
රටක සමාජ ආර්ථික හා සංස්කෘතික සංවර්ධනය උදෙසා ඒ රටේ දේශීය චින්තනයත් විදේශීය චින්තනයත් සුසංයෝග කොට ජාත්‍යන්තර සබඳතා ගොඩනගාලීමෙහි සහ ප්‍රවර්ධනය කිරීමෙහි සමත්කම් ඇති පුද්ගලයන් බිහිවන්නේ රටේ වාසනාවට බව අමුතුවෙන් සඳහන් කළ යුතු නො වේ. වෛද්‍ය සමන් වීරසිංහ යනු එවැනි විරල පුද්ගලයන් අතරින් කැපී පෙනෙන අයෙකි.
පැවති සෝවියට් දේශය හා වත්මන් රුසියානු සමූහාණ්ඩුව ශ්‍රී ලංකාව සමග සුසංයෝග කරමින් දශක 4කට ආසන්න කාලයක් පුරා ඔහු විසින් ගොඩනගන ලද මිත්‍රත්වයේ පාලම ඇගැයීමට ලක් කරමින් රුසියානු පාර්ශ්වයෙන් විදේශිකයකුට පිරිනමන ඉහළම ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීමට වෛද්‍ය සමන් වීරසිංහයෝ පසුගිය දා සමත් වූ හ. ඒ ගෙවී ගිය 68 වසරක දෙරට අතර නිල රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තුළ රුසියානු පාර්ශ්වයෙන් ශ්‍රී ලාංකිකයකුට පිරිනැමෙන උසස් ම ගෞරවය ලෙස පෙන්වා දිය හැකි ය.
රුසියාවේ ජාතික රාජ්‍ය උත්සවයක් වූ ජනතා එකමුතු දිනය යෙදී තිබූ 2025 නොවැම්බර් 04 වැනි දින රුසියාවේ මොස්කව් නුවර ක්‍රෙම්ලින් මන්දිරයේ කැතරින් ශාලාවේ පැවති අභිමානවත් රාජ්‍ය උත්සවයේදී රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැදිමීර් පූටින් අතින් “මිත්‍රත්වය සඳහා වූ රුසියානු රාජ්‍ය සම්මානයෙන්” Order of Friendship වෛද්‍ය සමන් වීරසිංහයන් පිදුම් ලැබූ අතර එම පදක්කම රුසියානු ජනාධිපතිවරයා අතින් ම සමන් වීරසිංහයන්ගේ ළයෙහි වම්පස පැලඳවීම විශේෂත්වයක් විය.
පසුගිය දා වෛද්‍ය සමන් වීරසිංහන් වෙත පිරිනැමුණු මෙම මිත්‍රත්ව සම්මානය අභ්‍යවකාශයට ගිය ලොව පළමු කාන්තාව වූ වලෙන්තිනා තෙරෙස්කොවාට ද, කියුබානු ජනාධිපති රාවුල් කස්ත්‍රෝට ද, ඉන්දීය අගමැති ඉන්ද්‍ර කුමාර් ගුජ්රාල්ට ද, සිංගප්පූරුවේ පළමු අගමැති ලී ක්වාන් යූ ට ද, දකුණු අප්‍රිකානු නිදහස් සටනේ පුරෝගාමියා වූ දකුණු අප්‍රිකානු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාට ද, මැලේසියාවේ අගමැති මහතීර් මොහමඩ්ට ද, ලෝකප්‍රකට සෝවියට් ලේඛක චින්ගීස් අයිත්මාතොව්ට ද, ලෝක චෙස් ශූර විශ්වනාත් ආනන්ද්ට ද, ඇමරිකානු සිනමා අධ්‍යක්ෂ ස්ටීවන් සීගල්ට ද, මීට පෙර හිමිවීමෙන් මෙම සම්මානයේ ඇති වැදගත්කම මොනවට පැහැදිලි වෙයි. මෙවර මුළුමහත් ආසියාවෙන් ම වෛද්‍ය සමන් වීරසිංහයින්ට පමණක් මෙම සම්මානය පිරිනැමීම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප සැමට ම ආඩම්බරයකි. සම්මානය ලබාගත් අවස්ථාවේ චතුර ලෙස රුසියානු බසින් සිය කථාව රුසියානු ජනාධිපතිවරයා ඉදිරියේ සිදු කළ වෛද්‍ය සමන් වීරසිංහයෝ මෙසේ පැවසූ හ.
