දන්සැල් ගොඩනැගිල්ල
වසර හැත්තෑ නවයක් පුරා අඛණ්ඩව පවත්වාගෙන යන දන්සැලක් අපේ රටේ ඇතැයි කිවහොත් - එය බොහෝ දෙනෙකු ගේ මවිතයට හේතුවන කරුණක් වනු නොඅනුමාන ය.
නමුත් එය සත්‍යයකි. මේ අපූරු පැරණි දන්සැල තිබෙන්නේ මැල්සිරිපුර නගරයේය. “සිමාසහිත මැල්සිරිපුර සිරිසඟබෝ පොසොන් දන්සැල් සමිතිය” නමින් හැඳින්වෙන මෙය ආරම්භ කර ඇත්තේ - අප රටට නිදහස ලැබීමටත් පෙර, එනම් 1947 වසරේ මැයි මස 10 වැනිදාය. ඒ අනුව මේ වසරේ දී මැල්සිරිපුර දන්සැලට වසර79 ක් සම්පූර්ණ වේ.
මෙම අපූරු දන්සැලේ තොරතුරු සොයා එහි ගිය අපට - දන්සැල් සමිතියේ සභාපති කේ.එච්.එන්.එච්. පෙරේරා හමුවිය. දන්සැලේ ඉතිහාසය ගැන සඳහන් කරමින් හෙතෙම මෙසේ පැවසීය.
“අපි මුලින්ම මෙම දන්සැල ආරම්භ කළේ පොල්අතු කුටියක. එදා මෙම සමිතිය හැඳින්වූයේ සුචරිතෝදය සමිතිය ලෙසයි. ඒ කාලයේ සාමාජික මුදල වශයෙන් අයකරනු ලැබුවේ රුපියල් පනහයි. ඒක එදා ලොකු මුදලක්. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කළ පොසොන් පුර පසළොස්වක පොහොය දිනයේ කුරුණෑගල- දඹුල්ල මහා මාර්ගය ඔස්සේ ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් දඹුල්ල, අනුරාධපුරය, මිහින්තලය, සේරුවිල, මහියංගනය, නාගදීපය ආදී සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමට යනවා. එසේ යන සහ ගොස් ආපසු පැමිණෙන බැතිමතුන් සඳහා ප්‍රණීත ආහාරපාන ලබාදීම අප සමිතියේ මූලික අරමුණයි. එසේම ස්වාභාවික ආපදාවලින් විපතට පත්වන ජනතාව වෙත මූල්‍යමය මෙන්ම ද්‍රව්‍යමය ආධාර ලබාදීමත් අප සිදු කරනවා.”
“අද වනවිට මැල්සිරිපුර නගරයේ රුපියල් කෝටියක් පමණ වටිනා විශාල ගොඩනැගිල්ලක්‘ සමිතිය සතුව තිබෙනවා. ඊට අමතරව වැසිකිළි, කැසිකිළි, මුළුතැන්ගෙය, ආහාර ගබඩාව, කාර්යාලය සහ පූජ්‍ය පක්ෂය සඳහා වෙනම කාමර ආදිය ද තිබෙනවා. අද වනවිට දන්සැල් සමිතියේ සාමාජිකත්වය දරන සංඛ්‍යාව දහසක් පමණ වන අතර, තුන් දහසක් පමණ අනුග්‍රහය දක්වනවා.”
“මේක නම් දන්සැලක් නොවෙයි. සුපිරි මඟුල් උත්සවයක්.....”
දන්සැලට පැමිණෙන බැතිමතුන් දන්සැල හඳුන්වනුයේ ඒ ආකාරයටයි.
මේ වනවිට දන්සැල් සමිතිය සතුව රුපියල් ලක්ෂ 88ක පමණ මුදලක් ඇතැයි එහි භාණ්ඩාගාරික ඒ.පී. අබේරත්න පැවසීය. අවට ගම්මාන රැසක ජනයා මෙම දන්සැලට සිය නොමසුරු දායකත්වය ලබාදෙති. සමහරු සහල්, පොල්, එළවළු හා පලතුරු ලබා දෙති. තවත් සමහරු විවිධ ආකාරයේ රසකැවිලි ලබාදෙති.
