ශ්‍රී ලංකාවෙන් වඳ වෙන අලි පරපුර රැකගැනීමේ මග


අද වෙනවිට ලොව බොහෝ රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් අතර වනඅලි බැලීමට කැමති පිරිස් බහුලය. රටේ  ආර්ථිකය ශක්තිමත්ව ගොඩනැගීමට තරම් අපේ රටට වටිනා වස්තුවක් වී ඇති හෙයින් අලියා අද අපට අත්‍යවශ්‍ය සත්වයෙකු වී ඇත. එසේ වුවද දිනෙන් දින මිනිස් ක්‍රියාකාරකම් නිසා වනඅලින් ඉතා වේගයෙන් වඳ වෙමින් පවතී.

අපේ පැරැන්නන් නවීන තාක්ෂණය නොමැති කාලයේ වනඅලින් ගස් බැඳ වැඩ ගත් බවට ඉතිහාසයේ සඳහන් වෙයි. ගල්ඔය ව්‍යාපාරය ආරම්භක සමයේද විශාල කොන්ක්‍රිට් වළලු‍  එහා මෙහා ගෙන යෑමට වනඅලින් යොදා ගෙන තිබේ.

එදා අපේ රටේ ගැමියන් වැඩි වශයෙන් ජීවත්ව ඇත්තේ මහවනය සමග ගැටීමෙන්ය. ප්‍රධාන ජීවන රටාව වී ඇත්තේ හේන් ගොවිතැනයි.  හේන් කපා, සුද්ධ කර, අල වර්ග, ඉරිඟු, කුරක්කන්, කව්පි, මුං, තල, වැනි භෝග වගා කරන අතර හේන් රැකගැනීම සඳහා යොදා ගනු ලැබුවේ දඬු වැටයි.  

හේන් අස්වැන්න නෙළා ගත් කල වනඅලින්ට ආහාරයට ගැනීමට කොටසක් ඉතිරි කර හේන්වලින් පිටවීම ගොවීන්ගේ සිරිත විය. ඒ ඉතිරි වූ භෝග ආහාරයට ගැනීමට වන අලි පුරුදු වී සිටියහ.

අපේ රටේ ඇතිවූ විශාල සංවර්ධන යෝජනා ක්‍රම නිසා දිනෙන් දින වනඅලින්ගේ භූමි අඩුවීම ආරම්භ විය. වනඅලින්ගේ සාම්ප්‍රදායික ගමන් මාර්ග මුළුමනින්ම වැසී යන්නට පටන් ගත්තේය.

අද වෙන විට මෙය ඉතා  බැරූරුම් තත්ත්වයට පත්ව තිබේ. සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේදී මිනිසුන් වෙනුවෙන් පමණක් සිතා කටයුතු කිරීම නිසා අලින් මෙන්ම මිනිසුන්ද විශාල වශයෙන්  මරණයට පත්වෙමින් පවතී.

2024 වසරේ පමණක් ශ්‍රී ලංකාවේ අලි මරණ 388 ක් සිදුව ඇති අතර මිනිස් මරණ 155  සිදුව තිබේ. මෙය ඉතාම අවාසනාවන්ත තත්ත්වයකි. 2014 සිට 2025 මේ දක්වා නැගෙනහිර වනජීවී කලාපයේ පමණක් වනඅලින් 761 ක් මියගොස් ඇති අතර මිනිස් මරණ 291 ක් සිදුව තිබේ.

මෙම අලි මරණ වැඩි වශයෙන් සිදුව ඇත්තේ මිනිසුන් විසින් කරන ලද ක්‍රියා නිසාය. හක්ක පටස් කෑම, බඳින තුවක්කු පත්තුවීම, විදුලිය සැර වැද්දවීම, කුණු ආහාරයට ගැනීම යන කරුණුවලින් වැඩි වශයෙන්  අලි මරණයට පත්ව තිබේ. ස්වාභාවික හේතුන් නිසා අලි මරණයට පත්ව ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකි.

මිනිසුන් සහ වනඅලින් අතර ඇතිදූරස්ථ භාවය නැති කිරීමට ඇති එකම ආයතනය වන්නේ වනජීවී දෙපාර්මේන්තුවයි. 

ලංකාවේ වැඩිම අලින් සිටින්නේද නැගෙනහිර වනජීවි කලාපය තුළය. මාදුරුඔය ජාතික වනඋද්‍යානයේ  පමණක් වනඅලින් 1200 ක් පමණ සිටින  බවට වනජීවී නිලධාරීහු පවසති.

