කරුණාවතීට 113යි ගොයම් සිටුවීම, කොළ බැඳීම, බැත සැකසීම, ගම්මිරිස් නෙළීම වැනි කුලී වැඩ කරමින් කොස්, පොළොස්, පළා වර්ග ආහාර වේලට එකතු කරගනිමින් දිවි ගෙවන 113 වියැති සේරු හරුප්පෙ පදිංචි කරුණාවතී මාතාව ලංකාවේ වයස්ගතම කාන්තාව ලෙස හඳුනාගනී.
ලංකාවේ වයස්ගතම පිරිමි පුද්ගලයා ලෙස ගාල්ල ප්‍රදේශයේ වයස අවුරුදු 110ක අයකු මීට දින කිහිපයකට ඉහත දී වාර්තා වෙද්දී ලංකාවේ වයස්ගතම කාන්තාව ලෙස කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වයස අවුරුදු 113ක මවකගේ තොරතුරු කුරුණෑගල වැඩිහිටි මහ ලේකම් කාර්යාලය විසින් ද සනාථ කරනු ලැබීය
කුරුණෑගල දිස්ත්‍රික් වැඩිහිටි ප්‍රවර්ධන නිලධාරී රෝහිත පුෂ්පකුමාර මහතා කියා සිටි ආකාරයට, ලංකාවෙම වයස අවුරුදු සීයට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 800කට ආසන්න සංඛ්‍යාවක් ජීවත් වෙන බවත්, ඉන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වයස අවුරුදු සීයට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 31 දෙනෙකු දැනට හඳුනාගෙන සිටින බවත්ය.
දීර්ඝායුෂ ලබන්නන්ගේ විශේෂිතම හේතු ලෙස ඔහු සඳහන් කරනු ලැබුවේ ජීවන රටාව ඊට හේතුවන බවය. වයස අවුරුදු සියය පසු කළ බොහොම කාන්තාවන් සහ පිරිමින් ස්වාභාවික ආහාරපාන එදිනෙදා ගෙන තිබීමත්, මත්ද්‍රව්‍ය හා මත් වැටි දේවලින් තොර වීමත් දීර්ඝායුෂ ලැබීමේ හේතු විදිහට හඳුනාගෙන ඇති බවද ඔහු සඳහන් කළේය. එමෙන්ම, වැඩිහිටියන්ට සත්කාර කරමින් හොඳින් රැක බලා ගැනීමත්, දීර්ඝායුෂ ලැබීමේ හේතුවක් බව ඔහු සඳහන් කළේය.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ 113 වියැති කරුණාවතී මාතාවට අමතරව
රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ම108වියැති ඩී.එම්. බණ්ඩාර මැණිකේ මාතාවත් කුලියාපිටිය නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 107වියැති බී.එම්. බාලම්මා මාතාවත් වැඩිහිටි ලේකම් කාර්යාලය විසින් හඳුනාගෙන තිබේ. දිස්ත්‍රික් ලේකම්වරයා සමඟ නිලධාරීන් වැඩිහිටි දිනය නිමිති කරගෙන ඔවුන් ඇගයීම ඉකුත් 2 වැනි දින කුරුණෑගල නගර ශාලාවේ දී සිදු කෙරිණි.
එහිදී ලංකාවේ වයස්ගතම කාන්තාව ලෙස කරුණාවතී මාතාව හඳුන්වා දුන් අතර, වයස අවුරුදු සීයට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අතරින් කාන්තාවන් වැඩි සංඛ්‍යාවක් සිටීම ද විශේෂ කාරණාවක් විය.
මෙතෙක් කල් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාට හෝ අනෙකුත් සමාජ සේවා හෝ කිසිම නිලධාරියෙකුට ඇස නොගැටුණු ඇය අංක 586, මහවෙල වසමෙහි ග්‍රාම නිලධාරිවරයා විසින් වාර්තා කර ඇත්තේ, සියවස් පූර්ණ දීමනාවට කළ සොයා බැලීමකදීය.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ කඳු බෑවුම් සහිත රිදීගම, සේරුගහ රුප්ප, මහවෙල, පිහිම්බුව, යන සුන්දර ග්‍රාමයේ ජීවත්වන මුතුගලගේ කරුණාවතී හැඳුනුම් පතෙහි සඳහන් වන ආකාරයට උපත ලබා ඇත්තේ 1912 මාර්තු මස 10 වැනි දාය.
