විසඳුමක් නැති මරාගෙන මැරෙන අලි-මිනිස් ගැටුම


අලි සම්පත රටට ඩොලර් උල්පතකි. දේශීය මෙන්ම  විදේශීය සංචාරකයන්ගේ කැමරා කාචයට නිතැතින්ම හසු වන මහ වනයේ සද්දන්තයන් මහරූ වසන්තයක් වුවද අද වන විට වසංගතයක් බවට පත්කරගෙන හමාරය.පරිසර අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා ‍සඳහන් කර සිටියේ, වාර්ෂික අලි මරණවලින්  සියයට14 පමණ විදුලිසැර වැදීම් නිසාද අලි මරණ සියයට 10  හක්කපටස් නිසාද  සිදුවෙන බවය. වැඩිම අලි මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ  2023 වසරේදීය. එම වසරේ වාර්තා වී ඇති අලි මරණ සංඛ්‍යාව 488 කි. අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන පරිදි  මේ වසරේ ජුනි මාසය වන විට අලි මරණ වාර්තාවලින් සියයට 17ක්ම සිදුව ඇත්තේ වෙඩි වැදීම් නිසාය. " ලංකාවේ අලි ඇත්තු මැරෙන්නේ නැත. උන් දවස ගානේ කෘර ලෙස මරා දානවා පමණි.”ඔහු කියයි.

මෙලෙස වන අලි දිනෙන් දින මිය යාම ඉහළ යන්නේ ඇයි? මේ සම්බන්ධව  පරිසර සංරක්ෂණවේදී නයනක රංවැල්ල දැක්වූයේ මෙවන් අදහසකි.

අලිමරන වැළැක්වීමේ වැඩපිළිවෙළ හමස් පෙට්ටියේ

අලි මිනිස් ගැටුම සම්බන්ධව කතා කරන විට මූලිකවම රොබට් නොක්ස්ගේ වාර්තාවක සඳහන් වන්නේ " අලියෙක් ගම්වැදී ගමේ සිටි තරුණයන්  සියල්ල එකතු වී අලියා පලවා හැරි බවයි. ඒ වගේම ලන්දේසි පාලන කාලයේ සහ පෘතුගීසි පාලන සමයන් තුළත් අලි රට යැවීමට අවසර දුන් අවස්ථා ඉතිහාසයේ සඳහන් වෙනවා. නමුත්  "අලිමිනිස්" ගැටුමක් ලෙස තීව්‍ර වශයෙන් උඩුදුවන්නේ මෑත කාලීනවයි. ලංකාවේ භූමියෙන්  සියයට 62 ප්‍රමාණයක අලි ජීවත් වෙනවා.එම භූමි ප්‍රමාණයෙන් සියයට18 අලි පමණක් වාසය කරනවා. ඉතුරු සියයට 44 ක ප්‍රමාණය තුළ අලි, සහ මිනිසුන්  දෙපාර්ශ්වයම එකට වාසය කරනවා. ගැටුම වැඩිපුරම ඇතිවන්නේ අලි සහ  මිනිස්සු එකට ජීවත් වෙන කොට්ඨාසයේ. මේ හේතුවෙන් අලි තමන්ගේ උපන් බිම වෙනුවෙන් සටන් කරනවා. 

මේ ප්‍රදේශවල මිනිස්සු පදිංචි කරලා තියෙනවා.පැරණි ගම්මාන තියෙනවා . විවිධ හේතු මත ජනගහනය වැඩිවීම , සංවර්ධන යෝජනා ක්‍රම ඇතිවීම, විවිධ වගා බිම් ඇතිවීම , මෙවැනි දේවල් හරහා අලින්ගේ වාස භූමි අඩුවෙලා තිබෙනවා. ලංකාවේ භූමියෙන්  සියයට44  වන  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 131 ක දිස්ත්‍රික්ක 19 කම අලි ගැටුම්  ප්‍රශ්නය ව්‍යාප්ත වෙලා තිබෙනවා. 

