දශක හතරක ශ්‍රී ලංකාවේ සහ විදේශ විශ්වවිද්‍යාලවල මා ලද අත්දැකීම් අනුසාරයෙන් මම මෙම ලිපිය ලියමි. අප අධ්‍යාපන ක්‍රමයේ සැලකිය යුතු හිදැස් - වසර ගණනාවක සේවය තුළ දී මා විසින් නිරීක්ෂණය කර තිබේ. එම හිදැස් සම්පූර්ණ කිරීම සඳහා අත්‍යාවශ්‍යයෙන් කළ යුතු ප්‍රතිසංස්කරණ තිබේ. ඒවා පාසල් මට්ටමේ සිට ආරම්භ විය යුතු අතර වර්තමාන සමාජයේ අවශ්‍යතාවන්ට සමපාත වන අයුරින් ජාත්‍යාන්තර ප්‍රමිතීන්ට අනුගත විය යුතු ද වේ.
මෙම ලිපිය මගින් මා යෝජනා කරන ප්‍රතිසංවිධිත අධ්‍යාපන ක්‍රමය ප්‍රධාන අදියර තුනකට බෙදා තිබේ. එනම් ප්‍රාථමික අධ්‍යාපනය, පහළ ද්විතීයික අධ්‍යාපනය සහ ඉහළ ද්විතීයික අධ්‍යාපනය වශයෙනි. ඒ සෑම අදියරක්ම ඊට ආවේණික අභිමතාර්ථයන් සපුරාලන අතර ඒවා අවසානයේ දී විශ්වවිද්‍යාල, කාර්මික අධ්‍යාපන ආයතන සහ වෘත්තීය අධ්‍යාපන ආයතන හරහා ඉදිවුණු මං පෙත් ඔස්සේ උසස් අධ්‍යාපනය දක්වා විහි දී යනු ඇත.
වර්තමාන අධ්‍යාපන සිද්ධාන්ත මගින් පුද්ගල සංවර්ධනය රඳා පවතින කුලුනු තුනක් හඳුනා ගෙන ඇත. දැනුම (ඥානන හැකියාවන්), ආකල්ප (ආවේදනාත්මක හැකියාවන්) සහ කුසලතා (මනෝචාලක හැකියාවන්) යනු එම කුලුනු තුනයි.
සරලව ගත් කල මෙ මගින් අවධාරණයට ලක් කෙරෙන්නේ - හිස (මනස) හදවත සහ කායික අංග (අත් පා) සංවර්ධනය කිරීමයි. හරවත් අධ්‍යාපන ක්‍රමයක් මගින් මෙම අංශ තුනම සමබර සහ ඒකාබද්ධ ලෙස සංවර්ධනය කළ යුතුයි.
අප ඉදිරියට යා යුත්තේ ගෝලීය අභියෝග සහ ජාතික ප්‍රමුඛතාවන් යන දෙකම පිළිබඳව තරයේ සිත්හි තබා ගෙනය. මෙහි අරමුණ වන්නේ දැනුමෙන් පරිපූර්ණ වූ පමණක් නොව ආචාරධර්මවලින් ද පිරිපුන්, නිර්මාණශීලී මෙන්ම වෙනස් වන ලෝකය හා ගැළපෙන ලෙස යාවත්කාලීන විය හැකි සිසු පරපුරක් බිහි කිරීමයි. මෙම පරිවර්තනය ආරම්භ වන්නේ සෑම අධ්‍යාපන ස්තරයකම කැපී පෙනෙන අවශ්‍යතාවන් හඳුනා ගනිමින් වන අතර එසේ හඳුනාගත් අවශ්‍යතාවන් මනා ආත්ම ශක්තියෙන් සහ පෞරුෂයකින් හෙබි පරිපූර්ණ පුද්ගලයන් නිර්මාණය කිරීම සඳහා සුමට සහ අඛණ්ඩ ලෙස සම්බන්ධ කළ යුතුය.
ප්‍රාථමික අධ්‍යාපනය (1-5 ශ්‍රේණි දක්වා)
ළමුන් ප්‍රාථමික අධ්‍යාපනය ඇරඹිය යුත්තේ වයස අවුරුදු 4.5 සිට 5.5 දක්වා විය යුතු අතර එහි සාමාන්‍යය අවුරුදු 5ක් විය යුතුය. මෙය නැවත පරිකල්පනය කළ යුතු ඉතා භාරදූර අදියරකි. මෙම ආකෘතිය නිර්මාණය කිරීමට පෙර අප විසින් නාගරික, අර්ධ නාගරික සහ ග්‍රාමීය තලයන් හි ළමුන්ට ආවේණික අවශ්‍යතා සැලකිල්ලට ගත යුතුය.