අලින්ගේ භුමිය මිනිසුන් ආක්‍රමණය කිරීම, අලිමංකඩ ඇහිරීම, වනාන්තරවල ආහාර හිඟවීම, වනජීවී දෙපාර්මේන්තුව සතුව මානව සම්පත අඩුවීම, අවශ්‍ය වාහන පහසුකම් අඩුවීම යනු කරුණු නිසා අලින් ගම්වැදීම කළමනාකරණය කර ගැනීමට නොහැකි වී  තිබේ.

මේ තත්ත්වය අනුව අලි සහ මිනිසුන් අතර අරගලය උච්චතම අවස්ථාවට පැමිණ ඇත. මේ තත්වය  පාලනය කිරීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් අලි පලවා හැරීම, අලිවෙඩි ලබාදීම, අලිවැට ගැසීම වැනි දේවල් සිදුකළත් ගැටලු‍ව තවමත් එක තැනම පල්වෙමින් පවතී.

මේ තත්වය පාලනය කිරීමට ජනතාවගේ පැත්තෙන් ඇති විසඳුම සෙවීම සඳහා මාධ්‍යවේදීන් කණ්ඩායමක් පසුගියදා ගැටලු‍ව බහුලව ඇති ප්‍රදේශවල සංචාරයක් කළේය.

අප පළමුව ගියේ මොනරාගල දිස්ත්‍රික්කයේ අලි මිනිස් ගැටුම විශාල වශයෙන් පැවැති ආනාපල්ලම ගම්මානය වෙතටය. එහිදී මුලින්ම වැල්ලවාය මොනරාගල මාර්ගයේ කුඩා වෙළෙඳසලක් පවත්වාගෙන යන එන්. කුඩා මහත්තයා හමුවිය.

අගල කැපීමෙන් හානි අඩු වුණා 
- එන්. කුඩා මහත්තයා  ආනා පල්ලම 

දැන් නම් බයක් නැතුව 7-8 වෙනකන් කඩේ වැඩ කරනවා. දැනට අවුරුදු පහකට පමණ කලින් හවස හය වෙනකොට අලි ගම්වදිනවා. නමුත් දැන් වනඅලි එහෙම අපේ ගමට එන්නේ  නැහැ. ඒකට හේතුව තමයි මේ  දිගට කපල තියෙන අලි අගල. හිටපු ගමන් ගමට අලියෙක් පනිනවා. අගල කපද්දි අහුවුණ තැන් දෙකක ගල් දෙකක් තියෙනවා. සමහර වෙලාවට එතැනින් පනිනවා. ඒ ගලත් කඩල දැම්මොත් අලින්ට මෙහාට එන්න බැහැ. හැබැයි මේ අගල අවුරුදු දෙකකට වරක්වත් නඩත්තු කරන්න ඕනේ. අපිට මේ අගල නිසා පුදුම සහනයක් තියෙන්නේ.

අලින්ට කන්න නැහැ 
- එස්. පරාක්‍රම අනාපල්ලම

මම නම් කියන්නේ අගල හොඳයි. ඒකෙන් ආරක්ෂාවක් තියෙනවා. නමුත් අපිට ආරක්ෂාව තිබුණට අලියට කන්න නැහැ. ඒක නිසා සමහර වෙලාවට අලියට බඩ ගින්නේ ඉන්න වෙනවා. මම යෝජනා කරන්නේ දැන් අලියට මෙතැනින් එන්න බැහැනේ. ඒක නිසා උන් කැමැති ආහාර ටිකක් අපි වවන්න ඕනේ. නැත්නම් ඒ සත්තු පව්. මේක වනජීවී  එක සහ ගම්මු එකතුවෙල කරන්න ඕනේ වැඩක්. ඒ වගේම මෙම අගල කපපු නිසා තව අවාසියක් උනා කැලෑ පාළු‍වන්ට. කැලේ ගස් කපන්න යන්න බැරිඋනා.

