ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සියලු ගොඩනැගිලි පහසුකම් සහිත දන්ත වෛද්‍ය විද්‍යා පීඨයක් ආරම්භ වූයේ 2021 වර්ෂයේදී ය. ඒ අනුව අද වන විට එහි අධ්‍යයන කණ්ඩායම් 4ක් අධ්‍යාපනය ලබමින් සිටී. එවැනි පසුබිමක මෙම පීඨයේ සිසුන්ගේ සායනික පුහුණුවෙහි පවතින අක්‍රමිකතා පිළිබඳ සාකච්ඡාවක් ඉස්මතු වූයේ පසුගිය දා රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය නදුන් ධම්මික විසින්, අදාළ ගැටලුව ඇතුළත් ලිපියක් ජනාධිපතිවරයා වෙත භාර දී මාධ්‍ය වෙත අදහස් දැක්වීමත් සමඟිනි. ඔහු එහිදී ප්‍රකාශ කරනුයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අත්තනෝමතික ව, සැලැස්මකින් තොර ව, පෞද්ගලික වුවමනාව අනුව හිටපු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ පෞද්ගලික හිතවත්කම් මත ආරම්භ කරන ලද මෙම දන්ත වෛද්‍ය විද්‍යා පීඨය අද වන විට ප්‍රශ්න රුසකට මුහුණ දී තිබෙන බවයි.
කෙසේ නමුත් එම සංගමයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය අරුණ අබේවර්ධන මේ පිළිබඳ ඉරිදා ලංකාදීපයට දැක්වූයේ මෙවන් අදහසකි.
'මේක අවශ්‍ය නැහැ කියලා කතාවක් අපි කොතැනකවත් කියන්නෙ නැහැ. අපි කියන්නේ Options දෙකක් ගැන. එකක්, එම පීඨයේ සායනික පුහුණුව කරන්න වෙන ම තැනක් තිබිය යුතුයි. ඒ සායනික පුහුණුව තියෙන්නේ වෛද්‍ය ශිෂ්‍යයන්ගේ අවසාන වසර දෙකේ. ඒ සායනික පුහුණුව කරන්න වෙනම තැනක් තියෙන්න ඕනෑ. 2021 වසරේ මෙය පටන් ගන්නකොට සායනික පුහුණුව කොහෙද කරන්නේ කියන දේ දැනගෙන ඉඳලා නැහැ. එතැනින් තමයි මේ ප්‍රශ්නය උද්ගත වී තිබෙන්නේ. සිසුන්ට සායනික පුහුණුවට යන්න තැනක් හොයන විට මේ ගැටලු ඔක්කොම මතු වෙලා තියෙන්නේ. මේ පීඨයේ ගැටලු උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විසඳිය යුතුයි. ඔවුන් උත්සාහ කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තිබෙන රෝහල්වලට මේ ළමයි දාලා ඒ පුහුණුව එතනින් කරගන්න. ඒක ගැළපෙන්නේ නැහැ. මේක විය යුත්තේ මේ පීඨයට අදාළ රෝහලක් කොහෙ හරි හදලා සිසුන්න්ට සායනික පුහුණුව ලබා දීම.
දැනට තදබද වෙලා තියෙන කොළඹ, මහරගම රෝහල්වල මේක කරන්න අමාරැයි. දැනට සායනික පුහුණුව ලබා දිය යුතු සිසුන්ට පේරාදෙණියෙ තිබෙන වෛද්‍ය පීඨයට ඇතුළත් කරලා එතනදි සායනික පුහුණුව ලබා දෙන්න කියන එක තමයි අපේ දෙවැනි ඉල්ලීම. මේ විදිහට මහරගම රෝහලට දන්ත වෛද්‍ය සිසුන් යන එකෙන් රෝහලේ වැඩ ටිකත් නිවැරදි ව කරගන්න බැරි වෙනවා. සිසුන්ට හරියට පුහුණුව ලබාගන්න බැරිවෙනවා. අපි කියන්නේ සිසුන් පේරාදෙණියට යවලා ඊට පස්සේ පුළුවන් කාලයක ජයවර්ධනපුර පීඨයට සායනික පුහුණුව සඳහා රෝහලක් හදලා මේ පීඨය ඉස්සරහට අරගෙන යන්න කියලා. මේක ආරම්භ කරද්දී ම දන්ත වෛද්‍ය සංගමයේ අපි ඇහුවා මේක පටන් ගන්නේ කොහොමද කියලා විශ්වවිද්‍යාල කොමිෂන් සභාවෙන්, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මෙන් ම උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙනුත්. ජනාධිපතිවරයාට හැර අනිත් අමාත්‍යාංශවලට වරින් වර ලියුම් යවලා අවුරැදු තුනක් තිස්සේ ඇහුවා. ඒවට අපිට පිළිතුරක් ලැබුණේ නැහැ. ඒ නිසා තමයි අවසානයේ ජනාධිපතිතුමාට ලියුමක් භාරදෙන්න ගියේ. මේක විසඳන්න විශ්වවිද්‍යාල කොමිෂන් සභාව, සෞඛ්‍ය අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය කියන ආයතන තුන ම එක තැනකදි සාකච්ඡා කළ යුතුයි'
මේ සම්බන්ධයෙන් ඉරිදා ලංකාදීපය කළ විමසීමක දී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය කේ.එල්.වසන්ත කුමාර අදහස් දැක්වූයේ මෙසේ ය.