![]() |
සමිතියේ සභාපති පෙරේරා |
1956වසර මෙම පොසොන් දන්සැලට අමතක නොවන සිදුවීමක් සනිටුහන් කළ වසරක් බැව් සමිතියේ ලේකම් නිමල් කරුණාරත්න පැවසීය. හෙතෙම එම සිද්ධිය විස්තර කළේ මෙසේය.
“එවකට අගමැතිවූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහත්තයා සම්බුද්ධ ජයන්තිය පොසොන් දිනයේ දී එම සම්බුද්ධ ජයන්ති උත්සවය සැමරීම සඳහා විදේශීය තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය ප්‍රභූ පිරිසක් සමග අනුරාධපුරයට ගොස් සිටි බැව් දන්සල් සංවිධායක මණ්ඩලයට දැනගන්නට ලැබුණා. කෙසේ හෝ එම පිරිස දන්සැලට කැඳවා ගැනීමට පිරිසට වුවමනා වුණා. අගමැතිතුමා ඇතුළු එම ප්‍රභූපිරිස වෙනුවෙන් දන්සැල අවට වෙනදාට වඩා වැඩිපුර වර්ණවත් විදුලි බුබුළු යොදා තිබුණු අතර, විශේෂ තොරණක් ද ඉදිකරනු ලැබුවා. එම පිරිස ගමන් කරන වාහන නතර කරවා ගැනීම සඳහා සංවිධායකයෝ විශේෂ උපක්‍රමයක් යෙදුවා. ඔවුන් කිසිදු වාහනයකට ගමන් කළ නොහැකි ආකාරයට පාර හරහා දිගාවුණා. ඒ කාලයේ දැන් වාගේ ආරක්ෂක විධිවිධාන තිබුණේ නැහැ. අන්තිමේ දී වාහන සියල්ල නතර කෙරුණා. අපේ ඉල්ලීමට අනුව අගමැතිතුමා ඇතුළු ප්‍රභූපිරිස සිනාමුසු මුහුණින් යුතුව දන්සැලට පැමිණ පලතුරුවල සහ රසකැවිලිවල රස බැලුවා. මෙවැනි දන්සැලක් පිළිබඳව කිසිත් නොදත් විදේශීය තානාපතිවරු මුදල් ගෙවීමට සූදානම් වූයේ එය මුදලට ආහාර අලෙවි කරන ස්ථානයක් යයි සිතාගෙනයි.”
“මෙය වෙළෙඳසැලක් නොව බෞද්ධ උත්සව සමයන්හි දී නොමිලයේ ආහාර පාන ලබාදෙන දන්සැලක් බව අගමැතිතුමා පැහැදිලි කර දීමෙන් පසු විදේශිකයෝ ශ්‍රී ලාංකිකයන් විසින් නොමිලයේ කරන ලද සංග්‍රහය පිළිබඳව විමතියට පත්වුණා. මෙවැනි මිහිරි ආහාර පාන නොමිලයේ සපයන ස්ථානයක් කිසිම රටක දී දැක නැතැයි ඔවුන් කියා සිටියා.”
දන්සැලට සහාය දීම හැර මෙහි සාමාජිකයන්ට කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙන බවත්, ඔවුන්ට දන්සැලින් හුණුවිටක තරම් දෙයක්වත් කෑමට නොහැකි බවත්, වැඩකරන පිරිස සඳහා පිටතින් වෙනම ආහාර ලබාදෙන බවත්, සමිතියේ ලේකම්වරයා සඳහන් කළේය.
ඉබ්බාගමුව - ආර්.එම්. කුලසූරිය සහ ගොකරැල්ල- චරිත රත්නායක