ශ්‍රී ලංකාවේ ප්‍රධානම ආර්ථික මර්මස්ථානයක් වන කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය මීට වසර කීපයකට පෙර මෙරට ජනතාව ගේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබුණි. එම පර්යන්තය රජයේ අයිතිය යටතේ තබාගැනීමේ අරමුණෙන් වරාය අධිකාරියේ සේවකයන් සිදුකළ වැඩවර්ජන සහ විරෝධතා හේතුවෙන් එය ශ්‍රී ලංකා රජයේ ව්‍යාපෘතියක් ලෙස තවදුරටත් ක්‍රියාත්මක වේ.
කෙසේ වෙතත් වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුව පත්වීමෙන් පසුව නැවතත් නැගෙනහිර පර්යන්තය කරළියට පැමිණ තිබේ. ඒ අන් කිසිවක් නිසා නොව, එම පර්යන්තය සඳහා ඉදිකළ මාර්ගය වෙනස් කිරීමට වර්තමාන පරිපාලනය කටයුතු කරන්නේය යන චෝදනාව සමගය.
“නව ගේට්ටු පද්ධතියක් අවශ්‍ය බව තහවුරු කොට හුවා දැක්වීම සඳහා වැරදි දත්තයන් ගේට්ටු පද්ධති සපයන පුද්ගලික ආයතනය වන සී.ඒ.එම්.සී.ඕ. වෙත දී ඇති බවට තොරතුරු ලැබී තිබේ ද? පර්යන්තයේ මුළු ධාරිතාවයෙන් සියයට 80 ක් අන්තර් පර්යන්ත බහලුම් ලෙස ගේට්ටු හරහා ගමන් කරන බවට දත්තයන් සී.ඒ.එම්.සී.ඕ. ආයතනයට ලබා දී ඇද්ද ? ලබා දී ඇත්නම් එය ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කවුරුන් විසින් ද? පර්යන්තයේ මුළු ධාරිතාවයෙන් අන්තර් පර්යන්ත බහලුම් ලෙස ගේට්ටු හරහා ගමන් කරන නිවැරදි ප්‍රතිශතය කුමක් ද ?”
වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු ශ්‍යාමාල් සුමනරත්න විසින් පෞද්ගලික පැමිණිල්ලක් ලෙස පසුගිය සතියේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කළ පැමිණිල්ලේ 7 වැනි කරුණ ලෙස සඳහන්ව තිබුණි.
රුපියල් මිලියන 50 කට අධික මුදලක් වැය කරමින් ඉදිකළ නැගෙනහිර පර්යන්තයේ ගේට්ටු සහ පිවිසුම් මාර්ග පද්ධතිය පුද්ගලික පර්යන්තයකට වාසි සැලසෙන පරිදි වෙනස් කිරීම මගින් අමතර රුපියල් මිලියන 50 කට අධික මුදලක් වියදම් කිරීම රාජ්‍ය මුදල් අවභාවිත කිරීම හා දූෂණයක් යැයි පැමිණිල්ලේ සඳහන් විය.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉදිකිරීම සඳහා වන මූලික සැලසුම් එංගලන්තයේ ස්කොට් විල්සන් උපදේශන සමාගමේ මග පෙන්වීමෙන් මූලික අදියර යටතේ පර්යන්ත ජැටියෙන් මීටර 450 ක සහ බහලු 8,500 පමණ අංගණයක්, පිවිසුම් මාර්ග පද්ධතිය සහ ගේට්ටු පද්ධතිය ඉදිකිරීම 2014 වර්ෂයේදී නිමකළේය. මෙහි මූලික අදියරේ මෙහෙයුම් 2021 වර්ෂයේ සිට මේ දක්වා සිදු කරන ලදී.
මෙම පර්යන්තය පුද්ගලික හවුල්කාර ව්‍යාපෘතියක් ලෙස සිදු කරන්නේ ද රජයේ මුළු අයිතිය යටතේ සිදු කරන්නේ ද යන්න පිළිබඳව දීර්ඝ කතිකාවක් සිදු වූ අතර, පසුව 2021 දී මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පූර්ණ හිමිකාරීත්වය යටතේ සිදු කරන බවට තීරණය විය. ඒ අනුව චයිනා හාබර් ඉංජිනියරින් සමාගම පර්යන්තයේ ඉතිරි කොටසේ ඉදිකිරීම් නැවත ආරම්භ කළේය.