අගල කැපීම මග නැවතුණා 
- ආර්. එම්. දේවිකා උඩවලව 

අලි නිසා අපි අවුරුදු ගාණක් දුක් විඳිනවා. ප්‍රධාන හේතුව තමයි අපි ගෙවල් ඉදිරිපිට තියෙන්නේ උඩවලව ජාතික වන උද්‍යානය. අලි වැටක් තිබුණ නමුත් වැඩක් නැහැ. හැමදාම කඩන් එනවා වනජීවී එකෙන් එළවනවා. පස්සේ මේක දිගට ලොකු අගලක් කැපුවා. අගල කැපුවාම  අලි ගමට එන එක නැවතුණා. නමුත් අගල දිගටම කැපුවේ නැහැ. මගදි නතර කළා. කට්ටිය කිව්වා ඒකට කවුරු හරි නඩුවක් දැම්මා කියලා. නමුත් මේ අගල කැපුවට පස්සේ අලින්ට එන්න බැරි වුණා. අගල නැති තැනින් ගමට පනිනවා. ඒ අගලේ ඉතිරි ටික ඉවර කරොත් අපිට තියෙන අලි කරදර නැතිවෙයි කියලා තමයි හිතන්නේ.

බෞද්ධ සම්ප්‍රදාය අනුව 
සත්ව ප්‍රජාව රැකිය යුතුයි 

උතුරු - නැගෙනහිර දෙපළාතේ සමථ බල සම්පන්න, ප්‍රධාන අධිකරණ සංඝනායක, අම්පාර මහාවාපි විහාරාධිපති පුලු‍කුණාව රජමහා විහාරාධිපති, අරන්තලාව ජ්‍යාතන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති කිරිඳිවැල සෝමරතන නායක හිමියෝ මෙසේ කීහ.

මෙය වනඅලි තර්ජන පවතින කාල පරිච්ඡේදයක්. මේක අද ඊයේ වෙච්ච දෙයක් නෙවෙයි. නමුත් අද වෙනකොට ශීඝ්‍ර ව්‍යාප්තියක් අපි දකිනවා. වනඅලි කියන්නේ ජාතික සම්පතක්. අපේ බෞද්ධ සම්ප්‍රදාය තුළ එක් සංස්කෘතික අංගයක් තමයි වනඅලි කියන්නේ. 

මේ සත්ව ප්‍රජාව අපි ආරක්ෂා කර ගත යුතු වෙනවා. අපිට මාධ්‍යයෙන් බැලු‍වොත් හැමදාම තියෙන්නේ අලි ගහපුවා. ගෙවල් කඩපුවා වගේ දේවල්. අපි සාධාරණව කල්පනා කළොත් අපේ ජනතාව කැලෑවලට ගිහින් හේන් සුද්ධ කරලා වගා කටයුතු කරනවා. සමහර අවස්ථාවල අලිමංකඩවල් අවහිර වෙනවා. ඒ වගේම වනඅලි ගම් වදින්නේ ආහාර හිඟය නිසා.

මේ තත්ත්වය ගැන රජයේ අවධානය යොමු කරලා මිනිසා ආරක්ෂා කරන්නත් ඕනේ. සත්වයා ආරක්ෂා කරන්නත් ඕනේ. වනජීවීන්  වෙනුවෙන් ජල පෝෂක ප්‍රදේශ හදන්න ඕනේ. ඔවුන්ට අවශ්‍ය ආහාර වර්ග හදන්න වනජීවී දෙපාර්මේන්තුව කටයුතු කරන්න ඕනේ. ඒ වගේම අලිවැට තව දුරටත් ක්‍රමානුකූල වෙන්න ඕනේ. අලිවැටවල් හදලා ඒවා රකින්න කණ්ඩායම් දාලා තියෙනවා. නමුත් ඒ වගකීම පැවැරූ අය හරියට නොකරන එක තමයි අපේ විශ්වාසය.

පරිසර විද්‍යාඥයන් නැති අඩුව 
- නැගෙනහිර වනජීවී පශු වෛද්‍ය නිහාල් පුෂ්ප කුමාර මෙසේ කීය.

