සල්ලි දීලා ජන්දෙ ගන්නද හිතාගෙන ඉන්නේ?


  • ඔය චෝදනා ගෙනෙන්නේ පැරදුණු අයයි - -දළදා මාලිගාවේ වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර උත්තර දෙයි

බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ බඳු මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ගිහි භාරකරු වන දියවඩන නිලමේවරයා තෝරා ගැනීමේ නිලවරණය නොවැම්බර් 07 වැනිදා පැවැත්වීමට නියමිත ය. මෙම නිලවරණය සඳහා 2005 සිට මේ දක්වාම අඛණ්ඩව දියවඩන නිලමේවරයා ලෙස කටයුතු කරන නිලංග දෑල බණ්ඩාර ද තරග වදින අතර තවත් අපේක්ෂකයෝ රැසක්ද ඔහු සමග තරග වැදීමේ සූදානමින් සිටිති. 

කෙසේ නමුත් පසුගිය අවස්ථා දෙකේදීම නිලවරණ ජයග්‍රහණ කරමින් දියවඩන  නිලමේවරයා ලෙස පත්ව මේ වනවිට වැඩබලන දියවඩන නිලමේවරයා ලෙස කටයුතු කරන නිලංග දෑල බණ්ඩාර ඉලක්ක කර ගනිමින් විවිධ මතවාද ඇතැමුන් ගෙනයන පසුබිමක නිලවරණ සූදානම සහ නැගෙන චෝදනා සම්බන්ධව විමසීමට අපි ඔහු සමග සංවාදයක නිරත වූයෙමු. 

Q 20 වසරක් තිස්සේ මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේ ලෙස කටයුත කරන ඔබට ඒ තනතුර අත්හැරීමේ අදහසක් නැද්ද? අලු‍ත් කෙනෙකුට ලැබුණොත් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද?

මම මුලින්ම බස්නායක නිලමේ නිලවරණයක් සඳහා ඉදිරිපත් වුණේ 1996 රුහුණු මහා කතරගම බස්නායක නිලමේ ධුරය සඳහායි. මගේ පියාගේ මග පෙන්වීම මත නිලවරණයකට ඉදිරිපත් වුණත් මට එය ජයග්‍රහණය කරන්න ලැබුණේ නැහැ. 

ඉන් නොපසුබටව මගේ පියා මට කිව්වා 1999දී සබරගමු සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුර සඳහා ඉදිරිපත් වෙන්න කියලා. එදා මම සබරගමු සමන් දේවාලයේ බස්නායක නිලමේ ලෙස නිතරගයෙන් පත්වුණා. ඒ වනවිට මගේ වයස අවුරුදු 26යි.

සමන් දේවාලයේ බස්නායක නිලමේ ලෙස සිටියදී 1996දී මට අහිමි වූ රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ධුරය 2001දී යළි ලබාගන්න මට පුළුවන් වුණා. 

මේ විදිහට ලංකාවේ ප්‍රධානතම මහ දේවාල දෙකක බස්නායක නිලමේ ධුරය දරන්න මම වාසනාවන්ත වුණා. කෙසේ නමුත් පියාගේ අධිෂ්ඨානයක් තිබුණා කවදා හෝ මාව දළදා මාලිගාවේ දියවඩන නිලමේ ලෙස පත්කරවන්න.  බෞද්ධයන්ගේ උතුම්ම සහ ගිහියෙකු ලෙස යන්න පුළුවන් ගෞරවාන්විතම නිලය දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරයයි.

ඒ අනුව 2005දී මම දළදා මාලිගාවේ නිලවරණයට ඉදිරිපත්වෙලා ඡන්ද 199ක් ලබාගෙන දියවඩන නිලමේ වශයෙන් පත් වුණා. මට මෙතරම් ඡන්ද ප්‍රමාණයක් ලබාගන්න පුළුවන් වුණේ සබරගමු සමන් දේවාලය හා රුහුණු මහා කතරගම දේවාලය යන දේවාල දෙකෙන් ලබාගත් අත්දැකීම් සහ මා කටයුතු කළ ආකාරය පිළිබඳ තිබූ ගෞරවය හා විශ්වාසය නිසයි. ඒ වන විට මගේ වයස අවුරුදු 31යි. 

මම නැවත 2015 මහනුවර දළදා මාලිගාවේ නිලවරණයට ඉදිරිපත්වෙලා ජයග්‍රහණය කළා. එවිට මගේ වයස අවුරුදු 41යි.

