නෑනා වෙනුවෙන් පෝස්ටර් ගැසූ සමෘද්ධි නිලධාරිණිය මාරු


( ජුඩ් සමන්ත)

තම නෑනාට ඡන්දය ලබා දෙන ලෙස ඉල්ලමින් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වූ බව කියන සමෘද්ධි සංවර්ධන නිලධාරිණියක වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කළ බව පුත්තලම දිසා ලේකම් සහ තේරීම් බාර නිලධාරී එන්.එච්.එම්.චිත්‍රානන්ද මහතා පවසයි.

ඒ අනුව අදාළ සමෘද්ධි සංවර්ධන නිලධාරිණිය පල්ලම ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයේ සිට පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ස්ථාන මාරු කර ඇත.

එම නිලධාරිණියගේ සහෝදරයාගේ බිරිඳ ආණමඩුව ප්‍රාදේශීය සභාව සදහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරග කරන අපේක්ෂිකාවක වන අතර තමා වෙනුවෙන් නෑනා ජයග්‍රහණය කර දෙන ලෙස එම නිලධාරිණිය මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් ප්‍රදේශය පුරා අලවා අලවා ඇත.මීට අමතරව අත්පත්‍රිකා ද බෙදා හැර තිබේ.

මේ සම්බන්ධයෙන් ගම්වාසීන් පල්ලම ප්‍රාදේශීය ලේකම්වරියට සහ පල්ලම පොලීසියට පැමිණිළි කර තිබිණි.

මැතිවරණයට පෝස්ටර් ප්‍රදර්ශනය කිරීම තහනම් බැවින් ඒ සම්බන්ධයෙන්ද මැතිවරණ දෙපාර්තමේන්තුව වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇත.