අතින් පයින් ගහන සංස්කෘතියක් අපි පාර්ලිමේන්තුවේදී මෙතෙක් දැකලා තිබුණේ නෑ


සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී 

රංජිත් මද්දුම බණ්ඩාර

රටේ නව දේශපාලන පෙළගැසීම් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සමග කළ සාකච්ඡාවකි.


• සමගි ජනබලවේගය පහුගිය දවස්වල පාර්ලිමේන්තුව වර්ජනය කළා. ඇයි ඒ?   


ජනතාව අපිව පාර්ලිමේන්තුවට යැව්වේ ජනතාවගේ ප්‍රශ්න කතා කරන්න. පාර්ලිමේන්තුව කියන්නේ වාද විවාද කරන තැනක්. ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල්කඩ. වාද විවාද කරද්දී යම් යම් වචන හුවමාරු වෙනවා. නමුත් පාර්ලිමේන්තුව ඇතුළේ මැර බලය, පාතාල බලය ක්‍රියාත්මක කරන තැනක් නොවෙයි. මනූෂ නානායක්කාර මන්ත්‍රීතුමා කතාවක් කළා. එතුමගේ කතාව නැවැත්තුවා. 


• ඒ කාලය ඉවර වෙච්ච නිසා?   


නමුත් පාර්ලිමේන්තු සම්ප්‍රද‌ායක් තියෙනවා ඒ තමයි කතාව අවසන් කරන්න ඉඩදීම. ඒකට ඕනෑ තරම් උද‌ාහරණ තියෙනවා. කතා කරන්න ඉඩ නොදීම ගැන මනූෂ නානායක්කාර මන්ත්‍රීතුමාත් හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමාත් කතානායකතුමත් එක්ක සාකච්ඡා කළා. ඒ වෙලාවේ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා ඇතුළු කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ඉඳන් විපක්ෂයට ඇවිත් තල්ලු කරලා ගහන්න ගියා.   


• ගහන්න ගිය කියන කතාව ආණ්ඩු පක්ෂය ප්‍රතික්ෂේප කරනවා? 

 
එහෙම ප්‍රතික්ෂේප කරනවා ඇති. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයෙ ඉඳලා විපක්ෂය පැත්තට එනවා කියන්නේ විපක්ෂයට ආවා කියන එකයි. ගහන්න ආපු එක අපි එච්චර සලකන්නේ නැතිව පහුවද‌ා මනූෂ නානායක්කාර මන්ත්‍රීතුමා කතා කරනකොට මන්ත්‍රී කෙනෙක් ප්‍රසිද්ධියේ කිව්වා ‘ගහනවා’ කියලා. ඒ අය විපක්ෂයේ ආලින්දයට ඇවිත් මන්ත්‍රීවරු 20 ක් විතර මනූෂ මන්ත්‍රීතුමාට ගහන්න රැකගෙන හිටියා. මනූෂ මන්ත්‍රීතුමා යන්තම් බේරුණේ පාර්ලිමේන්තුවේ සේවකයෙක් එතුමාව කතානායකුමාගේ දොරෙන් එළියට අරගෙන ගිය නිසයි.   


• මේ තත්ත්වය ඔබලා කතානායකතුමාට කිව්වේ නැද්ද?   


අපි කිව්වා. නමුත් කතානායකතුමා ස්වාධීනව වැඩ කළේ නෑ. අපි තීරණය කළා පාර්ලිමේන්තුව තුළ අපට ආරක්ෂාව නැත්නම්, මන්ත්‍රීවරුන්ට මේ විදියට පහර දෙන්න යනවා නම් පාර්ලිමේන්තුව වර්ජනය කරන්න.   


• මනූෂ නානායක්කාර කතානායකවරයාට දරුණු ලෙස බැණවැදුනා කියලත් කියනවා?   


