
2022 වර්ෂයේ දී රට මුහුණදුන් ආර්ථික අර්බුදයට හේත ගණනාවක් හඳුනාගන්නා ලදි. කාලයක් තිස්සේ අඛණ්ඩව පුළුල් වෙමින් ආ අභ්‍යන්තර පරතරය (අයවැය හිඟය) සහ බාහිර පරතරය (විදේශ විනිමය ලැබීම් සහ ගෙවීම් අතර පරතරය) අර්බුදයට බලපෑ ප්‍රධාන හේතූන් වේ. අයවැය හිඟය පියවීම ඉලක්ක කරමින් 2023 වසරේ සිට බදු ආදායම ඉහළනැංවීම සදහා විවිධ වෙනස්කම් හඳුන්වාදුන් අතර එහි ප්‍රතිපලයක් ලෙස 2022-24 කාලයට අදාළව බදු ආදායම දළ දේශීය නිමවුමේ ප්‍රතිශතයක් ලෙස අමතර 5-6 ප්‍රමාණයකින් ඉහළනංවා ගැනීමට සමත්ව ඇත.
2025 වර්ෂය වනවිට බදු ආදායම දළ දේශීය නිමවුමේ ප්‍රතිශතයක් ලෙස 14ක පමණ මට්ටමකට ළඟා වෙතැයි අපේක්ෂා කරනු ලබයි. ආර්ථික අර්බුදයෙන් පසුව ඉදිරිපත් කළ පළමු අයවැය කිහිපය තුළ මූලික වශයෙන්ම අවධානය යොමු වූයේ කෙටිකාලීන ආර්ථික ස්ථායීතාව ඇති කරලීම සදහා අවශ්‍ය වන්නා වූ වැඩසටහන් දියත් කිරීම වූ අතර ඉදිරි අයවැයෙන් ආර්ථික ස්ථායීතාව රැකගනිමින් ආර්ථික වර්ධනය සහ සංවර්ධනය ඇතිකරලීම සදහා අවශ්‍යවන්නා වූ ආර්ථික ප්‍රතිශසංස්කරණ සිදුවනු ඇතැයි අපේක්ෂා කරනු ලැබිණ. එවැනි ආර්ථික ප්‍රතිසංස්කරණයන්ගෙන් තොරව ඉහළ තිරසාර ආර්ථික වර්ධනයක් ඇතිකරලීම දුෂ්කර වනු ඇත. ඉහළ ආර්ථික වර්ධනයක් ඇතිකරලීම මගින් එක් පැත්තකින් ආර්ථිකය 2028 සිට පහසුවෙන් ණය ගෙවීමේ හැකියාව ඇතිකරගත හැකි අතර අනෙක් අතින් දැනට සීයට25 පමණ මට්ටමමේ පවත්නා දුගීබව තුරන්කරලීමේ හැකියාව පවතී. අපනයන ප්‍රවර්ධනය ශක්තිමත් කරමින් ඉහළ තිරසාර ආර්ථික වර්ධනයක් සහ සංවර්ධනයක් ඇතිකරලීම සදහා පෞද්ගලික ආයෝජන ප්‍රවර්ධනය කළයුතු අතර ඒ සඳහා යහපත් ව්‍යාපාරික පරිසරයක් ඇතිකිරීම අනිවාර්ය වේ. යහපත් ආයෝජන පරිසරයක් සදහා ආර්ථික ප්‍රතිසංස්කරණ, විශේෂයෙන්ම ශ්‍රම වෙළෙඳපළ, ඉඩම් වෙළෙඳපළ, රාජ්‍ය ව්‍යාසාය සහ රාජ්‍ය සේවාව, පොදු ප්‍රවාහනය, වෙළෙඳාම සහ ආයෝජන ලිහිල්කිරීම් සිදුකළ යුතු වේ. මෙකී අරමුණු ජය ගැනීම සඳහා 2026 වර්ෂය සදහා ඉදිරිපත්කළ අයවැය සමත්ව ඇත් ද යන්න පිළිබද විමසීම මෙම ලිපියෙන් අපේක්ෂා කෙරේ.
සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවාට සහායවීම
නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීම සඳහා මෙවර අයවැයෙන් යෝජනා ඉදිරිපත් ව ඇත. ඒ අතරින් සුළු හා මධ්‍ය පරිමාන කර්මාන්ත කරුවන් සඳහා මූල්‍ය පහසුකම් සැපයීම පිළිබදව විශේෂ අවධානයක් යොමු කොට තිබීමම සුවිශේෂ වේ. විශේෂයෙන්ම ඇප රහිතව ණය පහසුකම් සැපයීම තවදුරටත් පුළුල් කරමින් කර්මාන්ත අංශයේ පමණක් නොව කෘෂි අංශයෙහි කටයුතු කරන සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සදහා ණය පහසුකම් සැපයීම මෙහිදි ඉලක්ක කර ඇති අතර ඒ තුළින් නිෂ්පාදන ආර්ථීකය පුළුල් කිරිම අපේක්ෂා කරන බවක් දක්නට ඇත. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංර්වධනය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනවල සම්බන්ධීකරණය කාර්යක්ෂම කිරීම සඳහා කාමික සංර්වධන මණ්ඩලය, ජාතික ව්‍යවසායය සංවර්ධන අධිකාරිය, සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසාය සංර්වධන අංශයේ කාර්යයන් ඒකාබද්ධ කර කාමික සංවර්ධන මණ්ඩලය යටතට පත් කිරීමට යෝජනාකොට පවතී. මීට පෙරද, ඉහත ආයතන ඒකාබද්ධ කරමින් එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා නමින් නව ආයතන ව්‍යුහයක් ඇති කිරීමට යෝජනා වුවද ආණ්ඩු මාරුවත් සමඟ එම වැඩ සටහන අඩාළ විය. සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර නඟාසිටුවීම සඳහා විවිධ රාජ්‍ය ආයතන පැවතිය ද එම ආයතන මගින් නිසි සේවා ලබාදීමක් සිදුනොවන බව නොරහසකි. එබැවින් නව ආයතන ව්‍යුහය මගින් වඩාත් ඉහළ ගුණාත්මක බවකින් යුතු සේවාවක් ලබා දෙතැයි අපෙක්ෂා කළහැකි වේ.
ඩිජිටල් ආර්ථිකය ප්‍රවර්ධනය
පසුගිය වර්ෂය සදහා ඉදිරිපත් කරනු ලැබූ අයවැය අනුව යමින් මෙවරද ඩිජිටල් ආර්ථිකය ප්‍රවර්ධනය සදහා ප්‍රමුඛත්වයක් ලබාදීම සුවිශේෂ අංගයක් ලෙස හඳුනාගත හැකි වේ. ඩිජිටල් ආර්ථික සංවර්ධනය යනු සැමට ප්‍රතිලාභ සැලසෙන ආර්ථික වර්වධනයට සහ ගෝලීය තරඟකාරිත්වයට තීරණාත්මක සාධකයක් වේ. අයවැය කථාව කරමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ සංර්වධන මාවතේ ශ්‍රී ලංකාවට බොහෝ අවස්ථා මග හැරී ඇති නමුත් මෙම ඩිජිටල්කරණ අවස්ථාව අතපසු නොකළ යුතු බවයි. මේ සඳහා 2026 වසරේ රුපියල් මිලියන 25,500 කට අධික රජයේ ආයෝජනයත් වෙන්කෙට ඇති අතර එමගින්, ශ්‍රී ලංකාවට ඩිජිටල් පරිර්වතනයේ සැලකිය යුතු කොටසක් අත්පත් කර ගැනීමේ හැකියාව පවතින බව ප්‍රකාශ කරන ලදි. යටිතල පහසුකම් අවශ්‍යතා සැපයීම, ආයෝජන ක්‍රියාවලීන් විධිමත් කිරීම සහ නවෝත්පාදන හිතකාමී පරිසරය පෝෂණය කිරීම යන යෝජනා තිරසාර ඩිජිටල් දියුණුව සඳහා ක්‍රියාකාරී මාර්ග සිතියමෙහි පවත්නා බව අවධාරණය කරන ලදි.
