රට පුරා රෝහල්වල හෙද සේවක සේවිකාවන් 26000 ක හිඟයක්


ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය වසර ගණනාවක පටන් කාර්යක්ෂමව සහ  නොමිලේ සෞඛ්‍ය සේවාවන් සපයමින් ලොව පිළිගත් රටවල් අතරට එක්ව තිබේ. එහෙත්, වර්තමානයේ රෝහල්වල පවතින්නා වූ  අර්බුදයන් අතර  හෙද හෙදියන්ගේ දැඩි හිඟයද මෙම පද්ධතිය මුහුණ දෙන කනගාටුදායක තත්ත්වයකි . සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, රටපුරා රෝහල්වල හෙද සේවක සේවිකාවන්  17,000කට ආසන්න පිරිසක හිඟයක් පවතින බව අනාවරණය වූ අතර, සත්‍ය ලෙසම එම පුරප්පාඩුව 26000ක තරම් අගයක් ගන්නා බව  අනාවරණය විය.මෙම තත්ත්වය වසර ගණනාවක පටන් පැවති කරුණක් වුවත්, වර්තමානය වෙනවිට සෞඛ්‍ය පද්ධතිය පුළුල්වීමත් ඒ හා සාපේක්ෂව හෙද හෙදියන් ප්‍රමාණවත් නොවීමත් යන කරුණු කාරණා  නිසා රෝගීන් ඇතුළු සමස්ත රෝහල් පද්ධතියම දැඩි අර්බුදකාරි තත්ත්වයකට මුහුණ දෙමින් ඇත.  

උද්ගත වූ මෙම තත්ත්වය  පිළිබඳව සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති, රවීන්ද්‍ර කහඳවආරච්චිගෙන් කළ විමසීමකදී ඔහු ලබාදුන්නේ මෙවන් වූ පිළිතුරකි.

‘‘සාමාන්‍යයෙන් ලෝකයේ  ජනඝනත්වය අනුව  1000 දෙනෙකුට හෙද හෙදියන් 4ක්වත් සිටිය යුතුයි. නමුත් ලංකාවේ ඉන්නේ 1000කට 2.5ක වගේ ඉතා අඩු ප්‍රමාණයක්.ලෝකයේ හොඳම සෞඛ්‍ය සේවාව ඇතැයි කියා විශ්වාස කරන ෆින්ලන්තය හා නවසීලන්තය වැනි රටවල්වල 1000 දෙනෙක්ට හෙද හෙදියන් 18.7ක  ප්‍රමාණයක් ඉන්නවා. ලංකාවේ  ජනගහනය ලක්ෂ 22ක් ඉන්නව නම් හෙද සේවාවේ පුද්ගලයන් අවම වශයෙන් 88000ක්වත් සිටිය යුතුයි. නමුත්  දැන්ට ලංකාවේ හෙද  හෙදියන් ඉන්නේ 37000ක වගේ ප්‍රමාණයක්.

සංඛ්‍යා ලේඛන අනුව 2025.03.31 වැනිදා වෙනවිට  සක්‍රිය සේවයේ යෙදී සිටින හෙද සේවක සේවිකාවන් ගණන 37409. මේ පිරිසෙනුත්  ප්‍රසූත නිවාඩු ගිය හෙදියන් සමග තවත් සැලකියයුතු ප්‍රමාණයක් අඩු වෙනවා. මේකට හේතුව, හෙද සේවයේ නිරත වූවන්ගෙන්  සියයට 95ක්ම   කාන්තාවන් වීමයි. නමුත්  2017 වසර තුළ   සිටිය යුතු ප්‍රමාණයත් සමග එම වසර තුළ  රෝහල් සේවාවේ සිටිය යුතු හෙද හෙදියන් සංඛ්‍යාව 42731යි. මේ තත්ත්වය යටතේ  2025.05.26 වැනිදා  3147 දෙනෙකුට  පත්වීම් ලිපි ලබාදුන්නා. .අවුරුදු 8කට පසුව 2025ට අවශ්‍ය හෙද නිලධාරීන් මේ වෙනවිට යාවත්කාලීන කරමින් සිටිනවා. මොකද, මේ අවුරුදු අට තුළ විශේෂඥ වෛද්‍යවරු ප්‍රමාණය වැඩිවෙලා තියෙනවා සහ එම වෛද්‍යවරු යොමුකළ  යුතු ක්ෂේත්‍ර ප්‍රමාණය වැඩිවෙලා තියෙනවා. ඒ අනුව 2025ට අවශ්‍ය හෙද නිලධාරීන් ප්‍රමාණය ගණනය කිරීම් කරගෙන යනවා.ඒ ගණනය කිරීම් අනුව 88000ක පමණ හෙද නිලධාරීන් ප්‍රමාණයක් සිටිය යුතුයි කියල අපි විශ්වාස කරනවා.

