අපි ආණ්ඩුවේ ඉන්නේ ජනවරමට අනුකූලව යනතුරු පමණයි


  • කොඩිවිනය කැපුවම ඒකෙ යහපත දැනෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයටයි
  • බිත්තර ප්‍රහාරය කවුරු කරපු ගොං වැඩක්ද කියලා මම නම් දන්නේ නෑ
  • කර්මාන්ත ඇමැති ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ
  • මේ අර්බුදය පිළිබඳව  ජනපතිගේ සිට  අපි සියලු දෙනාම වගකීම  බාර ගන්න ඕනෑ
  • ප්‍රාතිහාර්යයක් වෙලානම් ඔයාලටත් පේන්න එපැයි මගෙන් අහන්නේ.

 රටට මොකද වුණේ? රටට මොකද වෙන්නේ? මේ ගම් නියම්ගම් නගර ජනපද තුළ දනන් තුඩ තුඩ නැගෙන ප්‍රශ්න දෙකය. මහින්ද සුළඟ අරඹා මේ ආණ්ඩුව ගෙන ඒමට පුරෝගාමී වූවන්ට මේ ප්‍රශ්න දෙකට පිළිතුරු නොදී මගහැර යා නොහැක. කර්මාන්ත ඇමැති, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සමග මේ විශේෂ සාකච්ඡාව ඒ සම්බන්ධයෙනි.   

 

• රාජ්‍ය ඇමැති ධුරයෙන් සුසිල් ප්‍රේමජයන්ත අයින් කළා විතරයි ඔබ පේන්නවත් නෑ. ඔබට මොකද වුණේ?   


කවුද කියන්නේ? ඔබ හිතුවද ආණ්ඩුවක් ඇතුළේ ඉන්නකොට හැම වෙලේම ආණ්ඩුවේ හැම දෙයක්ම වැරදියි කිය කියා ඉන්න ඕනෑ කියලා.   


• නමුත් මේ නිශ්ශබ්දතාවය ගුප්තයි.   


නෑ. කිසිම ගුප්තකමක් නෑ. ආණ්ඩුවේ වැරැද්දක් තියෙනකොට ඒ වැරැද්දට එරෙහිව අපි පෙනී ඉන්නවා. යුගදනවි ප්‍රශ්නය ආවා. අපි අපේ ස්ථාවරයේ හිටියා. උසාවියට අපි වෙනුවෙන් වෙනම නීතිඥයොත් යැව්වා. ඊට කලින් ආවා කොළඹ වරායෙ නැගෙනහිර ජැටිය පිළිබඳ ප්‍රශ්නය. එතැනදි අපි අපේ ස්ථාවරය රටටම කිව්වා. ඒ විදියට අපි ගත්ත ජනවරමට පටහැනි දෙයක් වෙනවා නම් ඒක වළක්වා ගන්න හඬ නගනවා. එහෙම නැතිව නිකම් වෙලාවට ආණ්ඩුවට විරුද්ධව කතා කරන්න එහෙම අසනීපයක් නෑ.   


• රට බලාපොරොත්තු නොවුණ දරුණු ආගාධයකට වැටිලා තියෙනවා. රටට මේ මොකද වුණේ?   


බලාපොරොත්තු නොවුණ අගාධයකට කියලා කියන්න වෙන්නේ මේ රට මේ ආපු ගමන ගැන අවබෝධයක් නැති කෙනෙකුට. මේක අපිනම් මීට අවුරුදු 10-15ක ඉඳන් කිව්ව දෙයක්. අපි කිව්වා කොයි වෙලාවක හරි රට මේ අර්බුදයට මුහුණ දෙනවා කියලා.   


• ඒත් වැඩක් වුණේ නෑ,   


මෙහෙමයි. ණය අරගෙන අසීමාන්තිකව ගත් ණයවලින් ජීවත් වෙමින් ආපු ගමන දැන් ණය වාරිකය ගෙවා ගන්න බැරි තත්ත්වයට පත්වෙලා තියෙනවා. ඒක මේ අද ඊයෙ ගත්ත තීන්දු තීරණවලට අනුව ආපු ප්‍රතිඵලයකට වඩා දශක තුන හතරක් තිස්සේ ආපු ගමනේ ප්‍රතිඵලයක්. මේ රටේ කිසිම පාලනයක් මේ රටේ අනාගතයේදී මෙහෙම ඩොලර් අර්බුදයක් එන බව දැනගෙන එය වළක්වා ගැනීම අරමුණු කර ගනිමින් ගත්ත පියවරක් නෑ. ණයට අරන් වියදම් කරපු එක තමයි වුණේ. දැන් ඒක අර්බුදයක් හැටියට ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. එදිනෙදා අවශ්‍යතා පිරිමහ ගන්නවත් ඩොලර් නැති වෙන තරමට අර්බුදය උග්‍රවෙලා තියෙනවා.   