මම 2012 වසරේ ඉඳන් වනජීවී දෙපාර්මේන්තුවේ නැගෙනහිර පශු වෛද්‍ය ලෙස කටයුතු කරනවා. වන අලින්ට ප්‍රතිකාර කිරීම හා පශ්චාත් මරණ පරීක්ෂණ කිරීම මම සිදු කරනවා. මට තියෙන අත්දැකීම් අනුව කියන්න පුලු‍වන්. වනඅලින් විශාල ප්‍රමාණයක් මිය යන්නේ ස්වාභාවික හේතුන් නිසා නෙවෙයි. මිනිස් ක්‍රියාකාරකම් නිසා. අපිට බහුලව දකින්න තියෙන්නේ වෙඩි තැබීම් සහ වෙඩි වැදීම්. 
වෙඩි වැදීම් කියල හඳුන්වන්නේ බඳින තුවක්කු. බඳින තුවක්කුවකට අලියෙක් අහුවුණොත් උගේ කකුල තුවාල වෙනව. අස්ථි බිඳෙනවා. බඳින තුවක්කුවල  උණ්ඩවලට විවිධ යකඩ කෑලි වගේ ඒවා දාන නිසා සතුන්ට වෙන හානිය ඉතා වැඩියි. ඒ යකඩ කෑලි කකුල ඇතුළට ගියාම විවිධ ආසාදන ඇති වෙලා අලියට ඇවිදින්න බැරිවෙනවා. පස්සේ කෑම, වතුර නැතුව අලියා මිය යනවා.

ඇත්තටම මේ තත්ත්වය නැති කරන්න පුලු‍වන්. ඒකට ජනතාව දැනුවත් කළ යුතුයි. වනජීවී සෞඛ්‍ය කළමනාකරණය කියන්නේ ලෙඩවෙන සතෙකුට බෙහෙත් කරන එකක් නෙවෙයි. අපි ඉදිරි දැක්මක් ඇතිව වැඩ කරන්න ඕනේ. 

අලි ගහනයට වෙන හානියක් වළක්වා ගැනීමට තමයි වැඩ කළ යුත්තේ. සතෙක් ලෙඩ වෙලා ගිහින් වැටුණට පස්සේ බෙහෙත් කරන එක නෙවෙයි අපේ මූලික වගකීම. මූලික වගකීම වෙන්නේ  සත්ව ගහනය මූලික ආපදාවලින් වළක්වා ගන්න මොනව ද කරන්න ඕනේ කියන එක.

ඒකට අපට අවශ්‍ය වෙනවා පශු වෛද්‍ය නිලධාරි මෙන්ම සහයක කාර්ය මණ්ඩලයක්. පරිසර විද්‍යාඥයින් කොටසක් අවශ්‍ය වෙනවා.

වන සතුන් පාරට එන්නේ අභය භුමියේ හෝ වන උද්‍යානයේ ආහාර නැති උනාම. ඒවා වැඩි දියුණු කරන්න අපිට සැලස්මක් තියෙන්න ඕනේ. විමර්ශනයක් තියන්න ඕනේ සතුන්ට ඕන මොන වගේ ආහාරද ඒවා මේ පසේ වැවෙනවද, වතුර ලබා ගන්නේ කොහාමද කියලා අපි සොයා බලන්න ඕනේ. දැනට එහෙම දෙයක් අපේ කෙරෙන්නේ නැහැ. 

ඇත්තටම අපිට පරිසර විද්‍යාඥයන් නැහැ. වෙනත් රටවල එහෙම  ඉන්නවා. ඒ අයගේ වගකීම වෙන්නේ පස හා ජලය පිළිබඳ පර්‌යේෂණ කරලා අවශ්‍ය ක්‍රමවේදය දියුණු කර ගන්න එක.ඒ කොටස මූලික කොටසක් වෙනවා. ඒ කොටස අපෙන් මග හැරිලා තියෙනවා.

මිනිස්සු ගම අයිනට එනකන්ම කැළෑ එළි පෙහෙළි කරනවා. ඊට පස්සේ අපි සත්තුන්ට සුදුසු ආහාර වගා කරනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් වට්ටක්කා කොමඩු, වී, ඉරිඟු‍ වගා කරනවා. මේ ආහාරවලට අලින් හරි කැමැතියි. ජීර්ණය වෙන්න පහසුයි.  ඉතින් කැලේ කෑම නැති උනාම සත්තු මේවා කනවා. මෙතැනදි  තමයි ගැටුම ආරම්භ වෙන්නේ.

විදුලි වැට එක් ආරක්ෂක පියවරක් තමයි. නමුත් ඒක කඩන්න පුරුදු උනාම ඒක කඩනවා. එහෙනම් අපි කරන්න ඕනේ කඩිනමින් වනය තුළ සතුන් කැමැති ආහාර වර්ග සකස් කිරීම.

