සරුංගල් තරම් සුන්දර නැති ගල්කිස්ස වෙරළේ ජීවිත


ගල්කිස්ස වෙරළ තීරයේ ආකාසය සවස් යාමේදී එකම සැණකෙළියකි. නේකවිධ හැඩවලින් වර්ණවත්, අලංකාර වූ විවිධාකාර සරුංගල් ඉහළ ආකාසයේ ලෙළ දේ.  වර්තමානයේදී විවිධාකාර සතුටු උයන් තැනින් තැන ඉදිවුවද අතීතයේ දී මෙරට ආ බොහෝ විදේශකයන් තම නිදහස උපරිමෙන්  භුක්ති වින්දේ ගල්කිස්ස මුහුදු වෙරළේ ය.

ගල්කිස්සේ අහසේ ඉහළට ලෙළදෙන ඒ අපූරු සරුංගල්වල හැඩයක් තිබුණ ද ගල්කිස්ස වෙරල ආශ්‍රිතව ජීවත්වෙන මිනිසුන්ගේ ජීවිත සරුංගල් සේ සුන්දර නැත. සරුංගලයක නූල කොයි මොහොතේ හෝ කැඩී යන්නා සේ ඒ මිනිස්සුන්ගේ ජීවිත ද කොයි මොහොතේද කියා කියන්නට බැරිය.

ශ්‍රී ලංකාවේ උතුරේ සිට දකුණ දක්වා විහිද ගිය ගමන් මාර්ගයේදී ජනප්‍රියම, බොහෝ වෙරළ තීර අතරින් ගල්කිස්ස වෙරළ තීරයටද හිමි වන්නේ සුවිශේෂ තැනකි.

ගල්කිස්ස වඩාත් සුප්‍රසිද්ධ වන්නේ අදට වඩා එදා ය. එදා සුද්දන්ගෙන් පිරී තිබුණ ගල්කිස්ස වෙරළ තීරයේ අද සුදු ජාතිකයන්ගේ ආකර්ෂණය අඩු වී ඇත. 

ගල්කිස්ස වෙරළ විවේකීව අපූරු වෙරළ නිවාඩුවක් සඳහා කදිම ගමනාන්තයක් වුවත් ඇත්ත කිව යුතුය, ගල්කිස්ස වෙරළ අපිරිසිදුය. පරිසරය අපිරිසිදුකම මෙන්ම විදේශිකයන්ට මග පෙන්වන්නන් ලෙස හැසිරෙමින් ඇතැමුන් කරනා නොමනා ක්‍රියාකාරකම් නිසාම සුද්දන්ට ගල්කිස්ස වෙරළ තීරය එපා වී ඇති බව එහි සංචාරයේදී අපට දිස් වූ ප්‍රධානම කරුණකි.

ගල්කිස්ස වෙරළ ආශ්‍රිතව ජීවත්වෙන ජනතාවගේ ප්‍රධාන රැකියාව එදා මෙන් අදටත් ධීවර කර්මාන්තයයි. එහෙම නැත්නම් කුලී රස්සාවයි. ඔවුන්ගේ ජීවිතයේ වැඩි කාලයක් ගතවෙන්නේ මුහුදත් සමඟය. එක පෙළට ඉදි වූ කුඩා නිවාසවල තත්ත්වය කොයි තරම් ආණ්ඩු මාරු වුණත් තවමත් එලෙසමය. 

වහලවලට දමා ඇති තහඩු අතරින් දහවල් කාලයේදී හිරු රශ්මිය ගෙයි පොළොවට පතිත වේ. කුඩා සිදුරුවලින් බිමට එන ඒ එළි රාත්‍රි කාලයේ එහා මෙහා යන කලා මැදිරි එළියට සමානය. ඇතැම් නිවාසවලට වෙන්වුණු නිසි වැසිකිළි පද්ධති නැත. වෙරළ තීරයේ ඇතැම් තැන්වල බොහෝ ගැටලු සහගතය. සින්නක්කර ඔප්පු නැතත් වෙරළ තීරයට අයිතිකරුවෝ බොහෝය.

