සහස්ධනවියෙන් ඕනෑම වේලාවක උපරිම බල ධාරිතාව දක්වා විදුලිය සැපයීමට හැකියි


-සහස්ධනවි සමාගමේ ව්‍යාපෘති ජ්‍යෙෂ්ඨ උපසභාපති මහේෂ් තිලකසිරි

බලශක්ති ඉල්ලු‍මට පිළිතුරක් ලෙස ජාතික විදුලි බල පද්ධතියට එක් වීමට නියමිතව තිබෙන සහස්ධනවි බලාගාරය පිළිබඳව මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ. 2028 වන විට විදුලි පද්ධතියට එක් කිරීමට සැලසුම් කර ඇති මෙම බලාගාරයේ වත්මන් තත්ත්වය පිළිබඳව සීමාසහිත සහස්ධනවි සමාගමේ ව්‍යාපෘති ජ්‍යෙෂ්ඨ උපසභාපති මහේෂ් තිලකසිරි  සමග සාකච්ඡා කළ අතර, මෙම ලිපිය සැකසෙන්නේ එම සාකච්ඡාව පදනම් කරගනිමිනි.

මොකක්ද මේ සහස්ධනවි බලාගාරය කියන්නේ ?

සහස්ධනවි බලාගාරය යනුවෙන් හඳුන්වන්නේ ලංකා විදුලිබල මණ්ඩලය (CEB  විසින් ප්‍රකාශයට පත් කරන ලද හා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUSL)  විසින් අනුමත කර ඇති  දීර්ඝ කාලීන ජනන ව්‍යාප්ති සැලැස්මේ හි සඳහන් ව්‍යාපෘතියක්. ජාතික විදුලි බල පද්ධතියේ පද්ධති ස්ථායිතාව සහ තාක්ෂණික ආරක්ෂාව සහතික කිරීම සඳහා මෙම බලාගාරය අත්‍යවශ්‍ය වෙනවා.

2021 දෙසැම්බර් මාසයේ දී, කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා කමිටුව (Cabinet Appointed Negotiating Committee), CANC, වෙනුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය විසින් ජාත්‍යන්තර තරගකාරී ලංසු තැබීමේ ක්‍රියාවලියක් අනුගමනය කරමින් මෙගාවොට් 350 ක එල්එන්ජී (LNG)  ඩීසල් ඉන්ධන ද්විත්වයෙන්ම ක්‍රියාත්මක කළ හැකි සංයුක්ත චක්‍ර බලාගාරයක්  සඳහා යෝජනා කැඳවනු ලැබූ අතර, ලක්ධනවි සමාගම ද ව්‍යපෘති යෝජනාවක් ඉදිරිපත් කළා. 

(සීමාසහිත සහස්ධනවි සමාගමෙහි මව් සමාගම වන්නේ  සීමාසහිත ලක්ධනවි  සමාගමයි) රජයේ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා වූ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුව විනිවිදභාවයෙන් සහ තරගකාරී ඇගයීම් ක්‍රියාවලියක් අනුගමනය කොට කැබිනට් අනුමැතිය සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබීමෙන් පසුව, 2023 දෙසැම්බර් මාසයේදී ව්‍යාපෘතිය අප සමාගමට ප්‍රධානය කළා. ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුකූලව, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සීමාසහිත සහස්ධනවි සමාගම නමින් විශේෂ අරමුණක් සඳහා සකස් කළ (SPV – Special Purpose Vehicle) සමාගමක් පිහිටුවන්නේ ඒ නිසයි. එකල රටේ පැවති වාතාවරණය හේතුවෙන් ව්‍යාපෘති ගිවිසුම්වලට එළඹීම තරමක් ප්‍රමාද වුණා.

ඒ අනුව බලාපොරොත්තු වන ආකාරයට බලාගාරයට විදුලි බල  ධාරිතාව සම්පූර්ණයෙන්ම සැපයීමේ හැකියාව තිබෙනවා කියා සහතික වීමට පුළුවන් ද?