• මෙතැන තියෙන ප්‍රශ්නය ආණ්ඩුව නිකම් බලාගෙන ඉඳීමයි.   


ආණ්ඩුව මෙතැනදි ප්‍රශස්ත මට්ටමින් මුහුණ දෙනවාද නැද්ද කියන එක සම්බන්ධයෙන් ඔය ඔබ මතු කරන තර්කය මතු කරන්න පුළුවන්. හැබැයි මේ අර්බුදය නිර්මාපකයා මේ පාලනය නොවෙයි.   


• යහපාලන ආණ්ඩුය තියෙන කාලෙ නම් ඔබ කිව්වේ ප්‍රශ්නයක් ආපු වෙලාවට ප්‍රශ්නයක් තියෙනවා කියලා කියන්න ආණ්ඩුවක් අවශ්‍ය නෑ කියලයි.   


ආණ්ඩුවක් හැටියට මුලින්ම වාහන ආනයනය නතර කළා. තවත් සමහර දේවල් නතර කළා. එහෙම කළේ ඇයි? මේ අර්බුදය යම්කිසි කාලයකට පෙර දැකපු නිසයි. නමුත් ආනයන තහනමෙන් පමණක් ඩොලර් එළියට යන එක නතර කර ගන්න බෑ. කොවිඩ් එකෙන් ඇති කරපු බලපෑම වෙනත් රටවලට වඩා අපට ඉතා හානිකරව බලපෑවා. විදේශ විනිමය හොයන ප්‍රධාන මාර්ගය ලෙස අපි හඳුනාගෙන හිටියේ සංචාරක ව්‍යාපාරයයි, විදෙස්ගත ශ්‍රමිකයාගෙන් එන මුදල්. ඊට අමතරව ඇඟලුම් කර්මාන්තය හා වෙනත් දේවල් තියෙනවා. එතකොට මේ ප්‍රධානම මාර්ග දෙක මේ කොවිඩ් එකත් එක්ක අර්බුදයකට ගියා. විදෙස් ගත ශ්‍රමිකයන් ලංකාවට එන්න පටන් ගත්තා. ඒවගේම සංචාරක ව්‍යාපාරය බිඳ වැටුණා. තව ටික කාලයකින් පසුව මුහුණ දීමට නියමිතව තිබුණ අර්බුදයක් කොවිඩ් නිසා වේලාසනින්ම මුහුණ දීමට සිදුවන තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා.   


• මගේ ප්‍රශ්නය වුණේම ඔ​​හොම කිව්වම ඇද්ද කියලයි?   


ආණ්ඩුව යම් යම් පියවර අරගෙන තියෙනවා. තවත් පියවර ගත යුතුයි කියලයි මගේ නම් අදහස. මම පිළිගන්නේ නෑ මේ වගේ අර්බුදයක් ආණ්ඩුව වෙනම ඉඳගෙන ජනතාව වෙනමම තියාගෙන ජයගන්න පුළුවන් කියලා. දැන් ජනතාවයි ආණ්ඩුවයි ඔක්කොම එක මිටට ඇවිත් ජයගත යුතු ප්‍රශ්නයක් මේ තියෙන්නේ. 

 
• නමුත් ඒකට වැඩපිළිවෙළක් නෑ?   


ඔව්. ආණ්ඩුව තවමත් මේ ප්‍රශ්නයට උත්තර ​හොයන්න යන්නේ මල නොතලා රොන් ගන්න ආකාරයට.   


• ඔබ කියන්නේ මල තවත් තළන්න ඕනෑ කියලද?   


