ආණ්ඩුවේ හැමෝම ඉන්නේ එකම මතයක අමාත්‍ය බිමල් රත්නායක


ආණ්ඩුවේ වසර දෙකක ආයු කාලය පිළිබඳව මේ අදහස් දක්වන්නේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායකයි.

Q මාලිමා ආණ්ඩුවට අවුරුදු දෙකක් පිරෙනවා. ”‍වසර දෙකයි රටට සුබයි”‍ කියලා ආණ්ඩුව පැත්තෙන් ලොකු ස්ලෝගන් එකකුත් කරළියට ආවා. ඇත්තටම ඒක එහෙමද..?

පිළිතුර - මූලිකවම අපි මේ වසර දෙක ගැන හිතන්නෙ අපි සාර්ථකව රට ඉදිරියට ගෙනිච්චා කියලා. මේ වසර දෙක ගැන අපි සෑහෙන දුරට තෘප්තිමත්. හේතු ගණනාවක් උඩ තමයි අපි එහෙම කියන්නේ. අපිට හම්බවෙනකොට තිබුණු රට නෙවෙයි දැන් මේ වෙනකොට තියෙන්නේ. අපි ආණ්ඩු බලය ගන්න කලින් තිබුණු රටට වඩා දියුණු රටක් ඇති කරන්න අපිට පුළුවන් වුණා කියලා අපි හිතනවා. සමාජ දේශපාලනය පැත්තෙන් වගේම ආර්ථිකය පැත්තෙනුත් අපි රට දියුණුවකට ගෙනත් තියෙනවා. ඒක කාටවත් බැහැර කරන්න පුළුවන් කාරණයක් නෙවෙයි.

පහුගිය කාලේ ඇතිවුණු ආර්ථික අර්බුදයන් එන්නත් කලින් ඉඳලම රටේ තිබුණේ සමාජ දේශපාලන අස්ථාවරභාවයක්. විශේෂයෙන්ම ගත්තොත් දෙදාහෙන් පස්සේ මේ රටේ දැඩි සමාජ දේශපාලන ව්‍යාකූලබවක් තමයි තිබුණේ. වෙලාවකට ජාතිවාදී ආගම්වාදීන්ගේ ව්‍යසනයන් එනවා. අනෙක් පැත්තෙන්ම පත්වෙන ආණ්ඩු ලොකු අර්බුදවලට යනවා. පක්ෂ කැඩෙනවා. දේශපාලකයෝ එහෙට මෙහෙට පනිනවා. කිසිම ක්ෂේත්‍රයක ස්ථාවරත්වයක් තිබුණේ නෑ. අපිට පුළුවන් වුණා මේ අවුරුදු දෙකට රට ඇතුළේ යම් සමාජ දේශපාලන පරිවර්තනයක් සිදු කරන්න.

අපි ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි ආණ්ඩු බලයක් ගත්තේ. එහෙම අරගෙන මේ තරම් දුරට සාර්ථකව රට පාලනය කරන්න හැකිවීම ගැන අපිට සතුටුයි. විපක්ෂයේ බොහෝ අය අපි බලයට එන්න කලින් දිගින් දිගටම කිව්වේ අපි ආණ්ඩු බලය ගත්තත් මාස හයකින් අපිට ගෙදර යන්න වෙනවා කියලා. ඒ අය බලාපොරොත්තු වුණේම අපේ බිඳවැටීම. හැබැයි ඒ සියල්ල බොරු කරමින් මේ අවුරුදු දෙක ඇතුළේ අපි වැඩ කරලා තියෙනවා. මේ ආණ්ඩුව වැටෙනකම් බලාගෙන ඉඳපු විපක්ෂ කල්ලි කණ්ඩායම් නම් අද සීසීකඩ විසිරිලා පාරක් නැතුව ඉන්නවා කියලා තමයි අපිට පේන්නේ. අද විපක්ෂයට මේ ආණ්ඩුවේ වරදක් කියලා අල්ලගෙන කෑගහන්න සිද්ධ වෙලා තියෙන්නේ අපේ මන්ත්‍රීවරයකුගේ වචනයක් වැරදීම වගේ දෙයක් තමයි.

