අපි විරුද්ධ යුගදනවි හොර ගිවිසුමටයි


ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති   

  • නිව් ෆෝට්‍රස් සමාගම එක්ක ගනුදෙනුවේ සැක සහිත තැන් ගණනාවක් තියෙනවා   

 

යුගදනවි ගනුදෙනුවේ ඇත්ත නැත්ත පිළිබඳව මේ අදහස් දැක්වීම ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිගෙනි.   


ප්‍රශ්නය: යුගදනවි ගනුදෙනුවේ පෙනෙන සහ නොපෙනෙන පැති ගැන ඔබ අවදියෙන් ඉන්න කෙනෙක්. කියන්නකො ඒ ගැන.   


අපේ රටට එල්.එන්.ජී. අවශ්‍යයි. ඒක අපි විශේෂයෙන් මතක් කරන්න ඕනැ. නූතන තාක්ෂණය අපි කිසිවෙලාවක ප්‍රතික්ෂේප කරන්නේ නෑ. අපිට දැන් ජල විදුලිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඩීසල් ප්‍රශ්නයක් තියෙනවා. ඉන්ධනවලින් විදුලිය උත්පාදනය කිරීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ගල් අඟුරුවල ප්‍රශ්නයක් තියෙනවා. ඒවා අපි පිළිගන්න ඕනැ. ලෝකෙ තාක්ෂණය අනුව එල්.එන්.ජී. කියන එක අනිවාර්ය දෙයක්. කෙරවලපිටිය, කැලණිතිස්ස හදල තියෙන්නේම මාරු කරන්න තමයි. හැබැයි මෙතන ප්‍රශ්නය එල්.එන්.ජී. ගැන නෙවෙයි. මෙතන ප්‍රශ්නය වංචාකාරී ලෙස ගහපු හොර ගිවිසුම ගැන. මේක ඉතාම හොඳ, රටේ ඉදිරිය ගැන හිතල කරන වැඩක් නම් ඇයි ප්‍රසිද්ධියේ පාර්ලිමේන්තුවට ද‌ාල සම්මත කරල කිරිබත් එහෙම කාලා රටටත් කියල කරන්න බැරි. ඇයි මේ වංගු ගහන්නේ. ඇයි කැබිනට් එකටත් හොරෙන් මේක කරන්න දඟලන්නේ. කවුරුවත් දන්නේ නැතුව මේ කීප දෙනෙක් හොර රහසේ කරන්න හදන්නේ එයාල කියන විදියට කිරිබත් කාලා, සතුටු වෙන්න ඕන වැඩක්නෙ. ඒකයි අපි අහන්නේ අපිට පෙනෙන හැටියට මේක තමයි ආණ්ඩුව ඊළඟ ලොකුම බිස්නස් එක. ආණ්ඩුවේ කිව්වට ආණ්ඩුවට සම්බන්ධ කීප දෙනෙකුගෙ. ඒකනෙ කැබිනට් එක පවා මේ ගැන මේ ලෝකෙ දෙයක් දන්නේ නැත්තේ. ආණ්ඩුවෙ ඉන්න රට විකුණන කීප දෙනෙකුගෙ බිස්නස් එකක් මේ. කැබිනට් මණ්ඩලෙත් නොමඟ යවලා පාර්ලිමේන්තුවත් නොමග යවල රටේ ජනතාවත් නොමග යවල අමු අමුවේ කරපු මහා වංචාවක්.   