දළ ලබාගැනීම සඳහා ඇත්තු මරණ ව්‍යාපාරයක් තිබෙන බව පේනවා. අලි කෙඳි වැනි දේ ලබාගන්න අලි මරණ ස්වරූපයක්  තිබෙනවා. තමන්ගේ හේන් සහ ගෙවල් ආරක්ෂා කර ගන්නත් තමන්ගේ ගම්වැසියන් අලින් විසින් ඝාතනය කළ විට එයට පළිගැනීමක් වශයෙනුත් අලින් මරණ ස්වරෑප පවතිනවා. දඩයම් කිරීමට කැලෑවලට ඇතුළුවන   මිනිසුන්ට අනපේක්ෂිතව අලින් හමු වූ විට ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අලින්ට වෙඩි තැබීම සිදුවෙනවා . 

බොහෝ විට අලින්ගේ කකුල්වලට වෙඩි වදින ස්වරූපයක් අපට පේනවා . කොටන තුවක්කු වෙනත් සතුන් දඩයම් කිරිමට බැඳලා තියෙනවා. අලිනුත් ඒ බඳින තුවක්කු වට සුලබව ලක්වෙන බවක් පේනවා. 

2020 වසරේදී  ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ අපේ රටේ පරිසර සංරක්ෂණවේදීන් සහ රාජ්‍ය ආයතන ගණනාවක් එකතු වෙමින් අලි මිනිස් ගැටුම සම්බන්ධව ක්‍රියාකාරී සැලසුමක් සකස් කළා.එහි  ප්‍රධානියා වශයෙන් කටයුතු කළේ ආචාර්ය ප්‍රතිවිරාජ් ප්‍රනාන්දු. එතුමා ලංකාවේ පමණක් නොව ලෝකයම අලි සම්බන්ධව සිටින ප්‍රාමාණික පර්‌යේෂණ  විද්වතෙක්. එතුමා ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් එකතු වී හදපු ක්‍රියාකාරී සැලැස්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළේ නැහැ. හමස් පෙට්ටියට දාලා වහලා තිබ්බා. එතකොට 2023 අවුරුද්දේ අලි 488ක් වගේ මියගියා. නමුත් 2024 මේ සැලැස්මෙන් යෝජනා කරලා තිබෙන පරිදි කාර්තුවකට පමණක් වලංගු වන පරිදි විදුලි වැටවල් 280ක්  සවිකළා.  අතරමැදි පාලන කාලයෙහි අපි හිතනවා අලි මරණ100කින් අඩුවුණා .2024 වර්ෂයේ දී  මේ action plan එකේ කොටසක් ක්‍රියාත්මක කිරීම ඒකට බලපෑවා යැයි අප සිතනවා. 

මේ ආණ්ඩුව බලයට ඇවිත් සත්තු මරන්න දිරිගැන්වීමේ ප්‍රකාශ නිකුත් කළා. මහා පරිමාණ අලි එලවීම් ගණනාවක් සිදුකළා. ඒවායින් අලින්ගේ ජීවිත දැඩි අනතුරකට පත්වුණා. ඊළඟට අලි මිනිස් ගැටුම පාලනය වන කිසිම ප්‍රතිකර්මයක් මේ ආණ්ඩුව ක්‍රියාත්මක කළේ නෑ. ඒකෙ ප්‍රතිඵලයක් ලෙස අලි මරණ වාර්තාවන ප්‍රමාණය 250කට ආසන්නයි. නමුත්  වාර්තා නොවන විශාල ප්‍රමාණයකුත් තියෙනවා. මේ ආණ්ඩුව පමණක් නෙවෙයි කොයි ආණ්ඩුවෙත් මේ සම්බන්ධයෙන් පියවරක් ගත්තේ නැහැ.