නිසි ක්‍රමවේදයකට ඉදින් නොවූ වැසිකිළිවල දොරවලට කිසිදු ආරක්ෂාවක් නැත. ඇතැම් නිවාස හෝටල්වල  අපවිත්‍ර ද්‍රව්‍ය හරවා ඇත්තේද සුන්දරයි කියන වෙරළ තිරයටම ය.

දහවල් කාලයේදී වෙරළේ පේළි නිවාසවල ජීවත්වෙන නිවැසියන් බොහොමයක් ජීවත්වන්නේ වැල්ලේය.  එයට හේතු කිහිපයකි.  දහවල් කාලයේ ඇති හිරු රශ්මියට කුඩා නිවාසයේ වහල තදින් රත් වේ. එය දරාගන්නට නොහැකිය. දහවල් කාලයේ කාන්තාවෝ යාබද නිවෙස්වල වෙසෙන්නන් හා අල්ලාප සල්ලාපයේ යෙදෙති. ඒ  ඔවුන්ගේ සාමාන්‍ය දින චරියාවය. 

කාලයකට ඉහතදී ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියාවට ගිය මුහුදු තීරයේ කාන්තාවෝ අද වන විට පිටරට රැකියාවට යන්නට වෙහෙසෙති.  කාන්තාවන්ගෙන් පිරිසක් ධීවර රැකියාවේ නිරත වන අතර තවත් පිරිසක් තම නිවසේ ඉදිරිපිට “පෙට්ටි කඩයක්” දමා වෙ​ෙළඳාමේ නිරත වෙති. ඒ වෙෙළඳසල්වල වැඩි වශයෙන් වෙළෙඳාම් වන්නේ තේ, කඩයප්පන්, සිගරට්, බීඩි මෙන්ම වෙනත් මත්ද්‍රව්‍යන්ය. වෙළෙඳාමේ නිරත වන කාන්තාවෝ තම ගැනුම්කරුවන් හඳුනති. 

ඇතැම් ගනුදෙනුකරුවන් ඒවා ඉල්ලන්නේ වෙනත් ඉඟි, නම්,  මාර්ගයෙනි. “අජනමොටෝ, සීනු ටොෆි “මෙන්ම වෙනත් නම්වලින් ඒවා ඉල්ලද්දි තම විශ්වාසවන්ත ගැනුම්කරුවන්ට 

වෙ​ෙළඳාමේ නිරතවන කාන්තාවන්  ඉතා සූක්ෂ්ම ය. ඇතැම් විට ඔවුන් ඒවා ආරක්ෂාකාරීව තැන්පත් කර ඇත්තේ තම  තන පටයේය.

එදා පන් වට්ටි හිසේ තබාගෙන මාළු වෙළෙඳාමේ ගිය රෙද්ද හැට්ටය හැඳි කාන්තාව ගල්කිස්ස වෙරළට ආවේණික විය. ඒ දසුන් අද දකින්නටවත් නැත.

ගල්කිස්ස මුහුදු තීරයේ ජීවත්වන තරුණයන්ගේ ජීවිතය එදා අද කියා වෙනසක් නැත. හැම ආණ්ඩුවක්ම බෙදා ඇත්තේ එකම හැන්දෙන්මය. ඒ තරුණ තරුණියන්ගෙන් මේ භුමියෙන් එළිය ලෝකය දකින්නට අවස්ථාව උදා වී ඇත්තේ බොහොම අතළොස්සකටය. ඒ ඔවුන්ගේ ස්වෝත්සාහයෙන් ම ය.