සත්තකින්ම නෑ. පාර්ලිමේන්තුවේදී අපි කතානායකතුමාගෙන් ඇහුවා එහෙම සිද්ධියක් වුණා ද කියලා. එතුමා මුකුත් කිව්වෙ නෑ. ‘ඔව් කියලා කිව්වේ නෑ. ගයන්ත කරුණාතිලක මන්ත්‍රීතුමා හරි කවුරුහරි කෙනෙක් ඇහුවා ‘ඔබතුමාට තර්ජනය කළාද’ කියලා. එතුමා මුකුත් කිව්වේ නැහැ. ඒ නිසා ඒ කතාව බොරුවක්.

කතානායකතුමාට තර්ජනය කරන්න අවශ්‍ය නැහැනේ. වාග් ප්‍රහාර පාර්ලිමේන්තුව ඇතුළේ වෙන්න පුළුවන්. නමුත් අතින් පයින් ගහගන්න සංස්කෘතියක් අපි පාර්ලිමේන්තුව ඇතුළේ දැකලා නෑ.   


• මන්ත්‍රී මනූෂ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙලා රාජ්‍ය ඇමැතිවරයකුට පෞද්ගලික චරිත ඝාතනයක් කළා කියලා?   


ඔය කියන චරිත ඝාතනය ඉස්සෙල්ලාම ආවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකුගෙන්. මම ඒ වෙලා​වේ පාර්ලිමේන්තුවේ හිටියා. ආණ්ඩු පක්ෂයෙන් තමයි මුලින්ම චරිත ඝාතනය පටන් ගන්නේ. ඒ වගේ වෙලාවට කතානායකතුමාට පුළුවන් මැදිහත් වෙලා ඒවා හැන්සාඩ් එකෙන් අයින් කරන්න. නමුත් මෙතැන මැර බලය පාවිච්චි කරනවා නම් අපි කොහොමද පාර්ලිමේන්තු යන්නේ.   


• අද පාර්ලිමේන්තුවේ ගරුත්වය හෑල්ලු වෙලා. මන්ත්‍රීවරුන්ගේ දෙමාපියන්ට, බිරිඳට, දරුවන්ට අපහාස කරන තැනට පත්වෙලා?   


පාර්ලිමේන්තුවේ මට්ටම අඩුවෙලා කියලා මම පිළිගන්නවා. මේක කරන්නේ කවුද කියලා බලන්න ඕනෑ ඉස්සෙල්ලාම. පවුල්වල අයට ඉන්න දෙන්නේ නෑ. කාන්තා හිංසනය ඉතාම බරපතළයි. අර රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමියට ඉතාම නරක විදියට කතා කළා. එහෙම අපහාසයක් තරහාකාරයෙකුටවත් කරන්න බෑ. කතානායකතුමා ඒ මන්ත්‍රීවරයාට කිව්වා ‘ඒ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්න’ කියලා. එහෙම කළෙත් නෑ. ඔන්න අද පාර්ලිමේන්තුවේ තියෙන තත්ත්වය. මම එද‌ා පැහැදිලිවම දැක්කා. ඒ වෙලාවේ මම පාර්ලිමේන්තුවේ හිටියා. මනූෂ මන්ත්‍රීතුමාගෙ දරුවන් ගැන ඒ ගොල්ලෝ කතා කළා. එහෙම වුණාම ආවේගයක් ඇතිවෙනවා. මේ තත්ත්වයට පාර්ලිමේන්තුව පත් කිරීම සම්බන්ධයෙන් කතානායකතුමත් වග කියන්න ඕනෑ. අපි කොච්චර පැමිණිලි කළත් කතානායකතුමා පියවරක් ගත්තේ නෑ. මනූෂ නානායක්කාර මන්ත්‍රීතුමාගේ කතාවේදී කතානායකතුමා එතුමට වෙලාව දෙන්න ගියා. ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා නැගිටලා කියනවා ‘වෙලාව දෙන්න එපා’ කියලා. ජොන්ස්ටන් ප්‍රනාන්දු ද කතානායක. එහෙම නැත්නම් මහින්ද යාපා ද කතානායක? මේ ඉන්න කතානායකවරයා අනුන්ට ඕනෑ විදියට නැටවෙන රූකඩයක් වගෙයි පේන්නේ.   