මෙම මූලික අවධියේ දී, අධ්‍යාපනය මගින් උත්තේජනය සපයන්නා වූ ද, සියල්ලන් ඇතුළත් කරගන්නා වූ ද, විනෝද ජනක වූ ද, පරිසරයක් තුළ මුල් ළමා විය සංවර්ධනය පෝෂණය කළ යුතුයි. ඉගෙනීම හුදෙක් ශාස්ත්‍රීය ක්‍රියාවක් පමණක් නොවිය යුතු අතර එමගින් අධ්‍යාපනයේ සැබෑ මිනුම් දණ්ඩ ලෙස සැලකෙන ස්ථිර හා ධනාත්මක චර්යා වෙනස එහි ප්‍රතිඵලය විය යුතුය. මෙම අවධියේ දී ඇතිවන ප්‍රතිඵල ඉගෙනුම ලබන්නා සහ ඉගෙනුම ලබා දෙන්නා යන දෙපාර්ශ්වයටම ඵලදායී විය යුතු වන්නේ එමගින් ජීවිත කාලය පුරාම අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය පදනම සකස් කරන බැවිනි.
ඉදිරිගාමී ප්‍රාථමික අධ්‍යාපන ක්‍රමයක් ශාස්ත්‍රීය කරුණු වලින් ඔබ්බට ගිය සාරධර්ම, නිර්මාණශීලීත්වය සහ ප්‍රශ්න විසඳීමේ හැකියාව ආදියෙන් සමන්විත විය යුතුය. එක් අත්‍යවශ්‍යම ප්‍රතිසංස්කරණයක් විය යුත්තේ ත්‍රෛභාෂා අධ්‍යාපනය නොහොත් ජාතික භාෂා වන සිංහල සහ දෙමළ මෙන්ම අන්තර්ජාතික භාෂාවක් වන ඉංග්‍රීසි ද ඉගැන්වීම සාධනීය ලෙස හඳුන්වා දීමයි. සියල්ලන් අන්තර්ගත කරන මෙම ප්‍රවේශය මගින් සන්නිවේදන බාධක බිඳ දමන අතර, සමාජ ඒකාබද්ධතාවය ඇති කරනු ඇත.
සදාචාර සහ ආචාර ධර්ම සංවර්ධනයට ද ප්‍රමුඛතාව දිය යුතුය. ආගමික අධ්‍යාපනය අනිවාර්ය විය යුතු අතර - සිසුන්ට බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් යන ආගම් අතරින් කැමැත්තක් තෝරා ගැනීමට අවස්ථාව සැලසිය යුතුය. එක් විශේෂ ආගමක් තෝරා නොගන්නා සිසුන් සංසන්දනාත්මක ආගමික අධ්‍යාපනය උගත යුතු අතර එමගින් අන්තර් ආගමික අවබෝධය සහ අන්‍යෝන්‍ය ගෞරවය ප්‍රවර්ධනය කෙරේ.
දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ආකල්ප, විනය සහ නීතිගරුක බව යනාදිය දෙස නවමු ඇසකින් බලමින් තම සමාජය ප්‍රතිනිර්මාණය කළ ජපානය වැනි රටවල්වලින් ඉතා වැදගත් පාඩම් උගත හැකිය. තරඟකාරී වැටුප් සහිතව රැකියාව උසස් තලයක පිහිටුවමින් උසස් මට්ටමේ වෘත්තිකයන් අධ්‍යාපන ක්ෂේත්‍රයට ආකර්ෂණ කර ගැනීම මෙම ප්‍රතිසංස්කරණවල අත්‍යවශ්‍ය අංගයක් විය යුතු අතර එය ප්‍රාථමික මට්ටමේ සිට ඇරඹිය යුතුය.
