
නායයාමෙන් මහගිරිදඹේ කොටස වැසි ඇති අයුරු
සිරිපා වාරය ආරම්භ වී ඇත. සිරිපා මළුවට පහළින් හැටන් මාර්ගය පැත්තේ සිදු වූ නායයාමක් නිසා හැටන් මාර්ගයෙන් සිරිපා කරුණා කිරීම ආරක්ෂිත ද යන්න සිරිපා කරුණා කරන්නට බලාපොරොත්තුව සිටින බැතිමතුන්ට ඇති ප්‍රධානම ගැටලුවයි.
සැබැවින්ම හැටන් පාර ඔස්සේ සිරිපා මළුව කරුණා කිරීම ආරක්ෂිත ද, සිරිපා මළුව ආසන්නයේ නායයාමක් සිදුව ඇද්ද, එහි තත්ත්වය කුමක් ද යන්න මුලින්ම සොයා බැලුවෙමු.
සමාජ මාධ්‍යයේ පළ වූ පුවතකින් බොහෝ දෙනෙක් කලබලයට පත් වූහ. “සමනොළ කන්දේ සිරිපා උඩමළුව ආසන්නයේ ප්‍රබල නායයාමක්” දුර සිට ගන්නා ලද සමනොළ කන්දේ නායගිය සලකුණක් සහිත ඡායාරූපයක් සහිත පෝස්ටුව අනන්‍යතාව සහිතව පළවී තිබුණේ ඡායාරූපය ගත් ස්ථානය සහ පුද්ගලයාගේ නම ද සහිතවය. මුලින් මෙය කෘත්‍රිම බුද්ධිය යොදා සකස් කළ ඡායාරූපයකැයි ද අදහස් පළවිය. මේ වනවිට සිරිපා මළුවට ගිය පිරිස ඉතා ස්වල්පයක් වූ නිසා ඒ තොරතුරේ සත්‍යතාව බොහෝ දෙනෙකුට ගැටලුවක් විය.
ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමි මාධ්‍ය මගින් රටට දැනුම් දුන්නේ සිරිපා මළුවේ තිබු කසළ “ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට” සමගාමීව ඉවත් කිරීම නිසා ඒවා වැස්සත් සමග පහළට ගලා ඇති බවය. සමාජ මාධ්‍යයේ කියන තරම් භයානක ලෙස එය සිදුව නැති බව උන් වහන්සේගේ ප්‍රකාශයේ සටහන් විය. ඒ නිසා සිරිපා වන්දනාවාරය සුපුරුදු ලෙස දෙසැම්බර් 04දාට යෙදුණ උඳුවප් පුන් පොහොය දින ආරම්භ විය.
පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ පිහිටි සමන්දේව මන්දිරයේ තැන්පත් කර තිබූ සුමන සමන් දේවරූප එළියට වැඩම කරවීම දෙසැම්බර් 02දා පස්වරූවේ සිදුවිය. එදින සිරිපා අඩවියේ මහගිරිදඹ ආසන්නයේ සිදුව තිබූ නායයාම ජාතික ගොඩනැගිලි හා පර්‌යේෂණ සංවිධානයේ නිරීක්ෂණයට බඳුන්වී අවසන්ව තිබුණි. හැටන් පාරෙන් බළන්ගොඩ වැඩම කරවා සුමන සමන් දේව ප්‍රතිමා මළුවට වැඩම කරවිය හැකි ලෙස හැටන් පාරේ නායයාම නිසා අවහිර වූ මහගිරිදඹ කොටසේ පස් සහ ගල් ඉවත් කරන ලදි.
ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් පැවසූ පරිදි එලෙස නායගොස් තිබුණේ වසර පනහකට අධික කාලයක් තිස්සේ එකතු වෙමින් තිබූ කසළ කන්දකි. සිරිපා උඩමළුවෙන් පහළට දැමූ පොලිතීන්, ප්ලාස්ටික් සහ නොදිරන අපද්‍රව්‍ය රැසක් කාලාන්තරයක් තිස්සේ එහි තිබූ බව නායගිය පස් කොටස්වලින් පෙනී ගියේය. ඒ කසළ සමග කන්දේ තිබු ගල් කිහිපයක් ද නායට ලක්ව පහළට පෙරළී මහගිරි දඹේ කොටසක් ද යටකරගෙන පහළට ගලාගෙන ඇවිත් තිබූ බව නිරීක්ෂණය විය. මහගිරිදඹේ ඉදිකිරීම්වලට පෙර සිරිපා කරුණා කළ ඉපැරණි යකඩ ඉණිමං කොටසක් ද යකඩ දම්වැල් කොටස් කිහිපයක් නායයාමෙන් පසු පසෙකින් දිස්විය.