සහස්ධනවි බලාගාරය කියන්නේ බල ධාරිතාව සහතික කළ, සම්පූර්ණයෙන්ම සැපයීමේ හැකියාව සතු බලාගාරයක්. කාලගුණය මත රඳාපවතින සහ විදුලි සැපයීම සහතික කළ නොහැකි පුනර්ජනනීය බලශක්ති බලාගාරවලට වඩා මෙහි ඇති ප්‍රධාන වෙනස එයයි. සැපයිය හැකි‘ (SPV – Special Purpose Vehicle) යන්නෙන් අදහස් කරන්නේ ජාතික විදුලි පද්ධතියේ විදුලි බල හිඟයක් පියවාගැනීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය (CEB) ඉල්ලා සිටින ඕනෑම වේලාවක උපරිම බල ධාරිතාව දක්වා විදුලි බලය සැපයීමට බලාගාරය සමත් වීමයි. ඉදිකිරීම් අවසන් වූ පසුව සහස්ධනවි බලාගාරය වසර පුරා සතියේ දින හතම පැය 24 පුරාවටම (24/7) ක්‍රියාකාරී වන බවට සහතික වෙන්න පුළුවන්. ඒ වගේම ලංකා විදුලිබල මණ්ඩලය හට අවශ්‍ය වූ විට ඩීසල් මගින් මෙගාවොට් 318 හෝ එල්.එන්.ජී. මගින් මෙගාවොට් 350 සැපයීමට හැකියාව තිබෙනවා.

සහස්ධනවිය ගුවන දිස්වන අයුරු

ඒ වගේම මෙම බලාගාරය ලංකා විදුලිබල මණ්ඩලයට  සම්පූර්ණ ධාරිතාවයෙන් යුතුව වාර්ෂිකව සියයට 90 ට වඩා කාලයක් විදුලිය ලබා ගැනීමේ හැකියාවක් සහතික කරන්න පුළුවන්. වාර්ෂිකව මෙම බලාගාරයේ සැපයීමේ හැකියාව සියයට 90 ට වඩා අඩු වුවහොත් සහස්ධනවි සමාගම වෙත දඩයක් පනවනවා. ඒවගේම වැදගත්ම දෙයක් තමයි මෙම බලාගාරය ‘ඉල්ලු‍ම මත සැපයීමේ ‘(Dispatch on Demand) යාන්‍ත්‍රණයක් යටතේ ක්‍රියාත්මක වීමයි. අවශ්‍ය නැතිනම් බලාගාරයෙන් විදුලිය භාවිත කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය බැඳී නැහැ. බලාගාරයෙන් විදුලිය ජනනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති කාලවලදී “ධාරිතා ගාස්තුව”‍ ලෙස හඳුන්වන ස්ථාවර ගාස්තුවක් පමණක් (දළ වශයෙන් රු. 6.5/kWh) ) ගෙවනවා. යෝග්‍යතා අනුපිළිවෙළ මත සැපයීම කියලා කියන්නේ, පවතින ඉන්ධන පිරිවැය මත පදනම්ව අඩු බලශක්ති පිරිවැයක් ඇති අනෙකුත් සියලු‍ම බලාගාර කැඳවීමෙන් පසුව උත්පාදනය කිරීමට අදාළ බලාගාරය කැඳවීමයි.

කතාබහට ලක්වුණ මෙම “සමතුලිත ගාස්තුව” (Levelized Tariff)  පිළිබඳව පැහැදිලි කරගත්තොත්?

