ඇමැතිකමින් අස්කළාට පස්සේ කිසිම ඇමැති කෙනෙක් මට කතා කළේ නෑ


හිටපු ක්‍රීඩා අමාත්‍ය පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

රොෂාන් රණසිංහ 

ක්‍රිකට් අර්බුදයේ උච්චතම අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අමාත්‍ය ධුරයෙන් නෙරපා හරිනු ලැබීය. මොකද වුණේ? මොකක්ද වෙන්නේ? මේ ඒ ගැන විමසමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය, පොදුජන පෙරමුණේ පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා සමග කළ සාකච්ඡාවකි.


?ඔබ ඉතිහාසයට එක්වුණේ කැබිනට් එකේදීම කැබිනට් එකෙන් ඉවත් කළ පළමු අමාත්‍යවරයා ලෙසයි. මොකද හිතෙන්නේ?


පිළිතුර:- කැබිනට් එකේදීම අස්කිරීමේ ලියුම ලැබුණ එක නම්  ප්‍රශ්නයක් නොවෙයි. පාර්ලිමේන්තුවේදී මම කරපු කතාවෙන්ම මම උපුටා ගන්නවා. දැන් මට කැබිනට් මණ්ඩලයට එන්න කියලා පණිවිඩය එනවනේ. ඒක ශීලාචාර විදියට වෙනවා. නමුත් ඉතාම අශිෂ්ට, අශීලාචාර විදියට එළියට දෙන්න හදනවා මාව අස්කරපු හේතුව.



?ජනාධිපතිවරයා ඔබට ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කරනවා ඒවට ඔබට උත්තර දීගන්න බැරි වෙනවා?


පිළිතුර:- මම ඒකේ ඇත්ත කතාව කියන්නම්. මාව අස්කරන්න ප්‍රධාන හේතුව මම හොරුන් වෙනුවෙන් පෙනී නොසිටීම. හොරු රකින්න කියලා ලොකු බලපෑමක් තිබ්බා. මම හොරුන් රැක්කේ නෑ. ගොඩක් අය කියනවනේ ‘අපි හොරුන් අල්ලනවා’ කියලා.


 ඔය ජේවීපී එකේ නායකයෝ 2015 රනිල් මහත්තයාගේ ආණ්ඩුවේ දූෂණ විරෝධී කමිටුවේ හිටියා. හොරු අල්ලන්න බාර දුන්නේ ඒ කමිටුවටනේ. නමුත් අල්ලපු හොරෙක් කියන්නකෝ. ලෝකය වටේම ඒගොල්ලෝ කිය කියා යනවනේ. මහජනයා මුළා කරන්න ආයිත් කියනවා ‘දූෂණය – දූෂණය’ කියලා. මම දූෂණය ගැන කමිටු දාලා දූෂණය හොයාගෙන, විගණකාධිපතිට තොරතුරු දීලා, විගණකාධිපතිගෙන් ඒක අතටම අල්ලගෙන නිර්දේශයක් අරගෙන නීතිමය ක්‍රියාමාර්ග ගන්න තැනටම මම ගෙනාවා. ඒ තැනට ගෙනාවට මට කනගාටුයි.


ඔය බොරුවට කෑගහන සියයට තුනේ මහත්වරුන්ගේ හැසිරීම බලන්න. 69 ලක්ෂයේ ආණ්ඩුව කියන්නේ ‘එක නීතියක් එක රටක්’ ‘දූෂණයෙන් තොර රටක්’ කියන අයනේ එම  ප්‍රතිපත්තිමය කාරණාවලටනේ 69 ලක්ෂයක් ඡන්දය දුන්නේ. මම වචනවලට සීමා වෙන්න කැමැති නෑ. දූෂණයෙන් තොර රටක් හදන්න නම් අපි ආදර්ශවත් වෙන්න ඕනා. ඒ නිසා තමයි මම පාර්ලිමේන්තු වැටුප ගන්නේ නැත්තේ.


රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා යනකොට ගුවන් ටිකට් ගත්තේ නැහැනේ. රට යනකොට ඇමැතිවරුන්ට මුදල් දෙනවා. මම ඒවා ගත්තේ නෑ. ඇමැතිවරයෙක් විදියට මම තෙල් දීමනාවවත් අරගෙන නෑ. රට බංකොලොත් වෙලා තියෙද්දි මේවා ගන්න බෑනේ.



?මගේ ප්‍රශ්නය වුණේ....?


පිළිතුර:- පොඩ්ඩක් ඉන්න. මම එතැනට  එන්නම්. මම කියාගෙන ආවේ දූෂණයට එරෙහිව මම දීපු ආදර්ශ. එහෙම මම අතට අල්ලලා දීපු හොරා වෙනුවෙන් පාර්ලිමේන්තුවට ගෙනාපු විවාදයේදීත් මේගොල්ලෝ ලිස්සලා යනවා. කෝප් එකේදීත් එහෙමයි. එහෙම වුණේ කොහොමද? එහෙම වුණේ හොරු බලවත් නිසයි.


 කෝප් එකෙත් හොඳ අවංක අය ඉන්නවා. නමුත් කෝප් එකෙත් සමහරුන්ව හොරු අල්ලලනේ. රටේ ගොඩාක් ආයතන හොරු අල්ලලා. මේ තත්ත්වය හරිම කනගාටුද්‍ායකයි.



?මම මුලින් අහපු ප්‍රශ්නයට අමතරව මේ ප්‍රශ්නයත් අහන්නම්. ඔබව ඉවත් කරන්නේ ඇමැති මණ්ඩලයේ සාමූහික වගකීම් කඩකළ නිසා?


පිළිතුර:- ක්‍රිකට් බෝඩ් එකේ දූෂණය මම අතටම අල්ලා ගත්තා. හොරුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත්තා. නීතිපතිතුමාට තියෙන්නේ නඩු දාන්න. නීතිපතිතුමා නඩු දාන්නේ නැත්නම් මම මොකද කරන්නේ.


 අනික තමයි පනත. ඒ පනතට අනුව ක්ෂණිකව තීන්දු ගැනීමේ බලය තියෙනවා. දැන් මම ඔබ අහපු ප්‍රශ්නයට උත්තර දෙන්නම්. මාව කැබිනට් එකේදි එතුමා හැදුවේ......... මම ඒකයි කිව්වේ අශීලාචාර විදියට ඒක කළා කියලා එතුමා වෙනත් කාරණා දෙකක් මතු කරන්න හැදුවා.



?ඔබ විපක්ෂනායක සජිත් සමග ඉන්දියානු මහකොමසාරිස්වරයා හමුවෙලා ක්‍රිකට් ගැන කතා කරලා තියෙනවා.


පිළිතුර:- හරි, මං ඒකටත් උත්තර දෙන්නම්. කැබිනට් එකේදි පළමුවෙන්ම ඊට පෙර කැබිනට් එකේ වාර්තා සම්මත කරගන්න එනවා. එතැනදී මම කිව්වා ‘ජනාධිපතිතුමනි, මෙතැන මගේ විරෝධයක් තියෙනවා. ක්‍රීඩා පනතේ බලතල තියෙනවා අතුරු පාලනයක් දාන්න ඇමැතිවරයාට. ඒක කිසිසේත්ම යට කරන්න බෑ කැබිනට් තීන්දුවකින්. ඒ නිසා අතුරු කමිටුවක් දාන්න කැබිනට් එකෙන් අවසර ගන්න ඕනැ කියන එකට මම එකඟ නෑ’ කියලා.


ඊට පස්සේ එතුමා කතාව පටන්ගත්තා. ‘නෑ එහෙම නෙවෙයි. මේක මෙහෙම යන්න බෑ මෙතන. සාමූහික වගකීමක් තියෙනවා’ කියලා. මම කිව්වා ‘සාමූහික වගකීම රකින්න පුළුවන්. නමුත් පනතකින් දීලා තියෙන බලයක් කැබිනට් එකට යට කරන්න බෑ’ කියලා.