2025 නැවතත් මම නිලවරණයට ඉදිරිපත්වෙලා සිටින මේ මොහොතේ මගේ වයස 51යි.  

එදා තරුණයෙකු ලෙස දළදා මාලිගාවට පත්වෙලා පෙර දේවාල දෙකේ අත්දැකීම් එක්ක 2005 -2015 සාර්ථක වුණත් 2015 -2025 දක්වා කාලය ඊට වඩා බෙහෙවින්  සාර්ථක බව මගේ හැඟීමයි. මා ලද අත්දැකීම් සහ දළදා මාලිගාවේ පරිපාලනය වෙනස් කරමින් හා විධිමත් කරමින් ආදායම් උපද්දන්න මට පුළුවන් වුණා. 

මම අහන්නේ මගේ තරුණ කාලයම දළදා මාලිගය වෙනුවෙන් කැපකරලා මම 51න් විශ්‍රාම යනවද? නැත්නම් 60න් විශ්‍රාම යනවද ? කියන කාරණයයි. වෙනත් අපේක්ෂකයෙකුට මම සිටි නිලකාලය වැඩි වෙන්න පුළුවන්. නමුත් මම මේ අවුරුදු 20 තුළ ලැබූ අත්දැකීම් එක්කයි දළදා මාලිගාව මේ තැනට ගේන්න පුළුවන් වෙලා තියෙන්නෙ. දළදා මාලිගාවට යන ඕනෙම කෙනෙකුට එහි භෞතික සංවර්ධනය මනාව දකින්න පුළුවන්. මූල්‍ය තත්ත්වය, කළමනාකරණය සහ ඉදිරි අනාගතය බලලා වැඩකර තියෙනවා. ඒ කරපු වැඩකටයුතුවල කොටස් රාශියක් ඉදිරියටත් කරන්න තිබෙනවා.මිනිසෙකුගේ පරිණත වයස කියන්නේ 45 -50 අතරයි. මම තරුණ කාලයේ තමයි මේ කටයුතු සියල්ල කරලා තියෙන්නෙ. ඒ නිසා  පරිණත වයස නුසුදුසු කමක් ද? 

මම තවත් වසර 10ක් සිටීම ගැටලුවක් වෙලා තියෙන්නෙ අපේක්ෂකයන්ට මිස ඡන්ද දායකයන්ට හෝ මහනාහිමිවරු දෙනමට හෝ, උභ්‍ය විහාරයට හෝ නෙවෙයි. 

අපේක්ෂකයන්ට වෙන කියන්න දේවල් නැති නිසා ඔය කාරණය තමයි මතුකරන්න හදන්නෙ. මම අවුරුදු 20ක් තුළ අපේ ස්වාමීන් වහන්සේලා සමග ළඟින් වැඩකරලා ලබාගත් අශිර්වාද සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සමග ප්‍රා.ලේ. කොට්ඨාස 217ක සිදු කළ ශිෂ්‍යත්ව වැඩසටහන්, සහනාධාර වැඩසටහන්, ස්වාභාවික උවදුරුවලට සහන සැලසීම ආදි කටයුතුවල නිරන්තරව සම්බන්ධ වෙනවා. ඒ වගේම බස්නායක නිලමේවරුන් සමග පෙරහර කටයුතුවලට කොහොමත් සම්බන්ධ වෙනවා. මේ විදිහට හදාගත්ත පෞද්ගලික මට්ටමේ සුහදකමක් , මනුස්සකමක් තියෙනවා. නිලවරණයේදී මට ලබාදෙන ඡන්දය නැවත මාව පත්කරන්න ඔවුන් ලබාදෙන සහායක් විදිහට තමයි මම දකින්නෙ.

Q ඔබ ඡන්දය ගන්න ප්‍රාදේශීය ලේකම්වරුන්ට මුදල් දීලා තිබෙනවානේ, මෙවරත් දෙන්න හිතාගෙන ඉන්නවද?

ඔය හැමදාම පැරදෙන අපේක්ෂකයෝ කියන කතාවක්නෙ. අපි පාසල් යන කාලේ පන්තියේ මොනිටර් වුණාමත්, පාසලේ ශිෂ්‍ය නායකයෙක් වුණාමත් ඔවැනි කතා කියනවනෙ. සමාජයේ දේවල් නොලැබෙන පිරිස් ඔවැනි කතා නිර්මාණය කරනවා. 