එහි ඉදිකිරීම් ව්‍යාපෘති අධ්‍යක්ෂ ලෙස වරාය සැලසුම් ක්ෂේත්‍රයේ දීර්ඝ අත්දැකීම් ඇති වරාය අධිකාරියේ ප්‍රධාන ඉංජිනේරු (සැලසුම් හා සංවර්ධන) ෆවුසානා හුසේන් සේවය කර ඇති අතර, ඉදිකළ පිවිසුම් මාර්ග හා ගේට්ටු පද්ධතිය පර්යන්තය සඳහා එලෙසම භාවිතයට සැලසුම් කර තිබූ බව වාර්තා වේ.
නව රජය පත්වූ පසු ශ්‍රී ලංකා වරාය අධිකාරියට කළ නව කළමනාකාරිත්වය පදනමකින් තොරව මෙම මාර්ග සැලසුම් පුද්ගලික පර්යන්තයකට වාසි සැලසෙන ලෙස වෙනස් කිරීමට යන බවට තොරතුරු ලැබුණු වහාම වෘත්තීය සමිති නියෝජිතයන් කළමනාකාර අධ්යක්ෂ ගණක හේමචන්ද්‍ර හමුවී මේ පිළිබඳ විමසා තිබේ. එම රැස්වීමේ දී ඔහුට දැනට තිබෙන මාර්ග හා ගේට්ටු පද්ධතිය වෙනස් කිරීම සඳහා සාධාරණ හේතු දැක්වීමට නොහැකි වූ අතර, තමා වෙනස් කරන බැවින් මෙහි සියලු වගකීම් තමා භාර ගන්නා බව සියලු දෙනා ඉදිරියේ දී පැවසූ බව ද වෘත්තීය සමිති පවසයි.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විධායක නිලධාරීන්ගේ සංගමය, ඉංජිනේරු සංගමය හා අනෙකුත් වෘත්තීය සමිති අවස්ථා ගණනක දී මෙමගින් වන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මුදල් අවභාවිතාව හා ව්‍යාපෘති ප්‍රමාදය පෙන්වා දීමෙන් පසුව නැගෙනහිර පර්යන්ත ඉදිකිරීම් ව්‍යාපෘතියේ ප්‍රගතිය අධීක්ෂණය සඳහා විෂය භාර අමාත්‍ය බිමල් රත්නායක ගේ ප්‍රධානත්වයෙන් මෙහෙයුම් කමිටුවක් පත්කළ අතර - ඒ යටතේ මෙහෙයුම්, මානව සම්පත් හා ඉදිකිරීම් ආදි වශයෙන් අනුකමිටු කිහිපයක් ද පත් කරන ලදී.
එහිදී විද්‍යාත්මක සංසන්දනයකින් වඩා වාසිදායක සැලසුම දැනටමත් ඉදිකර ඇති ගේට්ටු පද්ධතිය බව තහවුරු කළ බව ද වෘත්තීය සමිති කියයි.
කළමනාකාර අධ්යක්ෂ ගණක හේමචන්ද්‍ර මෙම විසඳුමට එකඟ නොවීම තුළ අමාත්‍යවරයා පත්කළ මෙහෙයුම් කමිටු රැස්වීමේ දී මොරටුව විශ්වවිද්‍යාලයේ ස්වාධීන විශේෂඥයකු මගින් විකල්ප දෙකෙන් හොඳම සැලසුම විමසීමට තීරණය කළ බව ද වෘත්තිය සමිති කියයි.
ඒ පිළිබඳ සාකච්ඡා වට කිහිපයක් තිබී ඇති නමුත් මේවන විට ඉදිකර ඇති ගේට්ටු හා පිවිසුම් මාර්ග පද්ධතිය හා යෝජිත ගේට්ටු හා මාර්ග පද්ධතියේ සංසන්දනයක් නොකර නව යෝජිත ගේට්ටු හා පිවිසුම් පද්ධතිය ද සිදුකළ හැකි එකක් බව පෙන්වීමට කටයුතු කර ඇති බව ඒත්තු ගැන්වීමත් සමගම වෘත්තීය සමිති ඊට විරෝධය දක්වන ලදී. පසුව නව ගේට්ටු හා පිවිසුම් පද්ධතිය සුදුසු ද යන්න නොව විසඳුම් දෙකෙන් වඩා සුදුසු විසඳුම කුමක්ද යන්න ලබාදෙන ලෙස සභාපතිවරයා නැවතත් මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයාට දැනුම් දී ඇත.