 විදුලිබල මණ්ඩලේ සභාපති තමයි මේ ගිවිසුමේ දෙපැත්තටම සාක්කිකාරය වෙලා ඉන්නේ. ඔය ෆර්ඩිනැන්ඩ්ස් කියන්නෙ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ හිටපු අමාත්‍යාංශ ලේකම්. දැන් එයා කොහොමද විදුලිබල මණ්ඩලේ සභාපති වෙන්න තනතුරෙන් පහළට ආවේ. එයා විශ්‍රාම ගියාම විදුලිබල මණ්ඩලේ සභාපති කරනවා. දැන් තමයි කියන්නේ එයා මුදල් අමාත්‍යාංශයේත් උපදේශකයෙක් කියලා. එයා මේකට සාක්කිකාරයෙක් වෙන්නෙ මුදල් අමාත්‍යාංශ උපදේශකයෙක් විදියට. කවුද එයාට මේ තනතුර දුන්නේ. මෙතන තියෙනව බරපතළ සැක සහිත තත්ත්වයක්. මෙයා එක රූපවාහිනී සාකච්ඡාවකට ඇවිත් ගිවිසුම ගැන අපි දිගින් දිගටම කියද්දී බේත් බීපු ගොළුවා වගේ හිටියා කට පියාගෙන. ඒ වෙලාවෙ නිකමටවත් කිව්වේ නෑ මම තමයි ගිවිසුමට අත්සන් කළේ කියලා. අනිත් එක කසාදෙකවත් ඉඩ දෙනවද එකම කෙනෙකුට දෙපැත්තටම සාක්කිකාරයෙක් විදියට අත්සන් කරන්න. මේකෙ එහෙමනේ කරල තියෙන්නේ. පුදුම ගිවිසුමක්නෙ මේක.   


ප්‍රශ්නය: හැබැයි නීතිපතිත් මේක අනුමත කළා කියනවා නේද?   


අපිටත් තියෙන ප්‍රශ්නය ඒකයි. ඇස් දෙක පියාගෙන ද දන්නේ නෑ නීතිපති මේක අත්සන් කළේ? කවුද මේ රවට්ටන්න හදන්නේ. ඇයි මේ විදියට රටේ ජනතාව රවට්ටන්නේ. මේක මැදමුලනෙ රාජපක්ෂලගෙ ඉඩමක ප්‍රශ්නයක් නෙවෙයි. මේක රටේ සම්පත් පිළිබඳ ප්‍රශ්නයක්. රටේ නීතිපතිට පුළුවන් ද මෙහෙම ගිවිසුමක් සහතික කරන්න. දෙපැත්තටම එකම සාක්කිකාරයා අත්සන් කරපු ගිවිසුමක් කොහොමද නීතිපති අනුමත කරන්නේ. ඒක තමයි අපි කියන්නේ මේකෙ මුල ඉඳලම තියෙන්නෙ වංචාව. අනික කෙරවලපිටිය යුගදනවි බලාගාරයට එල්.එන්.ජී. සඳහා විදුලිබල මණ්ඩලය වෙනම ටෙන්ඩර් කැඳවල තියෙද්දි මේ කොම්පැණිය ඒකට ආවේ නෑ. ඒක සැප්තැම්බර් මාසෙ කැබිනට් පේපර් එකේ තියෙනවා. දැන් මේ ටෙන්ඩර් එකට ඉදිරිපත් වෙච්ච අනිත් අයට මොකද වෙන්නේ? ඒ තීරණ එනකොට ඔය ෆර්ඩිනැන්ඩ්ස් උන්නැහේ දන්නේ නැද්ද? ටෙන්ඩර් කැඳවල ටෙන්ඩර් ඕපන් කරල ක්‍රියාවලියක් යද්දී තමයි ඒ ටෙන්ඩර්වල තිබිච්ච මිලට වඩා මේක හොඳයි කියලා. ඒ කියන්නේ ටෙන්ඩර් හොරට ඕපන් කරල ඒ මිල ගණන් දැනගෙන ඒ තරගකරුවන්ගේ මිලට වඩා මේක වාසිදායකයි කියලා කැබිනට් මණ්ඩලේට ඒත්තු ගන්වලා තමයි මේ ගෙනාවේ. එතනම වංචාවක් තියෙනවනේ. වෙනම ක්‍රියාවලියක් යද්දී ටෙන්ඩර් කැඳවල පයිප්ප ලයින් එකයි ගබඩාවයි හදන්න ඒ ටෙන්ඩර්වල මිල ගණන් හොරෙන් බලලා ඊට වඩා මේක හොඳයි කියල සාධාරණීකරණය කරල තමයි මේ නිව් ෆෝට්‍රාස් ගේන්නේ. මේක තනිකරම බැලූ බැල්මට බැසිල් රාජපක්ෂගෙ බිස්නස් එකක්නේ. අමුවෙන්ම කතාව ඒක තමයි. වෙන මොකුත් නෑ. රටම නොමග යවන්න හදපු වැඩක්.   


