අපි රජයක් හැටියට කටයුතු කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් අනුවයි


සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග

  • අපේ ඉලක්කය මේ අගෝස්තු, සැප්තැම්බර් වෙනකොට ජන ගහණයෙන් සියයට 60කට වැඩි ප්‍රමාණයකට එන්නත් දෙන්නයි.

හෙට (14) රට විවෘත වෙයිද? මේ ඒ ගැනත් රටේ සෙසු කාරණා සම්බන්ධයෙනුත් සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සමග කළ සාකච්ඡාවකි.


ප්‍රශ්නය- සමගි ජන බලවේගයේ ලේකම් මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර කිව්වා ‘‘රජයේ කොවිඩ් මර්දන මෙහෙයුම අසාර්ථකයි. වහා ඉල්ලා අස්වෙනු’’ කියලා. ඔබ ඒ ගැන කුමක්ද කියන්නේ.


පිළිතුර- එතුමන්ලා අසමත් නිසා තමයි ජනතාව පහුගිය ආණ්ඩුවම එළියට තල්ලු කළේ. එදා රනිල් වික්‍රමසිංහවත් අතහැරලා සමගි ජන බලවේගයක් හදන්න සිද්ධ වුණෙත් ඒ අය පක්ෂයක් හැටියටත් ආණ්ඩුවක් හැටියටත් අසමත් නිසයි. තමන් ෆේල් අය අනික් අයට ෆේල් කියන එක සාධාරණයි. හැබැයි අපි දන්නවා රටේ මේ වෙනකොට ලෝකයේ අනිත් රටවල් සමග සන්සන්දනය කළාම කොවිඩ් වසංගතය පාලනය කිරීමේ ක්‍රමවේද තියෙනවා. හරිම ලේසියි රට වහලා තියන්න. එහෙම වහලා තියන්න ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ අපිටත් ආර්ථික ශක්තියක් තියෙන්න ඕනෑ. අපිට එහෙම ආර්ථික ශක්තියක් නැති හින්ද රටේ සාමාන්‍ය දේවල් වෙන්න ඕනෑ.


ප්‍රශ්නය-  සාමාන්‍ය දේවල් කියලා කිව්වේ? 


පිළිතුර - උදාහරණයක් වශයෙන් එදිනෙදා රැකියාව කරගෙන කීයක් හරි හම්බ කරගෙන ජීවත්වන අයට රට වහලා දැම්මොත් ඒ අයට ජීවත් වෙන්න මගක් නෑ. එතකොට ආණ්ඩුවට සිද්ධ වෙනවා ඒ ජනතාවට යම්යම් දීමනා දෙන්න. එහෙම කළාම සිද්ධ වෙන්නේ ඒක රටේ සියලු ජනතාවට බලපාන ප්‍රශ්නයක් වීමයි. ඒ නිසා රටක් විදියට මේක පාලනය කිරීමේදී මේ පිළිබඳව අවබෝධයක් තියෙන හැම කෙනෙකු​ගේම පැසසුමට ලක් වෙනවා. විපක්ෂය මොනවා කිව්වත් ඇත්ත තත්ත්වය ඒකයි.


ප්‍රශ්නය- නමුත් එන්නත්කරණය පවා සමහර තැන්වල අවුල් ජාලයක් වෙලා.


පිළිතුර- අපි බලාපොරොත්තු වුණා වගේම අපට එන්නත් ලැබෙන්නේ නෑ. අපි ඒවට මුදල් ප්‍රතිපාදන වෙන්කරලා තියෙනවා. නමුත් නිෂ්පාදනය කරන සමාගම් එන්නත් ලබාදෙන ක්‍රමවේදයක් තියෙනවා.

ප්‍රශ්නය- පෞද්ගලික අංශයටත් එන්නත ගෙන්වීමේ අවස්ථාව දෙන්න තිබුණ?