නැතිනම් මේ වැල්ලේ බොහෝ තරුණයන්ට උරුම මුහුදු රස්සාවය. එහෙම නොමැති නම් කුලියක් මලියක් ය. කොහොමින් හෝ රට රාජ්‍යවල ගිය ගල්කිස්ස තරුණ තරුණියන්ට යම් දියුණුවක් ඇත. මේ අතර තවත් තරුණ පිරිසක් මත් රකුසාට බිලි වී හමාරය. උදෑසන අවදි වූ වෙලේ පටන් රුපියල් හත්සිය පනහක් දාහක් සොයාගන්නට ඔවුන් නොකරනා දෙයක් නැත. රාත්‍රී කාලයේ අවන්හල්වලින් ඉවත් වූ හිස් බියර් ටින් පමණක් නොව යකඩ කැබලි එකතු කර ගන්නේ උදේ ආහාරය වෙනුවෙන් නොව අයිස් පැකට්ටුවට හෝ මත්කුඩු පැකට්ටුව ගැනීමට මුදල් සොයාගැනීමට ය. එසේ මුදල්  නොලැබුණහොත් ඔවුන් පුරුදු වී  ඇත්තේ සොරකමටය.  

එකල වැල්ලේ දරුවන්ට නාගරික පාසල්වල  ගේට්ටු වැසුණි. වෙරළ තීරයේ ජීවත්වෙන දරුවන්ගේ අධ්‍යාපනය තවමත් වැඩි හරියක් අතරමග ඇනහිට ඇත. එයට හේතු කීපයකි. ජාතික පාසල්, නාගරික පාසල් මේ ගල්කිස්ස නගර ආශ්‍රිතව තිබුණ ද මේ මුහුදු තීරය ආශ්‍රිතව ජීවත්වන දරුවන්ට ඒ ජනප්‍රිය පාසල් අහිමිය. ඒ දරුවන් පාසල්වල ගේට්ටුවෙන් ඇතුළටවත් ගැනීමට එම පාසල් කැමැත්තක් දක්වූයේ නැත. ඒ කුඩා කල පටන්ම ජීවත් වූ සමාජ පසුබිම, පවුල් පසුබිමත් සමඟ වගේම ඔවුන් ගෙවන ජීවිතයත් සමඟ ය. ඒ නිසාම ඔවුහු පාසල් ජීවිතයට කල් ඇතුවම “ආයුබෝවන්” කීහ. ඒ පාසල් මේ දරුවන් හඳුන්වන්නේ “වැල්ලෙ කෙල්ලෝ, වැල්ලේ කොල්ලෝ” යන නාමවලින් බව එක් මවක් බොහොම හැඟීම්බරව පැවසුවාය.     

“මීට වසර කිහිපයකට කලින් නම් වැල්ලේ  දරුවන්ට නාගරික පාසල් ගැටලුව තදින්ම තිබුණා. ඇත්තම කියනව නම් අපේ දරුවන්ට නාගරික පාසල් හීනයක්. ඒ නිසාම අපි ඒවාට උත්සාහ කළේ නැහැ. මේ දරුවන්ට අධ්‍යාපනය හැදෑරීමට සිදුවූයේ මේ යාබද තිබෙන  දියුණු නොවූ සාමාන්‍ය පාසල්වල. නමුත් කියන්න සතුටුයි මේ වන විට නගරයේ පාසල් අවස්ථා අපේ වැල්ලේ දරුවන්ට ලැබෙනවා.”

පාසලේ අධ්‍යාපනයෙන් ඉවත් වූ ගැහැනු දරුවෝ වැල්ලේ ජීවත් වූ පිරිමි දරුවන් සමගම විවාහ වූහ. ඇතැමුන් හොර රහසේ විවාහ නොවී එක නිවසේ පවුල් කෑහ. කොතරම් හැඩ වුණත් ගැහැනු දරුවකු වැල්ලෙන් පිට දීග තල දෙන්නට මේ දෙමාපියන්ට අසීරු විය. හොඳ තැනකට දීග තල යන්නට වාසනාව උදාවූයේ එහෙමත් වාසනාව ඇත්තියකට ය.  