මෙවර නිලවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ප්‍රාදේශීය ලේකම්වරු සිටින්නේ 79යි. නමුත් හාමුදුරුවරු 151 සිටිනවා. මේ නිසා මුදල් දීලා ඡන්දය ලබාගන්නවා කියන්නේ මෙවැනි විශාල ඡන්ද දායකයන් සිටින තැනක ප්‍රායෝගික කාරණයක් නෙවෙයි. බහුතරයක් අතර තිබෙන විශ්වාසය මත තමයි ඡන්දය ලබාදෙන්නෙ. මේ ක්‍රමවේදය තුළ මම ආධුනිකයෙක් නෙවෙයි. 

Q ඔබ ඇසළ පෙරහර සඳහා මුදල් එකතුකරනවා යැයි චෝදනාවක් නැගෙනවා නේද?

ඇසළ පෙරහරට මුදල් එකතු කිරීමක් කරලා නෑ. දළදා මාලිගාවට විවිධ අය පරිත්‍යාග සිදුකරනවා. මම දියවඩන නිලමේ ලෙස පත්වූ පසු ඇතිකරගත් ගොඩනඟාගත් සම්මුතීන් හා ක්‍රමවේද තුළ වසර පුරා අපට අපට ආධාර කරන පිරිසක් සිටිනවා. ඒක රාජ්‍ය සංස්ථා වෙන්න පුළුවන්, ව්‍යස්ථාපිත මණ්ඩල වෙන්න පුළුවන්, පෞද්ගලික ආයතන වෙන්න පුළුවන්. ඔවුන් පෙරහර සමයට පමණක් නොව වසර මුළුල්ලේම ආධාර කරනවා. එහෙම නැතුව දියවඩන නිලමේ ලෙස මම සම්මාදන් කරලා කවදාවත් පෙරහරක් පවත්වලා නෑ.

Q දළදා මාලිගාවේ ආදායම කොතරම් ද?

2005 මම දියවඩන නිලමේ ලෙස එනවිට  මාසික පිරිවැටුම රු.මි. 80යි. එයිනුත් මිලියන 35ක් පොලී ආදායම්. නමුත් අද වනවිට මාසික පිරිවැටුම රුපියල් බිලියනයක් දක්වා ගිහින් තිබෙනවා. ඒක වැඩි කළේ කොහොම ද හා ඒක පවත්වාගෙන යන්නෙ කොහොම ද කියන එකයි අභියෝගය. 

මා එනවිට තිබුණු ආදායම මම කෙතරම් ගුණයකින් වැඩි කරලාද කියලා පැහැදිලිනේ. මේ විදිහට ආදායම වර්ධනය කරගන්න නොයෙක් කළමනාකරණ ක්‍රම සහ ක්‍රමෝපායන්  භාවිත කළා. ඒ කටයුතු සිදු කළේ විනිවිද භාවයෙන් සහ ගොඩනඟාගත් විශ්වාසය මතයි. 

Q දළදා මාලිගාවේ අයවැය වාර්තාව හදන්නෙ ඔබම ද? නැත්නම් විධිමත් ආයතනයකින් ද?

අයවැය වාර්තාවක් හදලා අනුමැතියක් ගන්න ඕනෑ වියදම් කරන්න සහ ආදායම් උපද්දන්න. අයවැය වාර්තාවේ අපගේ ආදායම් මොනවා ද? (පඬුරු ආදායම් මොනවා ද, බැතිමතුන් ලබාදෙන පරිත්‍යාග මොනවාද, විදේශිකයන්ගේ ටිකට් පත්වලින් ලැබෙන ආදායම් මොනවා ද, බදු ඉඩම්වලින් ලැබෙන ආදායම් මොනවා ද) කියලා අපි අපිට ලැබෙන ආදායම දළ වශයෙන් ඇස්තමේන්තු කර ගන්නවා. ඊළඟට වියදම් වශයෙන් දෛනික සේවක දීමනා, නඩත්තු, ඉදිකිරීම් ආදි වශයෙන් දළදා මාලිගාවට දරන්න තිබෙන පිරිවැය සියල්ල සඳහන් කරමින් ආදායම් වියදම් ඇස්තමේන්තුවක් සකස් කර ගන්න ඕනෑ. එතැනදි ආදායමට සරිලන වියදමක් තමයි පවත්වාගෙන යා යතු වන්නෙ. ඔය විදිහට වසරේ ලැබිය හැකි යැයි සිතන අනුමාන ඇයවැයක් අපි බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගෙන් අනුමත කරවා ගත යුතුයි. ඒ අනුමත කරවා ගන්නා අයවැයට අනුව තමයි අපිට ආදායම රැස්කිරීම හා වියදම් කිරීමේ හැකියාව තිබෙන්නේ. 

