
කසාවතින් සැරසී සන්සුන් ගමනින් පියවර තබමින් - ශ්‍රී ලංකාව, තායිලන්තය, නේපාලය, වියට්නාමය, ලාඕන් ඇතුළු රටවල් කීපයක බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසිදෙනකුගෙන් පමණ සමන්විත බෞද්ධ භික්ෂූන් වහන්සේලා කණ්ඩායමක් “සාමය උදෙසා” ඇමරිකාව හරහා වඩිමින් සිටිති.
හෙට ලෝකය අදට වඩා යහපත් තැනක් කිරීම මේ පා ගමනේ අරමුණය.
භික්ෂූන් වහන්සේලා මෙම සාම පා ගමන ඉකුත් ඔක්තෝබර් 26 දා ආරම්භ කළේ - සහජීවනය, දයාව සහ කරුණාව පෙරදැරි කර ගනිමින්, ඇමරිකාවේ ටෙක්සාස් ජනපදයේ ෆෝට්වර්ත් නුවර, “ඕං ඩාවෝ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ” සිටය.
මෙම සාම පා ගමනට නායකත්වය දෙන්නේ ඕං ඩාවෝ විපස්සනා භාවනා මධ්‍යස්ථානය සහ එම විහාරයේ වැඩවසන වියට්නාම් ජාතික පඤ්ඤාකාර හිමියන්ය. කිලෝමීටර් 4000 කට ආසන්න දුරක් ගෙවා වොෂින්ටන් අගනුවර බලා යන මේ සාම පා ගමනට උන්වහන්සේලා සමග තවත් කෙනෙක් එක්ව සිටී . ඔහු “ආලෝක” ය.
පඤ්ඤාකාර හිමියන්ගේ දෙපා අසල නිරතුරු ගැවසෙන, උන්වහන්සේට සෙවණැල්ලක් වුණු ආලෝක- බලු සුරතලෙකි. වසර කීපයකට පෙර ඉන්දියාවේ දඩාවතේ ගිය වීදි සුනඛයකු වූ ආලෝක අද ජීවත් වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේය. ඒ ඇමෙරිකානු පුරවැසියකු ලෙසය.
සාමයේ පා ගමනට දායක වන භික්ෂූන් වහන්සේලාට ආලෝක හමුවීමේ කතාව වසර කිහිපයක් ඈතට දිව යයි. එදා පඤ්ඤාකාර හිමියෝ ප්‍රමුඛ කණ්ඩායම ඉන්දියාවේ සිට නේපාලය දක්වා දින 112 ක් තිස්සේ කිලෝමීටර් 3,000 දුරක් සාම පා ගමනක නියැළෙමින් සිටියහ. භික්ෂූන් වහන්සේලා කල්කටා නුවරට වැඩම කළ අවස්ථාවේ දී, ඔවුන්ට මේ වීදි සුනඛයා හමුවී ඇත. දුටු පළමු මොහොතේ පටන් සුනඛයා පඤ්ඤාකාර හිමියන් අසල ගැවසෙන්නට විය. පඤ්ඤාකාර භික්ෂූන් වහන්සේගේ පමණක් නොව සාම පා ගමනට එක්වුණු සෙසු භික්ෂූන් වහන්සේලාගේ ත් ආදරය දිනාගැනීමට සුනඛයා සමත් වී ඇත. සුනඛයා ආලෝක යනුවෙන් නම් කළේ පඤ්ඤාකාර හිමියන්ය.
