ලංවිම සේවකයන්ට වනිදි ගෙවීම රටේ පාරිභොගිකයන් පිට පැටවීම වැරදියි


ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමට ගෙන ඇති තීරණය සමග 22, 000ක් වන විදුලි සේවකයන්ට රු.මි. 5 දක්වා වන වන්දිය ලබා ගන්නා ලෙස හෝ අලු‍තින් පිහිටවූ සමාගම් 5න් එක් සමාගමකට සම්බන්ධ වී කාර්යක්ෂමව රාජකාරි සේවා පවත්වා ගෙන යෑමට දායක වන ලෙස මේ වන විට දන්වා තිබේ. නමුත් ආණ්ඩුව මෙම ප්‍රතිව්‍යුහගතකිරීමේ ක්‍රමවේදය නිසි ලෙස ඉටු නොවෙතැයි සහ විදුලි සේවකයන් ගේ රැකියා සම්බන්ධව නිසි ලෙස කටයුතු නොකරතැයි සහ මේ හරහා රටේ විදුලි බල ක්ෂේත්‍රය කඩා වැටී රටම යලි අගාධයට ඇද වැටීමේ අවදානමක් ඇතිවිය හැකි බැවින් ගැටලු‍ව විසඳීමට ජනාධිපතිවරයාට මැදිහත්වන්නැයි ඉල්ලමින් ලංවිම වෘත්තීය සමිති 31ක් විසින් මේ වනවිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් අරඹා තිබේ. 

එවන් පසුබිමක මෙම ගැටලු‍ව පිළිඳව විමසා බැලීමට අපි ලංවිම ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික, ධනුෂ්ක පරාක්‍රමසිංහ  සම්බන්ධ කර ගතිමු. 

පෙර ආණ්ඩුවේ ප්‍රතිව්‍යුහගතකරණ යෝජනා 

2022 ආර්ථික අර්බුදය සමයේ විදුලි බල මණ්ඩලයට තෙල් ගෙන්වා ගැනීමට මුදල් නැති ගැටලු‍ව නිසා විදුලි අත්හිටුවීම් කරන්න සිදුවුණා. මෙම ගැටලු‍ව නිසා රටේ බලශක්ති ක්ෂේත්‍රය බිඳවැටීම වළක්වා ගැනීමට  එවක පාලනය ලංවිම ප්‍රතිව්‍යුහ ගත කරන්න තීරණය කළා. ඒ සඳහා ඔවුන් පනතක් සකස් කරලා 2024 ජුනි 06වැනිදා පාර්ලිමේන්තුවේ දී සම්මත කළා. නමුත් මේ පනතේ ඇති වැරදි සහගත තැන් නිවැරදි කරන ලෙස අපි ඉල්ලීම් කළා, සාකච්ඡා ඉල්ලා සිටියා, විරෝධතා සිදු කළා. නමුත් එවක අමාත්‍යවරයා ඔහුගේ අභිමතයට පනත සම්මත කළා. හැබැයි පනත සම්මත කරන්න කළින් අපි අධිකරණයට මේ ගැන කරුණු වාර්තා කර තිබුණු නිසා, පනතේ වගන්ති 12කට අධිකරණය විසින් සංශෝධන සිදු කළ යුතු බව නියෝග කළා. ඒ සංශෝධන ඇතුළත් කරලා තමයි සම්මත කළේ.

ඒ ගෙනාපු සංශෝධනවල දින වකවානු ආශ්‍රිත ගැටලු‍ තිබුණා. ඒවත් එක්ක පනත සම්පූර්ණ කර ගන්න බැරි වුණා. ඔය එක්කම ඡන්දය ඇවිත් ආණ්ඩුව වෙනස් වුණා. 

වත්මන් ආණ්ඩුවේ ප්‍රතිව්‍යුහගත කිරීම

වත්මන් ආණ්ඩුව විපක්ෂයේ සිටිය දී ඡන්ද වේදිකාවේ කියූ කාරණයක් වුණේ ප්‍රතිව්‍යුහගත  කිරීම හරි විදිහට ඉදිරියට ගෙනයනවාය කියන කාරණයයි. දැන් මේ ආණ්ඩුවේ ඉන්න විශාල පිරිසක් ඒ කාලේ අපි එක්කත් පනත කොහොමද හැදෙන්න ඕනි කියලා කතා බහ කළ අයයි. ඒ වගේම ඒ වෙනුවෙන් පෙනී සිටි අයයි. 

