
ලංකා සතොස මගින් දේශීය ලොකු ලූනු මිලදී ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමත් සමඟ ඉතිහාසයේ සිට මේ දක්වාම ලොකු ලුූනු වගා කිරීම එපා කර වූ බව ලූනු ගොවීන්ගේ අදහස වේ. ලොකු ලූනු ආහාරයට ගැනීම පවා එපාවූ බව පවසන ගොවීන්ගේ චෝදනාව වෙන්නේ ලංකා සතොස රජයත් ගොවියාත් මහජනතාවත් නොමග යවමින් ලොකු ලූනු පිටරටින් ගෙන්වා බෙදාහරින බවය. දේශීය ලොකු ලූනු මිලදීගෙන ගබඩා කරගෙන සිටීම ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතාවක් බවට ඔවුහු චෝදනා කරති.
මේ චෝදනාව කිරීමට ගොවීන් පෙලඹවූයේ ලංකා සතොස මගින් නගරවල ප්‍රදර්ශනය කොට ඇති විශාල ප්‍රමාණයේ බැනරයකි. එහි සඳහන්ව තිබුණේ “දේශීය ගොවීන්ගේ අස්වැන්න මිලදී ගැනීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ ලංකා සතොස ගබඩාව බී ලූනු තොග වශයෙන් ගොවීන්ගේ මිලට ගනු ලැබේ, කිලෝ එකක් සඳහා ගැනුම් මිල රුපියල් එකසිය හතළිහකි” යන්නය.
ප්‍රධාන මාර්ගයේ ගමන් කරන දෙනෝ දාහක් ජනතාව එය දැක ප්‍රීතියට පත් වනු පෙනිණ. දේශීය ලොකු ලූනු ගොවියා එය දැක මහත් ප්‍රීතියට පත් නොවුණද අඩුම තරමේ තමන්ගේ වියදම හෝ අවම කර ගැනීම සඳහා රජය ගත් ක්‍රියාමාර්ගයට පැසසුම් කරමින් තම නිෂ්පාදන වාහනවල පටවාගෙන, වියදම් කරගෙන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ස්ථාපිත කොට ඇති සතොස මිලදී ගැනීම් මධ්‍යස්ථානය වෙත රැගෙන ආවේය.
එම ස්ථානයට ගිය ගොවියාගේ නෙත ගැටෙන්නේ ගබඩාවට ඇතුළු වෙන ස්ථානයේ අලවා ඇති මිලදී ගැනීමේ ප්‍රමිති ලේඛනයයි. එය කියවා බලන ගොවියාගේ ඉහමොළ රත්වෙයි. කිලෝවක් රුපියල් 140කට සතොස මිලදී ගන්නේ ගෙඩි අටක් කිලෝවකට අල්ලන ප්‍රමාණයේ ඒවාය. එහි තවදුරටත් ප්‍රමිතිය පිළිබඳව මෙසේ ද සටහන් කර ඇත. ලොකු ලූනු ගෙඩියක විෂ්කම්භය 35 - 65 mm විය යුතුය, 65 mmට වැඩි සහ 35mmට අඩු ලොකු ලූනු තොගයේ බර අනුව දහය නොඉක්ම විය යුතුය. ගුණාත්මකභාවයA ශ්‍රේණියේ SLS 1224.2002 ද තොගය ඒකාකාරී ප්‍රමාණයෙන් සහ ගුණාත්මක බවෙන් යුක්ත විය යුතුය. කිලෝවකට ලොකු ලූනු ගෙඩි අටක් පමණය යන්න එහි සඳහන් කොට තිබේ.
මෙය දකින ගොවීහු ලංකා සතොස නිලධාරීන්ගේ පමණක් නොව රජයේ ද පලු අරිමින් තම අස්වැන්න නැවත ව්‍යාපාරිකයන්ට විකුණා, නිවෙස්වලට යති. බොහෝ දෙනා ලොකු ලූනු ගබඩා කරගෙන ඒවා විනාශ වෙන්නට ඉඩ හැර තිබෙනු දැකිය හැකිය.