ඒ වගේම මාස 6කට වරක් මේ සෑම ආදායම් සහ වියදම්වල විස්තරයක් මහනායකවරුන් දෙනම අත්සන් කිරීමෙන් පසුව දියවඩන නිලමේ ලෙස මමත් අත්සන් කර බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වෙත යවනවා. ඔහු විසින් වසරකට වරක් හෝ දෙවරක් මේ සියලු‍ දේවල් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ විගණනයට යටත් කරනු ලබනවා.

මේ අනුව මට ඕනැ විදිහට කිසිවක් වියදම් කිරීමේ හැකියාවක් නෑ. අපි යෝජිත ක්‍රියාවලියක තමයි ක්‍රියාත්මක වෙන්නෙ. ඒනිසා එහි විනිවිදභාවය සීයට100ක් රැකිලා තිබෙනවා.

Q දළදා මාලිගාවට පූජා කරන රත්තරන්වලට මොකද වෙන්නේ?

දළදා මාලිගාවට පූජා කරන සෑම රන් භාණ්ඩයකටම කාර්යාලයෙන් කුවිතාන්සියක් ලබාගත්තොත්, එය රන් භාණ්ඩයක් යැයි අප නිර්ණය කළොත් සහ ඔබ විසින් ඉදිරිපත් කරන රිසිට්පත අප ලබාගත හොත් ඒ පිළිබඳව වගකීම අප විසින් දරනු ලබනවා.  

ඊට අමතරව ඔබ විසින් එවැනි කුවිතාන්සියක් ලබානොගෙන රන් භාණ්ඩ පූජා කළොත් ඒ අවස්ථාවේ සිටින තේවාව භාර නායක ස්වාමීන්වහන්සේ විසින් ඒවා එකට එක් රුස් කරලා වසර අවසානයේ තේවාව අවසන් වෙද්දි රන් භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා. ඒ පිළිබඳ තොරතුරුත් මනාව සටහන් කර තිබෙනවා. 
රන් භාණ්ඩ සම්බන්ධව කටයුතු කරන්නේ විනිවිද භාවයෙන් යුක්තව නිසා කාටවත් ඒවා පෞද්ගලිකව පරිහරණය කරන්න බැහැ.

Q නමුත් ඔබට තිබෙනවා යැයි කියන රන් ආලේපිත මෝටර් රථය සඳහා භාවිත කර තිබෙන්නේ දළදා මාලිගාවට ලැබෙන රන් යැයි චෝදනාවක් තිබෙනවා නේද?

ඕක රටේ මතය නෙවෙයිනේ. ඔය චෝදනා කරන්නේ කවුද කියලා බැලු‍වොත් දියවඩන නිලමේ ධුරය අහිමි වෙච්චි, ඉල්ලලා පැරදිච්චි, එහෙමත් නැත්නම් තරග කරන්න ඉන්න පිරිස් තමයි 2005,2015 හා 2025 කාල වකවානුවල ඔවැනි අසත්‍ය චෝදනා නඟන්නෙ. මෙහි පිටපත, තිර රචනය එක්කෙනෙක්ගෙ. නිෂ්පාදනය සහ ඉදිරිපත් කිරීම අපේක්ෂකයන් මත රඳා පවතිනවා. ඔක එකම කාරණය හෝදා හෝදා මඩේ දානවා වගේ දෙයක්. 

මේ නිසාම මම දියවඩන නිලමේ වශයෙන් ඔය කාරණා සම්බන්ධව මහේස්ත්‍රාත් අධිකරණයට, දිසා අධිකරණයට, දිසා අභියාචනාධිකරණයට, සිවිල් අභියාචනාධිකරණයට, ශ්‍රේෂ්ඨාධිකරණයට ආදී සෑම අධිකරණයකටම ගිහින් මගේ නිරවද්‍යතාව ඔප්පු කරලා තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ මට අපහාස කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන මම වන්දි ලබාගෙන තිබෙනවා. ඔය චෝදනා කරන අය වරෙක පුද්ගලයෙකු ලෙස, වරෙක බෞද්ධ සංවිධානයක් ලෙස, වරෙක භික්ෂූන් වහන්නේ නමක් ලෙස ආදි නොයෙක් නොයෙක් ලෙස සමාජගත කරන්න හැදුවට එහි නිරවද්‍යතාව මම ඔප්පු කරලා තිබෙනවා.  