අයි.පී.ඩී. සරණා සමග විවාහ වී සිටි ඇයගේ කුලුඳුල් දරුවා වයස අවුරුදු එකහමාරේ දී මිය ගොස් ඇති අතර තවත් පිරිමි දරුවෙකු සහ ගැහැනු දරුවන් තිදෙනෙකු ඇයට සිටී. ඔවුන්ගෙන් වැඩිමල් දියණිය විවාහ වී නැති අතර, විවාහ වී සිටින ඇගේ දූවරුන් දෙදෙනාට පමණක් දරුවන් සිටි. ඒ නිසා දරුමුනුපුරන් සහ මේ මිනිබිරියන් 12 දෙනෙකු සහිත කුඩා පවූලක වුවත්, කරුණාවතී මාතාව පුද සත්කාර ලබමින් හොඳ ශරීර සෞඛ්‍යයකින් යුක්තව ජීවත් වේ.
ගොයම් සිටුවීම, කොළ බැඳීම, බැත සැකසීම පමණක් නොව ගම්මිරිස් කැඩීම වැනි වතු ආශ්‍රිතව කුලී වැඩ කරමින් ජීවත් වූ ඇය ප්‍රදේශයේ වැවෙන කොස්, පොළොස්, පළා වර්ග නිතර ආහාර වේලට එකතු කරගෙන තිබේ. දැනටත් එවැනි කෑම බීමවලට ප්‍රිය කරන ඇය චම්පිකා පද්ම කුමාරි වික්‍රමසිංහ යන 40 හැවිරිදි ඇගේ මිනිබිරියකගේ රැකවරණය ලබමින් ජීවත් වේ.
කරුණාවතී මාතාවගේ මතකය මඳක් ගිලිහී ගොස් ඇති බැවින් ඇය පිළිබඳව ඇගේ මිනිබිරිය කියා සිටියේ මෙසේය.
“කිරි අම්මා ඒ කාලේ අටේ පන්තිය දක්වා ඉස්කෝලේ ගිහින් තියෙනවා ලු. එයාට හොඳට ගණන් ඉංග්‍රීසි පුළුවන්. චක්කරේ මතකයෙන් කියන්න පුළුවන්. මගේ 15 හැවිරිදි පුතාටත් මගේ ආච්චි අම්මා ගණන්, ඉංග්‍රීසි කියලා දුන්නා. ඒ වගේම එයා ගමේ පන්සලේ සමිති සමාගම්වල නිලතල දැරුවා මට මතකයි. දායක සභාවේ සමිතිවල හොඳට වැඩ කළා. දැන් අවුරුදු දෙකක් තමයි ඔහොම ඉන්නේ. ඒ එයා වැටිලා උකුල් ඇටය කැඩුණු නිසා. එහෙම නොවෙන්නෙ කිරි අම්මා අදටත් හොඳින් ඉන්නවා.
දැන් එයාගේ මතකය ටිකක් අඩුයි. මීතැන්වල ගමේ ඉපදුණු ආච්චි අම්මා එහේ හිටපු අය ගැන නිතර කතා කරනවා. ඒ හැර වැඩිය එයාට ලොකු මතකයක් දැන් නැහැ.
අපට වුණත් පුංචි කාලෙ පැල් කවි, කතන්දර කියලා දුන්නේ අපේ කිරි අම්මා තමයි. කිරි අම්මගේ තාත්තගෙ නම සිංගා කියලා කිරි අම්මා කියනවා. අම්මගේ නමත් කිව්වා ඒ වුණාට අපට මතක නෑ.
අපේ ප්‍රදේශයට අලුතින් රාජකාරිවලට ආව ග්‍රාම නිලධාරි මහත්තයා තමයි සියවස් පූර්ණ දීමනාවට අම්මගේ තොරතුරු ගත්තෙ. කිරි අම්මට අවුරුදු එකසිය දොළහක් වයස කියලත්, ඇය ප්‍රදේශයේ වයස්ගතම කාන්තාව කියලාත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුවත් කරලා තියෙන්නේ. ප්‍රාදේශීය ලේකම්තුමා රිදීගම පාර්ලිමේන්තු මන්ත්‍රී අස්ලාම් මහත්තයා, පන්සලේ හාමුදුරුවෝ එක්ක රජයේ නිලධාරීන් ඇවිත් කිරි අම්මා ගැන සොයා බැලුවා.
වයස අවුරුදු 113 ක් කියලා වැඩිහිටි මහලේකම් කාර්යාලය දැනුවත් කළා. ඒ අනුව පසුගිය 2 දා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී කිරි අම්මා ඇගැයීමට ලක් කළාට හරි සතුටුයි. අපේ බලාපොරොත්තුව තවත් කාලයක් අපේ ආච්චි අම්මව ජීවත් කරවන්න තමයි.“
ලොව වයස්ගත පුද්ගලයා ලෙස 2024 අප්‍රේල් මාසයේ දී බ්‍රිතාන්‍ය පුවත් සේවය වාර්තා කර තිබුණේ වයස අවුරුදු එකසිය දොළහක් වූ ජෝන් ටිනිස්වුඩ් පිළිබඳවයි. ඔහු වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා පොතට ද ඇතුළත් විය .
චාන්දනී දිසානායක