
පුටුවකට පයින් ගැසූ කතාව අසත්‍යයි - ජවිපෙ
ඉකුත් සතියේ මෙම තීරුවේ පැලවත්ත රැස්වීමේ පුටුවකට පයින් ගැසුවේ කවුද යන හිසින් පළවූ කරුණු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ඒකකය පවසයි. ඒ බව පවසමින් එම මාධ්‍ය ඒකකය එවා ඇති ලිපියක මෙසේ ද සඳහන් වේ.
‘‘එම ලිපියේ සඳහන් වන්නේ පැලවත්ත කාර්යාලයේ රැස්වීමකදී දෙපාර්ශ්වයක් අතර ගැටුමක් ඇති වූ බවය. ගැටුමට හේතුව ලෙස ලිපියේ දැක්වෙන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධුරයට එරාන් වික්‍රමරත්න ගැනීමත් තවත් විපක්ෂයේ කිහිප දෙනකු ආණ්ඩුවේ තනතුරුවලට ගැනීමට විශේෂයෙන් විපක්ෂ මන්ත්‍රීවරයෙක් නියෝජ්‍ය මුදල් ඇමැති ධුරයට ගැනීමට යෝජනාවීමත් නිසා විවිධ මත පළවූ යම් කෙනෙක් පුටුවකට ද පයින් ගැසූ බවය. අවධාරණයෙන් කිව යුත්තේ එම ලිපියේ සඳහන් කරුණු අසත්‍ය බවත් ඒවා සියල්ල කවුරුන් හෝ උපකල්පනය කර නිර්මාණය කළ අතේ රෝලක් බවත්ය.
ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික ජන බලවේගය රැස්වීම් පවත්වන ආකාරය මෙවැනි බොරු තොරතුරු සපයන අයට සිතා ගැනීමටවත් නොහැකි බව කිව යුතුය. එම සාකච්ඡා ඉතා සුහදව පවත්වන බවත් ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී හා සාමුහික එකඟතා සහිතව තීරණය ගන්නා බවත් එවැනි රැස්වීම්වලට සහභාගී වන සියල්ලෝ දනිති.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුව සම්බන්ධ කර ගන්නවාද නැද්ද යන්න පිළිබඳව ජවිපෙ තුළ හෝ මාලිමාව තුළ කිසිදු විවාදයක් නැත. ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයකු නොව හිටපු මන්ත්‍රීවරයෙකි. ඔහුට මෙම තනතුර ලබා දෙන්නේ විපක්ෂයේ අය ආණ්ඩුවට ගැනීමේ ක්‍රමයක් තුළ නොව අදාළ තනතුරට ඔහු සුදුසු නිසාය. විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිසිවකු ආණ්ඩුවට නොගැනීම මාලිමා ආණ්ඩුවේ ප්‍රතිපත්තියයි. අප මුල සිටම පෙනී සිටියේ පාර්ලිමේන්තුව තුළ පැති මාරු කිරීම වැළැක්වීමට නීතියක් ගෙන ආ යුතු බවටය. කෙනෙක් පැති මාරු කරන්නේ නම් ඔහුගේ හෝ ඇයගේ අදාළ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට ඉඩ තිබිය යුතුය යන්න මාලිමාවේ ස්ථාවරය වේ. එම නිසා විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ ඇමැතිකම්වලට ගැනීමේ කිසිදු අදසක් හෝ ඒ ගැන විවාදයක් මාලිමාව තුළ හෝ ජවිපෙ තුළ නැත. අවසාන වශයෙන් ප්‍රකාශ කළ යුත්තේ ඉහත පුවතෙන් පක්ෂය සම්බන්ධයෙන් පළකර ඇති කරුණු සියල්ල මුළුමනින්ම අසත්‍ය, කිසියම් දේශපාලන වුවමනාවක් වෙනුවෙන් හිතා මතාම සකස් කළ කිසිදු සත්‍යතාවයක් නොමැති ඒවා බවය.’’ යනුවෙන් එම ලිපියේ සඳහන් වේ.
ලේඛකයාගේ සටහන
අපගේ වාර්තාවට අදාළව ජවිපෙ එවා ඇති නිවේදනය අප පළ කරන්නේ පිළිතුරු දීමේ අයිතියට ගරු කරමිනි. ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ඒකකයෙන් එවා ඇති මෙම නිවේදනය එම ඒකකයේ හෝ පක්ෂයේ කිසියම් බලධාරියකුගේ හෝ අත්සනින් හෝ නමකින් නිකුත් වූ නිවේදනයක් නොවේ. වගකිව යුතු පක්ෂයක් එවැනි නිවේදනයක් නිකුත් කරන්නේ කිසියම් හෝ වගකීමැති නිලධාරියකුගේ අත්සනනි. මතු දිනක හෝ එවැනි නිවේදනයක් යොමු කරනවිට වගකිව යුතු බලධාරියකුගේ අත්සන ද ඇතිව එවන්නේ නම් වඩාත් සුදුසු බව සටහන් කරමු.
රණවිරු සැමරුම රණවිරුවන්ට පමණයි
ත්‍රස්තවාදය නිමා කිරීමෙන් පසුව ආරම්භ වූ ජාතික රණවිරු සැමරුම මෙවර සැමරීමට සිදු වූයේ වර්තමාන රජය යටතේය. ඉකුත් කාලය තිස්සේම මෙම රණවිරු සැමරුම් දිනය පිළිබඳව ආණ්ඩුව සහ විපක්ෂය අතර විවිධ පරස්පර මතවාද ඇති වනු දැකගත හැකි විය. මෙවරද එවැනි පරස්පර මතවාදවලින් අඩුවක් වූයේ නැත.
මේ පිළිබඳව ජනාධිපති අනුර දිසානායක අදාළ නිලධාරීන්ට කල් තබාම උපදෙස් ලබා දී තිබුණේ රණවිරුවන්ට ගෞරවයක් ලැබෙන සේ මෙම සැමරුම් උළෙල සංවිධානය කළ යුතු බවය. නිලධාරීන් සහ ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාවේ දී තීරණය වූයේ දේශපාලන අධිකාරියේ කිසිවකුට මෙම සමරු උත්සවය සඳහා ආරාධනා නොකිරීමටය. සෑම වසරකම උත්සවය පැවැත් වෙන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් නිසා ජනාධිපති එම උත්සවයට සහභාගී වීමටත් නිලබලයෙන්ම ආරක්ෂක රාජ්‍ය ඇමැති සහ මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැති පමණක් සහභාගීවීමටත් තීන්දු විය.
මෙවර උත්සවය සංවිධානය කර තිබුණේ දිවි පිදූ සහ අතුරුදන්වූවන්ගේ පවුල්වල ඥාතීන් කණ්ඩායම් ලෙස ආරාධිත ප්‍රභූවරුන් සමග එම සමාධියට ආචාර දැක්වීමටය. ජනාධිපති අනුර දිසානායක සමග රණවිරු පවුල්වල විසිදෙනකු එම මොහොතේ සමාධියට ආචාර දැක්වීමට ගිය අතර ආරක්ෂක රාජ්‍ය ඇමැති සමග තවත් විසි දෙනෙක් එම ආචාරය දැක්වීමට එක් වූහ. මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයා සමග තවත් විසි දෙනෙක් සමාධියට ආචාර දැක් වූහ. හමුදාපතිවරු සහ හිටපු හමුදාපතිවරුන් ආචාර දක්වද්දී තවත් රණවිරු පවුල්වල සාමාජිකයෝ පිරිසක් සමාධියට ආචාර දැක්වූහ. මෙවර උත්සවය සංවිධානය කර තිබුණේ රණවිරු පවුල්වල පැමිණ සිටි සියලු දෙනාටම සමාධියට ආචාර දැක්වීමට හැකිවන අයුරනි.
ජනපතිගෙන් සුමන්තිරන්ට ඇරියුමක්
ජනාධිපති අනුර දිසානායක ඉකුත් සතියේ මඩකළපුව සහ අම්පාරේ පැවැති වැඩ සටහන් ගණනාවකට සහභාගී විය. එම ප්‍රදේශයට ගිය ජනාධිපතිවරයාට දෙමළ සහ මුස්ලිම් ජනතාවගෙන් ලැබුණේ ඉහළ පිළිගැනීමකි. මඩකළපුව මහජන පුස්තකාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ ජනාධිපතිවරයා එය තමන් අතින් විවෘත කරනවා වෙනුවට ඒ ප්‍රදේශයේ ජනතාවගේ කාලයක් තිස්සේ නායකත්වය දැරූ. එම්.ඒ. සුමන්දිරන් හිටපු මන්ත්‍රීවරයාට එම අවස්ථාව ලබාදීම කාගේත් පැසසුමට ලක්විය. සුමන්තිරන් මන්ත්‍රීවරයා ඒ පිළිබඳව තම කතාවේ දී ද සඳහන් කරමින් ජනාධිපතිවරයාට විශේෂයෙන් ස්තුතිය පළ කළේය. ජනාධිපතිවරයා මඩකළපුව නගර සභාවේ සේවකයන් සමග ද ඉතා සුහදශීලී කතාබහක නිරත වූ අතර ඔවුන්ගේ ඉල්ලීම්වලට ද හොඳින් සවන් දුන්නේය.
ආනයන සීමා කරන්න වෙනවා - ජනපති
රට තුළ ඇති ඩොලර් සංචිතය රැක ගැනීම ඉකුත් සතියේ කැබිනට් රැස්වීමේ දී ද ප්‍රධාන මාතෘකාවක් බවට පත්විය. ජනාධිපති අනුර කුමාර දිසානායක එහිදී පැවසුවේ මෙම අවස්ථාවේ දී ඩොලර් ප්‍රමාණය කළමනාකරණය කර ගැනීම වගකීමකින් කළ යුතු බවය
‘‘විශාල ආනයන ආර්ථිකයක් සහිත අපේ වගේ රටක ඩොලර් සංචිත රැක ගැනීම ලෙහෙසි වැඩක් නොවෙයි. අපිට අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කරන්න වෙනවා.’’ ජනාධිපතිවරයා පැවසීය. ඉන් පසුව නැගුණු ප්‍රශ්නය වූයේ සීමා කළ හැකි අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය මොනවා ද යන්නය.
‘‘ඒ ගැනත් අපි තව හිතන්න ඕනෑ. මොකද කෙනකුට අත්‍යවශ්‍ය නොවන දෙයක් තව කෙනකුට අත්‍යවශ්‍ය වෙන්න පුළුවන්. අපේ ඩොලර් සංචිතයෙන් වැඩිම පංගුවක් වැය වෙන්නේ තෙල් සහ වාහන ආනයනය කිරීමට. අපිට තෙල් ආනයනය නොකර ඉන්න බෑ. ඒ නිසා අපි වාහන ආනයනය ටික කාලයකට නතර කරමු. ඒක සම්පූර්ණයෙන්ම නවත්වන්නත් බෑ. එහෙම කළොත් අමාරුවෙන් ගොඩ ගත්ත වාහන බිස්නස් එක නැවත කඩා වැටෙන්න පුළුවන්. ඒ නිසා අපි තීන්දුවකට එන්න ඕනෑ...’’ ජනාධිපතිවරයා කියා සිටියේය. ඒ අනුව අධිභාරයක් පනවා මාස තුනකට වාහන ආනයනය අධෛර්යමත් කිරීමට තීන්දු කෙරිණි.
