අරගලයේ උස්පහත්වීම් තිබෙනවා ඒ හැර අරගලය අවසන් නෑ


පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම්

දුමින්ද නාගමුව

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ විනය සම්බන්ධයෙන් බරපතළ සංවාදයක් රට තුළ මතුවී තිබේ. සරසවි ශිෂ්‍යයන් දේශපාලන අරමුණු සඳහා මෙහෙයවනු ලබන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය බවට ඇතැම්හු චෝදනා කරති. ඒ සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ​ලේකම් දුමින්ද නාගමුව මහතා සමග කළ සාකච්ඡාවකි.   

ප්‍රශ්නය -පෙරටුගාමී සමාජවාදී පක්ෂය හැටියට ඔබලා කියනවා අරගලය අවසන් නෑ කියලා. නමුත් රට තුළ අරගලයක් තිබෙන බවක් පේන්නෙත් නෑ?   


අපි අරගලය ​අවසන් නෑ කියලා කියන්නේ තේරුම් දෙකකින්. මහ ජනතාවට අරමුණක් තිබ්බා පරම්පරා ගණනාවක් දුකට ඇදලා දාපු ක්‍රමය වෙනස් කිරීමට. මේ මොහොතේ ඒ අරගලය තියෙනවා. ගෝල්ෆේස් අරගලයෙන් ප්‍රධාන වශයෙන් මතු කරපු සටන් පාඨ දෙකක් තියෙනවා. එකක් තමයි හොරු අල්ලන්න කියන එක. අනිත් එක තමයි සිස්ටම් චේන්ජ් එක. දැන් ඉන්න ජනාධිපතිවරයා හොරු අල්ලනව කිව්වට ඒ හොරු හොරකම් කරපු දේවල් අත්පත් කරගන්නවා කිව්වට ඔවුන් ආරක්ෂා කිරීමක් තමයි වෙන්නේ. ජනතාව මත බදු බර පටවලා ඒකෙනුත් ගසා කමින් ඉන්නේ. මේ පීඩනය වැඩිවෙන්න වැඩිවෙන්න මහ ජනතාව නැවත නැගිටිනවා. අරගලයේ උස් පහත්වීම් තියෙනවා. ඒ හැර අරගලය අවසන් නෑ.   


ප්‍රශ්නය -ජවිපෙ බිමල් රත්නායක කිව්වා ‘‘මැච් එක ගැහුවෙ අපි වුණාට කප් එක ඉස්සුවේ වෙන කෙනෙක් කියලා. ඔබත් එයට එකඟද?   


නෑ මම හිතන්නේ අපේ පක්ෂයට අරගලයට තිබුණේ වෙනස් ප්‍රවේශයක්. ජනතා විමුක්ති පෙරමුණට තිබුණෙ වෙනත් ප්‍රවේශයක්. අරගලය පොදුවේ පැන නැගුණේ නිර්පාක්ෂික අරගලයක් විදියට. ඒ වචනයට කොයිතරම් දුරට සාධාරණය ඉටු වුණාද කියන එක වෙනම කාරණයක්. එතැන තිබුණ දේශපාලන පක්ෂවල මුළු න්‍යාය පත්‍රයම එතැනට ගේන්න එපා කියන අදහස. ඒ නිසා හැකියාව ලැබුණා පොදු ජනතාව ඒකරාශි කරගන්න. ඒක අපි ධනාත්මක කාරණයක් හැටියට දකිනවා. ඒකෙන් අදහස් වෙන්නේ නෑ අරගලයෙ සියලු ඉලක්ක ජයග්‍රහණය කළා කියලා. අරගලයේ දේශපාලන අභිලාසයන් තියෙනවා. ඒක ඉදිරියට අරගෙන යන්න ඕනැ. ඉතින් ඒකට අරගලය කරපු ජනතාවට හරි අරගලයට හරි දොස් කියලා හරියන්නේ නෑ. ඒක තමයි දේශපාලන ව්‍යාපාරවල වගකීම. එතැනදි අපි අපේ කොටස කරලා තියෙනවා. ඉදිරියේදි බලාපොරොත්තු වෙනවා ඉතිරි කොටස සම්පූර්ණ කරන්න. වාමාංශික ව්‍යාපාරවල කාර්යභාරය තමයි පොදු අරගල තුළ ක්‍රියාකාරීව මහජන මතය වෙනස් කරමින් අරගලය ඉදිරියට ගෙන යෑම. අපි ඉන්නේ එම අසීරු කර්තව්‍ය ඇතුළේ.