• නිවාස අමාත්‍යාංශ​ෙය වැය ශීර්ෂය විවාදයට ගන්න තිබුණ යහපාලන රජයේ නිවාස ඇමැති සජිත් ප්‍රේමද‌ාස. ඒ යුගයේ වංචා දූෂණ ගැන ආණ්ඩුව කතා කරන නිසා තමයි ඔබලා ඒ දින දෙක වර්ජනය කළේ කියලා ආණ්ඩුව කියනවා?   


සජිත් ප්‍රේමද‌ාස මැතිතුමාට මේ අය නොයෙක් නොයෙක් චෝදනා කරනවා. ඒවා බොරු​ චෝදනා. සජිත් ප්‍රේමද‌ාස මැතිතුමා ගෙවල් හදලා තියෙනවා. ඔය කවුරුවත් කියන්නේ නෑ එතුමා හොරකම් කළා කියලා. පෝස්ටර් ගැහුවා, උත්සව තිබ්බා කියලනේ කියන්නේ. ඕවා ඇත්ත නම් ඇයි ඕවා හැමද‌ාම කිය කියා ඉන්නේ. හැමද‌ාම ඔය බොරු චෝදනා පාර්ලිමේන්තුවේ කියනවා. පරීක්ෂණයක් කරන්නකෝ. එතුමා වරදක් කරලා තියෙනවා නම් පරීක්ෂණයක් කරලා දඬුවම් කරන්නකෝ. ඒකටනේ ආණ්ඩුවක් තියෙන්නේ. පොලිසිය, රහස් පොලිසිය ඔක්කොම තියෙන්නේ ආණ්ඩුව යටතෙනේ. මේ ආයතන හරහා පරික්ෂා කරන්නේ නැතිව ඇයි හැමද‌ාම පරිභව කරන්නේ.   


• සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතා දක්වන කොට අගමැති මහින්ද එතැනට ආවා. අගමැතිවරයා මොකක්ද කිව්වේ.   


මම එතැන හිටියෙ නෑ. මන්ත්‍රීවරුන්ගෙන් මම පස්සේ ඇහුවා. මහින්ද රාජපක්ෂ මහත්තයා කියලා තිබෙන්නේ. ‘අපිත් ඒ කාලේ ඕවා කළා. හරි හරි ඔය විදියට කරගෙන යන්න’ කියලලු.   


• ඒ කියන්නේ විරෝධතාව ගණන් අරගෙනත් නෑ?   


එහෙම තමයි පේන්නේ?   


• සමගි ජනබලවේගය කල්ලිවලට කැඩිලා. ජනපති අපේක්ෂකයො බර ගණනක් ඉන්නවා. මෙහෙම ඉස්සරහට යන්න පුළුවන්ද?   


අනේ නෑ. අපේ එකම නායක සජිත් ප්‍රේමද‌ාස මැතිතුමයි. නායකයෝ වෙන්න ඉන්න අය සමගි ජනබලවේගය තුළ නෑ. ජනාධිපති අපේක්ෂකත්වය බලාපොරොත්තු වෙන අයත් නෑ. අපේ ජනාධිපති අපේක්ෂකයා අපේ පක්ෂයේ නායකයා විය යුතුයි. 2015 දී පිට අයට දීලා අපි හොඳට ප්‍රතිඵල භුක්ති වින්ද‌ා. එක්සත් ජාතික පක්ෂය නැත්තටම නැති වුණේ ඒ නිසා. අපි ජනාධිපතිවරණයට පිටින් අපේක්ෂකයෝ ආනයනය කරන්නේ නෑ. අපේ නායකයාට හොඳට ශක්තිය තියෙනවා. ඒකට සුදුසුකම් තියෙනවා. අපේ නායකයාට ඒකට හැකියාවකුත් තියෙනවා. 