ගල්අඟුරු ඇත්ත කියන්නේ කවුද?
ගල්අඟුරු පිළිබඳ ප්‍රශ්නය පසුගිය මාස කිහිපයේ විපක්ෂයේ ප්‍රධාන සටන් පාඨයක් බවට පත්ව තිබිණි. එමගින් විපක්ෂය කියා සිටියේ වත්මන් රජය යටතේ ගෙන ආ ගල්අඟුරු නැව් තත්ත්වයෙන් බාල බවය. බාල ගල්අඟුරු නිසා නිපදවන විදුලි ඒකක ගණන අඩු නිසා ඒ හිඟය පියවීම සඳහා ඩීසල් බලාගාර ක්‍රියාත්මක කර තවත් රුපියල් කෝටි ගණනක අමතර වැය බරක් රජය දරමින් සිටින බවත් විපක්ෂයේ චෝදනාවය.
විපක්ෂය රජයට එසේ චෝදනා කරද්දී රජය ද මේ වන විට2022 වසරේ පැවැති රජය සමයේ ද රුපියල් බිලියන 500 ක ගල්අඟුරු වංචාවක් ගැන තොරතුරු හෙළිදරව් කරයි. එම තොරතුරු සඳහන්ව ඇත්තේ 2022 වසරේ සිදුකළ විශේෂ විගණන වාර්තාවකය. විදුලි බල අමාත්‍යංශයේ ලේකම් විගණනයට හා අමාත්‍ය මණ්ඩලයට බොරු ප්‍රකාශ ලබාදී ඇති බවත් පිහිටුවා මාස තුනක්වත් නැති සමාගමකට ගල් අඟුරු ටෙන්ඩරය ලබාදී ඇති බවත් රජය කියයි. එම ඩෙන්ඩරය ලබාදී ඇත්තේ කිසිදා ගල් අඟුරු ප්‍රසම්පාදනය නොකළ සමාගමකට බවද දිගින් දිගටම ආ විරෝධතා මත එම ටෙන්ඩරය අමාත්‍ය මණ්ඩලය මගින්ම අහෝසි කර ඇති බව ද රජය කියයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක ගල්අඟුරු සැපයීම පිළිබඳ ඉතිහාසයේ සිදුවීම් ද විමර්ශනය කළ හැකි පරිදි ජනාධිපති කොමිසමක් මේ වන විට පත්කර ඇත. ආණ්ඩුව පවසන්නේ එවැනි පරීක්ෂණ කොමිසමක් පත්කර තිබියදීත් විපක්ෂයේ කිසිවකුත් මේ දක්වා එම කොමිසමට අඩිය තබා නැති බවය. වර්තමාන ගල් අඟුරු සැපයුම හා එමගින් රටට විශාල මූල්‍යමය පාඩුවක් සිදුකළ බවට චෝදනා කළ විපක්ෂනායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් මෙම කොමිසමට තොරතුරු ලබාදීමට ඉදිරිපත්ව නොසිටීම සැක මතු කරන බවද රජයේ මතය වෙයි.
සජබය බදු පනතට බැට දෙයි
සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඉකුත් සඳුදා සවස පහට පැවැත් වූයේ පක්ෂ මූලස්ථානයේදීය. සතියේ පාර්ලිමේන්තු කටයුතු සාකච්ඡා කිරීම සහ විශේෂයෙන්ම දේශීය ආදායම් පනත සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම එහි දී සිදුවිය. ජ්‍යෙෂ්ඨ නීතිඥයන් පිරිසක් ද සරසවි ආචාර්යවරුන් පිරිසක් ද ඒ සඳහා කැඳවනු ලැබ සිටියහ.
මේ පනත ඉතා භයානකයි. ජනතාව ලොකු අමාරුවක වැටෙනවා මේ පනතෙන්. මේ ගැන අපි ජනතාව දැනුවත් කරන්න ඕනෑ, ව්‍යාපාරිකයන් දැනුවත් කරන්න ඕනෑ.’’ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේය.
‘‘මේ පනතේ තියෙන්නෙ බදු අංකය ඒ කියන්නෙ ටින් අංකය නැතිනම් සිරගත කරන්න පුළුවන් තත්වයක්. තරුණ ළමයි පොලිස් රිපෝට් එහෙම ගන්න යනකොට තමා ප්‍රශ්නෙ මතු වෙන්නෙ. ටින් අංකයක් නැතිවීම අපරාධමය වරදක් ලෙසයි අර්ථ දක්වල තියෙන්නෙ. පොලිස් රිපෝට් ගන්න ගියාම ටින් අංකය නැතිනම් ඒ ළමයා අපරාධමය වරදක් කරලා කියල පොලිස් රිපෝට් එකට එනවා. මේක මහා බරපතළ ප්‍රශ්නයක්. පිටරටවලට යන්න ලැබෙන්නෙ නෑ. ජොබ් ගන්න ලැබෙන්නෙ නෑ.’’ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කීවේය.
‘‘ටින් අංකයක් නොගෙන සිටීම ඕනෑම පුරවැසියකුට එරෙහිව නඩුවක් පවරන්න පුළුවන් කියලා පනත අර්ථ විග්‍රහ කරන්න පුළුවන්. මේක ගැන ජනතාව අවදි කළ යුතුයි’’ කබීර් හෂීම් මන්ත්‍රීවරයා කියා සිටියේය.
