ශිෂ්‍යත්වයෙන් වැඩිම ලකුණු දකුණට ගෙනා අමායා


මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවේ පළමු ස්ථානය දිනා ගැනීමට අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ එම්.ඩබ්ලිව්. ෂනුදි අමායා අස්විනි ශිෂ්‍යාව සමත්වූවාය.

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ දී ෂනුදි අමායා අස්විනි ශිෂ්‍යාව ලබාගත් ලකුණු සංඛ්‍යාව 198කි.
වසර 138ක දිගු ඉතිහාසයක් ඇති අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයෙන් පහ වසර ශිෂ්‍යත්ව විභාගයක දී සිසුවෙකු ස්ථානයක් ලබාගත් පළමු අවස්ථාව මෙය වීමත්, එම පළමු අවස්ථාවේ දීම  ලංකාවේම පළමු ස්ථානය ලබාගැනීමට හැකිවීමත්, දේවානන්දයට සුවිශේෂී වනු නිසැකය.

බළපිටියේ මහලදූවේ පදිංචි එම්.ඩබ්ලිව්. ප්‍රසාද් සහ ෂසිනි ප්‍රසාදිකා යුවතිපතීන් ෂනුදි අමායා ගේ දෙමාපියන් ය. ඇය හා හා පුරා කියා පාසල් අධ්‍යාපනයට අත්පොත තැබූවේ ගමේ පාසල වන හීනටිය රාහුල විද්‍යාලයෙනි. ඈ අම්බලන්ගොඩ දේවානන්දයට ඇතුළත් කිරීමට ඇගේ දෙමාපියන් කටයුතු කර ඇත්තේ ඉන් පසුවය.

දේවානන්දය ෂනුදි අමායා ගේ අනාගතයේ හැරවුම් ලක්ෂ්‍යය වූයේ එම විදුහලට පැමිණීමත් සමග බුද්ධි වර්ධනය සඳහා සෘජු සම්බන්ධතාවක් දක්වන චෙස් ක්‍රීඩාව තෝරා ගැනීමත් සමගමය. චෙස් ක්‍රීඩාවට විශේෂ දක්ෂතාවක් දැක්වූ ඇය අධ්‍යාපන කටයුතු ද සමබරව කරගෙන ගියාය.

චෙස් තරගාවලි සඳහා විටින් විට රට වටා ගිය ද   පාසලේ වැඩ අතපසු නොකිරීමට ඇය වගබලා ගත්තාය. සිය ශිෂ්‍යත්ව ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ ෂනුදි අමායා මෙසේ කීවාය.                   

“මම මුලින්ම ගියේ අපේ ගමේ පාසල වන හීනටිය රාහුල විද්‍යාලයටයි. ඊට පස්සෙයි මගේ දෙමාපියන් මාව අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයට දැම්මේ. මම මේ දෙවිදුහලේ දීම ගුරුවරුන් ගේ සිත් දිනාගෙන අධ්‍යාපන කටයුතු කරගෙන ගියා. දේවානන්දයට ආව ගමන් ම චෙස් ක්‍රීඩාව ක්‍රීඩාවක් විදිහට තෝර ගත්තා. මම හිතන්නේ මගේ බුද්ධි වර්ධනයට චෙස් ක්‍රීඩාව ඉවහල් වුණා කියලයි. මම අමතර පංති දෙකකටත් ගියා.”

ෂනුදි අමායා,  විදුහල්පතිනි තනුකා පාරමී සහ පංතිභාර ආචාරිනිය වන නිශාන්ති කුමාරි ඡායාරූපවලට පෙනීසිටි අයුරු.