 
• ඔබ කියනවා ‘ජනාධිපති අපේක්ෂකයා පක්ෂ නායකයා විය යුතුයි’ කියලා කියනවා. 2019 දී ඔය කතාව කිව්වේ නැත්​තේ ඇයි? පක්ෂ නායකයා රනිල්. නමුත් සජිත් ඕනැ කියලා ඔබලා සටන් කළා?   


පක්ෂ නායකයා ඒ වෙනකොට බොහොම අප්‍රසාදයට ලක්වෙලා හිටියේ. පක්ෂ නායකයා කිහිපවරක්ම ජනාධිපතිවරණවලදී මහ මැතිවරණවලදී ප්‍රතික්ෂේප වෙලා හිටියේ. ඒ නිසා තමයි පක්ෂයෙ බහුතරය ඉල්ලා සිටියේ සජිත් ප්‍රේමද‌ාස මැතිතුමා ජනාධිපති අපේක්ෂකයා කරන්න කියලා.   


• ඔබලා සන්ධානයක් හදනවා කිව්වා. නමුත් ඒක සජිත් කල් ද‌ානවා. පක්ෂ නායකයො ඉන්නේ කළකිරීමෙන්?   
නෑ කිසිම කළකිරීමක් නෑ. පක්ෂ කිහිපයක්ම දැනටමත් අපිත් එක්ක සන්ධානගත වෙලා ඉන්නේ. අවබෝධතා ගිවිසුම් මගිනුත් සන්ධානගත වෙලා ඉන්නවා. හෙළ උරුමය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, වතුකරයේ දෙමළ පක්ෂ, කොළඹ දෙමළ පක්ෂය ඒ විදියට සන්ධානගතවෙලා ඉන්නවා. ඉදිරියේදී තව තවත් පක්ෂ සන්ධානගත වේවි.   


• ඔබ කියපු චම්පික රණවකගේ හෙළ උරුමය වෙනම ගමනක් යන බව කියනවා. මේ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න ඔබටත් සිද්ධ වුණා?   


ඔව්. මම සාකච්ඡා කළා. ආණ්ඩුවට එරෙහිව සටනක් කරද්දී විවිධ සටන් පෙරමුණුවලින් යන්න ඕනෑ. ඉතින් චම්පික රණවක කියන්නෙත් ඒ විදියට ආණ්ඩුවට එරෙහි සටන් පෙරමුණක්. ඒ වගේම එතුමා සජිත් ප්‍රේමද‌ාස මැතිතුමාගේ නායකත්වය පිළිගන්නවා. ඒ නිසා එතැන කිසිම ප්‍රශ්නයක් නෑ.   


• සමගි ජනබලවේගය සමග ඉන්න හවුල්කාර පක්ෂ සජිත්ගේ නායකත්වය පිළිගන්නවද? ඔවුන් වෙනත් ගමනක් යන්න සූද‌ානම් බවත් කියැවෙනවා?   


සජිත්ගේ නායකත්වය පිළිගත්ත නිසානේ හවුලේ මැතිවරණයට තරග කළේ. රිෂාද් බදුර්දීන් මන්ත්‍රීතුමා එතුමාගේ පක්ෂයෙන් අයවැයට පක්ෂව ඡන්දෙ දුන්න මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පියවර ගන්නත් කටයුතු කරනවා.   


• ඔබේ කඳවුරේ ඉන්න මන්ත්‍රීවරුන් හසුරුවා ගන්නත් ඔබලාට බැරි වෙලා?   


ඒක අපේ පක්ෂයේ කටයුත්තක් නොවෙයිනේ. ඒක ඒ පක්ෂයේ ප්‍රශ්නයක්. ඒ ගැන අපි කතා කරන්න යන්නේ නෑ.   