ඉඩම් වඩාත් පලදායී ලෙස භාවිතය උනන්දු කිරීම
ආයෝජන සඳහා ඉඩම් නිදහස් කිරීමේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා මෙවර අයවැයෙන් අවධානයට ලක්ව පැවතීම යහපත් තත්වයක් ලෙස සැලකිය හැකි වේ. මේ සඳහා ඉඩම් විෂයට අයත් ආයෝජන මණ්ඩලය වැනි ආයතනවල පහසුකම් වැඩි දියුණු කිරීම සහ එම ආයතන ඒකාබද්ධ කරමින් ඉඩම් තොරතුරු ඇතුළත් මධ්‍යම ඩිජිටල් තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීමට යෝජිතය. ආර්ථික කටයුතුවලට අවශ්‍ය ඉඩම් ලබාගැනීම රට තුළ ඉතා දුෂ්කර කටයුත්තක්ව පවතින නිසාම දේශිය මෙන්ම විදේශීය ආයෝජකයෝ ද ආයෝජන සඳහා මැළිකමක් දක්වති. එබැවින් ඉඩම් ආශ්‍රතාව ඇති ගැටලු නිරාකරණය කිරීම සඳහා පියවර ගැනීම යහපත් ආයෝජන පරිසරයක් ඇතිකිරීම සඳහා සුදුසු පියවරක් ලෙස සැලකිය හැකි වේ. එමෙන්ම මෙවර අයවැයෙන් අවධානය යොමුව පැවති තවත් අංශයක් වන්නේ ඌණ උපයෝගි මට්ටමේ පවත්නා ඉඩම්/ගොඩනැගිලි වැනි දෑ ආර්ථික කටයුතුවලට යොදා ගැනීම සඳහා අවධානය යොමු කිරීම වේ. මෙය වඩාත් යහපත් තත්වයක් ලෙස සැලකිය හැකි වේ.
දේශීය සහ විදේශීය පෞද්ගලික ආයෝජන දිරිමත් කිරීමේ වැදගත්කම හඳුනාගෙන ඇත. ඒ සඳහා ආයෝජන සහ අපනයන ප්‍රවර්ධනය සඳහා ඇති ආයතන වඩාත් කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ. ආයෝජන ප්‍රවර්ධනය සඳහා තනි කවුළු ඇති කිරීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ විය.
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා අවධානය
සංචාරක කර්මාන්තය සංවර්ධනය සඳහා යම් අවධානයක් යොමු කිරිම මෙවර අයවැයෙහි ද දක්නට ලැබේ. විශේෂයෙන්ම එහි සංවර්ධනය ඉලක්ක කරමින් ආයතනික ව්‍යුහය ප්‍රතිව්‍යුහගත කිරිම මෙන්ම සංචාරක කර්මාන්තයට අදාළ යටිතල පහසුකම් දියුණු කිරීම හා ඇතැම් සංචාරක ප්‍රදේශ සංවර්ධනය කිරිම සඳහා ද අවධානය යොමුව ඇත. සංචාරක කර්මාන්තයෙහි ගුනාත්මක බව ඇති කිරිම සඳහා වඩාත් ඉහළ ගුණාත්මක සේවාවක් ලබාදීමට අදාළව කේෂ්ත්‍රයේ මානව සම්පත වැඩිදියුණු කිරීම පිළිබඳ අවධානය යොමුව පවතී.
යහපත් ආයෝජන පරිසරයක් ඇති කිරීම
පසුගිය වර්ෂයේ අයවැය මෙන් මෙවර අයවැයෙහි ද යහපත් ආයෝජන පරිසරයක් සකස් කිරිම සඳහා වූ යෝජනා ඇතුළත්ව පවතී. විශේෂයෙන්ම දේශීය සහ විදේශීය පෞද්ගලික ආයෝජන දිරිමත් කිරීමේ වැදගත්කම හඳුනාගෙන ඇත. ඒ සඳහා ආයෝජන සහ අපනයන ප්‍රවර්ධනය සඳහා ඇති ආයතන වඩාත් කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ. ආයෝජන ප්‍රවර්ධනය සඳහා තනි කවුළු ඇති කිරීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ විය. එමෙන්ම, දේශීය සහ විදේශීය ආයෝජන සඳහා වඩාත් ශක්තිමත් නීතිරීති මත පදනම් වූ දිරිගැන්වීමේ පාලන තන්ත්‍රයක් ඇති කිරීම සඳහා, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතට සහ කොළඹ වරාය නගර කොමිෂන් සභා පනතට සංශෝධන ඉදිරිපත් කිරීමට යෝජනා විය.