“මේක මගේ උපන් ගම. දැන් මට අවුරුදු හැත්තෑ එකක් වෙනවා. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දුවයි පුතයි. ඒ දෙන්නම ඉන්නේ දැන් පානදුරේ. අපි මේ වෙරළෙන් ඈත් වුණා. ඒ කාලේ මෙතන දරුවන්ට ජීවත්වෙන්න හොඳ තැනක් නෙමේ. ඒ නිසාම එයාලා ලොකු වෙද්දිම මම මේ ගමෙන් ඈත් කළා. ඒ කාලේ එයාලත් එක්ක සෙල්ලම් කරපු දරුවෝ සමහරුන් ගැන ඇත්තටම දුකයි. සමහරු කුඩු බොනවා. සමහරු ගංජා ගහනවා. ඔය අතරේ සමහරු හොරකම් කරනවා. හැබැයි, හොඳට ඉන්න දරුවොත් ඉන්නවා. පානදුරේ පදිංචි වෙන්න ගියත් මට උපන් ගම අමතක කරන්න බැහැ. මම හැමදාම මෙතනට එනවා. 

ඉස්සර සුද්දෝ ඇති තරම් ආවා. වැල්ලේ ඇවිද ගන්න බැරි තරමට සුද්දෝ අව්වේ වෙරළේ දිගාවෙලා හිටියා. ඒ කාලේ සුද්දෝ සල්ලි වියදම් කරන්න ලෝස් වුණේ නැහැ. ඇති තරම් සල්ලි වියදම් කළා. හැබැයි අද කාලේ එන සුද්දන්ගෙන් වැඩි හරියක් සල්ලි වියදම් කරන්න හරි ලෝබයි. යුරෝපීය විදේශිකයෝ අඩුයි. වැඩිපුර එන්නේ ඉන්දියන් අය. පහුගිය කාලේ නම් විදේශිකයෝ ආවේ හරිම අඩුවෙන්. හැබැයි ළඟදී ඉඳන් ආයෙමත් සුද්දෝ එන්න පටන් අරන් තියෙනවා. 

ඉස්සර  සිප්පි කටු එකතු කරලා ඒ අයට විකුණන්න වෙනම කට්ටියක් හිටියා. අද එහෙම නැහැ. අද ඒ අයම වැල්ලේ ඉඳගෙන සිප්පි කටු අහුලනවා. ඉස්සර සුද්දෝ වැල්ලේ  බිම දිගාවෙලා නිදහසේ පොත් කියෙව්වා. අද එහෙම පොත් කියවන්න ඒ අයට නිදහසක් මේ වැල්ලේ නැහැ.   සුද්දෙක් දැකපු ගමන් ලඟට ගිහින් හිඟා කන අය නිසා සුද්දන්ට කොයිද නිදහසක්. එහෙම වද දෙන කට්ටිය අපි අල්ලලා පොලිසියට බාර දුන්නා. අනේ පැය කිපයකින් නිදහස් වෙලා ඇවිල්ලා ඊළඟ පැයේ ආයේ කරන්නේ ඒ ඒ රස්සාවමයි.  

මේ වැල්ල වෙනස් වෙන්නෑ. හැබැයි මේ වැල්ලේ මිනිස්සුන්ට වෙනස් වෙන්න කිසිම වුවමනාවකුත් නැහැ. මේ ගෙවල්වල උපන්දා සිට ජීවත් වුණත් සමහර නිවාසවලට ඔප්පුවක්වත් නැහැ. හැම වාරෙකටම දේශපාලනඥයෙක් ඇවිල්ලා තාමත් ටකරන් ටිකක් දීලා රවටනවා. තාමත් ටකරන් ටිකට රැවටෙන මිනිස්සු මේ ගල්කිස්සේ ඉන්නේ.  දුකයි කියන්න ඉස්සර  ගල්කිස්ස තමයි ලස්සනම. අද ගල්කිස්ස මත්ද්‍රව්‍යවලින් වැනසිලා.”

ගල්කිස්ස වෙරළේම උපන් චිත්‍රානන්ද අද තත්ත්වය ගැන පැවසූයේ එවන් අදහසකි. 

