තුන්වන දිනටත් පාලිත තෙවරප්පෙරුම විරෝධතාවයේ


[බන්දු තඹවිට]
 
තම ආධාර කරුවෙකුට පහර දීම සහ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කළ  සන්ධානයේ අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සිය පුතුණුවන්ද සමඟ පසුගිය 09 වැනිදා  බුලත්සිංහල පොලිසිය හන්දියේදී ආරම්භ කළ විරෝධතාවයේ තුන්වන දිනටත් අද (11)   නියැලි සිටි. 
 
බුලත්සිංහල ප්‍රාදේශීය සභාවට මෙවර එක්සත් ජනතා සන්ධාන  ලැයිස්තුවෙන්  ඉදිරිපත් වී සිටින අපේක්ෂකයෙක් තම එජාප ආධාර කරුවෙකුට පහර දී නිවෙස් වලට ගොස් ඡන්ද දායකයන්ට බල කරමින් මැතිවරණ නීති උල්ලංගනය වන ආකාරයට කටයුතු කිරීම පිළිබඳව බුලත්සිංහල පොලිසියේ නිලධාරීන් එම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් එයට විරෝධය දක්වා තම ආධාර කරුවන් සමඟ මෙම විරෝධතාවය ආරම්භ කර තිබේ.
 
නියෝජ්‍ය අමාත්‍ය වරයා කැබ් රථයක් උඩ නැග මෙම විරෝධතාවයේ යෙදී සිටින අතර ඔහු අසල ඔහුගේ පුතුණුවන්ද සිටියි . පාලිත තෙවරප්පෙරුම මහතා කිසියම් ඉන්ධන ද්‍රව්‍යයක් ද තබාගෙන සිටිමින් පොලිසිය මෙම සිද්ධියට අදාල පුද්ගලයා ව අත් අඩංගුවට නොගත හොත් හෝ තමාව එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සාහ කළහොත් තමා ගිනි තබා ගන්නා බව ප්‍රකාශ කරමින් සිටී.
 
කළුතර කොට්ඨාශ භාර පොලිස් අධිකාරී උපුල් නිල්මිණි ආරියරත්න මහතා විරෝධතාව නවත්වා එම ස්ථානයෙන් ඉවත්වන ලෙස ඉල්ලා සිටියත් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගන්නා තෙක් තමා ඉවත්ව නොයන බව පාලිත තෙවරප්පෙරුම මහතා පවසා තිබේ.
 
මේ පිළිබඳව කළුතර කොට්ඨාශ භාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න මහතා පැවසුවේ මෙම සිදුවීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු සිටින බවත් ,ඔවුන්ගෙන් එක අයෙක් (10) වන දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති අතර ඉතා ඉක්මනින් ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි වනු ඇති බවත්ය.
 
නියෝජ්‍ය අමාත්‍ය වරයා අසල සුළු පිරිසක් රැදී  සිටියත් සවස් වන විට විශාල පිරිසක් බුලත්සිංහල ප්‍රධාන මාර්ගයේ  රැස්වී පාලිත තෙවරප්පෙරුම මහතාට සහයෝගය දැක්වූ අතර බුලත්සිංහල පොලිසියේ ස්ථානාධිපති වරයා ඇතුළු නිලධාරීන් මාරු කර යවන ලෙසද එම පිරිස ඉල්ලමින් උද්ඝෝෂණය කළේය.