“ශ්‍රී ලංකාව හා රුසියානු සමූහාණ්ඩුව අතර මිත්‍රත්වය වර්ධනය කිරීම සඳහා මවිසින් කරන ලද දායකත්වය ඔබ විසින් ඇගැයීම සම්බන්ධයෙන් මම ඔබට ස්තුතිවන්ත වෙනවා. මගේ ජීවන ගමන් මග මා විසින් තේරීමේ නිවැරදිතාව තහවුරු කිරීමක් වන මෙම සම්මානය ඉමහත් ගෞරවයක් සහ වගකීමක් ලෙස මා සලකනවා. දශක ගණනාවක් මගේ ජීවිතය රුසියාව හා බැඳී පැවතුණා. ඔබේ සුන්දර රට විසින් මා හට ලබාදුන් අධ්‍යාපනය මගේ ජීවිතය ආලෝකවත් කිරීමට උපකාරී වුණා. එසේම එය ඔබේ ශ්‍රේෂ්ඨ රට කෙරෙහි මගේ ප්‍රේමයේ පදනම ද වුණා. රුසියාව යනු බුද්ධියෙන් වටහා ගත නොහැකි දේශයක්. රුසියාව යනු හදවතින් වැළඳගත යුතු දේශයක් . එවිට රුසියාව ද එලෙස ම ඔබ වැලඳගනු ඇති” යි ඔහු ව්‍යක්ත රුසියනු බසින් සිය කතාව අවසන් කරන විට මුළු සභා ගැබ ම අත්පොළසන් නාදයෙන් පිරී ගියේ ය.
වෛද්‍ය සමන් වීරසිංහ යනු රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වරයා ය. එමෙන්ම ශ්‍රී ලංකා - රුසියානු මිත්‍ර සංගමයේ ප්‍රධාන ලේකම්වරයා වන්නේ ද ඔහු ය. රුසියාවේ ක්‍රියාත්මක වන රුසියානු - ශ්‍රී ලංකා මිත්‍ර සංගමයේ නියෝජ්‍ය සභාපතිවරයා වන ඔහු වත්මන් රුසියාවේ ප්‍රබල සංවිධානයක් වන රුසියානු භූ විද්‍යා සමාජයේ ශ්‍රී ලංකා ශාඛාවේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කරයි.
එමෙන්ම ඓතිහාසික කැලණිය රාජමහා විහාරස්ථානයේ ගිහි භාරකාර මණ්ඩලයේ සභාපතිවරයා වන්නේ ද සමන් වීරසිංහයන් ය. එපමණක් නො ව ඔහු අනුරාධපුර ශ්‍රී මහා බෝධි රන්වැට භාරකාර මණ්ඩලයේ විධායක සභික ධුරයක් ද දරයි.
වරක් කුරුමිණියෙකු හා සම්බන්ධ ගැටලුවක් නිසා රුසියාව ශ්‍රී ලංකා තේ මිල දී ගැනීම අත්හිටුවනු ලැබූ අවස්ථාවෙහි ක්‍රියාශීලී මැදිහත්වීමක් සිදු කරන ඔහු වහාම එම අර්බුදයට මැදිහත් වී ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවකින් නැවත ශ්‍රී ලංකා තේ මිලදී ගන්නා තැනට රුසියානු බලධාරීන් කැමති කරවා ගැනීමට සමත් විය.
1961 ඔක්තෝබර් මස 17 වැනි දා දක්ෂිණ ලංකාවේ මාතර දිස්ත්‍රික්කයේ සිරිසේන වීරසිංහ පියාණන්ට දා ව, ඇලන් වීරසිංහ මෑණියන්ගේ කුසින් බිහි වූ සමන් කුමාර රංජිත් වීරසිංහ නම් වූ හෙතෙම, සුවිශේෂ පුද්ගලයන් බොහෝ ගණනක් රටට දායාද කළ ගාල්ල මහින්ද විදුහලේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙක් විය. සෝවියට් දේශයෙන් ලද ශිෂ්‍යත්වයක් මත, 1983 වසරේ ඔහු උසස් අධ්‍යාපනය සඳහා සෝවියට් දේශය බලා ගියේ ය. රුසියාවේ මොස්කව් නුවර ප්‍රථම වෛද්‍ය විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලද ඔහු වෛද්‍ය විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ලබා ගත්තේ ය. ශිෂ්‍යයකු වශයෙන් සිටියදී ම සුවිශේෂ කාර්ය භාරයක් ඉටු කළ ශ්‍රී ලාංකිකයෙකු ලෙස ඔහු සෝවියට් දේශයේ කැපී පෙනෙන චරිතයක් විය.
විශේෂයෙන් ම දෙරට අතර සංස්කෘතිකමය අන්‍යෝන්‍ය අවබෝධය වැඩි දියුණු කිරීම සඳහා වෛද්‍ය සමන් වීරසිංහයන් ගන්නා වෙහෙස අපමණ ය. එම ක්‍රියාදාමය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය කෙරෙහි ඍජුව ම බලපාන කරුණක් බව කිව යුතු ය. රුසියාවේ සුප්‍රකට සම්භාව්‍ය බොල්ෂෝයි මුද්‍රා නාට්‍ය කණ්ඩායම ඇතුළු රුසියානු සංස්කෘතික කණ්ඩායම් වරින් වර ශ්‍රී ලංකාවට ගෙන්වමින් ප්‍රසංග සංවිධානය කොට දෙරට අතර සංස්කෘතික බැඳීම් තහවුරු කරලීමට ඔහු කරන කැපකිරීම මෙහි ලා විශේෂයෙන් සඳහන් කළ යුතු ය.
ශ්‍රී ලංකාව හා රුසියානු සමූහාණ්ඩුව අතර සහයෝගිතාව වර්ධනය කිරීම උදෙසා වෛද්‍ය සමන් වීරසිංහයන් විසින් ඉටු කරන ලද අමිල මෙහෙවර අගය කිරීමක් වශයෙන් අවස්ථා ගණනාවක දී ම ඔහු රුසියානු සමූහාණ්ඩුවේ ගෞරව සම්මානයට පාත්‍ර වී ඇත.
2013 වසරේ ජුනි මස 12 වැනි දින රුසියානු සමූහාණ්ඩුවේ ජාතික දින සැමරුමට සමගාමී ව ශ්‍රී ලංකාව හා රුසියානු සමූහාණ්ඩුව අතර ආර්ථික, සංස්කෘතික හා මානව සහයෝගිතාව ශක්තිමත් කිරීම උදෙසා ඉටු කරන ලද මහඟු කාර්ය භාරය වෙනුවෙන් වෛද්‍ය සමන් වීරසිංහයෝ, රුසියානු සමූහාණ්ඩුවේ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූහ. ශ්‍රී ලාංකිකයකු එවැනි සම්මානය කට පාත්‍ර වූ ප්‍රථම අවස්ථාව එය වන අතර, මීට පෙර උඩකැන්දවල සරණංකර හිමියන් ‘ලෙනින් සාම සම්මානයෙන් ’ පිදුම් ලැබීමෙන් පසු ශ්‍රී ලාංකිකයකු අත් පත් කර ගත් ඉහළ ම සම්මානය ලෙස එය ඉතිහාසයට එක් වේ.
රුසියාව හා ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත ආසියානු කලාපයෙහි දෘඪතර අධ්‍යාපනික හා සංස්කෘතික සබඳතා ගොඩනැගීමෙහි ලා දක්වන ලද දායකත්වය අගය කරමින් රුසියාවේ ‘ෂුකොව් භාරය’ විසින් ෂුකොව් ගෞරව සම්මානයෙන් වෛද්‍ය සමන් වීරසිංහයන් පිදුම් ලැබූ අතර එම ගෞරව සම්මානයෙන් ශ්‍රී ලාංකිකයකු පිදුම් ලත් ප්‍රථම අවස්ථාව එය වීම විශේෂත්වයකි.
එමෙන්ම ශ්‍රී ලංකාව හා රුසියානු සමූහාණ්ඩුව ආශ්‍රිත සංස්කෘතික, කලා හා පුණ්‍ය කටයුතුවල පුනර්ජීවනය සඳහා ඉටු කරන ලද විශිෂ්ට සමාජ මෙහෙවර අගයනු වස්, සමාජ සේවා වෙනුවෙන් සම්මාන ප්‍රදානය සඳහා වන රුසියානු ජාතික කමිටුව විසින් පිරිනැමුණු ගෞරවාන්විත පදක්කමද වෛද්‍ය, සමන් වීරසිංහයන් විසින් හිමිකර ගන්නා ලදී. ඊට අමතරව දෙරට අතර සංස්කෘතික, අධ්‍යාපනික හා මානව සුබසාධන කටයුතු ප්‍රවර්ධනය කිරීමෙහි ලා ඉටු කරන ලද මහඟු මෙහෙවර අගය කරමින් රුසියානු සමූහාණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින විද්‍යා හා සංස්කෘතික කටයුතු සඳහා වන රුසියානු ජාත්‍යන්තර කේන්ද්‍රය විසින් ප්‍රදානය කෙරෙන ‘මිත්‍රත්ව සම්මානයෙන් ’ පිදුම් ලැබීමේ භාග්‍යය ද ඔහු සතු විය.
රුසියානු සමූහාණ්ඩුව හා ශ්‍රී ලංකා ජනරජය අතර අන්‍යෝන්‍ය සංස්කෘතික සබඳතා ප්‍රවර්ධනයෙහි ලා ක්‍රියාශීලිී ව සහාය වීම සහ මානව සුභසාධනයෙහි ලා දායකවීමත්, ආර්ථික සබඳතා ව්‍යාප්තියෙහි ලා දක්වන ලද සහයෝගිතාවත් අගය කිරීම අරභයා රුසියානු සමූහාණ්ඩුවේ රාජ්‍ය ‘ඩූමාව’ හෙවත් ෆෙඩරල් මන්ත්‍රී මණ්ඩලය (පාර්ලිමේන්තුව) විසින් සමන් වීරසිංහයන් වෙත පිරිනමන ලද ඩිප්ලෝමාව හා ගෞරව පදක්කම දෙරටක මිතුදම වෙනුවෙන් ඔහු අතින් ඉටු වූ සුවිසල් මෙහෙවර ප්‍රකට කරවන සාධකයෝ ය.
