ලෝචනා ඉසුරින්දි ගුරුතුමිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන් සමග
කලවාන අධ්‍යාපන කොට්ඨාසයේ අතිදුෂ්කර පාසලක් වෙන පනහැටගල විද්‍යාලයේ දරුවන් තිදෙනෙක් මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්ව සිටිති. එම විදුහලෙන් මෙවර දරුවන් පස් දෙනෙකු ශිෂ්‍යත්ව විභාගය සඳහා ඉදිරිපත්වූ අතර ඉන් දරුවන් තිදෙනෙක් කඩඉම් ලකුණු ලබාගනිමින් ශිෂ්‍යත්ව විභාගය සමත් වූහ. අනෙත් දරුවන් දෙදෙනාද ලකුණු සියයට වැඩියෙන් ලබාගෙන තිබීම විශේෂත්වයකි. නගරයේ පාසල්වල මෙන් පාරවල් , පහසුකම් කිසිවක් නොමැතිව දරුවන් මෙම ජයග්‍රහණ ලබාගෙන තිබේ. එම පාසලේ ශිෂ්‍යත්ව විභාගය සඳහා දරුවන්ට උගන්වා සූදානම් කළ ගුරුවරිය වූ ලෝචනා ඉසුරින්දි මහත්මිය දරුවන්ගේ ජයග්‍රහණය පිළිබඳව හඬමින් සිය මුහුණු පොතේ තැබූ සටහන මුළු රටේම අවධානයට, කතාබහට යොමු විය. පැය කිහිපයක් ඇතුළත එම වීඩියෝව මිලියන තුනක පිරිසක් නරඹා වයිරල්ව තිබුණි. මේ ඒ පිළිබඳව සටහනකි.
![]() |
ලෝචනා ඉසුරින්දි ගුරුතුමිය |
රටේ සමස්ත ශිෂ්‍යත්ව ප්‍රතිපල අතින් බැලූ කල මෙම පාසලට වඩා ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් සිටින පාසල් තිබේ. එහෙත් මෙම පාසලේ ජයග්‍රහණය පිටුපස හරි අපූරු කතාවක් ඇත. කලවාන අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි පාසලක් වෙන පනහැටගල විද්‍යාලය සුන්දර පරිසරයක පිහිටා තිබේ. එහෙත් එහි ඉගෙනුම ලබන දරුවන්ට හා ගුරුවරුන්ට දරා ගැනීමට වෙන දුෂ්කරතා එමටය. හරි මගක් තොටක් නොමැති පනහැටගල ගඟෙන් පාරුවකින් එගොඩ වී පාසල වෙත යන දරුවෝ එහි අධ්‍යාපනය ලබති. මේ දරුවන් අත්දකින දුෂ්කරතා මගහරවා ගන්නේ ඒ පාසලේ විදුහල්පතිවරයා හා ගුරුවරැන් ගෙනි. නගරයේ පාසල්වල මෙන් සුපිරි සැප පහසුකම් නොමැතිව දැනුම පිපාසයෙන් පැමිණෙන දරුවන්ගේ මනස සුවපත් කරමින් දරුවන්ට දැනුම ලබාදීම ගුරුවරු සිදු කරති.
ඒ අතරින් සුවිශේෂ චරිතයක් වෙන්නේ අපේ කතා නායිකාව වන එම පාසලේ පහ ශ්‍රේණිය භාර ලෝචනා ඉසුරින්දි ගුරුවරියයි. මෙවර එම පාසලේ දරුවන්ගේ ශිෂ්‍යත්ව විභාගයේ ජයග්‍රහණය පිටුපස විශාල කැපකිරීම් රාශියක් ඇය විසින් සිදු කර තිබේ. සම්මානලාභී රංගන ශිල්පිනියක වෙන ඇය අවිවේකී ජීවිතයක් ගත කරයි. එක පැත්තකින් ගුරු වෘත්තිය මෙන්ම අනෙක් පැත්තෙන් රංගන ජීවිතය සමබර කරමින් කටයුතු කිරීමට ඇයට සිදුව තිබේ. කලවාන ප්‍රදේශයේ ජීවත්වෙන ඇය උදේ පාන්දර අවදී වී කිලෝ මීටර් ගණනක් දුර ගෙවා දමා පනහැටගල වෙත ගොස් පාරුවකින් පනහැටගල ගඟෙන් එගොඩ වී තවත් දුරක් දුෂ්කර මගක් ඔස්සේ පාසල වෙත යයි. එහි ගොස් දරුවන්ට උගන්වා නැවත නිවස වෙත අර දුෂ්කර ගමන පැමිණ කොළඹ හෝ අනුරාධපුර වැනි ඉතා දුර පළාත්වල තිබෙන රංගන කටයුතු සඳහා පිටත්ව යයි. ඇය ආපසු කලවාන වෙත පැමිණෙන්නේ දරුවන් සඳහා අධ්‍යාපනය ලබාදීමට නැවත පාන්දර පාසල වෙත යාම සඳහාය. බොහෝ විට එම ගමන රාත්‍රී කාලය වෙන අතර හිතේ හයියෙන් ඇය පැමිණෙයි.