තවද, වෛකල්පික විෂයයන් වශයෙන් සෞන්දර්යාත්මක සහ ක්‍රීඩා අධ්‍යාපනයේ සිසුන් නිරත විය යුත්තේ - ඔවුන් අතර කණ්ඩායම් හැඟීම, නායකත්ව ගුණාංග, නිර්මාණශීලීත්වය සහ යහපැවැත්ම දිරිගැන්වීම සඳහා ය. බොහෝ විට තරගකාරිත්වය සහ ශ්‍රේණිගත කිරීම මත පදනම් වූ පාරම්පරික වාර අවසාන විභාග මෙම අදියරේ ඇගයීම ක්‍රියාවලිය තුළින් පිළිබිඹු නොවිය යුතුයි. ඒ වෙනුවට, එමගින් අවධානයට ලක්විය යුත්තේ - ආත්ම අවබෝධය, වර්ධනය සහ කුතුහලය දිරිගන්වන නවෝත්පාදක සහ උපකාරක ක්‍රම වෙතයි. මේවා නිරීක්ෂණීය ඇගයීම්, ව්‍යාපෘති පාදක ඇගයීම් සහ අඛණ්ඩ ප්‍රතිපෝෂක ක්‍රමවේදවලින් සමන්විත විය යුතුය. මෙම මූලික අවදියේ දී අධ්‍යාපනය විසින් තරගකාරීත්වයට වඩා සංවර්ධනයට ප්‍රමුඛතාව ලබාදිය යුතුය. ශ්‍රේණිගත කිරීම සහ ස්ථානගත කිරීම යන අදහස පසුවට කල් දැමිය යුත්තේ ළමුන්ට ඉගෙනගැනීමට, අත් වැරදීම් කිරීමට සහ සංසන්දනය කිරීමේ පීඩනයෙන් තොරව තමන්ව අවබෝධකරගැනීම සඳහා අවකාශය ලබාදීම සඳහා ය. ක්‍රම ක්‍රමයෙන් සැලසුම්ගත ඇගයීම හඳුන්වා දීම මගින් සිසුන් අධික උනන්දුවෙන් යුතු ක්‍රියාකාරකයන් කරනවාට වඩා ආත්ම විශ්වාසයෙන් හෙබි ඉගෙනුම ලබන්නන් බවට පත් කරනු ඇත. මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙන් මනා පෞරුෂයකින් හා හැකියාවලින් පරිපූර්ණ පුද්ගල පරම්පරාවක් පෝෂණය කරනු ඇත්තේ ඔවුන්ව ඵලදායී ලෙස ඊළඟ අධ්‍යාපන අදියර සඳහා සූදානම් කරමිනි.
පහළ ද්විතීයික අධ්‍යාපනය (6 සිට 10 ශ්‍රේණි දක්වා)
පහළ ද්විතීයික අදියර සංක්‍රාන්තීය අදියරක් වශයෙන් ක්‍රියාත්මක වන්නේ සිසුන්ව මූලික අධ්‍යාපනික විෂය ක්ෂේත්‍රයන්වලට හඳුන්වා දෙමින් වන අතර ඔවුන් තුළ ජීවන කුසලතා සහ චිත්තවේග වශයෙන් පරිණත බව වර්ධනය කරමිනි. හැකි සෑම විටම නේවාසික අධ්‍යාපන පරිසරයක් මීට සම්බන්ධ කිරීම මගින් - අධ්‍යාපනික අත්දැකීම් බෙදා හදා ගැනීම, සිසුන් අතර සුහදතාව ඇති කිරීම සහ සම්පත් කාර්යක්ෂමතාව ඇතිකිරීම යනාදියේ දී ප්‍රයෝජනවත් වනු ඇත.
සිසුන් සෞන්දර්යාත්මක සහ ක්‍රීඩා විෂයනහි තවදුරටත් නිරත විය යුතු වන්නේ, වෙනස් වෙනස් විෂය ක්ෂේත්‍රයන් සහ පුළුල් අභිරුචීන් ගවේෂණය කිරීමේ නම්‍යශීලීතාව ද රැක ගනිමිනි. මෙම අදියරේ දී පිහිනීම, බයිසිකල් පැදීම, නර්තනය, මූලික සෞඛ්‍ය අධ්‍යාපනය ආදී ජීවන කුසලතා හඳුන්වා දිය යුතුය.
පිරිමි සහ ගැහැනු යන සිසු දෙපාර්ශ්වයටම ලිංගික අධ්‍යාපනය අත්‍යාවශ්‍ය වේ. විශේෂයෙන්ම ගැහැනු ළමුන්ගේ වර්ධනය කලින්ම සිදුවීම සහ වර්තමාන අධ්‍යාපන ක්‍රමයේ සවිස්තරාත්මක ලිංගික අධ්‍යාපනයක පැහැදිලි අඩුපාඩුවක් තිබීම ද මෙයට හේතුවයි. එමගින් සියලු සිසුන්හට ගෞරවනීය සහ වගකීම සහගත ලෙස තීරණ ගැනීමට අවශ්‍ය දැනුම සහ අවබෝධය ලැබෙනු ඇත. එමෙන්ම, දෙමාපියන් සහ ගුරුවරුන් මෙම විෂය පිළිබඳව විවෘතව මෙන්ම අවංකව හා සහයෝගයෙන් යුතුව දරුවන් සමග සාකච්ඡා කිරීම වැදගත් වේ.