ඇත්තටම නව රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්ති අනුව, ප්‍රජා සෞඛ්‍ය සේවාව වැඩි දියුණු කිරීම යටතේ  ග්‍රාමසේවා වසම් තුනකට එක සෞඛ්‍ය ඒකකයක් ලෙස ස්ථානගත කිරීමත් සමග එම  ස්ථානවලට  අවම‍ය හෙද හෙදියන් දෙදෙනෙකු ලෙස තවත් හෙදියන් 2000ක වගේ ප්‍රමාණයක්වත් අවශ්‍ය කරනවා. නමුත් අපි දන්නව මේ 90000ක වගේ ප්‍රමාණය එක පාරටම සපුරගන්න බැහැ. නමුත්  ප්‍රජා සෞඛ්‍ය සේවාව හැර , අවමය තුනෙන් එකක්වත්  ඒ කියන්නෙ 60000ක වගේ හෙද හෙදියන් ප්‍රමාණයක් මේ රෝහල් පද්ධතිය තුළ  සිටිය යුතුයි. නමුත්   දැනට   මේ සේවාව දුවන්නේ සියයට 60ක්ම ඕටීවලින්.  ඒ වගේම දැනටමත් එක හෙදියක් ‍රෝගීන් තුන්දෙනෙකුගේ වැඩ කරනවා. රෝහලක් කියන්නෙ අතිවිශාල වැඩ කොටසක් තියෙන ආයතනයක්. එම තත්ත්වය උඩ එක හෙදියකට රෝගීන් තුන්දෙනෙකුගේ වැඩ කරන්න සිදුවෙනවා කියන්නෙ එම  සේවාවෙ  ගුණාත්මකභාවය අඩු වීමයි.  ඒ නිසා  දනට සිටින හෙද හෙදියන් 37409ක වගේ ප්‍රමාණය  වෙනුවට අවමය  63000ක් පමණවත් සිටිය යුතුයි. එම තත්ත්වය පුරවගන්නනම්  හෙද හෙදියන් 17000ක් නෙවෙයි පැහැදිලිවම   හෙද හෙදියන් 26500ක් පමණ අත්‍යවශ්‍යයි . මේ වෙනකොට මාතලේ රෝහල,  දඹුල්ල මහ රෝහලේද මෙන්ම උතුරුමැද පළාත තුළ , දකුණු පළාත් සභාව තුළ වගේම  කොළඹ    ජාතික රෝහල්වල, මහරගම පිළිකා රෝහල,වකුගඩු රෝහලේද  විශාල හෙද හිඟයක් තියෙනවා. "

හෙද සේවාවේ මෙවැනි හිඩැස් ඇති වීමට බලපාන  ප්‍රධානතම කරණාව තමයි,  ක්‍රමානුකූල බඳවාගැනීමක් නොතිබීම.. සාමාන්‍යයෙන් හෙද විදුහලකින් වසරකට හෙද හෙදියන් 3000ක් රෝහල් සඳහා යොමුකළ යුතුයි. නමුත් ගැටලුව ඇත්තේ, අඛ්‍යණ්ඩ බඳවා ගැනීම් සිදුනොකරන නිසා මෙන්ම වසරක් වසරක් පාසා මේ 3000ක ප්‍රමාණය අවුට් කරගන්නට බැරිවීමයි.මෙහි ඇති  කනගාටුදායක තත්ත්වය තමයි, මෙවැනි තත්ත්වයක් තිබියදී පවා 2020,2021,2022,2023,2024 උසස්පෙළ ලියා අවසන් වුණු, හෙද සේවාවට පැමිණීමේ බලාපොරොත්තුවෙන්  විශාල ප්‍රමාණයක් එළියෙ සිටීම. නමුත් එයාලව බඳවාගැනීමට තවමත්  අනුමැතිය  ලැබිලා නෑ.