ඇතිවී තිබෙන භූ අස්ථායිතාව ස්ථායි කිරීමට යෝජනා හයක් එය පරීක්ෂා කළ ජාතික ගොඩනැගිලි හා පර්‌යේෂණ සංවිධානය රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයාට ඉදිරිපත් කළේය.
අස්ථාවර වීම් සිදුව ඇති කොටසේ පවතින පඩි පෙළේ හානියට පත්කොටස කොන්ක්‍රීට් හෝ ගල් බැම්මක් යෙදා සකස් කළ යුතු අතර, එහිදී එහි පාදම මව් පාෂාණයට DOWEL මගින් සම්බන්ධ කළ යුතු බව පෙන්වා දෙයි. එසේම නාය යෑම සිදු වූ කොටසට තවදුරටත් ජලය ගලායාම වැළැක්වීම සඳහා පඩිපෙළේ දෙපසට පිහිටි පැත්තේ පැති බැම්මක් අවම මීලිමිටර් 300ක් පමණ උසකට ඉදිකළ යුතු බව ද නිර්දේශවල දැක්වේ.
අස්ථාවර තත්ත්වයේ ඇති පාෂාණ කොටස්වල පවතින සියලු කුස්තුර සිමෙන්ති මිශ්‍රණයක් යොදා හොඳින් වසා දැමිය යුතු යැයි ද ජාතික ගොඩනැගිලි හා පර්‌යේෂණ සංවිධානය සිය නිර්දේශවල සඳහන් කර තිබේ.
එසේම ප්‍රවේශ මාර්ගය හරහා තවදුරටත් සුන්බුන් ගලායාම වැළැක්වීම සඳහා එහි පහළ කලාපයේ පිහිටි මාර්ග කොටසෙහි දකුණු පසට වන්නට මිලිමිටර් 500 ක් පමණ උසැති පැති බැම්මක් ඉදි කළ යුතු යැයි ද නිර්දේශ කර ඇත.

නායයාම නිසා මතුව ඇති පැරණි යකඩ ඉණිමග සහ දම්වැල්
නායයාම ආරම්භ වූ කොටසේ පඩිපෙළට ඉහළින් වියනක් සේ රැඳී ඇති සියලු ශාක කොටස්, පඳුරු, පස් ප්‍රවේශමෙන් ඉවත් කර නාය යාම සිදුව ඇති කොටසේ දෙපස රැඳී පවතින අස්ථායී පඳුරුද ඉවත් කළ යුතු බව ද නිර්දේශ කරයි. ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කරන තුරු දැනට පවතින තත්වය යටතේ හැටන් පිවිසුම ඔස්සේ මෙම අස්ථාවර කලාපය හරහා බැතිමතුන් පිවිසීම සීමා කළ යුතු යැයි ද ජාතික ගොඩනැගිලි හා පර්‌යේෂණ සංවිධානයේ නිර්දේශයේ දැක්වේ.
මෙම ස්ථානය රාත්‍රී කාලයේ දී ආලෝකවත්ව තබා ගනිමින් භූමියේ ඇති වෙනස්කම් සම්බන්ධව අවධානය යොමු කිරීම අනිවාර්ය බව ද ස්ථානීය නිරීක්ෂණය කළ ගොඩනැඟිලි හා පර්‌යේෂණ සංවිධානයේ විශේෂඥයෝ අවධාරණය කරති.
ඔවුන්ගේ නිර්දේශ ක්‍රියාත්මක කළ පසු බැතිමතුන් සඳහා හැටන් මාර්ගයේ මෙම නාය යාමට ලක් වූ කොටසේ ඇති මහගිරිදඹ විවෘත කිරීම සුදුසු බව ද නිර්දේශවල දැක්වේ.