මේ සම්බන්ධයෙන් වැඩි වශයෙන් විවේචන පැමිණ තිබෙන්නේ කැබිනට් පත්‍රිකාවක ඉදිරිපත් කර ඇති සමතුලිත ගාස්තු අගය පිළිබඳ වැරදි අවබෝධයක් නිසා. මෙහිදී තේරුම් ගත යුතු වැදගත්ම කාරණය මෙයයි. එනම් බලාගාරයට සිදු කරන සැබෑ ගෙවීම් සමන්විත වන්නේ මේ ආකාරයට -

ධාරිතා ගාස්තුව කියන්නේ මෙය ආසන්න වශයෙන් රු. 6.5/kWh  ක් පමණ වන අතර බලාගාරයේ ධාරිතාව ලබා දීමේ හැකියාව සඳහා පමණක් ගෙවනු ලබනවා. බලාගාරයේ සැපයීමේ හැකියාව සහතික කළ ධාරිතාවට වඩා සියයට 90 ට වඩා අඩු වුවහොත්, සමාගම විසින් ධාරිතා ගාස්තුවෙන් සියයට150 ක දඩයක් ගෙවිය යුතුයි. බලශක්ති ගාස්තුව කියන්නේ මෙහි ඉන්ධන ගාස්තුව (බලශක්ති ගාස්තුවෙන් සියයට 98ක් පමණ) සහ නඩත්තු ගාස්තුව යන කොටස් දෙකක් අඩංගු වෙනවා. එය පවතින ඉන්ධන මිල සමග වෙනස් වේ. බලශක්ති ගාස්තුව ගෙවනු ලබන්නේ බලාගාරය ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිය ලබා ගන්න විට පමණක් වන අතර, එය සැබෑ ඉන්ධන පිරිවැය සහ විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමේ එකඟ වූ ඉන්ධන පරිභෝජන අනුපාතයයි .
කැබිනට් පත්‍රිකාවේ සඳහන් සමතුලිත ගාස්තුව කියන්නේ කොන්ත්‍රාත් කාලය තුළ සාමාන්‍ය ඒකක මිල සඳහා වන න්‍යායික අගයක් වන අතර, එය ලංසු ක්‍රියාවලියේ ඇගයීම් අරමුණු සඳහා පමණක් ලංසු ලේඛනයේ සඳහන් කරුණු හා සමීකරණ භාවිතයෙන් සකස්කර තිබෙන අගයක්.

උපයෝගීතා කොමිසමේ අනුමැතිය තියෙනවා ද ?

 

මේ සම්බන්ධයෙන් 2024 දෙසැම්බර් වන විට විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම අත්සන් කිරීමට සූදානම්ව තිබුණා. ඒ සඳහා කැබිනට් අනුමැතිය අවශ්‍ය වූවා. එමනිසා 2025 ජනවාරි 31 දිනැති කැබිනට් පත්‍රිකාවේ රු. 20.15/kWh  සමතලිත ගාස්තුව ගණනය කර තිබෙන්නේ ලංසු ලේඛනයේ ප්‍රකාශයට පත් කරන ලද උපකල්පන මත පදනම්වයි. සමතුලිත ගාස්තුව වෙනත් ආකාරයකින් ගණනය කිරීම ඇත්ත වශයෙන්ම නොමග යවන සුලු සහ වැරදි කරුණු ප්‍රකාශ කිරීමක්. බොහෝ විවේචකයන් චෝදනා කරන්නේ, බලාගාරය දැනට ක්‍රියාත්මක වූයේ නම් 2025 දී ගෙවිය යුතු සැබෑ ගාස්තුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නැහැ කියන කාරණයයි. නමුත් බලාගාරය ඉදිකිරීම් අවසන් වන්නේ 2028 දී. ඒ අනුව එහි පළමු විදුලි ඒකකය ජනනය කිරීමට අපේක්ෂා කරන්නේ 2028 නිසා 2025 සඳහා ගාස්තුවක් උපුටා දැක්වීම ද සම්පූර්ණයෙන්ම වැරදි පදනමකින් තොර කාරණයක්. ඒ වගේම අතීතයේ සෑම කැබිනට් පත්‍රිකාවකම “සමතුලිත ගාස්තුව”‍ මත පදනම්ව අනුමැතිය ලබා දී ඇති අතර, මෙම අවස්ථාවේ දී ද ජාත්‍යන්තර භාවිතයන්ට අනුකූලව එම ප්‍රවේශයම අනුගමනය කර තිබෙනවා.