ලිංගික අධ්‍යාපනය තහනම් විෂයක් වශයෙන් සැලකීම සහ එය ඉතා සීමාසහිත කරුණුවලට ලඝු කිරීම - බැරෑරුම් සංවර්ධන අවධිය පසු කරන නව යොවුන් දරුවන් හට කරන අවැඩකි. ඒ වෙනුවට ප්‍රස්තුත කරුණ වෙත ප්‍රවේශ විය යුත්තේ - සංවේදීව, පැහැදිලිව සහ සියල්ලන් ඇතුළත් වන ලෙස සහ අනවශ්‍ය ආකාරයේ බිය සහ ලජ්ජාව වෙනුවට විශ්වාසය සහ අවබෝධය පෝෂණය කෙරෙන අයුරෙනි.
මෙම අවදියේ දී ඇගයුම ඉතා වැදගත් වේ. ඨ.ඡ.ඪ ක්‍රමය ක්‍රියාත්මක කිරීම මගින් සිසුන් ගේ අඛණ්ඩ ප්‍රගතිය මැනගැනීම සහ ඔවුන්ට වෘත්තීය මාර්ගෝපදේශකත්වය ලබා දීමට ඉඩ ලැබේ. එමෙන්ම, නොයෙක් වෘත්තීන් සඳහා පෙරහුරුවක් සහ මාර්ගෝපදේශ ඵලදායී ලෙස ලබා ගැනීම ආරම්භකිරීමට මෙම අවදිය කේන්ද්‍රීය අවස්ථාවක් උදා කරයි.
අද ලෝකයේ පවතින විශාල වෘත්තීන් පරාසය පිළිබඳව දරුවන්ව දැනුවත් කළ යුතුය. පෙර පරම්පරාවල එවන් අවධානයකට හෝ වටිනාකමකට ලක් නොවූ බොහෝ වෘත්තීන් මේ අතර තිබේ. උදාහරණයක් වශයෙන් සමහර සිසුන් වෛද්‍යවරයකු වීමට සිහින දුටුවේ හුදෙක්ම තමන් ඇසුරු කළවුන් එය වරප්‍රසාද සහිත වෘත්තියක් ලෙස හුවා දක්වා තමන් දිරිමත් කළ නිසා විය. නමුත්, පරිණත වෙත්ම සහ වයසින් මුහුකුරා යත්ම සැබෑ අභිරුචිය නිමග්නව තිබුණේ වෙනත් ක්ෂේත්‍රයක බව ඔවුන්ට වැටහුණු අතර බොහෝ විට බාල වියේ දී වෘත්තීය අවස්ථාවන් පිළිබඳ තමන්ගේ වටහා ගැනීම් කොතරම් පටු ආස්ථානයක පැවතියේ දැයි පසුතැවිල්ලට පත් වේ. දරුවන් අනුන් තමන්ගෙන් අපේක්ෂා කරන දේ නොව, තමන් සැබැවින්ම ආදරය කරන දේ හැදෑරීමට දිරි ගැන්වීම - තෘප්තිමත් සහ හරවත් ජීවිතයක් සඳහා ඉතා වැදගත් වේ. මෙම අධ්‍යාපන අදියරේ මෙහෙවර වන්නේ, විවිධත්වයෙන් යුතු නවීන වෘත්තීය අවස්ථා පරාසයන් හඳුන්වා දීම වන අතර නව යොවුන් මනස් එවන් මං පෙත් කරා රැගෙන යාමයි.
අධ්‍යාපන ක්‍රියාවලියට නෛසර්ගික ලෙස සම්බන්ධ වූ බැහැරවීමේ දොරටුවක් 10 ශ්‍රේණියෙන් පසු දරුවන්ට විවර කළ යුත්තේ, ශිල්පීය සහතික විභාගයක් හරහා සිසුන් හට වෘත්තීය අධ්‍යාපනය කරා යොමුවීමට අවස්ථාව ලබාදෙමිනි.