ප්‍රශ්නය:- ආණ්ඩුවට එරෙහිව ගෙනා සටන්පාඨ එකින් එක ගිලිහෙනවා. ඔබලා කරන්නේ දෛනික සටන්? 

 
නෑ. මේ ආණ්ඩුව ගත්ත වැරැදි තීරණ නිසා මුළු රටම ප්‍රපාපතයට වැටිලා. බඩු මිල අරගෙන බලන්න. ආණ්ඩුවට පාලනය කරගන්න බැරි තරමට බඩු මිල වැඩිවෙලා. ගැසට් එකේ වටිනාකමක් නැතිවෙලා. එක පැත්තකින් හොරකම ජයටම කරනවා. සීනිවලින්, තෙල්වලින්, ඇන්ටිජන්වලින් පවා හොරකම් කරනවා. සුදු ලූණු බිකෙන් පවා හොරකම් කරනවා. ගොවිතැන විනාශ කළා, ඉවරයි. ආණ්ඩුව ගත්ත මෝඩ, උද්ධච්ඡ තීරණ නිසා ගොවියගෙ ආර්ථිකය නැත්තටම නැති වුණා. ආහාර නිෂ්පාදනය අන්තයටම වැටුණා. අනාගතයේදී සාගතයක් එන තත්ත්වයට පත්වෙලා. ගුරුවරු පාරට බැහැලා මාස ගණනක් උද්ඝෝෂණය කළා. අධ්‍යාපනය කඩාවට්ටලා ඉවරයි. ආණ්ඩුවට හරි විදියට ගෑස් ටිකවත් දීගන්න බැරිවෙලා. ගෑස් මිල දෙගුණයකින් වැඩි කරලත් හරි විදියට ගෑස් ටික දීගන්න බැරි වෙලා. ඒ වගේම ආණ්ඩුව අද කුණු කොල්ලයට මහජන දේපොළ විකුණනවා. ඉතිහාසයේ බිහිවෙච්ච අසාර්ථකම ආණ්ඩුවක්. සටන්පාඨ නැති වෙලා නෑ. ආණ්ඩුව දවස ගානේ අපට සටන් පාඨ හදලා දෙනවා.   


• ආණ්ඩුවේ වැරැදි පෙන්වලා බලය ගන්න බෑ. ඒකට වැඩපිළිවෙළක් අවශ්‍යයි කියලා සමගි ජනබලවේගයෙන්ම මතුවෙලා?

   
වැඩපිළිවෙළ අප සතුව තිබෙනවා. අපි තමයි පොහොර සටනට ලොකුම ද‌ායකත්වය දුන්නේ. කොළඹට ගොවීන් විශාල ප්‍රමාණයක් ගෙන්නුවා. ආණ්ඩුව බරපතළ විදියට භය වෙලා රටේ හැම නගරයකම මාර්ග බාධක ද‌ාලා උද්ඝෝෂණය අඩාළ කරන්න බැලුවා. නමුත් අපි සටන නැවැත්තුවේ නෑ. යෝධ උද්ඝෝෂණයක් කළා. උද්ඝෝෂණයෙන් සතියකට පස්සේ ආණ්ඩුව පොහොර තහනම අකුලා ගත්තා. ගුරුවරුන්ගේ අරගලයට අපි පූර්ණ වශයෙන් සහයෝගය දුන්නා. අපි ළඟ වැඩපිළිවෙළක් තියෙනවා. ඔබට ඒවා ඉදිරියේදී දැකගන්න පුළුවන්.   


• මන්ත්‍රීනි ඩයනා ගමගේ පක්ෂයෙන් නෙරපා හැරියා කියලා ඔබ කිව්වා. නමුත් ඩයනා ගමගේ කියනවා ‘පක්ෂයෙ නිල අයිතිය මගේ’ කියලා?   


