපයක් ඉදිකිරීමට ද ඇමෙරිකාව යෝජනා කළේය. එම ආයෝජන කලාපයේ ආයෝජනය කළ හැක්කේ ඇමෙරිකානු - ඉන්දියානු සහ ජපාන සමාගම්වලට පමණකි. මෙම දැවැන්ත ව්‍යාපෘතිය ඇතුළත් වූයේ ඇමෙරිකාව මෙරටට යෝජනා කළ එම්.සී.සී. ගිවිසුම යටතටය. එහෙත් රට තුළින් ආ විරෝධතා හේතුවෙන් පිරිපහදු ව්‍යාපෘතිය හා එම්.සී.සී. ගිවිසුම ද අකුළා ගන්නට ඇමෙරිකානු රජයට සිදුවිය.
ගෝඨාභය රාජපක්ෂ රජය සමයේ බලශක්ති ඇමැති වූ උදය ගම්මන්පිල මහතා 2003 දී රනිල් වික්‍රමසිංහ රජය තෙල් ටැංකි පවරා දුන් ගිවිසුම සංශෝධනය කරමින් ටැංකි 61 ක් ඒකාබද්ධව සංවර්ධනය කිරීමට ඛනිජ තෙල් සංස්ථාව සහ ඉන්දීය තෙල් සමාගම අතර “ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල්” නමින් අලුත් සමාගමක් ආරම්භ කළේය. එහෙත් එම සමාගම ද කටයුතු කරන්නට පටන් ගත්තේ ඉබි ගමනිනි. එයට හේතුව අදාළ ඇමැතිවරයාට ඉහළින් රටේ නායකකාරකාදීන් ගන්නා තීන්දු තීරණය.
2023 දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ රජය සමයේ දී ත්‍රිකුණාමලයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට ඉන්දීය රජයෙන් යෝජනාවක් ඉදිරිපත් විය. මෙම යෝජනාව අනුව පිරිපහදුවක් අලුතෙන්ම ඉදිවන අතර තෙල් ටැංකි අනූ නවය එයට බාහිරින් සම්බන්ධ වෙයි. එහෙත් ඒ යෝජනාව ද “කතා සාප්පුවක්” පමණක් බවට පත් විය.
ශ්‍රී ලංකා රජය ඛනිජ තෙල් වෙළෙඳාමට පිවිසියේ 1961 වසරේදීය.
එතෙක් යුරෝපීය තෙල් සමාගම් මෙරට ඛනිජ තෙල් වෙළෙඳාමේ නිරතව සිටි අතර 1961 දී සිරිමාවෝ බණ්ඩාරනායක රජය විදේශීය තෙල් සමාගම්වලට වන්දි ගෙවා රජයට පවරා ගත්තේය. ඉන්පසු 1969 දී ඩඩ්ලි සේනානායක රජය යටතේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව පිහිටුවීය. සපුගස්කන්ද තෙල් පිරිපහදුව සැලකෙන්නේ ආසියාවේ පළමු ඛනිජ තෙල් පිරිපහදුව වශයෙනි. මෙම පිරිපහදුව ඉරාන බොරතෙල් පිරිපහදු කිරීමේ අරමුණින් ඉරාන රජයේ ආධාරය ඇතිව ඉදිකරන ලදී. ලෝකයේ බොරතෙල් නිෂ්පාදනය කරන රටවල තෙල් එකිනෙකට වෙනස් සාන්ද්‍රණයකින් යුක්තය. ඉරාන ආධාරයෙන් ඉදිකළ සපුගස්කන්දේ පිරිපහදු කළ හැක්කේ ඉරාන, ඉරාක, ඕමාන යන රටවල බොරතෙල් පමණකි.
1961 සිට 1995 දක්වා ඛනිජ තෙල් සංස්ථාව විවිධ ඛනිජ තෙල් නිෂ්පාදනවලින් විශාල විනිමය ප්‍රමාණයක් ඉපැයූ අතර ඉන් මුල්තැන ගත්තේ ලිහිසි තෙල් ව්‍යාපාරයයි. සපුගස්කන්දෙන් බොරතෙල් පිරිපහදු කිරීමේදී නිපදවෙන ලිහිසි තෙල් විකුණා ඇතැම් අවුරුදුවල ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියනය ඉක්මවූ ලාබයක් ලැබූ බව කියැවේ. එහෙත් 1994 චන්ද්‍රිකා කුමාරතුංග රජය ඛනිජ තෙල් සංස්ථාවේ ලිහිසි තෙල් ව්‍යාපාරය විදේශීය සමාගමකට පැවරීය. එතැන් සිට තෙල් සංස්ථාවේ ලාබය වසරින් වසර අඩු වුණා මිස වැඩි වුණේ නැත.
හරි විදිහට කරන්නේ නම් ඛනිජ තෙල් කර්මාන්තය යනු රටක ආර්ථික දියුණුව ළඟා කර ගැනීමේ ප්‍රධානම අවස්ථා කිහිපයෙන් එකකි. හොඳම උදාහරණය සිංගප්පූරුවය. සිංගප්පූරුවේ එකම තෙල් ළිඳක් හෝ නැතත් පිරිපහදු කරන ලද ඉන්ධන විකුණන රටවල් අතර තුන්වැනි තැනට පත්ව ඇත්තේ සිංගප්පූරුවය. රට වටා ඉදිකර ඇති තෙල් ටැංකිවලට බොරතෙල් රැගෙනවිත් පිරිපහදු කර විකිණීමෙන් සිංගප්පූරුව සුවිශාල ආර්ථික වර්ධනයක් ලබා ගත්තේය. ත්‍රිමලය වරායත් හම්බන්තොටට මුහුදු කිලෝමීටර් හතරක් දුරින් ඇදී යන ජාත්‍යන්තර නෞකා මාර්ගයත් ආර්ථික දියුණුව කරා ළඟා වීමට අපට හැකියාව ඇතත් එය ඉටු නොවන සිහිනයකි.
එක්දහස් නවසිය පනස් ගණන් වනවිට ලංකාවේ විදේශීය තෙල් සමාගම් ගණනාවක්ම තිබුණේය. එයින් වඩාත් ප්‍රබල වූයේ ෂෙල් කොම්පැනියය. 1956 දී ලංකාවේ තෙල් අලෙවියෙන් සියයට හැටක් සිදු කළේ ෂෙල් සමාගමය. ලංකා ෂෙල් සමාගම 1903 වසරේ මෙරටට ආ බහුජාතික සමාගමකි.
සිරිමාවෝ බණ්ඩාරනායක රජය මගින් 1961 දී ජනසතු කළ ලංකාවේ ඛනිජ තෙල් ව්‍යාපාරය 1962 සිට අලුතෙන් පිහිටවූ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඒකාධිකාරයට යටත් කිරීමෙන් රජය බලාපොරොත්තු වූයේ ජනතාවට සාධාරණ මිලක් යටතේ ඛනිජ තෙල් නිෂ්පාදන සැපයීමය. ඒ අනුව එවකට වෙළෙඳපොළ ආධිපත්‍යය හිමිකරගෙන තිබූ කැල්ටෙක්ස්, ෂෙල් සහ එසෝ ඇතුළු බහුජාතික සමාගම් 13 ක තෙල් ඒකාධිකාරය වන්දි ගෙවා රජයේ පාලනයට මුළුමනින්ම නතු කෙරිණි. නව පිරිපහදුවක්ද ආරම්භ විය. මුලදී සෝවියට් දේශයෙන් බොරතෙල් ආනයනය කර එහි පිරිපහදු කළ අතර ඉන්පසු දේශපාලන වෙනස්කම් අනුව මෙරට විවිධ ආණ්ඩු සෝවියට් දේශයේ තෙල් අතහැර මැදපෙරදිගට යොමුවිය. කාලයක් ඉරානයේ බොරතෙල් ගෙන ආවද ඇමෙරිකානු සම්බාධක මත ඉරාන බොරතෙල් ආනයනයට බාධා ඇතිවිය. තෙල් සංස්ථාවට දේශපාලන හිතවත්කම් මත තමන්ගේ ගෝලබාලයන් පත් කිරීමද දිගටම සිදුවිය. එය දිගින් දිගටම පාඩු ලබන්නට පටන් ගත්තේය.
පිරිපහදු කළ ඉන්ධන සිංගප්පූරුවෙන් ගෙන ඒම ඇරඹුණේ 2002 වසරේදී පමණය. මෝටර් රථ ආනයනය වැඩිවීම සහ ප්‍රවාහන අවශ්‍යතා වැඩිවීම එයට හේතුවය. එයට සාපේක්ෂව තෙල් පිරිපහදුවේ ධාරිතාව වැඩි වූයේ නැත. එහි යන්ත්‍ර සූත්‍ර කල් ඉකුත් වෙමින් තිබුණේය. එහි නිෂ්පාදනය ද අඩු විය. මෙමගින් සැපයුමේ හා ඉල්ලුමේ තිබූ සමබරතාව බිඳ වැටිණි. සිංගප්පූරුවේ පිරිපහදු කළ ඉන්ධන ගෙන ඒම වසරින් වසර වැඩි වුණේය. දැනට සිංගප්පූරුවේ පිරිපහදු කළ ඉන්ධන ආනයනය මෙරට ඉන්ධන ඉල්ලුමෙන් සියයට 70% ක් පමණ වේ.
ඉන්ධන වෙළෙඳාම සහ ඖෂධ වෙළෙඳාම ලෝකයේ තදබල ලෙස ක්‍රියාත්මක වන මාෆියාවකි. මෙම මාෆියාවේ සිටින්නේ තෙල් පිරිපහදු කර පාවෙන ගබඩාවල පටවා ඇනවුම් ලැබෙන තුරු බලා සිටින අතරමැදියන්ය. ඉල්ලුම් කළ පමණින් ඔවුහු වැඩි ලාබයක් ලබාගෙන නැව අවශ්‍ය රටට යොමු කරති. වසර ගණනාවක් මෙරට ක්‍රියාත්මක වූයේ එම ක්‍රමය වුවත් වත්මන් රජය ඍජුව රටකින් රටකට තෙල් මිලදී ගන්නා ප්‍රතිපත්තියට මාරුවන බවට පොරොන්දු විය. එහෙත් තවමත් එම ක්‍රමය ක්‍රියාත්මක නොවේ. බොරතෙල් ආනයනය කර මෙරටදී පිරිපහදු කර පාවිච්චි කරන අඩු වියදම් ක්‍රමය තවමත් රටට දූරස්ථ බව මේ සියලු දෑ නිරීක්ෂණයේ දී පෙනී යයි. එහි ප්‍රතිඵලය වන්නේ ජාතික ධනය තව තවත් ඉවතට ගලා යාමය.
ප්‍රේමකීර්ති රණතුංග