පරිගණක සාක්ෂරතාව මූලික නිපුණතාවයක් විය යුතු නමුත්, හානිකර වූ අනිසි නිරාවරණය වැළැක්වීමට සුපරික්ෂාකාරී විය යුතුය. භූගෝලය, ඉතිහාසය සහ පාරිසරික අධ්‍යයනය වැනි විෂයයන් නවීකරණය කළ යුතු අතර, ඒවා ඉගැන්විය යුත්තේ ගෝලීයව අදාළ වන සන්දර්භයක් තුළය. ප්‍රජා අධ්‍යයනය ඉගැන්වීම, විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය පිළිබඳ ඉගැන්වීම ද වඩාත් දැනුවත් පුරවැසියෙකු බිහි කිරීම සඳහා ඉතා වැදගත් වේ.
විනය සහ දින චර්යාව දරුවන් හට කා වැද්දීම සඳහා 9 - 10 ශ්‍රේණිවල සිට නේවාසික වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව දැඩි අවධානයකට ලක් කළ යුතුය. මේ පසුතලය මගින් වැඩිහිටි අවධියට අත්‍යාවශ්‍ය ගති ලක්ෂණ වන ස්වාධීනත්වය, ක්‍රමවත්ව සිතීම සහ මුහුකුරා ගිය සමාජ චර්යාවන් වර්ධනයට උදව් කෙරේ.
ඉහළ ද්විතීයීක අධ්‍යාපනය (11-12 ශ්‍රේණි )
ඉහළ ද්විතීයීක අධ්‍යාපනය තුළින් ශිෂ්‍ය කුසලතා තවදුරටත් පිරිපහදු කළ යුත්තේ G.P.V මත පදනම් වූ ආකෘතිමය ඇගයීම් ක්‍රමවේදයක් තුළින් වන අතර එමගින් තෘතීය අධ්‍යාපනය සහ වෘත්තීය මංපෙත් කරා වඩාත් නිරවද්‍ය ලෙස ස්ථානගත කිරීමට අවස්ථාව සැලසේ. මෙම මට්ටමේ දී, පාඨමාලාවේ සැලසුම් නිර්මාණය ප්‍රතිඵල පෙරදැරි කරගත් එකකින් ක්‍රමවේදය පෙරදැරි කරගත් එකක් කරා යොමු විය යුත්තේය. මෙය වඩාත් වැදගත් වන්නේ ගණිත සහ විද්‍යා විෂයයන්වල දී වීමට හේතුව වන්නේ එමගින් සෑම සංකල්පයක්ම පිටුපස ඇති න්‍යායන් සහ තර්කණයන් අවබෝධ කර ගැනීමෙන් ව්‍යුත්පන්න හෝ නුහුරු ගැටලු විශ්ලේෂණය කර විසඳුම් කරා එළැඹීමට සිසුන් හට අවස්ථාව ලැබීමයි. යාන්ත්‍රික ස්මරණය කෙරෙහි වැඩි අවධාරණයක් ලක්කිරීමට ඇති වත්මන් නැඹුරුතාව සිසුන් හට කෙටි කාලීන ප්‍රතිඵල ලබාගැනීමට උදව් කරන නමුත් බොහෝ විට දිගුකාලීන ධාරණය හෝ සැබෑ ලෝක තත්ත්වයන් හි දී තම දැනුම අදාළ කරගැනීමට උදව් කිරීමට අපොහොසත් වෙයි. වනපොත් කිරීම සිදු කළ යුත්තේ තෝරා ගත් අත්‍යවශ්‍ය අවස්ථාවල පමණක් වන අතර එය මූලික ඉගෙනුම් ක්‍රමයක් නොවිය යුතුය. ක්‍රියාවලිය, භාවිතය සහ ගවේෂණය මූලික කරගත් අධ්‍යාපන පටිපාටියක් මගින් ගැඹුරු අධ්‍යයනය දිරි ගන්වන අතර - සිසුන් විචාරාත්මක ලෙස සිතීමට, නිර්මාණශීලී ලෙස ගැටලු විසඳීමට සහ තමන් අවට ලෝකය සමග ඵලදායී ලෙස ගනුදෙනු කිරීමට සූදානම් කෙරේ. මෙම අදියර මගින් අවධාරණයට ලක් කළ යුත්තේ, ගැඹුරු ශාස්ත්‍රීය හැදෑරීම, සදාචාරාත්මක පදනම සහ ප්‍රායෝගික කුසලතා වර්ධනය යනාදිය යි.