එතුමිය එක එක දේවල් කියනවා. මැතිවරණ කොමසාරිස්තුමා පිළිඅරගෙන තියෙනවා පක්ෂයේ නායකයා කියලා. මම පක්ෂයේ ලේකම් කියලා පිළිඅරගෙන තියෙනවා. අපේ නිලධාරි මණ්ඩලය පිළිඅරගෙන තියෙනවා. ඔය කියන ඩයනා ගමගේ මන්ත්‍රීවරියක් වුණෙත් මගේ අත්සනින්. ඉස්සර අයිතිය තියෙන්න ඇති. දැන් ඒ අයිතිය කොහේද තියෙන්නේ? දැන් මේක තිස් ලක්ෂයක, හතළිස් ලක්ෂයක ජනතාවගේ පක්ෂයක්.   


• නමුත් මෙතැන තියෙන්නේ නීතිමය ප්‍රශ්නයක්?   


පක්ෂයේ නීත්‍යානුකූල අයිතිය සම්බන්ධයෙන් නීතිඥ මහත්මයකු ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා මේ පක්ෂයෙ නීත්‍යානුකූල අයිතිය අපිට කියලා.   


• ඔබේ පක්ෂයේ ඉදිරියෙන් ඉඳගෙන වැඩ කරපු තරුණ මන්ත්‍රීවරු කෝ? ඔවුන් ශබ්දයක්වත් නෑ?   


එහෙම නෑ. හැම කෙනෙක්ම හොඳින් වැඩ කරනවා. හැමෝටම අලුත් ජවයක් ලැබිලා තියෙනවා.   


• රූපවාහිනී වැඩසටහනකදී ඔබ මේ ප්‍රශ්නය මගඇරියා. නමුත් මට පිළිතුරක් අවශ්‍යයි. කවුද රත්නපුර දිස්ත්‍රික්කයේ සජබ නායකයා?   


දිස්ත්‍රික් නායකයා තෝරද්දි ජ්‍යෙෂ්ඨත්වය බලන්න ඕනැ. එයා පක්ෂයට කරලා තියෙන සේවය බලන්න ඕනැ. එයාගේ දක්ෂතාවයන් බලන්න ඕනැ. ශේෂා විතානගේ මන්ත්‍රීතුමත් කියනවා ‘අපේ දිස්ත්‍රික් නායකයා තලතා අතුකෝරළ මන්ත්‍රීතුමයි’ කියලා. 

 
• ඒක කියවගන්න සජිත් ප්‍රේමද‌ාසට හේෂා විතානගේ ගෙදරට යන්නත් වුණා?   


නෑ. හේෂා විතානගේ විහිදුම් බළකාය හද‌ාගෙන හොඳට වැඩ කරගෙන යනවා.   


• ඔබලා සමග එකතු වුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් පොකුරු පිටින් නැවත එජාපයට එකතු වෙනවා?   


නෑ. එකතු වෙනවා නොවෙයි. ඒ මන්ත්‍රීවරුන් ආවේ එක්සත් ජාතික පක්ෂයෙන්. ඒ මන්ත්‍රීවරු අපට ගොඩාක් උදව් කළා. නමුත් කැඳවන රැස්වීම්වලට නොගියොත් මන්ත්‍රීකම නැතිවෙනවනේ. ඉතින් අපි කියල තියෙනවා ‘ගිහිල්ලා පොඩ්ඩක් බලලා එන්න’ කියලා. ඔවුන්ගේ හිත තියෙන්නේ මෙතැන. අතන නිකම් නාමිකව ඉන්නවා, එච්චරයි.   


• ඉදිරි ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් ආවොත්?   


ඒ පොදු අපේක්ෂකයා අනිවාර්යයෙන්ම අපේ පක්ෂයේ නායක සජිත් ප්‍රේමද‌ාස මැතිතුමා විය යුතුමයි. වෙනත් විකල්ප නෑ.

 

සාකච්ඡා කළේ :
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්