නමුත් බලයට පත්වූ පසු කිව්වා රජය යටතේ එක් මව් සමාගමක් හදලා ඒ යටතේ තවත් සමාගම් ගණනාවක් හදලා ප්‍රතිව්‍යුහගත කිරීම කරනවා කියලා. ඒකට අපේ විරෝධතාවක් තිබුණේ නැහැ. මොකද මුල ඉඳලම අපි ප්‍රතිව්‍යුහගතකරණයට විරුද්ධ වුණේ නැහැ. අපි කිව්වෙ ප්‍රතිව්‍යුහගත කරණය වෘත්තීය සමිතිත් සම්බන්ධ කරගෙන හරි විදිහට කරන්න කියන කාරණයයි. 

නමුත් මේ ආණ්ඩුව බලයට පත්වෙලා මාස කිහිපයක් ගත වුණාම කිව්වා එක මව් සමාගමක් යටතේ කරන්න බැහැ. විදේශීය බලපෑම් තිබෙනවා, IMF  කොන්දේසි තිබෙනවා, ඒ නිසා සමාගම් 5කට කඩන්න වෙනවා කියලා. හැබැයි සමාගම් 5ම රජය යටතේ තබා ගන්නවා කියලා ප්‍රතිව්‍යුහගතකරණය ඉදිරියට අරගෙන ගියා. 

ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමට ගෙන ඇති තීරණය සමග 22, 000ක් වන විදුලි සේවකයන්ට රු.මි. 5 දක්වා වන වන්දිය ලබා ගන්නා ලෙස හෝ අලු‍තින් පිහිටවූ සමාගම් 5න් එක් සමාගමකට සම්බන්ධ

වෘත්තීය සමිති නොසලකා හැරීම

එහෙම ගිහින් පසුගිය අප්‍රේල් මාසයේ මේ පනතට තවත් සංශෝධන වගන්ති 21ක් ඇතුළත් කළා. හැබැයි එතණින් පස්සෙ වෘත්තීය සමිති ලෙස ඉන් එහාට මේ කාරණය සඳහා අපව සම්බන්ධ කරගත්තේ නෑ.  ඔවුනුත් පෙර ආණ්ඩුව වගේම තනිව මේ කටයුත්ත ටික ටික ඉදිරියට රැගෙන ගියා. මෙතන දි අපි ඔවුන්ට කිව්වා, මේ නව වගන්ති 21 හි වෙනස්කම් සිදු කළ යුතු තැන් තිබෙනවා කියලා. නමුත් ඔවුන් ඒ කාරණය පිළිගත්තෙ නැහැ. මේ නිසා අපිට යළිත් අධිකරණයට යන්න සිදුවුණා. එවිට අධිකරණය තීන්දු කළා මින් ව්‍යවස්ථාවේ  වගන්ති 4ක් උල්ලංඝනය වෙනවා. ඒනිසා ඒ ටික හදන්න කියලා. ඒ වගේම ආණ්ඩුව පැත්තෙනුත් තවත් සංශෝධන 9ක් ඇතුළත් කළා. ඒ අනුව සංශෝධන 13ක් සමග තමයි ජුනි 06දා පනත සම්මත වුණේ. සංශෝධන සිදුකර කථානායක පනතට අත්සන් කිරීමෙන් පසුව විදුලි බල මණ්ඩල සේවකයෝ අලු‍ත් සමාගමට අනුයුක්ත කරන්න ඒකේ දිනයක් දාලා තිබුණා. අපි අධිකරණයේදී ත් කිව්වා සංශෝධනවල ඇතුළත් දිනයට මේ කටයුත්ත කරන්න කාලය මදි, ඒ නිසා කාලය දීර්ඝ කරන්න කියලා. නමුත් ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු වලට සම්බන්ධ වෙලා සිටි පිරිස පැවසුවා ඒ කාලය ඇති, ඒ නිසා අගෝස්තු 28දා වන විට මේ කටයුතු අවසන් කරනවා කියලා. ඔවුන් ගේ කරුණු දැක්වීමෙන් පසු සෑහීමකට පත්වූ අධිකරණය ඒ සඳහා අවසර දුන්නා.  