අපි කියන්නේ නෑ අපි සර්ව සම්පූර්ණ ආණ්ඩුවක් කියලා. අපේ අතින් යම් යම් අඩුපාඩු සිද්ධ වෙනවා, ඒ පිළිබඳව ස්වයං අවබෝධයකින් අපි ඉන්නවා. ඒවා තේරුම් අරගෙන ඒ අඩුපාඩු නිවැරදි කරගෙන ගමනක් යන එක තමයි අපේ ක්‍රමය. ඉදිරි අවුරුදු තුන ඇතුළේ මීට වඩා සාර්ථකත්වයක් ඇති කරගැනීම තමයි අපේ එකම බලාපොරොත්තුව.

Q සමහරු නම් කියනවා ආණ්ඩුවේ හොඳකමටත් වඩා විපක්ෂයේ දුර්වලතාව නිසා මේ ආණ්ඩුව මෙහෙම යනවා කියලා. ඒ කතාවේ ඇත්තක් නැද්ද..?

පිළිතුර - ඒ කතාව ඇත්තක් නෑ. ප්‍රබල විපක්ෂයක් හිටියා නම් ආණ්ඩුවට අභියෝගයක් වෙන්න තිබුණා. රටක ආණ්ඩුවක් වගේම විපක්ෂයත් හොඳ මට්ටමක තියෙන්න ඕන. ප්‍රබල විපක්ෂයක් තියෙනකොට තමයි ආණ්ඩුවටත් අභියෝගයක් තියෙන්නේ. ඇත්තටම දැන් අපේ රටේ විපක්ෂයක් නැති තරම්. හතර අතට විසිරිච්ච විපක්ෂ සුන්බුන් ටිකක් තමයි අපිට පේන්න තියෙන්නේ. දැන් තියෙන විපක්ෂයේ කණ්ඩායම් සියල්ලම ඔය මට්ටමට දුර්වල කළේ මේ රටේ ජනතාව. ඔය කල්ලි කණ්ඩායම් තමයි මීට කලින් අවුරුදු හැත්තෑ ගාණක් මේ රට පාලනය කළේ. ඒ පාලනය මිනිස්සුන්ට එපාවෙච්ච නිසා තමයි ඒ අය විපක්ෂයට තල්ලු‍ කරලා අපිට ආණ්ඩු බලය දුන්නේ. අද මේ කල්ලි කණ්ඩායම් මාන බලන්නේ කොහොම හරි නැතිවුණු බලය ආපහු ගන්න මිසක් ජනතාව වෙනුවෙන් රටට යමක් කරන්න නෙවෙයි.

මේ විපක්ෂයෙන් අපිට වැඩකුත් නෑ. රටට වැඩකුත් නෑ. ජනතාවට වැඩකුත් නෑ. ඒගොල්ලන්ට ඕනේ රට පරණ පාරට ගන්න. ජාතිවාදී, ආගම්වාදී බෙදීම් හදලා ප්‍රශ්න ඇති කරලා ඔවුන්ගේ තක්කඩි දේශපාලනය ආපහු වතාවක් ඇති කරන්න තමයි ඔවුන්ගේ එකම ඉලක්කය. ඒක නිසාම තමයි විපක්ෂයේ බොහෝ අය කියන්නේ නයි මුගටි ඔක්කොම එකතු වෙලා හරි මේ ආණ්ඩුව පෙරළලා අපි බලය ගමු කියලා. මම හිතන්නේ නෑ ජනතාව ඒකට සූදානම් කියලා.