ඉදිරියේදීත් මට ඔවැනි චෝදනා නගන්නන්ට එරෙහිව මම අධිකරණයෙ පිහිට පතනවා අසත්‍ය කරුණු ඉදිරිපත් කරනවාට එරෙහිව.

Q දළදා මාලිගාවට අයත් ඉඩම් ඔබ විකුණලා තිබෙනවා සහ මාලිගාවට අයත් ඉඩම්වල ඇති ගස් කපා විකුණුවේ නැද්ද ?

ඕවා තනිකර අසත්‍ය කරුණු. දළදා මාලිගාවට අයත් ඉඩම් මොනම විදිහකටවත් විකුණනන්න බෑ. 
දළදා මාලිගාවට අයත් ඉඩම් වර්ග දෙකක් තිබෙනවා. එකක් නින්ද හෝ බණ්ඩාරි ඉඩම්. අනෙක ප්‍රවේණි හෝ රාජකාරි ඉඩම්.

නින්ද ඉඩම් කියන කොටසේ අයිතිය දළදා මාලිගාවට හෝ මල්වතු හා අස්ගිරි විහාරස්ථානවලට තිබෙනවා.දළදා මාලිගාවටම සතු නින්ද ඉඩම් කොටසකුත් තිබෙනවා.  

අනෙක් ඉඩම් කොටස වන්නේ ප්‍රවේණි ඉඩම්. ප්‍රවේණි ඉඩම් කියන්නේ යම් යම් රාජකාරියක් ඉටු කිරීම උදෙසා ලබා දුන් ඉඩම්. ඊට අදාළ රාජකාරිය, රාජකාරි ලේඛනයේ (කොමසාරිස් කොපිය) සඳහන්ව තිබෙනවා.ඒ වගේම මේ සම්බන්ධව රාජකාරි සේවා අඥා පනත තිබෙනවා. රාජකාරි කරන පිරිස්වලට 1870 හෝ ඊට පසුව වෙන්න පුළුවන්, රාජකාරි කළ පිරිස්වල අද වනවිට පරම්පරා 5කට හෝ 10කට පසුව වෙන්න පුළුවන් රාජකාරිය භුක්ති විදින්නේ. ඔවුන්ට තමන් සතු ඉඩම් විකිණීමේ අයතියක් තිබෙනවා. නමුත් ඒ රාජකාරියට යටත්ව. එසේ විකුණා මසක් ඇතුළත සිද්ධස්ථානයේ භාරකාරිත්වයට සහ බෞද්ධ කටයුතු කොමසාරිස්ට ඒ පිළිබඳව දැන්විය යුතුයි කියන කාරණය පනතේ සඳහන්. 

ඔය විකුණනවා කියන කාරණය භාවිත කරන්න පුළුවන් ඔන්න ඔය කාරණය සම්බන්ධව පමණයි. එහෙම නැතුව නින්ද හෝ බණ්ඩාරි ඉඩම් විකිණීමක් කළ නොහැකියි. කළ හැක්කේ බදු දීම පමණයි. 

ඔය විදිහට රාජකාරි මට්ටමින් ඉඩම් විකිණීම දළදා මාලිගාවේ  දියවඩන නිලමේ ඉඩම් විකුණනවා විදිහට හුවා දැක්වීම කලින් කිව්ව පාර්ශ්ව විසින්ම ඉටු කරන කාරණයක්. ඔය කාරණය සම්බන්ධව FCID ය විසිනුත් පරීක්ෂණ පැවැත්වූවා. එතනදි විහාර දේවාලගම් අඥා පනත, රාජකාරි සේවා ආඥා පනත, පුරා විද්‍යා පනත, පොදු දේපළ පනත, මුදල් විශුද්ධිකරණය යන කාරණා යටතේ වසර 6කට වැඩි කාලයක් පරීක්ෂණ සිදුකරලා 2021 වසරේදී ඔය නඩුව නිෂ්ප්‍රභ වුණා. මට එරෙහිව නැඟූ ඔය එකම චෝදනාවක්වත් සත්‍ය නොවන නිසා. ඉදිරියටත් කවුරුන් හෝ මට චෝදනා නඟනවා නම් නීතිය ඉදිරියට ගිහින් ඔවුන්ට විරුද්ධව කටයුතු කරනවා.

Q දළදා මාලිගාවෙන් විශ්වවිද්‍යාලයක් හදන්න තීරණය කළේ ඇයි? මේකේ ඔබේ තනතුර මොකක් ද? වැටුප කීය ද?

