අපේ සහාය ගන්න ආණ්ඩුවට කිසිම වුවමනාවක් නෑ


සමගි ජන බලවේගයෙ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ  

ජනතාව ජීවත් කරවන්න බැරිනම් ගෙදර යන්න

රටේ අලුත් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා සමඟ කළ සාකච්ඡාවකි.   
 
ප්‍රශ්නය- ජනතාව අන්ත දුකට පත්වෙලා ඉන්නේ. විපක්ෂය ඒකෙන් කාලකණ්ණි සතුටක් ලබනවා?   
 
පිළිතුර- විපක්ෂය විදිහට කිසිම කාලකණ්නි සතුටක් ලබන්නෙ නෑ. හැබැයි අපි මුල ඉඳන්ම ආණ්ඩුවට කිව්වා. කොවිඩ් ප්‍රශ්නය ආපු වෙලාවෙත් මේ ආර්ථික ප්‍රශ්නය ආපු වෙලාවෙත් විපක්ෂය හැටියට අපේ සහයෝගය දෙන්නම් කියලා. අපි ජනාධිපතිට කිව්වා. රජයට කිව්වා. හැබැයි ආණ්ඩුවට කිසිම වුවමනාවක් නෑ. අපේ සහාය ගන්න.   
 
ප්‍රශ්නය- ආණ්ඩුවට ඔබලා විශ්වාස කරන්න බැරිව ඇති?   
 
පිළිතුර- මේ වෙලාවේ රට ගැන හිතන්න ඕනෑ. රට තිබුණොත් තමයි අපිටත් දේශපාලනය කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපට කිසිම කාලකණ්ණි සතුටක් නෑ. රටේ ජනතාව තමයි දුක් විඳින්නේ. මේ ආණ්ඩුවට මේක කරන්න බැරිකමයි තියෙන්නේ. පැය 24ක් විදුලිය දෙන්න බැරිනම් ආණ්ඩුවක් මොකටද කියලා තමයි බලයට පත්වුණේ. පොහොර නොමිලේ දෙනව කියලා තමයි බලයට ආවේ. ජාතික ආරක්ෂාව සලසනවා කියලා තමයි ආවේ. ජාතික ආරක්ෂාව කෙසේ වෙතත් දැන් තුවක්කු අරන් ගිහින් හැමතැනම මිනිස්සු මරන තත්ත්වයක් තියෙන්නේ. මේ රට දැන් අරාජික වෙලා තියෙන්නේ.   
 
ප්‍රශ්නය- මම ඒකයි කිව්වේ මේ දිහා බලලා ඔබලා අර සතුට ලබනවා?   
 
පිළිතුර- අපට කිසිම කාලකණ්ණි සතුටක් නෑ. අපට අවශ්‍ය රටේ ජනතාව ජීවත් කරවන්න. ඒ නිසා ජනතාව ජීවත් කරවන්න බැරිනම් ආණ්ඩුවට කරන්න තියෙන්නේ ගෙදර යන එක. ප්‍රධාන විපක්ෂය හැටියට අපට මේක කරන්න පුළුවන්.   
 
ප්‍රශ්නය- ඔළුගෙඩි මාරුවකින් මේ ප්‍රශ්නවලට උත්තර හොයන්න පුළුවන් කියලා හිතනවද?   
 
පිළිතුර- ඉතින් මේ ගොල්ලන්ට බැරිනම් ඒක ඔප්පු වෙලා තියෙද්දිත් වෙන විකල්පයක් නෑනේ. අපි විපක්ෂයනේ. අපි අවුරුදු පහකට පත්වුණ විපක්ෂයක්. ආණ්ඩුවට කරගෙන යන්න බැරිනම් ජනතාවට අවශ්‍ය පහසුකම් දෙන්න බැරිනම් විපක්ෂය හැටියට අපට බලය ඉල්ලන්න අයිතියක් තියෙනවා.   
 
ප්‍රශ්නය- ඔබලාට ඉන්නේ මන්ත්‍රීවරු 52යි. ඉතින් කොහොමද ආණ්ඩු පිහිටුවන්නේ?   
 