ගොවිජන සම්මේලනයේ මුනිවත
දේශීය ලොකු ලූනු ගොවියා වසර ගණනාවක සිට විවිධ ප්‍රශ්නවල පැටලෙද්දී එවකට ගොවියාගේ හයියට හිතවතා ලෙස කටයුතු කළේ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයයි. එහි ජාතික සංවිධායක වර්තමාන කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්නය. ගොවිජන සම්මේලනයේ සභාපති වර්තමාන අනුරාධපුර පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්නය. නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් එහි ප්‍රධාන ලේකම්වරයා ය. දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති තිලක් බණ්ඩාර සහ ගලේවෙල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු ඇතුළු කණ්ඩායමක් මෙය නියෝජනය කළහ.

මෙම පිරිස් දඹුල්ල කේන්ද්‍ර කරගෙන දඹුල්ලේ ජනමාධ්‍යවේදීන් සමඟ එක්ව රටේ සෑම ප්‍රශ්නයක් මෙන්ම ගොවි ගැටලුව පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම, බලධාරීන් දැනුම්වත් කිරීම, සටන් කිරීම විරෝධතා දැක්වීම හා ගෙල වැලලා ගැනීම සඳහා සූදානම් වීම ආදී විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ ගොවීන්ට ශක්තියක් දුන්හ.
එහෙත් මෙවර ලොකු ලූනු ප්‍රශ්නයේ දී ගොවීන් සමග එක්ව සිටි සියලු දෙනා ඇස් කොනකින් හෝ ලොකු ලූනු ගොවීන් පිළිබඳව සොයා නොබැලීම පිළිබඳ ගොවීන්ට ඇත්තේ බරපතළ කනගාටුවකි. ඔවුන්ගේ ඇස්වල එදා තිබුණු කිඹුල් කඳුළු හෝ අද නොමැති වෙන්නේ කුමක් නිසාදැයි ගොවීහු සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙන් ප්‍රශ්න කර සිටිති.
ලොකු ලුූනු ගොවියා පත්ව ඇති මෙම බරපතළ අර්බුදය පිළිබඳව ඔවුන් දරන මතය කෙසේ දැයි සොයා බැලීමට අපි 30 වැනි දින දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති තිලකරත්න බණ්ඩාරට ඇමතුමක් ලබාගත්තද ඔහු ඊට ප්‍රතිචාර නොදැක්වීය. එමෙන්ම නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත්ට අවස්ථා කිහිපයක් ඇමතුම් ගත්තද ඔහුද ප්‍රතිචාර නොදක්වා සිටීම විශේෂත්වයකි.
කෙසේ වෙතත් සුසන්ත කුමාර නවරත්න මන්ත්‍රීවරයා සම්බන්ධ විය. ඒ මහතා කියා සිටියේ කෘෂිකර්ම අමාත්‍යාංශයට ගොස් මේ ගැන සාකච්ඡාවක් පවත්වා කඩිනමින් මාධ්‍ය වෙත දැනුම් දීමට පියවර ගන්නා බවය.
කෙසේ වෙතත් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්නට 30 අලුයම දුරකථන ඇමතුමක් ලබා දී දේශීය ලොකු ලුූනු ගොවියාට බලපා ඇති බරපතළ ප්‍රශ්නය පිළිබඳව දැනුම්වත් කොට විසඳුමක් තිබේදැයි විමසිමේදී ඔහු සඳහන් කළේ ආහාර සුරක්ෂිතා කමිටුවට මෙම ගැටලුව ඉදිරිපත් කොට ඊට කුමන හෝ විසඳුමක් කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බවය.
ලොකු ලූනු ගොවි රජාත් අමාරුවේ
දේශීය ලොකු ලූනු ගොවියා මුල සිටම මුළාවට පත් කරමින් එම වගාව ලබන කන්නයේ සිට සම්පූර්ණයෙන් නැවැත්වීම සඳහා නිලධාරීන් සැලසුම් සකස් කරනවා දැයි බරපතළ සැකයක් මතුවෙන බව දේශීය ලොකු ලූනු ගොවි රජා ලෙස විරුදාවලිය ලත් ගලේවෙල පට්ටිවල ප්‍රදේශයේ දේශීය ලොකු ලූනු ගොවියෙකු වූ එස්. ඒ. රතනපාල පැවසීය. දේශීය ලොකු ලූනු වගාව ලංකාවේ ආරම්භ කළ දවසේ සිට මේ වෙන තුරු ඔහු විශාල භූමි ප්‍රමාණයක ලොකු ලූනු වගා කරයි.