මල නොතලා රොන් අරගන්න විදියට ගියොත් මේ අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නෑ. එකක් අපි පිළිගන්න ඕන අර්බුදයේ තියෙන ගැඹුර හා භයානකකම. ඒකට සාපේක්ෂව ගන්න ඕනෑ තීන්දු තීරණ හරියට ගන්න ඕනෑ. ඒ වගේම මහජනයයි ආණ්ඩුවයි දෙපැත්තට නොවෙයි එකට ගමන් කරන්න ඕනෑ. ඒ වගේ සමහර ප්‍රවේශයන් ගැන අඩුපාඩු අපට දකින්න පුළුවන්. දැන් ලොකුම ප්‍රශ්නය කර්මාන්තකරුවන් මුහුණ දෙන ප්‍රශ්නය. ඔවුන්ට අමුද්‍රව්‍ය ගෙන්වා ගන්න බෑ. ඒ අමුද්‍රව්‍ය ගෙන්වන්න ඩොලර් නැත්නම් ඊට පස්සේ වෙන්නේ ෆැක්ටරි ටික වැහෙන එක. එහෙම වුණාම රස්සා ටික නැති වෙනවා. ඒ වගේම ඒ ඇනවුම ඒක විදේශ වෙළඳපොළට යන ඇනවුමක් නම් ඒ ඇනවුමත් නැති වෙනවා. එමගින් එන ඩොලර් ටිකත් නැති වෙනවා. මේ අර්බුදය හරියට තේරුම් අරන් මේක බේරා ගන්න ඕනෑ. මිනිසුන්ට ඉන්ධන නැතිව ජීවත් වෙන්න බෑ. ඒ ටික කොහොමහරි කරන්න ඕනෑ. විදුලිය කොහොමහරි දෙන්න ඕනෑ. ඔය සමහර අත්‍යවශ්‍ය නොවන ආහාර ද්‍රව්‍ය අපි ආනයනය කරන්න ඕනෑ නෑ. ඒ පැත්තෙන් යම් දුෂ්කරතාවක් ආවොත් ඒකත් අපිට කළමනාකරණය කර ගන්න පුළුවන් වෙන්න ඕනෑ. ඒ වගේම කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙනත් දෙන්න ඕනෑ.   


• ඔබ කර්මාන්ත ඇමැති. ඔබ මේ ගැන කැබිනට් එකේදි කතා කළාද?   


ඇත්තටම මම කැබිනට් එකේදී යෝජනා කළා චීනය වගේ රටකින් ‘ක්‍රෙඩිට් ලයින්’ එකක් අරගෙන අමුද්‍රව්‍ය ගෙන්වමු කියලා. දැන් ගොඩාක් කර්මාන්තකරුවන්ට අමුද්‍රව්‍ය ගෙන්වන්න බැංකු එල්.සී. ඕපන් කරන්නේ නෑ. ඒ ප්‍රශ්නය තියෙනවා. මම හිතන්නේ ආණ්ඩුවේ ගමනේ තියෙන ලොකුම අඩුපාඩුව තමයි මේ අර්බුදයේ ගැඹුර හා පරිමාව දිහා හරියට බලලා ඒකට සාපේක්ෂව ගතයුතු රැඩිකල් තීන්දු තීරණ නොගැනීම. මේක සමනය කර ගන්න පුළුවන් එහෙම හිතාගෙන යන්න බලනවා. ඒක යථාර්ථය කියලා නොවෙයි.   


• ඔය ඔබ කියන රැඩිකල් තීන්දු තීරණ නොගැනීම සම්බන්ධයෙන් වගකීම බාරගත යුත්තේ කවුද?   


මේ අර්බුදය පිළිබඳව ජනාධිපතිතුමාගේ සිට ඇමැති මණ්ඩලයේ අපි සියලු දෙනාම වගකීම බාර ගන්න ඕනෑ. විශේෂයෙන්ම මුදල් අමාත්‍යවරයා. ඒ වගේම මහ බැංකු අධිපතිවරයා. මේ හැමෝටම මේ වගකීම තියෙනවා. අපි මේකේ තියෙන බැරෑරුම්කම ඔක්කෝටම කලින් පිළිගන්න ඕනෑ. තේරුම් ගන්න ඕනෑ. එහෙම පිළි අරගෙන ජනතාවට ඇත්ත කතාව කියන්න ඕනෑ. ජනතාවට ඇත්ත කතාව කියලා නෑ. කොහොමද අපි මේකට මුහුණ දෙන්න ඕනෑ කියලා අපේ ‘ප්ලෑන්’ එක දෙන්න ඕන. ජනයා සමග ඒ සංවාදය නැතිව ආණ්ඩුව තනියෙන් කොහොම කොහොම හරි රෝලක් ගහලා මේක බේරනවා කියන එක උත්තරය නොවෙයි. ඒකට යන්න පුළුවන් දුර බොහොම කෙටියි. ඒක වැරදි ප්‍රවේශයක්.   