ඒ වගේම තමයි, ලංකාවෙ හෙද  සේවාව තුළ පිරිමි බදවා ගැනීම  සියයට 5 යි කියල  කොහෙවත් නැති නීති  රෙගුලාසි දාල තියෙනවා. 2019 උසස්පෙළ ලියපු සිසුන්ගෙන් 3000ක් හෙද සේවාවට බඳවා ගන්න තීරණය කරා. එයින් පිරිමි සිසුන් හිටියේ  216 දෙනෙකු පමණයි.   ඒ කියන්නෙ හෙද සේවාවට  පැමිණීමේ ප්‍රවණතාවත් අඩුවෙලා තියෙනවා වගේම  පිරිමි ළමයි බඳවාගැනීම අඩු වීමත් සේවක හිඟයට බලපාල තියෙනව. එපමණක් නෙමෙයි, උපාධිධාරීන් 1000ක පමණ ප්‍රමාණයක්  හෙද සේවාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටියත්  ඒ සඳහා  නිසි ක්‍රමවේදයක් තවමත් ක්‍රියාත්මක වෙලා නැහැ. මෙම තත්ත්වය දිගින් දිගටම පැවතියහොත් අනාගතයේදී සමස්ත  සෞඛ්‍ය පද්ධතියටම අඳුරු කාල වකවානුවකට මුහුණ දීමට  සිදුවෙනවා. 

2023 -2024වසර දෙක තුළ හෙදියන් 3120ක් හෙද සේවාව හැර ගිහින් 

බුද්ධිගලනයත් හෙද හෙදියන් අඩු වීමට බලපාපු තවත් එක් කාරණාවක්.මොකද හෙද සේවාවෙන් තමයි  වැඩිපුරම බුද්ධි ගලනය සිදුවෙලා තියෙන්නේ. එයට හේතුව තමයි, ලංකාව තුළ වැටුප් ප්‍රමාණවත් නොවීම   සහ සේවාවේ  ඇතිවෙන පීඩනය. නමුත් වර්තමානයේ හෙද හෙදියන් විදෙස් ගතවෙන්නේ නිවාඩු අරගෙනත් නොවේ. සම්පූර්ණයෙන්ම සේවාව අත හැරලයි. 

මේ අනුව සාමාන්‍යයෙන් වසරකට   1500ක් විතර සේවාව හැර යනවා.මේ තත්ත්වය වසරෙන් වසර වැඩිවෙනවා,   අඩුවන්නේ  නැහැ  . මෙය ලංකාවට බලපාල තියෙන විශාල ඛේදවාචකයක් බවට පත්වෙලා තියෙනවා.සමස්තයක් විදිහට ලොව පුරා  මිලියන 6ක හෙද හිඟයක්  පවතිනවා.පිටරවලින් විශාල පහසුකම් ලබා දීමත්, සේවයෙ පීඩනය අඩු වීමත් වගේම ප්‍රමාණවත් වැටුප් ලබාදීමත් යන හේතු නිසා ලාංකික හෙද හෙදියන් විශාල ප්‍රමාණයක්  විදේශගත වෙනවා."

මේ සම්බන්ධව කරුණු පැහැදිලි කරමින්  වාට්ටු කළමනාකාරණ හෙද සොයුරියකවන   ආර්. එම්.එන් රාජනායක ලබාදුන්නේ මෙවන් වූ අදහසකි.