‘‘මේ රජයේ ආර්ථික ප්‍රතිපත්තිය එයාලටම පාලනය කරගන්න බෑ. ඩොලරය වේගයෙන් ඉහළ යනවා. ඉදිරි දිනවල ආනයනික සියලු බඩුමිල ඉහළ යනවා. ආර්ථිකය ගොඩගන්න පුළුවන් කියලා බලයට ආවට ආර්ථිකය තිබුණටත් වඩා පහළ තැනකට දාල ජනතාවට ඉදිරියේ දුෂ්කර තත්ත්වයක් උදාවේවි.’’ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේය. ආර්ථිකමය කරුණු දක්වා කතා කරන මන්ත්‍රීවරුන්ට එළඹෙන පාර්ලිමේන්තු සතියේ දී වැඩි වේලාවක් වෙන්කර දීමට එහි දී තීරණය විය.
හොඳම මුදල් ඇමැති කියන දේ
ඩොලරයට සාපේක්ෂව රුපියල් අව ප්‍රමාණය වීමේ ප්‍රශ්නය මේ දිනවල ආර්ථික දැනීමක් නැති සාමාන්‍ය ජනතාව තුළ පවා කතා බහට ලක්ව ඇත. සති කිහිපයක සිට ඩොලරය ඉහළ නැගීම ඇරඹුණු අතර මේ වන විට ආනයනික භාණ්ඩ මිල ඉහළ නගිමින් පවතී. මෙය තවදුරටත් ඉහළ නැගීමක් සිදුවුවහොත් පොදු ජනතාවගේ එදිනෙදා ජීවන වියදමද ඉහළ නගිනු ඇත. ගෝඨාභයගේ රජය යටතේ රට බංකොලොත් වී ඇති බවට ප්‍රකාශ කෙරුණු අවස්ථාවේ ඩොලරයේ වටිනාකම තුන්සිය හැටකට සීමාවේ පැවතුණි. මේ වන විට ඩොලරයේ රුපියල් වටිනාකම එයට ආසන්න වෙමින් පවතියි. රුපියලේ අවප්‍රමාණය වීමෙන් කුමක් සිදුවේ ද යන්න මාධ්‍යවේදීන් පිරිසක් ඉකුත් සතියේ හිටපු ඇමැති රවි කරුණානායකගෙන් විමසුවේ ඔහු එකල ආසියාවේ හොඳ මුදල් ඇමැති ලෙස සම්මානයට ද පාත්‍ර වූ නිසාය.
මෙයාල ඉස්සර විපක්ෂයේ දී කීව මුදල් අච්චු ගහනවා. ඒකෙන් උද්ධමනය වැඩිවෙලා රුපියල අවප්‍රමාණය වෙනවා කියලා. එයාල බලයට ආවම ඒ වැරැද්ද කරන්නෙ නෑ කිව්වා. දැන් මුදල් අච්චු ගහන්නෙ නෑ. එතකොට දැන් ඩොලරයේ වටිනාකම වැඩිවෙලා රුපියල බාල්දු වෙලා තියෙන්නෙ ඇයි ? මං ඕක ඇහුව පාර්ලිමේන්තුවෙ දී. ඒත් මෙයාලට උත්තර නෑ, මේකට වගකියන්න කෙනෙක් නෑ දැන්. මහ බැංකුවට ස්වාධීනත්වය ඕනෑ කීවා ආර්ථික ප්‍රශ්නෙ විසඳන්න. ඒක දුන්නට පස්සෙත් රුපියල් බාල්දු වෙනවා. මෙයාලට උත්තර නෑ කියලයි මට කියන්න තියෙන්නේ. ඩොලරය රුපියල් හාරසීයක් වෙයි කියලා මම හිතන්නෙ නෑ. තුන්සිය හැටේ හැට පහේ විතර නවතියි. මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන හත්සීයක් ලැබුණත් ඉන් ගොඩක් ණය ගෙවන්න තියෙනවා. ඒ නිසා විසඳුම ඒක නෙවෙයි.
මොකද වෙන්නෙ කියන අවිනිශ්චිත භාවය දිගටම තියෙයි.’’ රවී කරුණානායක මන්ත්‍රීවරයා කියා සිටියේය.
රුපියල රැකගන්න විපක්ෂය එකතු වෙයි
ඇමරිකානු ඩොලරයේ වටිනාකම ආඛණ්ඩව ඉහළ යාම සහ රුපියල කඩාවැටීම හරහා ආර්ථිකයට එල්ලවන බලපෑම ගැන විශේෂ සාකච්ඡාවක් ඉකුත් බ්‍රහස්පතින්දා සවස විපක්ෂනායක කාර්යාලයේ දී පැවැත්විණි. පාර්ලිමේන්තුවේ සජබ නොවන මන්ත්‍රීවරුන් ද ඒ රැස්වීමට පැමිණ සිටියේ මෙය සුවිශේෂී අවස්ථාවක් නිසාය. සජිත් සමග මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර කබීර් හෂීම්, ආචාර්ය හර්ෂ ද සිල්වා, රවුප් හකීම්, රවි කරුණානායක, රෝහිත අබේගුණර්ධන ඇතුළු මන්ත්‍රීවරු රුපියල් අවප්‍රමාණය වීමේ හේතුවෙන් මතුවන ආර්ථික අර්බුදයක් ගැන කරුණු දැක්වූහ.
අපි මේ තත්වය ගැන ආණ්ඩුවට කලින්ම අනතුරු අඟවන්න ඕනෑ. මොකද ආණ්ඩුව රුපියල අවප්‍රමාණය වීමේ බරපතළකම හරියට තේරුම් අරගෙන නෑ....’’ විපක්ෂ නායක සජිත් කියා සිටියේය.
‘‘මෙයාල හිතුවා සල්ලි උතුරන්න තියෙනවා කියලා. ඩොලර් බිලියන දෙකක් වියදම් කරලා වාහන ගෙනාව ගිය අවුරුද්දට. රුපියල් ටැක්ස් එනකොට හරි ෂෝක් කියල හිතුවා. දැන් තමයි වෙච්ච හානිය කාටත් තේරෙන්නේ’’ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර කීවේය.
‘‘දැන් ආණ්ඩුව හදන්නේ පොලී අනුපාත වැඩි කරන්න. ලබන සතියේ එහෙම කරයි. අපි කොච්චර කීවත් වැඩක් නෑ. ආණ්ඩුව රටේ මාකට් එක විශ්වාස කරන්නේ නෑ’’ ආචාර්ය හර්ෂ ද සිල්වා කීවේය.
‘‘මේ ඔක්කොම ඇත්ත. ආණ්ඩුවට මේ තත්ත්වය පාලනය කර ගන්න බැරි බව තමයි පේනනුම් කරල තියෙන්නෙ. ඒත් එහෙම කියල අපිට අහක බලන්න බෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාරික දෙකක් මේ මාසෙ අගදී ලැබෙන්න තියෙනවා. එතැනදී මේක ආණ්ඩුවෙ දුර්වලතාව කියල අපිත් අහක බැලුවොත් මේ වාරිකත් නොලැබී ගිහින් අසරණ වෙන්නේ මුළු රටමයි. මේ සුවිශේෂී අවස්ථාවක්. පක්ෂ භේදයකින් තොරව අවධානයට ලක් කළ යුතු තත්ත්වයක්......’’ විපක්ෂ නායක සජිත් කියා සිටියේය. ඒ අනුව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ මන්ත්‍රීවරුන් තීන්දු කළේ රටේ ආර්ථික තත්ත්වය තවදුරටත් උග්‍රවීමට පෙර කඩිනමින් ජාතික විසඳුමක් සකස් කිරීම සඳහා වහාම සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලීමක් කිරීමටය. රුපියල වේගවත්ව අවප්‍රමාණය වීම මත යළිත් රට බංකොලොත්වීමේ තත්වයක් උදාවීමට පෙර විපක්ෂය සමග එකට කඩිනම් ජාතික වැඩපිළිවෙළක් සකස් කරන්නැයි විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ මතය විය.
රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම හමුවේ කෙටිකාලීන ජාතික ආණ්ඩුවක් සකස් කළ යුතු බව විපක්ෂ මන්ත්‍රීවරුන් ගණනාවක්ම මාස කිහිපයක් තිස්සේම මෙම ලේඛකයා සමග අදහස් දක්වමින් සිටි අතර උදාවෙමින් ඇත්තේ එවැනි තත්ත්වයක් දැයි තවමත් පැහැදිලි නැත.
විපක්ෂය තනිවම රණවිරු සමාධියේ
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජාතික සංවිධායක ගයන්ත කරුණාතිලක ඇතුළු පිරිස ඉකුත් දහනව වැනිදා තීන්දුවක් ගත්තේ පසුදා උදෑසනම බත්තරමුල්ල රණවිරු සමාධිය අබියසට ගොස් රණවිරුවන්ට උපහාර දැක්විය යුතු බවය.
‘‘අපිට රජයේ නිල උත්සවයට ආරාධනා ලැබුණේ නෑ. ඒත් අපි කලබල වෙන්න හොඳ නෑ. කවද සැමරුවත් රණවිරුවන්ට ගෞරවයෙන් ඒ සැමරුම කරනව නම් දිනය පිළිබඳ ප්‍රශ්නයක් නෑ. අපි යමුද හෙට උදේම’’ විපක්ෂ නායක සජිත් ගයන්තගෙන් විමසීය.
‘‘ඒක හොඳ අදහස. මම කියන්නම් හැමෝටම එන්න කියලා’’ ගයන්ත කියා සිටියේය. ඒ අනුව විපක්ෂයේ සියලු දෙනාටම එම පණිවිඩය ලබා දුන්නේය.
විසිවැනි බදාදා උදෑසනම විපක්ෂ නායක සජිත් ….. සජබ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ගයන්ත කරුණාතිලක, ජගත් විතාන, දයාසිරි ජයසේකර, ජේ.සී. අලවතුවල, රවි කරුණානායක, චමින්ද්‍රානි කිරිඇල්ල ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනාම පාහේ රණවිරු සමාධිය අබියසට ගොස් මල් තබා රට වෙනුවෙන් ඔවුන් කළ ජීවිත පරිත්‍යාගයට උපහාර දැක්වූහ. පැය බාගයක් පමණ එහි ගත කළ විපක්ෂ මන්ත්‍රී පිරිස ඉන්පසු පාර්ලිමේන්තු වැඩකටයුතු සඳහා නික්ම ගියහ.
පෙරටුගාමීන්ගෙන් නඩු
පෙරටුගාමි සමාජවාදී පක්ෂය ඉකුත් සතියේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේ ගල් අඟුරු ප්‍රශ්නය පිළිබඳව ගන්නා පියවර ගැනය. පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ එහිදී දිගු පැහැදිලි කිරීමක් සිදු කළේය.