මේ විපක්ෂයෙන් අපිට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ

 

Q පහුගිය වසර දෙක ඇතුළේ මේ ආණ්ඩුව හොඳටම වැඩ කළා කියලා ඔබ කිව්වට ආණ්ඩුවට යම් යම් චෝදනා ප්‍රමාණයකුත් එල්ල වුණා. කන්ටේනර් සිද්ධිය, ගල්අඟු‍රු සිද්ධිය, කථානායකගේ සිද්ධිය, ඒ වගේම කෙටි කාලයක් ඇතුළත ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට විශ්වාසභංග කීපයක්ම ආවා. මේවා පසුබෑම් නෙවෙයි ද..?

පිළිතුර - අපේ අතින් වෙන අඩුපාඩුවක් පිළිගන්නේ නැතුව ඉන්න තරම් අපි උද්දච්ච ආණ්ඩුවක් නෙවෙයි. හැබැයි බොරු චෝදනාවලට අපි බය වෙන්නේ නෑ. ගල්අඟු‍රු සිද්ධිය ගත්තොත් අපි ඒ ගැන ඇති තරම් කරුණු රටට කියලා තියෙනවා. මතු වෙච්ච සියලු‍ කාරණා සලකා බලපුවම පේන දේ තමයි මේ සිද්ධියට අපේ අමාත්‍යවරයා වග කියන්න ඕන නැහැ සහ ඒක අපේ අමාත්‍යවරයාගේ කාලේ සිද්ධ වෙච්ච වැඩක් නෙවෙයි කියලා. ඒක විපක්ෂය විසින් ඒගොල්ලන්ට තියෙන බොරු කටේ සද්දෙටයි මාධ්‍යවල සද්දෙටයි හදපු මිත්‍යාවක්. විශ්වාසභංගයේදීත් අපි ඒක පිළිගත්තේ නැත්තේ ඒක විපක්ෂය හදපු බොරුවක් නිසා තමයි. ජනාධිපති කොමිසමක් දැම්මට පස්සේ ඇමතිවරයා අමාත්‍ය ධුරයේ ඉන්න එක සදාචාරයට පටහැනි නිසා තමයි ඇමතිවරයා අයින් වුණේ. කන්ටේනර් සිද්ධිය කියන්නෙත් ඒ වගේම ගොතපු බොරුවක්. ඒකට කිසිම ආකාරයකින් මම හෝ මුදල් ඇමතිවරයා හෝ සම්බන්ධයක් නෑ. ඒ ගැනත් දැන් තේරීම් කාරක සභාවක් යනවා. ඒකෙන් ඕන තොරතුරක් ගන්න පුළුවන්. අපි කියන්නේ ඒවා ගැන ලෝකෙ තියෙන ඕනම පරීක්ෂණ කණ්ඩායමක් ගෙනල්ලා පරීක්ෂණ පවත්වන්න. පුළුවන් නම් අපි වැරදියි කියලා පෙන්නන්න.

රන්වල සහෝදරයාගේ ප්‍රශ්නයේදී අපි පිළිගන්නවා යම් අඩුපාඩුවක් තියෙනවා කියලා. ඒ ගැනත් අපිට ඕන තරම් දේවල් කියලා තියෙනවා. ඔහුගේ සහතිකයේ යම් අඩුපාඩුවක් තියෙනවා. ඒක පිළිගන්න අපි මැළි වෙන්නේ නෑ.

මේ ඔක්කොම හාමතේ ඉන්න විපක්ෂයේ අතේ රෝල්. මේ සිද්ධි ගැන මුලින් කියපු කතා නෙවෙයි දැන් විපක්ෂය කියන්නේ. සටන් පාඨ ඔක්කොම දියාරු වෙලා ගිහින්. හරි චෝදනාවත් කරගන්න බැරි වුණාම විපක්ෂය උත්සාහ කරනවා දවසින් දවස මොකක් හරි අල්ලගෙන ඒගොල්ලන්ට අවධානය ලබාගන්න.