පිළිතුර- එහෙම ප්‍රශ්නයක් සමහරු මතු කළා. පෞද්ගලික අංශයේ ඕනෑම කෙනෙකුට එන්නත ගෙන්වන්න පුළුවන්. ඒ අයට ආණ්ඩුවේ අනුමැතිය ලබා දෙනවා. හැබැයි අපි දන්නා තරමින් ඒ නිෂ්පාදන සමාගම් ඒ ඒ රටේ ආණ්ඩුවට එන්නත ලබා දෙනවා මිසක් පුද්ගලයන්ට ලබා දෙන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුවට ලැබෙන දේ තමයි රටේම ජනතාවට දෙන්නේ. ඒ ක්‍රමවේදය හදන්නේ ආණ්ඩුවක් හැටියට අපි නොවෙයි. දේශපාලන අධිකාරියෙන් නොවෙයි. ඒක කරන්නේ සෞඛ්‍ය අංශවලින්. සෞඛ්‍ය අංශ තමයි ආසාදිතයන් වැඩිපුරම ඉන්න පළාත් හඳුනාගෙන ඒවා අධ්‍යයනය කරල එන්නත දෙන්නේ. ඉස්සෙල්ලාම තීන්දු කළා බස්නාහිර පළාතට ගහන්න. බස්නාහිර පළාතට ගහනකොට අදාළ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවල වෛද්‍ය නිලධාරීන් සාකච්ඡා කරල තමයි ඒක තීරණය කරන්නේ. තැන්තැන්වල අඩුපාඩු සිද්ධ වෙනවා. ඒක අපි පිළිගන්නවා. මේවා කරන්නේ මිනිස්සු මිසක් රොබෝල නොවෙයි. යම් යම් අඩුපාඩු සිද්ධ වෙනවා. නමුත් රජයේ වැඩපිළිවෙළ හැටියට ක්‍රියාත්මක වෙනවා.


ප්‍රශ්නය-  එන්නත ඇණවුම් කිරීමේ වගකීම තියෙන්නේ රජයට. නමුත් රජය ඒක හරි වෙලාවට කළේ නෑ.


පිළිතුර - ඒක වැරැදියි. අපි පැහැදිලිවම වැඩ කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය සමගයි. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය දුන්නාට පස්සේ තමයි අපිට ඇණවුම් කරන්න වෙන්නේ. ඒ අනුව තමයි ඒ අනුමැතිය ලැබෙන ලැබෙන එන්නත් අපි ඇණවුම් කරන්නේ.


ප්‍රශ්නය-  පළමු එන්නත ලබාගත් විශාල පිරිසකට දෙවැනි එන්නත ලබා ගන්න විදියක් නැතිව ඉන්නවා?


පිළිතුර- එහෙම ප්‍රශ්නක් තියෙනවා. ඒ ප්‍රශ්නයට මුහුණ දීපු කණ්ඩායමක් ඉන්නවා. බස්නාහිර පළාතට තමයි ඒක වැඩිපුරම බලපාල තියෙන්නේ. මොකද ඉන්දියන් එන්නත වැඩිපුරම ලබා දුන්නේ බස්නාහිර පළාතට. ඒකෙ දෙවැනි මාත්‍රාව ලබා දෙනවා කියල ඉන්දියාව වෙච්ච පොරොන්දුව ඉටු කරන්න බැරි වුණා ඉන්දියාවේ ඇති වෙච්ච තත්ත්වයත් එක්ක. ඉන්දියාවේ ඔය එන්නත නිෂ්පාදනය කළ සමාගමේ ප්‍රධානියා පවා එංගලන්තයට ගියා. ඒ ඇති වෙච්ච තත්ත්වය තුළ එහෙම ප්‍රශ්නයක් තුළයි මේ ප්‍රශ්නය ඇති වුණේ. මේක චීනයෙන් දෙන එන්නත වගේ නොවෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයත් අපේ සෞඛ්‍ය අංශත් කියල තිබුණා සති 14ක් සති 17ක් ඇතුළත ලබා ගන්න පුළුවන් කියලා. ප්‍රසන්න ගුණසේන විශේෂඥ වෛද්‍යතුමා ඇතුළු කණ්ඩායමක් තමයි මේ ගැන ක්‍රියා කරන්නේ කොහොම නමුත් මේ එන්නත ගෙන්වන්න මේ වනවිටත් කටයුතු කරගෙන යනවා.