රාජ්‍ය සේවාව නව්‍යකරණය පිළිබඳව අවධානය යොමු කිරීම
අයවැය මගින් ශක්තිමත් රාජ්‍ය සේවාවක් ඇති කිරීමේ ඇති වැදගත්කම අවධාරණය කර ඇති අතර වර්තමානය වනවිට මහජන සේවා සම්පාදනය වෙනුවෙන් රාජ්‍ය සේවය සඳහා සාපේක්ෂව ඉහළ වැය බරක් දරන බව පෙන්වා දී ඇත. රජය විසින් ලබා දිය යුතු අත්‍යවශ්‍ය සේවා නිසි ඇගයීමකට ලක් කරමින් කාර්යභාරය අවසන් වූ රාජ්‍ය ආයතන වසා දැමීමටත්, එකම කාර්යය කරන විවිධ රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීමටත්, යල් පැනගිය අරමුණු නව අරමුණුවලට අනුව ප්‍රතිසංවිධානය කිරීමටත් කටයුතු කිරිමට අපේක්ෂා කරන බව ප්‍රකාශ විය. එමෙන්ම රාජ්‍ය ව්‍යවසායන්වලට අදාළව ද මෙවැනිම පියවරක් ගනු ලබන බව ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරනු ලැබිණ. අයවැයට ප්‍රථමවද ජනාධිපතිවරයා මෙම අදහස ප්‍රකාශ කර ඇති අතර මේ නිසා දැන් අවශ්‍යව ඇත්තේ ඉහත සඳහන් කළ අයුරින් ක්‍රියාත්මක වීම ය. විශේෂයෙන්ම රාජ්‍ය සේවාවෙහි සේවය සාපේක්ෂව විශාල වන අතර එහි පලදායීතාව පහළ මට්ටමක පවතී. එබැවින් එම අංශය කුඩා කළ යුතු බව කාලයක් තිස්සේ ප්‍රකාශ කරනු ලැබුවත් ප්‍රයෝගිකව එය සිදුවන්නක් නැත. මෙම තත්වය රාජ්‍ය ව්‍යාසායන්ට ද අදාළ වන අතර අයවැයෙන් යෝජිත වෙනස්කම් කිරිම ඉක්මනින් කළයුතුව ඇත.
සීයට 7ක ආර්ථික වර්ධනයක් ඉලක්කගත කිරීම
මෙවර අයවැය මගින් සීයට7 ආර්ථීත වර්ධනයක් මැදිකාලීනව ළඟාකර ගැනීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ විය. එහෙත් අයවැයෙහි ඇති යෝජනා පිළිබදව අවධානය යොමු කිරීමේ දි පෙනී යන්නේ එවැනි ඉහළ ආර්ථික වෘද්ධියක් ළඟාකර ගැනීමට ප්‍රමාණවත් වැඩසටහන්/යෝජනා තවදුරටත් අයවැයට ඇතුළත්විය යුතු බවය. විශේෂයෙන්ම විදේශ ආයෝජන ප්‍රවර්ධනය සඳහා කර ඇති යෝජනා බොහොමයක් සාම්ප්‍රදායිකව සිදුකරනු ලබන ඒවා වන අතර එවැනි යෝජනා මගින් විදේශ ආයෝජන ප්‍රවර්ධනය සිදුකිරීම කළ නොහැක්කක් බව බොහෝ දෙනාගේ මතයයි. මේ නිසාම පසුගිය රජය මගින් ආර්ථික පරිවර්තන පනත හඳුන්වාදීම මගින් ආයෝජන පරිසරයට අදාළ ආයාතනික ව්‍යුහය වඩාත් අයෝජන හිතකාරී කිරීමට යෝජනා කරනු ලැබිණ. එමෙන්ම පසුගිය අයවැය මෙන් මෙවර අයවැය මගින් ද අපනයන ප්‍රවර්ධනය ඉලක්ක කරමින් නව වෙළෙඳ ගිවිසුම්වලට එළඹීම සහ පවත්නා ගිවිසුම් පුළුල් කිරීම පිළිබඳව අවධානය යොමුකොට පැවතුණත් ඒවා ක්‍රියාත්මක කිරීම පිළිබඳ නිසි අවධානය යොමුකොට ඇති බවක් පෙනෙන්නට නැත. එබැවින් අයවැයෙහි ඇති ආර්ථික වර්ධන ඉලක්ක ජය ගැනීමට නම් එහි යෝජිත වැඩසටහන් වලින් ඔබ්බට ගමන්කරමින් කටයුතු කළ යුතු වේ.