   
ප්‍රශ්නය -අරගලයේ පිටපත හා අධ්‍යක්ෂණය රනිල් වික්‍රමසිංහ බව සමහරු කියනවා. මොකද අරගලයේ අවසන් ප්‍රතිලාභියා ඔහු. වමේ ව්‍යාපාරය හැටියට ඔබලාත් එ් උගුලට අහුවුණා?   


 මං හිතන්නේ දේශපාලනය ගැන අබමල් රේණුවක තරම්වත් දැනුමක් නැතිව විකාර ටෙලිනාට්‍ය බලලා ඔළුව අවුල් කරගත් අය කියන කතා. ඔහු බලයට ආවේ පොදුජන පෙරමුණේ දූෂිත මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන්. අරගලයේ කවුරුවත් කිව්​වේ නෑ ඔහුට බලය ගන්න කියලා. ඔහුට කිසිම පිළිගැනීමක් නැහැනේ. අරගලයෙන් නම් ඔහු බලයට ආවේ යන යන තැන ඉහළ පිළිගැනීමක් තියෙන්න ඕනෑනේ. නමුත් යන යන තැන ඔහුට ඇහෙන්නේ හූ හඬ. ඉතින් පැහැදිළියිනේ ජනතාව ඉන්නේ කොතැනද කියලා.  


ප්‍රශ්නය -පක්ෂයක් හැටියට මෙබඳු අවසානයක් බලාපො​රොත්තු වුණාද? නැත්නම් ඔබලා බලාපොරොත්තු වෙච්ච අවසානය මොකද්ද?  


මහජනයා සමග දේශපාලනය කරද්දි අපි බලාපොරොත්තු  වන අවසන් ප්‍රතිඵලයම ගන්න බෑ. එහෙම ගන්න පුළුවන් නම් අපි කැමතියි ඒකට. ඒක එහෙම වෙන්නේ නෑ. ඒකට හේතුව දේශපාලනයේදී විවිධ බලවේග විවිධ න්‍යාය පත්‍රයන්, විවිධ අරමුණු, විවිධ චරිත දකින්න ලැබෙනවා. එතැන ගැටුමක් තියෙනවා. කෙනෙකුගේ ජීවිත කතාවක් ලිව්වොත් ඔහුගෙන් ජයග්‍රහණ එක රැයින් ලබාගත් එකක් නොවෙයි. ඒක තේරුම් අරගෙනනේ අපි අරගල කරන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වන කඩඉම දක්වා අපි අරගල ඉවසීමෙන් කරනවා. මේ තත්ත්වය තිබෙන්නේ අතරමැදි තත්ත්වයක්. සමහරු මේවා විග්‍රහ කරන්නේ මේක අවසානය හැටියට හිතාගෙන. මේක අවසන් පින්තූරය නෙවෙයි. මේක ක්‍රියාදාමයෙ අතරමැදි පින්තූරයක් පමණයි.   


ප්‍රශ්නය -ඔබ අන්තරේ හිටපු කැඳවුම්කරුවෙක්. ඇත්තටම අන්තරේ මෙහෙයවන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය?  


මම ඔය ප්‍රශ්නයට දහස් වාරයකට වඩා උත්තර දීලා තියෙනවා. පැහැදිලිවම මෙතැන තේරුම් ගත යුතු යමක් තියෙනවා. ඒ තමයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙ ශිෂ්‍ය අංශය තමයි විප්ලවවාදී ශිෂ්‍ය සංගමය. එතැන ඉන්නේ අපේ පක්ෂයේ වැඩපිළිවෙළට එකඟ වෙච්ච පිරිස්. අන්තරේ ඉන්නේ එහෙම එකඟ වෙච්ච අය නොවෙයි. ඒක පොදු ශිෂ්‍යයන්ගේ සංවිධානයක්. අන්තරේ තුළ අපේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් ඉන්නවා. තවත් තවත් පක්ෂවල ශිෂ්‍ය සංගම්වල අය ඉන්නවා. ඒක පොදු ක්‍රියාකාරීත්වයක්. අන්තරේ කියන්නේ අපේ පක්ෂයෙ ශාඛාවක් හෝ ශිෂ්‍ය සංගමය නොවෙයි.  