“මම යන්නේ කොහෙද ආලෝක මා එක්ක ඉන්නවා. ඒ බැඳීම පුදුමාකාරයි. මමත් සෙසු භික්ෂූන් වහන්සේලාත් සමග ආලෝකත් ගමනට එක් වුණා. දින ගණනක් නොකඩවා අප ගමන් කළා. අප ළඟ රසවත් ආහාර තිබුණේ නැහැ. පා ගමනේ දී අපට ලැබුණු දෙයින් කොටසක් අප ආලෝකට වෙන් කළා. කොතරම් වෙහෙසකර වුණත් ආලෝක අප හැර යන්නේ නැහැ. දන් වළඳද්දී ඔහු අප සමග සිටිනවා. සැතපෙද්දී, ආලෝක අප අසල නිදාගන්නවා. අප නේපාලය තෙක් වැඩම කළ පා ගමනට එයාත් එක්වුණු නිසා එයා ඉන්දියාවේ බොහොම ප්‍රසිද්ධ වුණා. සමාජ මාධ්‍ය ඔස්සේ පවා ආලෝක අද වන විට ප්‍රසිද්ධයි. ආලෝක වීදි සුනඛයකු ලෙස වසර ගණනක් දුක් ගැහැට විඳි සතෙක් බව අපට ඔහු හමුවන විට වැටහුණා. සිරුරේ ඇති තුවාල ඒකට හොඳ සාක්ෂියක් දරනවා. ආලෝක ඉන්නේ අසනීපෙන්. ඒත් අප සමග ගමන් කරන්නට යි ඔහුට ඕනෑ. වරක්, අප සමග යද්දී ආලෝක මෝටර් රථයක හැපුණා. බරපතළ විදියට තුවාල වුණා. අප හිතුවේ මැරුණා කියලයි. ඒත් එහෙම වුණේ නැහැ. සුවය ලැබුවා. අප අවශ්‍ය ප්‍රතිකාර කළා. ඊට පස්සේ පා ගමන යද්දී, මම වෙනම මෝටර් රථයක් ආලෝකට ලබා දුන්නා. පයින් යන්නේ නැතිව මෝටර් රථයෙන් එන්න ඉඩ සලසමින්. ඒත් එයා ඒකට කැමති වුණේ නැහැ. එයා මෝටර් රථයෙන් බිමට පැනලා අප සමග පයින් යන්න ගත්තා. ඉතිං මෝටර් රථය ආපහු යැව්වා. කොතරම් අමාරු වුණත්, වෙහෙසකර වුණත් එයාට ඕනෑ අප සමග පයින් යන්නයි. ආලෝකගේ ධෛර්යය, අපටත් ධෛර්යයක්, ශක්තියක්. කල්කටා සිට නේපාලය දක්වා පා ගමන අවසන් වෙද්දී, තව දුරටත් වීදි සුනඛයකු ලෙස ආලෝක වීදි සැරිසරනවා දකින්න මමත් අනෙක් භික්ෂූන් වහන්සේලාත් කැමති වුණේ නැහැ. ඒ නිසා මමත් අනෙක් භික්ෂූන් වහන්සේලාත් තීරණය කළා ආලෝක අපේ භාරයට ගන්න. අපි ආපසු ඇමෙරිකා එද්දී, ආලෝක අරන් ආවා. අප සමග අප පැමිණි ගුවන් යානයෙන්ම. ඒ සඳහා ලියවිලි සහ පෝරම රැසකට අපට අත්සන් කිරීමට සිද්ධ වුණා. කල්කටාවෙන් හමුවුණු වීදි සුනඛයා අප සමග ඇමෙරිකාවට පැමිණියේ ඇමෙරිකන් පුරවැසියකු හැටියටයි. ආලෝකට අප කවුරුත් ආදරෙයි. එයා අපට හරිම කීකරුයි. කියන දේ අහන හොඳ ගුණවත් සතෙක්. පිං ඇති සතෙක්. පිං කරන සතෙක්. වොෂින්ටන් බලා යන මේ පා ගමනට අපට පන්නරයක් වන්නේත් ආලෝක.” යැයි පඤ්ඤාකාර හිමියෝ පවසති.