“පාසලේ දී වගේම අමතර පංතිවල දෙන වැඩ අතපසු නොකරම කරා. කොහොම හරි එදා වැඩේ එදාම කළා. ඒ වගේම චෙස් තරගාවලි වලටත් ගියා. ඒවගෙනුත් ජය ලැබූවා. මම ශිෂ්‍යත්ව විභාගය හොඳට ලිව්වා. ගොඩක් ළමයි කිව්වා එක ප්‍රශ්න පත්‍රය අමාරු බව. මට එහෙම එකක් දැනුණේ නැහැ. මට වෙලාව ටිකක් මදි වුණා. ඒ මදිකම නිසා වෙන්න ඇති ලකුණු දෙසීයෙන් දෙසීයම ගන්න බැරි වෙන්න ඇත්තේ. මම දැනගෙන හිටියා මම ශිෂ්‍යත්ව විභාගය හොඳින්ම පාස් වන බව. ලංකාවේ පළවැනියා වේවි කියලා හිතුවේ නැහැ. ලංකාවෙම පළවැනියා බව දැන ගත්තාම දැනුණේ ලොකු සතුටක්. කොළඹ ලොකු ඉස්කෝලෙකට ගිහිල්ලා හොඳට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ මේ වගේම පාස්වෙලා සමාජයට සේවය කරන්න පුළුවන් හොඳ රැකියාවක් තෝර ගන්නවා.”

ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ තනුකා පාරමී විදුහල්පතිතුමිය සිය පාසල්   සිසුවිය ගේ මෙම ජයග්‍රහණය පිළිබඳව මෙසේ පැවසුවාය.          

“ඇත්තටම මට අදහාගන්න බැරි වුණා මේ ජය. මොකද විදුහල් ඉතිහාසයේ අපි කවදාවත් මේ වගේ ජයක් අත්විඳලා නැහැ. ඒ අවස්ථාව ලබලා දුන්නු ෂනුදි අමායා ශිෂ්‍යාවට අපේ විදුහලේ ගෞරවය ඒ වෙනුවෙන් හිමිවෙනවා. විශේෂයෙන්ම ඒ දරුවා ගේ දෙමාපියන්, පංති භාර එස්.ඩබ්ලිව්. නිශාන්ති කුමාරි ගුරුතුමිය මේ දරුවට මේ ජය ලබලා දෙන්න විශේෂයෙන්ම කැපවුණා, විශාල මහන්සියක් ගත්තා. මේ දරුවා ගේ මේ ජයග්‍රහණය පිළිබඳව මම වගේම අපේ සමස්ත පාසල් ප්‍රජාවම අද ජයපැන් බොනවා. මේ ජය අපේ පාසලට ලොකු ජයක්. අමතක නොවන සදානුස්මරණීය ජයක්. ඒ අවස්ථාව උදාකර දුන්නු මේ දැරිය දේවානන්ද විද්‍යාලය ලංකාවේ රන් අකුරින් ලියැව්වා.”

“ෂනුදි අමායා දැරිය ඉගෙනීමට වගේම චෙස් ක්‍රීඩාවටත් දක්ෂ දරුවෙක්. විනය පැත්තෙන් ගත්තත් කිසිම වැරැද්දක් නැති දරුවෙක්. ඇයගේ අනාගතය පැහැදිලියි. අපි අපේ විද්‍යාලය වෙනුවෙන් ඇයට සුබ පතනවා.

මාපියන් සමග 

පංතිභාර ගුරුවරිය වන එස්.ඩබ්ලිව්. නිශාන්ති කුමාරි සිය සිසුවිය ගේ මේ දක්ෂතාව ගැන  කීවේ මෙසේය.

“ඇත්තටම හරිම සතුටුයි. කියන්න බැරි තරම් සතුටක්. මම දැනගෙන හිටියා ෂනුදි අමායා ශිෂ්‍යාව ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවේ පළමු දහදෙනා අතර ඉඳියි කියලා. ඒ තරම් විශ්වාසයක් මට තිබුණා. මේ දරුවා කවදාවත්ම දීපු වැඩක් නොකර ආවේ නැහැ. හැමදාම පාසලට ආවේ කරන්න දීපු වැඩ ටික මම හිතුවටත් වඩා හොඳට කරගෙනයි. කිසිම කලබලයක් නැහැ. හරිම නිරහංකාර ළමයෙක්. පාඩම් කියලා දෙනවිට ඊට හොඳින් ඇහුම්කන් දෙනවා. නොතේරුණු තැන් අපෙන් අහනවා. යම් ගැටලු‍වක් ඇති වුවහොත් අපෙන් ප්‍රශ්න අහනවා. සමහර ප්‍රශ්න පිළිබඳව ෂනුදි හිතන්නේ අමුතුම විදිහට. හොඳ මතක ශක්තියක් තියෙනවා. මම ඇයට සුබපතනවා.”

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත සහ අම්බලන්ගොඩ එම්. හේමන්ත ද සිල්වා