එසේම මෙරට පාඨකයන් අතර ජනප්‍රිය “රුසියාව” සඟරාව සඳහා මුල්‍යමය අනුග්‍රහය ලබාදෙමින් රුසියාව ත්‍රෛමාසික සඟරාව 2006 වසරේ සිට මේ දක්වා අඛණ්ඩ ව පසළොස් වසරක් ප්‍රකාශයට පත් කරමින්, ඒ හරහා මෙරට පාඨකයන්ට රුසියාව පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා දීමට කටයුතු කිරීම ද, රුසියානු භාෂාව ශ්‍රී ලංකාවේ ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් සේ රුසියානු භාෂාව ඉගැන්වීම හා හැදෑරීම සඳහා කලක සිට අඩුවක්ව පැවති රුසියානු සිංහල ශබ්ද කෝෂයක අවශ්‍යතාව වටහා ගනිමින් කැලණිය විශ්වවිද්‍යාලයේ නූතන භාෂා අධ්‍යයනාංශයේ රුසියානු භාෂාව පිළිබඳ මහාචාර්ය හේමන්ත සිරිසේන විසින් සම්පාදනය කරනලද රුසියානු සිංහල ශබ්ද කෝෂය ප්‍රකාශයට පත් කිරීම සඳහා අනුග්‍රහය දැක්වීමද වැදගත්ය.
වෛද්‍ය, සමන් වීරසිංහයන්ගේ සමාජ සේවා කටයුතු අතර, දෙරට අතර ආගමික සබඳතා ප්‍රවර්ධනය උදෙසා කරනු ලබන ප්‍රශංසනීය දායකත්වය වෙසෙසින් සඳහන් කළ යුතු ය. රුසියාව තුළ බෞද්ධ සබඳතා වර්ධනය කිරීමේ පියවරක් ලෙස ශ්‍රී මහා බෝධියේ ශාඛාවක් රැසියාවට වැඩම කරවීම මෙන්ම එරටට වැඩම කරන ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේලාට පහසුකම් සැලසීම හා රුසියාවේ උසස් අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලා ගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට පියවර ගැනීම ද කැපී පෙනේ. එමෙන් ම ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන ශ්‍රී ලාංකික සිසුන්ට රුසියාවේ උසස් අධ්‍යාපන වරම් හිමිකර දීම මෙන් ම ඔවුන්ට උදව් උපකාර කිරීම ද ඔහු අතින් ඉටුවන මහඟු සේවා බව කිව යුතු ය.
ශ්‍රී ලංකාව පශ්චාත් යුද සමයේ විවිධ ජාත්‍යන්තර අභියෝගවලට මුහුණ දුන් රටකි. විවිධ බලවතුන් විසින් මෙරටට විවිධ බලපෑම් සිදු කරන ලද අවස්ථාවේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනා රුසියාව නිෂේධ බලය යොදා පරාජය කළේය. එමෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය හරහා ද මෙරටට සිදු කළ බලපෑම්වලට එරෙහි ව රුසියාවේ පෙනී සිටිම අගයමින් මෙරට තුළ බහුජන ව්‍යාපාර එකතු කර ගනිමින් විශාල ජන මතයක් ගොඩනැගීම උදෙසා වෛද්‍ය සමන් වීරසිංහයන් ඉටුකළ ජාතික මෙහෙවර රටක් වශයෙන් අප විසින් අගය කළ යුතු ය.
ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ ශ්‍රී ලංකාවට එරෙහි ව ගෙන ආ අසත්‍ය චෝදනා හමුවේ ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරෙකු ලෙස පෙනී සිටියේ රුසියාවයි. එවන් තීරණාත්මක අවස්ථාවක, එවන් සැබෑ මිතු දමක් පවත්වාගෙන යාම සඳහා දෙරට අතර අන්‍යෝන්‍ය අවබෝධය තව තවත් තර කරමින් විශාල කාර්යභාරයක් වෛද්‍ය සමන් වීරසිංහයන් අතින් ඉෂ්ට වූ බව මෙහි ලා විශේෂයෙන් සඳහන් කළ යුතු ය.
මල්රේණු කස්තුරිරත්න
රුසියානු සාහිත්‍ය කවයේ විධායක සභික
M.A.(Philology) ලුමුම්බා විශ්වවිද්‍යාලය, මොස්කව්, රුසියාව