ටෙක්සාස් ජනපදයේ ෆෝට්වර්ත් නුවර, ඕං ඩාවෝ විපස්සනා භාවනා මධ්‍යස්ථානය අයත් වන්නේ වියට්නාම බෞද්ධ විහාරයටය. ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු දෙසින් පිහිටි කැපී පෙනෙන බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස මෙය සැලකෙයි. වසර 26 ක් තිස්සේ ඕං ඩාවෝ විපස්සනා බෞද්ධ මධ්‍යස්ථානය ෆෝට් වර්ත් ප්‍රදේශයේ වෙසෙන වියට්නාම-ඇමරිකානු බෞද්ධ ප්‍රජාවට සේවය කරයි. එය දහම් අධ්‍යාපනය, භාවනා පුහුණුව සහ සංස්කෘතික ක්‍රියාකාරකම් සඳහා වැදගත් ස්ථානයක් ලෙස ක්‍රියාත්මක වේ. බුදු දහමේ හරය වන සාමය, මෛත්‍රිය සහ කරුණාව ව්‍යාප්ත කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. ටෙක්සාස් සිට වොෂින්ටන් අගනුවර තෙක් කිලෝ මීටර් 3,700 ක දුරක් වූ මේ චාරිකාව, විරෝධය පළ කිරීමක් හෝ පෙළපාළියක් හෝ නොවන බවත්, අස්ථාවර ලෝකයක අසංඛ්‍යාත ජීවිතවලට ආශීර්වාද ගෙන ඒමේ පා ගමනක් බවත්, ඕං ඩාවෝ විහාරයේ පූජ්‍ය තූන්හාන් භික්ෂූන් වහන්සේ පා ගමනට පෙර මාධ්‍ය හමුවක් පවත්වමින් පැහැදිලි කළහ. සාමය, එකමුතුකම සහ දයාව යළි යළිත් ලොවට පසක් කර දීමේ අරමුණ පෙරදැරි කර ගනිමින්, බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය ලොවට පසක් කරමින් ඇරැඹි පා ගමන ලබන වසරේ පෙබරවාරියේ ඇමෙරිකන් අගනුවර වන වොෂින්ටනයට ළඟාවීමට නියමිතය.
පා ගමනට සහභාගී වී සිටින භික්ෂූන් වහන්සේලා රාත්‍රියේ කඳවුරු බැඳ ඒවායේ රැඳී සිටිමින්, දිවා කාලයේ ගමනේ යෙදෙති. ඔවුහූ එක් වේලාවක දී දන් වළඳති. හූස්ටන්හි හොංකොං සිටි මෝල් සාප්පු සංකීර්ණය ආසන්නයට වැඩිය මේ භික්ෂූහූ එහිදී සෙනෙහසින් යුතුව පිළිගනු ලැබූහ. ප්‍රජා සාමාජිකයෝ උන්වහන්සේලාගේ ආශීර්වාද ලබා ගැනීමටත්, උතුම් ගමන සැමරීමටත් එක්ව සිටියහ. භික්ෂූන් වහන්සේලා, ඕං ඩාවෝ විපස්සනා බෞද්ධ මධ්‍යස්ථානයේ සිට හොංකොං සිටි මෝල් සාප්පු සංකීර්ණය දක්වා කිලෝමීටර 563 ක දුරක් වැඩම කර තිබුණි. “මේ කාර්යබහුල ලෝකයේ, සාමය ඇතිවන්නේ ඔබ මොහොතකට නතර වී, ඔබේ හුස්ම වෙත, එසේත් නැතිනම් ඔබ වෙත, ඔබේ අවධානය යොමු කරන්නේ නම් පමණයි. කිසිම ලෝක නායකයකුට රාජ්‍ය නිලධාරියකුට ලෝක සාමය ගෙනත් දෙන්න, නැතිනම් ලෝක සාමය උදා කරන්න බැහැ. අප එක් එක් පුද්ගලයා වශයෙන් අපගේ සිත් පිරිසිදු කර ගන්නේ නම්, ඉරිසියාව, වෛරය, ක්‍රෝධය අත් හරින්නේ නම්, අප සියලු දෙනා සන්සුන් වන්නේ නම්, අන්න එවිට සාමය උදා වේවි” යැයි පඤ්ඤාකාර හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා - හූස්ටන් හොංකොං සිටි මෝල් සාප්පු සංකීර්ණය ආසන්නයට රැස්වී ආශීර්වාද ලබාගත් ඇමෙරිකන් වියට්නාම