එතකොට තමයි මම නිරුත්තර වුණා කියලා කියපු කාරණා දෙක ගත්තේ. එකක් තමයි ‘ඔබතුමා සාමූහික වගකීම් උල්ලංඝනය කරලා තියෙනවා’ කියලා. මම අැහුවා ‘මොකක්ද’? කියලා. ඔබතුමා විපක්ෂනායකතුමා සමග ඉන්දීය මහ කොමසාරිස් හමුවෙලා ජේෂා එක්ක කතා කරලා තියෙනවා’ කියලා.



?ඒක බොරුවක් නොවෙයිනේ?


පිළිතුර:- නෑ ඇත්ත. මම ජනාධිපතිතුමාට කිව්වා ‘ඔව්’ විපක්ෂනායකතුමා මට කතා කළා. ඔබතුමා විපක්ෂනායක විදියට ඉන්නකොට ඔබතුමා කතා කළාම මම ඇවිත් තියෙනවා. මෙතැනදී මට කතා කළාම එතුමා ධුරාවලියේ ඉන්නේ හතරවැනියාට. ඉතින් මම ගියා. වෙනත් කාරණාවකට වෙන්න ඇති ඉන්දීය මහ කොමසාරිස්තුමා ඇවිත් හිටිය.



?ඔබ යනකම්ම දන්නේ නෑ?


පිළිතුර:- ඔව්. මම දන්නේ නෑ. මට අදාළත් නෑ. ඒ වෙලාවේ විපක්ෂනායකතුමා කිව්වා ‘මේ ඇමැතිතුමා මම ගෙන්න ගත්තා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිතරම මතක් කරන නමක් තමයි ජේෂා මහත්තයා. ඒ ගොල්ලෝ හැම දූෂණයක්ම කරලා ජේෂා මහත්තයාට කවර් වෙනවා. බීසීසීඅයි එකට මේ ගොල්ලෝ වැරැදි මත ගෙනියන්න පුළුවන්. 


මේ ගොල්ලෝ කියනවා බිසීසීඅයි එක තමයි අයිසීසී එක ඇතුළේ බලවත්. ශේෂා මහත්තයා කියන එක තමයි අයි.සී.සී. එක අහන්නේ. ඒ නිසා අපි මොනවා කළත් අපට රැකවරණය තියෙනවා කියලා ක්‍රිකට් බෝඩ් එක කියනවා’ කියලා.



?ඔබ මොකක් ද කිව්වේ?


පිළිතුර:- බෝඩ් එක එහෙම කියනවා. හැබැයි මේ ගොල්ලෝ මෙච්චර වැරැදි කරලා තියෙනවා. ඒ නිසා අපි පත්කරන අතුරු කමිටුවට කිසිම බාධාවක් නෑ. බීසීසීඅයි එකත් එක්ක වැඩ කරන්න. ඒ නිසා අපට අවස්ථාවක් අරන් දෙන්න එතුමා සමග සාකච්ඡා කරන්න.’ කියලා ඔච්චරයි කිව්වේ.


මම එතැනට ගියේ කුමන්ත්‍රණයක් කරන්නවත් දේශපාලනය ගැන කතා කරන්නවත් නොවෙයි. මම රොෂාන් මහානාම මහත්තයාගේ කකුල් දෙක ළඟට ගියා. ඒක මට ගෞරවයක්. චමින්ද වාස් මහත්මයා ළඟට සිදත් වෙත්තමුනි මහත්මයා ළඟට ගියා. ගිහින් මම ආරාධනා කළා. ‘මේ ඉන්ටරිම්’ එකට එන්න කියලා.



?ඔවුන්ගේ ප්‍රතිචාරය?