ප්‍රශ්නය:  මේ ගැන දීර්ඝ හෙළිදරව්වක් අනුර දිසානායක පසුගියද‌ා පාර්ලිමේන්තුවේදී කෙරුවා. ආණ්ඩුවෙ සමහරු ඇහුවෙ කොහොමද ඒක එයාට ලැබුණෙ කියලා. තවත් අය කිව්වේ ඔය වගේ දෙයක් එළියට යන එක සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් කියලා.   


 අනුර දිසානායක සහෝදරයා මේක පාර්ලිමේන්තුවට ගෙනාවේ නැත්නම් මොකද වෙන්නේ. ඒ හෙළිදරව් කිරීම කෙරුවෙ නැත්නම් රටම තාම මොකුත් දන්නෙ නෑ. රටේ ජනතාව තියා කැබිනට් එකේ අයවත් දන්නේ නෑ එයාල දන්නෙත් දෙපැත්තටම අත්සන් කරල තියෙන්නේ එකම සාක්කිකාරය කියලා. මේ ගිවිසුමේම වගන්තියක් තියෙනවනේ අවුරුදු දෙකක් යනකම් දෙපාර්ශ්වයේ එකඟතාවයකින් තොරව මේ පිළිබඳ කිසිම දෙයක් කාටවත් හෙළිදරව් කරන්න බෑ කියලා. දැන් ආණ්ඩුවට ප්‍රශ්නෙ තියෙන්නේ අනුර දිසානායකට මේක හම්බවුණේ කොහොමද කියන එක. මේ තක්කඩි වංචාව කළාට කමක් නෑ ඒක හෙළිදරව් කිරීම තමයි වැරදි වගේ එකක් ආණ්ඩුවෙ අය දැන් කියන්නේ. මොන ආණ්ඩුවක් ද මේ. හොරකම ගැන නෙවෙයි හොරකම ගැන ප්‍රශ්න කිරීම තමයි එයාලට තියෙන ප්‍රශ්නය.   


ප්‍රශ්නය: ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා නම් කියන්නේ කැබිනට් පේපර් එකක් වුණත් අකුරක් නෑර කියවල අගමුල හොයන්න ඕන නෑ විශ්වාසය උඩ ඕන දෙයක් කරන්න පුළුවන් වගේ කතාවක්?   


එහෙම අන්ධයො, ගොළුවො, බීරො වගේ ඉඳලා කැබිනට් එකේදී ඕනැ එකකට අත උත්සල තමන්ගේ ලොක්කො කියන ඕන දේකට එහෙයි කියපු අය නිසා තමයි රට අද මේ තැනට වැටිලා තියෙන්නේ. එහෙම අය නිසා තමයි ඉන්දු - ලංකා ගිවිසුම ආවේ. සුනාමි සහන මණ්ඩලය ආවේ. සටන් විරාම ගිවිසුම ආවෙ. ඔය ඉතිහාසයේ අවස්ථා කීපයක්. ඕන එකකට අන්ධයො වගේ අත උස්සන්න සිග්නල් කණු වගේ අය කැබිනට් මණ්ඩලේකට ඕනෑද? ජොන්ස්ටන්ගෙ පැත්තෙන් බැලුවම ජොන්ස්ටන් කියන කතාව හරි. මේ ගිවිසුම නිසා ජොන්ස්ටන්ගෙ බිස්නස් ටිකක ප්‍රශ්නයක් නෑ. ඒක නිසා ජොන්ස්ටන්ට ඔය ගිවිසුම් බැලුවත් එකයි නැතත් එකයි. හැබැයි මේක රටේ ජනතාවට ප්‍රශ්නයක්. අනික කැබිනට් එකේ ඉන්න ගොඩක් අයට ඕව කියෙව්ව කියල තේරෙන්නෙත් නෑනේ. එයාල ගොඩක් වෙලාවට පිට කවරෙ බලල අත උස්සනවා ඕනම එකකට. මේ වගේ උන්ට බලය දීපු ජනතාවගෙන් අහන්න ඕන ඒ අයට මේව ප්‍රශ්නයක් නැද්ද කියලා.   