මෙය විසඳීමට නම් අපි දකින්නේ ආචාර්ය ප්‍රතිවිරාජ් ප්‍රනාන්දුගේ ක්‍රියාකාරී සැලැස්ම නිශ්චිත කාල රාමු අනුකූලව වහාම ක්‍රියාවට නැංවීම කළ යුතු වෙනවා .

ආණ්ඩුවට අනුව කුමන්ත්‍රණයක් වූ අලි මරණ? 

මේ සම්බන්ධව පරිසර ඇමති ධම්මික පටබැඳිගෙන් සිදුකළ විමසීමකදී ඔහු  දැක්වූ අදහස් මෙසේය.  

“අපේ රටේ අලි මිනිස් ගැටුමට බලපා ඇති ප්‍රධාන හේතුවක් ලෙස පසුගිය කාලයෙහි අපේ රටේ ක්‍රියාත්මක වූ වැරදි ආර්ථික ප්‍රතිපත්ති සහ වැරදි දේශපාලන සංස්කෘති හඳුනාගන්න පුළුවන්. ඒ මගින් සිදු වූයේ අපේ රටේ පරිසරය පිළිබඳ සැලකිල්ලක් නොදක්වා අලින්ගේ වාසස්ථාන  වනාන්තර එළිපෙහෙළිකර අලින්ගේ සුපෝෂණ ස්ථාන හා එවැනි වාස භූමි විනාශ කිරීම.විශේෂයෙන්ම දේශපාලනඥයන් සහ දේශපාලනඥයන්ගේ ආශිර්වාදය ලබන පිරිස් මේ කැලෑ එළිපෙහෙළි කර අලින්ගේ වාස භූමි අහිමිකර දමා තිබෙනවා. ඒ හේතුවෙන් අලින්ට තමන්ගේ වාස භූමි අත්හැර දැමීමට සිදුවෙලා තිබෙනවා ඊට අමතරව අලින්ට අවශ්‍ය කරන ආහාර සුපෝෂණය සඳහා අවශ්‍ය වන ආහාරපානාදිය සොයා ගැනීමට අලින් ගම් වැදීමට පටන් අරගෙන තියෙනවා.

අපේ රටේ අලි මිනිස් ගැටුමට බලපා ඇති ප්‍රධාන හේතුවක් ලෙස පසුගිය කාලයෙහි අපේ රටේ ක්‍රියාත්මක වූ වැරදි ආර්ථික ප්‍රතිපත්ති සහ වැරදි දේශපාලන සංස්කෘති හඳුනාගන්න පුළුවන්. ඒ මගින් සිදු වූයේ අපේ රටේ පරිසරය පිළිබඳ සැලකිල්ලක් නොදක්වා අලින්ගේ වාසස්ථාන  වනාන්තර එළිපෙහෙළිකර අලින්ගේ සුපෝෂණ ස්ථාන හා එවැනි වාස භූමි විනාශ කිරීම.විශේෂයෙන්ම දේශපාලනඥයන් සහ දේශපාලනඥයන්ගේ ආශිර්වාදය ලබන පිරිස් මේ කැලෑ එළිපෙහෙළි කර අලින්ගේ වාස භූමි අහිමිකර දමා තිබෙනවා.

පසුගිය කාල සීමාවෙහි අලි මිනිස් ගැටුම නිසා වාර්ෂිකව වැඩිම අලි මරණ ප්‍රමාණයක් සිදුවූයේ 2023 වසරේ. දළ වශයෙන් අලි 488ක වගේ  ප්‍රමාණයක් මිය ගියා. 2024 වන විට එය 386 දක්වා අඩු කරගන තියෙනවා. 

සාමාන්‍යයෙන් මීට පෙර මාසයකට අලි මරණ 30-35ක්,  සමහර අවුරුදු  තුළ 40  වගේ සිද්ධ උණා.