මේ සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ ස්වාධීන විශේෂඥයකු තෝරාගත්තේ කෙසේද යන්න ද ගැටලු සහගත වන අතර ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් උපකුලපති හෝ ඉංජිනේරු පීඨාධිපති වෙත මෙම ඉල්ලීම යොමු නොකර ආචාර්යවරයකු මෙම අධ්‍යයනය සෘජුවම යොමු කළේ කෙසේ ද යන්න ප්‍රශ්න සහගතය. එම ආචාර්යවරයා නැගෙනහිර පර්යන්තය ආසන්නයේ ඇති එස්ඒජීටී පර්යන්තයේ මාර්ග පද්ධතිය සම්බන්ධයෙන් උපදේශකයෙකු ලෙස වැටුපට සේවය කර ඇති බවත් එස්ඒජීටී පර්යන්තයට වාසි සහගත වන පරිදි නැගෙනහිර පර්යන්තයේ ගේට්ටු හා පිවිසුම් මාර්ග වෙනස් කිරීමට බලපෑම් විය හැකි බව සැක මතුවන බවත් වෘත්තිය සමිති කියයි.
කෙසේ වෙතත් මොරටුව විශ්වවිද්‍යාලයෙන් අවසන් වාර්තාව ලැබීමට ප්‍රථම වරාය හා නාවික නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ලිපියක් හරහා මේ වන විටත් ඉදිකර ඇති ගේට්ටු පද්ධතිය ඉදිකිරීම සඳහා අධ්‍යනයක් සිදුකර නොමැති බවත් වෙනත් පුද්ගලික පර්යන්තවල සැලසුම් හා අනුකරණ සැලකීමේදී නව සැලසුම නිර්දේශ කරන බව අමාත්‍යාංශ ලේකම් වෙත දන්වා ඇති බවත් අමාත්‍යවරයාගේ මෙම ලිපියේ බරපතළ කරුණු ගණනක් තිබෙන අතර, ඒ පිළිබඳ විමසා පරීක්ෂණ කළ යුතු බවත් වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති.
ස්වයංක්‍රීය ගේට්ටු පද්ධතිය අදාළව සැපයුම් සිදුකරන සී.ඒ.එම්.සී.ඕ. ආයතනය ද පැරණි ගේට්ටු හා පිවිසුම් මාර්ග පද්ධතිය යොදා ගනිමින්ම ඉදිරි කටයුතු සැලසුම් සිදුකර තිබී ඇති අතර, නව ගේට්ටු පද්ධතිය අවශ්‍ය බව සාධාරණීකරණය කිරීම සඳහා වැරදි දත්තයන් ගේට්ටු පද්ධති සපයන පුද්ගලික ආයතනය වෙත දී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් පර්යන්තයේ මුළු ධාරිතාවයෙන් සියයට 80 ක් අන්තර් පර්යන්ත බහලු ලෙස ගේට්ටු හරහා ගමන් කරන බවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වත්මන් කළමනාකාර අධ්‍යක්ෂවරයා සී.ඒ.එම්.සී.ඕ. ආයතනයට ලබාදී ඇති බවත් වෘත්තීය සමිති පවසයි.
එමගින් දැනට පවතින ගේට්ටු පද්ධතිය ප්‍රමාණවත් නොවන බව එම ආයතනය හරහා හුවා දැක්වීමට කටයුතු කර ඇති අතර අමාත්‍යවරයා ද නොමග යවමින් ඉහත ලිපිය අමාත්‍ය කාර්යාලයෙන් නිකුත් කරගැනීමට සූක්ෂමව කටයුතු කර ඇති අතර, වැරදි දත්ත සී.ඒ.එම්.සී.ඕ. ආයතනයට හා අමාත්‍යවරයාට දුන්නේ කවුදැයි සොයා බැලිය යුතු බවත් වෘත්තීය සමිති කියයි.
නව ගේට්ටු පද්ධතියේ සැලැස්ම දැනට තිබෙනවාට වඩා පර්යන්තය ඇතුළු පසින් සැලසුම් වී ඇති බැවින් ශ්‍රී ලංකා වරාය අධිකාරියට නැගෙනහිර පර්යන්තයේ වෙන් වී ඇති ඉඩකඩ ද අඩුවන බැවින් නව ගේට්ටු සැලසුම ඉදිකළහොත් රුපියල් මිලියන 100 කට අධික රාජ්‍ය මුදල් අවභාවිතාවක් වේ.