පිළිතුර- දැන් තියෙන ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණයක් එන්නේ 2024දී. මහ මැතිවරණයක් තියන්න පුළුවන්වන්නේ මේ පාර්ලිමේන්තුවට අවුරුදු දෙක හමාර සම්පූර්ණ වුණාට පස්සේ. ඒ කියන්නේ 2023 පෙබරවාරි මාසේ 25 වැනිදායින් පස්සේ මැතිවරණයකට යන්න පුළුවන්. එහෙම නැත්නම් පාර්ලිමේන්තුව තුළ ‘ආණ්ඩුව කරන්න බෑ’ කියලා ඉවත් වෙන්න පුළුවන්. එතකොට ඡන්දයකට හරි යන්න පුළුවන්. එහෙම නැත්නම් විපක්ෂයට 113 පෙන්නලා ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන්. අපි කියන්නේ ජනතාව ජීවත් කරවන්න. ඒක බැරිනම් ගෙදර යන්න.   
 
ප්‍රශ්නය- මේ ආර්ථික අර්බුදය යහපාලන ආණ්ඩුවේ වැරැදි ආර්ථික කළමනාකරණය නිසා කියලයි ආණ්ඩුව කියන්නේ?   
 
පිළිතුර- 2019 දී අපි ආණ්ඩුව දෙද්දි අපේ රටේ විදේශ සංචිත තිබුණ ඩොලර් බිලියන 10.3ක්. මහ බැංකුවේ තිබුණ ඩොලර් මිලියන 8.3ක්. පෞද්ගලික බැංකුවල ඩොලර් බිලියන 2.8ක් තිබුණා. සමස්ත ඩොලර් වත්කම ඩොලර් බිලියන දහයකට වැඩිය තිබුණා. ලංකා ඉතිහාසයෙ නිදහසෙන් පස්සෙ විදේශ වත්කම් ඩොලර් බිලියන 10 කට වැඩියෙන් තිබුණේ 2018 දී හා 2019 දි පමණයි. ඊට ඉස්සර තිබිලම නෑ. ඒ වත්කම් ප්‍රමාණය දැන් ඩොලර් මිලියන පන්සීයකටත් වඩා අඩුවෙලා තියෙනවා. ඩොලර් මිලියන 1500ක් ඕනැ මාසෙකට විදේශයෙන් ගේන බඩු ගේන්න, ඉන්ධන, බෙහෙත් ආහාර ද්‍රව්‍ය ගේන්න ඒ ගාන යනවා. ඩොලර් මිලියන දහ දාහක් එක්ක දුන්න ආණ්ඩුව ඩොලර් මිලියන 500කට අඩු කරගෙන මාසයක්වත් බඩු ගේන්න සල්ලි නැති තත්ත්වයට රට පත් කළේ මේ ආණ්ඩුව. ඒ නිසා මේ ආණ්ඩුවට වගකීමක් තියෙනවා රට කරන්න බැරිනම් කරන්න පුළුවන් කෙනෙකුට දෙන්න. අපේ ආර්ථික විශේෂඥයෝ ඉන්නවා. හොඳ විදේශ ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ නිසා අපට පුළුවන් මේක කරන්න. අපි මේකෙන් කාලකණ්ණි සතුටක් ලබන්නෙත් නෑ. අපි බොරදියේ මාළු බාන්නෙත් නෑ. රටේ ජනතාව ජීවත් කරවන්න. අපි දැක්කා දරුවො තුන් දෙනාට කන්න බොන්න දෙන්න විදියක් නැතිව පියෙක් දිවි නහ ගන්නවා. අපි දුන්නෙ තුන්වේල කන්න පුළුවන් රටක්. අපි දෙනකොට රටේ බඩුමිල කොහොමද අද කොහොමද?   
 
ප්‍රශ්නය- හොඳටම කළේ යහපාලන ආණ්ඩුව නම් අවුරුදු පහකින් ඔබලාව ගෙදර යැව්වේ ඇයි?   
 