ප්‍රශ්නය-  වසංගත රෝග අංශය නිසි තොරතුරු දෙන්නේ නෑ කියලා චෝදනාවක් තියෙනවා. ආණ්ඩුව මොකද ඒ ගැන කියන්නේ?


පිළිතුර- රජයක් හැටියට අපට කටයුතු කරන්න වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දෙන සංඛ්‍යා ලේඛන අනුවයි. මේ ක්ෂේත්‍රයේ ඉන්න එක එක වෘත්තීය සමිති එක එක සංවිධාන එක එක තොරතුරු කියනවා. ඒ තොරතුරු එකිනෙකට පටහැනියි. අපි රජයක් හැටියට කටයුතු කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දෙන නිර්ණායකයන් හා උපදෙස් අනුවයි.


ප්‍රශ්නය- ඇමැති ජෝන්ස්ටන් ප්‍රනාන්දු කියනවා ‘‘අපට ඕනෑ තරම් සල්ලි තියෙනවා’’ කියලා. රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ දානපතියන්ගෙන් ආධාර ඉල්ලනවා. මෙතැනදි කවුද හරි?


පිළිතුර- ඔබතුමන්ලා ඒ ගැන එතුමියත් සමගයි කතා කරන්න ඕනෑ. මොකද මම වුණත් පෞද්ගලික අංශයේ අය මොනවද කෙරෙන්න ඕනෑ කියලා ඇහුවම අපි උදව් ගත්තා. වැරැල්ලවත්ත කොවිඩ් මධ්‍යස්ථානය හදනකොට සිමෙන්ති කොට්ට, යකඩ වගේ දේවල් පෞද්ගලික අංශයේ අය පරිත්‍යාග කළා.


ප්‍රශ්නය-  කොවිඩ් අරමුදල කෝ?


පිළිතුර- ඒක තියෙනවා. පෞද්ගලික අංශයෙන් අපි ආධාර ගන්නේ සල්ලි නැති නිසා නොවෙයි. කොවිඩ් අරමුදලට ලැබුණ ප්‍රතිපාදන විධිමත් ක්‍රමවේදයක් හදලා වියදම් කරනවා. විපක්ෂයට වගේම එය විවේචනය කරන අයට ඕනෑ ඒකේ සල්ලි හිස් කරන්න. හැබැයි ජනාධිපතිතුමා හොඳ අවබෝධයකින් කටයුතු කරනවා. එන්නත් දෙකක් දුන්නත් සමහර විට එන්නත් තුන හතරක් දෙන්නත් වෙයි. එහෙම වුණොත් ඒකට ප්‍රතිපාදන වෙන්කරන්න ඕනෑ. අපි ඒ ගැන අවබෝධයෙන් ඉන්නේ. රජයක් හැටියට ඒ සම්බන්ධ කමිටුවක් පිහිටුවලා ඒ අයත් සමග සාකච්ඡා කරලා තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියන විදියට ඒ වගේම කොවිඩ් කමිටුව කියන විදියට තමයි අපි තීන්දු තීරණ ගන්නේ. ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලය පැහැදිලිවම දැනුවත් කළා. අපට එන්නත් දෙනවානම් ඕනෑ තරම් ගන්න සල්ලි වෙන් කරලා තියෙන්නේ කියලා. ඔය චීනයට බැන බැන ඉන්න අය දන්නවා ඒ ගොල්ලො චීනෙට බණින්නෙත් එන්නත් දෙන නිසා තමයි. ඔය විපක්ෂයට ඕනෑ එන්නත් නැතිව මේ රට විශාලා මහනුවරක් වෙනවා දකින්නයි. චීනය මේ මාසයේදී එන්නත් මිලියන දෙකකට වැඩි ප්‍රමාණයක් ලබා දෙනවා. අපේ ඉලක්කය මේ අගෝස්තු, සැප්තැම්බර් වෙනකොට ජන ගහණයෙන් සියයට 60කට වැඩි ප්‍රමාණයකට එන්නත් දෙන්නයි.


ප්‍රශ්නය-  හෙට රට විවෘත වෙයිද, කොහොමද?