කලින් ආණ්ඩු කෙරුවා වගේ සැලසුම් කරලා අපි දූෂණ වංචා කරන ආණ්ඩුවක් නෙවෙයි. මනුස්සයෝ විදියට වචනයක් වරදින එක වගේ දේවල් වෙන්න පුළුවන්. හැබැයි විපක්ෂයට දැන් ඒකත් මහා ලොකු වරදක් විදියට පේන්නේ ඔවුන් කරපු වගේ විශාල වංචා දූෂණ අපේ අතින් සිද්ධ වෙන්නේ නැති නිසා.

Q මොනවා වුණත් විසිදෙවැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ප්‍රශ්නයේදී ආණ්ඩුවේ ජනප්‍රියත්වය පල්ලම් බැස්සා කියලා හිතෙන්නේ නැද්ද? මොකද ආණ්ඩුව ඇතුළෙම මේ ගැන විවිධ විසංවාද තිබුණා නේද...?

පිළිතුර - මේ ගැන ආණ්ඩුවේ කිසිවෙක් අතරේ විසංවාදයක් නෑ. අපි හැමෝම ඉන්නේ එකම මතයක. මේකත් මේ තරම් දුරදිග ගියේ විපක්ෂයේ බොරු විරෝධයක් නිසා. හාමතේ ඉන්න විපක්ෂයට විසිදෙක හොඳ කෑමක් වුණා. මේ හරහා රටේ අධිකරණයේ ස්වාධීනත්වයට කිසිම හානියක් වෙනවා කියලා තර්කානුකූලව කරුණු ඉදිරිපත් කරගන්න විපක්ෂයට බැරි වුණා. ඇත්තටම මේ සම්බන්ධව රටේ ජනතාව විපක්ෂයේ බොරු ඝෝෂාකාරයන්ට වඩා අවබෝධයෙන් ඉන්නේ.

විනිසුරුවරුන් සහ නීතීඥ ප්‍රජාවේ යම් යම් අය අතරින් යම් ප්‍රතිවිරෝධයක් තියෙන බවක් අපිට පේනවා. හැබැයි ඒක මේ 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය නිසා ඇතිවෙච්ච එකක් නෙවෙයි. කාලයක් තිස්සේ ඔවුන්ගේ වෘත්තීමය ක්‍රියාකාරකම් ඇතුළේ ගොඩනැගිච්ච දෙයක් වෙන්න පුළුවන්. අන්න ඒ ප්‍රතිවිරෝධය විසින් තමයි සමාජයට වැරදි චිත්‍රයක් මවන්න ඔවුන් උත්සාහ කළේ. ඔවුන් එතැනදී යම් බෙදීමක් ඇති කරන්න උත්සාහ කළා. ඒ බෙදීම දැකපු හාමතේ ඉන්න විපක්ෂය මේක කරේ තියන් ගියා. එච්චරයි වුණේ. එහෙම නැතුව මෙතන වෙන ප්‍රශ්නයක් නෑ. මේ නිසා ආණ්ඩුවේ ජනප්‍රියත්වයට කිසිම හානියක් සිද්ධ වුණෙත් නෑ. ආණ්ඩුවේ අභ්‍යන්තරයේ අර්බුදයක් ඇති වුණෙත් නෑ.

Q පහුගිය දවස්වල ලොකු හාහෝවක් ගියා අගමැතිතුමිය කණ්ඩායමක් කඩාගෙන එළියට යන කතාවක්. ඒ එක්කම පැලවත්තේ අර්බුද කියලත් එක එක නිවුස් ඇහෙන්න ගත්තා. මේ දුම් නැගුණේ කිසිම ගිනි අඟු‍රක්වත් නැතුවද....?

පිළිතුර - මාධ්‍යවලට පුළුවන් කිසිම ගින්නක් නැතුව දුමක් මවන්න. ඊට පස්සේ ඒ දුම කරේ තියන් දුවන්න ඕන තරම් පිරිස ඉන්නවා. ඔය පහුගිය දවස්වල කරළියට ආපු කටකතා අන්න එහෙම ඒවා. මම කලිනුත් කිව්වා වගේම දේශපාලන හාමතේ ඉන්න විපක්ෂයට එක එක වෙලාවට මනෝවිකාර පේන්න ගන්නවා. එතකොට ඒගොල්ලෝ ඔන්න ඔය වගේ කතන්දර කිය කිය යනවා.