ප්‍රශ්නය: මේකට දැන් මොකද වෙන්නෙ එතකොට?   


දැන් නීතිපති රටට කියන්න ඕන මේ ගැන. එයා කොහොමද මොන හේතු යටතෙද මේක අනුමත කළේ කියලා. මේ ගැන නීතිපතිගේ නිර්දේශ ලබාදෙන්න ඕනැ. මේ තත්ත්වය ගැන පහුගිය කැබිනට් මණ්ඩලේට පාපොච්චාරණ සංදේශයක් බැසිල් රාජපක්ෂ ඉදිරිපත් කරල තියෙනවා. ගිවිසුම් ගහල ඔක්කොම කරල තමයි දැන් සංදේශ ඉදිරිපත් කරන්නේ. බැසිල් කියනවා මහින්ද අමරවීරල, ඩලස් අලහප්පෙරුමල, විෂය භාර ඇමැතිවරු හැටියට ඉද්දිත් මේ නිව් ෆෝට්‍රස් සමාගමට දෙන්න යෝජනාවට එකඟ වුණාලු. එහෙනම් දැන් ඩලස් අලහප්පෙරුම, අමරවීර රටට ඒ ගැන කියන්න ඕනැ. බැසිල් ඒ සංදේශයේ කියනවා පොම්පියෝ ඇවිත් මේ යෝජනාව ඉදිරිපත් කළා කියලා. එහෙනම් දැන් ඇ​ෙමරිකන් තානාපතිනිය රටට කියන්න ඕනැ එහෙම දෙයක් කළා ද නැද්ද කියලා. දැන් මාධ්‍ය ගිහින් අහන්න ඕන ඇමරිකන් තානාපතිතුමියගෙන් මේ ගැන. අහන්න ඕන ඩලස්ගෙන්, අමරවීරලාගෙන්. ඒ වගේම දැන් නීතිපති තමන්ගේ නිර්දේශ ඉදිරිපත් කරන්න ඕන වහාම. රටත් එක්ක විහිළු කරන්න දෙන්න බෑ කාටවත්. නීතිපති මේ ඇග්‍රිමන්ට් එක දැකල ද අනුමත කළේ කියල අපි දැනගන්න කැමැතියි. එහෙම දැකල කියවල නම් අනුමත කළේ නීතිපතිගෙ නීති දැනුම පිළිබඳවත් අපිට ප්‍රශ්නයක් තියෙනවා. මේ වගේ රටට බලපාන තීරණාත්මක ගිවිසුමක් ගැන අනුමැතියක් නිකංම හා කියලා දෙන්න බෑ. ඒකට නීතිපති නිර්දේශ ලබාදෙන්න ඕනැ. කෝ මේ ගැන නීතිපතිගේ නිර්දේශ. නීතිපතිට පුළුවන් ද බැසිල්ට ‘හා එහෙනං ඔයා ඕනැ එකක් කරගන්න’ කියලා අනුමත කරන්න. මේවා තමයි ප්‍රශ්න.   


ප්‍රශ්නය: කැබිනට් පේපර් එකේ නිව් ෆෝට්‍රස් එනජි සමාගම එක්ක අත්සන් කරනවා කියල තිබුණත් ඇත්තටම අත්සන් කරල තියෙන්නේ නිව් ෆෝට්‍රස් ශ්‍රී ලංකා හෝල්ඩින්ග්ස් කියල වෙන සමාගමක් එක්ක කියලත් කියනවා.   