මම විතරක් නෙවෙයි, එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ කිසිවෙක් වැටුප් ලබන්නේ නෑ. දළදා මාලිගාවෙන් විශ්වවිද්‍යාලය ආරම්භ කළේ බෞද්ධ විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමේ අරමුණිනුයි. මෙහි නම Sri Lanka International Buddist Academy (SIBA)  යන්නයි. මෙහි නමින්ම ඒ බව පැහැදිලි වෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාද කොමිසන් සභාවේ වරලත් උපාධි 8ක් මෙයට ඇතුළත්. 

මෙය බෞද්ධ පරිසරයක් තුළ ඉදිරියේ රටට අවශ්‍ය නායකයන් බිහි කරන භික්ෂු, භික්ෂුණී, උපාසක , උපාසිකා යන සිවුවනක් පිරිසටම අධ්‍යාපනය හැදැරිය හැකි ස්ථානයක්. මේ වනවිට විදෙස් සිසුනුත් ඇතුළු සිසුන් 1200ක් මෙහි අධ්‍යාපනය හදාරනවා. උපාධිධාරීන්ට අමතරව මේ විශ්වවිද්‍යාලයෙන් ඩිප්ලෝමා ධාරිනුත් බිහිකරනවා.

විශේෂයෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල වරම් නොලැබෙන, නමුත් පෞද්ගලික විශ්වවිද්‍යාලයකට යා නොහැකි  සිසු සිසුවියන්ට වසර 4ටම රු. ලක්ෂ 10ක් (මසකට රු. 17500ක් ) වැනි මුදලකට උපාධියක් ලබාගත හැකියි. සිසුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා වැයවෙන ඉතිරි මුදල දළදා මාලිගාවෙන් ගෙවා දමනු ලබනවා. ඇත්තටම සමාජ යුතුකමක් තමයි මා විසින් ඉටුකර තිබෙන්නෙ.නමුත් මෙය දරාගත නොහැකි පිරිස්වලට ඇස්වලට වැලි ගහනවා වගේ වැඩක්. 

Q දරිද්‍රතාවෙන් පෙළෙන බෞද්ධයන් නගා සිටුවන්න දළදා මාලිගාවට යමක් කළ හැකි වුවත් එවැන්නක් කරන්නේ නෑ?

හැම බදාදාම මගේ මහජන දිනය. එදාට රු. ලක්ෂ 50ක්, සෑම මාසයකටම ලක්ෂ 200ක්, අවුරුද්දට රු. ලක්ෂ 2400ක් ඔය කියන නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපන කටයුතු සඳහා උදව් කරලා තියෙනවා.

ඒ වගේම ආගම් භේදයකින් තොරව දිළිඳු දරුවන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදෙනවා. එසේම සිබා සරසවියෙන් අපේ කලාකරුවන්ගේ දරුවන්ට නොමිලේ උපාධි ලබාදෙනවා. 

අපි මේ කටයුතු මාධ්‍ය සංදර්ශන තියලා නොකළාට මේ වනවිට දළදා මාලිගාවෙන් රු.බිලියන 1.4ක් ඔය කටයුතු සඳහා වැයකර තිබෙනවා. ඒ වගේම රු. බිලියන 04ක් වැයකරලා දළදා මාලිගාවේ භෞතික සම්පත් සංවර්ධනය කර තිබෙනවා. මම 2005 දළදා මාලිගාවට එනවිට අඩුම තරමේ ඡායාරෑපයක් ගන්නවත් කැමරාවක් තිබුණේ නෑ. අද වනවිට සජීවීව විකාශන කටයුතු කළ හැකි රු. මි. 500කට වැඩි මෙවලම් දළදා මාලිගාවේ මාධ්‍ය ඒකකය සතුව තිබෙනවා.  වසරකට මිලියන 100කට වැඩි පිරිසක් පෙරහර නරඹනවා. 

රු. මිලියන 500කට වැඩි මුදලක් වැය කරලා විශ්වවිද්‍යාලයක් හදලා තියෙනවා. රු. මිලියන 250කට අධික මුදලක් වැයකරලා ඉටි ‍කෞතුකාගාරයක් හදලා තියෙනවා. 