'දැනට මෙවැනි ගැටලුවක් ගැන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම තුළ සාකච්ඡා වන්නේ නෑ. එසේ ම මහජන මුදල් අවභාවිතයක් හෝ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය හෝ ප්‍රමිතියේ අඩුවක් පිළිබඳ කොමිෂන් සභාවට පැමිණිලි ලැබී නෑ. එවැනි ගැටලු ඉස්මතු වුවහොත් ඒ පිළිබඳ අදාළ සියලු අංශ සමඟ සාකච්ඡා කර අවශ්‍ය පියවර ගැනීමේ කටයුතු අප අනිවාර්යයෙන් ම සකස් කරනවා. අනෙක් කාරණාව තමයි දැනට ආරම්භ කර ඇති පීඨයක් වසා දැමීමක් ගැන කවුරැන් හෝ කතා කරනවා නම් එතැන ගැටලුවක් තිබෙනවා. මේ වන විට අධ්‍යයන කටයුතු කෙරෙමින් පවතින, සිසුන්, කාර්ය මණ්ඩල හා ගොඩනැගිලි ආදි සියලු දෙයින් සමන්විත පීඨයක කටයුතු නැවැත්වීම උචිත බව සිතීමට අපහසුයි. එසේ ම විවිධ වෘත්තීය සමිති ප්‍රකාශ කරන හෝ සමාජ මාධ්‍යයෙහි සංසරණය වන කරුණු නිසා අදාළ පීඨයේ අධ්‍යාපන කටයුතුවල ගුණාත්මකභාවය පිළිබඳ සිසුන් හා මහජනතාව අනිසි සැකයක් හෝ බියක් ඇති කරගත යුතු නොවන බවයි මගේ අදහස'
එම කොමිෂන් සභාවේ වෛද්‍ය හා දන්ත වෛද්‍ය විද්‍යා පිළිබඳ ස්ථාවර කමිටුවේ සභාපතිවරයා ද මෙසේ අදහස් දැක්වීය.
'අප මෙවැනි ගැටලුවක් ගැන දැනට කිසිසේත් ම දැනුවත් නෑ. ස්ථාවර කමිටු රුස්වීම්වලට පේරාදෙණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල දෙකෙහි ම දන්ත වෛද්‍ය විද්‍යා පීඨවල නියෝජිතයන් පැමිණෙනවා. නමුත් දැනට ඒ කිසිදු අවස්ථාවක මෙවැනි ප්‍රශ්නයක් සාකච්ඡා කර නැහැ.'
එසේ ම මේ පිළිබඳ ප්‍රශ්නගත දන්ත වෛද්‍ය විද්‍යා පීඨයේ පීඨාධිපති වෛද්‍ය ප්‍රියංක පලිපන ප්‍රකාශ කර සිටියේ මෙවන් අදහසකි.
'මෙම ගැටලුව සම්පූර්ණයෙන් ම අර්ථකථනය කර ඇත්තේ වැරැදියට. පීඨයේ සියලු වැඩකටයුතු ගැටලුවකින් තොර ව කෙරීගෙන යනවා. වියදම් පිළිබඳ ව ගැටලුවකුත් නෑ. වෛද්‍ය පීඨයත් සමඟ එක් ව තමයි අධ්‍යයන කටයුතු සිදු වන්නේ. සිසුන්ගේ සායනික පුහුණුවත් සිදු වනවා. 2022 ජනවාරි මාසයේ තමයි පීඨය ආරම්භ වන්නේ. දැනට කණ්ඩායම් 4ක් අධ්‍යාපනය ලබනවා. සිසුන් ගුණාත්මක අධ්‍යාපනයක් ලබා අදාළ දින වකවානු වලට අදාළ පරිදි උපාධිය නිම කරන අයුරින් තමයි ක්‍රමවේදය සකස් ව තිබෙන්නේ.
මෙම වෘත්තිය සමිතිය මඟින් එල්ල කරන චෝදනාව අපට ඉදිරිපත් කර නෑ. අවිධිමත් ලෙස ආරංචි වූ තොරතුරු පමණයි මා දන්නේ. ඒ වගේ ම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවයත්, සායනික පුහුණුව සඳහා අවශ්‍ය සියලු ම උපකරණ අප සතු ව පැවතීමත්, ඕස්ට්‍රේලියාව ඇතුළු අනෙකුත් විවිධ රටවල පරිත්‍යාග ආදියත් නිසා අධ්‍යයන කටයුතු ගැටලුවකින් තොර ව සිදු වන බව ප්‍රකාශ කළ යුතුයි. ඒ වගේ ම සාමාන්‍ය දන්ත වෛද්‍ය ශිෂ්‍යයෙකුට වැය වන මුදලටත් වඩා අඩු මුදලක් තමයි අපේ පීඨයේ ශිෂ්‍යයින් සඳහා වැය වන්නේ'
ලවංගා මාධවී දෑරංගල
සුදර්ශනි කෝණාර
මදූෂා දිල්ෂානි