මීට අමතරව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL)  විසින් සමතුලිත ගාස්තුව සහ 2025 අප්‍රියෙල් මාසයේ දී අත්සන් කරන ලද විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම (PPA)  මගින් සමාලෝචනය කර, 2025 අප්‍රියෙල් 01 දිනැති ඔවුන්ගේ ලිපිය මගින් අනුමත කර තිබෙනවා. ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ද 2025 ජනවාරි 30 දින ලබා දී තිබෙනවා.

ඒකක පිරිවැය රු. 73/kWh යැයි කියන්නේ ඇයි?

එය වත්මන් ඩීසල් මිල, විනිමය අනුපාතය සහ වෙළඳපල දර්ශක මත පදනම්ව ටෙන්ඩර් ලේඛනයේ ප්‍රකාශයට පත් කරන ලද සූත්‍රය භාවිතයෙන් විවිධ ධාවන පැයවලට විවිධ ධාරිතාවයන් වල බලාගාරය විදුලිය ජනනය කරන්නේයැයි උපකල්පනය කොට ලබාගන්න ලද සාමාන්‍ය මිලක් පමණයි. කලින් පැහැදිලි කළ පරිදි, එය විදුලි ඒකකයක් සඳහා කරනු ලබන සැබෑ ගෙවීමක් නොවේ.

මෙම බලාගාරය වෙනුවට වෙනත් බලාගාරයක් ආදේශ කළ හැකි ද ? 

මෙම බලාගාරය ඉදිකිරීමෙන් පසුව එය මෙගාවොට් 318 දක්වා අඛණ්ඩව ස්ථාවර ජනන හැකියාවක් සහිතව දිනකට මෙගාවොට් පැය 7,632 (හෝ LNG  සමඟ8,400 mwh) දක්වා විදුලි ජනන හැකියාවක් සහතික කරන්න පුළුවන්. ඒවගේම බලාගාරය මෙම බල ධාරිතාව සහ බලශක්ති සැපයුම සතියේ සෑම දිනකම පැය විසි හතර පුරාම සහතික කිරීමේ හැකියාව තිබෙනවා. ඇත්තටම මෙම ආකාරයේ සහතික කළ, විදුලි උත්පාදනය කළ හැකි බලාගාර තාප හෝ විශාල ජල විදුලි බලාගාර හැර වෙනත් කිසිදු තාක්ෂණයකින් ප්‍රතිස්ථාපනය කරන්න බැහැ. 

ඒවගේම කතාබහට ලක්වුණ කාරණයක් තමයි බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS)  වලට මෙම බලාගාරයේ ධාරිතාව සහ බලශක්ති  සහතිකය සපුරන්න පුළුවන් ද? 

සහස්ධනවි බලාගාරයේ මෙගාවොට් පැය7,632 විදුලි බලශක්ති නිෂ්පාදනයක් සහ මෙගාවොට් 318ක බල ධාරිතාවට ගැළපීම සඳහා, මෙගාවොට් පැය 1718 ධාරිතාවක් සහ මෙගාවොට් 15,264 ක බලශක්ති ගබඩාවක් සහිත BESS  පද්ධතියක් අවශ්‍ය වෙනවා. එහි පිරිවැය ඇමරිකානු ඩොලර් බිලියන1.75 සිට ඇමරිකානු ඩොලර් බිලියන2.2 දක්වා වන අතර, එය සහස්ධනවි ව්‍යාපෘති පිරිවැයට වඩා 7ගුණයකින් පමණ වැඩි අගයක්. ඇත්ත වශයෙන්ම ලෝකයේ දැනට එවැනි විශාල පද්ධති ක්‍රියාත්මකව නැහැ.