එහෙම වැඩ සටහනක් නැතුව කවදාවත් මේ ගැටුම නවත්වන්න බැහැ. දවසින් දවස අහිංසක සතුන් මිය යනවා. පුංචි අලි පැටව් මියයනවා. හක්ක පටස් කාපුවාම මාස ගණන් දුක් විඳලා මැරෙන්නේ. කෑම කන්න බැරුව. ඒක නිසා මිනිසුන් දැනුවත් කිරීම සහ ඔවුන්ගේ සහාය ලබාගැනීමත් සමගම වනාන්තර පෝෂ්‍යදායක තත්ත්වයට පත් කළ යුතුමයි.

උඩවලව අලින්ට අවශ්‍ය 
ආහාර වවන්න පටන් ගත්තා 
- ජානක ශාන්ත  කුමාර  උඩවලව ජාතික වනෝද්‍යාන භාරකරු 

උඩවලව ජාතික වනෝද්‍යානයේ වැඩි වශයෙන්ම ඉන්නේ අලි. අලින්ට අවශ්‍ය ආහාර නැති නිසා තමයි ගම් වදින්නේ. නමුත් අපි දැනට උඩවලව ජාතික වනෝද්‍යානයේ අලින්ට අවශ්‍ය ආහාර වගා  කිරීම  ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන්  අලින් කැමැති  තෘණ වර්ග වැවීම දැන් සිදුවෙමින් පවතිනවා. 

අලි ගම්වැදීම නවත්වන්න විදුලි වැට මෙන්ම   අගල් කපල තියෙනවා. අගල කපපු පැත්තෙන් අලි ගම් වදින්නේ  නැහැ.  අගල නැති පැත්තෙන් පනිනවා. උඩවලව ජාතික වන උද්‍යනයේ අලිවැට ළඟට එන අලින්ට මිනිස්සු කෑම දෙනවා. ඒක ඉතාම නරක තත්ත්වයක්. අපි දැන් විශාල වශයෙන් අඩු කරල තියෙන්නේ. කැලේ ඉන්න සතුන්ට ආහාර දුන්නොත් අපි ඒ අයට නීතිය ක්‍රියාත්මක කරනවා.

මහජනයාටත් අසාධාරණයක් 
නොවන විසඳුම් අවශ්‍යයි 
- නැගෙනහිර වනජීවී සහකාර අධ්‍යක්ෂ ප්‍රසන්ත විමලදාස

වනඅලියා කියන්නේ වනජීවී දෙපාර්මේන්තුවේ කේන්ද්‍රීය සතෙක්. වනජීවී දෙපාර්මේන්තුව විශාල කැපවීමක් කරනවා. විශාල වියදමක් දරනවා අලි සම්පත රැකගන්න. මම වැඩ කරන්නේ වනජීවීන් වෙනුවෙන්. නමුත් අපි මහජනතාවටත් අසාධාරණයක් නොවන ආකාරයට වැඩ කරනවා.    

මානව සම්පත සහ අලි සම්පත අතර ඇති මෙම ගැටලු‍ සහගත තත්ත්වය නැවැත්වීමට වනජීවී දෙපාර්මේන්තුව වශයෙන් දිර්ඝ කාලීන, කෙටිකාලීන, මධ්‍යම කාලීන වැඩ සටහන් කරගෙන යනවා.

දැනට අපි දශක දෙකකට වැඩි කාලයක් අලි වැට ඉදිකර තිබෙනවා. වනජීවී රක්ෂිතත් ජනාවාසත් වෙන් කරන්න. මුලින් අපිට තිබුණේ අපේ රක්ෂිත වටා විදුලි වැටවල් ඉදිකිරීම. නමුත් ඒකේ අඩුපාඩු තිබුණ හින්දා ගම්මාන වටා වැට ඉදිකරන්න පටන් ගත්තා. දැනට අපි අලු‍තින් යෝජනා කරගෙන යනවා කාලීන විදුලි වැට ආරම්භ කරන්න. ගොවීන් වගා කරන කාලයට ඒ බිම් ආරක්ෂා කරන්න විදුලිවැට ඉදි කරනවා. අස්වැන්න නෙළා ගත්තාම පස්සේ වැට ඉවත් කරනවා. එතකොට වන සතුන්ට වගාවන් ඉතිරිවෙලා තියෙන කොටස් නිරි වගාව ආහාරයට ගන්න පුළු‍වන්.