 මේ අලුත් සමාගම ඇමරිකාවේ එක් ප්‍රාන්තයක තියෙන මේ වගේ තොරතුරු හෙළිදරව් කරන්නෙ නැති සමාගම්වල ඇඩ්‍රස් ලියාපදිංචි කරන තැනක්. අන්න එතන ඇඩ්‍රස් එක ද‌ාලා තමයි මේක හදලා තියෙන්නේ. ඒකේ වෙබ් සයිට් එකට ගිහින් බැලුවම ඒකේ අධ්‍යක්ෂවරු කවුරුවත් නෑ. දැන් නිව් ෆෝට්‍රස් එක ගැන නෙවෙයි ඔය ශ්‍රී ලංකා හෝල්ඩින්ග්ස් එකේ ඉන්න අධ්‍යක්ෂවරු කවුද කියල ආණ්ඩුව රටට කියන්නකො. මුදල් අමාත්‍යාංශ ලේකම් ආටිගලනෙ මේකට අත්සන් කළේ. දැන් ආටිගල කියන්නකො මේ සමාගමේ ඉන්න අධ්‍යක්ෂවරු කවුද කියලා. මේ සමාගම ගැන තොරතුරු රට දැනගන්න ඕනැ. මේකෙ කැපිටල් එක කීයද? මේකෙ කොටස් ඇමෙරිකාවේ අයට මිලදී ගන්න පුළුවන්ද? මේකෙ ෂෙයාර් හෝල්ඩර්ස්ල කවුද, මේ සමාගම කරන වෙනත් කටයුතු මොනවද? අපේ රටට එල්.එන්.ජී. දෙන්න හදන මේ සමාගම වෙන කාටද එල්.එන්.ජී. දීලා තියෙන්නේ වගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕනැ. ආටිගලල මේක ඇස් කන් පියාගෙන අත්සන් කරපු ගිවිසුමක් වෙන්න බෑනේ. කැබිනට් මණ්ඩලේ නීති විශාරදයෝ මේවා ගැන දන්නවද? මේ සමාගම ගැන ශ්‍රී ලංකා රජය ශක්‍යතා අධ්‍යයනයක් කළාද? මේ ප්‍රශ්නවලට උත්තර ආණ්ඩුව වහාම දෙන්න ඕනැ. මේක ඇඩ්‍රස් එකක් විතරයි. ඔය නිව් ෆෝට්‍රස් සමාගම තමන්ගෙ තොරතුරු හෙළිදරවු කරන්න බැරි සමාගම්වල නම් රෙජිස්ටර් කරන තැනක් ඕක. තව ටිකක් පැහැදිලි කරනව නම් ඔය අපේ රටේ ඉස්කෝලවලට ළමයි ද‌ාද්දි දුර ඉන්න අය ඉස්කෝලෙ ළඟ තැනක පදිංචිය පෙන්නන්නෙ ඇඩ්‍රස් හදල. අන්න ඒ වගේ සෙල්ලමක් මේකත්. මේක තනිකර වංචාවක් කියල කියන්න ඕනෑ තරම් කරුණු තියෙනවා. 

 
ප්‍රශ්නය: මේ ගැන ඔබලත් අධිකරණයට ගියා නේද?   


ඔව් අපිත් මේ ගැන අධිකරණයට ගියා. මේක අහෝසි කරන්න කියලා අපි අධිකරණයට ගියේ. මේක ක්‍රියාත්මක වීම නතර කරන්න අධිකරණ නියෝගයක් අපි බලාපොරොත්තු වෙනවා. අපිට ඕනෑ වුණේ මේක රටට හෙළිදරවු කරන්න. ආණ්ඩුව කරන්න ඕනෑ දේ තමයි අනුර දිසානායක සහෝදරයා කළේ. දැන් මේක වහාම අහෝසි කරන්න ඕනැ. මේක ක්‍රියාත්මක කිරීම බරපතළ කාරණයක්.   


ප්‍රශ්නය: නීතිපතිගෙත් අනුමැතිය හම්බවෙලා නම් මේක අධිකරණයෙදි ආපස්සට හරවන්න පුළුවන් වෙයිද?   


නීතිපති නිර්දේශ අධිකරණයට ඉදිරිපත් කරන්න ඕනැ. නිකංම හා කියලා බෑනේ. දැන් මේ ගිවිසුම ගැන අපේ රටේ දේශප්‍රේමි අගමැතිතුමා මොකද කියන්නේ. මොකද එයා සද්ද වහලා. පළමුවත් මව්බිම දෙවනුවත් මව්බිම තෙවනුවත් මව්බිම කියලා පොළොව ඉඹගත්තු මහින්ද මහත්තයා මොකක්ද මේ ගැන කියන්නේ කියල අපි ආසයි දැනගන්න. රට රකින අපේ විරුවා මොකද මේ ගැන කියන්නේ. ජනාධිපති මොකක්ද මේ ගැන කියන්නේ. අපි ඒවත් ප්‍රශ්න කරන්න ඕනැ. විදුලිබල ඇමැති ගැන නම් කතා කරල වැඩක් නෑ. මේකට තමයි ඩලස් අයින් කරල ලොකුගේ ගේන්නෙ. එයා මේ ගිවිසුම කියවලත් නැතුව ඇති. එයාලට වැඩකුත් නෑ මේවා. ලොක්කො මොකක්ද කියන්නේ හරි සර් කියන එක විතරයි එයාලට කරන්න තියෙන්නේ.   