පිළිතුර- දැන් සාමාන්‍යයෙන් රටේ ආණ්ඩු වෙනස් වෙන්නේ විපක්ෂයේ හොඳකමට වඩා ආණ්ඩුව කෙළින පිස්සු නිසා. 2010-2015 ආණ්ඩුව රාජපක්ෂලා හොරකම් කරලා කරලා ජනතාවට එපා වුණේ. ඒ නිසා යහපාලනය බලයට පත්වුණා. 2015 දී ආපු ආණ්ඩුව මහ බැංකු ප්‍රශ්නයයි, පාස්කු ප්‍රහාරයයි නිසා ‘ජාතික ආරක්ෂාවක් නෑ’ කිය කියා පපුවට ගහගෙන මහ බැංකුව මහ දවාලේ කොල්ල කෑවා කිව්වා. දැන් ඒ වගේ පස්හය ගුණයක් හොරකම් කරනවා ඒ ගොල්ලෝ. ඒ වැරැදි නිසා 2019දි මේ ආණ්ඩුව ආවා. මේ ආණ්ඩුව ඇවිත් මොනවද කරන්නේ? ආපු ගමන් සීනි වංචාව කළා බිලියන 15ක්. හැබැයි මහ බැංකු වංචාව කිව්වේ බිලියන 11යි.   
 
ප්‍රශ්නය- වංචාවේ ලොකු පොඩිකම් නෑනේ?   
 
පිළිතුර- නෑ නෑ මම කිව්වේ බැඳුම්කර ප්‍රශ්නය වංචාවක් නොවෙයි කියලා නොවෙයි. ඒත් වැරැද්දක්. නමුත් මේ ආණ්ඩුව ඇවිල්ලා සුදු ලූනු වංචාව, සීනි වංචාව, පීසීආර් වංචාව, හැම තැනම වංචා කරලා හොරකම් කිරීමේ සීමාවක් නෑ. දැන් මේ මොකද කරන්නේ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම කියනවා පසුගිය ආණ්ඩුව වැරැදි කළා කියලා මේ ආණ්ඩුව වැරැදි කරන්න අවශ්‍ය නෑනේ. සෞභාග්‍ය දැක්ම කියලා කියාගෙනනේ ආවේ. දැන් ඒක ‘අභාග්‍යයේ දැක්ම’ වෙලා තියෙන්නේ. ආපු ගමන්ම දේශපාලන හේතුමත රාජ්‍ය ආදායම අඩුකරගත්තා බිලියන 600කින්. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ලෝක ණය දෙන ශ්‍රේණිගත කිරීම්වලින් අපිව පහළට දැම්මා.   
 
ප්‍රශ්නය-  යහපාලන ආණ්ඩුව ගහපු අධික බදු ඉවත් කළා කියලයි ආණ්ඩුව කිව්වේ?   
 