ඉහත කරුණු සම්බන්ධව වරාය අධිකාරියේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයෙක් මෙන්ම වර්තමානයේ ලෝක බැංකුවේ උපදේශකයෙකු ලෙස ද නව රජය විසින් නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් අනුකමිටුවේ ප්‍රධානියා ලෙස ද කටයුතු කළ ආනන්ද එස්. ප්‍රේමචන්ද්‍ර දීර්ඝ ලිපියක් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත යොමුකර තිබේ.
දැනට ඉදිකර ඇති ගේට්ටු පද්ධතිය පර්යන්තය සඳහා ප්‍රමාණවත් බවත් නව ගේට්ටු පද්ධතියක් ඉදිකිරීම විශාල මුදල් නාස්තියක් මෙන්ම මෙහෙයුම් සඳහා ඇති ඉඩකඩ ද නාස්තිකිරීමක් බවත් ඔහු පවසා තිබුණි. තවද නව ගේට්ටු පද්ධතිය අනුමත කර ඇත්තේ නිවැරදි අධ්‍යයනයකින් නොවන බව ද එස්. ප්‍රේමචන්ද්‍ර පවසා තිබේ.
ඉදිකර ඇති ගේට්ටු පද්ධතිය ඉදිකිරීම සඳහා අධ්‍යයනයක් කර නොමැති බව අමාත්‍යවරයා ඔහුගේ ලිපියේ දක්වා ඇති අතර, එසේ නම් කිසිම අධ්‍යයනයක් නොකර මිලියන 50 කට අධික මුදලක් වැය කර පැරණි ගේට්ටු පද්ධතිය ඉදිකිරීම සඳහා අනුමැතිය ලබාදුන් අය කවරහු ද? එසේ අධ්‍යයනයක් සිදු නොකර රුපියල් මිලියන 50 කට අධික රජයේ මුදලක් නාස්ති කිරීම සම්බන්ධව සැලසුම් කළ හා අනුමැතිය ලබාදුන් කණ්ඩායමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම.
එහිදී වෘත්තිය සමිති පහත කරුණු පිළිබඳව අවධානය යොමුකර තිබේ.
ඉදිකර ඇති ගේට්ටු පද්ධතිය වෙනස් කළ යුතු බවට මූලික යෝජනාව ගෙන එන්නේ කවුරුන් ද? කුමන කරුණු පදනම් කරගෙන ද?
දැනට තිබෙන ගේට්ටු හා පිවිසුම් මාර්ග පද්ධතිය හා යෝජිත මාර්ග හා ගේට්ටු පද්ධතියේ වඩා සුදුසු කිනම් සැලසුම ද යන්න පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අතිරේක කළමනාකාර අධ්‍යක්ෂ (තාක්ෂණ), අධ්‍යක්ෂ (මෙහෙයුම්), අධ්‍යක්ෂ (තාක්ෂණ), ප්‍රධාන ඉංජිනේරු (සැලසුම් හා සංවර්ධන), ප්‍රධාන ඉංජිනේරු (කොන්ත්‍රාත් හා සැලසුම්), ප්‍රධාන මෙහෙයුම් කළමනාකරු (බහලු) හා මෙහෙයුම් අංශයේ නිලධාරීන් ගෙන් සමන්විත අනුකමිටුවත් පත්කරන ලද අතර, එහිදී විද්‍යාත්මක සංසන්දනයකින් වඩා වාසිදායක සැලසුම දැනටමත් ඉදිකර ඇති ගේට්ටු පද්ධතිය බව තහවුරු වී තිබිය ද එය ක්‍රියාත්මක නොකළේ ඇයි? එය ක්‍රියාත්මක කළා නම් ශ්‍රී ලංකා වරාය අධිකාරියට කිසිදු අමතර මුදලක් වැය නොවන අතර එසේ සිදු නොකළේ කාගේ උපදෙස් මත ද?
මොරටුව විශ්වවිද්‍යාලයේ ස්වාධීන විශේෂඥයකු තෝරාගත්තේ කෙසේ ද යන්න ද ගැටලු සහගත වන අතර, වරාය අධිකාරිය විසින් උපකුලපති හෝ ඉංජිනේරු පීඨාධිපති වෙත මෙම ඉල්ලීම යොමු නොකර ආචාර්ය පසිඳු වෙත මෙම උපදේශන සේවා යොමු කිරීම සඳහා තීරණයේ කළේ කවුද? කාගේ උපදෙස් මතද? ඒ සඳහා මුදල් වියදම් කිරීම සඳහා අනුමැතියක් ලබාගෙන ඇති ද? කොපමණ මුදලක් වෙන් කරන ලද්දේ ද?