ප්‍රශ්නය: මේකට විරුද්ධව ආණ්ඩුවෙම ඇමැතිලත් සද්දෙ ද‌ානව හැබැයි....   


ඒව නම් නරිනාටක. අපි දකිනව වීරවංශලා, ගම්මන්පිලලා, වාසුදේවල බොරුවට කෑගහනවා. වීරවංශ උන්නැහේ කියනවා මේ ගිවිසුම එළියට යන එක සාමාන්‍ය දෙයක්ය එයාටත් හම්බවුණා කියලා. එච්චර දේශප්‍රේමියා එහෙනං රටට ඒක හෙළිදරව් කරන්න එපායැ. එහෙම කළා නම් වීරවංශ ජාතියේ වීරයා වෙනවනේ. ඇයි තැන තැන කෙඳිරි ගගා හිටියෙ. රටට මේ​ෙක ඇත්තම තත්ත්වය නොකියා. එයා ගොරකත් දඩමස් කරන කෙනෙක්නෙ තමන්ගේ වාසියට. රටේ මේ ගැන මතුවෙන ඇත්ත විරෝධය දිය කරන්න ආණ්ඩුවෙන්ම කරන බොරු සංදර්ශනනෙ ඕවා. ඕවට රැවටෙන්න හොඳ නෑ. ඕව බැසිල්ලගෙ ප්ලෑන්.   
තව එකක් අහන්න ඕනැ. මේ ගිවිසුම අත්සන් කරන්න ආවනේ ක්‍රිස්ටෝපර් ද කියල කවුද හාදයෙක්. මේකෙ සාක්කියට අත්සන් කරපු ෆර්ඩිනැන්ඩ්ස් එයාව දන්නවාද දන්නේ නෑ කවුද කියලා. හැබැයි මේ නිව් ෆෝට්‍රස් සමාගමේ එම්.ඩී. සහ බලශක්ති පිළිබඳ ප්‍රධානියා ලංකාවේ ජටිල රණසිංහ කියල එක්කෙනෙක්. ඒතරම් දැනුම තියෙන දන්න කියන ලංකාවෙම මනුස්සයෙක් ඉඳලත් එයා ආවෙ නැත්තෙ ඇයි මේක අත්සන් කරන්න. එයා ආවනම් අපිට දන්න සිංහලෙන් කතා කරල අහගන්න තිබුණනේ මොකද වෙන්නේ ඇත්තටම කියලා. එහෙනං මේ ගිවිසුමට අත්සන් කරපු හතර දෙනාම ලංකාවේ. ඔය ලංකා හෝල්ඩින්ග්ස් එකේ මව් සමාගම නිව් ෆෝට්‍රස් නම් එකේ එම්.ඩී. ලංකාවේ කෙනෙක් නම් එයා එක්කනේ ගිවිසුම අත්සන් කරන්න ඕනැ. මොකක්ද මේ වෙන එකක් අටවල වංගුවක් ගහල තියෙන්නේ. එහෙනං මේකෙ වැඩි වාසිය ලංකාවට ලැබෙන විදියට අත්සන් කරන්න තිබුණනේ. එහෙම කළා නම් අපිට රට පුරා බැනර් ද‌ාන්න වුණත් තිබුණ මව්රටට එල්.එන්.ජී. ගෙනා ජටිලට අපේ ප්‍රණාමය කියලා. මොකද ඔහොම වැඩකරන අයට සුබපතල බැනර් ද‌ාන්නම ඉන්නවානේ කට්ටිය. එහෙම වුණා නම් කෙරවලපිටියෙ ඔය නම් ටික ද‌ාල ඵලකයක් හයි කරන්න තිබුණා. අපරාදෙනෙ එයා ආවෙ නැත්තේ. මේ ගැන සැක සහිත තැන් ගණනාවක් තියෙනවා. රටට හිතකරනම් ඇයි මේ තරම් හොරෙන් හොරෙන් මේ වැඩේ කරන්නේ.   