නමුත් පසුගිය දිනවල අලි මරණ වැඩියෙන් සිදුවන රැලි දෙකක් නිරීක්ෂණය වුණා. අයවැය සමයේ විශේෂයෙන්ම පරිසර වැය ශීර්ෂය සාකච්ඡා කරන දිනවල දී අලි මරණ රැල්ලක් අපි නිරීක්ෂණය කළා. ඉන්පසු පසුගිය දිනවල ඒ රුල්ල නැවත වතාවක් මතුවුණා. ඒ සිදුවීම් අනුව බලන විට මේ පිටුපස කිසියම් සංවිධානාත්මක ක්‍රියාවලියක් තිබෙනවාද යන සැක මතුවුණා. විශේෂයෙන්ම අලි මරණ සිදුවන විට අපි දැක්කා පසුගිය කාලේ ඊට සමාන්තරව සමාජමාධ්‍ය  ජාලා කැම්පේන් එකක් ක්‍රියාත්මක වන ආකාරයක්.  අලින්ට වෙඩි තියෙන රටාවේ සමානකමකුත් තිබුණා. බොහෝ අලින්ට වෙඩි වැදී තිබුණේ දණහිසෙන් පහළ නැත්නම් වැළමිටෙන් පහළ. ඒ වෙඩි පහරට ලක් වූ අලියා හෝ ඇතා ඉතා අපහසුවෙන් ඇවිදින වීඩියෝ සමාජ මාධ්‍ය ජාලා හරහා ප්‍රචාරණය වුණා. ඉතාම සංවේදී දසුන් භාවිතකර ආණ්ඩු විරෝධී සහ වෙන වෙනම සමාජමාධ්‍ය ජාලා රැල්ලක් නිර්මාණය කරන බව අපිට නිරීක්ෂණය වුණා.

ඒ වගේම තමයි අපි දුටුවා අලි සංරක්ෂණය කරමින් ඉන්න, ඒ වෙනුවෙන් කැපවී සිටින වනජීවී නිලධාරීන්, තුවාල ලැබූ අලින්ට  ප්‍රතිකාර සිදුකළ  පශු වෛද්‍යවරැන් අධෛර්යයට පත් කරන ආකාරයේ  ඔවුන්ගේ කාර්යයන් හෙළා දක්වමින් ඔවුන් වැඩ නොකරන අය ලෙස සමාජය ඉදිරියේ හංවඩු ගසමින් සමාජ මාධ්‍ය ජාලා කැම්පේන් එකක් අරගෙන ගියා .අලි සංරක්ෂණය සඳහා පෙනී සිටිනවා යැයි කියමින් හඬ නඟන සමහර  සමාජමාධ්‍ය ජාලා සමහර පුද්ගලයන් සමහර සංවිධාන විසින් මෙවැනි කැම්පේන් එකක් සිදු කරනවා. මේ කැම්පේන් එක තුළ පශු  වෛද්‍ය නිලධාරීන්, වනජීවී නිලධාරීන් ඉතාම අපහසුතාවට පත්වුණා.  ඇත්තටම මේ පිටුපස තියෙන වුවමනාව අලි සංරක්ෂණය කිරීම නෙවෙයි. අලි මරණ වැඩිවී ඇතැයි හිතන තත්ත්වයක් නිර්මාණය කළා. ඒ හේතුවෙන් මේ පිටුපස කිසියම් සංවිධානාත්මක ක්‍රියාවලියක් තිබෙනවාද සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සහය ඉල්ලා සිටියා.

වන අලි මරණ සම්බන්ධව ලංකාවේ ක්‍රියාත්මක වන නීතිය  ප්‍රමාණවත්,  වුවත් නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය දුර්වලයි. 

නීතිඥ ජගත් ගුණවර්ධන

" නීතියේ හැටියට වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනතෙහි 12වැනි වගන්තිය අනුව අලින් මරණයට පත් කිරීම, තුවාල කිරීම හෝ නීති විරෝධී ලෙස අල්වාගැනීම තහනම්. පනතෙහි 17 වැනි වගන්තිය තුළ ශ්‍රී ලංකාවේ සෑම අලියෙකුගේම ඕනෑම කොටසක් රජය සතු බව සඳහන් වෙනවා.පනතෙහි 21 වගන්තිය තුළ විදුලිසැර වද්දා අලියෙකුට තුවාල කිරීම, හානි කිරීම හෝ මරණයට පත් කිරීම වරදක් බව සඳහන් වෙනවා.