වැසියන්ට පමණක් නොව, බෞද්ධ දර්ශනය ගැන උනන්දු වෙමින් එහි රැස්ව සිටි සුදු ජාතික ඇමෙරිකානුවන්ට ද පැහැදිලි කළහ. මෙහිදී සාම පා ගමනට එක් වී සිටින සෙසු වියට්නාම භික්ෂූන් වහන්සේලා ද අනුශාසනා පැවැත්වූ අතර, වියට්නාම බසින් ඒවා ඉංග්‍රීසියට පරිවර්තනය කර දීම සිදුවූයේ රැස්ව සිටි වියට්නාම වැසියන් නියෝජනය කළ ප්‍රජා නායකයන් කීප දෙනකු විසිනි. ටෙක්සාස් ජනපදයේ ඩිමොක්‍රටික් පක්ෂ නියෝජිත සුලෙයිමාන් ලලානි ද මෙහිදී සාම පා ගමන අගය කිරීමට අමතක ද කළේ නැත. ටෙක්සාස් ජනපදයේ හැරිස් ප්‍රාන්ත බලධාරී ලෙස්ලි බ්‍රියෝන්ස් භික්ෂූන් වහන්සේලා පිළිගැනීමට කටයුතු කළ අතර, ඔවුන්ගේ සාම පා ගමන වෙනුවෙන් මෙසේ අදහස් දැක්වීය. “මේ භික්ෂූන් වහන්සේලා බුදුන්ගේ නියෝජිතයන්, ඔවුන් පිළිපදින්නේ බුදුන්ගේ වදන්. කරුණාව සහ දයාව සැවොම අතර බෙදාගැනීමයි මේ පා ගමනේ අරමුණ.” සාම පා ගමන ඔස්ටින් නගරයට වැඩම කළ අවස්ථාවේදී එහි රැඳී සිටීමටත්, නගරයේ වැදගත් තැන් හරහා ගමන් කිරීමටත් සිදුවිය. ඒ පා ගමන කෙරෙහි ඇමෙරිකානුවන්ගේ අවධානය ඇති කිරීමේ අරමුණින්ය.

සාම පා ගමන ඇමෙරිකාවේ ජනපද පනහෙන් දහයක් හරහා ගමන් කරමින්, ඇමෙරිකාවේ පරිපාලන කටයුතු සිදුවන ෆෙඩරල් දිස්ත්‍රික්කය ලෙස සැලෙකන වොෂින්ටන් ඩී.සී. වෙත ළඟාවීම එහි අවසානයයි. භික්ෂූන් වහන්සේලාටත් සාම පා ගමනටත් සහාය දැක්වීමට පැමිණ සිටි එක් ඇමෙරිකන් වියට්නාම ජාතික කාන්තාවක වන්නේ කිම් හොෆ්මන්ය. ඇය පැමිණ සිටියේ ඇගේ දියණිය මේගන් හොෆ්මන් ද සමගය. “ලෝකයටම කෑ ගසන, හයියෙන්ම කතා කරන හෝ වඩාත්ම තීරණාත්මක පුද්ගලයා වීමට ඔබට අවශ්‍ය නැතැයි මම සිතනවා. නිහඬව ලෝක සාමය ප්‍රාර්ථනා කළ හැකියි. මේ ආකාරයට පා ගමනකින් ඒ ගැන ලෝකය දැනුවත් කළ හැකියි” යැයි කිම් හොෆ්මන් අදහස් දැක්වීමක් කළාය. “නිශ්ශබ්දව සිටිමින්, ඔවුන් කරන පරිදි ආදර්ශයෙන් පෙන්වීම ඉතා බලවත්” යැයි ද ඇය අවධාරණය කළාය. මේගන් හොෆ්මන් මෙසේ අදහස් දැක්වීමක් කළේ වත්මන් ඇමෙරිකන් ජනාධිපති රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් සිහි කරමිනි. ලෝක සාමය ගැන නිරන්තරයෙන් කතා කරන චරිතයක් වන්නේ ට්‍රම්ප්ය. ලෝක සාමය වෙනුවෙන් තමන්ට නොබෙල් සාම ත්‍යාගය හිමිවිය යුතු යැයි ද ට්‍රම්ප් පුරසාරම් දොඩයි. රැස්ව සිටි පිරිස භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් දානය පිළිගැන්වීමක් කළ අතර, ආලෝක වෙනුවෙන් ද විශේෂ ආහාර පිළියෙළ කර තිබුණි. භික්ෂූන් වහන්සේලාගෙන් සෙත් පිරිත් මධ්‍යයේ, රැස්ව සිටි පිරිස අතරේ ඇතැමුන් පඤ්ඤාකාර භික්ෂූන් වහන්සේ අසල වැතිර සිටි ආලෝක සුරතල් කිරීමට පවා අමතක කළේ නැත.