ප්‍රශ්නය -දහස් වාරයක් උත්තර දීලා තියෙන නිසා කට පාඩමින් ඔබට ඔය උත්තරය දෙන්න පුළුවන්. නමුත් ඇත්ත ඔබේ හෘද සාක්ෂිය දන්නවා?  


මම නැවත ඔබෙන් ප්‍රශ්න කරන්නේ ශිෂ්‍ය ව්‍යාපාරයට බොහොම කීර්තිමත් ඉතිහාසයක් තියෙනවා. කවුරුහරි කැමතිනම් ඒ කීර්තිය අපේ පක්ෂයට දෙන්න, අපි ඒකට ලෑස්තියි. පසුගිය අරගලය ගත්තත් ගෝඨාභය රාජපක්ෂ එලවන්න බෑ කියලා තටම තටම ඉන්දැද්දි අන්තරේ තමයි එතැනදි විශාල කාර්යභාරයක් කළේ. අපි කැමැති නෑ පොදු ශිෂ්‍යයන්ගේ ඒ කීර්තිය අප මත පූර්ණ වශයෙන් පවරාගන්න. අන්තරේ කැමතිනම් අපේ දේශපාලන මතය එලෙසින්ම පිළිගන්න අපිත් කැමතියි ඒකට. නමුත් එහෙම තත්ත්වයක් මෙතැන නෑ.

  
ප්‍රශ්නය -කීර්ති නාමය නොවෙයි ශිෂ්‍යයන් ප්‍රචණ්ඩත්වයට පොළඹවන්නේ පෙරටුගාමීන්?  


මේ රටේ ප්‍රචණ්ඩත්වය වැපුරුවේ කවුද කියන එක වහන්න ආණ්ඩුවට තියෙනවා දේශපාලන න්‍යාය පත්‍රයක්. මෙවැනි ප්‍රශ්න පවා අපට ඉදිරිපත් වන්නේ ඒ න්‍යාය පත්‍රයට අනුවයි. 

 
ප්‍රශ්නය -නෑ. නෑ. මම ඔබට ඉදිරිපත් කළේ සමාජය තුළ තිබෙන පොදු චෝදනාවක්?  


හරි! අපි දැක්කා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙදි ප්‍රකාශ කරනවා ‘කවුරුහරි පාරට බැස්සොත් අරගල කරන්න හැදුවොත් මම හදිසි නීතිය ගේනවා, හමුදාව ගේනවා, එහෙම ගෙනල්ලා ඒක නතර කරනවා’ කියලා. එතකොට රෝහල්වල අත්‍යවශ්‍ය ඔෟෂධ නෑ. ඒක ඇත්ත. බෙහෙත් නැතිව මිනිස්සු මියයද්දි පොලිසිවල ඇති තරම් කඳුළු ගෑස් තියෙනවා ජනතාවට ගහන්න. අපෙ රටේ ආරක්ෂක වියදම දෙවැනි වන්නේ ඊශ්‍රායලයට පමණයි. චීනයෙ, ඉන්දියාවේ ආරක්ෂක වියදම් අපටත් වඩා අඩුවෙන් තියෙන්නේ. එහෙම වෙලා මත්කුඩු තියෙනවා කියල පාසල් ළමයින්ගේ බෑග් පරීක්ෂා කරනවා. පරීක්ෂා කරන්න කියලා කියන්නේ ගුරුවරුන්ට. ඇත්තටම කිව්වොත් මේක විගඩමක්. විගඩම් නිර්මාණය කරපු අය ප්‍රචණ්ඩත්වය කියලා එකක් මවලා මෙතැන කතාවක් හදන්න හදනවා. දැන් ඒකට අපිව ඈඳගන්න හදනවා. කුඩුවලට සම්බන්ධ කරන්න හදනවා. එහෙම ලොකු අවලාද ව්‍යාපාරයක් යනවා. ඉතින් අපි කියන්නේ ඉදිරියේදි මහජනතාව මේ අයට උත්තර දෙයි. මඩ ෆැක්ටරිවලට ඉදිරියේදී ප්‍රශ්නයක් වෙයි.  