‘‘ගල් අඟුරු බාලයි කියන එක දැන් රහසක් නෙවෙයි. බාල ගල් අඟුරු නිසා විදුලිය නිෂ්පාදනය අපේක්ෂිත ප්‍රමාණයට වඩා අඩු වුණා. එම අඩුව පුරවා ගත්තේ ඩීසල් බලාගාරවලින්. මේකෙන් විශාල අලාභයක් සිදුවුණා. බොයිලේරුවලට මේ බාල අඟුරු නිසා සිදු වූ හානිය නොසැලකුවත් දැනට රුපියල් බිලියන විස්ස ඉක්ම වූ පාඩුවක් සිදුවී ඇතැයි සිතනවා....’’ පුබුදු ජයගොඩ කීවේය.
පක්ෂය තීන්දු කළේ මේ පිළිබඳව අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කිරීමටය. බාල ගල් අඟුරු නිසා සිදුවූ අලාභය ජනතාවගෙන් අයකර නොගන්නා ලෙස නියෝගයක් ඉල්ලා එම නඩුව ගොනු කෙරිණි.
නාමල් හොංකොං දිවයිනට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ආසියානු සංස්කෘතික පොදු සුබසාධන සංසඳයේ ආරාධනාවක් පරිදි හොංකොං දේශයේ සමුළුවක් ඇමතීය. ආගම හා ජාතීන් අතර සුහදතාව ප්‍රවර්ධනය පිණිස මෙම සමුළුව සංවිධානය කර තිබිණි. ඔහු එම සමුළුවට පිටත් වූයේ තම පුත්‍රයාගේ අකුරු කියවීමේ නැකතටද සහභාගි වීමෙන් පසුවය.
ඔහු එදින මධ්‍යම රාත්‍රියේ හොංකොං බලා පිටත්ව ගිය අතර, ගමන දුර නිසා ගුවන් යානා තුනකට මාරුවී තම ගමනාන්තයට යාමට ඔහුට සිදුවිය. තම දේශනයට පැය කීපයක් පමණක් ඉතිරිව තිබියදී නාමල් හොංකොං දේශයට ගියේය. ඔහුගේ පැමිණීම දැනගත් එරට සිටින ලාංකිකයෝ පිරිසක්ද එහි පැමිණ ඔහු මුණගැසී කතාබහ කළහ. තවත් දින කිහිපයක් එහි රැඳෙන ලෙස ලාංකික හිතවතුන් ඉල්ලා සිටියද, නාමල් පැවසුවේ, රණවිරු සැමරුම සහ පාර්ලිමේන්තුවේ කතාවක් පැවැත්වීමට ඇති නිසා ඉක්මනින් යා යුතු බවය. රටේ වත්මන් දේශපාලනය ගැනද නාමල් ඔවුන් දැනුවත් කළේය.
ආපසු ආ නාමල්ව කැඳවාගෙන යාමට පැමිණ සිටියේ බිරිඳ ලිමිණිය. ඉන්පසු අවිස්සාවේල්ලේ රණවිරු ගම්මානයේ පැවැති උත්සවයකට සහභාගි වූ නාමල්ට රණවිරුවන්ගෙන් ඉහළ පිළිගැනීමක් ලැබිණි. හිටපු ජනපති මහින්ද යුද්ධය අවසන් කිරීම සඳහා නායකත්වය ලබාදුන් හැටි සිහිපත් කළ එහි සිටි රණවිරු පිරිසට නාමල් කීවේ, රණවිරුවන් වූ ඔයාලා නැතිනම් මේක ඉවරයක් කරන්න වෙන්නෙ නෑ. ඔයගොල්ල කළ කැපකිරීම දැන් මිනිස්සුන්ට අමතක වෙලා කියාය.
රණවිරු සැමරුමක් මහින්දගේ නිවසේ
රණවිරුවන් සැමරීමේ උත්සවයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවසේ දී සූදානම් කර තිබිණ. සාගර කාරියවසම් ඇතුළු හිටපු දේශපාලකයෝ කිහිප දෙනෙක්ද නාමල් රාජපක්ෂ ද එම අවස්ථාවට සහභාගි වූහ. බන්දු සමරසිංහ කලා කරුවා ද මහින්ද රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීමට පැමිණ සිටි අතර, රණවිරුවන් වෙනුවෙන් පහනක් දැල්වීමට මහින්ද ඔහුට ද ආරාධනා කළේය. ‘‘බන්දු ඔයත් එන්න පහනක් පත්තු කරන්න....’’ මහින්ද පැවසීය. මෙහිදී මාධ්‍යවේදීන් පිරිසක් මහින්ද වටකරගනිමින් විමසුවේ, ආණ්ඩුව හා රණවිරුවන් ගැනය. ‘‘අපි රණවිරුවන් ගැන බලාගන්න ඕනෑ. ඔවුන්ට ගෞරවය දෙන්න ඕනෑ’’ ආණ්ඩුවේ ගැන නම් අපිට වඩා ඕගොල්ලනෙ දන්නෙ’’ හිටපු ජනපති මහින්ද කීවේ සිනාසෙමිනි. එදින නාමල් හා ලිමිණි රාත්‍රිය වනතුරුම මහින්දගේ නිවසේ ගත කර තම නිවස බලා ගියහ.
නාමල් හා පිල්ලෙයාන්
ඉකුත් බදාදා ආණ්ඩුව පැවසුවේ පිල්ලෙයාන් මඩකළපුවෙ බන්ධනාගාර සිටිය දී නාමල් ඔහු බලන්නට ගිය බවය. මේ පුවත් දැනගත් වහාම ඩී.වී. චානක හා ජොන්ස්ටන් නාමල් අමතා මේ බව දැනුම් දුන්හ.
මම තාප්පෙන් පැනලා පිල්ලෙයාන් බලන්න ගියේ’’ නාමල් සිනාසෙමින් පැවසීය.