සේවකයන් 22,000ක් සමාගම් 5කට අනුයුක්ත කිරීම හා වන්දි මත ඉවත්වීම

කොහොම වුණත් අගෝස්තු 25දා අමාත්‍යාංශ ලේකම් ගේ අත්සනින් ලංවිම සේවකයන් 22,000ටම ලබා දෙන්න කියලා ලිපියක් ලැබෙනවා සේවකයා ගේ නම හා EPF  අංක යොදලා. එහි නම සඳහන්ව තිබෙන්නේ අදාළ සේවකයා එක් එක් සමාගම සඳහා අනුයුක්ත කළ බව සඳහන් කරමින්. (මේ ලිපි ලැබෙන විට සමාගම්5න් 4ක් පමණයි සකසා තිබුණේ. තවත් සමාගමක් සකසා තිබුණෙත් නෑ.) ඒ අනුව සේවකයන් 22,000ම සමාගම් 5ක් වෙත අනුයුක්ත කරමින් ලිපි සකසා තිබුණා. 

එසේම මෙම ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙනවා ලිපිය ලැබී මාස 2ක් ඇතුළත ඔබ නම් කළ සමාගමේ සේවයට යනවද, නැත්නම් වන්දියක් ලබා ගෙන ඉවත් වෙනවද යන්න දන්වන්න කියලා. ඒ ලිපිය ලැබෙන විට වන්දි ක්‍රමවේදය නිසි ලෙස සකසා තිබුණෙත් නෑ. ඊට දවස් දෙක තුනකට පස්සෙ තමයි වන්දි සූත්‍රය සඳහන් කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණෙත්. ඒ නිසා අපි කිව්වා මේ ලිපිය භාරගන්න  බෑ. මොකද අපි දැන ගන්න ඕනි අපි යන සමාගමේ ව්‍යුහය, අපිට ලැබෙන තනතුර, ගෙවන වැටුප, දීමනා මොනවාද, දැනට ගෙවන දීමනා තවදුරටත් ගෙවනවද, අධ්‍යක්ෂක මණ්ඩලය කවුද කියන කාරණා සම්බන්ධව කියලා.

ඉන් පස්සේ අපට තවත් ලිපි 2ක් ලැබුණා, ගෙවීම්  ආදිය ඇතුළත් කරමින්. ඒ ලිපිවල අපි ඉල්ලා සිටි තොරතුරු සියයට100 නැති වුණත් සියයට 80 ක් පමණ තිබුණ නිසා අපි මේ ලිපි භාර ගන්නම් කියලා එකඟතාවකට ආවා. නමුත් අපි එතන දි කිව්ව කාරණය තමයි අපිට ලබාදෙනවා ය කියන පහසුකම් සියල්ල සැපිරුවාට පසු මාස 2ක කාලය ගණනය කිරීම අරඹන්න කියලා. මොකද කිසිවක් හරියට සිදු නොවී තිබිය දී මාස 2ක කාලය ගණනය කිරීම සාධාරණ නොවන නිසා.කෙසේ නමුත් රජය මේ කටයුත්ත නිසි ලෙස සිදු කරාවි යන විශ්වාසයෙන් යුතුව අපි සියලු‍ දෙනා මේ ලිපි භාර ගත්තා. 

සේවක, වෘත්තීය සමිති  විශ්වාසය බිඳ වැටීම

සේවකයන් ලිපි භාර ගත්තට පස්සෙ ප්‍රතිව්‍යුහ ගත කිරීමේ කටයුතු වලට සම්බන්ධ පිරිස විසින් සමාජ මාධ්‍ය ආදියේ තොරතුරු දක්වා තිබුණා දැන් මාස 2 ගණනය කිරීම ඇරඹුනා කියලා. මේකෙන් විදුලි සේවකයන් කැලඹීමකට ලක්වුණා. අපි පාලන අධිකාරිය සමග මේ සම්බන්ධව විමසා සිටියත් කිසිදු ප්‍රතිචාරයක් දැක්වුවේ නැහැ. අධිකරණ තීන්දුවෙත් පැහැදිලිව දක්වා තිබෙනවා, දැනට තිබෙන වරප්‍රසාද අඩු කිරීමකින් තොරව අලු‍ත් සමාගම් වලට අනුයුක්ත කිරීමේ දී ලබාදිය යුතුය කියලා. 