ප්‍රශ්නය -ඔබට මේ ප්‍රශ්නයට උත්තර දෙන්නත් පුළුවන්, නොදී ඉන්නත් පුළුවන්. ඔබ උපාධිය සම්පූර්ණ කළාද?  


නෑ, මම උපාධිය සම්පූර්ණ කළේ නෑ.  


ප්‍රශ්නය -අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අවුරුදු හතක් තිස්සේ විශ්වවිද්‍යාලයෙ රැඳෙමින් උපාධිය සම්පූර්ණ නොකර පක්ෂ දේශපාලනයේ යෙදෙනවා කියලා චෝදනා තියෙනවා?  


මම ඔබෙන් අහනවා ප්‍රශ්නයක්. වසන්ත මුදලිගේ අවුරුදු හතක් තිස්සේ විශ්වවිද්‍යාලයෙ ඉන්නවා කියලා ඔබ කියන්නේ කොහොමද?  


ප්‍රශ්නය -ජනාධිපති රනිල්ම ඒ චෝදනාව කළා.  


කොහෙදිද ඒ චෝදනාව කළේ?  


ප්‍රශ්නය -පාර්ලිමේන්තුවේදි?  


ආන්න හරි! මට ඒක තමයි ඔබෙන් ගන්න ඕනෑ වුණේ. ඔබ මාධ්‍යවේදියෙක් විදියට ඔය ප්‍රශ්නය අහන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරමින් ජනාධිපතිවරයා කළ ප්‍රකාශයකින්. කවුරුත් දන්නෑ වසන්ත මුදලිගේ අවුරුදු කීයක් ඉන්නවද කියලා. කවුරුවත් ඒක හොයන්නේ නෑ. ඕක තමයි ගොබෙල්ස් න්‍යාය කියන්නේ. එකම බොරුව සිය වතාවක් කිව්වම ඒක ඇත්තක් වෙනවා.  


ප්‍රශ්නය -එහෙමනම් ඔබ කියන්න වසන්ත මුදලිගේ විශ්වවිද්‍යාලය තුළ අවුරුදු කීයක්ද?  


අවුරුදු ගාණ නොවෙයි මෙතැන ප්‍රශ්නය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසන්ත මුදලිගේ තියාගෙන තවමත් නඩු පවරන්න විදියක් නැතිව කිසිම ත්‍රස්තවාදී චෝදනාවක් නොගෙන ඔහුගේ සියලුම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් බරපතළ මර්දනයට ලක් කරලා තියෙනවා. එහෙම තිබියදී ඔබ ප්‍රශ්නයක් විදියට අහන්නේ ඔහු අවුරුදු කීයක් විශ්වවිද්‍යාලයේ ඉන්නවද කියලා. 


ප්‍රශ්නය -මම ඔබට බාධා කරනවා. චෝදනාව තියෙන්නේ ඔහු ඉගෙන ගන්නේ නැතිව විශ්වවිද්‍යාලය තුළ පක්ෂ දේශපාලනයේ නියැලෙනවා කියලයි? ශිෂ්‍ය ගැටුම් සමග එම කාරණයත් වලංගුයි?  


නමුත් ඔබ ඇසිය යුත්තේ වසන්ත මුදලිගේගේ අද තත්ත්වය මොකක්ද? බන්ධනාගාරය තුළ ඔහුට කරදරයක් වෙලාද කියලයි. මොකද ඔබටත් මේ අත්දැකීම් තියෙන බව මම දන්නවා. එහෙම තිබියදීත් ඒවා අහන්නේ නැතිව ඔහු විශ්වවිද්‍යාලයෙ ඉන්න කාලය ගැන අහනවා. මම ඔබේ ඒ උගුලට අහුවෙන්නේ නෑ. මට ඔබේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න පුළුවන්. නමුත් මම කැමති නෑ ඒ උගුලට අහුවෙන්න.   