• අයි.එම්.එෆ්. යනවද නැද්ද කියලවත් තවම තීරණයක් නෑ. ලෙඩා මැරෙනකම්ද බලාගෙන ඉන්නේ?   


අයි.එම්.එෆ්. යනවද නැද්ද කියන එක අතුරු කාරණයක්. අයි.එම්.එෆ්. යනවා කියන එක සිරිපාදේ වැන්දා වගේ නෙවෙයිනේ. අයි.එම්.එෆ්. ගියා කියලා ප්‍රශ්න ඔක්කොම විසඳෙන්නේ නෑ. ඕන්නම් ගිහින් සාකච්ඡා කරලා බලන්න පුළුවන්. අපට නොගැලපෙන කොන්දේසි තියෙනවා නම් අපට ඉවත් වෙන්න පුළුවන්. මම කියන්නේ අයි.එම්.එෆ්. යනවද නොයනවද කියන එක නොවේ. ඒක එක කෑල්ලක් විතරයි. ඉතුරු සමස්ත තත්ත්වය ගැන රටත් එක්ක ඇත්ත කතා කරන්න ඕනෑ. කෝ... මේ රටත් එක්ක මේ අර්බුදය ගැන මුකුත් කතාවක් නෑනේ. රටේ මිනිස්සු රුපියල් වලින් එදිනෙදා ජිවිතය ගෙවනවා. ජනතාව පරිභෝජනය අඩු කරලත් නෑ. දැන් වෙනදට වඩා ඇඳුම් විකිණෙනවා ෂොපින් මෝල්වල. එතකොට මේ පරිභෝජනය වැඩි කරන්න ඕන වෙලාවක්ද? රටේ ජනයාගේ ආකල්ප වෙනස් කරලා. පොදුවේ මේ අර්බුදය ජය ගන්න පුළුවන් තැනකට ගේන්න ඕනෑ. නමුත් එහෙම සංවාදයක් නෑ. ආණ්ඩුව වෙනම හිතනවා ‘අපිට මේක බේරගන්න පුළුවන්’ කියලා.   


• ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දරට ඔබ දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා. ඔහු ඉල්ලා අස්වුණා. දැන් තත්ත්වය වෙනස් වෙලාද?   


ඔව්. කොඩිවිනයක්නේ එතැන තිබුණේ. ඒ කොඩිවිනය කැපුවම ඒකෙ යහපත ජනාධිපති ලේකම් කාර්යාලයට තමයි දැනෙන්නේ?   


• ජනතාව සමග මේ අර්බුදය සම්බන්ධයෙන් සංවාදයක් නෑ කියලා ඔබ කිව්වා. ඇයි ආණ්ඩුවට ඒක කර ගන්න බැරිවුණේ?   


ඒක මේ ආණ්ඩුවේ තියෙන ප්‍රධානම දුර්වලකමක්. ඇයි බැරි වුණේ කියන එකට උත්තර හොයන්නත් ඕනෑ. එහෙම බැරිවෙන්න බෑනේ. මේවගේ තත්ත්වයකදී රට පාලනය කරන්න බාර ගත්තා නම් අපි ඒ තත්ත්වය රටේ අයිතිකරුවා මහජනයානේ. අපි මේ තාවකාලික බාරකරුවොනේ. තාවකාලික බාරකරුවා මේ තියෙන තත්ත්වයේ ඇත්ත කියන්න එපැයි අයිතිකාරයට. අයිතිකාරයට කොලේ වහලා යන්න බෑනේ. මට තේරෙන්නේ නෑ ඇයි අපි මේකෙදී විවෘත වෙන්නේ නැත්තේ. ඇයි අපි මේකෙදී අවංක වෙන්නේ නැත්තේ. ඇයි අපි ජනයා බද්ධ කර ගත්තු උපාය මාර්ගයක් ඔස්සේ මුහුණ දෙන්නේ නැත්තේ ඇයි කියලා. ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නය.   


• කැබිනට් එකේදි ඔබ මේ ප්‍රශ්න ගැන කතා කළාද?   