ලංකාවේ ලොකු ලූනු අවශ්‍යතාව සම්පූර්ණයෙන්ම ලබාදීමට දේශීය ලොකුලූනු ගොවීන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ මීට වසර කිහිපයක සිට උත්සාහ දරමින් සිටි බවත් එය සාර්ථක කරගෙන එද්දී මීට වසර තුනක පමණ සිට ඉතාමත් සංවිධානාත්මකව ලොකු ලූනු ගොවියා වගාවෙන් ඉවත් කරවන කටයුතු සිදුකෙරී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
ලොකු ලූනු වගාව සියයට අනූවකටත් වඩා පහළ බැසගෙන යද්දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නැවත වරක් පසුගිය කන්නවලදී දේශීය ලොකු ලූනු ගොවියාට සාර්ථක හොඳ මිලක් ලබාදෙන බව පවසමින් ගෙන් ගෙට ගොස් ලොකු ලූනු වගා කරන ලෙස ඉල්ලා සිටීමත් සමඟ තම ගොවීන් ලොකු ලූනු වගාවට නැවත ඉදිරිපත් වූ බව හෙතෙම පැවසීය.
අස්වැන්න නෙළීම ආරම්භ කිරීමට මත්තෙන් දේශීය ලොකු ලුූනු ගොවියා ආරක්ෂා කර ගැනීම සඳහා විදේශ රටවලින් ගෙන්වන ලොකු ලූනුවලට බදු මුදලක් අය කරන ලෙස රජයට යෝජනා කළත් එම යෝජනා පසෙක ලා විදේශීය රටවලින් ලොකු ලූනු තොග ගෙන්වා ගබඩාවල පුරවා ගැනීමෙන් පසුව බදු පනවා දේශීය ලොකු ලූනු ගොවියාට හිස ඔසවන්නට පවා නොමැති තත්ත්වයක් වර්තමාන රජය නිර්මාණය කළේ යැයි හෙතෙම චෝදනා කරයි.
පසුව ලංකා සතොස ඉදිරිපත්ව දේශීය ලොකු ලූනු ගොවියා නඟා සිටුවීම බව හුවා දක්වමින් දැන්වීම් ප්‍රදර්ශනය කරමින් රජය ලොකු ලූනු මිලදී ගන්නා බව ප්‍රකාශ කළද ඒ සඳහා ඉතිහාසයේ කවරදාවත් නැති කොන්දේසි මාලාවක් යොදවා ඇතැයි ඔහු සඳහන් කළේය.
කිලෝ එකක් සඳහා ලොකු ලූනු ගෙඩි අටක් සරිලන පරිදි ලොකු ලූනු වගා කරන්නට නම් රජය කුමන සහයෝගයක් ලබාදී ඇත් දැයි හෙතෙම ප්‍රශ්න කළේය. එමෙන්ම ලොකු ලූනු බීජවල හා පොහොරවල කිසිදු ප්‍රමිතියක් සොයා නොබලන රජය නිෂ්පාදනවල පමණක් ප්‍රමිතිය සොයා බැලීම බරපතළ අසාධාරණයක් යැයි හෙතෙම තවදුරටත් සඳහන් කළේය. ඉදිරියේදී ගොවීන් ලොකු ලූනු වගා කරාවි දැයි බරපතළ සැකයක් මතුවන බවද ඔහු සඳහන් කළේය.
දේශීය ලොකු ලූනු වගාකරුවෙකු වූ කේ. ජී. අබේපාල රජයේ ක්‍රියාවලිය පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.

“අපි දැක්කා රජයේ ඇමතිවරයෙක් කිව්වා ලොකු ලූනු නම තියෙන්නේ ලූනු ලොකු නිසා බව. බිමට බැහැලා අපේ ගොවිපළවල්වලට එන්න කියලා අපි ආරාධනා කරනවා. මේ හැම දේටම සතොසට පාඩු විඳින්න බැහැලු. අපි පාඩු වින්දට කමක් නෑ. ලොකු ලූනු මිලදී ගන්න මහත්වරුන් කියන්නේ කිලෝවට ගෙඩි අටකට සෑහීමට පත්වෙන ලූනු අරගෙන එන්න කියලා. එහෙම ලූනු වගා කරන්න අපට මොන පහසුකම් ද ලබල දීලා තියෙන්නෙ. අඩුම තරමේ ලොකු ලූනු තෝරලා එහෙම දෙනවා නම් කිලෝවට රු. 140ක් නෙවෙයි අඩුම තරමේ තුන්සිය පනහක්වත් දෙන්න වේවිි. මොකද ඉතුරුවෙන ලූනු කාටද විකුණන්නෙ? කිලෝ 5000ක් පමණ ගෙනාවොත් අඩුම තරමේ කිලෝ 250ක් 300ක් සතොසට දෙන්න පුළුවන් වේවි. ඉතිරි ලොකු ලූනුවලට මොකද කරන්නේ කියලා තමයි අපිට ප්‍රශ්නෙ තියෙන්නෙ. ඒ නිසා තමයි අපි නැවත හැරිලා යන්නේ මේ වගේ බොරු වැඩ කරන්න එපා කියලා.”