ප්‍රශ්නය -පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයාට හා ඔහුගේ පුත්‍රයාට සිසුන් පිරිසක් පහර දෙනවා. ඔබ එය හෙළා දකිනවද? එහෙම නැත්නම් වෙනත් අදහසක්ද ඔබට තියෙන්නේ?  


ඔබගේ පත්තරයේ ඉඩ වෙන් කරනවද බීගෙන ගිහින් ගුටිකාපු මනුස්සයෙකුට. මම අහන ප්‍රශ්නය ඒක. එහෙම සිදුවීම් ඕනෑතරම් වෙලා ඇති. මෙතැන තියෙන ප්‍රශ්නය මෙය හිටපු උපකුලපතිගේ පුතා කියලා ඒ බලය බේබදුකමට පාවිච්චි කරන්න යාමයි. මෙහෙම සිදුවීම් පාරක වෙන්න පුළුවන්. සංගීත සංදර්ශනයක වෙන්න පුළුවන්. ඕනෑම තැනක වෙන්න පුළුවන්. මම අහන්නේ එවැනි සියලු බේබද්දන් සඳහා ඔබේ පත්‍රයෙ ඉඩ වෙන් කරනවාද කියලයි.  


ප්‍රශ්නය -පිටිපන පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය තුළ බරපතළ විනය විරෝධී ක්‍රියා සිද්ධවෙලා. ඒක තැබෑරුමක් වෙලා. මේ සම්බන්ධයෙන් ඔබේ කියැවීම?  


මම නැවත ප්‍රශ්න කරන්නේ භික්ෂුන් වහන්සේලා හරි කවුරුහරි සම්බන්ධයෙන් ආගමික සදාචාරයට අදාළව විවේචනයක් තියෙනවා නම් ඒ ආගමික සංස්ථාව විසින් ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත යුතුයි. අපි දේශපාලන ව්‍යාපාරයක්. දැන් ඔබට තේරෙනවා හොඳට මේ රටේ රජය කියලා එකක් තියෙනවනේ. ඒ රජය අරක්කුවලට පර්මිට් දෙනවා අරක්කුවලට බදු ගහනවා. දුම්වැටි හදන කොම්පැනියට බදු ගහනවා. අරක්කු දුම්වැටි විකුණන්න තියෙනවා. එතකොට ඒකේ තේරුම මොකක්ද? ඒවා තහනම් දේවල් නොවෙයි. ඒවා මිනිසුන්ට පාවිච්චි කරන්න පුළුවන් දේවල්. ඒවායේ පැති තියෙනවා. ඒකට වෙනම කැම්පේන් තියෙනවා. ලෙඩ්ඩු බිහිවෙනවා. ඒක සෞඛ්‍ය ප්‍රශ්නයක්. රජය බාර් පර්මිට් දීලා බදු ගහලා ජනතාවට නිදහසේ ඒවා ගන්න ඉඩ දීලා තියෙනවා. දේශපාලනඥයන් රට ඇතුළට කුඩු ගේනවා. ඒකට දේශපාලනඥයන් කෙළින්ම සම්බන්ධයි. ඒ ඔක්කොම කරන කට්ටිය තමන්ට දේශපාලනිකව යමක් උළුප්පා ගන්න ඕනෑ විට කොහේ හරි තියෙන බෝතල් ටිකක් තව ​මොනවාහරි ටිකක් හොයා ගන්නවා. එහෙම කරලා ඉතිරි ඔක්කොම ටික ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ තරුණ භික්ෂූන් වහන්සේලානේ මේ අල්ල ගන්නේ. කවුරුත් ප්‍රශ්න කරන්න අකමැති ආගමික ආයතන තියෙනවා. ආගමික මර්මස්ථාන තියෙනවා. ඒවා ප්‍රශ්න කරන්නේ නැතිව තරුණ භික්ෂූන්ට මේ චෝදනා එල්ල කරන්නේ මේ අරගලය මර්දනය කිරීමේ කොටසක් හැටියටයි. ඒ තරුණ භික්ෂූන් වහන්සේලාගේ දේශපාලන අයිතිය වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. ඔවුන් අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහිව කටයුතු කරන තාක් කල් ඔවුන් ජාතික ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින තාක් කල් අපි පෙනී ඉන්නවා.

 

 

සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්