ගල්කිස්ස - දෙහිවල වෙරළ තීරය සවස් කාලයේදී කාර්යබහුලය. සවස හතරේ සිට කුඩා බෝට්ටු දියඹට යති. ගල්කිස්ස වෙරළෙන් මුහුදු රස්සාවේ යන කුඩා බෝට්ටුවේ යන්නේ දෙදෙනෙකු හෝ තිදෙනෙකි. ඔවුන්ට දවස් වැටුපක් නැත. අල්ලාගන්නා මාළුන් විකුණා ලබාගන්නා මුදලින් පළමුව වැය වූ තෙල්, ආහාරපාන ඇතුළු අනිකුත් වියදම් සඳහා  වෙන් කෙරේ. පසුව තව කොටසක් බෝට්ටුවේ හිමිකරුට අයිති වේ. 

ඉතිරි මුදල එදින බෝට්ටුවේ ගිය පිරිස අතර බෙදේ. ඇතැම් විට මොහොතට එලූ දැල් විශාල බෝට්ටුවලට කැඩී  යයි. ගල්කිස්ස මුහුදු තීරයේ මාළු බිස්නස් සරුය. ඔවුන් මාළුවලට මිල පවසන්නේ කිලෝ ප්‍රමාණයට නොව මාළු ප්‍රමාණය අනුවය. අව් රශ්මියට බේරීමට කුඩයක්ද ඔසවාගෙන ආ විදෙස් කාන්තාවක් බෝට්ටුවකට එබී විශාල මාළුවන් කිහිපදෙනෙකු පෙන්නා මිල ඇසුවාය. “රුපියල් දෙදාස් පන්සියයි.” අසල සිටි කෙනෙක්  උත්තර දුන්නේය. කිසිවක් නොකී විදෙස් කාන්තාව එම බෝට්ටුවෙන් ඉවත් වුණි.

“අපරාදේ එක්දාස් පන්සීයක් කියන්න තිබුණේ. දැන් සුද්දන්ව රවට්ටන්න බෑ. දැන් එන සුද්දෝ ලංකාවට එන්නේ ගිනි පෙට්ටියේ ගාන පවා ඉන්ටර්නෙට් එකෙන් හොයාගෙනයි.“

බෝට්ටුව අසල සිටි තරුණයෙක් පැවසීය.

“ඉස්සර ගල්කිස්සේ බීච් බෝයිලා පිරිලා. තරුණයන්ගේ අත මිට සරුවෙන හොඳ රස්සාවක් තමයි ඒක. හැබැයි අද ඒක නැහැ. ඉඳලා හිටලා බීච් බෝයිල හිටියට උන්ගේ අත සරු නැහැ. ඉස්සර මම මුහුදු ගියා.  දැන් නම් මම මුහුදු යන්නේ නැහැ. ඉස්සර වැල්ලෙ ජීවත් වුණු ගෑනු මාළු විකුණුවා. සුද්දන්ට අන්නාසි විකුණුවා. සිප්පි කටුවලින් එක එක දේවල් හදල විකුණුව. හැබැයි දැන් ඒවා මුකුත් නැහැ. ඔය ඉඳලා හිටලා වෙරළේ තැනින් තැන අන්නාසි විකුණන කෙනෙක් දෙන්නෙක් හිටියට ඒ අයටත් ලොකු ලාභයක් ලැබෙන්නේ නැහැ. වැල්ලේ ජීවත්වෙන තරුණයන්ගේ ජීවිත එතරම් ලස්සන නැහැ. අපරාදේ ජීවිත.” 

ඒ රේල් පාරට යාබදව තනා ඇති තම නිවසේ ජීවත් වන සිසිරගේ හඬයි. 

ගල්කිස්ස වෙරළ තීරය සවස් යාමේදී අපූරුය. ගල්කිස්ස හෝටලය තවමත් ගල්කිස්ස දෙස බලා සිටින්නේ ප්‍රතාපවත් ලෙසිනි. අද වන විට  විදේශිකයන් පමණක් නොව ශ්‍රී ලාංකිකයෝද සවස් කාලය ගත කරන්නට වෙරළට පැමිණෙති.  ගල්කිස්ස මුහුදේ තීරයට යාබදව අවන්හල් පිරී ගොස්ය.  එහෙත් ගල්කිස්ස වෙරළේ ජීවිතය අවන්හල්වල රසබොජුන් තරම් රසවත් නැත. 

දිශානි ජයමාලි කරුණාරත්න