සිසුන් හට තාක්ෂණවේදීන් හෝ සහායකයන් ලෙස - විශේෂයෙන් තොරතුරු තාක්ෂණය සහ කාර්මික සේවාවන් ඇතුළු, විවිධ කර්මාන්තවලට පිවිසීමට සුදුසුකම් ලබාගැනීම සඳහා වෘත්තීය පුහුණු මං පෙත් විධිමත් කළ යුත්තේය. මෙම ශාස්ත්‍රීය සහ වෘත්තීමය විකල්පයන් විවිධාංගීකරණය කිරීම මගින් සෑම සිසුවෙකුටම සිය ශාස්ත්‍රීය හැකියාවන් වලින් පරිභාබාරව, හරවත් වෘත්තීමය අනාගතයක් කෙරෙහි යොමුවිය හැක.
සාකච්ඡා මත පදනම් වූ ව්‍යාපෘති මූලික කරගත් සහ අත්දැකීම පාදක කරගත් ක්‍රමවේදයන් වෙත අධ්‍යාපනය යොමු විය යුත්තේ රැකියා යෝග්‍ය බව සහ විචාරාත්මක චින්තනය වර්ධනය කිරීම සඳහාය. මෙම අවධිය වන විට සිසුන් ශක්තිමත් චර්යා ධර්ම, චිත්තවේග බුද්ධිය සහ අන්‍යෝන්‍ය ගෞරවය යන ගුණාංග වර්ධනය කරගෙන තිබිය යුතුය.
වෛද්‍ය විද්‍යාව හා ඒ ආශ්‍රිත වෘත්තීය පාඨමාලාවන් හි විෂය සංකලනයන් නැවත සැලකිල්ලට බඳුන් කළ යුතුය. රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව සහ ගණිතය යන විෂයයන්ගේ අත්‍යවශ්‍යතාවය නැවත සමාලෝචනය යෝග්‍ය ය. ව්‍යවහාර දැනුම දියුණු කළ යුත්තේ - සැබෑ ලෝක අත්දැකීම හරහා මිස, කටපාඩම් කර සමත් වෙන විභාග වලින් පමණක් නොවන බව මතක තබා ගැනීම වැදගත්ය.
වත්මන් ලෝකයේ අධ්‍යාපනය මගින් බුද්ධි ඵලය මෙන්ම චිත්තවේගී බුද්ධිය යන දෙවර්ගයම මිනිය යුත්තේ සමාජ වගකීමෙන් යුතු සහ චිත්තවේග පාලනය කිරීමේ හැකියාවෙන් යුතු පුද්ගලයන් නිර්මාණය කිරීමටයි. භාවනාව සහ සිත කය සැහැල්ලු කිරීමේ පුහුණුව මූලික අවදියකදී ම හඳුන්වා දීම මගින් සිසුන්ගේ මානසික සුවය සහ ආත්ම අවබෝධය වර්ධනයට ඉවහල් වනු ඇත.
වත්මන් ඉහළ ද්විතීයීක විභාගය මූලික වශයෙන් සංක්ෂේපයෙන් දැක්වෙන ඇගයීමකි. එය ද්විතීයීක පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කිරීම සහතික කරන ඵලදායක සුදුසුකම් ලැබීමේ විභාගයක් වන නමුත්, විශ්වවිද්‍යාලට ප්‍රවිෂ්ට වීමේ සූදානම තීරණය කළ හැකි වඩාත් විශ්වසනීය ක්‍රමවේදය නොවේ. උපාධි වාර්තා විභාගයට සමාන සූදානම් බව ඇගයීමේ විභාගයක් මගින් සිසුන්ගේ යෝග්‍යතාවය සහ තෘතීයක අධ්‍යාපනය සඳහා ඔවුන්ගේ හැකියාව පිළිබඳ වඩාත් නිවැරදි මිනුමක් ලබාගත හැකිය. මෙම ප්‍රවේශය තුළින් ඉහළ ද්විතීයීක විභාගය පාසල් අධ්‍යාපනය අවසන් කිරීම සහතික කරන සම්මත ක්‍රමවේදයක් වන අතර, උපාධි වාර්තා විභාගය (GRE) වැන්නක් විශ්වවිද්‍යාලය ට ප්‍රවේශ වීමේ මූලික සුදුසුකම වනු ඇත.