ප්‍රශ්නය:  මේ ගිවිසුමේ අන්තර්ගතය ගැන සලකා බලද්දි රටට අහිතකරයි කියල ඔබල කියන විශේෂ කරුණු මොනවද?   


ප්‍රධාන කාරණයක් තමයි මේ හරහා ඇ​ෙමරිකා එක්සත් ජනපදය අපේ රටට එල්.එන්.ජී. ලබාදීමේ ඒකාධිකාරයක් හද‌ාගන්නවා. ඔවුන්ට විතරයි මේ සම්බන්ධය තියෙන්නේ. මේ නළ පද්ධතිය ඉදිකිරීම් කරන ගබඩා පහසුකම් හදන අයම තමයි ඊට පස්සේ ගෑස් සැපයුම කරන්නේ. මේ ගිවිසුමේ කිසිම තැනක කාල සීමාවක් පිළිබඳ සඳහනක් නෑ. කැබිනට් මණ්ඩලේ දන්නේ අවුරුදු පහකට මේ සැපයුම් කරනවා කියලා. ඒත් මේකෙ එහෙම දෙයක් සඳහන් වෙන්නේ නෑ. ඒ වගේම මේක අපේ රටේ ව්‍යවස්ථාවට අද‌ාළ වෙන්නේ නෑ. අපේ රටේ නීතියට යටත් නෑ. මේකට බලපාන්නේ ජාත්‍යන්තර නීති රීති. මේක පිටරටත් එක්ක ගහන ගිවිසුමක්නෙ. ඒත් ඔවුන්ට පුළුවන් ඔවුන්ගේ කොටස් ඒ රටේදි ඕනැ කෙනෙකුට විකුණන්න. ඒ අනුව ලංකාවේ තහනම් සංවිධානයක් වුණත් මේ කොටස් මිලදී ගන්න පුළුවන්. ඇ​ෙමරිකා සමාගම කවුද කින්ද මන්ද කියල අපි හරියට දන්නෙත් නැත්නම් වෙනත් පුද්ගලයින්ට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. අඳුරේ අතපත ගානවා වගේ වැඩක් මේක. ඒක තවත් බරපතළ කාරණයක්. මේ අපි දැන් ගිවිසුම ගහපු සමාගමේ අධ්‍යක්ෂවරු කවුද කියල අපි දන්නේ නෑ. ෂෙයාර් හෝල්ඩස්ර්ලා කවුද කියලා අපි දන්නේ නෑ. ඉදිරියේදී මේක මොන පැත්තට කැරකෙයි ද කියල අවිනිශ්චිතයි. මේකෙ සඳහන් වෙනවා අනුබද්ධ ආයතන කියලා. ඒ අනුබද්ධ ආයතන මොනවද කියලා කවුරුවත් දන්නේ නෑ. මේකෙ සීයට පනහක් කොටස් ගත්තොත් සම්පූර්ණ අයිතිය ඒ පැත්තට යනවා.   


 තවත් බරපතළම කාරණය තමයි කෙලවරපිටිය බලාගාරයට ආයෝජනය කරල තියෙන එක පාර්ශ්වයක් තමයි අර්ථසාධක අරමුදල. අර්ථසාධක අරමුදල කියන්නේ මේ රටේ ජනතාවගේ සල්ලි. මේ ගනුදෙනුවට අර්ථසාධක අරමුදලෙන් කිසිදු අනුමැතියක් ලැබිල නෑ. අපි අහනවා මේ ගිවිසුම අත්සන් කරන්න කලින් කවුද අර්ථසාධක අරමුදලෙන් අනුමැතියක් ගත්තේ කියලා. මහ බැංකුවෙ මුදල් මණ්ඩලේ අනුමැතියක් දීලා තියෙනවද? මේවා තමයි ප්‍රශ්න.   