ඒ නිසා දළදා මාලිගාව ජාත්‍යන්තරයට ඔසවා තබන්න, නුවර ඉතිහාසය අවදිකරන්න, කලාකරුවන්ගේ කුසලතා වැඩි කරන්න, පෙරහරේ ගුණාත්මකභාවය වැඩි කරන්න දවස් ගණන් කිව්වත් ඉවරවෙන්නෙ නැති ව්‍යාපෘතින් රුසක් ක්‍රියාත්මක කළා. මේ ඒවායේ ප්‍රතිඵල ලබමින් තිබෙන අවස්ථාවක්.අපි දළදා මාලිගාව දවසින් දවස ඔසවා තබා තිබෙනවා මිසක් කිසිම විදිහකින් පිටුපස්සට ගෙනියන්න කටයුතු කරලත් නෑ, කරන්නෙත් නෑ, ඉදිරියටත් දළදා මාලිගාව ඔසවා තබන  සැලසුම් රුසක් ක්‍රියාත්මක කිරීමේ අපේක්ෂාවෙන් පසුවෙනවා.

Q ඔබ දියවඩන නිලමේවරයා ලෙස තිබෙන සිවිල් බලය යටතේ නීතියට පරිබාහිරව අලි තබාගෙන ඉන්න බවට චෝදනාවක් තිබෙනවා?

දියවඩන නිලමේ තනතුර භාවිත කරලා මම අලි තබාගෙන නැහැ. විශේෂයෙන් මියන්මාරයෙන් මියන් රාජා සහ බුරුම රාජා ඇතුනුත්, ඉන්දි රාජා සහ කාවෙරි රාජා කියන ඇත්තු දෙන්නාත් මම ඉන්දියාවෙනුත් ගෙනත්  තිබෙනවා. ඒ වගේම එවක ජනාධිපතිව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පුලතිසි රාජා පූජා කළා.  මම කැබිනට් පත්‍රිකාවක් මගින් ලබාගත් අනුමැතිය මත පින්නවලට ගිහින්  පරිසර හා සත්ත්ව සංවිධාන ඇතුළු පිරිස්වල බාධා කිරීම් මධ්‍යයේ මල්වතු අස්ගිරි නාහිමිපාණන් දෙනමට සින්දු සහ රාජු කියන ඇත්තු දෙන්නා ලබාදුන්නා. එයින් පසු තමයි මට ඔය කතා හැදුවෙ. නමුත් ඔබ දකිනවා ඇති දළදා පෙරහරේ කරඬුව සින්දු සහ රාජු  මතින් වඩම්වන විට ඇතිවන ගෞරවය කොතරම්ද කියලා. ඒක පෙරහර සංස්කෘතියේ පැවැත්ම උදෙසා මා කළ දෙයක්. 

මම හීලෑ අලි ඇතුන් හිමියන්ගේ සංගමයේ සභාපති. ඒ වගේම අලි හාම්පුතෙක්. මම සතුව රාජු සහ බණ්ඩා යන රජයේ ලියාපදිංචි අලින් දෙදෙනා සිටිනවා. එම අලි දෙදෙනා අවුරුදු 46ක් සහ 50ක් යන වයස්වල පසුවෙනවා. 

මම අලි හාම්පුතෙක් වීම සහ සංස්කෘතිය ආරක්ෂා කරන්නෙක් වීම නිලමේවරයෙකු ලෙස කටයුතු කරගෙන යන්න පහසු වෙලා තිබෙනවා.   

කෙසේ නමුත් මියන්මාරයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු ඇතාට මාලිගාවෙන් මුදල් ගෙව්වා කියලා යම් පිරිසක් වැරදි ප්‍රචාරයක් ගෙනගියා. විදෙස් රටකින් ත්‍යාගයක් ලැබෙනවිට ඊට අදාළව ඉන්වොයිස් එකක් තිබෙන්න ඕනෑ. ඒ ඉන්වොයිස් එකේ වටිනාකමක් සඳහන් වෙන්න ඕනෑ. ඒ වටිනාකම මත තමයි රේගුව නිෂ්කාශනය කරන්නෙ. ඒ මත ගණනය කළාම විශාල බදු මුදලක් ආවා. අපි මේ ගැන එවක ජනාධිපතිතුමා, බුද්ධශාසන අමාත්‍යයෙන් කළ ඉල්ලීම මත එම මුදල ප්‍රතිපූර්ණය කර අපට ඇතා ලබාදුන්නා. ඒ හැර කිසිදු විදිහකින් දළදා මාලිගාවේ මුදල් භාවිත කළේ නෑ. ඒ නිසා මම අධිකරණයට ගිහින් නඩුවක් පවරලා නිවැරදි භාවය තහවුරු කරගෙන තිබෙනවා. 