අපි මේකට උත්තරයක් දුන්නොත් හොඳයි’’ ඩී.වී. චානක කීවේය. ‘‘මේ බලන්නකෝ..... මම මහින්ද ජනාධිපතිතුමායි, බැසිල් බාප්පයි පිල්ලෙයාන් බලන්න ගිය එක රූපවාහිනී නාළිකාවක වෙබ් එකේ තියෙනවා’’ නිමල් එම පැරණි ප්‍රවෘත්තිය ඔවුන්ට පෙන්වා සිටියේය.
පිල්ලෙයාන් ඒ කාලෙ අපේ සංවිධානෙ හිටියේ. ඉතින් බලන්න යන්න බැරිද?’’ ජොන්ස්ටන් ප්‍රනාන්දු එසේ කීවේය.
රනිල් හමුවුණේ කවුද?
ඒ.කේ.ඩී. ඔබතුමා බලන්න ආවා දැයි රනිල් ජනපති සමයේ මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න රනිල්ගෙන් ඇසූවේ වෙබ් අඩවිවල පළ වී තිබූ පුවතක් පෙන්වමිනි.
“රනිල් හමුවූ ප්‍රබල දේශපාලනඥයා කවුද? කියලා තමයි සමාජ මාධ්‍යයේ යන්නේ.” රනිල් නිහඬව සිටිනු දුටු ශානුක නැවත විමසීය.
“එක්කෙනෙක් නෙමෙයි මම හමුවෙන්න දේශපාලන නායකයෝ ගණනාවක් එනවනේ” යැයි කියූ රනිල් කිසිදු හැඟීමක් පළ නොකර ඉවත බලා ගත්තේය.
ආණ්ඩුවේ යාන්ත්‍රණය ගෙනයාම සඳහා පිටින් කට්ටිය සොයමින් සිටින බව සුගීශ්වර රනිල්ට සැලකර සිටියේය.
“මේ ගොල්ලෝ තනතුරුවලට දාන්නේ පක්ෂය අනුමත කළොත් විතරයි.මෙයාට මෙයාගෙ කට්ටිය නැතිනම් දුවන්න බෑ” රනිල් ඊට උත්තරයක් දුන්නේය.
වර්තමානයේ බලා සිටියදී රුපියල බාල්දු වෙමින් තිබෙයි.ඩොලරය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. රනිල් සමග හමුවේදී මේ ප්‍රශ්නය මතු කළේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්නයි. මෙතරම් වේගයෙන් රුපියල බාල්දු වන්නේ කෙසේ දැයි දිනිත් රනිල්ගෙන් විමසුවේ එයින් රටට අනාගතයේදී ඇතිවිය හැකි ව්‍යසනය හොඳින්ම තේරුම් ගෙන සිටි බැවිනි.
“මගේ හිතේ මේ අය ටියුෂන් අරගෙන තියෙන්නේ ගෝඨාභයගෙන්ද දන්නෙ නෑ” රනිල් සැහැල්ලුවෙන් වුවත් පැවසූයේ ගැඹුරු කතාවකි.
“රුපියලේ වටිනාකම අඩු වෙලා වැටුණා. කොහොමත් රුපියල බාල්දු වෙමින් තිබුණේ. හැම අවුරුද්දෙම එකකින් හරි ඒ කාරණය සිද්ධවෙනවා.මම අයි.එම්.එෆ් එක්ක සහයෝගයක් ඇති කරගෙන බැලුවේ රුපියල ශක්තිමත් කරන්න.උද්ධමනය සීමා කරන්න .අපි ඩොලරය 292 දක්වා ගෙනාවා.මම බලයේ හිටියා නම් 275කට ගන්න තිබුණා.මේ උදවියටත් 280කට හරි ගේන්න තිබුණා.
තව බදු වැඩි කරන්න ඕන කියලා ආණ්ඩුව කියලා තියෙනවා.රුපියල ශක්තිමත් වුණොත් බදු වැඩි කිරීම ඒ තරම්ම මිනිස්සුන්ට දැනෙන්නේ නැහැ.ඒ වගේම උද්ධමනය නැති නිසා රුපියලේ වටිනාකම තියෙනවා.
මේ අය කිව්ව විදියට වැඩේ කළේ නෑ. එහෙම කළා නම් Cost Recovery ඔච්චර වැඩි වෙන්නේ නෑ. අපි බැලුවේ රුපියල ශක්තිමත් කරලා තවත් දීමනා ලබා දෙන්න.වර්තමාන යුද තත්ත්වය ඉවර වෙලා සාමාන්‍ය තැනට ආවත් ලේසි වෙයි කියලා මම නම් හිතන්නේ නෑ.”
රනිල් වත්මන් තත්ත්වයන් ගැන දීර්ඝ විස්තරයක් ඇරඹුවේ එලෙසිනි.
“අපි දැන් මේ තත්ත්වයෙන් ගොඩ යන්නේ කොහොම ද? කොහොම හරි මේක කඩාගන්න ඕනනේ” වජිර රනිල්ගෙන් විමසුවේ දිනෙන් දින රට අවුල් වන නූල් බෝලයක් බවට පත්වෙමින් තිබෙන බව ඉවෙන් මෙන් වැටහුණ හෙයිනි.
ටිකක් කල්පනා කළ රනිල් ඊට වෙනම විදියක උත්තරයක් ලබා දුන්නේය.
“තමන් ලයිෂන් නැති ඩ්‍රයිවර් කෙනෙක් ඉන්න වාහනේකට නැග්ගා නම් ඉතින් කොහාටද යන්නේ කියලත් හිතන්න තිබුණා.දැන් ඉතින් කියලා වැඩක් නෑ” ඒ පිළිතුර කිසිවකුත් සැහැල්ලුවට ගත්තේ නැත.
මහ බැංකුවේ අසීරුව
මහබැංකු අධිපති මුදල් සභාවට කිව්වා යැයි කියන රට අසීරු තත්ත්වයක තිබෙන කතාව ගැනත් ඊට පසුව මහබැංකු අධිපතිවරයා විසින්ම ඒ කතාව නිවැරදි කරමින් තමා එසේ කීවේ ලෝක තත්ත්වය ගැන සලකා බලා යැයි යන කතාව ගැනත් මාන්නප්පෙරුම රනිල්ගේ අවධානයට යොමු කළේය. දිනිත් කරුණාරත්න එහිදී පැවසුවේ වර්තමාන තත්ත්වය අනුව මොනවා කරන්නත් රුපියලේ බාල්දුව නතර කර ගත යුතු බවයි.
“යුද්ධය විතරක්ම නෙමෙයි. සැලසුමක් නැති කමත් මේ ප්‍රශ්නවලට ගොඩක් බලපෑවා. දැන් කාර් ගේන්න මිලියන කීයක් ගියාද? ඔක්කොම කාර් එක සැරේ ගේන්න වැඩක් නෑනේ. අවුරුදු පහක කාර් හිරවෙලා තිබුණා. මේක තමන්ට උදව් කරපු ජපානේ උදවියට සල්ලි හම්බ කරගන්න අවස්ථාවක් කරලා දුන්නා නම් දැන් ඉතින් මොනවා කරන්නද?” රනිල් කීවේය.
ඒකාබද්ධය සාර්ථකව ඉදිරියට
ජී.එල් ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම සාර්ථක අයුරින් ගමන ආරම්භ කර ඉදිරියට යමින් සිටී. මේ අතර සජබ කරන කාර්යය ගැනද රනිල් සහ පිරිස අතර කතා ඇතිවිය.
වජිර අතීතය මතක් කරයි
ජනපති රණවිරු සැමරුම් උලෙළ අමතමින් පැවසුවේ යුද්ධය ඉතා අමිහිරි බැහැර කළ යුතු කාරණයක් බවයි. මේ කාරණය කතාබහට ලක් වූ අවස්ථාවේදී වජිර අතීත කාරණයක් සිහිපත් කළේය.
“රනිල් මුල සිටම යුද්ධයේ අමිහිරි බව අවබෝධ කරගෙන සිටි නිසා යුද්ධය නැතිව සාමය ගේන්න 2002 පෙබරවාරි 22 සාම ගිවිසුම අත්සන් කළා. ඒ වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණ එළියට බැහැලා දැඩි විරෝධයක් පළ කළා. ඒ සාම ගිවිසුම නිසා කෙටි කාලයක් ඇතුළත එල්ටීටීඊ සංවිධානය දෙකට කැඩුණා. ජවිපෙ විරුද්ධ නොවුණා නම් යුද්ධයක් නැතුවම ඒ ප්‍රශ්නයට විසඳුම ගන්න තිබුණා.ඒක වැළැක්වුවෙත් ජනතා විමුක්ති පෙරමුණ. අද අවුරුදු විසි හතරකට පස්සේ යුද්දෙ නැතුව සාමය හොඳයි කියලා ඔවුන්ට තේරිලා තියෙනවා” වජිර කීවේය.
අල්ලස් කොමිසමට යන අය දිවි නසාගැනීම
ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවක් එහි කඳවුම්කරු ජී.එල් පීරිස්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් එහිදී දැඩි විවේචනයක් එල්ල විය. කපිල චන්ද්‍රසේනගේ දිවුරුම් පෙත්සම සම්බන්ධයෙන්ද කතා බහට ලක් විය.
“අල්ලස් කොමිසමට එන අය සිය දිවි නසාගන්න තත්ත්වයට ඇවිත් තිබෙනවා. මේකට පැහැදිලිව වගකියන්න ඕන කොමිසමේ සභාපති සහ කොමසාරිස්වරු.අධ්‍යක්ෂ ජනරාල් කියන්නේ ඔවුන්ගේ අධීක්ෂණය සහ මෙහෙයවීම යටතේ කටයුතු කරන නිලධාරියෙක්.අල්ලස් කොමිසමේ නීතිය අනුව සභාපති සහ කොමසාරිස්වරුන්ගේ නියෝගයක් නැතිව අධ්‍යක්ෂ ජනරාල්වරයාට අධි චෝදනා පත්‍රයක් අත්සන් කරන්නටවත් හැකියාවක් නැහැ.අධි චෝදනා පත්‍ර ආදී සියල්ලක් ඉදිරිපත් කරන්නේ කොමසාරිස්වරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ.දැන් සිදුවෙලා තියෙන්නේ මහා පරිමාණ විකෘතියක්. අධ්‍යක්ෂ ජනරාල්වරයා කොමිෂන් සභාව පාලනය කරන පුද්ගලයා ලෙස කටයුතු කරනවා. එහෙම කරන්න බෑ කොමසාරිස්වරු නීතිය ඉදිරියේ වගවීම බාරගන්න ඕන.
අදාළ දිවුරුම් පෙත්සම සම්බන්ධයෙන් ගත් පියවර අසා දැනගැනීම සඳහා ලිපියක් භාර දීමට සුගීශ්වර ඇතුළු කණ්ඩායමක් ලබන සතියේ අල්ලස් කොමිසමට යාමට නියමිතව තිබේ.ඊට අදාළ ලිපිය කෙටුම්පත් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාලය.
රාජදූත