ඒ වගේම මේකේ අධ්‍යක්ෂ මණ්ඩලයේ හත් දෙනයි ඉන්නේ. ඒකෙන් හතර දෙනෙක් එහාට දෙන්න කියන යෝජනාව එයාල කරනවා. එතකොට අධ්‍යක්ෂ මණ්ඩලයේ බහුතරය ඒ පැත්තට ගියාට පස්සේ එයාලට ඕනැ ඕනැ විදියට කටයුතු කරන්න පුළුවන්. අර්ථසාධක අරමුදලෙ සල්ලි සීයට විසිඅටක් මෙතන තියෙනවා. ඒකට මොකක් වෙයිද කියන බරපතළ අනතුරුදායක ප්‍රශ්නය අපිට තියෙනවා. අපේ අර්ථසාධක අරමුදල පාලනය කිරීමේ බලයත් වක්‍රව ඔවුන්ට හිමිවෙනවා. 

 
 මේකෙ බේරුම්කරණය සඳහා යන්න තියෙන්නෙත් සිංගප්පූරුවට. ඒ ගැන අපේ තියෙන බැඳීම මොකක්ද? අපේ අධිකරණයට මේක වගකියන්නේ නැත්නම් අපේ පාර්ලිමේන්තුවට වග කියන්නේ නැත්නම් අන්තිමට මේකට අත්සන් කරපු අයට දැන් අපිට කරන්න දෙයක් නෑ කියලා කිව්වොත් මොකද වෙන්නේ. අවුරුදු දෙකක් යනතුරු මේ ගිවිසුම රටට දකින්නවත් ලැබෙන්නේ නෑ. දැන් මේ තියෙන්නේ අනුර දිසානායක හෙළිදරවු කරපු එක මිසක් රජය මේ ගැන කිසිදු හෙළිදරවු කිරීමක් කරලා නෑ රටට තාම. මේව තමයි මේකෙ අන්තර්ගතයේ තියෙන බරපතළ අනතුරුද‌ායක කාරණා.   


 දැන් මන්නාරමේ ගෑස් කැණීමේ කටයුතු කරන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. මේ ගිවිසුම ක්‍රියාත්මක වෙද්දී ඒකටත් මේ අයට අතගහන්න පුළුවන්. එතකොට අපිට සිද්ධවෙන්නෙ අපේ රටේ සම්පත් පිටරට සමාගමක් ඕනැ හැටියට භුක්ති විඳිනව බලාගෙන හූල්ලන්න. අනෙක් අතට මේක රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතු කරනවා. අපේ රටට ඇඟිලි ගහන්න ඇ​ෙමරිකා එක්සත් ජනපදය යොද‌ාගන්න මාවතක් වෙන්න පුළුවන්.   


ඒ වගේම තමයි මේ නිව් ෆෝට්‍රස් සමාගම කියන මව් සමාගම ඇමෙරිකවෙ කොටස් වෙළඳපොළේ කඩාගෙන වැටුණු සමාගමක්. ගිවිසුම ගහද්දි ඩොලර් 66 ට තිබුණු මේ සමාගමේ කොටසක් දැන් වටිනාකම ඩොලර් 22 යි. වේගයෙන් කඩා වැටෙන කොම්පැනියක් මොකටද අපේ රටේ ගෑස් සැපයුමට හවුල් කරගත්තේ. මේ අය පළවෙනි වතාවට ගෑස් සැපයුමට ඇවිත් තියෙන්නේ 2018 දී. මේ අයට මේකට තියෙන සුදුසුකම මොකක්ද?   


ප්‍රශ්නය: ආණ්ඩුව මේක අකුළා ගනී කියලද හිතන්නේ?   


 ආණ්ඩුවත් මේක ලේසියෙන් අතඅරින එකක් නෑ. හැබැයි අපිත් මේක ලේසියෙන් අත අරින්නේ නෑ. මේක ආපස්සට හරවන්නම ඕනැ. හැබැයි එල්.එන්.ජී. ගේන්න ඕනැ ලංකාවට. ඒ ගැන ප්‍රශ්නයක් නෑ. ඒක නිසි ක්‍රමවේදයකට සිද්ධ වෙන්න ඕනැ. තක්කඩි ගේම්වලින් ඒක කරන්න දෙන්න බෑ.

 

 

 ප්‍රියන්ත කොඩිප්පිලි