එම ආචාර්යවරයා මීට පෙර නැගෙනහිර පර්යන්තය ආසන්නයේ ඇති එස්.ඒ.ජී.ටී. පර්යන්තයේ මාර්ග පද්ධතිය සම්බන්ධයෙන් උපදේශකයෙකු ලෙස එස්ඒජීටී ආයතනයට මුදලට සේවය කර ඇති ද? එසේනම් එම ආචාර්යවරයා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා නිසි උපදේශන ක්‍රමවේදය අනුගමනය කිරීමෙන් බැහැරව සෘජුවම මෙම උපදේශනය ඔහු වෙත ලබාදෙන ලද්දේ එස්.ඒ.ජී.ටී. පර්යන්තයේ බලපෑමට ද?
ස්වයංක්‍රීය ගේට්ටු පද්ධතිය අදාළව සැපයුම් සිදුකරන සී.ඒ.එම්.සී.ඕ. ආයතනය ද පැරණි ගේට්ටු හා පිවිසුම් මාර්ග පද්ධතිය යොදා ගනිමින්ම ඉදිරි කටයුතු කිරීමට සැලසුම් සිදුකර තිබුණේ ද? එහි කිනම් හෝ ගැටලුකාරී තත්ත්වයක් වත්මන් කළමනාකාර අධ්‍යක්ෂවරයා වන ගණක හේමචන්ද්‍ර පත්වීමට පෙර ශ්‍රී ලංකා වරාය අධිකාරියට ලිඛිතව ලබාදී ඇද්ද?
නව ගේට්ටු පද්ධතිය අවශ්‍ය බව සාධාරණීකරණය කිරීම සඳහා වැරදි දත්තයන් ගේට්ටු පද්ධති සපයන පුද්ගලික ආයතනය වෙත ලබා දී ඇති බවට තොරතුරු ලැබී ඇත. පර්යන්තයේ මුළු ධාරිතාවයෙන් සියයට 80 ක් අන්තර් පර්යන්ත බහලු ලෙස ගේට්ටු හරහා ගමන් කරන බවට දත්තයක් සී.ඒ.එම්.සී.ඕ. ආයතනයට ලබාදී ඇති ද?
එය ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කවුරුන් විසින් ද? පර්යන්තයේ මුළු ධාරිතාවයෙන් අන්තර් පර්යන්ත බහලු ලෙස ගේට්ටු හරහා ගමන් කරන නිවැරදි ප්‍රතිශතය කුමක් ද?
නව ගේට්ටු පද්ධතියේ සැලැස්ම අනුව දැනට තිබෙනවාට වඩා පර්යන්තය ඇතුළු පසින් සැලසුම් වී ඇති බැවින් ශ්‍රී ලංකා වරාය අධිකාරියට නැගෙනහිර පර්යන්තයේ වෙන් වී ඇති ඉඩකඩ ද අඩුවනවා ද? ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් එයට දරන ආවස්ථික පිරිවැය කොපමණ ද?
කිසිදු අධ්‍යනයකට ප්‍රථම ප්‍රධාන ඉංජිනේරු (කොන්ත්‍රාත් හා සැලසුම්) හා ප්‍රධාන ඉංජිනේරු (සිවිල්) අංශ මගින් නැගෙනහිර පර්යන්තයේ මධ්‍යයේ විශාල වළවල් දෙකක් හාරා නව ගේට්ටු පද්ධතියක් ඉදිකිරීම ආරම්භ කළේ කාගේ උපදෙස් පරිදි ද? අධ්‍යනයක් සිදු කිරීමට ප්‍රථම එසේ සිදු කිරීමෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් වියදම් කර ඇති මුදල රාජ්‍ය මුදල් අවභාවිතාවක් නේ ද? එහි වගකීම ගන්නේ කවුද?
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික අද්මිරාල් එස්. එස්. රණසිංහගෙන් මෙම පැමිණිල්ල පිළිබඳව කළ විමසුමේදී මෙසේ පැවසීය.
“මම ඒ පැමිණිල්ල දැක්කා. මම ඒ පිළිබඳව මුකුත් කියන්න යන්නේ නෑ. ඒ පිළිබඳව පරීක්‍ෂණයක් පැවැත්වෙනවා නේ. ඒ පරීක්‍ෂණ පවත්වා ප්‍රතිඵලය නිකුත් කිරීමෙන් පසුව මම කතා කරන්නම්. ඒ දිනය එන තෙක් මම නිහඬව ඉන්නවා”
යොහාන් භාසුර