පෝදා අරක්කු විකුණූ ‘ආච්චි’ කොටුවෙයි


(මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා සහ කළුබෝවිල - පින්සිරි ආරියරත්න)


පොහොයදා වැඩිමිලට අලෙවි කිරීමට ගෙනා  මත්පැන් බෝතල් විසි තුනක් ළඟ තබාගත් බව කියන සැකකාරියක අඟුලාන සයුරුපුරදී (4) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 


බුද්ධි අංශ නිලධාරි 38928 බණ්ඩාර යන අයගෙන් ලද තොරතුරකට අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර අරක්කු කාලක් රුපියල් පන්සීය බැගින් ද බෝතලයක් රුපියල් දෙදහසකට අලෙවි කර ඇති බවද පොලිසිය පවසයි. 


වැඩිමහළු දරුවන් සිටින 63 හැවිරිදි සැකකාරිය පොහොය සහ නිවාඩු දිනයන්හිදී වැඩි මිලට මත්පැන් අලෙවි කිරීමේ ජාවාරමේ කලක සිට නිරත වී ඇති බවද පොලිසිය කියයි. 

සැකකාරිය අඟුලාන ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර මොරටුව දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


අඟුලාන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන් උපපොලිස් පරීක්ෂක අලහකෝන්, පොලිස් සැරයන්වරුන් වන 29272 කුමාරසිංහ, 31433 මංගල, කොස්තාපල්වරුන් වන 70256 සූරියගොඩ, 81934 අරුණ, 34592 හේරත්, 80786 ලක්මාල්,_කාන්තා පොලිස් කොස්තාපල් 8176 ටි්‍රලීෂියා යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.