ගාල්ල නාගරික ඉංජිනේරුවරයාට දේශපාලනඥයකුගෙන් බාධා


(සිරංගිකා ලොකුකරවිට)

ගාල්ල මහ නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයකු හා මෙවර ද අපේක්ෂකයකු වන පුද්ගලයකු තවත් පිරිසක් සමග පැමිණ තම රාජකාරියට බාධා කළ බවට ගාල්ල මහ නගර සභාවේ නාගරික ඉංජිනේරු ඩී.ජී.මානවඩු මහතා අද (18) ගාල්ල පොලිසියට හා ගාල්ල සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කර ඇත.

අනුමත සැලැස්මක් අනුව ඉදිකරන පුද්ගලික තාප්පයක් සම්බන්ධව ඇතිවූ ගැටලුකාරී තත්වයක් ගැන චෝදනා කරමින් හිටපු මන්ත්‍රීවරයා රාජකාරියට බාධාවන අයුරින් කටයුතු කළ බව මෙම පැමිණිල්ලේ සඳහන් වේ.

එම තාප්පය සම්බන්ධයෙන් නගර සභාවට ගම්වාසීන්ගෙන් පැමිණිලි ලැබී ඇති බවත් ඒ සම්බන්ධ මැනුමක් සිදුකිරීමට ද තීරණය කර තිබියදී හදිසියේම පිරිසක් සමග පැමිණි හිටපු මන්ත්‍රීවරයා තම රාජකාරියට බාධා කළ බවත් නාගරික ඉංජිනේරුවරයා සිය පැමිණිල්ලේ සටහන් කර ඇත.