මේ තත්ත්වය නිසා හැටන් මාර්ගයෙන් සිරිපා කරුණා කළ නොහැකි ද යන්න බොහෝ බැතිමතුන්ට ඇති ගැටලුවකි. එහෙත් මේ නායයාම නිසා අස්ථායිව ඇත්තේ හැටන් පාරේ ඉඳිකටුපාණට ඉහළින් වූ ප්‍රදේශයකි. ඒ නිසා හැටන් මාර්ගයෙන් සිරිපා කරුණා කරන බැතිමතුන් ඉඳිකටුපාණෙන් ඉහළට කරුණා කිරීම සීමා කළ විට එම මාර්ගයේ ඉඳිකටුපාණේ සිට රත්නපුර පාරේ ආඬියාමළතැන්න දක්වා කන්ද හරහා යන්නට ඇති විකල්ප මාර්ගය ඔස්සේ පැමිණිය හැකිය. සාමාන්‍යයෙන් ඒ දුර කිලෝමීටර් තුන් කාලක් පමණ වෙයි. ආඬියාමළතැන්නේ සිට රත්නපුර පාරේ මහගිරිදඹ ඔස්සේ මළුවට කරුණාකර (ගමන්කර) සිරිපා පද්මය වැඳපුදාගත හැකිය. ඒ දුර ද කිලෝ මීටර් තුන් කාලක් පමණ වෙයි. මෙය බොහෝ විට ආඬියාමළතැන්නේ සිට රත්නපුර පාරේ මහගිරිදඹ කොටසේ අධික තදබදයක් ඇතිවීමට ද හේතුවක් විය හැකිය.
සිරිපා කරුණා කිරීමට මේ දිනවල යන බැතිමතුන්ගේ ප්‍රමාණය ඉතාම සිමිත ය. සිරිපා වාරය ආරම්භ කළ දෙසැම්බර් 04 දින මළුවට ගිය පිරිස හැරුණු විට පසුදා සිට මේ දක්වාම දිනකට පැමිණ ඇත්තේ සියදෙනෙකුට අඩු ප්‍රමාණයක් බව සිරිපා මළුවෙන් ලැබෙන තොරතුරු අනුව පොලිසිය පැවසුවේය. ඒ නිසා මේ දිනවල බැතිමතුන් පාලනය කිරීම පොලිසියට අපහසු නැත. හැටන් පාරේ ඉඳිකටුපාණේ සිට මළුවට ද කිලෝමීටරයක් පමණ ඇත. පහළ සම්මාදන් මව, ඉහළ සම්මාදන් මඩුව, මාතර කඩේ සහ ඇහැළ කණුව වෙළෙඳසල් හතරක් සිරිපා වන්දනා කාලයට හැටන් පාරේ ඉඳිකටුපාණට ඉහළින් විවෘතව පවතී.

හැටන් මාර්ගයෙන් දිනකට එන බැතිමතුන්ගේ ප්‍රමාණය විශාල ලෙස අඩුව ඇති බව එම මාර්ගයේ නල්ලතන්නිය සහ සිරිපා මාර්ගයේ තාවකාලික කඩවල වෙළෙන්දෝ කියති. ඊට බලපා ඇති හේතුවක් වන්නේ සමනොළ කන්දට යාබද කඳු කොටසක් නල්ලතන්නිය ප්‍රදේශයෙන් නාය යාමට ලක්වීමයි. තොණ්ඩමන් රථගාල නායයාම ඊට හොඳම උදාහරණයකි.
සිරිපා වන්දනාවට වැඩිපුර බැතිමතුන් එන්නේ ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාසවලදීය. හැටන් පාරෙන් මේ දිනවල එන බැතිමතුන්ගේ අඩුවක් ඇතිවන්නට උඩරට දුම්රිය ධාවනය නොවීම ද බලපා තිබිය හැකිය. කෙසේ වෙතත් හැටන් පාරේ ඉඳිකටුපාණෙන් ඉහළට නායයාම නිසා අස්ථායි වූ මහගිරිදඹේ කොටසින් ගමන් කිරීමට ඉදිරි දින කිහිපයෙහි බැතිමතුන්ට අවස්ථාව නොලැබෙන බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් කේ. එම්. ජී. නිශාන්ත පැවසුවේය.