පා ගමනට එක්වුණු භික්ෂූන් වහන්සේලාට පසුගිය දා අකරතැබ්බයකට මුහුණ දීම කනගාටුවට කරුණකි. භික්ෂූන් වහන්සේලා මෙම අකරතැබ්බයට මුහුණ දුන්නේ- ඒ.යූ.එස්. 90 මාර්ගය සහ එස්.එච්. 99 මාර්ගය පසු කරද්දීය. භික්ෂූන් වහන්සේලා පිටුපසින් පැමිණි මෝටර් රථයක් උන්වහන්සේලා යට කර දැමීමට උත්සාහ ගත්තේය. මෙය හිතාමතා කළ වෛරී ක්‍රියාවක් ද? නැත්නම්, අනතුරක් ද? යන්න සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන පවත්වන බව ඩේටන් පොලිසිය පවසා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ඩේටන් පොලිසිය මෙසේ පවසා ඇත. ‘‘භික්ෂූන් වහන්සේලා මාර්ගයේ දකුණු පසින් ගමන් සිටියදී, උන් වහන්සේලා වෙනුවෙන් විශේෂ ආරක්ෂක රථයක්, උන්වහන්සේලා පසුපසින් ධාවනය වෙමින් තිබුණි. එම අවස්ථාවේ, වේගයෙන් ආ ට්‍රක් රථයක් එම ආරක්ෂක රථයේ ගැටී ඇත. ආරක්ෂක රථය පසෙකට තල්ලු වුණු අතර භික්ෂූන් වහන්සේලා ඊට යටවූහ. එයින් භික්ෂූන් වහන්සේලා දෙනමක් තුවාල ලැබූ බව පොලිසිය වැඩි දුරටත් පවසා ඇත. එක් අයකු බරපතළ ලෙස තුවාල ලැබූ බව ද පැවැසෙයි. උන්වහන්සේ ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටරයකින් රැගෙන ගියේය. අනෙක් භික්ෂූන් වහන්සේට සුළු තුවාල සිදුවී ඇති අතර, උන්වහන්සේ ගිලන් රථයකින් රෝහලට ගෙන යන ලදී.’’ “අපට මේ අකරතැබ්බය සිදුවුණේ පස්වරු 6.15 ට පමණ. එය හිතාමතා කළ ක්‍රියාවක් ද නැතිනම් අනතුරක් ද යන්න සොයා බැලීමට පොලිසිය කටයුතු කරනවා. අපගේ මේ පා ගමන උද්ඝෝෂණයක් නොවෙයි. විරෝධය පළ කිරීමක් නොවෙයි. සාමය ප්‍රාර්ථනා කිරීමක්. කාටවත් අපෙන් හානියක් වෙන්නේ නැහැ. සිදුවුණු මේ අකරතැබ්බය අප බාධාවක් කර ගන්නේ නැහැ. අපගේ සාම පා ගමන නොනවත්වා ඉදිරියට යනවා. ඒ වගේමයි ආලෝකත් අප සමග සිටිනවා. ඒක අපට තවත් ශක්තියක්.” යැයි ඕං ඩාවෝ විහාරස්ථානය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
මේ සියල්ල අතරේ අපූරු දෙයක් සිදුවෙමින් පවතී. බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ මේ පා ගමන සමාජ මාධ්‍ය හරහා ලෝකයේම අවධානය දිනා ගනිමින් තිබේ. ඒ හරහා බෞද්ධ දර්ශනය ගැන අලුතින් විමසන පිරිසක්ද එක්ව තිබීම විශේෂයකි. මේ ගමනට ‘ආලෝක ආලෝකයක් වී ඇති බව සමාජ මාධ්‍ය නිරීක්ෂණය කරන විට පෙනෙන දෙයකි. ඒ වැඩි දෙනෙකු ආලෝක ගැන දැනගන්නට පැමිණ අවසානයේ බෞද්ධ දර්ශනය ගැන සොයන්නට යොමුවන නිසාය.
ඇමෙරිකන් මාධ්‍ය ඇසුරිනි.
ලුසිත ජයමාන්න