22 (අ) යන්න තුළ අලියෙක් තමන්ගේ භාරයේ තබා ගැනීමට හැකි බව සඳහන් වෙනවා. අලින්ට අයිතිකරුවන් නැහැ. අයිතිකරුවන් බවට පත්වන්නේ රජය. අලියෙක් භාරයේ තබාගන්නවා නම් එම අලියා ලියාපදිංචි කර සෑම අවුරුද්දකටම වතාවක් බලපත්‍රයක් ලබා ගත යුතු වෙනවා.

නීතියේ හැටියට අලියෙකු මරන්න සාමාන්‍යයෙන් කෙනෙකුට  අයිතියක් නැහැ. තුවාල කරන්න අයිතියක් නැහැ. හානි කරන්න අයිතියක් නැහැ. විදුලි සැරවද්දා මරා දමනවා නම් එය වෙනම වරදක් ලෙස දක්වා තිබෙනවා.

ලංකාවේ  මේ සම්බන්ධව පවතින නීතිය ප්‍රමාණවත් නමුත් නීතිය ක්‍රියාත්මක කිරීමට තිබෙන යාන්ත්‍රණයේ දුර්වලතා අපට දැක ගැනීමට තිබෙනවා. මේවා 2023 වසරේ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් උසාවියට නිකුත් කරන වාර්තාවේ ඇතුළත් කර තිබෙනවා. පළවෙනි කාරණය විදුලි වැටවලට යාමනයක්  ප්‍රමිතියක් නොමැති වීම . ඒ හේතුවෙන් විදුලි වැටක් ඉදිකරන විට එයට යම්කිසි නියාමනයක් තිබිය යුතු වෙනවා. නියාමන ආයතනයකට යා යුතු වෙනවා. දැනට තියෙන පනතක් සංශෝධනය කර හෝ අලුත් පනතක් මගින් එය ගෙන ආ යුතු නමුත් එය තවමත් සිදු වී නැහැ.  වෙනත් නීති මගින් සිදු කළ යුතු දේවල් තිබෙනවා. විදුලි වැටට වැඩි වෝල්ටීයතාවක් යොදා අලින්ට හානි කරනවා නම් මරණයකට පත් කරනවා නම් ඒවා වැළැක්විය යුතු වෙනවා. 

වනජීවී දෙපාර්තමේන්තුවෙන් ගහන විදුලි වැට  වගේම පෞද්ගලිකව  ගහන විදුලි වැටවල්  තිබෙනවා. එම නිසා විදුලි වැට කියන එක උත්තරයක් වගේම විශාල ප්‍රශ්නයක් වී තිබෙනවා.  සමහර ප්‍රදේශවල විදුලි වැට හේතුවෙන් අලින්ට ගමන් කිරීමට සිදුව ඇත්තේ ද මිනිසුන් යන මාර්ගයේමයි. එවැනි අනතුරුදායක තත්ත්වයක් විදුලි වැට අවිධිමත් භාවිතය නිසා ඇතිවෙලා තිබෙනවා. මේ හේතුවෙන් විදුලි වැට නියාමනය කිරීම සඳහා යම්කිසි නීතිමය පද්ධතියක් ගෙන ආයුතු වෙනවා. නමුත් එය වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනතට ගෙන ආ නොහැකියි. එය විදුලි බලයට හෝ ඒ හා සම්බන්ධ  පනතකට ගෙන ආ යුතුයි. එසේ නොමැති නම් විදුලි වැට යාමනය කිරීමට වෙනත් කුඩා පනතක් ගෙන ඒමේ හැකියාව පවතිනවා.”

පුන්සරා ගිම්හානි