අපි කියන්නේ නෑ අපි සර්ව සම්පූර්ණ ආණ්ඩුවක් කියලා

 

Q ආණ්ඩුවේ අවුරුදු දෙකක් ඉවරයි. ඉතුරු අවුරුදු තුන ගේමක් නැතුව ඇදගන්න පුළුවන් ද...?

පිළිතුර - අපි මේ අවුරුදු දෙකට කටයුතු කරපු ආකාරයත් එක්ක අපිට විශ්වාසයි ඉදිරි අවුරුදු තුනේ කිසිම ප්‍රශ්නයක් නැතුව රට ගොඩනගන්න අපිට පුළුවන් කියලා. අභියෝග නැතුව නෙවෙයි. ඒ හැම අභියෝගයක්ම ජයගන්න ශක්තිය අපිට තියෙනවා කියලා අපි දන්නවා. අපිට පහුගිය අවුරුදු දෙක ඇතුළේ විශාල ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වුණා. එක පැත්තකින් දිට්වා ප්‍රශ්නය ආවා. තව පැත්තකින් ඉරාන ඊශ්‍රායල් යුද්ධය බලපෑවා. මේ එකක්වත් සුළු ප්‍රශ්න නෙවෙයි. හැබැයි අපි ඒ සියල්ල ඉතා හොඳින් කළමනාකරණය කරගත්තා.

අපිට සැලසුම් කරපු ගමනේ පහෙන් දෙකයි තාම ආවේ. තව පහෙන් තුනක් යන්න තියෙනවා. ඒ අවුරුදු තුන ඇතුළේ කරන්න ලොකු වැඩ කොටසක් තියෙනවා. ඒ ගැන අපිට දියුණු සැලැස්මක් තියෙනවා. මම හිතන්නේ ජනතාව අපි ගැන තියපු විශ්වාසය කිසිලෙසකින් පලු‍දු වෙලා නෑ.

Q එහෙනම් ඇයි අවුරුදු දෙකේ සැමරුම වෙනුවෙන් මේ තරම් රට පුරා සංදර්ශනාත්මක වැඩ කෙරෙන්නේ? ජනාධිපතිතුමා රට වටේ ගිහින් කරපු වැඩ ගැන කියන්න වෙලා තියෙන්නේ ඇයි...?

පිළිතුර - ජනාධිපතිතුමාගේ රැලි මාලාව අපි අවුරුදු දෙකේ සැමරුම ඉලක්ක කරගෙන පටන් ගත්ත එකක් නෙවෙයි. ඒක ඊට මාස කීපයකට කලින් ඉඳලම සැලසුම් කරලා තිබුණු එකක්. ඇත්තටම ඔය රැලි මාලාව මාර්තු අප්‍රේල්වල ඉඳලා පවත්වන්න සැලසුම් කරලා තිබුණු එකක්. දේශපාලන ව්‍යාපාරයක් විදියට ජනතාව එක්ක රටේ දේශපාලනය ගැන ඒ වගේ සංවාදයක ඉන්න එක අපි හැමදාම කෙරුවා. ආණ්ඩු බලය ගත්තා කියලා අපි ඒක වෙනස් කෙරුවේ නෑ. ඒකයි ඔය වගේ රැස්වීම් තියලා ජනතාව අමතන්න අනුර දිසානායක සහෝදරයා රටේ විවිධ පළාත්වලට ගියේ. එහෙම නැතුව ආණ්ඩුවේ අවුරුදු දෙක ගැන පම්පෝරි ගැහිල්ලක් නෙවෙයි. ඒ වගේ වැඩ කෙරුවේ කලින් හිටපු පාලකයෝ.
ප්‍රියන්ත කොඩිප්පිලි