මූල්‍ය අරමුදලේ කඩඉම පනින්න පුළුවන්ද?


පළාත් පාලන මැතිවරණය අවසන්වීමත් සමග රජය සිටින්නේ සුවිශාල කඩඉඩමක් අබියසය. ඒ රාජ්‍ය ආයතන 527 ක් තවදුරටත් රජයේ පාලනය යටතේ නොපවත්වා තම වියදම් තමාම සොයා ගන්නට යෝජනා කෙරෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශය ක්‍රියාත්මක කිරීමේ භාරදූර කටයුත්තෙහිය. මෙම යෝජනාව අනුව තම වියදම් තමාම සොයාගැනීම යන අර්ථයෙන් දැක්වෙන්නේ එම ආයතන රජයේ පාලනයෙන් ඉවත් කිරීම හැර අන්දෙයක් නොවේ. විදුලිබල මණ්ඩලයේ වියදම් කළමනාකරණය කිරීම උදෙසා විදුලිබිල සියයට හතළිහකින්වත් ඉහළ දැමීම, ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇතුළු පාඩු ලබන රාජ්‍ය ආයතනවල වියදම් රජයෙන් ලබා නොදී එම ආයතනවලටම සොයා ගැනීමට බලකිරීම මූල්‍ය අරමුදල නිර්දේශ කර ඇත. මැතිවරණ සමයේ අසීරුවෙන් කල් දමාගත් මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රජයට දැන් සිදුවනු ඇත.

මෙම වසරේ ජනවාරි 17 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ විදුලි බිල සියයට විස්සකින් පහළ දැමීමට වත්මන් රජය පියවර ගත් බවද අමතක කළ නොහැකිය. වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධාන පොරොන්දුවක් වූයේ තමා බලයට පත්වුවහොත් විදුලි බිල වහාම ක්‍රියාත්මක වන පරිදි සියයට 30 කින් අඩු කරන බවය. විදුලි බිල සියයට 20 කින් අඩුවූයේ එම පොරොන්දුව අනුවය. මෙම මිල අඩුකිරීම මූල්‍ය අරමුදලේ එකඟතාව කඩකිරීමකි. මූලය අරමුදල මෙරටට ලබාදෙන සිව්වැනි වාරිකය ලබාදීම කල්දැමුවේ විදුලි බිල වහාම පිරිවැය පියවා ගැනීමේ මට්ටමට ගෙන ආයුතු බව පවසමිනි. දැන් ප්‍රශ්නය ඇත්තේ රජය මූල්‍ය අරමුදල පවසන නියමයන් ඉටු කරන්නේද නැතිනම් එම අරමුදල සමග ඇති ගිවිසුමෙන් ඉවත් වන්නේද යන්න පිළිබඳවය.

විදුලිය, රාජ්‍ය බැංකු, ප්‍රවාහන ආයතන ඇතුළු රාජ්‍ය ආයතන රජය යටතේ තවදුරටත් තිබිය යුතු වන්නේ නම් ජනතා බදු මුදලින් එම ආයතනවලට පොම්ප කරන මුදල් ප්‍රමාණය අඩු කළ යුතුය.

විදුලිබල ඇමැතිවරුන්ගේ ප්‍රකාශ සැම විටම ජනතාවගේ විහිළුවට ලක් විය. එක්දහස් නවසිය හැත්තෑ තුන වසර වන විට විදුලි බලය නිපදවූයේ ජල විදුලියෙන් පමණකි. එකල තාප බලාගාර තිබුණේ නැත. හැත්තෑ ගණන්වල පමණක් නොව මහවැලි මහ ජලාශ ඉදිවෙමින් පැවැති එක්දහස් නවසිය අසූ ගණන්වලත් කුඩා පෑවිල්ලකිනුත් විදුලි සැපයුමට බලපෑම් සිදුවුණේය. නිරතුරුවම පැය තුන හතර විදුලිය කප්පාදු සිදුවිය. විපක්ෂය මේ ගැන රජයට දොස් කියද්දී විදුලිය බලය භාර ඇමැතිවරු කටට ආ දෙයක් කියා ඇඟ බේරා ගත්හ. එවැනි විදුලිය කප්පාදුවකදී විදුලිබල ඇමැති මෛත්‍රිපාල සේනානායක මෙවැනි කතාවක් කීවේය.