අලි මිනිස් ගැටුම යනු වැරදි යෙදුමක් 
‘සතුන් වෙනුවෙන් දහම් හඬ’ සංවිධානයේ ප්‍රාදේශීය  සම්බන්ධිකාරක  මනෝ උපදේශන නිලධාරිනි සදක්ෂි සුලක්ෂණා

අපිට මාධ්‍ය දිහා බැලු‍වොත් දකින්න ලැබෙන්නේ අලි මිනිස් ගැටුම කියන වචනය. නමුත් ඒක වැරදියි. මේ ගැටුම ඇති කරගෙන තියෙන්නේ උගත් කියන මානවයා විසින්මයි. සැලසුමක් නැති සංවර්ධනය නිසා අහිමි වූ වනපෙත් අලිමංකඩවල් නිසා අලියා කියන දැවැන්ත සත්වයා අසරණ වෙලා ඉන්නවා. මම දන්න ආකාරයට මව්පියන්ගේ සෙනෙහස අහිමි වූ වනඅලි පැටව් 60 ක් පමණ උඩවලව ඇත් අතුරු සෙවණේ ඉන්නවා. ඒ සතුන්ට තම මව්පියන් අහිමි කරේ මානවයා විසින්. දැන් මේ ගැටලු‍ව ඔඩු දුවල ඉවරයි. දැන්වත් අපි මෙය අවම කරන්න කටයුතු කළ යුතුයි.

ඉතා ඉක්මනින් ජනතාව දැනවුත් කිරීම සිදුකළ යුතුයි. වන සතුන්ට  හානි කරන අය වෙනුවෙන් පවතින නීතිය වෙනස් කරලා මීට වඩා දැඩි දඬුවම් දිය යුතුයි. නැතුව මේක පාලනය කරන්න අමාරු තත්ත්වයක් තමයි අපි දකින්නේ. එහෙම සිදු නොකළොත් අපේ ජාතික සම්පතක් වන වන අලියා අපිට නැති වෙන්න පුළු‍වන්. ඒ වගේම කුණු කෑමෙන් වන අලි මරණයට පත් වෙනවා. එයත් වැළැක්වීමට කටයුතු කළ යුතුයි.

අලින්ගේ ආරක්ෂාව මෙන්ම ජනතාවගේ ආරක්ෂාව සඳහා කළ යුතු දේ පිළිබඳව මහජනතාව විසින් අදහස් අනුව කරුණු කිහිපයක් ඉස්මතු විය. දැනට අලි අගල කපන ලද ස්ථානවලින් අලි ගම්වැදීම සිදු නොවන නිසා සුදුසු භුමිවල එය සිදුකරන ලෙසට ගම්වැසියන් යෝජනා කළ අතර එසේ කළ නොහැකි තැන්වල විදුලිය වැට ශක්තිමත්ව ඉදි කිරීමටත් එය රැකගැනීමටත් වැඩ පිළිවෙළක් සකස් කිරීමත් සුදුසු බව ඔවුන්ගේ අදහස විය.

අලින් ගම්වදින ප්‍රධාන හේතුව වශයෙන් ඔවුන්ට වනය තුළ ආහාර සහ ජලය හිඟවීම නිසා බව පවසන ගම්වැසියයෝ වනාන්තවල අලින්ට සුදුසු ආහාර වගා කිරීමටද යෝජනා කළහ.

අප සංචාරය කළ බොහෝ ස්ථානවල විදුලිවැට තිබුණත් ඒවා නිසි අයුරින් නඩත්තු නොවීම පිළිබඳව විවිධ අය අදහස් දැක්වූහ. වනජීවි දෙපාර්මේන්තුවේ පවතින මානව  සම්පත් හිඟය  මෙන්ම යාන වාහනවල හිඟකමද මෙම තත්වය පාලනය කිරීමට සෘජුව බලපා තිබේ.

මෙම ප්‍රශ්නය විසඳීම සඳහා වනජීවී දෙපාර්මේන්තුව විසින් ජාතික වැඩ පිළිවෙළක් සකස්කිරීමේ අවශ්‍යතාව මෙහිදි ඉස්මතු විය. එය කඩිනමින් ක්‍රියාත්මක නොවුණහොත් තවත් වසර ගණනාවකින් අපට අලින් දැකගැනීමට නොහැකි වනු ඇත.

අම්පාර වසන්ත චන්ද්‍රපාල