“ජාතික ගොඩනැගිලි හා පර්‌යේෂණ සංවිධානය අපට දිපු නිර්දේශ යුද හමුදාවේ නිලධාරින් යොදවලා මහගිරිදඹේ අස්ථායිව ඇති කොටස ස්ථායි කිරීමේ කටයුතු ආරම්භ කළා. දැන් පහළ නල්ලතන්නියේ සිට ඒතැනට අවශ්‍ය භාණ්ඩ හමුදාවෙන් ගෙනියනවා. ගල්වැලි, සිමෙන්ති, යකඩ මේ හැමදේම නල්ලතන්නියේ ඉඳලා කරෙන් ගෙන යන්න ඕනෑ. හමුදාව දැන් ඒක පටන් ගත්තා. ඒ හින්දා එතන වැඩවලට බැතිමතුන් ගමන් කිරීම බාධාවක් වන නිසා හැටන් පාරෙන් එන බැතිමතුන් ඉඳිකටුපානෙන් රත්නපුර පාරේ ආඬියාමළතැන්නට ඇවිත් එතැන සිට රත්නපුර පාරේ මහගිරිදඹ ඔස්සේ මළුවට කරුණාකරලා ඒ මාර්ගයෙන්ම ආපහු යන්න පහසුකම් සලසලා තියනවා.” රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයා පැහැදිලි කළේය.
එම ස්ථායි කිරීමේ කටයුතු හැකි තරම් කෙටි කාලයක දී අවසන් කිරීම යුද හමුදා නිලධාරීන්ගේ බලා පොරොත්තුවයි. නමුත් පවතින අයහපත් කාලගුණය නිසා දින කිහිපයක් ප්‍රමාද විය හැකිය.
එසේත් නැත්නම් කුරුවිට, එරත්න මාර්ගයෙන් හෝ රත්නපුර ශ්‍රී පලාබද්දල මාර්ගයෙන් සිරිපා කරුණා කළ හැකිය. මේ මාර්ග දෙක තරමක් දුර වුවත් ස්වාභාවික පරිසරය විඳිමින් ගමන් කළ හැකි මාර්ග දෙකකි. එම මාර්ග දෙකෙන් ද කුරුවිට එරත්න පාර ජෛව විවිධත්වයෙන් අනූන පරිසර පද්ධතියක් ඇති මාර්ගයකි.
වෙනත් වසරවල සති අන්තයේ සහ සති අන්ත අතිරේක නිවාඩු ඇති විට සිරිපා කරුණා කරන්නට විශාල බැතිමතුන් ප්‍රමාණයක් පැමිණි බව අපි හැමෝම දනිමු. හැටන් පාරේ මහගිරිදඹ කොටස එකම හිස් ගොඩක් වූ සති අන්ත අපමණ විය.
ශ්‍රීපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින හිමියන් අවධාරණය කරන්නේ, බුදු රජාණන් වහන්සේ සහ සුමනසමන් දෙවියන් වෙනුවෙන් සිරිපා මළුවේ වතාවත් කිරීමේ වගකීම ශ්‍රීපාදස්ථානාධිපති හිමියන් වෙත පැවරී ඇති බවයි. තමන් වහන්සේ ඒ කාර්යය හරිහැටි මෙතෙක් කරගෙන ආ බවත් ඉදිරියටත් කළ යුතු බවත් පවසති. සිරිපා කරුණා කරන්නට එන බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම බලධාරීන්ගේ හා රජයේ වගකීමක් බවද උන්වහන්සේ කියති. ඒ සඳහා අනුගමනය කරන ක්‍රියාපිළිවෙත ගැන ගැටලුවක් නැති බව උන්වහන්සේ පෙන්වා දෙති.
සිරිපා වන්දනාවාරය අවසන් වන්නේ මැයි මස 30දාය. සිරිපා අඩවියට අධික වැසි ලැබෙන්නේ නිරිතදිග මෝසම් වැස්සෙනි. වසරේ මැයි මාසයේ මැදදී නිරිතදිග මෝසම් වැසි පටන් ගැනීම සාමාන්‍ය තත්ත්වයයි. ඊට අමතරව මාර්තු මාසයේ මැද සිට හෝ අග සිට අන්තර් මෝසම් වැසිද සිරිපා අඩවියට තදින් බලපායි. මැයි 30දා තෙක් සිරිපා වන්දනාවාරය නිසා මේ අන්තර් මෝසම් සහ නිරිතිදිග මෝසම් සමය ආරම්භයේ සිරිපා අඩවියට වැසි ඇදහැලිය හැකිය. මිලිමීටර් සියයට වැඩි වැසි ඇති වන්නේ මේ සමයේය.
අජිත්ලාල් ශාන්තඋදය

අස්ථායිවු මහගිරිදඹ කොටසින් මලුවට යන බැතිමතුන්