කෙසේ වෙතත් මේ දරුවන් අධ්‍යාපනය ලබන්නේ අපූරු අද්දැකීම් සමගය . විටක කෙත් යායක ගොයම් කැපීමට දරුවෝ ඇය සමග කමත වෙත යති. සරුංගල් යවති. ඇය සමග සෙල්ලම් කරති. ගම්මානයේ තිබෙන කොස්, බරකොකු, මියනකොකු ආදිය කඩාගෙන විත් උයාගෙන කති. ගහක වැලක හැදෙන ගඩා ගෙඩි කඩන් කන්නේ පොලුවලින් , ගල්වලින් ගසා කඩා ගනිමිනි. ඒ පිටුපස ලෝචනා ටීචර්ද දරුවන් සමග සිටී. ඔවුන් ඇය අමතන්නේද පුංචි ටීචර් යනුවෙනි.
ශිෂ්‍යත්ව ජයග්‍රහණය පිළිබදව ලෝචනා ඉසුරින්දි මහත්මිය මෙලෙස ප්‍රකාශ කළාය.
“අද මට ඉතාම සතුටු දවසක්. තුන් දෙනෙක් කඩඉම් ලකුණු ලබා ගනිමින් අනෙක් දරුවෝ දෙන්නත් ලකුණු එකසිය විස්සෙන් ඉහළ අරන් තියෙනවා. මේක මම තනියෙන් ලබාගත් ජයග්‍රහණයක් නෙමෙයි. අපේ පාසලේ විදුහල්පතිතුමා, ගුරුවරුන්, දෙමාපියන් මට ලබා දීපු සහයෝගයෙන් ලද ජයග්‍රහණයක්. දෙමාපියන් මට අවශ්‍ය විදියට දරුවන්ට උගන්වන්න නිදහස ලබාදුන්නා.
හද්දා දුෂ්කර පාසලකට පාරුවෙන් ඇවිත් පයින් ඇවිත් මගෙ පන්තියේ ළමයි පහ ඉගෙන ගත්තෙ. හැබැයි මොන කටුකත්වෙ තිබ්බත් එයාලා සැප හෙව්වෙ නෑ. නාගරික මෙන් දියුණු නොවුණ ගමක ලස්සන අඩි පාරවල් දිගේ වතුර කඩිතිවලින් පැන පැන ඇවිත් එයාලා ඒ දේ කළා. 3, 4, 5 ශ්‍රේණි ඒ කියන්නෙ අවුරුදු 3ක් ළමයි 5 මගෙ තුරුලෙ හිටියා. ඉතිං අපි පවුලක් වගේ ඔහේ ජීවත් වුණා. මගෙ ජීවිතේ අසීරුම කාලෙ පවා මාව සතුටින් තිබ්බෙ එයාල පස් දෙනා. නාට්‍යවලට ගිහින් පහුවැනිදට ඉස්කෝලෙ එන්නම ඕනැ නිසා මහ රූ තිස්සේ පාලු පාරවල්වල මහ මිනිහෙක් වගේ කොහොම හරි කලවානට එන හැටි මතක් වෙනවා මට. ඉතිං පාරක් පාරක් ගානෙ රස්තියාදු වෙලා සමහර දවස්වල පාන්දර 6.30ට ගෙදරට ඇවිත් එහෙම්මම ඉස්කෝලේ යනවා. ඒ ඔක්කොම මහන්සිය ඉවරයි උදේට පස්දෙනා දැක්කාම. එයාලා ඒ මහන්සියට සාධාරණයක් කළා. වෙනදටත් මාව සතුටු කළේ මගෙ ළමයි පස්දෙනා. අද මට එයාලා දරාගන්න බැරි තරම් සතුටක් දීලා තියෙනවා.