පිළිතුර:- කිසි කෙනෙක් කැමැති වුණේ නෑ. ඔවුන් දන්නවා මෙතැන තත්ත්වය. ‘මෙතැන සෙට්ල්’ වුණාම අපි එන්නම් කියලා ඔවුන් කිව්වා. ඉතින් විපක්ෂනායකතුමා මට එන්න කියලා කිව්වම මම දන්නවනේ මේ කතා කරන්නේ ක්‍රිකට් ගැන කතා කරන්න කියලා. සාමාන්‍ය දැනීම තියෙනව නම් එහෙම අනුමාන කරන්න පුළුවන්නේ. ඉතින් මම එහෙම ගිය එක සාමූහික වගකීම කඩකිරීමක් කියලා එතුමා කිව්වා.



?අයිසීසී එකත් එක්ක සාකච්ඡා කරන්න ජනාධිපතිවරයා ඇමැති අනු කමිටුවක් පත් කළා. එහෙම තිබියදී?


පිළිතුර:- මුලින්ම ක්‍රිකට් කමිටුව පත්කළේ ක්‍රිකට් පනත හදන්න. ඒ වෙලාවේ පවරලා තිබුණේ නෑ අයිසීසී එකත් එක්ක සාකච්ඡා කරන්න. ඊට සති දෙකකට පස්සෙ තමයි අයිසීසී එකත් එක්ක සාකච්ඡා කරන්න ඒ කමිටුවට බලය දුන්නේ. බලය දෙන්න කලින් තමයි මම විපක්ෂනායකතුමාව හමුවෙන්නේ. ඒ නිසා කැබිනට් එක ගත්ත තීන්දුවත් සමග මේක ගැටෙන්නෙම නෑ.



?ඔබ ඔබේ ඥාතීන්ට, හිතවතුන්ට මහවැලි ඉඩම් ලබාදීලා කියලත් ජනාධිපතිවරයා කිව්වා?


පිළිතුර:- සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මම ඒ නම් ලැයිස්තුව පාර්ලිමේන්තුවේ සභාගත කළා. එතැන මගේ ඥාතීන්, හිතවතුන් කවුරුවත්ම නෑ. මම එහෙම ඉඩම් වගයක් අත්‍යවශ්‍ය හේතු වෙනුවෙන් දෙන්න අනුමැතිය ඉල්ලුවා. එච්චරයි වුණේ.



?එහෙම නම් ඇයි ඔබ ඔය ප්‍රශ්න දෙකේදී ගොළු වුණේ?


 පිළිතුර:- ගොළු වුණේ නෑ. ජනාධිපති මාධ්‍ය ඒකකය අශීලාචාර විදියට මාධ්‍යයට දැම්මා. මම ඔය කාරණා දෙකේදී නිරුත්තර වුණා කියලා. කැබිනට් මණ්ඩලයෙ සෘජුව කතා කරන කොන්ද තියෙන ඇමැතිවරු ඉන්නවා අති බහුතරයක්. හෙට අනිද්දට එක එක්කෙනා එළියටත් බහියි. අන්න ඒ අයගෙන් ඔබතුමාට අහන්න පුළුවන් මම නිරුත්තර වුණා ද? උත්තර දුන්න ද කියලා.



?ඔබ පාර්ලිමේන්තුවේදී කිව්වා ‘මාව මරා දැම්මොත් ඒකේ වගකීම ජනාධිපතිවරයායි, සාගල රත්නායකයි බාරගත යුතුයි කියලා. ඔබ හිතන්නේ නැද්ද ඒ ප්‍රකාශය බරපතළයි කියලා?


පිළිතුර:- මෙහෙමනේ. කාරණය බරපතළ නම් මම එ් ප්‍රකාශය කරන්න ඕනැනේ.



?මොකක්ද ඒ බරපතළ කාරණය?


පිළිතුර:- මේ එක ටීම් එකක්. ජූලි 9 වැනිදා කියන්නේ අවදානම් දවසක්. එදා රෑ මම බහිනවා එළියට රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති වෙන්න පාර්ලිමේන්තුවේ ඡන්ද එකතු කරන්න. එතුමා තමයි එදා හිටපු සුදුස්සා. අපි එහෙම ඡන්ද හදලා එතුමා ගෙනාවට පස්සේ මේ ක්‍රිකට් මාෆියාවේ විගණන වාර්තාවට අනුව මේ පට්ට හොරු හරි ද? 
ඔවුන්ගේ තර්ජනය කොහොමද තියෙන්නේ. රොෂාන් රණසිංහ  තැන කියන්න. එතැනට අපි එන්නම්. ඒ කියන්නේ ඕන දෙයක් කරන්න අපි එන්නම් කියන එකනේ. මම එහෙම මිනිහෙක් නොවෙයිනේ. එහෙම නැත්නම් ඔයාව ගෙනියනවා වෙන තැනකට. එතකොට මේ තත්ත්වයත් එක්ක ක්‍රිකට් එකේ අයට රැකවරණය එන්නේ සාගල රත්නායකගෙන් නම්, රටේ ආරක්ෂක ඇමැතිවරයාගෙන් නම් එහෙම නම් ඔවුන් වගකියන්න එපැයි.



?සාගල රත්නායකට මොකක්ද ක්‍රිකට් එක්ක තියෙන සම්බන්ධය?


පිළිතුර:- ඒක මට තේරෙන්නේ නෑ. ඔය එක්කෙනෙක්වත් හිටියේ නැහැනේ ජූලි 9 වැනිදා ජනාධිපතිවරයව ගේනකොට. පස්සේ ආපු අයනේ මේ.



?සමහරු කියනවා ඔබ අර්ජුන රණතුංගගේ ලණු ගිලලා කියලා?


 පිළිතුර:- අර්ජුන මට එහෙම ලණු දුන්න නම් මම අද අර්ජුන ආශ්‍රය කරන්නේ නැහැනේ. අර්ජුන රණතුංග මහත්මයාගේ මම දැකපු දේ තමයි එතුමා එක පැත්තකින් ක්‍රිකට් එකේ නායකයා. එතුමා නායකයා  හැටියට තවත් අය ඇඟිලි ගහනවට කැමැති නෑනේ. ඒ නිසා මගේ කිසිම වැඩකට එතුමා මැදිහත්වීමක් කරලා නෑ. ජාතික ක්‍රීඩා සභාව හැටියට එතුමලගේ මතය එවනවා. ඒ හැරෙන්න මේ ප්‍රශ්න ගැන කතා කරලා නෑ.



?අමාත්‍ය ධුරයෙන් ඉවත් කළාම කවුද කතා කළ සහෝදර අමාත්‍යවරුන්?


පිළිතුර:- නෑ, කිසිම ඇමැතිකෙනක් කතා කළේ නෑ.



?ඒ කියන්නේ ඔබ දැන් තනිවෙලා?


පිළිතුර:- මට තේරෙන්නේ නෑ. අපේ රටේ කනගාටුදායක තත්ත්වයක් තියෙනවා. සමහර ඇමැතිවරු එළියට බහී. සමහරු කතා කළොත් ඒත් කැපිල්ලනේ. ඒ නිසා ඒ අය කතා කළේ නෑ. සමහරු ඉන්නවනේ.  ‘එහෙයි. එහෙයි’ කියන අය. ඒ අපේ රටේ ක්‍රමය.



?ඔබේ ඊළඟ දේශපාලන පිම්ම මොකක්ද?


පිළිතුර:- දේශපාලනය කරන්න කලින් මේ දූෂණය නතර කරගන්න ඕනෑනේ. ඒකට අවශ්‍ය දායකත්වය දීම තමයි මගේ මූලික වගකීම.



?ඊළඟ ජනාධිපතිවරණයේදී ඔබත් අපේක්ෂකයෙක්. ඔබට රාජයෝගයකුත් තියෙනවලු?


පිළිතුර:- ඔය කතා වැඩක් නැහැ. මිනිහෙක් ඇවිත් වැඩක් කරන්න යද්දී නූගත් කඩේ යන තක්කඩියෝ මොකක් හරි කියනවා. ඒක තමයි ඇත්ත කතාව.

 

 

සාකච්ඡා කළේ
■ ප්‍රසන්න සංජීව
තෙන්නකෝන්