සෞඛ්‍ය සේවාව තමයි ඕනෑම රටක මූලික බලවේග අතරින් එකක් වෙන්නේ. ඒ වගේම හෙද හෙදියන් කියන්නෙත් ඒ බලවේගය ක්‍රියා කරවන්නන්. මේ හෙද හිඟය  වැඩිපුරම  මතුවෙලා තියෙන්නෙ කොළඹ අවට රෝහල්වල වගේම උතුරු නැගෙනහිර රෝහල්වල. ජාතික ළමා රෝහල, පිළිකා රෝහල, වකුගඩු රෝහල කියන්නෙ හෙද හෙදියන් අත්‍යාවශ්‍යම රෝහල් පද්ධතීන්. අනෙක් ඒවාට අනවශ්‍යයි කියන්නෑ. නමුත් මේවාට හෙද හෙදියන් අත්‍යාවශ්‍යයි. මොකද, බරපතළ රෝගීන් සිටින රෝහල්  මේවා.වැඩිපුරම  මේ රෝහල්වලට එන්නෙ ගම්පළාත්වල හෙද හෙදියන්. ඔවුන්ට ස්ථාන මාරුවක් ආව ගමන් යනවා.ගොඩාක් හෙදියන් බබාල ලැබුණට පස්සෙ එයාලව බලාගන්න දිවා සුරැකුම් මධ්‍යස්ථාන  නොතිබීම, අනාරක්ෂිතතාව වැනි කාරණා ගණනාවක් යටතේ නැවත සේවයට වාර්තා කරන්නෙත් නෑ. ඇතැම් හෙද හෙදියන්   එන්න කැමතිත් නෑ වැඩ වැඩියි කියල. සාමාන්‍යයෙන් කොළඹ අවට රෝහල්වලට සාපේක්ෂව  ගම්පළාත්වල රෝහල්වල හෙද පුරප්පාඩු අඩුයි.

“2020 සිට2024 දක්වා උසස්පෙළ ලියා අවසන් වුනු, හෙද සේවාවට පැමිණීමේ බලාපොරොත්තුවෙන්  විශාල ප්‍රමාණයක් එළියේ ඉන්නවා. නමුත් එයාලව බඳවාගැනීමට තවමත්  අනුමැතිය  ලැබිලා නෑ"

ඒ වගේමයි තරුණ හෙද හෙදියන් විදේශ ගත්වීමත් ප්‍රධානතම ගැටළුවක් බවට පත්වෙලා තියෙනවා.අපිට ඕනැ තරුණ ප්‍රජාව . මොකද ලෙඩ්ඩුත් එක්ක වැඩ කිරීමට නම් පංචේන්ද්‍රියන් ක්‍රමානුකූලව වැඩකළ යුතුයි.නමුත්  දැන් දැන් ඔවුන්ගේ කාර්යක්ෂමතාව හීනවෙලා තියෙනවා. සේවක හිඟය ඇතිවෙන්න   මෙයත් ගැටලුවක් බවට පත්වෙලා තියෙනවා.

මේ තත්ත්වය යම්තාක් දුරකට හරි මග හරවා ගන්නනම් පළාත්  මට්ටමින් හෙද හෙදියන් බඳවා ගැනීම්, සේවය කරන ස්ථාන ප්‍රියමනාප ස්ථානයක් බවට පත් කිරීම,අඛණ්ඩ බඳවා ගැනීම් සිදුකිරීම්ද සිදුකළ යුතුයි"

ඒ අනුව වැඩ  පීඩනය අඩු කිරීමත්, ප්‍රමාණවත් පහසුකම් ලබාදීමටත්, බුද්ධි ගලනය සඳහා පියවර ගැනීමත්  ආදී සමස්තයක් ලෙස සම්පූර්ණ සෞඛ්‍ය පද්ධතියේම පවතින මෙම හෙද සේවක හිඟය පිළිබඳව සොයාබලා ක්‍රියාත්මක වීම කඩිනමින් සිදුකළ යුතු වන්නේමය. එසේ නොවුණහොත් අසරණ වෙන්නේ රටේ දුප්පත් මහජනතාවය.

මදූශා දිල්ශානි.