මේ නිසා අපි ඉල්ලා සිටියා අධිකරණ තීන්දුව මගින් සහතික කළ සේවක වරප්‍රසාද අවබෝධතා ගිවිසුමකින් හෝ සුරක්ෂිත කරන්න කියලා. ඒ අනුව අවබෝධතා ගිවිසුම සැකසීමට සම්බන්ධව කමිටුවක් පිහිටුවා තිබෙන අතර, එහි වාර්තාව නිකුත් කිරීමට නියමිතව තිබෙන්නේ සැප්තැම්බර් 15දායි.  මේ නිසා අපි අමාත්‍යංශයට දන්වා සිටියා  වාර්තාව නිකුත්වන සැප්. 15දා සිටයි  මාස 2 ගණනය කිරීම සිදු කළ යුත්තේ කියලා.  මෙම කාරණය ගැන ඔවුන් මේ වන තෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නෑ. 

ඵල රහිත සාකච්ඡා

රජය මෙම  කටයුත්ත නිසි ලෙස සිදු කරන්නෙ නැත්නම් ඒ වෙනුවෙන් රජයට බලපෑම් කිරිමේ වෘත්තීය ක්‍රියා මාර්ග ගතයුතුයි. පසුගිය සඳුදා (01දා) වෘත්තීය සමිති එකමුතුව විසින් තීරණයක් ගෙන රජයටත් මේ පිළිබදව දැනුම් දීමෙන් පසුව පසුගිය අඟහරුවාදා (02දා) අමාත්‍යවරයා විසින් අපට සාකච්ඡාවක් ලබාදුන්නා. 

නමුත් මෙම සාකච්ඡාවේ දී අමාත්‍යවරයා අපේ ගැටලු‍ වලට කිසිදු සාධනීය පිළිතුරක් ලබා නොදී, සාකච්ඡාව අවසන් කරනු ලැබුවා. නමුත් මෙතන දි අමාත්‍යවරයා පවසා සිටියා “අපට වැරදීම් වෙනවා, අපි මේක ඉගෙන ගනිමින් වැරදි හදා ගෙන යන්න ඕනි“ යනුවෙන්. විදුලි බල ක්ෂේත්‍රය කියන්නෙ වැරදීම් කළ හැකි තැනක් නෙවෙයි. මොනා හරි වැරද්දක් වෙලා මිනිස්සුන්ට විදුලි බලය නැතිවුණොත් ඔය කියන බයිලා කාටවත් වැඩක් නෑ. මිනිස්සුන්ට වැදගත් වෙන්නෙ අඩු මිලට පැය 24 විදුලි බලය ලබා දීම සහ මිනිස් ජන ජීවිතය නිසි ලෙස ගෙන යාහැකි වටපිටාවක් සැකසීම කියණ කාරණයනෙ. 

සැප්තැම්බර් 15ට විසඳුම් නැත්නම් වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කරනවා - ලංවිම ඉංජිනේරු සංගමය විධායක කමිටු සාමාජික, ධනුෂ්ක පරාක්‍රමසිංහ 

පාරිභෝගිකයන් මුදල් ගෙන සේවකයන්ට වන්දි ගෙවීම 

ඒ වගේම රජය යෝජනා කර තිබෙන වන්දියේ උපරිමය රු. මි.5යි. මේ වන්දිය පිළිගෙන සේවකයන් 5000ක් පමණ ඉවත් වෙන්න තීරණය කළොත් සාමාන්‍ය ලෙස මි. 03ක පමණ වන්දියක් ඒ 5000ට ගෙවීමට පමණක් ආණ්ඩුවට රුපියල් බිලියන 15ක් 20ක් පමණ වැය වෙනවා. 

ඒ නිසා අපි මේ සාකච්ඡාවේ දි විමසා සිටියා, වන්දිය ලබා ගෙන ඉවත් වන සේවකයන්ට වන්දි ලබාදීම ඇරඹෙන්නෙ කවදා සිට ද? ඉවත් වන සේවකයා ගේ වන්දිය එදින ලබාගත හැකි ද? මේ සඳහා මුදල් ලැබෙන්නෙ කොහෙන් ද කියලා.  මොකද අපි දැනුවත්ව වන්දි ගෙවීම සඳහා කිසිදු මුදලක් වෙන්කර නැහැ. 