විදුලිබලය ලබාදෙන්නේ ගෙවල්වල සිට පත්තර කියවීමට නොව ගම්බද පළාත්වල සුළු කර්මාන්ත ඇති කිරීමටයි. තම අමාත්‍යාංශය විදුලිය බලමණ්ඩලය පවත්වාගෙන යන්නේ වාණිජ ව්‍යාපාරයක් වශයෙන්. අපි රුපියල් ලක්ෂ හැත්තෑහතක ආදායම් බදු භාණ්ඩාගාරයට ගෙවනවා....’ ඇමැතිවරයා කීවේය.

වාමාංශික මූලයකින් යුතු 1970-77 සමගි පෙරමුණු රජයේ විදුලිබල ඇමැතිවරයා පැවසූ එම ප්‍රකාශය විදුලිය බලය රට පුරාම පැතිර නොතිබූ එකලට වඩා වඩාත් ගැළපෙන්නේ අදටය. එදා විදුලිබල ඇමැති සේනානායක පැවසූ පරිදි විදුලිබල අමාත්‍යාංශය යටතේ විදුලිබල මණ්ඩලය පවත්වාගෙන යන්නේ වාණිජ ව්‍යාපාරයක් වශයෙනි.

විශාල වියදමක් දරා උත්පාදනය කරන විදුලිය ජනතාවට විකිණිය යුත්තේ සහනාධාරයක් වශයෙන් නොව වාණිජ ව්‍යාපාරයක් වශයෙන් බව ඇමැතිවරයාගේ ප්‍රකාශයේ හරය ය.

එම ප්‍රකාශය අදට වඩාත් ගැළපෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද මේ වන විට එදා මෛත්‍රීපාල සේනානායකගේ අදහසම පවසා ඇති බැවිනි.

වාමාංශික මූලයකින් උපන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 1977 දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ආරම්භ කළ ආර්ථික ප්‍රතිපත්තිවලින් තොර ආර්ථික ක්‍රමවේදයක් රටට හඳුන්වා දෙනු ඇතැයි සමහරුන් විශ්වාස කළ ද එවැනි දෙයක් සිදුවන බව පෙනෙන්නට නැත. වසර හතළිස් හතක් තිස්සේ ක්‍රියාත්මක වූ විවෘත ආර්ථික රටාව වෙනස් කිරීම හෝ එයට සංශෝධන එකතු කිරීම බංකොලොත් වූ රට තවත් අවුල් ජාලයකට පත්කිරීමට හේතු වෙතැයි වත්මන් ජනාධිපතිවරයා සහ ඔහුගේ කණ්ඩායම කල්පනා කරන ආකාරයක් පෙනී යයි. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ පිළිබඳ ඒ ඒ දේශපාලන පක්ෂවලට කවර විරෝධතා තිබුණත් ඔහු ආරම්භ කළ විවෘත ආර්ථික වැඩපිළිවෙළට මේ වන විට වසර හතළිස් හතක් ගෙවී ඇත. සමස්ත ආර්ථිකයම ගැට ගැසී ඇත්තේ විවෘත ආර්ථිකයත් සමගය. ඒ නිසා දේශපාලනයේ කවර ප්‍රතිවිරෝධතා තිබුණත් මෙරට දැන් ගමන් කරමින් සිටින විවෘත ආර්ථික මාවත වෙනස් කිරීම ආර්ථික අර්බුද ගණනාවකට හේතු වන බැවින් ජාතික ජනබලවේග ආණ්ඩුව ජේ.ආර්. විසින් බිහිකරන ලද මාවතේ ගමන් කිරීම ධෛර්යවත් කළ යුතුය. මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව විශ්වාස කරමින් පසුගිය රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ඇරඹූ ආර්ථික ප්‍රතිසංස්කරණවල වත්මන් රජය ද නියුතුව සිටීම අගය කළ යුතු වන්නේද එම පදනමිනි. විපක්ෂයේ සිටියදී පැවැති ආණ්ඩුවල සියලු කටයුතුවලට විරුද්ධ වූ වත්මන් ජාතික ජනබලවේග රජය ආණ්ඩු බලය ලැබුණු පසු ආර්ථිකයේ සැබෑ තත්ත්වය තේරුම් ගෙන ඇත. ආර්ථික ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව රජය තේරුම් ගෙන ඇති බැවින් ජනතාව රජය වෙනුවෙන් පෙනී සිටීම අවශ්‍යය.