සමාලෝචනය
සමස්තයක් ලෙස ගත්කල මෙවර අයවැයෙහි යම් යම් සාධනීය තත්වයන් මෙන්ම තවදුරටත් සකස්විය යුතු තත්වයන් ද පවතී. විශේෂයෙන්ම අයවැය මගින් අපෙක්ෂා කරනු ලබන සීයට7 ආර්ථික වර්ධනය අත්පත් කරගැනීම සඳහා අයවැය මගින් යෝජනා කොට ඇති වැඩසටහන්/ප්‍රතිපත්ති වෙනස්කම් කඩිනමින් සිදුකළ යුතුව ඇත. ඉහළ ආර්ථික වර්ධනයක් ඇති කිරීමට අවශ්‍ය වන ආයෝජන ලබාගත යුතු වන්නේ දේශීය සහ විදේශීය ආයෝජකයන් මගිනි. ඒ සඳහා රජයට ආයෝජන දැරීමේ හැකියාවක් නොමැත. රජයේ ආයෝජන යනු දළ දේශිය නිෂ්පාදනයේ සීයට4ක පමණ ප්‍රමාණයක් වන අතර සීයට7ක ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට නම් දළ දේශීය ආයෝජනය අවම වශයෙන් සීයට32-35ක පමණ මට්ටමක් අවශ්‍ය වේ. එවැනි මට්ටමක් අඛණ්ඩව පවත්වා ගැනීමට නම් විදේශ ආයෝජන ලැබීම්, දළ දේශීය නිමවුමේ ප්‍රතිශතයක් ලෙස, සීයට5ක මට්ටක්වත් පැවතිය යුතු වේ. පසුගිය අයවැයෙහි දක්නට ලැබුණු ප්‍රධාන අඩුපාඩුවක් වූයේ අයවැය මගින් ඉදිරිපත් කළ බොහොමයක් යෝජනා ක්‍රියාත්මක නොකිරීමයි. උදාහරණයක් ලෙස ආර්ථික පරිවර්තන පනත සංශෝධන සහිතව ක්‍රියාත්මක කරනු ලබන බව ප්‍රකාශ කළද එය ක්‍රියාත්මක වූ බවක් දක්නට නැත. එමෙන්ම අපනයන සංවර්ධන සැලැස්මක් පිළිබඳව 2025 වර්ෂයේ අයවැයෙන් ප්‍රකාශ වුවද එවැන්නක් සකස් කළ බවක් අසන්නට නොලැබිණ. මෙවර අයවැයෙන් ද නැවත වරක් එම යෝජනා ඉදිරිපත් ව ඇති බවක් අසන්නට ලැබේ. එැබැවින් අයවැයක විශ්වසනීයත්වය රුඳී ඇත්තේ එහි යෝජනා කොතෙක් දුරට නිසි පරිදි ක්‍රියාත්මක වේ ද යන්න මතයි. මෙවර අයවැය නිසි පරිදි ක්‍රියාත්මක කරතැයි අපේක්ෂා කරමු.