එවිට අමාත්‍යවරයා පැවසූ කාරණය වූයේ ඊළඟ කාර්තුවේ විදුලි බිල වැඩිකර ලැබෙන ආදායමෙන් මෙම වන්දි මුදල් ගෙවීම සිදු කරන්න සැලසුම් කර තිබෙනවාය යන්නයි. 

පසුගිය ආණ්ඩුව වන්දි ගෙවීමට අදාළ මුදල් සොයා ගැනීමට සැලසුම් කර තිබුණේ විදෙස් ප්‍රදානයක් ලෙස එම මුදල් ලබා ගැනීම හෝ මහා භාණ්ඩාගාරයෙන් ණය මුදලක් ලබා ගෙන වන්දි ගෙවා පසුව ලංවිම ලබන ආදායමෙන් එම ණය ගෙවා දැමීමේ ක්‍රමවේදයකුයි. 

ලංවිම සේවකයන්ට වන්දි ගෙවීම රටේ පාරිභෝගිකයන් පිට පැවරදීම ඉතා වැරදි දෙයක්. ඒක පාරිභෝගියන්ට අදාල ම නැති කාරණයක්. මේ නිසා අපට වැටහුණ කාරණය තමයි මෙම ප්‍රතිව්‍යුහගතකිරීමේ ක්‍රියාවලිය කිසිදු සැලසුමකින් තොරව සිදුකරන ක්‍රියාවලියක් ය යන්න. 

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා කටයුතු කාර්යක්ෂම කර විදුලි බිල අඩුකරනවා කියන කාරණය නේ මූලික තේමාව ලෙස හුවා දැක්වුවෙ. නමුත් මේ පාලකයන්ට ඔය කිසිදු දෙයක් කරන්න වැඩ පිළිවෙලක් නෑ කියන කාරණය පැහැදිලියි. 

ජනාධිපතිවරයා ගේ මැදිහත්වීමක් අපේක්ෂා කිරීම

ඒනිසා ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ කාරණය සම්බන්ධව සම්බන්ධ වෙලා සිටින පිරිසට මේ පිළිබඳ අවබෝධයක් නෑ. ඒ නිසා ජනාධිපතිතුමාටවත් මේ ගැන තේරිලා එතුමා හෝ මැදිහත්වෙලා ඵලදායී හරි දෙයක් කරන්න එතුමන්ව දැනුවත් කරන්න අපි තීරණය කලා. 

ඒ අනුව ජනාධිපති ලේකම්වරයා සහ ලංවිම සභාපතිවරයා ඒ සම්බන්ධව ලිඛිතව දැනුම්වත් කර තිබෙනවා. 

මේ රටේ කිසිදු ක්ෂේත්‍රයක සිටින අමාත්‍යවරයෙකුට තමන් කරන කියන දේ ගැන නිසි අවබෝධයක් නෑ, ජනාධිපතිවරයාට හැර. ලංවිම ප්‍රතිව්‍යුහගත කරණයට සම්බන්ධ පිරිස සිටින්නේ ත් එතැනයි. ඔවුනටත් නිසි අවබෝධයක් නෑ.

විශේෂඥ උපදෙස් 

ඉන්දියාවේ, වියට්නාමයේ, කොරියාවේ හා සිංගප්පූරුවේ විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිව්‍යුහගත කිරීම් කළ පලපුරුදු විශේෂඥ පිරිස් සිටිනවා. අවම වශයෙන් ඔවුන් ගේ සහාය හෝ ලබාගත යුතුව තිබෙනවා. පසුගිය ආණ්ඩුව මෙම ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කිරීම සඳහා ඉන්දියාවේ අත්දැකීම් සහිත ප්‍රමුඛ ආයතනයක් වන ඡඋක්‍ සම්බන්ධ කරගෙන තිබුණා. ඇත්තටම අවම වශයෙන් ලෝකයේ මේ සම්බන්ධ අත්දැකීම් ඇති කිසියම් කණ්ඩායමක් සමග එක්ව මේ කටයුත්ත සිදු කළ යුතුව තිබෙනවා. එවිට මින් සිදුවිය හැකි වැරදි වළක්වා ගත හැකියි. නමුත් එවැනි සැලසුමක් නැති එක තමයි අපට තිබෙන ප්‍රශ්නය.