ලාංකිකයන් සෑම විටම ජාත්‍යන්තර ණය දෙන ආයතන දෙස බලන්නේ රජයෙන් තමන්ට ලැබෙන සහනාධාර කප්පාදු කරන්නට එන රකුසකු ලෙසය. එහෙත් එම මතය නිවැරදි නොවේ. පෞද්ගලික අංශය තම භාණ්ඩ පාඩු ලබමින් අලෙවි කරන්නේ නැති ආකාරයටම රජයද පාඩු ලබමින් යම් භාණ්ඩ හා සේවාවක් ලබාදිය යුතු නැත. 1977 පැවැති ශ්‍රීලනිපය ප්‍රමුඛ සමගි පෙරමුණු රජයද ලෝක බැංකුවේ උපදෙස් මත තම අයවැය ලේඛනය ඇතුළු ආර්ථික ක්‍රමය පවත්වාගෙන ගියේ ඔවුන්ගෙන් ලබාගන්නා ණය වෙනුවෙන් ඔවුන් ලබාදෙන නියෝග පිළිපැදිය යුතු බැවිනි.

ලාංකිකයන් සෑම විටම ජාත්‍යන්තර ණය දෙන ආයතන දෙස බලන්නේ රජයෙන් තමන්ට ලැබෙන සහනාධාර කප්පාදු කරන්නට එන රකුසකු ලෙසය. එහෙත් එම මතය නිවැරදි නොවේ. 

මීළඟට එන අයවැය ලෝක බැංකුවෙන්’ 1972 මැයි මස 9 වැනිදා ඇත්ත පුවත්පත එලෙස ප්‍රවෘත්තියක් පළකළේ ඒ වන විට ඇති වී තිබූ තත්ත්වය අනුවය. ලෝක බැංකුව නිර්දේශ කරන ආර්ථික පියවර ගැනීමට ලංකාණ්ඩුව ක්‍රියා කරතොත් පමණක් ලංකාව ඉල්ලා සිටින ආධාර ලබා දීමට ලෝක බැංකුව කැමැත්ත පළ කර තිබෙන බව ද එහි සඳහන් විය. සලාක ක්‍රමය යටතේ ඒ වන විට නොමිලේ ලබාදුන් සහල් සේරුවට මිලක් අය කිරීම, රුපියලේ අගය බාල්දු කිරීම, විදේශීය ව්‍යාපාරිකයන්ට මෙරට කර්මාන්ත ඇරඹීමට අවසර දීම හා එමගින් උපයන ලාභාංශ පිටරට ගෙන යාමට අවසර දීම හා මෙරට පෞද්ගලික ව්‍යාපාර ආරක්ෂා කිරීම එම නිර්දේශ වේ. මෙම බොහෝ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සමගි පෙරමුණු රජය තීන්දු කළේය. විදේශිකයන් සතුව තිබූ උඩරට වතු ජනසතු කිරීමෙන් පසු මෙරට පෞද්ගලික අංශයේ විශාල සමාගම් කිහිපයක් පවරා ගැනීමට ද රජය මුලින් තීන්දු කර තිබුණද ලෝක බැංකු නිර්දේශ මත එම පියවර අතහැර දැමිණි.

මෙරටට මුලින්ම පෞද්ගලීකරණය පැමිණියේ 1977 බලයට පත්වූ ජේ.ආර්. ජයවර්ධන රජය යටතේය. 1970 – 77 රජය සමයේ පෞද්ගලික අංශය යටපත් කර රාජ්‍ය අංශය ඉස්මතුකර තිබූ අතර එකී  කාලය  භාණ්ඩ අලෙවියට සම්බන්ධ රජයේ ආයතන හොර ගුහා බවට පත්විය. එම බොහෝ ආයතන පාඩු පිට පාඩු ලබමින් පැවතුණේය. පිටරටින් රෙදි ගෙන ඒම නතර කළ නිසා මෙරට බලවේග පෙහෙකම්හල් රෙදි විවීමේ යෙදී සිටියද එම රෙදිවලින් වැඩිපුරම වහනය වූයේ භූමිතෙල් සුවඳය. අමුද්‍රව්‍ය පිටරටින් ගෙන ඒමට සිදුවී තිබීම නිසා මෙම ආයතන පාඩු ලබමින් පැවතුණේය. ජේ.ආර්. බලයට පැමිණි වහාම ආර්ථිකය විවෘත කිරීමත් සමග පිටරටින් ආ නවීන රෙදි පෙරෙදි නිසා මෙරට බලවේග පෙහෙකම්හල් වැසී ගියේය. ජේ.ආර්.ගේ රජය මුලින්ම පෞද්ගලික අංශයට විකුණා දැම්මේ එම පෙහෙකම්හල් ටිකය. එජාප රජයේ අවසන් භාගය වූ ප්‍රේමදාස පාලන  සමයේ පාඩු ලබන රාජ්‍ය ආයතන විකුණා දැමීම සඳහා යොදා ගත්තේ ‘ජනතාකරණය’ යන ලේබලය ය. එකල විපක්ෂය වූ ශ්‍රීලනිපය ‘ජනතාකරණ’ ව්‍යාපෘතිය දැඩි ලෙස විවේචනය කළේ රාජ්‍ය සම්පත් පෞද්ගලික අංශයට විකුණා දමන බව පවසමිනි. එහෙත් එම පක්ෂය බලයට පැමිණි පසු රාජ්‍ය ආයතන ගණනාවක්ම පෞද්ගලිකකරණය කළ අතර ලාබ ලබමින් තිබූ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවද ඉන් එකක් විය. පෞද්ගලිකරණයට එරෙහිව එජාප රජය සමයේ නිරතුරුවම උද්ඝෝෂණය කළ සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ ද චන්ද්‍රිකා කුමාරතුංග රජය තුළ සිටිමින් චන්ද්‍රිකා රජය ක්‍රියාත්මක කළ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණ ව්‍යාපෘතියට සහාය ලබා දුන්නේය.

මෙරට පාලකයන්ට කිසිම දවසක ස්ථීර ප්‍රතිපත්තියක් තිබුණේ නැත. ආණ්ඩුවේ සියලු කටයුතු විපක්ෂයේ සිටියදී විවේචනය කරන ඔවුහු තමන්ට බලය ලැබුණු පසු පෙර විවේචනය කළ කටයුතු බදා වැලඳ ගනිති. 1979 දී පක්ෂයේ ප්‍රචාරක රැලියක් අමතමින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය නිදහසේ වෙළෙඳකලාප ගැන මෙසේ පැවසුවාය.

‘නිදහස් වෙළෙඳ කලාපය තුළින් අධිරාජ්‍යවාදී බටහිර කොම්පැණිකාරයන්ට මේ රට සූරා කන්නට රජය ඉඩදී ඇතැයි ද මීළඟ මහා මැතිවරණයෙන් තමන්ට බලය ලැබුණහොත් නිදහස් වෙළෙඳ කලාපය අහෝසි කරන්නේ යැයිද මැතිනිය පැවසුවාය.

නිදහස් වෙළෙඳ කලාපය යනු ජේ.ආර්. ගේ සංකල්පයක් වුවත් එහි රැකියාවල නියුතුව සිටින්නේ මෙර රැකියා විරහිතව සිටි තරුණ පරපුර බව එකල විපක්ෂයට තේරුණේ නැත. 1994 දී එජාප රජය ඇදවැටී ශ්‍රීලනිප ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණු රජය බලයට පත්වූ පසු මෙතෙර මෙන්ම එතෙරත් ජනමාධ්‍යයේ දැන්වීම් පළකරමින් රජය අයැද සිටියේ විදේශ ආයෝජකයන්ට මෙරටට පැමිණෙන ලෙසය. එදා විරුද්ධ වූ දෙයට බලය තමන් අතට ලැබුණු පසු ඔවුන් අනුගත වූයේ ඒ ආකාරයටය.

1977 එජාප රජය යටතේ ආරම්භ කළ ‘එයාර් ලංකා’ ගුවන් සමාගම 1980 වර්ෂයේ දී පමණක් ලැබූ පාඩුව රුපියල් දාහතර කෝටි පනස් ලක්ෂයකි. 1978 දී සිංගප්පූරු ගුවන් සමාගම ද හවුල් කරගෙන ‘එයාර් ලංකා’ නමින් නව ගුවන් සේවයක් ආරම්භ කළේ එවක ලංකා ආණ්ඩුව විසින් පවත්වාගෙන යනු ලැබූ ‘ලංකා ගුවන් සේවය’ (Air Ceylon) අවලංගු කිරීමෙනි. ‘ලංකා ගුවන් සේවය’ අහෝසි කර ‘එයාර් ලංකා’ අලුතෙන් ඇරඹීමට හේතු වශයෙන් රජය දැක්වූයේ පවතින ගුවන් සේවය පාඩු ලැබීමය. එම ගුවන් සේවය ජාත්‍යන්තර මට්ටමට නොගැළපෙන බව ද කියනු ලැබීය. ‘එයාර් ලංකා’ ආරම්භ කළේ පෙර කී දුර්වලතාවලින් තොර ගුවන් සේවයක් පවත්වාගෙන යාම සඳහාය. එහෙත් 1980 වසර වන විටත් එයාර් ලංකා ලාබ ඉපයූවේ නැත.

ප්‍රේමදාස රජය යටතේ 1992 දී එයාර් ලංකා සමාගම ඩොලර් කෝටි 70 ක ණය මුදලක් ලබාගත්තේය. එම ණය මුදලේ එවක වටිනාකම රුපියල් කෝටි දෙදහස් නවසිය හතළිහක් විය. එම මුදලින් එයාර්බස් යානා හයක් මිලදී ගත් අතර, එයාර් ලංකා සමාගම ඉන්පසු ජනතාකරණය කිරීමට නියමිත විය. යානා ලබාගත්තද ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ හදිසි අභාවයත් සමග සමාගම ජනතාකරණය කිරීමේ වැඩසටහන අවලංගු කෙරිණි.

විදුලිය, රාජ්‍ය බැංකු, ප්‍රවාහන ආයතන ඇතුළු රාජ්‍ය ආයතන රජය යටතේ තවදුරටත් තිබිය යුතු වන්නේ නම් ජනතා බදු මුදලින් එම ආයතනවලට පොම්ප කරන මුදල් ප්‍රමාණය අඩු කළ යුතුය. මෙම ආයතනවල සිටින අතිවිශාල ප්‍රමාණයක් වන රාජ්‍ය සේවකයන්ට වැටුප් දීම, අමුද්‍රව්‍ය සපයාගැනීම ආදී සියලු කටයුතු කළ යුතු වන්නේ එකී ආයතන සේවා සපයා උපයාගන්නා මුදලින් මිස ජාතික භාණ්ඩාගාරයෙන් නොවේ. මෙම ආයතන රජය යටතේ තිබිය යුතු නම් සේවක සංඛ්‍යාව අඩු කර සහනාධාර මත සේවා සැපයීම ද සීමා කළ යුතුය.

රජය මේ වන විට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ණය තුරුස් ගෙවීම සඳහා රුපියල් බිලියන විස්සක් වෙන්කර ඇති බවද සැලකිය යුතුය. ඒ වත්මන් රජයේ පළමු අයවැය යෝජනාවලියෙනි. රජය එසේ කටයුතු කළ ද අනෙක් අතට විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ පියවරක් ලෙස රනිල් වික්‍රමසිංහ රජය ගෙන ආ විදුලිබල මණ්ඩල සංශෝධන පනත ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇත. එම පනත මගින් විදුලිය නිපැයුම අංශ කීපයකට බෙදා මණ්ඩලය කොටස් කීපයකට වෙන්කර ඇත. එම පනතට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආශීර්වාදය ලැබුණු අතර, වත්මන් රජය ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇත්තේ එම පනතය. රජය බලයට ආ අලුතම රාජ්‍ය සම්පත් පිළිබඳව ආන්දෝලනාත්මක මතයක් ගොඩනැංවීම නතර කරගැනීම සඳහා එම පනත තාවකාලිකව පසෙකින් තැබුවා වන්නට ද පුළුවන. කෙසේ වෙතත් විදුලිබල මණ්ඩලයේ සහනාධාර මත විදුලි බිල සැකසීම නතර කර මූල්‍ය අරමුදල පවසන ආකාරයට කටයුතු කිරීම දීර්ඝකාලීන වශයෙන් රටට යහපතක් බව පැවැසිය යුතුය.

ප්‍රේමකීර්ති රණතුංග