දේශීය ලොකු ලූනු අලෙවි කිරීම සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආ ගොවීන් ලංකා සතොස සමග ලොකු ලූනු මිලදී ගැනීමේ ස්ථානයක් ආරම්භ කොට ඇති බව සැලවීමත් සමඟ එම ස්ථානයට ගොස් තමන්ගේ ලොකු ලූනු ලබාදීමට හැකිදැයි සොයා බැලූ අවස්ථා කිහිපයකම ලංකා සතොස නිලධාරීන් සමග උණුසුම් තත්ත්වයක්ද ඇති විය.
එහිදී ලංකා සතොස මිලදී ගැනීම් නිලධාරීන් සඳහන් කළේ තමන්ට ලබා දී ඇති උපදෙස් අනුව මිලදී ගැනීමේ හැකියාව තිබෙන බවය. ලංකා සතොසට ලොකු ලූනු ලබා දෙන්නේ නම් දින හතක් ඇතුළත මුදල් ගෙවීමට හැකි බවද ඔවුහු පැවසූහ.
සාධාරණ ක්‍රමවේදයක්
![]() |
| දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති සී. එස්. සිරිවර්ධන මෙසේ පැවසීය. |
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලොකු ලූනු මිලදී ගැනීම සඳහා පැමිණි ව්‍යාපාරිකයෙකු වූ සමන් සෙනරත් බණ්ඩාර අපූරු යෝජනාවක් ගෙන ආවේය.
“අපි ලොකු ලූනු සල්ලිවලට අරගෙන ගිහිල්ලා විකුණනවා. ලංකාවේ ලොකු ලූනුවලට හොඳ ඉල්ලුමක් පවතිනවා. රට ලූනුවල මිල අඩු නිසා මිනිස්සු මිලදී ගන්නවා. හැබැයි බොහෝ දෙනෙක් කියන්නේ ලංකාවේ ලූනු කල් තියාගන්න පුළුවන්, ඒ වගේම හොඳට සැර තියනව කියලයි. ලූනු ගොවියාත් ව්‍යාපාරිකයාත් පාරිභෝගිකයාත් ආරක්ෂා කර ගන්නා හොඳ ක්‍රමයක් තියෙනවා. ලොකු ලූනුවලට පමණක් නෙවෙයි, අර්තාපල්වලටත් රජය මේ වැඩේ කළොත් ඉදිරියට ගොවියාටත් රජයටත් පාරිභෝගිකයාටත් වෙළෙඳාම් කරන අපටත් ඉතාම හොඳ කලක් යනවා.
ඒ තමයි ලංකාවේ වසරකට ලොකු ලූනු අවශ්‍යතාව කොපමණද, වසරකට අර්තාපල් ප්‍රමාණය කොපමණද යන්න හරියට ගණන් බලා පුද්ගල පරිභෝජනය පිළිබඳව අවබෝධයක් ලබාගෙන අවශ්‍ය ප්‍රමාණය පමණක් විදේශ රටවලින් ගෙන්වීමයි. ලංකාවේ නිෂ්පාදනය කොපමණ ප්‍රමාණයක්ද කියා නිවැරදිව ගණන් බලා අවශ්‍ය කාල වකවානුවල ගෙන්වීම සීමා කළොත් ඉතා සාධාරණව කරන්න පුළුවන්. අවුරුදු ගණන් කල් තියාගෙන ඉන්න ලොකු ලූනු සහ අර්තාපල් ගෙන්වන්න ඉඩ ලබාදීම තමයි මෙහි පළමු බරපතළ වැරැද්ද බවට පත්වෙලා තියෙන්නේ.”
දඹුල්ල
කාංචන කුමාර ආරියදාස