අපි ප්‍රතිව්‍යුහගතකරණයට විරුද්ධ නෑ

වෘත්තීය සමිති විදිහට අපි ප්‍රතිව්‍යුහගතකරණයට විරුද්ධ යැයි ඇතමෙකුට හිතන්න පුළුවන්. නැහැ, අපි ප්‍රතිව්‍යුහගතකරණයට විරුද්ධ නැහැ. අපි විරුද්ධ නිසි ලෙස මෙම කටයුත්ත සිදු නොකිරීමටයි. නිසි ලෙස ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කිරීමෙන් රටේ විදුලි බල ක්ෂේත්‍රයට සිදුවන හානියටයි.  

දැන් අපිට පැහැදිලි වන කාරණය පසුගිය ආණ්ඩුව මීට වඩා විධිමත් ආකාරයට මෙය සිදු කිරීමට උත්සාහ කළ බවයි. ඔහුන් ප්‍රයිවට් කරනවා කියන මෝඩ් එකට යාම තමයි එතැන ගැටලු‍ව වුණේ. 

විදුලි බල මණ්ඩලය නිසි ලෙස ප්‍රතිව්‍යුහගතකරණය නොකලොත් මිලියන 22ක රටේ ජනතාවටත්, 22,00ක් වන විදුලි සේවකයන්ට ත් රටේ ව්‍යාපාර ක්ෂේත්‍රයට දැඩිව බලපාන ගැටලු‍වක් වෙනවා. ඒ හරහා රටේ ආර්ථිකය යළිත් දරුණු කඩා වැටීමකට ලක් වෙනවා. ඒ නිසා හරි කණ්ඩායමකට මෙය බාර දෙන්න කියන ඉල්ලීමයි අපි සිදු කරන්නෙ. 

ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමේ අදහසක් නෑ

මෙතනදි පැහැදිලිවම කිවයුතු කාරණය වන්නේ අපි මේ උත්සාහ කරන්නෙ ප්‍රතිව්‍යුහගතකිරීම ආපස්සට හරවන්නවත්, රජය ගෙදර යවන්න වත් , ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්නවත් නොව, ප්‍රතිව්‍යුහගත කිරීම නිසි ලෙස සිදු කර රටේ ජනතාවට සෙතක් උදා කර දීමටයි. එක් වෙලාවක අපිත් මේ කාරණයට පෙනී සිටින්නේ පාරිභෝගිකයන් ලෙසයි.

අකුරට වැඩ කිරීම 

අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන් පසුව අපට වැටහුණා මේක නිසි මාර්ගයට ගැනීමට නම් රජයට ඒත්තු ගැන්වෙන්න වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක් ගත යුතුය යන්න. ඒ අනුව සැප්තැම්බර් 15දා දක්වා අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්යක අප නිරතව සිටිනවා. මෙතනදි හදිසි විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රමාදයන් අත්විය හැකියි. 

සැප්තැම්බර් 15දා වනවිට මීට සාධනීය විසඳුමක් නැත්නම් දෙවැනි අදියරට යන්නයි අපි සූදානම් ව සිටින්නේ. එතන දි සම්බන්ධීකරණ කමිටු රැස්වීම් වලට යාමෙන් වැළකීම, හදිසි විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීම් ආදියෙන් ඉවත්වීම දක්වා යා හැකියි. 

ලංවිම තුල සිටින වෘත්තීය සමිති 31ක් පමණ අප සමග මේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය සඳහා එක්ව සිටිනවා. මේකට රන්ජන් ජයලාල් ප්‍රමුඛ ජවිපෙ විදුලි සේවක සංගමය සම්බන්ධ වෙන්නෙ නෑ. අපි මේ පිළිබඳව සාකච්ඡා කරන්න ඔවුන්ටත් ආරාධනා කළා. නමුත් ඔවුන් මේ සඳහා සම්බන්ධ වුණේ නෑ.  හැබැයි එහි ප්‍රධානින් සම්බන්ධ නොවුණත් සාමාජිකයන් විශාල පිරිසක් අප සමග එක්ව සිටිනවා. 

නිරෝෂාන් ප්‍රේමරත්න