කැබිනට් එකේදී මම විතරක් නොවෙයි අපේ සමහර ඇමැතිවරු නිතර නිතර සාකච්ඡා කරනවා. මේකේ බැරෑරුම් කම ගැන අදහස් පළ කරනවා. මේකට මීට වඩා ‘සීරියස්’ වෙන්න ඕනෑ කියනවා.


• ප්‍රතිඵලයක් නෑ?   


කතා කරලා ඒක එහෙමම ඉවර වෙනවා. 

 
• හැට නව ලක්ෂයකගේ වරම ඔබේ ආණ්ඩුවට ලැබුණ. ඒ ජනවරමට මොකද වුණේ.   


හැට නව ලක්ෂයේ ජන වරම තවම තියෙනවා. ජනවරම නැත්​තේ නෑ. ඒ ජනවරමට අනුව රට පාලනය කරන එකනේ පාලකයන්ට බාරවෙලා තියෙන්නේ. ජන වරම නිර්මාණය වුණා.   


• නමුත් ආණ්ඩුවට නොබනින ගෙයක් සොයා ගැනීම නොමළ ගෙයකින් අබ මිටක් සොයා ගැනීමක් වගෙයි.   


මෙහෙමයි. ජනවරම නිර්මාණය වුණා. ඒත් ඒ හැම දෙනාම ආණ්ඩුව දිහා සතුටෙන් බලනවද කියලා ඇහුවොත් ඕව්! කොටසක් අසතුටට පත්වෙලා තියෙනවා.   


• මේ අර්බුදයට ඔබ යෝජනා කරන විසඳුම මොකද්ද?   


ආර්ථික අර්බුදයට උත්තරය වෙන්නේ මහජනයයි රජයයි එකට බැඳුණු උපාය මාර්ගයකින් මේකට මුහුණදීම. එතැනදී දුෂ්කරතා ටිකත් ඔක්කොම එකට දරාගන්න ඕනෑ. රජයත් දරා ගන්න ඕනෑ. මහ ජනයත් දරා ගන්න ඕනෑ. අභියෝගය ජය ගන්න පුළුවන් වෙන්නෙ එහෙම කළොත් පමණයි. එහෙම සාමූහික මැදිහත්වීමක් විතරයි මේකට දැන් ඉතුරුවෙලා තියෙන්නේ. කවුරුහරි හිතාගෙන ඉන්නවානම් ඩොලර් බිලියන පහක් විතර ගහකින් වැටෙයි කියලා.... ඉතින් එහෙම වැටෙන්නේ නැහැනේ... එහෙම වැටුණොත් දැන් තියෙන අර්බුදය යම්කිසි කලකට යම්කිසි දුරකට සමහන් කර ගන්න පුළුවන්. එහෙම නොවේ නම් තියෙන්නේ අර මට මුලින් කියපු සාමූහික ප්‍රයත්නය.   


• ආණ්ඩු විරෝධය ඇවිළෙමින් යනවා. විපක්ෂය ආණ්ඩු පිහිටුවන්නත් ලෑස්ති වෙනවා. ආණ්ඩුවේ උත්තරය කුණු බිත්තර ප්‍රහාර එල්ල කිරීමයි. 

 

 
බිත්තර ප්‍රහාරය කවුරු කරපු ගොං වැඩක්ද කියලා මම නම් දන්නේ නෑ. කවුරු කළත් ඒක ජවිපෙ විසින් තමන්ටම කර ගත්ත දෙයක් නොවේ නම් වෙනත් පාර්ශ්වයක් කරපු දෙයක් නම් ඒ කරපු අයගේ මොළේ පරීක්ෂා කරවන්න ඕනෑ.   


• අර්බුද වගුරක ගිලී සිටින ජනයට සුබවාදීව හිතන්නවත් පුළුවන් දවසක් කොයි කලකින් උදාවෙයිද?   