ඒ නිසා මම නොබියව කියනවා අලින් සම්බන්ධව කිසිම ගැටලු‍වක් නෑ. අලින්ගේ උන්තිය සහ පෙරහර සංස්කෘතිය වෙනුවෙන් හැමදාම කැපවෙලා කටයුතු කරනවා. හැමදාම නිලවරණයක් එනවිට ඔය කාරණා මතුකිරීම සත්ත්වවේදීන් හා ඉහත කී පිරිස් විසින් සිදුකරන්නක්. අලි ගැන දන්න සහ අලින්ට ආදරය කරන පිරිස් දන්නවා අපි අලි රැකබලා ගන්නෙ කොහොම ද කියලා. 

Q මෙවර නිලවරණයට ඔබේ සූදානම කොහොමද?

දියවඩන නිළමේ නිලවරණයේදී ප්‍රමුඛම ඡන්ද හිමිවෙන්නේ මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ ස්වාමීන් වහන්සේලා දෙනමටයි. ඊට අමතරව විහාර දේවාලගම් පනතේ 4.1වගන්තිය යටතේ උඩරට පළාතේ පිහිටියා වූ සියලු‍ම සිද්ධස්ථාන භාරකාර හිමිවරුන්ටයි. මේ භාරකාර හිමිවරුන් සමග වසර පුරා අපි නොයෙක් කටයුතු සඳහා සෘජුව සම්බන්ධ වෙනවා. ඒ වගේම උඩරට  රාජධානියේ පිහිටි ප්‍රාදේශීය ලේකම්වරු සමග ශිෂ්‍යත්ව වැඩසටහන්, දිළිඳු සහන වැඩසටහන්, ආපදා අවස්ථාවල සිදුකරන මැදිහත්වීම් ආදි කටයුතු රුසක් සිදුකරනවා. ඒ වගේම අපේ සිබා විශ්වවිද්‍යාලයට සිසුන් තෝරා ගැනීමේදී එම ප්‍රදේශවල සිටින පාරම්පරික කලාකරුවන්ගේ දරුවන් තෝරගෙන එවන්නේ ඔවුන්. මේ විදිහට මම වසර පුරාම ඔවුන් සමග කටයුතු කරනවා. 

නිලවරණයේදී ඡන්දය භාවිත කරන අපේ බස්නායක නිලමේවරු 31 දෙනාටම ඔහුන්ගේ පෙරහර හා සංස්කෘතික කටයුතු සඳහා අවශ්‍ය අලි ඇතුන්, නැටුම් කණ්ඩායම් හා උපාංග සපයා ගන්නේ දළදා මාලිගාවෙන්. 

මේ විදියට මල්වතු අස්ගිරි මහනාහිමිපාණන් දෙනම සහ ලංකාව පුරා පිහිටි රජමහාවිහාර, ප්‍රාදේශීය ලේකම්වරු සහ බස්නායක නිලමේවරු සමග මා තුළ තිබෙන සබැඳියාව, සහයෝගය සහ අන්‍යෝන්‍ය අවබෝධය මගේ ජයග්‍රහණය සඳහා ලොකු රුකුලක් වෙනවාය යන්න මම හොඳාකාරව විශ්වාස කරනවා. ඒ නිසයි මම ඉදිරිපත් වුණේ. 

අලු‍ත් අපේක්ෂකයන්ට තමන්ව හඳුන්වා දෙන්න වෙයි, කරන දේවල් කියන්න වෙයි. නමුත් මම ඉතා නිහතමානිව කියන කාරණය තමයි මම  2005 කිව්ව දේට වඩා දෙයක් කරලා තියෙනවා. 2015ට කිව්ව දේට වඩා හොඳ ඉලක්කයකට දළදා මාලිගාව ගෙනත් තිබෙනවා. ඒ නිසා මම ඒ දේවල් ගැන නැවත නැවත කිවීම අවශ්‍ය වෙන්නේ නෑ. ඒ වගේම ඉදිරි සැලසුම් ගැනත් මම කියලා තියෙනවා. මේ නිසා මම ඒ දේවල් කරයි කියන විශ්වාස සංඝයාවහන්සේලාට, බස්නායක නිලමේවරුන්ට හා ප්‍රා‍දේශීය ලේකම්වරුන්ට තිබෙනවා කියා සහ ඔවුන් මාව විශ්වාස කරනවාය කියා මා නිහතමානීව විශ්වාස කරනවා.   

නිරෝෂාන් ප්‍රේමරත්න