වැලිකඩ ලොක්කෝ බේකරි කෑම හොරෙන් කාලා


(ජයන්ත සමරකෝන්)


වැලිකඩ බන්ධනාගාරයේ බේකරි නිෂ්පාදන අලෙවිසලේ තිබෙන ඇතැම් කෙටිකෑම වර්ග හොරපාරෙන් බන්ධනාගාර නිලධාරීන්ගේ නිල නිවාසවලට සැපයෙන බව බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි.


ඇතැම් නිලධාරීන්ගේ නිවාසවලට දිනපතාම පාහේ නොමිලේ කෙටි ආහාර වර්ග සැපයීමට සිදුවීම නිසා අලෙවිසලේ ආදායමට විශාල පාඩුවක් සිදුවන අතර එම පාඩුව පියවා ගැනීම සඳහා එම කෙටි ආහාර වර්ගවල මිල ඉහළ නැංවීමට පවා සිදුව තිබෙන බවද පැවසේ.


ඊට අමතරව එම කෙටි ආහාර නිෂ්පාදනයෙන් පසුව අලෙවිසලට යැවීමට පෙර ප්‍රමිතීන් පරීක්ෂාකිරීමට යැයි පවසමින් සාම්පල් තැටි 10 ක් පමණ නිලධාරින් වෙත යැවෙන බවද සඳහන් වේ. එම එක් සාම්පල් තැටියකට රුපියල් 300 ක පමණ වටිනාකමින් යුත් කෙටි ආහාර වර්ග ඇතුළත් වෙන බවද සඳහන් වේ.


සිරකරුවන්ට අවශ්‍ය පාන් බනිස් ආදිය බන්ධනාගාර බේකරිය මගින් සැපයෙන අතර ඇතැම් කෑම වර්ග විකිණීමෙන් ලැබෙන ආදායම රජයේ අරමුදලට බැරකිරීම ප්‍රතිපත්තිය වේ.