මෙහෙමයි, ඉතිහාසයෙ අපේ රට විතරක් නොවෙයි ඕනෑම රටක් දුෂ්කර කාල පරිච්ඡේදවලට මුහුණ දෙනවා. අපේ රටේ ඉතිහාසයේ මේ දුෂ්කර කාල පරිච්ඡේදයට මුහුණ දෙන්නේ අද. මේක නවතම අර්බුදයක්. නායකත්වය කියන්නේ එහෙම අභියෝගයක් ආවම ඕක ජයග්‍රහණය කරවලා පෙන්වන එක. හොඳට හැමදේම යන කාලෙක නායකත්වය ගැන විශේෂත්වයක් ඇති වෙන්නේ නැහැනේ. යුද්ධය තිබුණ. ඒක ඉවර කරපු නිසානේ මහින්ද රාජපක්ෂ ඒ චැලෙන්ජ් එක ජය ගත්ත කෙනා බවට ඉතිහාසගත වුණේ. ඒ නිසා මේ වගේ අර්බුදයකදී රටක් පාලනය කරනවා කියන්නේ මේ අර්බුදය හොඳින් තේරුම් අරගෙන, මහජනයා සමගත් මේ අර්බුදයෙ ගැඹුර - පරිමාව සාකච්ඡා කරලා මේකට නායකත්වය දීලා මේ අර්බුදයෙන් ගොඩ එන මාවතට රට යොමු කරන එක.   


• නමුත් නොවෙන්නෙත් ඒකමයි?   


අර මම කියපු කාරණාවත් එක්ක බැලුවම මේ වගේ රටක මේ වගේ අර්බුදයකදි තිබෙන පාලනයක් ඒ පෙන්විය යුතු දූරදර්ශීභාවය පෙන්විය යුතු උපාය මාර්ගික ඥානය ඒ හැටියටම පෙන්වන්නේ නෑ. ඒක මම දන්නේ නෑ. ඒක ආණ්ඩුව හැටියට තීන්දු තීරණ ගන්න හැමෝම ගැඹුරින් සිතා බැලිය යුතු තත්ත්වයක්. එහෙම නොවීම නිසා ඒකේ වාසිය විරුද්ධ පක්ෂයේ ඇතැමුන්ට ගිහින් තියෙනවා. ආණ්ඩුව තමන්ගේ බාහිර පෙනුම ගැන එතරම් සැලකිලිමත් නෑ. මිනිස්සු ඒ දිහා බලලා හිතන්නේ මොනවද කියන එක ගැන සැලකිල්ලක් නෑ. ඒ බාහිර පෙනුම ගැන සැලකිල්ල නැති නිසා ආණ්ඩුව ගැන කළකිරුණ කොටසක් ඉන්නවා. ඇත්තටම ගත්තොත් වෙන ආණ්ඩු එක්ක සන්සන්දනය කරලා බලද්දී දේශද්‍රෝහී රටට හතුරු දේවල් මේ ආණ්ඩුව කළා කියලා කාටවත් කියන්න බෑනේ. එහෙම වෙන්න ගිය එකක් දෙකන්නේ අපිත් මැදිහත්වෙලා වලක්වා ගෙන තියෙන්නෙ.   


• ගෝඨාභය රාජපක්ෂ අසමත් කියන එක දැන් සනාථ වෙලා.   


නෑ. කිසිසේත්ම නෑ. ගෝඨාභය රාජපක්ෂ කියන චරිතය මෙරට ජනයා තෝරා ගත්තේ සෘජු ශක්තිමත් තීන්දු තීරණ අරන් මහජනයා හිතපු ‘ස්මාර්ට් ගවර්න්මන්ට්’ කියන එක ලැබෙයි කියලා හිතාගෙන. ඒක මහජනයාගේ අපේක්ෂාවට සරිලන ආකාරයෙන්ම ලැබෙන්නේ නෑ. ඒකයි මෙතැන තියෙන ප්‍රශ්නය.   


• බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිකමට ගෙනාවේ ප්‍රතිහාර්යයක් පායි කියලා හිතාගෙන. එහෙම දෙයක් වෙලාද?   


වෙලා තියෙනවා නම් ඔයගොල්ලන්ටත් පේන්න එපැයි. මගෙන් අහන්නේ.   


• ඔය ඔබ කියන අසමත් ආණ්ඩුව තුළ ඔබ තවදුරටත් ඉන්නවද යනවද?   


මෙහෙමයි. මේ ආණ්ඩුවේ අපි ඉන්නේ ජනවරමට අනුකූලව ගමන යනතාක් පමණයි. අභ්‍යන්තර විසංවාද අපට තියෙන්න පුළුවන්. එහෙම නැතිව ආණ්ඩුවත් එක්ක තීරණාත්මක ගැටුමක් අපට නෑ. හැබැයි ජන වරමට පටහැනි ගමනක් යනවා නම් එහෙම ආණ්ඩුවත් එක්ක ඉන්න අපට ඕනෑකමකුත් නෑ.

 

 

 

 

සාකච්ඡා කළේ :
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්