දිගුකාලීන ජනන සැලැස්මට සහස්ධනවිය ඇතුළත් ද ?

එවැනි පද්ධතියක් සඳහා ධාරිතා ගාස්තුව පමණක් කිලෝවොට් පැය රු. 37 වඩා වැඩිවේවි. එය සහස්ධනවි බලාගාරයේ පිරිවැය වන කිලෝවොට් පැය රු. 6.50 ක අගයත් එක්ක බලද්දී සාපේක්ෂව ඉතා ඉහළ අගයක්. නමුත් වැඩි වැඩියෙන් පුනර්ජනනීය බලශක්තිය අවශෝෂණය කර ගැනීමටBESS පද්ධති අවශ්‍ය වෙනවා. එමගින් උපරිම ඉල්ලු‍‍ම ඇති අවස්ථාවහි දී විදුලිය සැපයීමට වගේම ඒ හරහා උත්පාදන පිරිවැය ඉහළ peaking බලාගාරවල අවශ්‍යතාව අඩු කිරීමට ද හැකියාව තිබෙනවා. නමුත් අපේ බලාගාරයේ තාක්ෂණික අවශ්‍යතාව BESSපද්ධතියකින් ඉටුවෙන්නේ නැහැ.

විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම (PPA)  අත්සන් කිරීමේ දී විදුලි බල මණ්ඩලයේ (CEB) සභාපතිවරයා ගේ භූමිකාව පිළිබඳවත් කතාබහට ලක්වුණා?

ව්‍යාපෘති යෝජනා සඳහා ආරාධනා කිරීම, ඇගයීම, ප්‍රධානය කිරීම, සහ ව්‍යාපෘති ගිවිසුම් අවසන් කිරීම ඇතුළු සම්පූර්ණ ප්‍රසම්පාදන ක්‍රියාවලියCANC කමිටුව විසින් සිදුකරන ලද්දක්. ඒගැන විශේෂයෙන්ම අවධාරණය කළ යුතුයි. විදුලි බල මණ්ඩලයේ හි අධ්‍යක්ෂවරුන් හෝ විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා මේ කමිටුවෙහි සාමාජිකයන් වුණේ නැහැ. ඒ වගේම ආචාර්ය තිලක් සියඹලාපිටිය විදුලි බල මණ්ඩලයේ සභාපති ලෙස පත්වීමට මාස නවයකට පෙර, එනම් 2023 දෙසැම්බර් මාසයේ දී ව්‍යාපෘතිය සහස්ධනවි සමාගමට ප්‍රධානය කර තිබුණා. විදුලිය මිල දී ගැනීමේ ගිවිසුම (PPA) අත්සන් කරන ලද්දේ විදුලි බල මණ්ඩලයේ සහ සීමාසහිත සහස්ධනවි සමාගම අතර. එකල විදුලි බල මණ්ඩලයේ සභාපති වූ ආචාර්ය සියඹලාපිටිය, කැබිනට් මණ්ඩලයේ මෙන්ම විදුලි බල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ද අනුමැතිය ලබාගැනීමෙන් පසු විදුලි බල මණ්ඩලය වෙනුවෙන්  අත්සන් කළා.

සහස්ධනවි බලාගාර ව්‍යාපෘතියම තිලක් සියඹලාපිටිය ගේ වැඩක් ද ?

විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමෙ හි අනෙක් අත්සන්කරුවන් වුණේ සීමාසහිත සහස්ධනවි සමාගම හි අධ්‍යක්ෂවරුන්. ආචාර්ය සියඹලාපිටිය කිසි විටෙකත් සීමාසහිත සහස්ධනවි සමාගමෙහි  අධ්‍යක්ෂවරයෙකු හෝ සභාපතිවරයෙකු නොවෙයි. ආචාර්ය සියඹලාපිටිය ඔහුගේ  විදුලි බල මණ්ඩලයේ සභාපති තනතුර හේතුවෙන් සීමාසහිත LTL හෝල්ඩිංස් සමාගම (සීමාසහිත සහස්ධනවි සමාගම හි මව් සමාගම) හි නිල බලයෙන් අධ්‍යක්ෂවරයෙකු බවට පත් වෙනවා. ආචාර්ය සියඹලාපිටිය සීමාසහිත LTL හෝල්ඩිංස් හි කිසිදු පුද්ගලික ධාරිතාවකින් අධ්‍යක්ෂවරයෙකු නොවූ බැවින් - මෙය කිසිදු නීති විරෝධී තත්ත්වයක් ඇති කරන්නේ නැහැ. ඒ වගේම, අදාළ අධ්‍යක්ෂක මණ්ඩලවල අනුමැතිය ඇති ආයතන දෙකක් විසින් ගිවිසුම අත්සන් කරන ලද බැවින්, එවැනි අවස්ථාවක අත්සන්  කරන්නන් ගේ පුද්ගලික අනන්‍යතාව අදාළ වෙන්නේ නැහැ.

සහස්ධනවි බලාගාරය 2028 වනවිට පද්ධතියට එකතු වීමට තිබෙන්නේ . ඒ වනවිට පවතින බලශක්ති ඉල්ලු‍ම සමගම බලන විට බලශක්ති ආරක්ෂාව සඳහා මෙයට කොතෙක් දුරකට දායක විය හැකි වේවි ද?

සහස්ධනවි බලාගාරය හදිසි අවස්ථා සහ ඉල්ලු‍මට සරිලන ලෙස විශ්වසනීයව විදුලිය උත්පාදනය කළ හැකි, පිරිවැය-ඵලදායී විදුලිය සැපයීම සඳහා නිර්මාණය කරන ලද තීරණාත්මක ජාතික වත්කමක් වනු ඇති බවටයි අපේ විශ්වාසය. එය උපාය මාර්ගිකව වැදගත්, ඉක්මනින් ප්‍රතිචාර දක්වන, විදුලිබල පද්ධතිය ස්ථායීකරණය කරන සම්පතක්. ක්‍රියාකාරීත්වය හෝ ගෙවීමේ ව්‍යුහය අනුව සහස්ධනවි බලාගාරය පුනර්ජනනීය බලාගාර සමග සසඳන්න බැහැ. සහස්ධනවි සඳහා, විදුලි බල මණ්ඩලය විසින් ගෙවන ධාරිතා පිරිවැය අවම වන අතර, බලශක්ති ගෙවීම් සිදු වන්නේ විදුලිය උත්පාදනය අවශ්‍ය වූ විට පමණයි. ඒවගේම අවසාන වශයෙන් මෙම කරුණු අවධානය කරන්න කැමතියි. මෙම බලාගාරය විදුලිය උත්පාදනය නොකරනු ලබන්නේ නම්, ලංකා විදුලි බල මණ්ඩලයට ඇති එකම ස්ථිර පිරිවැය වන්නේ ධාරිතා ගාස්තුව පමණයි. බලශක්ති ගාස්තුව සම්පූර්ණයෙන්ම සැබෑ ඉන්ධන භාවිතය මත රඳාපවතියි. සමතුලිත ගාස්තුව බලාගාරයට ගෙවන සැබෑ ගෙවීම් නොවේ.  ඒ වගේම අපි මහජනතාව ගෙන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් ගෙන් ඉල්ලා සිටින්නේ මෙම කරුණු  සලකා බලා, ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතභාවය සහතික කිරීමේ මෙම ව්‍යාපෘතියේ  උපායමාර්ගික වැදගත්කම තේරුම් ගන්නා ලෙසයි.

චාමර සම්පත්