පිළිතුර- රාජ්‍ය ආදායම අහිමි කරගත්තේ කවුද? රාජ්‍ය ආදායම අපි දෙද්දි තිබුණේ ලංකා ඉතිහාසයේ වැඩිම ආදායම බිලියන 1580 ක් තිබුණ 2018 දි. නිදහසෙන් පස්සෙ ලංකාවෙ රාජ්‍ය ආදායම වැඩිම තිබුණේ ඒ අවුරුද්දේ. හැබැයි දැන් ඒක 2020දි බිලියන 130කට අඩුවුණා. 2021දි බිලියන 1560යි. හැබැයි වියදම බිලියන 5500යි. එතකොට ප්‍රාථමික ශේෂය මේ රටේ අතිරික්තයක් තිබුණෙ 1953-1954 දි සර් ජෝන් කොතලාවල මැතිතුමාගේ කාලයේ. එතැනින් පස්සේ ප්‍රාථමික ශේෂය අතිරික්තයක් තිබුණේ 2017-2018 දි. රාජ්‍ය ආදායම ඇති වියදම් පියවන්න. හැබැයි දැන් රාජ්‍ය ආදායම මදි පොලිය ගෙවන්න. එහෙම තත්ත්වයක් තියෙන්නේ. ණය පොලිය ගෙවන්නත් යනවා කෝටි 2500ක්. රාජ්‍ය ආදායම කෝටි 1500යි. එතකොට වැටුප් ගෙවන්න රාජ්‍ය ආදායමෙන් සියයට 65ක් යනවා. මේ තත්ත්වය තුළ රටේ සමස්ත ණය බර කෝටි දහ අට ලක්ෂයයි. හැබැයි රටේ වත්කම කෝටි දහසය ලක්ෂයයි. මේ රට කාට හරි විකුණලා දැම්මත් මේ රටේ ණය ගෙවන්න බෑ. මේ ගොල්ල 2010-2018දි රාජ්‍ය ආයතනවලින් ණය ගන්නවනේ. විදුලිබල මණ්ඩලය, ගුවන් සේවය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වගේ ආයතනවලට ණයගන්න පුළුවන්කම තිබුණේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 10යි. එතකොට 2010 කාලේ විගණකාධිපතිවරයා කිව්වා ඒ රාජ්‍ය ආයතනවල ණය ප්‍රමාණය ණය කළඹට එකතු කරන්න ඕනැ කියලා. මේ ගොල්ලෝ ඒ කියන දේ අහන්නේ නැතුව ඒ ණය ණය කළඹෙන් අයින් කෙරුවා. එතකොට ඒ ගොල්ලෝ කරලා පෙන්නුවා දළ දේශීය නිෂ්පාදිතයෙන් රාජ්‍ය ආදායම සියයට සීයක්ම අඩුයි කියලා. හැබැයි 2015-2019 යහපාලන ආණ්ඩුව රාජ්‍ය ආදායම ණය කළඹට එකතු කෙරුවා. මේ ආණ්ඩුව ඇවිත් මොකද කළේ. ඒ ආයතනවලට ණය ගන්න පුළුවන් ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 10 ප්‍රමාණය සියයට 15ක් දක්වා වැඩි කරලා ණය කළඹෙන් අයින් කරන්න තීන්දු කළා. එහෙම කළේ රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට සීයට වඩා අඩුයි කියලා පෙන්වන්න. එහෙම ඇස් බැන්දුම් තමයි.   
 
ප්‍රශ්නය- හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර ජිනිවා ගියා. ඒක පෞද්ගලික අදහසක්ද? සමගි ජන බලවේගයේ අදහසක්ද?   
 
පිළිතුර- සමගි ජන බලවේගයෙ අදහසකට අනුව තමයි ගියේ. නායකතුමත් එක්ක සාකච්ඡා කළානේ යන්න ඉස්සෙල්ලා.   
 
ප්‍රශ්නය- ජිනීවා ගියේ ඇයි?   
 
පිළිතුර- රන්ජන් රාමනායක ගැන කතා කරන්න තමයි ගියේ. රන්ජන් රාමනායක හිරේ ඉන්නේ උසාවියට අපහාස කිරීම සම්බන්ධයෙන්නේ. වෙන රටවල්වල උසාවියට අපහාස කළා කියලා මෙච්චර ලොකු දඬුවමක් දීලා නෑ. ඉන්දියාවෙන් අපට උදාහරණ ගන්න පුළුවන්නේ. මේක තනිකරම දේශපාලන පළිගැනීමක්. උසාවි තීන්දුවක් බව ඇත්ත. මිනීමරපු අයත් ජනාධිපති සමාව දීලා එළියට දාලා තියෙනවා. විපක්ෂ නායකතුමා කලාකරුවො රන්ජන්ට ජනාධිපති සමාව දෙන්න කියලා ඉල්ලලා තියෙනවා. ඒවා තකන්නේ නැතිව ඉන්නවා. ඒ ගැන කතා කරන්න තමයි අපේ මන්ත්‍රීවරුන් දෙන්නා ගියේ.   
 
ප්‍රශ්නය- රන්ජන්ට තීන්දුව දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයයි. මන්ත්‍රීවරු දෙන්නා ජිනීවා ගියේ ශ්‍රේෂ්ඨාධිකරණයට එරෙහිවද?   
 
පිළිතුර- නෑ, රජයට විරුද්ධවයි ගියේ.   

 

 

සාකච්ඡා කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්