මෙවන් වෙනසක අවශ්‍යතාවය තහවුරු කෙරෙන සන්ධිස්ථානයක් සලකුණු කරන ශ්‍රේෂ්ඨාධිකරණ නිරීක්ෂණයක් මගේ මතකයට නැගේ. එනම් “අසමාන පුද්ගලයන් දෙදෙනෙක් සමාන ලෙස සැලකීම අසාධාරණයක් වන අතර සමාන පුද්ගලයන් දෙදෙනෙක් අසමාන ලෙස සැලකීම ඊටත් වඩා අසාධාරණයකි” යන්නයි. සාධාරණ ප්‍රවේශ ක්‍රියාවලියක් මගින් සූදානම් බවේ සහ දක්ෂතාවයේ සැබෑ වෙනස්කම් හඳුනාගත යුතු අතර, සමාන සුදුසුකම් සහිත සිසුන් සමාන ලෙස සැලකිල්ලට බඳුන්වීම සහතික කළ යුතුය. සූදානම් බව සහතික කිරීමේ ඇගයීමක් හඳුන්වාදීම මේ මූලධර්මයට අනුකූල වනු ඇත්තේ ඇගයීම් ක්‍රම අවස්ථාවන් හා ගැලපීම තුළිනි.
සමාප්තිය
ඵලදායී ලෙස ක්‍රියාවට නැඟුවහොත්, දශකයක් තුළ දී ශ්‍රී ලංකාව ආදර්ශ රටක් ලෙස ස්ථානගත කිරීමට මෙම ප්‍රතිසංස්කරණවලට හැකියාව ඇත. ශස්ත්‍රීය ජයග්‍රහණ හා පුද්ගල සංවර්ධනය සමබර වූ, ශක්තිමත්, සියල්ල ඇතුළත් සහ සාරධර්ම පෙරදැරිකර ගත් අධ්‍යාපන ක්‍රමයක් නිරන්තරයෙන් වෙනස්වන ගෝලීය පරිසරයක අභියෝගවලට මනා ලෙස මුහුණ දීම සඳහා අත්‍යවශ්‍ය සාධකයකි.
කෙසේ වෙතත්, මේ සියලු උත්සාහයන් හි හරය ලෙස එක් වැදගත් මූලධර්මයක් ඇත. එනම්, ඉගෙනුම යනු දරුවන් හට විනෝදය ගෙන දෙන ක්‍රියාවක් විය යුතුය. කුතුහලය අවුස්සවන සහ සැබෑ රුචිකත්වය පෝෂණය කරන ක්‍රියාවක් ලෙස අධ්‍යාපනය හැඩ ගැස්වූ විට එය ඉතා ඵලදායී ක්‍රියාවලියක් වනු ඇත. දරුවන් බොහෝවිට දැනුම ධාරණය කරගන්නේ ද, විචාරාත්මක චින්තන හැකියා වර්ධනය කරගන්නේ ද, ජීවිත කාලය පුරා අධ්‍යාපනය සඳහා අවශ්‍ය ධනාත්මක ආකල්ප ඇතිකර ගන්නේ ද, පීඩනයකින් තොරව ඉගෙනුමේ නිරත වන විට ය. දරදඬු මෙන්ම සෑම ප්‍රමාණයකටම සරිලන එක ඇඳුමක් වැනි අධ්‍යාපන ක්‍රමයක් මගින් අධ්‍යාපනය හුදෙක් වනපොත් කිරීම සහ තරගකාරී ක්‍රියාවලියක් බවට පත් කරන බැවින් - ඉන් බැහැර විය යුතුය. ඒ වෙනුවට, එය සෑම දරුවෙකුගේම ස්වභාවික වර්ධනයට රුකුල් දෙන, ඔවුන්ට ආවේණික ඉගෙන ගැනීමේ වේගය, දක්ෂතා සහ ආශාවන් හඳුනාගත් ක්‍රමවේදයක් ලෙස සුපරික්ෂාකාරීව නිර්මාණය කළ යුතුය.
කණ්ඩායම් ක්‍රියාකාරකම්, මූලික ආචාර ධර්ම, සාකච්ඡාමය ඉගෙනුම සහ ජීවිත කාලය පුරා පවතින ඉගෙනුම් පුරුදු අධ්‍යයන පටිපාටියට ඇතුළත් කිරීම මගින් හුදෙක් දැනුමෙන් පමණක් පරිපූර්ණ පුද්ගලයන් නොව - අනාගතය සඳහා සූදානම් වූ වගකීම් සහිත පුරවැසියන් බිහිකරනු ඇත.
මේ ප්‍රතිසංස්කරණ තුළින් මුල් වසර දෙක ඇතුළත දී මනා අධ්‍යාපනයෙන් පිරිපුන් සිය පුරවැසියන්ගේ ශක්තියෙන් නවීන ලෝකයේ අභියෝග සහ අවස්ථාවලට මුහුණ දෙමින් නැගී සිටීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇති බව මගේ විශ්වාසයයි. මෙය සැලසුම් සම්පාදනය සහ කාර්යමණ්ඩල පුහුණුකිරීම ආදී සම්පත් සංවර්ධනය වෙනුවෙනි. පවතින ව්‍යුහය ඉදිරි වසර දෙකක කාලය තුළ අඛණ්ඩව හා නොවෙනස්ව ක්‍රියාත්මක වනු ඇත. මෙය සැබැවින්ම ක්‍රියාත්මක වීමේ කාලය වසර 12ක් වනු ඇත්තේ වසරක් පාසා ආරෝහණ පටිපාටියටය. වසරක සමාලෝචන කාලයකි.
ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට එක්වන ආයතන වන්නේ ජාතික අධ්‍යාපන ආයතනය, ජාතික අධ්‍යාපන කොමිසම, ගුරු අභ්‍යාස විද්‍යාල සහ ජාතික විශ්වවිද්‍යාලවල අධ්‍යාපන පීඨයි. සැලැස්මේ සාර්ථකත්වය ප්‍රතිඵල පාදක කොටගත් අධ්‍යාපන පසුතලය සමග ගැළපිය යුතුය.
වත්මන් ප්‍රතිසංස්කරණ සඳහා ගෝලීය මිනුම් ලකුණු වන්නේ අධ්‍යාපන තාක්ෂණය මත පදනම් වූ එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, නොර්වේ, ජපානය සහ ඉන්දියාව ආදී රටවල අධ්‍යාපන ක්‍රමවල සංකලනයකි. ආබාධිත දරුවන්ගේ, ග්‍රාමීය සහ වතු ආශ්‍රිත තරුණයන්ගේ අධ්‍යාපන අවශ්‍යතා ඉටු කිරීම සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කළ යුතු අතර ඒ සඳහා තීරණ ගැනීමට අවශ්‍ය දත්ත එක් රැස් කළ යුතුය.
බර තැබූ G.P.V භාවිතය හෝ දිස්ත්‍රික් ජනගහනය පාදක කොටගත් පහසුකම් දර්ශකය දැනට පවතින අප කාටත් නිසි ලෙස පැහැදිලි නැති Z-ස්කොර් නම් දිස්ත්‍රික් ශ්‍රේණිගත කිරීම වෙනුවට යොදා ගනු ඇත. ලිංගික සහ සෞඛ්‍ය අධ්‍යාපනය සඳහා අපගේ සංස්කෘතිය හා අනුගත වූ අපේම ක්‍රමවේදයක් සම්පාදනය කළ යුතුය. මෙහිදී දරුවන්, දෙමව්පියන්, ගුරුවරුන් සහ අනෙක් වෘත්තිකයින් සමග විවෘත සාකච්ඡාවලට නිරාවරණය කෙරෙනු ඇති අතර ඔවුන් තව දුරටත් කරදර ඇති කරන්නන් ගේ ගොදුරු නොවනු ඇත.
රට තුළ කලක් තිස්සේ පවතින ගැටලු අවම කිරීම සඳහා ත්‍රෛභාෂා අධ්‍යාපනය අනිවාර්ය අංගයක් විය යුතුය. අපට මෙහි දී දක්නට ලැබෙන කරුණක් නම්, අපේ සිසුන් වෙනත් රටක අධ්‍යාපනය සඳහා ගිය විට එරට භාෂාව වසරක් ඇතුළත ඉගෙන ගන්නා බව. එමෙන්ම, දරුවන්ට භාෂා නිපුණත්වය ඉතා අඩු වයසේ දී පහසුවෙන් ලබාගැනීමේ හැකියාව ඇත. මෙවන් ප්‍රතිපත්තියක් මගින් ගුරු වෘත්තිය සඳහා විශාල අවස්ථා ප්‍රමාණයක් ද නිර්මාණය වනු ඇත. භාෂා ත්‍රිත්වයෙන්ම නිපුණත්වය ලැබූ ගුරුවරුන් හට වඩා ඉහළ වැටුප් සහ පුහුණුවක් ලැබිය හැක. මෙම අදියරේ දී දරුවන්ව අඛණ්ඩ ඇගයීම් ක්‍රියාවලියක් තුළින් සහ අවසන් විභාගයක් තුළින් ඇගයුමට ලක් විය යුතුය.
මෙයින් අදහස් කෙරෙන්නේ ආකෘතිමය ඇගයීම් ක්‍රියාවලියකි. මෙහි දී අපි සිසුන්ව බහුවිධ මෙවලම් තුළින් කලින් කලට ඇගයීමට ලක් කරමු. එය කිසිදු ලෙසකින් වියුක්ත ක්‍රියාවලියක් වන්නේ නැත.