පිළිතුර- ඒක තීරණය කරන්නේ කොවිඩ් කමිටුවත්, සෞඛ්‍ය අංශත් ඒකාබද්ධව. පවතින තත්ත්වය සලකා බලලා සංචරණ සීමා ලිහිල් කරනවද නැද්ද කියලා තීරණය කරයි. මේ වෙලාවෙත් ඔබතුමාලා දකිනවා ​​මේ සංචරණ සීමා දානකොට ගම්වල මිනිසුන්ට බඩු ටික බෙදන්න, ගොවියන්ගේ නිෂ්පාදන මිලදී අරගෙන කොළඹට එවන්න, මාළු ටික ගේන්න, හාල් ටික ගේන්න ඔක්කොම වැඩ පිළිවෙලවල් හදලා ඉවරයි. මේ වෙනකොට ගම් මට්ටමේ ග්‍රාමීය කමිටු හරහා ග්‍රාමසේවා වසමක සිල්ලර කඩ දෙකක් විවෘත කරන්න දුන්නා. ඒ වගේම ජංගම රථවලට අනුමැතිය දීලා තියෙනවා. පොළවල්වලට දින වෙන් කරලා බඩු බෙදාහැරීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මකයි. පවතින තත්ත්වය පාලනය කරන්න තමයි මේවා කරන්නේ.


ප්‍රශ්නය-  ඔබ ගුවන් තොටුපළ විවෘත කළේ සෞඛ්‍ය අංශවල අනුමැතියෙන්ද එහෙම නැත්නම් දේශපාලන බලයෙන්ද?


පිළිතුර- ගුවන්තොටුපළ විවෘත කළා කියන්නේ පහුගිය දවස්වල ගුවන් යානාවලින් ලංකාවට එන අයගේ සීමාවක් ඇති කළා. ඊළඟට 31 වැනිදා දක්වා ඒක නතර කළා. ඊට පස්සේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ලංකාවට ආවත් නිරෝධායන මධ්‍යස්ථානවලට යවන විදිය තීරණය කරල තමයි ගුවන් තොටුපොළ විවෘත කළේ. සෞඛ්‍ය අංශවලින් කියලා තිබුණා පිටරටින් එන අයට පළමුවෙන්ම එන්නත් දෙක ගහලා ගෙදර ගිහින් නිරෝධායනය වෙන්න පුළුවන් කියලා. නමුත් මේ වසංගතය පාලනය කර ගැනීමේ අවශ්‍යතාවය නිසා එන්නත ගහපු අයටත් මේක බෝවෙලා තියෙන නිසාත් දින 14ම නිරෝධායනය විය යුතුයි කියලා නීතිය ගෙනාවා. ඒක ගෙනාවම ලොකු ඉල්ලීමක් ආවා විදේශ ශ්‍රමිකයන්ගෙන් ලංකාවට ආවම දින 14ක් හෝටල්වල තියන්න එපා වියදම් වැඩියි, අපිට ගෙවල්වලම නිරෝධායනය වෙන්න දෙන්න කියලා. ඒක සලකලා බලලා ක්‍රමවේදයක් හැදුවා. ලංකාවට එන කෙනා පළමුව පී.සී.ආර්. එක ගන්න ඕනෑ. ඒක නෙගටිව්නම් එන්නත් දෙකම ගහලා ගෙදර ගිහින් දවස් 14 නිරෝධායනය වෙන්න කියලා. අපි පළමුවැනිදා සිට ගුවන් තොටුපළ විවෘත කළා. සංචාරකයන්ට එන්න පුළුවන්. ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට එන්න පුළුවන්.


ප්‍රශ්නය-  ඔබට සහතික කරලා කියන්න පුළුවන් ද ගුවන් තොටුපළ විවෘත කිරීම හරහා තවත් කොරෝනා පොකුරු බිහි වෙන්නේ නෑ කියලා.


පිළිතුර- ඔව්. ඒක අනිවාර්යයි. අපි ක්‍රමවේදය හදලා තියෙන්නේ. ඒක හරි විදියටම ක්‍රියාත්මක කරනවා.

 

සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්