ලෝචනා ගුරුතුමිය හා දරුවන්ගේ ක්‍රියාකාරකම්
“මේ සතුටට මගේ පාසලේ විදුහල්පතිතුමා ඉහළින්ම මතක් කරන්න ඕනැ. මේ කාලයෙහි සර් හුස්මක්වත් ගත්ත ද සැකයි. ඒ තරම්ම සර් කැප වුණා. ඔහු වැනි අයෙක් තවත් සිටී ද කියලා හිතෙන තරමටම මගෙ දරුවො පස්දෙනා වෙනුවෙන් පුදුමාකාර කැපකිරීමක් කළා. ඇත්තටම සර්ට ගොඩාක් පිං. ඒ වගේම 1, 2 ශ්‍රේණිවල ඉගැන්වූ දනුෂ්කා සහ සමන්තා ටීචර්ලා දෙන්නටත්, රුවිනි සහ ඉශාරා ටීචර්ලා දෙන්නටත් මේ හැම ගෞරවයක්ම හිමි වෙනවා. දුවගෙන ගිහින් මම මොන දේ ඇහුවත් ඔක්කොම වැඩ පැත්තකින් තියලා එයාලා ගොඩක් උදව් වුණා. මෙතෙක් මගෙ දරුවන්ට අකුරක් හෝ කියල දුන් සෑම අයෙකුටම ස්තූතියි.
ඒ වගේම මගෙ ළමයින්ගෙ දෙමව්පියන්ට ගොඩක් ස්තූතියි. අවුරුදු තුනක් තිස්සෙ එයාලා මාව විස්වාස කළා. මම මොනවද කරන්නෙවත් කවදාවත් ඇහුවෙ නැහැ. ප්‍රශ්න කළේ නෑ. අපිට අපේ පාඩුවේ ජීවත් වෙන්න දුන්නා. අපි අපිට ඕනැ දේවල් කළා. නිදහසේ හිටියා. කුඹුරෙ පැන්නා, දොලේ ගියා, මෑ බෝංචි, මුංඇට අහු වුණ දෙයක් උයන් කෑවා, තණකොළ ගැලෙවුවා, ගස් උඩ නැග්ගා, අහු වෙන අහු වෙන කැලෑ කොළ, ගඩා ගෙඩි, යකා හොටු කෑවා. ඉගෙන ගත්තා. කොයි වෙලේකවත් බලපෑම් කළේ නැති නිසා අදටත් මම පාසල් එන්නෙ සතුටින්. රත්නපුර දිස්ත්‍රික්කයේ කඩඉම් ලකුණු 136 වෙද්දී මගේ ළමයි ලකුණු 148, 147, 137, 132, 127ක් ගත්තා. හැබැයි හැමදාම කිව්වා වගේ මම අදටත් එයාලට කියනවා ශිෂ්‍යත්ව නෙවෙයි ජීවිතේ. මෙතන ඉඳලයි ඉස්සරහට ඉගෙන ගන්න ඕනැ කියලා.”
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් දරුවන් ප්‍රකාශ කළ අදහස් මෙසේය.
“ශිෂ්‍යත්ව විභාගය ජයග්‍රහණය ගැන අපිට තියෙන්නේ ලොකු සතුටක්. ඒ වගේම දුකකුත් තියෙනවා ටීචර් දාලා වෙන ඉස්කෝලෙකට යන්න වෙච්චි එක ගැන. අපි පාසල් ගියේ පාරුවලින් එගොඩ වෙලා ගොඩාක් දුෂ්කර පාරක ගිහින්. ඒත් ඒ අමාරුව දැනෙන්නට අපේ ටීචර් දුන්නේ නැහැ. එයා අපිත් එක්ක සෙල්ලම් කළා. සරුංගල් යැව්වා, කොස් කඩන් කෑවා, පලතුරු කඩාගෙන කෑවා. ඒ වගේම හොඳින් ඉගැන්නුවා . ඉතින් අද අපි ලබපු ජයග්‍රහණය පිටුපසින් ඉන්නේ අපේ ලෝචනා ටීචර් තමයි”
උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම